Saturday, February 21, 2015

(නො)දුටු සතුට


“ඉක්මන් කරන්නකො සුජා දැන් වෑන් එක ඇවිල්ලත් ඇති.”

අසංකගේ නොඉවසිල්ල සුජාතාට සිනහ පහල කරයි.

“පොඩි  එකෙක් වගේනෙ , මෙයාට තියන හදිස්සිය පුතාගෙ කෑම එක කවාගන්න කල් පොඩ්ඩක් ඉන්න”  

අසංක හා සුජාතා  විනෝද චාරිකාවක යෙදෙන්නේ වසර දෙකකින් පමණය. නොපෙන්වා සිටියමුත් අසංකටත් වඩා එහි ආසාව ඇත්තේ සුජාතාටය. පුතුගේ වැඩ සඳහාම කාලය ගත කරමින් එකාකාරී දිවියක් ගත කරමින් සිටි ඇයට මෙම විනෝද චාරිකාව ඉඩෝර සමයක වැටුන වරුසාවක් මෙන් විය. වැඩිමනක්ම අසංක සමඟ මෙවැනි ගමනක යෙදීමේ ආසාවත්ය. 

“හරී, මගෙ හොඳ පුතු පැටියා අද ඔක්කොම කෑවා”, 
“අසංක බෑග් දෙකම ගත්ත නේද?, මේ … මම ලස්සනයි නේද මේ කිට් එකට?

සුජාතා ඇසුවේ නිරූපිකාවක් මෙන් රවුමක් කැරකීමෙන් පසුවය.

“ආයෙත් අහල කත්‍රිනා  කයිෆ් වගේ!” අසංක පැවසූවේ ඇගේ සුන්දරත්වය විඳිමින්ය”

සැබවින්ම සුජාතා සුන්දර යුවතියක්  විය. පාසැල් වියේදී දුටු ඒ ලස්සන දිනෙන් දින වැඩි වූවා වෙනවා යැයි අසංකට සිතේ. 

“අනිත් එවුන්ට ඉරිසියා හිතෙයිද දන්නෑ මට මෙච්චර ලස්සන නෝන කෙනෙක් ඉන්නවා දැක්කහම” 

“යන්න අනේ විහිලු නොකර” සුජාතා පැවසූවේ සිත යටින් ආඩම්බර වෙමිනි.

අසංක හා සුජාතා සේවය කලේ එකම ආයතනයකය. වසර අවසානයේ විනෝද චාරිකාවක් යෑමට ආයතනයේ සැවොම ලක ලැස්ති වූවේ මාසයක පමණ සිටය. 

“අපෝ මොකක්ද බන් පැය භාගයක්ම පරක්කුයි!”

“ එහෙම තමා බන් පවුල් කාරයො උනහම , මොකෝ උඹලාට වගේ ඩෙනිමයි ටී එකයි දාගෙන ඔන්න මම ගියෝ කියල එන්න බෑනෙ දැන් “ අසංක පැවසූවේ සිනාමුසු මුහුණින්ය.

“ඒකත් ඇත්ත තමා උඹට එහෙනම් සමාව දෙනවා, ඒත් කෝ මේ නලින්දයා? ඌත් පවුල් වෙලාද දන්නෑ අපිටත් හොරෙන්” තව අයෙක් පැවසූවේ වෑන් රථයේ සියලු දෙනාටම සිනා පහල කරවමින්ය.

“ඔය එන්නේ කියනකොටම, ශුවර් එකටම නින්ද යන්න ඇති, වැඩට ඇවිල්ලත් දවසෙන් භාගයක් නිදියන එකානෙ.”

විනෝදයෙන් හා උද්යෝගයෙන් මෙසේ ආරම්භ වූ විනෝද චාරිකාව නොනවතින ගීත, සිනා හඬ මැදින් උඩරට වෙත ලඟා විය.



නුවර ආසන්නයේ දී උදාසන ආහාරය ගෙන කෙලින්ම හග්ගල උද්යානය බලා පිටත් වූවේ පලමු නැරඹුම් ස්ථානය ලෙස එය තෝරා ගෙනය.
පුතුව තුරුල් කරගෙන අසංකගේ උණුසුමේ රැඳෙමින් මඟ දෙපස පසුවන සුන්දරත්වය නරඹමින් යන සුජාතාට දැනුනේ කියා නිම කල නොහැකි සතුටකි. ඔහුගේ උරහිසෙහි හිස රඳවාගෙන එය වඩ වඩාත් විඳීමට සුජාතා උත්සුක විය. 
අතර මඟදී හමු වූ සිසිල් දිය අහරක් නිසා පිරිසගේ තීරණය වෙනස් විය.

“බලපන්කො මරු වතුර ටික, මේකෙන් නාන්නෙ නැතුව ගියොත් නම් මුලු ට්‍රිප් එකෙන්ම වැඩක් නෑ!”

“එහෙනම් නාන අය නාන්න , අපි දවල්ට මෙතන ඉදන් කාල යමු”

එම යෝජනාව එකමතිකව ස්ථිර විය.
පැයක් පමණ දිය කෙලියෙන් පසු සියල්ල ගොඩට ආවේ ඉවසිය නොහැකි බඩගින්න නිසාමය.

“එහෙනම් කට්ටිය කෑම ලෑස්ති කරන්නකො අපි පොඩ්ඩක් මේ දිය පාරෙ ලස්සන බලල එන්නම්.” වෑන් එකෙන් සිය බෑගය ගනිමින් නලින්ද පැවසූවේ කුමක්ද යන්න ඉවෙන් මෙන් සුජාතාට වැටහිණ. 

“ඔයත් යනවද ?” සුජාතා අසංකගෙන් විමසූවේ ආයාචනාත්මක බැල්මක් සහිතවය.

“නැත්නම් කිසි ගතියක් නෑනෙ සුජා!, මම ඉක්මනට එන්නම්.

“හ්ම්ම් එහෙනං ඉක්මනටම එන්න හොඳේ “

“ඒයි ඇයි උඹලා එන්නෙ නැද්ද?” නලින්ද කෑගැසුවේ ඔහු හා එක් වූවේ තිදෙනෙක් පමනක් බැවිනි.

“අපි ඕවට නෑනෙ, ඉහල උසාවියෙන් අවසර නෑ , අද බෑ වගේ!” නලින්දට පිලිතුරු කීපයක් ලැබිණි.

“අපෝ උඹලා නම්, ඔන්න අපි ගියා පස්සෙ ආරාධනා කලේ නෑ කියන්න එහෙම එපා”

ඉතිරි පිරිස අතින් ලහි ලහියේ දවල් කෑම පිළිවෙළ විය. හිඳෙන්නට උයා තිබූ පොලොස් ව්යංජනය තෙම්පරාදු කල පරිප්පු, සීනි සම්බෝලය, හා මාලු ඇඹුල් තියල් සුවඳ දැනෙන කල කාගෙත් කටට කෙල උනන්නට විය.

“එහෙනම් කමු නේද නිවෙන්න කලින්, කෝ මෙයාලට කී පාරක්  නම් කෝල් කලාද දැන් එනව දැන් එනව කියනවා”

“උන් ටික එන්න තව පැයක් වත් යයි., අපි කමු”

සුජාතා නොසන්සුන්ය, ඉවසිය නොහැකි තරම් බඩගිනිය.

“අසංක අනේ එන්නකො , ඔය මදෑ , මට බඩගිනියි හොඳටම දැන්,”

“හරි හරි සුජා දැන් එනවා, ඔයා කන්න.”

“සුජාතා එයාල එද්දි තව පරක්කු වෙයි, ඔයත් එන්න කන්න.” දම්මි පැවසූවේ සිය සැමියා කෑම ගෙන අවසන් වූ  පිඟානේම තමටත් කෑම බෙදා ගැනීමට යන අතරය.

“මම තව ටිකක් බලල එන්නම් දම්මි” සුජාතා පැවසූවේ බඩගින්න පරයමින් සිතේ ඇගී ආ හිස් හැඟුමින් යුතුවය.

“බබාටත් බඩගිනි ඇති දැන්” දම්මි පැවසීය.


අසංක ඇතුලු පිරිස පැමිනියේ සුජාතා පුතාට කවා අවසන් වන විටමය.
පරිසරයේ සීතල නිසා කෑම සියල්ල ඇල් වී හමාරය.
සුජාතා මුවින් නොබැන අසංකට කෑම බෙදාදී තමාත් බෙදා ගත්තාය. තිබූ බඩගින්න කොහේ ගියාදැයි ඇයට සිතේ.

ප්‍රමාද වූ පිරිසට අවලාද නගමින් යලි ගමන ආරම්භක විය.
සිසිල් දිය නෑමෙන් ලැබූ සැහැල්ලුව නිසාදෝ සුජාතාට තද නිදි මතක් දැනේ, ඇය සෙමෙන් අසංකට බර විය. වංගු සහිත මාර්ගයේ අපහසුව හා අසංක වෙතින් හමන මත්පැන් ගඳ සුජාතා වෙත ඔක්කාරය ඇති කරවයි. ඇය අකමැත්තෙන් වුවද අනෙක් පස වූ වෑන් රථයේ ජනේලයට හිස තබා ගත්තාය.

නුවරඑළියට ලඟා වන විට සවස පහත් පසුව තිබූ බැවින් හග්ගල යෑම අතහැර නවාතැන්පලට යාමට යෝජනා විය. 

නුවරඑලියට නුදුරුව පිහිටි මනරම් පෙදෙසක පිහිටා තිබූ නවාතැන්පොල වඩාත් නිදහස් හා නිස්කලංක ස්ථානයක් විය. බැස යන හිරුගේ ලා කහ පැහැති හිරු රැස් වැටීමෙන් ඉදිරිපසින් වූ තේ වගාවෙන් වැසුණු කඳුවැටිය අපූරයි දසුනක් මවයි.

පිරිස ඇඟපත සෝදාගෙන අවට සිරි නරඹන්නට විය. සුජාතාගේ සිතේ පැවති කනස්සල්ලද පරිසරයේ මිහිරියාව සමග තුනී වී ගියේය. කෙමෙන් රෑ බෝ වත්ම සීතලද වැඩි වන්නට ගත්තෙන් සැවොම නවාතැන්පල තුලට එකතු වූවේ රෑ කෑම පිළියෙල කිරීමටය. 

“අපේ කුක්ලගෙ හපන්කම් බලන්නත් එක්ක මෙන්න මේක හොඳට රෝස් කරල දෙන්න”
නලින්ද කුස්සියට එබිකම් කර පැවසීය.

“මරුනෙ, රෑ කෑමට රෝස් චිකන් ද?” දම්මි ඔහුගේ අභිලාෂය නොදන්නවා මෙන් ඇසුවේ ස්සමච්චලයට මෙනි.

“පිස්සු කතා අරන්න එපා ඔන්න ඕක රෝස් කරල මෙහෙට දෙන්න”

රෑ කෑම පිළියෙළ කිරීමෙන් පසු යෝජනාව වූවේ ගීයෙන් ගීය පැදුරු පාටියක් දැමීමටය.

“අන්න මැක්සා අයිඩියා එකක්, ඔයාල පටන් ගන්න අපි සිංදු වතුර ටිකක් දාගෙන එන්නම්”

අසංක පැවසූවේ සුජාතා දෙස හොරැහින් බලමිනි. සුජාතා රවාගෙනම ඉවත බලා ගත්තාය.
ගීයෙන් ගීය තරගකාරීව ජයටම කෙරීගෙන යයි, ජය පැරදුම කෙසේ වෙතත් එකිනෙකාගේ ගායන හැකියාවන් නම් හොඳින් ප්රදර්ශනය වන්නට විය. එයිනුත් කැපී පෙනුනේ සුජාතාගේ කටහඬය. අඩුපාඩුවට වූවේ යුග ගායනයට අසංක නොමැති වීමය. දම්මි නිරූපා ජයනි සියලු දෙනා සිය සැමියන් උණුසුමේ රැඳෙමින් හිදිනු දකින සුජාතාට සියුම් දුකක් දැනේ. ඇය සෙමෙන් පුතුගේ හිස සිඹ ගත්තේ එය මග අරින්නට වෙර දරමිනි.

“මොකක්ද මේ , අපි නැතුව කවුද යකෝ සින්දු කියන්නෙ ආ?”

තරමක් පදම් වැඩි වී සිටි නලින්ද කෑගසමින් පැමිනියේය. අසංක ඇතුළු අනෙක් අයටද කෙලීන් ඇවිදීම මදක් අපහසුව ඇති හැඩක් පෙනෙන්නට විය.

“හරි ඔන්න එහෙනම් මම පටන් ගන්නවා , හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ කලේ කලේ …..”

“අන්න එල,ඔන්න ඕවනෙ සින්දු” වැනෙමින් සිටි අසංකද එතනින් හිඳ ගත්තේය.

 ඉන්පසු ආරම්භ වූවේ කොමඩි සංදර්ශනයක්ය. මද වේලාවකින් එය අසභ්ය තත්වයට හැරෙන්නට වූ බැවින් එකා දෙන්නා ඉවත්ව ගියේ රෑ කෑම ගැනීමේ අදහසත් ඇතිවය. 



රාත්රිය අධික ලෙස සීතල වන්නට විය. සුජාතා පුතු තුරුල් කරගෙන අසංකගෙන් ඉවතට හැරී නින්දට වැටුනේ කේන්තියට වඩා මත්පැන් ගඳ ඉවසීමට අපහසු වූ බැවින්ය

”අම්මෝ ඔලු පැලෙන්න වගේ රිදෙනවා, සීතලට වෙන්න ඇති ” මැසිවිලි නගමින් උදෑසන අවදි වූ  අසංක හිරි ඇර ඇඳේ වාඩි විය.

සුජාතාගේන් ප්‍රතිචාරයක් නැත. 

“මොකෝ බුම්මගෙන, කෝ බලන්න මේ පැත්ත” අසංක සුජාතාව හරවා ගත්තාය. 



“මොකද මේ කඳුළු පුරෝගෙන” අසංක ඇසුවේ හේතුව නොදන්නවාට නොවේ.

“ඇයි ඔයා මේ ට්‍රිප් එක ආවෙ අසංක, ඔයාට යාලුවො ටිකත් එක්ක ගෙදර හිටිය නම් ඕන තරමක් බීල හොඳ ජොලියෙ ඉන්න  තිබ්බනෙ” සුජාතා පැවසූවේ නෝක්කඩු ස්වරයෙනි.

“හරි හරි බබා, ඔන්න ප්‍රොමිස් අද මම ඔයා කියන විදිහටම ඉන්නවා” අසංක පැවසූවේ සුජාතාට ඇත්තටම සිත රිදී ඇති බව දැනුනු බැවිනි. 

“බලමුකො කොච්ච්ර වෙලා පොරොන්දුව රකීද කියල.” සුජාතා මද සිනාවක් පා පැවසීය.


එදින පලමු නැවතුම වූවේ අඹේවෙල ගොවිපලය. එයින් පසු හෝර්ටන්තැන්න නැරඹීමට යෝජනා විය.
  අඹේවෙල සිට හෝර්ටන්තැන්න බලා යන අතරතුර තිබූ තැබෑරුමක් අසල වෑනය නතර කල නලින්ද 

“කිලෝමීටර් 7ක් 8ක් ඇවිදින්න තියෙනවනෙ ඊට කලින් අපිත් හීනියට පැට්රල් ටිකක් ගහ ගන්න එපැයි.” පවසමින් බැස ගත්තේය.

“ඒයි අසංකයා බැහැපන් , ඇයි උඹ එන්නෙ නැද්ද.”

“ඔලුව රිදෙනවා බන් උඹලා ගිහින් වරෙන්” අසංක පවසන විට සුජාතාට පුදුම සිතින. 

හෝර්ටන්තැන්නේ ඇතුල් වීම අසල වාහනය නැවතූ පිරිස නැරඹුම් පා ගමන ආරම්භ කිරීමට සූදානම් විය.

“අපි මේ ටික ඉවර කරලම එන්නම්” අවසන් අසුනේ සිටි නලින්ද පැවසීය.

පුතාව වඩා ගත්  අසංක අසලින් ගමන් ගත් සුජාතාට ඇත්තේ කිව නොහැකි සතුටකි. වෙනම රටක් දැයි සිතෙන තරමට පරිසරය ලස්සනය. අනෙක් අයගේ විහිලු තහලු අසමින් විනෝදයෙන් ගමනේ යෙදෙන අසංකට අමුතු මිහිරක් දැනේ. පුතුද අසංකගේ අතේ සිටින්නට වඩාත් කැමැතිය. අතේ සිටම සිනාසෙමින් උඩ පනින්නේ සතුට පිට කිරීමටය.  සුජාතාගේ සතුටද ඇයගේ සෑම ඉරියව්වකින්ම ඉස්මතු වේ යැයි අසංකට සිතේ. 



අසංක මෙතෙක් සිටියේ මිතුරන් හා මත්පැන් ටිකක් තොලගා ගැනීමට නොහැකි වීම ගැන කණගාටුවෙන් යුතුවය. නමුත් දැන් එය මගහැරීමෙන් ලැබෙන දේවල් බොහෝම යැයි ඔහුට සිතේ. පුංචි ලෝකාන්තය අසල හිඳ අවට බලමින් හොඳ හුස්මක් ගත් අසංකට තමා නිදහස්ව ඇති බවක් දැනිණි. තමා හා ගමනේ යෙදෙන අනෙක් මිතුරන් දෙස බලන විට හා ඔවුන් විදින විනෝදය දකින විට තමා සිරවී සිටියේ කෙතරම් මිරිඟුවකදැයි අසංකට සිතේ.

කිලෝමීටර් 9ක් පමණ ඇවිද්ද මුත් කිසිවෙකුට විඩාවක් ඇති බවක් දැකිය නොහැකි විය.
පැය තුනක් පමණ වෙනම රටක සිටියාක් මෙනි.

“මෙන්න මුන් ටික වෑන් එකේ නිදි!”

“අහ් උඹල ගිහිල්ලත් ආවද, අපිට කම්මැලි හිතුන. අනික ඔය කැලෑවෙ මොනව කියල බලන්නද. අඩෝ අසංක උඹ හිටියෙ නෑනෙ, අපි පට්ට ෆන් එකක් ගත්තා.” නලින්ද නැවතුමක් නැතුව කියවයි.

“හැබෑට! ෆන් එක වැඩි වෙලාද මෙතන වමනෙ දාල තියෙන්නෙ, දැන් ඉතින් වෑන් එක හෝදන්න වෙනවා ඔක්කොටම කලින්” රේනුකා පැවසූවේ කේන්තියෙන් යුතුවය.

තමාද සතුට යැයි සිතා සිටියේ මේ අප්රසන්න ජීවිතයදැයි අසංකට දැන් සිතේ.

ආපසු එන ගමන පුරාවට සුජාතාට ඉමහත් සතුටක් ගෙන දෙන්නක් විය. මග පසු වන බොහෝ දේ පෙන්වමින් අසංක දොඩමළු විය. 

“සුජා ඊයෙ දවස ගැන මට අපරාදෙ කියල හිතෙනවා, ඔයාටයි තෑන්ක්ස් කරන්න ඕනෙ මට ඇත්තටම ට්රිප් එක එන්ජෝයි කරන්න පාර පෙන්නුවට .”

සුජාතා කිසිත් නොකියා අසංකගේ උරහිසකට බර වූවේ ඔහුගේ අතක් සුරතින් ගනිමිනි. පුතු අසංකගේ උකුලේ හිඳ නොනවත්වා ගීයක් වරද වරදා ගයන්නට දඟලයි. ඒ ඇසූ ස්ජාතා හා අසංක දෙදෙනාටම එකවර සිනා පහල විය. අසංක ඇය වටා අතක් යවා තවත් තමා වෙත ලං කර ගත්තාය.

මීට වඩා තවත් සතුටක් තිබේද අසංකට සිතිනි.


Saturday, June 21, 2014

ඕනෑම ඩ්‍රයිවරයක මෘදුකාංගය පහසුවෙන් සොයාගන්න (Driver Software Downloader)


කාලයක සිට බොහොම උපකාරී වුන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. 
වයිරස් වලට ලක් වීමක් නිසා හෝ පරිගනකයේ කුමනකාරයේ දෝශයක් ඇතිවීමකදී අපට එහි දෘඩ තැටිය (Hard Disk) ෆෝමැට් කර නැවත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. මෙහිදි  අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි පරිගනකයේ සමහර දෘඩාංග (Hardware) ක්‍රියාක්‍රිමට අවශ්‍ය එම දෘඩාංග වලට අදාල මෘදුකාංග සොයාගත නොහැකි වීම. එවිට නිසියාකාර දැනුමක් නොමැතිව අනුමාන කර නිවරැදි මෘදුකාංගය සොයා ගැනීම ඉතා අසීරු කාර්‍යයක් වනවා. අවසානයේ සිදු වන්නේ පරිගනකය පැත්තකට දැමීම හෝ වංචනිකයන් හට අධික මුදලක් නාස්ති කර දැමීමයි.

මෙම ගැටලුවට මම දන්න පරිදි හොඳම විසඳුම තමයි Driver Robot මෘදුකාංගය. ඉතා සුලු පරිගණක දැනුමක් ඇති අයෙකුට වුනත් මේ මගින් පහසුවෙන් අදාල මෘදුකාංග සොයා ගැනීමට පුලුවන්.
Driver Robot මෘදුකාංගය පහත යොමුවෙන් භාගත කර ගන්න.

Driver Robot V2.5

සාමාන්‍යය මෘදුකාංගයක්  ස්ථාපිත කර ගන්න ආකායෙන් මෙය පරිගනකයේ ස්ථාපිත කර ගන්න. (අවශ්‍යය අනුක්‍රමික අංකයද මෘදුකාංගය සමග සපයා ඇත. දැන් බලමු මෙය ක්‍රියා කරන ආකාරය.

1. පරිගනකය scan කරන්න.



මෙයින් පරිගනකයේ සියලු දෘඩාංග හඳුනා ගැනෙන අතර ඒවාට අදාල මෘදුකාංග පරිගනකයේ ස්ථාපිත වී ඇත්ද යන්නද මෙයින් හදුනා ගනු ලැබේ. ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටී නම් ඔබට අවශ්‍යය මෘදුකාංග අන්තර්ජාලයේ ඇති තැන් සොයා ඒවා බාගත කරගැනීමේ හැකියාවද ඔබට ලබාදේ.





ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී නොමැති විට වුවද ගැටලුවක් ඇති නොවේ. Scan වීම අවසානයේ ඔබට HTML ෆයිලයක් ලබාදේ. 

එය Pen drive එකක save කරගෙන අන්තර්ජාල පහසුකම ඇති පරිගනයක විවෘත කරගන්න. 


ඒමගින් අවශ්‍යය මෘදුකාංග බාගත කරගත හැකි වෙනවා.




මීට අමතරව කල් ඉකුත් වූ මෘදුකාංග යාවත් කාලින කර ගැනීමද මෙමගින් සිදු කර ගත හැකි වනවා.

එහෙනම් මෙම Drive Robot මෘදුකාංගය උපයෝගී කරගෙන ඔබගේ පරිගනකයේත් දෘඩාංග වලට අදාල මෘදුකාංග ගැටලු විසඳා ගන්න. 

Sunday, September 29, 2013

උණ වලිප්පුව දරුණු රෝගී තත්වයක්ද? ( Febrile Convulsions )


නන්දාවතී උදෑසනම අවදි වූවේ සිය දියණියගේ අටමස් වියැති පුතුට බැඳි හාල් කැඳ පිළියෙල කිරීමටය.
ඒ පෙර දින රාත්‍රියේ දී දරුවාට හිස ගිණියම් වන්නට උණ ගැනී තිබූ බැවිනි.
මොහොතකින් ඇයට ගේ තුලින් දියණිය බෙරිහන් දෙනු ඇසිණි,

"අනේ අම්මේ ඉක්මණට එන්නකෝ පුතාට මොකක්ද වෙලා"

හණික ගෙය වෙත දිව ගිය නන්දාවතීට දැකිය හැකි වූවේ ඇස් උඩ තබා ගෙන ගැහෙමින් සිටින දරු සිඟිත්තාය. කලබල වූ ඇයද කෑගසන්නට විය.

ඒ හඬට නිවැසියන්ද, අහල පහල අයද සැනෙකින් එතැනට රොක් වන්නට විය.
නන්දාවතී දරුවා බදාගෙන හඬයි, දරුවාද දිගින් දිගටම ගැහෙමින් සිටී, කටෙන් වැගිරෙන කෙළ එකතු වී ගොර ගොර හඬක්ද නැගෙයි.

වට වී සිටින අය විවිධ මත පල කරන්නට විය.

"දරුවට උණ වලිප්පුවද කොහෙද!"

"ඉක්මනට කටට යකඩ හැන්දක් දාහල්ල දත කට පූට්ටු වෙන්න කලින්!"

"අතටත් යකඩයක් දුන්නා නම් ඉක්මනට ඕක නතර වෙයි!"

මෙවන් විවිධ ප්‍රතිකර්ම අතරින් ගැස්ම පැය භාගයක් පමන වන තෙක් පවතින්නට විය.

"කවුරු හරි ඉක්මනට ගිහින් වාහනයක් හොයාගෙන වරෙල්ලා"

නන්දාවතීගේත් දියණියගේත් විලාපය වැඩි වන්නට විය.

සුලු වේලාවකින් පැමිණි ත්‍රීරෝද රථයෙන් දරුවාව ලඟම තිබූ රෝහල වෙත රැගෙන යන ලදී.

වාට්ටුවට ගෙන එන විටත් ගැහෙමින් සිටි දරුවා ක්ෂණිකව වෛද්‍යය අවධානයට යොමු විය. මූලික පරීක්ෂා කිරීම් වලින් පසු ලබා දුන් ඖෂධ මගින් විනාඩි කිහිපයකින් දරුවාගේ ගැස්ම නතර විය.

නන්දාවතීට හුස්ම ටිකක් වැටුනේ ඉන්පසුවය

 ~ ~ ~ ~ ~ ~ * * * *  ~ ~ ~ ~ ~ ~

ඉහත සඳහන් සිදුවීමේන් පෙන්නුම් කලේ උණ වලිප්පුව සෑදුන දරුවෙකු පිළිබඳව හා එම දරුවාගේ දෙමව්පියන් ඥාතීන් එම අවස්ථාවේ ක්‍රියා කල අකාරයයි.

උණ වලිප්පුව ( Febrile Convulsions ) යනු උණ ඇති විට සමහර කුඩා දරුවන්ට ඇතිවන ගැස්මය (Fit). 

එය ඇති වන අකාරය සලකා බැලුවහොත්,

ශරීර උෂ්ණත්වය ඉහල යාම බොහෝ ආසාද වලදී සුලබව දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. සාමාන්‍යය ශරීර උෂ්ණත්වය වන 37 0c ට හැඩ ගැසී ඇති අප ශරීරයේ සෛලයන් උෂ්ණත්වය ඉහල ගිය විට විවිධ සංකූලතා පෙන්වීමට පටන් ගනී.

සම්පූර්ණ පරිනත බවට පත් නොවූ ළමා මොලයේ ස්නායු සෛලයන්ද උෂ්ණත්වයේ වෙනස්කම් වලට ඉතා සංවේදීය. එම නිසා එම සංකූලතාවල ලක්ශණයක් ලෙස සිරුරේ ඇති වන ගැස්ම (වලිප්පුව / fits) හඳුනා ගත හැක.

මාස 6 සිට අවුරුදු 5 දක්වා වයසැති දරුවන් හට උණ සමඟ ඇතිවන ගැස්ම උණ වලිප්පුව ලෙස හඳුන්වයි. මෙය වර්හ දෙකකට වෙන් කර දැක්විය හැක.

1. සරල උණ වලිප්පුව (Simple Febrile Convulsions)
2. සංකීර්ණ උණ වලිප්පුව. (Complex/Atypical Febrile Convulsions)

1. සරල උණ වලිප්පුව (Simple Febrile Convulsions)


මෙය අනතුරු දායක බව ඉතාමත් අල්ප එතරම් බියට පත් විය යුතු නැති තත්වයකි. මෙම සරල උණ වලිප්පුව හඳුනා ගත හැකි ලක්ෂණ මෙසේ දැක්විය හැක.

1. උණ සෑදී පළමු පැය 24 තුල ඇති වූවක් වීම.

2. ගැස්ම විනාඩි 15 කට වඩා අඩු වේලාවක් පැවතීම.

3. පැය 24ක් තුල ගැස්ම එක් වතාවක් පමණක් ඇති වීම.

2. සංකීර්ණ උණ වලිප්පුව (Complex/Atypical Febrile Convulsions)


ඉහත සඳහන් කල කරුණු 3 ඉක්මවා යන අවස්ථා මේ කොටසට අයත් වේ.

එනම්, උණ සෑදී පැය 24ක් ඉක්මවා ඇත් විට ගැස්ම ඇති වීම, ගැස්ම විනාඩි 15 කට වඩා වැඩි වේලාවක් පැවතිම හෝ පැය 24ක් තුල ගැස්ම එක් වතාවකට වඩා වැඩී වාර ගණනක් ඇති වීම, ගැස්ම සිරුරේ පැත්තක් පමණක් හෝ සිරුරේ එක් කොටසක (එක් අතක්, කකුලක් හෝ කට පැත්තට යාම ) පමණක් ඇති වීම.

මෙම ලක්ෂණ සහිතව ගැස්ම ඇති වූවේ නම් අනිවාර්‍යයෙන්ම දරුවා රෝහලක් වෙත රැගෙන යා යුතුමය.

මක් නිසාද ඉහත ලක්ෂණ ඇති විට මොලයට කිසියම් විශබීජයක් ඇතුලු වී ඇත්දැයි සොයා බැලිය යුතු බැවිනි.

කෙසේ වුවත් ඉහත සඳහන් ලක්ෂණ පෙන්නුම් කලද බොහෝ සංකීර්ණ උණ වලිප්පු තත්වයන්ද අවදානම් රහිත වර්ගයට අයත් වේ.

උණ වලිප්පුව ඇති වූ අවස්ථාවක ක්‍රියා කල යුත්තේ කෙසේද?

1. කලබල නොවන්න (Don't panic
දරුවෙකුට අසනීපයක් සෑදුන විට කලබලයට පත් වීම සාමාන්‍යය දෙයක්. නමුත්,ඉන් දරුවාට ඉක්මන් සුවයක් ලබා දීමට උදව්වක් වන්නේ නැහැ.
අවශ්‍යය වන්නේ කලබලයට පත් වී දරුවාව බදාගෙන සිටීම නොවෙයි. බුද්ධිමත්ව ඉක්මනින් ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමයි.

2. ගැස්ම ආරම්භ වූ වේලාව මතක තබා ගන්න.

3. දරුවාව ඇඳක් මත හෝ වෙනත් ආරක්ශා සහිත මතුපිටක් මත තබන්න, අනතුරු විය හැකි දෑ අසල ඇත්නම් ඒවා දරුවාගෙන් ඈත් කරන්න.

4. දරුවාව පැත්තකට හරවන්න (වම් ඇලයට හෝ දකුණු ඇලයට ). ගැස්ම ඇති විට මුඛයෙන් කෙල වැගිරීම සාමාන්‍යය දෙයකි. නමුත් මෙහි ඇති අනතුරුදායක් තත්වය වන්නේ එම කෙල ශ්වසන මාර්ගයට ඇතුල් වීමේ අවධානමයි. (ඉන් පෙනහලු ආසාදනයට පත් වීම සිදු විය හැක - Aspiration Pneumonia )  දරුවා ඇලයට හරවා මුඛයෙන් වැගිරෙන කෙල ඉවතට වැගිරෙන ඉරියව්වක තැබීමෙන් මෙම තත්වය වලක්වා ගත හැක.

5. කිසිම විටක දරුවාගේ අතට යකඩ හෝ වෙනත් කිසිඳු ද්‍රව්‍යයක් ලබා දෙන්න එපා.

6. කිසිම විටක ගැස්ම ඇති විට දරුවාගේ මුඛයට කිසිවක් ඇතුල් කරන්න එපා (මුඛයට යකඩ හැඳි හෝ ලී කැබලි තැබීම වැනි මිත්‍යා විශ්වාස අනුගමනය නොකරන්න. ඉන් මුඛයට හානි වීම, දත් කැඩී යාම වැනි අනතුරු සිදු විය හැක )

7. දරුවාගේ ඇඳුම් ඉවත් කරන්න.

8. දරුවාව තෙමන්න.
සාමාන්‍යය කාමර උෂ්ණත්වයේ ජලය මේ සඳහා පාවිච්චි කරන්න (ශරීර උෂ්ණත්වයට සමාන නම් වඩාත් සුදුසුයි ) රෙදි කැබැල්ලක් ආධාරයෙන් සිරුර හොඳින් තෙමන්න. දරුවාට කැස්ස හෝ හෙම්බිරිස්සාව ඇත්නම් පපුව හා පිට තෙමීමෙන් වලකින්න.

9. මිනිත්තු 10 කට වඩා ගැස්ම පැවතුන හොත් ලඟම ඇති රෝහල වෙත දරුවාව රැගෙන යන්න. එසේ රැගෙන යාමේදී දරුවා උඩු අතට වඩා ගෙන යාමෙන් වලකින්න. ඇලයට හැරවී සිටින ලෙස ආරක්ශිතව රැගෙන යන්න.

10. එක් වරක් උණ වලිප්පුව වැලඳුන දරුවෙකු නම් යළිත් ශරීර උශ්නත්වය ඉහල යන අවස්ථාවල උෂ්ණත්වය පාලනයට ඉක්මන්ව ක්‍රියා කරන්න.

  • උණ කටුවක් ගෙන උණ මනින ආකාරය ඉගෙන ගන්න.
  • නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් පැය 6කට වරක් ලබා දෙන්න.
  • ඇඟ තෙමීම මඟින් උෂ්ණත්වය අඩු කරන්න.


උණ වලිප්පුව යනු බියට පත් විය යුතු රෝගී තත්වයක් නොවේ. උණ වලිප්පුව ඇති වූ දරුවන්ගෙන් 99.9%කටම මොළයට හෝ අන් අවයව වලටද කිසිඳු ආබාධයක් ඇති නොවේ. කල යුතු හොඳම ප්‍රතිකර්මය, දරුවා පිලිබඳ අවධානයෙන් සිට යන්තම් උණ සෑදීගෙන එන විට උෂ්ණත්වය පාලනය කර නැවත නැවත උණ වලිප්පුව සෑදීම වලක්වා ගැනීමයි.


Sunday, May 19, 2013

කෙටි විරාමයකට අවසර


ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.
වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.

ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.
හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.
කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.
සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොග් ලිවීමට හා කියවීමට තමයි බලාපොරොත්තුව.

එහෙනම් ඉතින් ඔයාල හැමෝටම සුවෙන් සතුටෙන් ආදරෙන් පිරුණු වාසනාවන්ත දිවියක් පතනවා!

~ ගිමන් නිවන්නා ~


Monday, May 13, 2013

ප්‍රතිප්‍රහාරය (විද්‍යා ප්‍රබන්ධය )



"මහත්තයව හම්බවෙන්නෙ කවුද ඇවිත්"

"කවුද මේ වෙලාවෙ?
කියවමින් සිටි ලිපියෙන් ඇස්  ඉවතට ගනිමින් ජයදේව ඇසීය. 

"අනේ මන්දා, ටයිකෝට් දා ගත්ත කට්ටියක්"

"හොඳයි මම එන්නම් කියන්න"

"ගෙදරකට එන වෙලාවක්ද මේක, රෑ 12ටත් වෙලා" ඔහු හනික අමුත්තන් ඉදිරියට යාමට සුදුසු ඇඳුමක් හැඳ ගනිමින් සිතීය.

සාලයට පැමිණි ඔහුට දැකගත හැකි වූවේ හොඳින් හැඳ පැලඳ ගත් විදේශිකයන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයෙකි.

"සමාවෙන්න මහාචාර්‍යතුමා මේ වෙලාවෙ කරදර කරන්න වුනාට, මම රාජ්‍ය ආරක්ශක අංශයේ ඉහළ නිලාධාරියෙක්" ශ්‍රී ලාංකිකයා හැඳුනුම්පතක් පාමින් පැවසීය.

"මේ අන්තර්ජාතික රහස් ව්‍යාපෘතියක මෙහෙයුම් නිලධාරීන් දෙදෙනෙක්, ඔවුන්ට ඔබතුමාගෙ සේවය අවශ්‍ය වෙලා තියෙනවා. ඉතා හදිසි කාරණයක් නිසා ඔබතුමාට දැන්ම ඔවුන් සමඟ පිටත් වෙන්න වෙනවා"

ජයදේවා සිනාමුසුව විමසුම් ඇසින් බැලුවේ මෙය කිසියම් විහිලුවක්දෝ යන ප්‍රශ්නාර්ථ බැල්මෙනි. නමුත් ඔහුන්ගේ මුහුණු වල තිබූ බැරෑරුම් පෙනුමෙන් ඔහුට පිළිතුරු ලැබිණ.

"හොඳයි අත්‍යාවශ්‍යය දෙයක් නම් මම එන්නම්. ඉන්න මම ලෑස්ති වෙන්නම්"

"කරදර වෙන්න එපා මහාචාර්‍යතුමා අපි එවා ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ. අපි දැන්ම පිටත් වෙමු" නිලධාරියා නැගී සිට ජයදේවගේ අතින් අල්වා ගනිමින්  පැවසූවේ පැහැරගෙන යාමට සමාන අයුරක් පාමිනි.

ඔවුන් සමඟ මිදුලට පැමිණි ජයදේවට දැකිය හැකි වූවේ දැඩි ආරක්ශාව යෙදවූ නවීන පන්නයේ මෝටර් රථ පෙලකි. ඒ ගැන සිතීමටත් පෙල රථපෙල ජයදේවද ගෙන ඉගිලුනේ පොලිස් සයිරන් හඬ නගමිනි. පැයක් යන්නට මත්තෙන් ගුවන්තොටුපොලට පැමිණි ඔවුන් කිසිම විමසීමක් නොමැතිව ඔවුන්ටම වෙන්වූ ගුවන් යානයක් වෙත ලඟා විය. ඔවුන් එයට ගොඩ වූ වහාම ගුවන්යානය ගමන් ඇරඹීය.

මේ වන විට ජයදේව සිටියේ කෙන්තිය මුසුවූ නොඉවසිල්ලෙනි.
ඒ සමඟම ඉහල නිලධාරියෙකු යැයි සැක කල හැකි තරුණ කාන්තාවක් ඔහු සිටි කුටියට ඇතුලු විය.

"මොකක්ද මේකෙ තේරුම? මේක පැහැර ගැනීමක්!"
ජයදේව තදින් පැවසූවේ සිය කේන්තිය පිට කිරීමටය.

"සමාවෙන්න මහාචාර්‍ය ජයදේව, කාලය ඉතාමත් සීමිත නිසා මේ ආකාරයෙන් කටයුතු කරන්න වුනාට. මම ආවේ ඔබතුමාට සියලු කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න."

මෙසේ පවසමින් තමා ඉදිරියේ තිබූ සෝපාවෙහි හිඳ ගත් ඇය දෙස ජයදේව විමසුම් ඇසින් බලාසිටියේ මෙම පැහැර ගැනීමට සධාරණ හේතුවක් බලාපොරොත්තුවෙනි.

"මම ආන්යා, ජීව විද්‍යාව පිලිබඳ විද්‍යාඥවරියක්. වසර තුනකට පෙර මම ඇමෙරිකානු පර්යේෂණ ආයතනයක සම්බන්ද වුනා. අපි පර්යෙෂණ කලේ මීට වසර අටකට පෙර මෙක්සිකෝවට කඩා වැටුන උල්කාපාතයක් පිලිබඳව.
ඇත්තටම එය උල්කාපාතයක් නොවෙයි, අභ්‍යවකාශ යානයක්.
එය තුලින් අපිට ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු හමු වුනා.
කුමක් හෝ හේතුවක් නිසා එම සිරුරු සුරක්ශිතාගාරය තුලදී ඉටි වැනි අර්ධ ද්‍රව තත්වයකට පත් වුනා. එම නිසා අපිට ඔවුන් ගැන වැඩි දුර පරීක්ෂා කරන්නට අවස්තාවක් නොමැති වුනා.

ඉන්පසු අපේ සම්පූර්ණ අවධානය යොමු වුනේ ඔවුන්ගේ යානය හා එහි තිබු ද්‍රව්‍ය වලට. එහි තිබූ ඔවුන්ගේ ලේඛන යැයි සැක කල හැකි දෙයක් හමු වුනා. වසර ගණනක විශ්ලේෂණ වලින් පසු එලි කර ගත හැකි වූ කරුණු ඉතා දරුණු වුනා. ඔවුන්ගේ ඒ ගමන මිතුරු හමුවක් නොවෙයි! ඔවුන් ඔත්තු කරුවන් නැත්නම් ආක්‍රමණයක පෙර පුහුණුවක්. මොවුන්ගේ අරමුණ පෘතුවියේ ජීවීන් සමූල ඝාතනය කර පෘතුවිය අල්වා ගැනීම. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්න යන්නේ විශ වායුවක්.

අපි ඒ ලේඛණ වටහා ගත් ආකාරයට සැක කලේ එම ආක්‍රමණය සඳහා මෙයින් වසර 50ක කාලයක් ඇති බව ඔවුන්ගේ කාලසටහනට අනුව. නමුත් අපි වැරදීමක් සිදු වෙලා. ඔවුන් දැනටමත් අපි ආසන්නයට ඇවිත්. මීට දින දෙකකට පෙර ඔවුන්ගේ යානා හදුනා ගනු ලැබුවා. ඔවුන් පැමිණෙන වේගයට අනුව අපිට ඇත්තේ මාස තුනකටත් වඩා අඩු කාලයක්"

මේ සියල්ල අසා සිටි ජයදේව හුස්මක් ගෙන කල්පනා කලේ තමා මෙතෙක් අසා සිටියේ සුරංගනා කතාවක්දෝ කියාය.

"හොඳයි දැන් මගෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද, ඔය පිටසක්වල යානා, ජීවීන් ගැන නම් බොහොම දුර්වල දැනුමක් තමයි මට තියෙන්නෙ" 

එයට මඳ සිනහවක් පල කල ආන්යා. 
"මෙම ජීවින්ගේ අරමුණ හඳුනා ගත් සැනෙන් අපි මේ ගැන රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් දියුණු රටවල් සමඟ කතා කලා. ඊට පසු අපි පෘතුවිය හා ජීවීන් රැක ගැනීමට රහස් ව්‍යාපෘතියක් ආරම්භ කලා.
කෙටියෙන් පැවසුවහොත් අපි කරන්න යන්නෙ භූගත කුටි ඉදි කර ඒවාගේ රැකවරණය ලබා ගැනීම.

"මොකක්? ඔය අදහස ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙයක්ද?

"දැනටමත් එය කෙරෙමින් පවතිනවා, හදිසියේ කාලය හරස් වීම තමයි ගැටලුව වූවේ"


මෙම සංවාදය අවසන් වන විට ඔවුන් ඇමෙරිකාවට ලඟා වී තිබිණ. පැය කීපයක් ඇතුලත භූගත රහස් පර්යේෂණ මූලස්ථානය වෙත ඔවුන් ලඟා විය.

ජයදේව විස්මයට පත් වූවේ එය තුලට ඇතුල් වූ විටය. එය භූගත නගරයකට සමාන විය. සූක්ෂමව ඉදිකර තිබූ දැවැන්ත ශාලා තුල විවිධාකාරයේ නිශ්පාදනයන් සිදු වෙමින් පැවතින.
අවට නරඹමින් ජයදේව එහි පාලන මූලස්ථානයට පැමිණියේය.

විශාල සාකච්ඡා මේසයක හිඳ විවිධ ජාතීනට අයත් බුද්ධිමත් පෙනුමෙන් යුතු සියයකට අධික පිරිසක් එහි සිටිනු දැකිය හැකි විය.
ජයදේව එයට ඇතුලු වූ සැණින් සාකච්ඡා මේසයේ මුලසුන හෙබවූ තැනැත්තා නැගිට සභාව නිහඬ කරවා ජයදේව පිලිගත්තේය.

"නියම වෙලාවට ඔබ පැමිණියේ මහාචාර්‍යයතුමා, මම අන්සොව් වොරොනින්, ජීව විද්‍යාව පිලිබඳ රුසියානු විද්‍යාඥයෙක්. අපි ඉන්නෙ ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා. පෘතුවිය තුල මිනිසාගේ පැවත්මට විශාල අභියෝගයක් ලඟ ලඟම පැමිණෙනවා.
මම හිතනවා ඔබ දැනටමත් අපේ අරමුණ දන්නවා ඇති කියලා.  ඒ සැලසුමට අනුව මිනිස් වර්ගයා භූගත රැඳවුම් කුටි වලට යැවීමේදීදී ඔවුන්ට අවශ්‍යය ඔක්ෂිජන් හා ආහාර පෘතුවිය මතු පිටින් ලබා ගත නොහැකියි. එවා පොළව තුලදීම නිපදවිය යුතුයි. නමුත් ඒ සඳහා අපි යෝජනා කරගෙන සිටි සැලසුම් කිසිවක් ක්‍රියාත්මක කිරීමට කාලය නැහැ.
මෙහිදී තමයි අපිට ඔබගේ කල්පිතය ප්‍රයෝජනවත් වෙන්නෙ.

ජයදේව විස්මයටත් තැති ගැන්මටත් පත් විය.
මිනිස් සිරුර පූර්ණ නිර්වින්දනයට ලක් කර, සියලු ජෛව ක්‍රියාවලි අවම ක්‍රියාකාරිත්වයට පත් කල හැකි රසායනිකයක් ගැන ඔහු මාස කීපයකට පෙර ලිපියක් පල කලේය. එය මෙතරම් අවදානයක ලක් වී ඇතැයි ඔහු නොසිතුවේය.

"ඇත්තෙන්ම මම සතුටු වෙනවා මගේ කල්පිතයෙන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි වීම ගැන. නමුත් ඒ කල්පිතය කෙතරම් දුරට ප්‍රායෝගිකදැයි මට සහතික වෙන්න බෑ."
ජයදේව පැවසූවේ සියලු දෙනාහේ බැල්ම ඔහු වෙතට ගනිමිනි.

"ඒක ගැටලුවක් කර ගන්න එපා, ලෝකයේ හොඳම ජීව විද්‍යාඥයන් මෙහි සිටිනවා. ඔබ සිතනවාට වඩා බොහෝ ඉහල තාක්ෂණික පහසුකම් මෙහි තිබෙනවා. මම හිතනවා මාසයක් ඇතුලත ඔබේ කල්පිතය ප්‍රායෝගිකත්වයට හරවයි කියා. එමගින් වසර ගණනාවක් මිනිසුන් අවම ඔක්ෂිජන් හා ශක්ති වැය වීමක් සහිතව නිද්‍රාගතව තබා ගන්න පුලුවන් වේවි පෘතුවිය මතු පිටින් විශ වායූන් ඉවත් වන තුරු"

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

මසක් ගත වීමට පෙර ජයදේව සාර්ථකව සිය කල්පිතය සැබෑවක් බවට පත් කලේය. බොහෝ දෙනෙක් තුල පැවති අවිනිශ්චිත බව දුරු වූවේ ඉන්පසුවය.
නමුත් ජයදේවගේ සිතෙහි නම් දහසක් ගැටළු පැවතින. ඒ සියල්ල නිරාකරණය කර ගැනීමට හැකි වූවේ මෙහෙයුම් ප්‍රධානියා ඔහුට ස්තූති කිරීමට පැමිණි මොහොතේය.

"සමාවෙන්න මෙහෙම ඇහුවට, ඔබ මෙහි සූදානම් කරන භූගත කඳවුර ලෝකයේ සියලු දෙනාට ප්‍රමාණවත් නැහැ නේද?"

ප්‍රධානියා ජයදේවට මද සිනහවක් හෙලුවේය.
"ඇත්තෙන්ම නැහැ, ඔබ නොදන්නවා වුනාට එක් එක් කලාපයට වෙන වෙනම භූගත කඳවුරු ඉදි කෙරෙනවා. දැනටමත් බොහොමයක වැඩ අවසන්"

ජයදේවට එය යම් සැහැල්ලුවක් ගෙන දෙන්නක් විය.

"මට තාමත් අපහැදිලියි ඔබේ සැලැසුම, ඇයි අපිට බැරි මෙම ජීවීන්ට අභ්‍යවකාශයේදීම ප්‍රහාර එල්ල කර පලවා හරින්න"

"ඇත්තෙන්ම අපි පහර දෙනවා, දැනටමත් දැවැන්ත න්‍යශ්ටික ආයුධ අපි නිපදවා තිබෙනවා. නමුත් ඔවුන්ගේ යානා ඉදි කර තිබෙන මූලද්‍රව්‍යය අත්භූත ජනකයි. මෙක්සිකෝවට ඇද වැටුන යානය අපි ලක් කල සෑම ඔරොත්තු දීමේ පර්යෙෂණයකටම සාර්ථකව ඔරොත්තු දුන්නා.
"නමුත් රුසියාවට ඇද වැටුන යානයට එතරම් ඔරොත්තු දීමේ හැකියාවක් තිබී නැහැ. ඒ වගේ එහි සිටි නියමු ජීවීන්ද හමු වී නැහැ, යානය තුල තිබී දිය වී ගිය සිරුරු කොටස් පමණක් හමු වී තිබුණා." "අපිට අවදානමක් ගන්න බෑ, එම නිසා තියන හොඳම විසඳුම තමයි වාඩත් ආරක්ෂාකාරී සැඟවීමක් සැලසුම් කරන එක."

"ඉතින් ජයදේව මහාචාර්‍යතුමා ඔබේ වැඩ කොටස සාර්ථකව ඉටු කලා. ඔබට බොහොම ස්තූතියි. තව සතියකින් පමණ අපි මිනිසුන් කුටීර තුලට යැවීම ආරම්භ කරනවා. අවශ්‍යය නම් ඔබට ඔබේ කලාපීය රැඳවුම්පලට යන්න පුලුවන්"

ජයදේව මදක් කල්පනා කලේය, 
"මම කැමතියි ඉදිරියටත් ඔබ සමඟ එකතුව මෙම උවදුරෙන් ගැලවීමට ඔබට කල හැකි උපකාරයක් කිරීමට"

"ගොඩක් ස්තූතියි ඔබට, එය විශාල උදව්වක්!"

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

තවත් මාස දෙකක් යන්නට මත්තෙන් සියලු දෙනා බලාපොරොත්තු වූ දිනය උදා විය. දහස් ගණන් වලින් පැමිණි සිලින්ඩරාකාර හැඩැති අභ්‍යාවකාශ යානා පෘතුවිය වටා සැරිසරන්නට විය. 
ඔවුන් වෙත එල්ල කල සෑම ප්‍රහාරයක්ම ව්‍යර්ථ කිරීමට ඔවුන් සමත් වූවේ එම යානා වල පැවති සුපිරි ගනයේ ඔරොත්තු දීමේ හැකියාව මගිනි.

මිනිසාගේ අවසන් තුරුම්පුව වූ න්‍යශ්ටික අවි වලින් ඔවුන්ගේ යානා යලි අභ්‍යවකාශායට විසිකර දැමීමට සමත් වුවද ඒවාට හානියක් කිරීමට තරම් හැකියාවක් නොවීය.

සිතූ පරිදිම අවසානයේ ඔවුන් ප්‍රහාරය ආරම්භ කලෝය. නමුත් බලාපොරොත්තු වූ විශ දුමාරයක් නොව එය ගිනි දුමාරයක් විය. ලෝහ පවා සැනින් උණු වී යන ඔවුන්ගේ ගිනියම් වූ වායු ප්‍රහාරය හමුවේ මිනිස් අවි ආයුද සෙල්ලම් බඩු වැනි විය.

ඉතිරි හමුදා භූගත කඳවුරු වලට කැඳවා ගත් පසු මිනිසාගේ එකම ගැලවීම වූවේ සැඟවී සිටීමය.

සිදුවන සංහාරය දුටු ජයදේවට මිනිස් වර්ගයාගේ අනාගතය ගැන සැක පහල වන්නට විය. මොවුන් කවදා පෘථුවිය මතින් යාවිද? නැත්නම් ඔවුන් මෙහිම ජනාවාස ඉදි කර ගනීවිද?

මෙම සිතුවිලි අතර වෙහෙසෙන අතර ඔහුගේ ඇස යොමුවී තිබුනේ සතුරු යානා සලකුණු කර තිබූ ලෝක සිතියම වෙතය. ඔහුට එහි රටාවක් දැකිය හැකි විය.
වඩාත් විමසිල්ලෙන් බැලූ විට ඔහුට පෙනී ගියේ ජීවීන් වැඩි වශයෙන් රැඳී සිටින්නේ මෙක්සිකෝව, බ්‍රසීලය, ලිබියාව, මැදපෙරදිග, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශ වල බවය.

මෙහි කුමක් හෝ විශේෂයක් තිබිය යුතුය. මඳ වේලාවකින් ජයදේවගේ හද ගැස්ම වැඩි වන්නට විය. ඒ හදිසියේ සිතට නැගුන අදහසක් නිසාවෙනි.

"ඔව් ඔවුන් රැඳී ඉන්නෙ උනුසුම වැඩි ප්‍රදේශ වල," ඒ සමඟ එකින් එක තවත් කරුණු සිහියට නැගෙන්නට විය.

එසැණින් ජයදේව ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වෙත දිව ගියේය.

"මම හිතන්නෙ ඔවුන්ගේ දුර්වල ස්ථානයක් තිබෙනවා"

සියලු බලාපොරොත්තු කඩ වී සිටි සියලු දෙනා ජයදේව වෙත හැරුණේ එතරම් විශ්වාසයකින් තොරවය.

"හිතල බලන්න, මෙක්සිකෝවේදී හමුවූ සිරුරු සුරක්ශිතගාර වල අධිශීතකරණ වලට දැමූ සැණින් දිය වී ගියේ ඇයි? රුසියාවට ඇද වැටුන යානයේ නියමුවන්ගේ සිරුරු හමු නොවුනේ ඇයි? මෙක්සිකෝවේ තිබූ යානය හොඳින් ප්‍රහාර වලට ඔරොත්තු දෙන අතර රුසියාවට වැටුණු යානය දිරාපත් වුනේ ඇයි?
බලන්න සිතියම දිහා ඔවුන් රැඳී සිටින්නේ සමකය ආසන්නයේ!

ජයදේවගේ තියුණු හඬ සියලු සියලු දෙනා ප්‍රාණවත් කරන්නට විය.

"ඔව් ඔහු හරි, මොවුන් උණුසුමට හා අනෙක් පිපිරීම් වලට හොඳින් මුහුන දුන්නත් ශීතලට එතරම් කැමැත්තක් දක්වන්නෙ නැති හැඩයි"
"ඉක්මණින් අපි ගාව ඉතිරිව තිබෙන ඔවුන්ගේ යානා කොටස් යොදාගෙන පරීක්ෂා කර බලමු"

ජයදේවගේ උපකල්පනය යළිත් වරක් සාර්ථක විය, ශීත කල වාතය එල්ල කල සැණින් පිටසක්වල යනා කොටස් අවපැහැ වනු දැකිය හැකි විය.

"ඔව් එය වැඩ කරනවා,! ඒත් යනා දුර්වල කිරීමට එය පමණක් ප්‍රමානවත් වෙන එකක් නැහැ."

එය සාදාරණ ගැටළුවකි. විද්‍යාඥයන් යලි විවිද මත පල කරමින් වාද කරන්නට විය.

මදක් නිහඬව කල්පනා කල ජයදේව යළිත් විසදුමක් යෝජනා කලේය.

"මම හිතන්නෙ අපි මුලින් බලාපොරොත්තු වුන විශ වායු ප්‍රහාරය ඇත්ත වෙන්න පුලුවන්. අපිට හානි කර වුනේ එම වායුවේ උණුසුම විතරක් වුනත්. ඔවුන්ගේ උනුසුම් වායුව ශීත කල පසු ඔවුන්ට වඩාත් විශ වෙන්න පුලුවන්. "

"ඔවුන්ගේ වායු ප්‍රහාරයේ සංඝටක හදුනාගන්න අපහසුයි, ඒවා අපෙ මූලද්‍රව්‍ය වලට වඩා වෙනස්. නමුත් ආසන්න වශයෙන් නයිට්‍රජන් වලට සමානයි" රසායනික විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙක් ක්ශණිකව උපකාරී විය.

"එහෙනම් අපි ශීත කල නයිට්‍රජන් වායුව උත්සාහ කර බලමු" ජයදේව ප්‍රකාශ කලේය.

අධිශීත කල නයිට්‍රජන් වායුව පිටසක්වල යානා කොටසකට එල්ල කල විට දැකිය හැකි වූවේ ඇදහිය නොහැකි ප්‍රතිඵලයකි. ලෝහය ගින්නට හසුවූ ඉටි මෙන් දිය වී යන්නට විය. අවට සිටි පිරිසගෙන් නැගුනේ ඔල්වරසන් හඬකි.

විනාඩියකුදු අපතේ නොයවා නව ආයුධ නිපදවීම ආරම්භ විය.
ඉතිරිව සිටි හමුදාව උපක්‍රම ශීලීව යොදා ගනිමින් සතුරු යානා වෙත අධි ශීත කල නයිට්‍රජන් වායු ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.

එකිනෙක සිය ගණන් සතුරු යානා දිය වෙමින් ඇද වැටෙන්නට විය. අවසානයේ ඔවුන්ගේ විශ ඔවුනටම පාරාවලල්ලක් වුවේය. සතියක් යන්නට පෙර පෘතුවියේ බලය මිනිසුන් වෙත ලබා ගැනීමට හැකි විය.

ජයදේව යන නම ලෝක ඉතිහාසයේ දැවැන්ත ලකුණක් තැබුවේ, සියුම් ප්‍රඥාවෙන් ලොවක් රැක ගත් මිනිසෙකු ලෙසය.


Monday, May 6, 2013

ඉදින් යනු මැන නුඹේ ලොව වෙත




දෑස මානේ නැඟූ හසරැල්
ගොලු වෙලා අද හැංගිලා ..

නොපෙනෙනා දුරකට යවා හිත
ඇයිද නුඹ මෙහි තනි වෙලා ..

නිහඞ අරණක කෙළි දෙලෙන් අපි
ගෙවූ යාමය පහු වෙලා ..

ඉදින් යනු මැන නුඹේ ලොව වෙත
සොයුරු පෙම නිමලව තියා ..



Sunday, April 28, 2013

සහේතුක ආඩම්බරය



"ඒයි අන්න අරූ එනවා"

"මේ ඌ මෙතනින් යද්දිම ඔක්කොම එකට කියමු"

"මෙන්න කුණු සමිතය එනෝ... අපෝ මුගේ ලඟ ගඳ.."

සමිත කෝපයෙන් ඔවුන් දෙස බලත්ම ඔවුන් සිනා සෙමින් දිව ගියේය. සමිත කරබාගෙන යලි පන්තිය වෙත පා නැඟීය.

"එයාගේ තාත්ත පාරෙ කුණු අදින එකලු රස්සාවට කරන්නෙ"

අසල සිටි යුවතියන්ගේ කතාවෙන් මදක් ඔහුගේ කන වැකින. කෝපයෙන් ඔවුන් දෙස රවා බැලූ ඔහු පංති කාමරයට ඇතිලු විය.

මෙවැනි සිදුවීම් සමිතට අරුමයක් නොවීය. නමුත් දිනෙන් දින අඩුවක් නොමැතිව ලැබෙන කටුක ඔච්චම් කිරීම් ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් තිබුනේය.

ඉගෙනීමට අසාවක් හා දක්ෂතාවයක් දැක්වූ ඔහුට පාසැල නීරස තැනක් බවට පත් කිරීමට මේ සමච්චලයන් හේතු වී තිබිණ. ගුරුවරුන්ගෙන් පවා අඩු සැලකිලි ලැබීම ඔහුව තවත් අධෛර්‍යයට පත් කලේය.

එදින තත්වය තවත් බරපතල වූවේ වාර්ශික අධයාපන චාරිකාව සඳහා පංතිය කණඩායම් වලට බෙදීමේදීය.

"අපෝ කුණු සමිතව නම් අපේ ගෲප් එකට ගන්න එපා" 

පංතියේ කටකාරයෙක් හඬ නගා පැවසූ වේ තවත් කිහිප දෙනෙක්ව සිනහවට හවුල් කර ගනිමිනි. වාර විභාග වලදී වැඩි ලකුණු ලබා ගැනීම පිළිබඳව සමිත සමඟ ඇති ඊර්ශ්‍යාව බොහෝ දෙනෙක් පිරිමසා ගත්තේ මේ ආකාරයෙනි.


"ඇයි මොකද උඹ රවන්නෙ? පලයන් යන්න කුණු සමිතයා" 

කෝපයෙන් රවා බලමින් සිටි සමිතට තල්ලුවක් දමමින් ඔහු යලි පැවසීය. ඉන්පසු ඇරඹියේ ගුටි කෙලියකි.

සිතේ සිර කරගෙන සිටි තරහ පිට කරන්නටත් එක්කම සමිත කටකාරයාට පහර පිට පහර එල්ල කර නැගිට ගත් සැණින් පොත් බෑගයද ගෙන පාසැලෙන් පිට විය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


වේලාසණින් ගෙදර පැමිණි සමිත දුටු කාන්තිට පුතුගේ වෙනස වැටහින.

"මොකද පුතේ අද කලින්ම? ඇදුමත් හොඳටම කිලිටු කර ගෙන. මොකද කාත් එක්ක හරි රණ්ඩුවක්වත් ඇල්ලුවද?"

සමිතගේ කේන්තිය හා දුක හැඬුමකට හැරුනේ එවිටය.

"මට ඉස්කෝලෙ යන්න බෑ අම්මේ, ලමයි විහිලු කරනවා! කුණු සමිතයා කියනවා"
"තාත්තට වෙන කරන්න රස්සාවක් තිබුනේම නැද්ද"

හැඬුම්බරව කියාගෙන ගිය සමිත මවගේ ප්‍රතිචාරය ඇසීමටද නොනැවතී වත්ත පහල සුවිසල් අඹ ගහ යට සකසා තිබූ බංකුව වෙත ගියේ, මතක ඇති කාලයේ සිට ඔහුගේ සිත නිවන ස්ථානය වූවේ එය බැවිනි.

"ඕවා ගණන් ගන්න එපා පුතේ, මෙන්න මේ බත් ටික කාල යන්න ඇවිත්. දවල්ට කෑවෙත් නෑනෙ"

කෑ ගැසූ කාන්ති, සමිත ආපසු හැරෙන බවක් නොදුටු නිසා සුසුමක් හෙලා ගෙට ගියාය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

මඳ වේලාවකින් ගෙදර පැමිනි සිරිල් දෑකීමෙන් අතීත ආවර්ජනාවක යෙදෙමින් සිටි කාන්ති දැහැනින් මිදුනි.

"ඔයත් අද කලින් ආවද? අන්න පුතණ්ඩියත් අද රණ්ඩුවක් එහෙම අල්ලලා කලින්ම ගෙදර ආවේ"

"අපේ පුතා? ඒ මොන එහෙකටද?"

"වෙන මොකක්ද ඉතින් හැමදාම කියන එක තමයි, ලමයි විහිලු කරනවයි  කියන්නෙ ඔයාගේ රස්සාව ගැන කියල"

කුස්සියේ දොර වෙත පැමිණි සිරිල්ට ඈත අඹ ගස යට බංකුවට වී ගැඹුරු කල්පනාවකට වැටී සිටි පුතු දැකිය හැකි විය. 

සිරිල් උලුඅස්සට හේත්තුවක් දමාගෙන දිගු සුසුමක් හෙලීය.


සිරිල්ගේ පියා සේවය කලේද නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේය. නීතියෙන් බේරෙන්නට මෙන් වසර කිහිපයක් පාසැල් ගිය සිරිල් යන්තම් ලමා විය ඉක්මෙන්නටත් මත්තෙන් පියාගේ රැකියාවට හවුල් වූවේ අඟහිඟකම ලමා වියට තහන්චි දැමූ හෙයිනි.
නමුත් සිය රැකියාවට සමාජයෙන් ලැබෙන ප්‍රථිචාර දැනෙන්නට වූවේ සිය දිවියේ හිරිමල් යෞවනය අනෙක් අයට මෙන් විඳීමට බාධා ඇති වන විටය.

ඔහුට තමාට සමාජයේ ඇති වලංගු භාවයේ අඩුලුහුඬුකම් තදින් දැනෙන්නට වූවේ කාන්ති හා ආදරයෙන් බැදුනු පසුවය. අසීරුවෙන් වුවද කාන්තිගේ සිත දිනා ගත්තද සිරිල්ගේ මනුස්සකමවත් යහපත් ගතිගුණවත් කාන්තිගේ දෙමව්පියන්ට වටහා ගැනීමට ඔවුන්ගේ විවාහයෙන් වසර කිහිපයක් යනතුරුම නොහැකි විය.

නගරසභාවේ රැකියාවට අමතරව රාත්‍රියේ සිකියුරිටි රැකියාවක්ද කල සිරිල් සුරා සූදුවෙන් තොර වූවෙක් බැවින් රටට ණය නොවී තුන් වේල කා පවුලේ කටයුතු අඩුවක් නැතුව ගෙන යෑමට සමත් වූවෙක් වූවේ උගත් කම කෙසේ වෙතත් වැඩිමනක් දෙනෙකුට නොමැති සමාන්‍යය බුද්ධිය ඇත්තෙකු වූ බැවිනි.

නමුත් සිය කුණු ට්‍රැක්ටරයේ රැකියාව නිසා සිත් තැවුලට පත් වූ අවස්ථා නම් දුලබ නොවීය. මගුලකට මරණ ගෙදරකට ගියත්, පන්සලේ ගමේ පොදු කටයුත්තකට ගියත් කවුරුත් තමා දෙස බලන්නේ "ආ මේ අර කුණු ට්‍රැක්ටරේ සිරිල්" යන බැල්මෙන්ය. පන්සලේ හාමුදුරුවන් පැන්ෂන් ගිය ප්‍රින්සිපල් මහත්තයා වැනි සැබෑ මනුස්සකම හඳුනන කිහිප දෙනෙක් පමණක් තමා දෙස මධයස්ත ලෙස බලා හිතවත්ව කතා බස් කරන බව සිරිල්ට දැනී තිබුනකි. 

තමා කෙසේ වෙතත් මෙවැනි කාරණා මේ නොදරුව කොහොම ඉවසන්නද.

සමිත දෙස බලාගෙනම කල්පනාවෙ සිටි සිරිල් ඒ දෙසට පා නැගීය. කලබලයක් නැතිව සමිත සිටි බංකුවෙන්ම හිඳ ගත්තේය.


"පුතාට යාලුවො විහිළු කරනවලු නේද?"

පියා සෙමෙන් යොමු කල ප්‍රශ්නයට සමිත නිහඬවම සිටියේ තමාට විඳින්නට වූ අපහාසයන්ට වැරදිකරුවා පියාය යන තරහ නිසාමය.

"ඔය කියන ඒවට තරහ ගන්න එපා. පුතාගෙ තාත්තා හොරෙක්වත් වංචාකාරයෙක්වත් නෙවෙයිනේ. අනික බලන්න මම කරන රස්සාවෙන් කොච්චර සෙවයක් වෙනවද. මම ඒ රස්සාව කරන නිසයි පුතාට විහිලු කරන හැමෝම දෙනා ලස්සනට පිරිසිදුවට ඉන්නෙ. මම ඒ දේ නොකෙරුවොත් එයාලගෙ කුණු ගොඩ ගැහිල එයාල තමයි ගඳ ගහන්න ගන්නෙ."

පියාගේ කතාවේද ඇත්තක් තිබේ යැයි සමිතට සිතින.

"පුතාගේ සීය කලෙත් ඔය රස්සාවමනෙ, එයා මට ඉගැන්නුවෙත් ඒ රස්සාවම කරන්න ඉතින් වෙන දෙයක් ඉගෙන ගත්තෙ නැති හින්ද මට ඒ රස්සාවම කරන්න වුනා. මගෙ පුතා ඉගෙන ගන්න හපනනෙ. පුතා හොඳට ඉගෙන ගත්ත කාලේක අපි හැමෝටම ආඩම්බර වෙන්න පුලුවන් ලොකු මහත්තයෙක් වෙන්න පුලුවන්. ඒත් පුතේ ඒ මහත්තැන් කමට වඩා සතුටු වෙන්න පුලුවන් හොර බොරුවක් නැතුව තමන්ගේ රස්සාවට ආදරෙන් ඒක් කරන එකෙන්. හරියට රස්සාව කරන ඕනැම කෙනෙක්ට ඒ දේ ගැන ආඩම්බර වෙන්න පුලුවන්"

පුතුගේ කරවටා අතක් දමා ගනිමින් සිරිල් පැවසීය.

සමිත්ට තමාගේ කෝපය ගැන ලැජ්ජා සිතිණ.
"ඇත්ත තමා එයාලයි මෝඩයෝ"

සමිත එසේ සිතමින් පියාට තුරුල් විය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


වසර තිහක පමණ කාලයක පසු දිරා පත් වෙමින් තිබුනද අඹ ගසේ ප්‍රතාපවත් බවේ නම් කිසිම අඩුවක් නැතැයි සමිතට සිතුනි. බංකුව නම් අලුත්වැඩියා වී තිබේ. 

ගෙවුණු කාල වකවනුව තුල කෙතරම් දේ සිදු වීද! සමහර දේ ගැන පැහැදිලි මතකයක් නොතිබුණද වසර ගණනාවකට පෙර මේ බංකුවේදී තමාට පියා කියූ දේවල් නම් හොඳින් මතක තිබිණ. ඒ වදන් තමාට මෙතරම් බලපාවි යැයි එදින ඔහුගේ ලපටි සිතට නොවැටහින. නමුත් එය තම සිතේ නොමැකෙන සේ කාවැදුන බව ඔහු ගෙවුනු ජීවිතය පුරාවටම වටහා ගත්තේය.

අද තමා දෙපයින් සිට ගත්තෙකි, එදා තමාට සමච්චල් කල සමහරෙක් අද තමන්ට කට පුරා "සර්" කියයි. එදා තම පියාට බැල්මක කරුණාවක් නොදැක්වූ අය අද දුටු තැන හිස නමා ආචාර කරයි. 

එ සැමදේටම වඩා සමිත් මනුශ්‍යත්වයෙන් පිරිපුන් මිනිසෙකු විය. නමුත් ඔහු ආඩම්බර වන්නේ ඒ කිසිදෙයක් ගැන නොවීය, තම ගමනට මාර්ගෝපදේශකයා වූ සිය පියා ගැනය.

පුතුට වාරු වී බංකුව දෙස බලා සිටි සිරිල්ට අතීතය යලි මතක් විය.  ඔහුටද දැනුනේද ඊට නොදෙවෙනි අඩම්බරයකි. ඒ දහසක් බාධක මැද මනුශ්‍යත්වය පිරි හදවතක් ඇති සමාජයට මෙහෙයක් කල හැකි පුතෙකු තැනීමේ ආඩම්බරයයි.