Thursday, December 17, 2015

බර ගානටද?


බර අඩු කර ගැනීම ගැන අපි මීට කලින් ගොඩක් විස්තරාත්මකව කතා කලානෙ.

ඒ ලිපිවලදි  සමහර තැන් වල සඳහන් කල ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index - BMI) ඔයාලට මතක ඇති. ඒ ගැන අද පොඩ්ඩක් වෙනම කතා කරමු.

මොකක්ද මේ  ශරීර ස්කන්ධ දර්ශකය කියන්නෙ?

සිරුරේ උසට ගැලපෙන බර තියෙනවද කියන එකයි මේ දර්ශකයෙන් මනින්නෙ. සිරුරේ මේද ප්‍රතිශතයට මේ අගය ගොඩක් දුරට සමාන වෙනව.

දැන් අපි බලමු අපේ  ශරීර ස්කන්ධ දර්ශකය දැනගන්නෙ කොහොමද කියල. මුලින්ම අපේ බර මැන ගන්න ඕනෑ කිලෝග්‍රෑම් ( Kg) වලින්.  ඊලඟට හරියට උස මැන ගන්න ඕනැ මීටර් ( m) වලින්. දැන් බර උසේ වර්ගයෙන් බෙදන්න.

උදා :  කිලෝ 60ක් බර, මීටර් 1.56ක් (සෙන්ටිමීටර් 156ක්) උස      අයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය මනිමු.

ශරීර ස්කන්ධ දර්ශකය =       බර           kg
                         උස  x උස   m2

= 60      
  1.56 x 1.56
= 24.65  kg/m2

මේ ලැබෙන අගය තමයි  ශරීර ස්කන්ධ දර්ශකය කියන්නෙ

මේ ලැබෙන අගය අනුව කණ්ඩායම් කීපයකට වෙන් වෙනවා.

1. මේ අගය 18.5 ට අඩුයි නම් ඔබේ බර අඩුයි ( Underweight). 
2. 18.5ත් 24.9ත් අතරෙ තියෙනවා නම් තියෙන්න ඕනෙ නියම බර තියෙනවා.
(නමුත් 23ට වැඩි වන විට තම බර ගැන අවධානය යොමු කරන්න කාලෙ හරි)
3. 25 ට වැඩි නම්  නම් බර වැඩියි ( overweight). ආහාර පාලනයෙන්, ව්‍යායාම මගින් බර අඩු කර ගන්න ඕනෙ.
4. 30ට වැඩි නම් තරබාරුයි (obese). වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා.

බර අඩු වුනොත් ( Underweight) මොකද වෙන්නෙ?


  • මෙවැනි අඩු බර පවතින අය ආසාදන වලට ලක් විමට ඇති අවදානම ඉහලයි. 
  • අඩු බර තියෙන කාන්තාවන් දරු ප්‍රසූතියේදි විවිධ ගැටලු වලට ලක් වීමේ ඉඩ වැඩියි.
  • වැඩ කිරීමේ හැකියාව අඩු වෙන අතර පහසුවෙන් වෙහෙසට පත් වන සුලු වෙනවා.

මෙහෙම බර වැඩි වීම  (overweight) හෝ තරබාරු වීම  (obese) අපේ සෞඛ්‍යයට බලපාන්නෙ කොහොමද?

මේ වන විට වයස 40 ඉක්මවූ බොහොමයක් අය අතර දක්නට ලැබෙන අධිරුධිර පීඩනය.  (High Blood pressure), දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetic Mellitus), රුධිරයේ මේද සංයුතිය වෙනස් වීම ( dyslipidaemia) යන රෝග සියල්ල ඇති වීම බලපාන ප්‍රබලම සාධකක් හැටියට මේ  බර වැඩි වීම  හෝ තරබාරු වීම හදුනා ගෙන තියෙනවා.
තරබාරු බව පිළිබඳවද අපි මීට පෙර විස්තරාත්මකව කතා කලා, පහත යොමුවෙන් එම ලිපි වෙත යන්න පුලුවන්

  1. මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)
  2. මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?
  3. නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda)
  4. සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program)


බර වැඩි වීම  (overweight) හෝ තරබාරු වීම  (obese) දැන ගන්න පුලුවන් වෙනත් ක්‍රමයක් තමයි ඉනේ වටප්‍රමාණය (waist circumference). පිරිමි අයෙක් නම් සෙන්ටිමීටර් 90 (36")ට වැඩි වීම ද ගැහැණු අයක් නම් සෙන්ටිමීටර් 80 (32")ට වැඩි වීම අවදානම් සහගතයි.

අපි කොහොමද උසට සරිලන බරක් පවත්වා ගන්නෙ?

බර අඩු කෙනෙක් නම් අමතර ආහාර ගැනෙන විදිහට ආහාර රටාව වෙනස් කර ගන්න ඕනෙ. හොදින් ආහාර ගන්න විටත් බර අඩුයි නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනෙ. (හෝමෝන අසමතුලිතතා හෝ වෙනත් නිදන්ගත රෝග ගැන සොයා බැලිය යුතු වෙන නිසා)

බර වැඩි අයෙක් නම් පහත තියෙන උපදෙස් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

1. එදිනෙදා ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙන්න

නවතා දැමීම හෝ හැකි තරම් අවම කල යුතු අහාර වර්ග

- දෛනික සීනි භාවිතය හැකිතාක් අඩු කිරීම. ( දිනපතා තේ කෝපි කිරි     සඳහා එකතු කරන සීනි ප්‍රමාණයට හැකිතාක් අඩුකිරීම).
- අධික ලෙස සීන් අඩංගු ආහාර හෝ බීම වර්ග ගැනීමෙන් වැලකීම.           (රසකැවිලි, පැණි බීම වර්ග, කෝර්ඩියල්, ....)
- තෙල් අධික ආහාර ( සකස් කරන ලද මස් වර්ග, ෆ්ර්යිඩ් රයිස්, බදින ලද   අලපෙති/තීරු, පේස්ට්‍රි වැනි ක්ෂණික ආහාර, සීනි  සම්බල, බැදුම් .......)
- බටර් හා මාර්ජනින් භාවිතය අවම කිරීම.
- සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි සම්බන්ද ආහාර භාවිතය අවම           කිරීම

ප්‍රමාණය අඩු කල යුතු ආහාර 

- බත්  (රතු බත් වුවද ප්‍රමාණය අඩු කිරීම සුදුසුයි)
- තිරිඟු/සහල් පිටි වලින් තැනූ ආහාර (රොටී, පාන්, ඉදිආප්ප, ආප්ප, කොත්තු)
- පිෂ්ඨ අධික අහාර (අර්තාපල්, මඤ්ඤොක්කා, බතල,බීට් රූට්, කොස් )
- ධාන්‍ය වර්ග ( කව්පි, කඩල)

වැඩි වශයෙන් ගතයුතු ආහාර 

- කොළ පැහැති එළවළු (වැටකොලු, පතෝල, බණ්ඩක්කා, බෝංචි,)
- පලා වර්ග 

2. දිනපතා සිරුර වෙහෙසවන ව්‍යායාමයක නියැලීම.

හොදින් සිරුරට දහඩිය දමන ව්‍යායාමයක් අවම දිනකට පැය භාගයක් වත් නියැලීම.

කොපමණ කාලයකට වරක් ශරීර ස්කන්ධ දර්ශකය මැන බැලිය යුතුද?

අවම වසරකට වරක් වත් ශරීර ස්කන්ධ දර්ශකය මැන බැලිය යුතු වෙනවා.

ඔන්න බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11න් 3න් වෙනි පියවර තමයි මේ විදිහට අපි කතා කලේ.

Tuesday, December 15, 2015

දුස්සාධ්‍ය රෝග වලින් බේරීමේ මග


දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා.
බැලුවෙ නැති අයට  මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්
අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)

අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු 

පළමු පියවර - දුම්පානය නැවැත්වීම.

කිසිම පුද්ගලයෙක් කිසිම හේතුවකට දුම්පානය කිරීම අනුමත කරන්න බැහැ. මොකද ඒකෙන් තමන්ටද එම දුම අඝ්‍රාණය කරන්නන්ටද මරණය කැඳවීමට හේතු විය හැකි නිසා. මෙයට සිගරැට්, බීඩි වල විතරක් නෙවෙයි ඕනෑම දුම්කොල අඩංගු නිෂ්පාදනයක් ඇතුලත්, උදා: බාබුල්, සාරවිට, බුලත් විට,....

ඇයි අපි දුම්පානයෙන් වැලකිය යුත්තේ?

ලෝකයේ සිදුවන වැඩිහිටි මරණ 1/10 ක් දුම්කොළ නිසා තමයි සිදු වෙන්නෙ. 
2006 වසරේ දී දුම්කොළ නිසා සිදු වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව ලක්ෂ 54 කි.  එනම් සෑම තත්පර 6.5 කට එක මරණයකි. 
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට වන මරණ සංඛ්‍යාව 20 000 පමණ වෙනවා. (දිනකට මරණ 55 - 60) 


දුම්කොල දුමෙහි අධික ලෙස කාබන් මොනොක්සයිඩ් අඩංගු වෙනවා. මෙම කාබන් මොනොක්සයිඩ් අපගේ රුධියේ ඇති ඔක්ශිජන් රැගෙන යාමට ඇති හැකියාව අඩපණ කරනවා. මෙවිට ඇතිවෙන ඔක්ශිජන් හිඟය නිසා හදවත, පෙනහලු, මොලය, වකුගඩු ඇතුලුව බොහොමයක් අපේ අවයව වල ක්‍රියාකාරීතවය වගේම ජීව කාලයද අඩු වෙනවා.
මේ නිසා දුම්කොළ භාවිතා කරන අයට හෘදයාබාධ, අධිරුධිර පීඩනය, නහරගත ලේ කැටිති, මොලය අභ්‍යන්තර ලේ ගැලීම් හෝ ලේ නහර අවහිර වීම් වැනි රෝග තත්ව ඇති වීමේ හැකියාව ඉතා වැඩියි.

මේ කිව්වෙ සිගරැට් වල අන්තර් ගත එක සංඝටකයක් විතරයි. පහලින් පොඩි ලැයිස්තුවක් විදිහට අනෙක් සංඝටක ටික දාන්නම්. 

නිකොටින් - මකුණු මර්දන රසායනික ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනේ
තාර (Tar)- හැමෝම දන්නවානෙ පාරවල් හදන්න ගන්නෙ
ඩී.ඩී. ටී - කෘමිනාශක 
සයනයිඩ් - මාරාන්තික විසකි
ආසනික් - මි නාශක රසායනික ද්‍රව්‍ය
ෆෝමැල්ඩිහයිඩ් - මෘතදේහ කල් තබා ගැනීම.
සල්ෆියුරික් ඇසිඩ් - වාහන බැටරි වලට යෙදීම
කැඩ්නියම් - බැටරි තැනීමට යොදා ගැනේ.
ඇසිටෝන් - නිය ආලේපන ඉවත් කරන ද්‍රව්‍ය වල අඩංගු වේ. 

ලෝකෙ තියෙන විස වර්ග සියල්ල එකතු කරල පොඩි කූරකට සාන්ද්‍ර කරල දෙන දෙයක් තමයි සිගරැට් කියන්නෙ. 


•2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත මගින් පහත සඳහන් නීති පනවා තිබෙනවා.  
– අවුරුදු 21 ට අඩු තැනැත්තන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සපුරා    තහනම්‍ වේ. 
– පොදු ස්ථානයන්හි දුම්බීම තහනම්. 
– දුම්කොළ ප්‍රචාරණය තහනම්. 
– විවිධ උත්සව සඳහා දුම්කොළ කර්මාන්තයෙන් අනුග්‍රහ ලැබීම තහනම්. 

ඉහත නීති උල්ලංඝනය වනා ඕනෑම අවස්ථාවක එයට විරුද්ධව කටයුතු කිරීමේ අයිතියක් ඇති අතර එය අපේ වගකීමක්ද වෙනවා. මක්නිසාද කිවහොත්, ද්විතීය දුම්කොළ දුමාරය  මුලු සමාජයටම මාරාන්තික වන බැවිනි. ද්විතීය දුම්කොළ දුමාරය යනු අප්‍රධාන ප්‍රවාහ දුමාරය හෙවත් දල්වන ලද සිගරට් එකකින් නිකුත්වන දුමාරයි.  

දුම්කොළ දුමාරයට නිරාවරණය වීම නිසා ගැබිනි මව්වරු විසින් බිහිකරනු ලබන දරුවන්ට 
• උපත් බර අඩු වීම. 
• දීර්ඝ කාලීන ස්වසන රෝග වලට හේතුවීම 
• මල දරු උපත් ඇති වීම.  
සිදුවිය හැක.

එමෙන්ම බිළිදුන් , ළදරුවන් , ළමුන් දුම්කොළ දුමාරයට නිරාවරණය වීම නිසා 
  - හදිසි ළදරු මරණ 
  - දරුණු ස්වසන ආසාදන 
  - කර්ණ ආසාදන 
  - ඇදුම රෝග උග්‍ර වීම 
  - පෙනහලුවල වර්ධනය අඩාල වීම 
  - පිළිකා 
 යන තත්ව ඇති වෙන්න පුලුවන්

යම් අයෙකු දුම් බීම නවතා දමන මොහොතේ පටන් ඔහුගේ/ඇයගේ සිරුර යළි යථාතත්වයට පත් වීම ආරම්භ වෙනවා,
දුම්බීම නවතා වසරක් ගත වන විට රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැලදිමේ අවදානම දුම්බොන අයෙකුට වඩා 50% අඩු වෙනවා.

දෙවන පියවර - මත්පැන් පානය නැවැත්වීම 

මේ පිළිබඳව අද සමාජයේ කෙතරම් කතා බහට ලක් වුවත් මෙහි බරපතල බව කිසිවෙකු අවබෝධ කර ගන්නා බවක් දකින්න බැහැ.
ඍජුවම මත්පැන් නිසා ඇති වන රෝග තත්ව කිහිපයක් 
  • අධිරුධිර පීඩනය 
  • මත්පැන් නිසා ඇතිවන ස්මරණ ශක්තිය අඩපණ වීම (Alcohol Dementia)
  • අක්මාව ක්‍රියා විරහිත වීම (Liver Failure)
  • අක්මාව ආශ්‍රිත පිළිකා
  • ලිංගික බෙලහීනත්වය හා මදසරු බව (Impotence & sub fertility)

මත්පැනෙහි ආදීනව අපි කලින් ලිපියක සවිස්තරාත්මකව කතා කලා. පහල යොමුවෙන් ඒම ලිපිය සොයා ගන්න පුලුවන් වේවි.

මත්පැනෙහි හපන්කම්......!


මත්පැන් නිසා පවුල් ජීවිතය ඉරිතලා යන ආකාරයත් පහත කතාවෙන් තේරුම් ගන්න පුලුවන්.

(නො)දුටු සතුට


ඉතිං කෙටියෙන් කිව්වොත් බෝ නොවන රෝග වලින් වැලකීමට මත්පැන් වලින් තොර වීම අනිවාර්ය වෙනවා.

දුම්බීම හා මත්පැන් ගැන කවුරු කුමන තර්ක ගොඩනැහුවත් සියලුදෙනාම මේ දෙකම ගොඩක් අහිතකර පුරුදු කියන එක හොඳාකාරව දන්නා දෙයක්.
අවශ්‍ය වෙන්නෙ ඍජු තීරණයක් පමණයි. 
මේ පුරුදු දෙක අත හැරියොත් මොනවද අපට ලැබෙන්නෙ?

  • නිරෝගී බව සමඟ වැඩි ආයු කාලයක්.
  • පවුලේ සාමාජිකයන් හා ඇති එකතුව ආදරය වැඩි වීම.
  • අවම ඔබට මසකට 5000කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ.
  • සමාජය තුල ඔබ පිළිබඳව ගෞරවයක් පිළිගැනීමක් ඇති වේ.


හිතල බලන්න අපි සෑමදා වෙහෙසෙන්නෙ ඔය ඉහල සඳහන් කල දේවල් දිනා ගන්න නේද? ඉතින් ඇයි අපිම අපේ ජීවිත විනාශ කර ගන්නෙ?

Friday, July 31, 2015

ඇති වෙලාද? (Fed Up)



ඔයාලට මතක ඇති මිට මාස දෙකකට විතර කලින් ගොඩක් වැදගත් මාතෘකාවක් ඔස්සේ ලිපි 4ක දීර්ඝ කතා බහක් කලා. ඒ තරබාරු කම ගැන.
ඒකෙ අන්තිම ලිපිය වුන සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program) ලිපියේ උපදෙස් පිලිපැදපු ගොඩක් අයට තමන්ගෙ හොල්ලන්න බැරිව තිබ්බ බර අඩු කර ගන්න පුලුවන් වුනා.
පහත තියෙන්නේ ඒ ලිපි 4.


මේ ලිපි 4ම ලියන්න මාව පෙලෙඹෙව්වේ, මූලාශ්‍රය වුනේ ෆෙඩ් අප් - Fed up "ඇති වෙලා " කියන ඇමෙරිකානු වාර්තාමය චිත්‍රපටය.
ඔයාලට මතක ඇති තුන්වන ලිපියේදී මේ චිත්‍රපටය ඔයාලට හදුන්වලා දෙන ගමන් පොඩි ඉල්ලීමක් කලා සිංහල උපසිරැසි අඩවි වලට, මේ චිත්‍රපට ලංකාවෙ අයට බලන්න අවස්ථාවක් ලබා දෙන්න කියල.

ඉතින් ඒ ඉල්ලීමට පිළිතුරු ලැබිලා තියෙනවා.
අපි හැමෝම වගේ දන්න බයිස්කෝප් (Biscope.lk)වෙබ් අඩවියේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයා (සිංහල සබ් දාල ෆිල්ම් බලන අය නම් මෙයාව හොඳට දන්නවා නේද) ඔන්න ගොඩක් මහන්සි වෙලා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ටොරන්ට් එකකුත් හොයල දීල තියෙනවා චිත්‍රපටය අපිට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට.
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රොයිලි සහෝදරයට මේ කරපු උතුම් කාර්යය වෙනුවෙන්.

පහත ලින්ක් එකෙන් ඔයාලට බයිස්කෝප් අඩවියේ "Fed up" චිත්‍රපටය ලබා දෙන පිටුවට යන්න පුලුවන්.

ආයේත් කියන්න තියෙන්නෙ අනිවාර්යයෙන් මේ චිත්‍රපටය නරඹන්න. 
හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. එහි තියෙන්නෙ මා ඉහත සඳහන් කල කතාවයි. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. ඇත්ත ඔබ දකීවි. 

තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි. 
ඉගෙන ගන්න දේවල් හිතවතුන් එක්ක බෙදා ගන්න. එයාලවත් මේ චිත්‍රපටය බලන්න යොමු කරවන්න.  

Tuesday, July 28, 2015

අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)



මේ දිනවල පවතින වයිරස් සෙම්ප්‍රතිශ්‍යා රෝගී රැල්ල නිසා බාහිර රෝගී අංශය තරමක් දුරට ඒකාකාරීය.
එම ඒකාකාරීත්වය බිඳිමින් රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත ඇතුලු වූවේ බැලු බැල්මට රෝගී බවක් නොපෙනෙන මැදිවියේ අයෙකි.
වයස හතලිහක් පමණ වෙතැයි සිතුවද මෙවර මාගේ අනුමානය මදක් වැරදී තිබණි. බාහිර රෝගී තුන්ඩුවේ සඳහන් වූවේ වයස 36ක් ලෙසය.

"ඩොක්ටර් ටික දවසක ඉඳන් ඇඟට කිසිම ෆිට් එකක් නැහැනෙ, හිටපු ගමන් ඔලුව බර ගතියකුත් එනවා, වෙලාවකට හොඳටම දාඩිය දානවා."

වයස් සීමාවට තරමක් ආගන්තුක වුවද, ඔහුගේ රෝග ලක්ෂණ විස්තරයේ වුවේ නිදන්ගත රෝගයක ලකුණුය.

"ටික දවසක් කිව්වෙ?" 

"ඇත්තටම මාසයක් දෙකක් විතර වෙනවා, මුලින් එච්චර ගණන් ගත්තෙ නෑ, ඒත් දැන් ටිකක් වැඩියි වගේ"

අද කාලේ ලෙඩක් ගැනවත් හිතන්න වෙලාවක් නොමැති බව ඒ වචන කීපයෙන්ම තේරෙනවා.

ගොඩක් කල් තියෙන කැස්සක්, උණ ගතියක්, කෑම අරුචියක් වගේ දේවල් එහෙම තියෙද ..... ... අත්‍යවශ්‍ය විමසීම් කීපයක් කලද වෙනත් විශේෂ පැමිණිල්ලක් නොමැත.

සිගරැට් එහෙම?

"සිගරැට් නම් දවසට තුනක්වත් පෙවෙනවා ඩොක්ටර්!"
රස්සාවෙ හැටියට ඉතින් නිතර බිස්නස් පාටි වැටෙනවා එතකොට ඉතින් බියර් ටිකක් පෙවෙනවා"

සුපුරුදු නිදහසට කරුණු සමඟ ඔහු ඇත්තම පැවසීය. ඔහුගේ රෝගී තත්වය ගැන ඉඟි ගණනාවක් පැහැදිලිව දැකිය හැක.

"අපි පොඩ්ඩක් පෙශර් එක බලමුද?

අනුමානය නිවරැදිය, ඔහුගේ රුධිර පීඩනය 150/100 Hgmm වේ.

"බරත් පොඩ්ඩක් බලමු."

"කිලෝ 74ක්,

උස?

අඩි 5යි අඟල් 5යි ඒ කියන්නෙ මීටර් 1.63ක් විතර, ඔහුගේ ශරීර ස්කන්ධ දර්ශකය 28 ක්. තරබාරු කියන ගොඩට වැටෙන්න ලඟයි.

බර ටිකක් වැඩියි නේද?

"ඔව් ඩොක්ටර්, ගොඩක් වෙලාවට පිටින්නෙ කන්නේ, තෙල් කැවෙනවා වැඩියි. ජිම් එකකට යන්න කියල ඉන්නෙ."

වරදක් කියන්න බැහැ අපි ගොඩක් දෙනෙක් ඇගේ බර මහත වැඩි වුන දවසේ ඉඳන් හිතාගෙන ඉන්නෙ ඔහොමනේ, බාල ගිරි දෝෂය වගේ තමයි.
හැබැයි අපේ ඇඟ නම් එච්චර කල් ඔරොත්තු දෙන්නේ නැහැ.

පෙනී යන ආකාරයට මොහුට අධි රුධිර පීඩනය පවතී. ශරීර ස්කන්ධ දර්ශකයද ඉහල අගයක් වන බැවින් මෙම රෝග වල නිවුන් සහෝදරයන් වන දියවැඩියාව හා 
රුධිරගත මේද ප්‍රතිශතය ඉහල යාමද තිබීමට ඇති හැකියාව ඉහලය.

"පෙශර් එක නම් වැඩියි, ලේවල සීනි , කොලෙස්ටෙරෝල් ප්‍රමාණ බලන්නත් වෙනවා."

මේ දවස් වල නම් ගොඩක් බිසී ඩොක්ටර්, මම ලබන සතියෙ වගේ බලාගෙන එන්නම් දැනට බෙහෙත් මොනවා හරි දෙන්න"

කුමක් පවසම්දැයි සිතා ගත නොහැකිව මදක් නිහඬව සිටියෙමි.


"මෙහෙමයි, ඔය කියන අමාරුකම් එක්ක, බරත් වැඩි කෙනෙක්, පෙශර් එක මේ තරම් තියෙද්දි පුලුවන් ඉක්මනින් මේ ටෙස්ට් ටික කර ගන්නවා නම් හොඳයි.
මම නම් කියන්නෙ හෙටම ටෙස්ට් ටික කරල පෙන්වන්න. කොහොමත් දවසක් ඇර දවසක් වත් පෙශර් එක බලාගෙන ලකුණු කර ගන්න ඕනෑ."

අඩු වයසකදී රුධිර පීඩනය ඉහල යාම වැඩි අවදානයක් දිය යුතු තත්වයක් බැවින්ද ඔහු මෙය නොසලකා හැරීමට ඉඩවැඩි බවක් හැඟී ගිය නිසා. රෝගි තත්වය මදක් බරපතල ලෙස විස්තර කර උපදෙස් දීමට සිදුවිය.

~  ~  ~  ~  ~  ~  


ඔන්න තවත් ලිපි කීපයක් ඔස්සේ කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අද පටන් ගන්න යන්නෙ. 

"බෝ නොවන රෝග" 

මොනවද මේ? හරිම සරලයි.

තවත් කෙනෙක්ගෙන්, එහෙම නැත්නම් බාහිර පරිසරයෙන් සිරුරට ඇතුළු වන රෝග කාරකයක් හේතුවෙන් හට නොගන්නා රෝග.
තවත් විදිහකින් කිව්වොත් අපේ සිරුර තුලම හට ගන්නා රෝග. මේවා නිදන්ගත රෝග නැත්නම් දුස්සාධ්‍ය රෝග ලෙසත් හදුන්වන්නත් පුලුවන්.

වැඩි දෙනෙක් මේ ගැන දන්නේ නැති වුනත්, අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි බරක් පැටවෙන්නෙ මේ බෝ නොවන රෝග වර්ගයට අයත් රෝග සඳහා,


බෝවෙන රෝග මර්දනය මගින් මාතෘ හා ළමා සෞඛ්‍යය දියුණු කිරීම මගින් සහ එන්නත් කිරීම  යන ක්‍රියාමාර්ග මගින් වැළැක්විය හැකි  රෝග පාලනය කිරීම පිළිබඳව විශාල ප්‍රගතියක් නිදහසෙන් පසු ලංකාව ලබා ගෙන තියෙනවා. නමුත් වර්තමානයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව වෙලා තියෙන්නෙ බෝවෙන රෝග අභිභවා බෝ නොවන නිට්ටාවට සුවකළ නොහැකි (නිදන්ගත) රෝග ඉස්මතු වීමයි. මේ නිසා සෞඛ්‍යය සඳහා වන සම්පත් බෝනොවන රෝග ප්‍රතිකාර සඳහා වැඩි වශයෙන් යොදවන්න සිදු වෙලා තියෙනවා.
නාගරීකරණය,  ජීවන රටා වෙනස්වීම වසංගතයක් සේ ඇතිවී තිබෙන මේ විශාල විපර්යාසයට ප්‍රධාන හේතු කාරක වශයෙන් දක්වන්න පුලුවන්.

2001 දී ලංකාවේ සිදු වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් 71% බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන් සිදු වීඇති අතර, අනතුරු හේතුවෙන් 18% ක් ද, බෝවෙන රෝග සහ මාතෘ හා පූර්ව ප්‍රසූති හේතූන් නිසා 11% ක් ද සිදුවී ඇත. 1991-2001 කාලය සඳහා වයස් ආකාරයට ප්‍රමිතිකරණය කළ දත්ත අනුව බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන්, ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව බොහෝ සංවර්ධිත රටවලට වඩා 20% - 30% ප්‍රමාණයකින් වැඩි ය (වයස්ගතවීම් පිළිබඳ ලෝක බැංකු අධ්‍යයනය, 2008)

මේ බොහොමයක් රෝග අපි හොඳින්ම දන්නවා. ඒවායින් කිහිපයක් කිව්වොත්, 

  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • රුධිරගත මේද ප්‍රතිශතය ඉහල යාම 
  • ඇදුම
  • කිරීටක හෘදරෝග
  • මස්තිෂ්ක වාහිනී රෝග



මේවායින් ප්‍රධානතම රෝග තුනක් ගැන මීට ඉහත අපි සවිස්තරාත්මකව කතා කලා. පහල යොමුවෙන් ඒ ලිපි කියවන්න පුලුවන්
1. දියවැඩියාව - සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක්
2. කිරීටක හෘදරෝග - ගිලන් හදවතට අත්වැලක්
3. ඇදුම - හුස්ම පොද උදුරන ඇදුම රෝගය (Asthma)


අද මම කියන්න යන්නෙ මේ  සඳහන් කල බෝ නොවන රෝග හදා ගන්නෙ නැතුව ඉන්න අපි මොකක්ද කරන්න ඕනෙ කියන එක.
ඒකට මම උදව් කර ගන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වලා දීල තියෙන යහපත් ජීවන රටාවක් ඇති කරලීම සඳහා වන මග පෙන්වීමක් (Lifestyle Modification Guide for Primary Health Workers) යන උපදෙස් මාලාව.

මෙම රෝග වලට බලපාන සාධක කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

1. වෙනස් කල නොහැකි සාධකය

  • වයස 
  • ස්ත්‍රී/පුරුෂ භාවය 
  • ජාතිය 
  • පවුල් ඉතිහාසය 
  • ජාන පසුබිම 


2. වෙනස් කළ හැකි සාධක 

  • වැරදි ආහාර රටාව 
  • අඩු ශාරීරික ක්‍රියාකාරී බව 
  • දුම්බීම 
  • අධික ශරීර බර/ස්ථුලතාවය 
  • මානසික ආතතිය 
  • මත්පැන් පානය 



වෙනස් කල හැකි සාධක දිහා බලනවිට පේනවා නේද ඒ ඔක්කොම වගේ අපේ නරක පුරුදු නිසා ඇති වුන දේවල් කියල.
ඉතින් මෙන්න මේ වැරදි පුරුදු අත්හරින අතරම බෝ නොවන රෝග වලින් බේරෙන්නෙ කොහොමද කියන එක පියවර 11 කින් අපි කතා කරමු.
  
ඒ පියවර 11 වෙන්නේ 


  1. දුම්පානය නැවැත්වීම.
  2. මත්පැන් පානය නැවැත්වීම 
  3. නියමිත ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීම.
  4. දිනපතා සිරුරට හොඳින් ව්‍යායාම ලබාදීම
  5. වැඩි වශයෙන් එළවළු හා පලතුරු ආහාරයට ගැනීම. ( Five servings per day)
  6. දිනකට ආහාර වලට එකතු කරන ලුණු ප්‍රමාණය දිනකට තේ හැන්දක් දක්වා අඩු කිරීම.
  7. සීනි භාවිතය හැකි තරම් අඩු කිරීම.
  8. මේදය අඩංගු ආහාර ගැනීම හැකිතාක් අඩු කිරීම.
  9. මානසික සෞඛ්‍යය හැකිතාක් නිරෝගීව තබා ගැනීම.
  10. ඔබගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව මනා අවබෝදයක් තබා ගැනීම.
  11. ඔබට ලබා දෙන ප්‍රතිකාර හා උපදෙස් නිවැරැදිව පිළිපැදීම.



මෙම පියවර 11 නිවරැදිව පිළිපැදීම මගින් බෝනොවන රෝග වලින් වැලකීමට වැඩි හැකියාවක් ලැබෙනවා.
මේ එක් එක් පියවරයන් පිළිබඳව අපි ඊළඟ ලිපි වලින් වඩාත් විස්තරාත්මකව කතා කරමු.

Sunday, July 19, 2015

පොඩි මල්ලීට


අද නම් පොඩි උපුටා ගැනීමක් තමයි කරන්න යන්නෙ. 
ඒ 1972 දී පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියන ලද "පොඩි මල්ලියෙ" නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි පෙලක්.

මේ කවි ටික ඇහැ ගැහුනෙ, මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් රචිත "ආදරය දැනෙන්න ජීවත් වෙන්න" කෘතියේ පෙරවදනින්. මම හිතන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් මෙතුමන්ගෙ එක දේශනයක් හරි අහලා ඇති. 
ජීවිතයේ අපිටත් නොදැනීම වැරදෙන, වැරදුන තැන් ගැන ඉතා ඉවසීමෙන් ඒ වගේම රසවත්ව පෙන්වා දෙන්න මෙතුමා ගොඩක් දක්ෂයි. ඉතිං ඔහුගේ වචන වලින්ම කවි පංතියේ හැඳින්වීමත් සඳහන් කරලම ඉන්නම්.

"පොඩි මල්ලියෙ, කාව්‍ය සංග්‍රහයේ එන පොඩි මල්ලියෙ නම් වූ කවි පංතිය රචනා කොට තිබෙන්නේ වැඩිමහල් සොහොයුරෙකු බාල සොහොයුරෙකුට අවදියෙන් - ප්‍රබෝධයෙන් එමෙන්ම අකම්පිතව ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය පන්නරය උරුම කර දෙන ආයාචනයක් විලසින්‍ ය"

කුරුල්ලො අඹලා
සත පනහේ කුලිය ගන්ට
ගල් දුන්නක්  අතට අරන්
දවස පුරා වෙලේ රකින
පොඩි මල්ලියෙ

උඹේ කකුල් රිදෙනව නම්  
වෙල අද්දර ගල් ඇන්දේ වාඩි වෙයන්
ගල එතකොට පුටුවක් වෙයි

ළිප් දාහේ ඉර ඇවිලී
දන විට පොඩි මූණ නුඹේ 
වෙල අද්දර නුග සෙවණේ ඈඳි ගනින්

ළා දලු චාමර සෙල වී
නුඹට පවන් සලයි මලේ
අතු අග හොටවල් සෙල වී
නුඹට ගීත ඇසෙයි මලේ

ඉර රතු වී නිවී යද්දි 
දාඩිය කුණු කඳුළු එක්ක 
තොටමුණ ලඟ ගඟට බසින්

සීතල රැළි අත් සීයෙන් 
උඹ වටකර තුරුලු වේවි 
ගඟ පහලට ගලා යාවි
දිය සුළියේ ඔඩොක්කුවේ 
නැලවී ඉඳ - කිමිදී ඉඳ ගොඩට වරෙන් 
මලේ මලේ අඳුර එද්දි 
හෙල් මැලි සෙවණැලි නලියන 

ගුරු පාරෙන් ගෙදර යමන් 
වැලි කැට සුදු පලසක් වී 
සිඹ ගනීවි දෙපා නුඹේ

ඈත සිටන් කඩුල්ල ළඟ කිකිළී හඬගා කීවේ 
නැට්ටක් නැති ගෙඩියක් අද නුඹේ නමට දාපු වගද?

සඳ එළියේ රැළි විසිරෙන චීත්ත යට 
ගුලි වෙන විට ලනු මැස්සේ 
අන්න බලන් උඹෙ තනියට 
අහසෙත් මල් - පොළවෙත් මල්
ගින්දර පාටින් බබළන

මලේ මලේ නින්දට පෙර 
ඩිංගක් මේ ගැන හිතපන් 
මේ සේරම තෑගි ලැබුණෙ ලොවින් - නුඹට
මොනවද මල්ලියෙ දෙන්නේ නුඹෙන් ලොවට 

එක පාරට
ටකේ ගසන්නෙපා මලේ
කුරුල්ලන්ට 
ඉඩක් දියන් 
එක කරලක් ඇදන් යන්ට !     


හැකියාවක් තියෙනවා නම් ඉහත සඳහන් කල පොත් දෙක හොයාගෙන කියවන්න. ජීවිතය අලුත් කර ගන්න පුලුවන් වේවි!


Tuesday, June 16, 2015

බඩ දැවිල්ල භයානකද? - ගැස්ට්‍රයිටිස් (Gastritis)


සඳුදා උදෑසන බාහිර රෝගී අංශය යනු සතියේ කාර්යය බහුලම හෝරා කිහිපයයි.

පළමු රෝගියා කාමරයට ඇතුලු විය. 
මවත් සමඟ පැමිණ සිටි ඇය, වයස අවුරුදු 16ක් 18ක් පමණ විය හැකි යැයි අනුමාන කලෙමි.
එය නිවරැදිය. ඇය රැගෙන ආ බාහිර රෝගී අංශ තුණ්ඩුවෙහි වයස අවුරුදු 18ක් ලෙස සඳහන් වී තිබිණ.

මුහුණෙන් තරමක් තදබල අපහසුවකින් පෙළෙමින් සිටින බව දැකිය හැක.

"මොකක්ද අසනීපෙ?"

"අනේ ඩොක්ට, දැන් දවස් තුනක හතරක ඉදන්ම බඩදැවිල්ලයි කියනව, කෑමක් කටේ තියන්නෙ නෑ. මොනවා කෑවත් වමනෙ කරන්න හදනවා "
පිළිතුරු දුන්නේ මවයි.

"අද උදේ ඉදන් වමනෙ කරනවා, ඒ මදිවට කොන්දයි බඩයි දෙකම රිදෙනවා කියනවා, ඒකයි මේ උදේම බේත් ටිකක් ගන්න ආවෙ"
"අද හවස පන්ති යවන්නත් ඕනෙ, අනේ ඩොක්ට ඉන්ජෙක්ශන් එකක් දාල හරි ඉක්මනට හොඳ කරල දෙන්න."

මවගේ විස්තරයෙන්, රෝගී තත්වයද එය උග්‍ර වීමට හේතු සාධකයන් ද පැහැදිලි වේ.

"එතකොට මේ අමාරුකම් ඔක්කොටම දවස් තුනයිද? නැත්නම් කලිනුත් මෙහෙම වෙලා තියෙනවද?

"අපෝ ඔව් ඩොක්ට, මෙයාට ගැස්ට්‍රයිටිස් තියෙනවනෙ. දැන් අවුරුද්දක විතර ඉදන් ඔය බඩ දැවිල්ල කියන්නෙ. සැරෙන් සැරේට හැදෙනව. කීප පොලකින්ම බේත් ගත්තා. අර ඇතුලෙ ඇට තියෙන කරල් ගෙදර තියන් එහෙම වෙලාවට දෙනවා, ඒත් මේ පාර හරි ගියෙ නැහැනෙ."

"කොහෙද වැඩි පුරම රිදෙන්නෙ?"

"මේ හරියෙ ඩොක්ට" රෝගියා පළමු වරට පිළිතුරු දුන්නාය.
ඇය පෙන්වූයේ උදරයේ ඉහල කොටසය.

"පහුගිය ටිකේ ගොඩක් දැවිල්ල තිබ්බා, වෙලාවකට අනිනවා වගේ රිදෙනවා, අද නම් ගොඩක් අමාරුයි. ඒ හරිය පෙරලෙනවා වගේ. වමනෙ යන්න එනවා, ඒ කැක්කුමට 

හුස්ම ගන්නත් අමාරුයි."
"බඩ රිදෙන හරියෙන්ම වගේ පිටත් රිදෙනවා"

අමාශෛක ප්‍රදාහය යන රෝගී තත්වයේ තරම උග්‍ර තත්වයකට පත්ව ඇති බවක් හැඟවෙන බැවින්, වහාම ඖෂධ දෙවර්ගයක් රුධිර ගත කලෙමි.

මද වේලාවකින් ඇය යම්තාක් දුරට සුවපත් වනු දැකිය හැකි විය.

"දැන් නම් ටිකක් අඩුයි වගේ"

"හොඳයි, එහෙනම් අහගන්න ගොඩක් අය එච්චර ගනන් ගන්නෙ නැති උනාට, මේක එහෙම පොඩි ලෙඩක් නෙවෙයි. අමාශයේ හරි බඩවැල් වල හරි තුවාල ඇති වෙන එක තමයි මේකට හේතුව. හැබැයි අපේ හමේ තුවාල වගේ නෙවෙයි, ඒ තුවාල සුව කරන්න අමාරුයි. මොකද ඒ තුවාල ගොඩක් වෙලාවට තියෙන්නෙ ඇසිඩ් ගොඩක. ඒ ඇසිඩ් අඩු කරන්න පුලුවන් ක්‍රමේ තමයි සෞඛ්‍යයමත් විදිහට කෑම ගන්න එක."

"කියන්න බලන්න දවසේ කෑම වේලවල් ගන්න වෙලාවල් ඒ වගේ මොනවද කන කෑම කියල"

"උදේට නම් කන්න වෙලාවක් නෑ, කන්න පිරියත් නෑ, උදේ 6ට ස්කූල් වෑන් එක එනවා, හැබැයි නැගිට්ට ගමන් උදේ 5ට විතර කිරි එකක් බොනවා"
ඊට පස්සෙ ඉන්ටර්වල් එකට තමයි කන්නෙ, 11ට ගොඩක් දවසට සැන්විච්, නූඩ්ල්ස්, සමහර දාට බත්. ආපහු ගෙදර එද්දි හවස 3.30 විතර වෙනවා. හවස 4ට විතර බත් කනවා. පන්ති යන දවසට පේස්ට්‍රි ෂොප් එකකින් රෝල්ස් එකක් හරි සොසේජ් බන් එකක් හරි කාල කෝක් එකක් බොනවා. රෑට කනකොට නම් 8 විතර වෙනවා."

"පහුගිය ටිකේ කන්න බෑ කිව්ව හින්ද කොත්තු, පරාටෙ වගේ දේවලුත් ගෙනත් දුන්නා, බඩ හිස්ව තියන්න හොඳ නෑනෙ නේද ඩොක්ට?"
ඒ මවගේ ප්‍රතිචාරයයි.

"හ්ම්ම්.. කෑම වේලවල් අතරට මුකුත් කන්නෙ නැද්ද?

"අපෝ මෙයා ඒවට නම් කැමතියි, මිරිස් ලුණු දාපු කඩල, රටකජු, බයිට්ස් කොච්චර කෑවත් මදි කියන්නෙ නෑ."

"එළවළු පලතුරු කොළ වර්ග එහෙම නිතර කැවෙන්නෙ නැතුව ඇති නේද?

"මෙයා කැමති නෑ ඩොක්ට, පොඩි කාලෙ ඉදන්ම මෙයා එළවළු, කොළ ජාති කන්න කැමති නෑ."
ඒ මවගෙන් බලාපොරොත්තු වූ පිළිතුරමය.

"මේ දවස් වල විභාගයක් එහෙම තියෙනවද?

"අනේ ඔව් ඩොක්ට, ලබන සතියෙ ටර්ම් ටෙස්ට් එක අනික ඒ ලෙවල් වලටත් තව මාස දෙකයිනේ. මම කොච්චරවත් මේ ලමයට කියනවා විභාගෙ කට උඩ තියාගෙන ලෙඩ හදාගන්න එහෙම එපා කියල. මෙච්චර මහන්සි වෙලා විභාගෙ හරියට කර ගත්තෙ නැත්නම් ඉදල වැඩක් නෑනෙ නේද ඩොක්ට!"

මවගේ එම ප්‍රකාශයෙන් ළමයාට ඖෂධ හා මවට උපදේශනයක් ලබා දීම අත්‍යවශ්‍ය බවට මා හට ප්‍රත්‍යක්ෂ විය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

 අමාශයික ප්‍රදාහය නැත්නම් "ගැස්ට්‍රයිටිස්" කියලා හදුන්වන්නේ අමාශයේ ඇතුලත සෛල ආවරණයේ සිදුවන ආසාදන තත්වයට. එය මුලින් සෛල ආසාදනය කරන අතර කාලයත් සමග සෛල විනාශ කර අමාශයේ කුඩා තුවාල ඇති කරයි, තවත් කාලයක් පවතින විට මෙම කුඩා තුවාල ගැඹුරු තුවාල (Peptic Ulcer) බවට පත් වේ.
හිතන්න ආමාශය මල්ලක් කියා, එහි ඇතුලත සිට හෑරිමක් සිදු කරන්වා. සෙමෙන් සෙමෙන් මේ හෑරිම ගැඹුරු වන විට කුමක්ද සිදු වෙන්නෙ? ඔව් සිදුරක් ඇති වීම. මෙය තමයි ගැස්ට්‍රයිටිස් වල උච්චතම අවස්තාව.
source - http://en.wikipedia.org/wiki/Image:Deep_gastric_ulcer.png

අමාශ ප්‍රදාහයේ රෝග ලක්ෂණයන් දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවා, 

  • උදරයේ ඉහල කොටසේ වේදනාව, නැත්නම් දැවිල්ල.
  • ඔක්කාරය හෝ වමනය.
  • බඩ පුරවා දැමීම.
  • කෑම අප්‍රියතාව.
  • නිතර උගුරට ඒම.
  • පපුව පෙදෙසේ දැවිල්ල (බඩ පපුව දැවිල්ල)
  • මස්පිඬු වේදනාව.


රෝග ලක්ෂණ මෙසේ වුවත් සමහර අයට මෙම ලක්ෂණ නොමැති වුනත් රෝගය පවතින අවස්ථා තියෙනවා.

ගොඩක් වැදගත් වෙන්නේ රෝගයට හේතු වෙන දේවල් දැනගන්න එක.

01. බැක්ටීරියා ආසාදනයන්
මේ යටතේ ප්‍රධාන වශයෙන් හේතු වන බැක්ටීරියාව වෙන්නෙ හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter Pylori) කියන බැක්ටීරියාව.

02. ඖෂධ වර්ග
ගොඩක් වෙලාවට වේදනා නාශක ඖෂධ වර්ග (NSAIDs) මගින් මෙම රෝගි තත්වය ඇති වෙනවා.

03. මත්පැන්
04. දුම්බීම
05. මානසික ආතතිය (Stress).

මෙවැනි හේතුන් නිසා ඇති වන අමාශයේ ඇතුලත ආවරණය ප්‍රදාහයට ලක් විය හැක. මේ විදිහට ආරම්භ වන ගැස්ට්‍රයිටිස් කෙතරම් කාලයක් පවතිනවාද යන්න තීරණය වෙන්නෙ අපේ හාර පුරුදු හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනුව. 

නිවැරැදි ආහාර පුරුදු

වෙළද ප්‍රචාරණය වගේම කාර්ය බහුලත්වය නිසා අපේ වෙනස් වුන ආහාර රටාව තමයි මෙම ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන වගඋත්තරකරු වෙන්නෙ. පාන් පිටි ආශිත නිෂ්පාදනයන්, තෙල් හා මිරිස් අධික ආහාර, රෝල්ස් වැනි කෙටි ආහාර නිතර නිතර ගැනීම, කාබනීකෘත බීම වර්ග (වැඩි වශයෙන්ම කෝක් වර්ග) ගැස්ට්‍රයිටිස් රෝගය උත්සන්න වීමට හේතු වෙනවා.

 අනිත් කාරණය වන්නේ ප්‍රධාන ආහාර වේල් මග හැරීම හෝ නියමිත වේලාවට නොගැනීම. මේ තත්වය ගොඩක්ම දකින්න ලැබෙන්නෙ පාසැල් දරුවන් අතර. අමාශය ආහාර නොමැතිව හිස් වන විට ආමාශය තුල ඇති හ්යිඩ්‍රක්ලෝරික් (HCL) ආමාශය ආස්තරණය කරන සෛල තට්ටුවේ ගැටීම වැඩි වෙනවා. මෙලෙස නිතර නිතර අධික ආම්ලික තාවය නිරාවරණය විමෙන් එම සෛල වලට හානි වී තුවාල ඇති වීම වගේම එම තුවාල ගැඹුරු තුවාල බවට පත්වීම සිදු වෙනවා.

ඉතින් මේ ආම්ලික බව අඩු කිරීමට කල හැකි හොඳම ක්‍රමය තම නියමිත වෙලාවට ප්‍රධාන ආහාර වේලවල් ගැනීම. පාන් පිටි ආශිත ආහාර කෙටි ආහාර ආමාශයේ රැදෙන්නෙ සුළු වේලාවක් පමණයි. එවිට ඉක්මණින් ආමාශය යලි ආම්ලික තත්වයට පත් වෙනවා. කෝක් වර්ග වැනි කාබනීකෘත බීම වර්ග වලින්ද සිදුවන්නේ ආමාශයේ ආම්ලික බව වැඩි කිරීමයි. ඒ වගේ තෙල්, මිරිස් අධික කෑම අඩු කරන්න. හැකි තරම් එළවලු, පලා වර්ග කෑමට එකතු කරගන්න. තන්තුමය බව වැඩි ආහාර නිසා ආමාශයේ ආම්ලික බවෙන් ආමාශයේ සෛල ආරක්ෂා වෙනවා.

උදෑසන ආහාරය ඉතාම වැදගත්, පැය 12ක් පමණ නිරාහාරව සිටින බැවින් උදෑසන ආහාරය ආමාශයට අත්‍යවශ්‍යය වෙනවා. ගොඩක් අය කියන දෙයක් තමයි උදේට කෑම කන්න බෑ, වෙලාවක් නෑ කියන එක. එහෙම වෙන්න හේතු කීපයක් බලපානවා. එකක් උදේ නැගිට්ට ගමන් ලොකු කිරි වීදුරුවක් බොන්න පුරුදු වෙලා තියෙන එක. කිරි කියන්නෙ ජීර්ණය වෙන්න වෙලා යන දෙයක්. ඒ නිසා නැවත බඩගිනි ඇති වෙන්න වෙලා යනවා. ඉතින් උදේ 5ට අවදි වෙන දරුවෙක් කිරි වීදුරුවක් බිව්වොත් පැයකින් ඒ කියන්නෙ 6ට ආයෙත් කෑම කන්න ප්‍රිය තාවයක් නොදැක්වීම මුරණ්ඩු කමක් නෙවෙයි.

මේකට විසදුම තමයි නැගිට්ට ගමන් හොඳ වතුර වීදුරුවක් බොන එක. ගොඩක් අය අහල ඇති උදේම වතුර වීදුරුවක් බොන එකෙන් කොයි තරම් සිරුරට හිතකරද කියන එක. 
බලන්න එක දවසක් මේ උපදෙස්  පිලිපැදලා, ඉක්මණින් බඩගිනි වෙනවා, හොඳට කන්න පුලුවන්.

අනිත් එක වෙලාව නැති කම. මේකට ප්‍රධාන හේතුව ප්‍රමාද වෙලා නින්දට යන එක. ටිකක් හිතල ඉක්මණින් දවසේ වැඩ ඉවර කරල වෙනදට වඩා පැයක් කලින් නින්දට යන්න, වෙනදට වඩා පැය කාලක් කලින් අවදි වෙන්න. වෙලාව ගැන ප්‍රශ්නය විසදෙනවා වගේම දවසම උද්යෝගිමත් වේවි.

පාසැල් යන දරුවන්ට උදේ කෑම කාල යන්න පුරුදු කරන්න ඒ වගේම හොඳ පෝෂ්‍යදායී කෑම වේලක් දීල යවන්න. හවස අමතර පන්ති වලට නතර වෙනවා නම් කෑම දෙකක් හදල දෙන්න. නැත්නම් දවල් කෑම වේල ගෙනිහින් දෙන්න. මොකද හොඳ අධ්‍යයනයක් ලබන්න අනිවාර්යයෙන් දරුවා නිරෝගීමත්ව ඉන්න ඕනෑ.

කිරි වගේම කිරි ආශිත නිෂ්පාදනයන් මගින් ගැටලුවක් වෙන්නේ නැහැ.
හැබැයි තේ (ප්ලේන් ටී) හෝ කෝපි නම් මෙම රෝගීන්ට සුදුසු නැහැ.

හැකි තරම් වතුර බොන්න 

මොකද ඒ බීමට ගන්නා හැම වතුර වීදුරුවකින්ම ආමාශයේ ආම්ලික බව අඩු වෙනවා.

මානසික ආතතිය අඩු කර ගන්න.

ගොඩක් දෙනෙක් අත්දැකීමෙන් දන්නවා ඇති මානසික ආතතියත් බඩේ දැවිල්ල ඇති වීමත් කොයි තරම් එකිනෙකට සම්බන්ධද කියලා. ඉතින් ඔබේ දරුවෙකුට, සහකරුවාට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් හැකිතාක් දුරට ඔහුව හෝ ඇයව සැහැල්ලුවෙන් තියන්න උත්සාහ ගන්න.

වෛද්‍ය උපදෙස් නිවරැදිව පිළිපදින්න

බඩ දැවිල්ල හෝ ඉහත සඳහන් රෝග ලක්ෂණයන් නිසා තමාට ඇත්තේ ගැස්ට්‍රයිටිස් කියමින් කල් අරින එක නම් ගොඩක් නරක පුරුද්දක්. මොකද ගැස්ට්‍රයිටිස් රොග ලක්ෂණයන්ට සමාන රෝග ලක්ෂණයන් සහිත තවත් රෝග ගණනාවක්ම පවතින නිසා.

උදා :-
  • අග්න්‍යාසයේ ඇතිවන සංකූලතා
  • පිත්තාශයේ ඇතිවන සංකූලතා
  • හෘදයාබාධ
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශිත පිළිකාමය තත්ව.


මේ නිසා වෛද්‍ය සහය ලබාගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වෙනවා.

වෛද්‍යවරයා රෝග ඉතිහාසය හා රෝග ලක්ෂණ මෙන්ම අත්‍යවශ්‍ය පරීක්ෂා වලින් නිවැරිදි රෝග නිර්ණයකට පැමිණේවි. අවශ්‍ය වුවහොත් වෛද්‍යවරයා යම් යම් විශේෂ පරීක්ෂා උදව් කර ගනීවි.

උදා :-
1. එන්ඩස්කොපි පරීක්ෂාව 

මෙහිදී මුඛයෙන් ඇතුළු කරන කැමරාවක් සහිත  බටයක් මගින් ආමාශය පරීක්ෂා කරනු ලැබේ. අවශ්‍ය විටදී එමගින් ලබාගන්නා ආමාශයේ ඉතා කුඩා කොටස් පරීක්ෂා කිරීමට ලක් කරයි. 
 මෙය තුවාලයට හේතුව සොයා ගැනීමට උදව් වෙනවා.

2. අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය - අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්  (USS)

3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ

4. ඊසීජී (Electrocardiogram-ECG)

5. මලපහ තුල රෝග කාරක බැක්ටීරියා හා සුලුවෙන් හෝ රැධිරය අඩංගුදැයි බැලීම.

වෛද්‍යවරයා රෝග නිර්ණයෙන් පසු අවශ්‍ය ඖෂධ නියමිත මාත්‍රාව හා කාල සීමාව සහිතව තීරණය කරනු ලැබේ.

ඖෂධ

මෙහිදී බාවිතාවන ඖෂධ බොහොමයකම අරමුණ වන්නේ ආමාශයේ ආම්ලික බව අඩු කිරීමයි.

1. භාෂ්මික ඖෂධයන් ( Antacids )
උදා - ඇලුඩ්‍රොක්ස්, ගැවිස්කෝන් 

2. H2 antagonist
උදා - සිමැටිඩින්(cimetidine), ෆැමොටිඩින්(Famotidine) වැනි ඖෂධ.

3. Proton-Pump Inhibitors 
උදා - ඔමෙප්‍රසෝල්(omeprazole), පැන්ටප්‍රසෝල්(pantoprazole),  ඉසොමොප්‍රසෝල්(esomeprazole) 

4. ප්‍රතිජීවක ඖෂධයන් (Antibiotics)
ඉහත සඳහන් කල හෙලිකොබැක්ට බැක්ටීරියාව සිටින බව තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කිරිම සඳහා ප්‍රතිජීවක අත්‍යවශ්‍ය වෙනවා.

මෙලෙස ලබාදෙන ඖෂධ හා උපදෙස් පිලිපැදීමෙන් පසු රෝගය සුව වුවද නැවත ඇති වීම වලක්වා ගැනීමටද වෛද්‍යවරයාගේ උදව් සහිතව කලයුතු වෙනවා.

රෝගයේ අතුරු විපාක

අමාශයේ හෝ අන්ත්‍ර වල ඇති වන කුඩා තුවාල ගැඹුරු තුවාල බවට පත් වූ විට එම අවධිය පෙප්ට්ක් වණ (Peptic Ulcers) ලෙස හදුවනවා.
එවිට ඉහත රෝග ලක්ෂණ සමග තදබල ලෙස වමනය, උදරය ස්පර්ශ කරන විට පවා වේදනාව ඇති වීම, ලේ මිශ්‍රිත වමනය, කලුපැහැ (රුධිරය සහිත) මලපහ පිටවීම වැනි ලක්ෂණ දැකිය හැකි වෙනවා.
රෝගයේ උත්සන්න අවස්ථාවක් බැවින් රෝහල් ගත වීම අත්‍යවශ්‍ය වෙනවා.
මෙම පෙප්ටික් තුවාල හරහා අමාශයේ සිදුරු ඇතිවී අමාශය උදර කුහරයට විවෘත වීම පවා සිදු විය හැකියි (peptic ulcer perforation).

තුවාල ලින් නිරන්තරයෙන් සිදුවන ලේ ගැලීම් නිසා නිරක්ති තත්වයක් (Anemia)  ඇති විය හැකියි.

දිගු කාලිනව පවතින ගැඹුරු තුවාල පිළිකාමය තත්වයන්ට පත් වීමේ අවදානමක්ද තිබෙනවා.

ඉතිං, සරලව කිව්වොත් හොඳ ආහාර පුරුදු තියා ගන්න. දින කීපයක් පවතින බඩේ දැවිල්ල නොසලකා හරින්න එපා. වෛද්‍ය උපදෙස් නිවරැදිව පිළිපදින්න.
ඔයාල හැමෝටම සෞඛ්‍යයමත් දිවියක්!


Friday, May 15, 2015

තෘප්තිය


තව බොහෝ දුර යා යුතුය ....

සියලු අංගෝපාංගයන්ගෙන් යුක්ත මොන්ටෙරෝ රථය පැදවීම කිසිඳු වෙහෙසකර කටයුත්තක් නොවුනද නිරන්තර සිත රැඳී අතෘප්තිකර බව ඔහුව වෙහෙසකරවයි. ඇස් දෙඅත් දෙපා වාහනය හොදින් හැසුරුවද සිත නම් එක් තැනක නොවීය, එය අතීතය අවුස්සමින් හේතූන් සොයයි.

යන්තම් කරඳඩු උස් මහත් වූ වයසේ සිට ඔහුව පෙලුවේ මේ අතෘප්තිකර බවමය. ඉන් මිදීමට ඔහු නොකල දෙයක් නැත, මුලින්ඔහු සිතුවේ තමාට ඇත්තේ මුදල් ඉපයිමේ ආසාව කියාය. නොයෙක් අකාරයේ ව්‍යාපාර කරමින් මුදල් එක් රැස් කලද සිත තෘප්තියට පත් නොවිනි.
කෝටි ගණනක් වැය කරමින් රජ මැදුරක් වැනි නිවසක් තැනීය, දකින දකින ගෘහභාණ්ඩ ගෙනැවිත් එය පිරවීය ඒවායින් සැපහසුව ලැබුනද සිතට තෘප්තියක් නම් නොලැබිණ.තමාට ඇත්තේ තනිකම පාලුව යැයි සිතූ ඔහු සිය සිතැඟි පරිදි රූ සපුවෙන් යුතු යුවතියක් විවාහ කර ගත්තේය. දිවියට සවියක් සමඟ හවුල් කරුවෙකු ලැබුනද සිත තෘප්තිමත් නොවීය. නොකෑ කෑමක් නැත, කෙතරම් රසවත් ආහාර ගත්තද සිතේ අඩුවක් පවතී. 
අවසානයේ ඔහු දේශ දේශාන්තරයේ යෙදෙන්නට විය. ලොව වටා යමින් විවිධ දේ අහන්නට දකින්නට වුවද සිතට නම් සම්පූර්ණ සුවයක් නොදැනින.

අවසානයේ ඔහු යලි සිය රටට පැමිණියේය. තම නිවස වෙත යන ගමනේ ඔහු කල්පනා කලේ තමාට මගහැරුනේ කුමක්ද යන්නය.

කෙමෙන් නගර බද පෙදෙස පසු කරමින් එන අතර මග ඔහු සිතු විලි වලින් මිදී ගියේ කිසිවෙකු වාහනයට පනින්නට මෙන් පාරට එනු දැකීමෙනි. ඇය, වයස අසූවක පමණ වියපත් කාන්තාවකි. වාහනය දෙසට අතේ ඇති යමක් පෙන්වයි. ඔහු වාහනය නැවතූවේ කේන්තියෙන්ද යුක්තවය.

"මැරෙන්න හදනවද?"

"මහත්තයෝ ගොටුකොල මිටියක් ගන්න, හවස ගලෝපුවා!"

දහවලේ සිට ගිණි අව්වේ පිච්චෙමින් සිට ඇති බව ඇගේ කලු පැහැගැන්වුනු මුහුණ සාක්ෂි දේ, ඇටකටු පෑදුණු සිරුර ගිලීගිය දෙනෙත් හා දෙකොපුල් ඇයගේ දුෂ්කර ජීවිතයේ මං සලකුණු වැනිය. මදක් ඇරුණු මුවින් යුතුව ඇය ඔහු දෙස බලා සිටින්නේ ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද යන්නය. රාත්‍රී ආහාරය තීරණය වන්නේ ඒ මතය.

පාර අයිනේ එලා ඇති ගෝනි කඩමාල්ලක් මත ගොටුකොළ මිටි හත අටක් දැකිය හැක. 

"කීයද එකක්?

"රුපියල් 25යි මහත්තයෝ, හරි ගුණයි මේව.. දෙන්නද මිටියක්? 
ඇගේ දෑස දීප්තියෙන් බබලයි.

"හම්ම්... අර ඔක්කොම දෙන්න."

"ඔක්කෝම? ඉන්න මහත්තයෝ මම වතුර ටිකකුත් ඉහලම අහුරල දෙන්නම්. "

ලැබෙන්නට යන වාසිය ගැන සතුටටදෝ වයසට නොමැති තරමේ කඩිනමින් ඇය ගොටුකොළ මිටි ටික කවරයට අඩුක් කලාය.

"මිටි දහයටම රුපියල් දෙසීයක් දෙන්නකො මහත්තයෝ" 

"එහෙමද?  මෙන්න..."

ඔහු දික් කල සල්ලි කොලය අතට ගෙන බැලූ ඇයගේ ඇස් විශාල විය.

"අනේ මහත්තයො, පන්දාහක් මාරු නැහැනෙ" පවසමින් බැලූ ඇයට දැකිය හැකි වූයේ ඈත පිටත් වන ඔහුගේ රථයයි.

"අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනැ මෙහෙම උත්තමයන්ට" සිතමින් ඈ මුදල් නෝට්ටුව ගුලි කර ගත්තාය.

~ ~ ~ ~ ~ ~ ~ ~ 
උදෑසන අවදි වූ ඔහුට දැනුනේ කවදාවත් නැති සැහැල්ලුවකි, ඊටත් වඩා පුදුමාකාර සතුටකි. ඊයෙ රාත්‍රිය තරම් හොදින් නින්ද ගිය සතුටක් ඔහුට මත නැත.
පෙරදිනයේ නින්දට යන තුරුත් ඔහු කල්පනා කලේ ඔහුට හමු වූ වයසක කත තමාට ලැබුණු මුදලින් කුමක් කරණු ඇතිද කියාය. ඇය කුස පිරෙන්න ආහාර ගන්නා අයුරු ඔහුට මැවී පෙනිණි.
සිය නිවැසියන්ට තෑගි බෝග ගෙනයන අයුරු ඒවා බෙදා දී ඔවුන්ගේ සතුට දකින විට ඇයගේ මුහුණේ ඇඳෙන සිනහව ඔහු මවා ගත්තේය. ඔහු නින්දට වැටුනේ මෙවැනි සිතුවිලි අතරය.

ජීවිත කාලය පුරාවට සෙවූ දෙය ඔහුට හමු වී ඇත. කවදාවත් නොමැති අයුරින් සිත සතුටින් පිරී ඇත, තෘප්තිමත් වී ඇත. ඒ සතුට තව තවත් වැඩියෙන් ලබා ගන්නා ආකාරය බව ඔහු දැන් හොඳාකාරව දනී.

 ` ` ` ` ` ` ` ` 

මුහුණු පොතෙන් හමු වූ අපූරු වීඩියෝවක්, ගොඩක් අය නම් දැකල  ඇති. කමක් නෑ තව එක පාරක් බලන්න.