Saturday, March 30, 2013

ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress )



මා කලින් ඉදිරිපත් කල දැවෙන ජීවිත හා නිවුණ ජීවිත කියන ලිපි දෙක කියවන්න ඇතැයි හිතනවා. එහි ප්‍රධාන චරිතය වූ ජයතිස්ස ඇසුරෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කලේ මානසික පීඩනය (Stress) ජීවිතයට කෙතරම් තදින් බලපානවාද යන්නයි.

අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.

මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.
කොහොමද මනසට පීඩනයක් ඇති වෙන්නෙ? මොනවද හේතු? මෙයට බොහෝ වෙලාවට හේතු වන්නේ අප අවටම ඇති අයගේ / පරිසරයේ ඇති වන වෙනස්කම්. ඒවා වන්නේ,

  • රැකියාව.
  • අපගේ ලඟින් සිටින අය සමඟ ඇති සබඳතා වල වෙනස්කම්.
  • නිවසේ හා එහි ක්‍රියාකාරකම් වල වෙනස්කම්,
  • අභියෝග (විභාග, තරඟ, සම්මුඛ පරීක්ෂණ )
  • නව අත්දැකීම්.
  • රෝගා බාධ, හදිසි අනතුරු.


මෙලෙස ඇති වන මානසික පීඩනයේ තීවෘතාව අඩු වැඩි වීමට බලපාන්නේ  සිරුරට හා මනසට එම පීඩනයට ඔරොත්තු දීමට ඇති හැකියාවයි. එම ඔරොත්තු දීමේ හැකියාව වෙනස් වන්නේ පහත සාධක මගිනි.

  • ශරීර ශක්තිය (Fitness)
  • නින්ද
  • ශාරීරික හා මානසික සෞඛ්‍යය තත්වය.
  • පෝශණ මට්ටම
  • ප්‍රබෝධමත් හැඟීම් වලින් යුක්ත වීම. (Emotional well-being)


ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මානසික පීඩනය කියනනේ හිතේ හැදෙන, හිතට නැත්නම් ඔලුවට විතරක් බරක් වෙන දෙයක් කියල. නැහැ, ඔයා නොදැන මානසික පීඩනය නිසා සිරුරටද විශාල වෙන හානියක් වෙනවා.

මේ ගැන දැනුවත් වීමටත් එක්ක හැකි තරම් සරලව මානසික පීඩනය සිරුර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම්.

ඉහත සඳහන් කල මානසික පීඩනයට හේතුවන කිසියම් හේතු සාධකයක් නිසා අප තුල බියක්, පීඩනයක්, අප්‍රසාදයක් හෝ තිගැස්මක් ඇති වනවා එය මුලින්ම හඳුනා ගන්නේ අපේ මොළය අභ්‍යන්තරයේ ඇති "හයිපොතැලමස" යන ස්ථානයෙන්. ඉන් මානසික පීඩනය හදුනා ගැනීමේන් පසු එයින් CRH (Corticotropin Releasing Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. එය පිටියුටරි ග්‍රන්ථිය මගින් හදුනා ගෙන එයට පිලිතුරු ලෙස ACTH (Adrenocorticotropic Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. මෙම හෝමෝනය රුධිරය ඔස්සේ අපේ වකුගඩු වල ඉහල පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථි වලට පණිවිඩය ගෙන යනවා. එවිට එම ග්‍රන්ථියෙන් කෝ(ර් )ටිසෝල් (Cortisol) නම් හෝමෝනය නිපදවනවා.

මොකක්ද මේ කෝටිසෝල් (Cortisol)!

කෝටිසෝල් මානසික පීඩනයට සිරුර සූදානම් කිරීමට සිරුර තුල මහත් පෙරළියක් සිදු කරනවා. මේ නිසාම මෙය සිරුරේ ස්ට්‍රෙස් හෝමෝනය (Stress Hormone) ලෙසද හඳුන්වනවා. 
මා පහතින් ඉදිරිපත් කරන සිරුරේ සිදුවන වෙනස්කම් බොහොමයකට මෙම හෝමෝනය කෙලින්ම හෝ වක්‍රාකාරව වගකිව යුත්තා වනවා.

හැබැයි මේ හෝමෝනය කෙටි කාලීනව යම් අභියෝගයකට මුහුන දීමට නම්  ඉතා ප්‍රයෝජනවත්. (උදාහරනයක් ලෙස - මීටර් සියය දුවන්නට සූදානම් වන ක්‍රීඩකයෙකුට ) මක් නිසාද ක්ශණිකව සිරුර තුල වැඩි ශක්තියක් නිපදවීම හා සිරුර අවධානමකට මුහුණ දීමට හැඩ ගැස්සවීම මෙමගින් මනාව සිදු කරනවා.

නමුත් දිගුකාලීනව මෙම හෝමෝනය නිපදවීම නම් සිරුරට කිසිසේත්ම හිතකර නැහැ.


දිගු කල් පවතින මානසික පීඩනය සමඟ සිරුරේ සිදුවන වෙනස් කම්. 

1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.

ඔබ හැමෝම දන්නා පරිදි අපේ සිරුරේ ස්වාභාවික ආරක්ෂාව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ, ඉහත සඳහන් හෝමෝනය මගින් මෙය දුර්වල කරනු ලබනවා. (ප්‍රතිශක්තිකරනයට උදව් වන රුධිර සෛල නිපදවීම වැලැක්වීමයි මෙහිදී සිදු වන්නේ )

මෙහිදී අපට ලෙඩ රෝග වැළඳීමට ඇති හැකියාව ඉහල යන අතර. කිසියම් රෝගයක් වැළඳින හොත් එය සුව වීමට කල් ගත වීමද සිදු වෙනවා.
(විභාග කාල වලට මුහුණේ කුරුලෑ ඇති වීම වැඩි වීම මෙම තත්වයට තවත් එක් උදාහරණයක් )

2. කෑම අරුචිය

හිතේ කරදරයක් තියෙද්දි ගොඩක් අය කියන දෙයක්නේ මේ කන්න හිතෙන්නෙ නෑ කියන එක. ඒකටත් යම් දුරකට වගකියන්න ඕනෙ කෝටිසෝල් හෝමෝනයම තමයි.

3. අමාශයික ප්‍රදාහය

ඉහත සඳහන් කල හෝමෝනය නිසාද, කෑම අරුචිය නිසා සිදු වන නිසියාකාරව ආහාර නොගැනීමද, ආහාර නොගැනීමද, අමාශයික යුෂ නිපදවීම වැඩි වීමද නිසා අමාශයේ හා කුඩා බඩවැල් වල ආරම්භක පෙදෙස් වල තුවාල ඇති වීම සිදුවේ. මෙවිට බඩ දැවිල්ල යන රෝග ලක්ෂණය පහල වේ.

4. තුවාල සුව වීම කල් යෑම.

5. සිරුර තුල මේද තැන්පත් වීම වැඩි වේ.

මෙය වක්‍රාකාරව රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වීමට හේතු වේ (හෘද්‍යාබාධ, ආඝාතය ).

6. වර්ධනය අඩු වීම.

මෙය වඩාත් බලපාන්නේ කුඩා දරුවන්ටයි. කෝටිසෝල් හොමෝනය මගින් වර්ධක හෝමෝනය (Growth Hormone) නිපදවීම අඩපණ කිරීමයි මෙයට හෙතුව.

7. සිරුර වයස් ගත වීමේ ක්‍රියාවලිය ඉක්මණ් වීම


දැන් අපි බලමු මේ මානසික පීඩනය අප තුල තිබෙන විට පෙන්නුම් කෙරෙන ලක්ෂණ මොනවද කියල.

1.  මානසික වෙනස්කම්

  • මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම
  • අවධානය එක තැනක රඳවා ගැනීම අපහසු වීම.
  • නිතර බිය සහගත සිතුවිලි ඇති වීම.
  • නිවරැදිව තීරණ නිගමන වලට එළඹීමට නොහැකි වීම.
  • සෘණාත්මක සිතිවිලිම ඇති වීම.
  • නිතර වැලපීම.
  • ඉක්මනින් කෝපයට පත් වීම.
  • තමා තනි වී ඇතැයි යන හැඟීම.
  • අසහනකාරී බව හා සැහැල්ලු වීමට අපහසු යැයි හැඟීම.
  • උදාසීනත්වය හා විෂාදය (Depression)


2. කායික ලක්ෂණ

  • කයේ නිතර කැක්කුම් හා වේදනා ඇති වීම.
  • පපුවේ කැක්කුම හෝඅ හෘද ස්පන්දය වැඩි වී දැනීම.
  • අජීර්ණය (කෑම ගත් පසු උදරයේ වේදනාව හෝ අපහසුව ).
  • වමනයට ඒම.
  • කැරකැවිල්ල.
  • හිසරදය.
  • කයේ දුර්වල බව.
  • වැසිකිලියාම අක්‍රමවත් වීම.
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
  • ලිංගික ආශාව අඩු වීම.
  • රුධිරයේ සීනි ප්‍රමාණයේ අඩු වැඩි වීම් සිදු වීම.


3. හැසිරීමේ හා එදිනෙදා ජීවිතයේ පුරුදු වල සිදු වන වෙනස් වීම්.

  • ආහාර ගැනීම අඩු වීම හෝ අධික ලෙස ආහාර ගැනීමට හුරු වීම.
  • නින්ද යාම අඩු වීම හෝ අසාමාන්‍ය ලෙස දවස පුරාම නිදා ගැනීමට ගැනීම.
  • අන් අයගෙන් ඈත් වී තනිව ජීවත් වීමට උත්සාහ ගැනීම.
  • වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම.
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. (මත්පැන් භාවිතය මානසික පීඩනය අඩු කරන්නක් නොව ඉතා සුලු වෙලාවකට මනස වියවුල් කර ගැනීමක් පමණි. ඉන් සිදු වන්නේ මානසික පීඩනයට මුහුණ දීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී යාම සමඟ අමතර ගැටළු ගණනාවක් එක් කර ගැනීම පමණකි )


දැන් ඔබට මානසික පීඩනය යනුවෙන් හැදින් වෙන්නේ කුමක්ද යන්න ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි හිතනවා.

මානසික පීඩනය පාලනය කර ගන්නේ කෙසේද?

යමක් වීමට පෙර වලක්වා ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. ඉතින් මානසික පීඩනය වුනත් ඇති වීමට ඉඩක් නොතබා ජීවිතය සමබරව ගෙන යාම තමයි අපට කල හැකි හොඳම ප්‍රථිකර්මය.

මොනවද ඒ සඳහා කරන්න ඕනෑ?

1. නිවරැදි තීරණ ගැනීම (Decision Making)

අප ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී එය සුදුසුද? තමාට සම්පූර්ණ කල හැකි පරාසයක තිබේද? ඉදිරියේදී එය දරා ගැනීමට හැකියාවක් තියද යන දෙවල් හොඳින් හිතා බලා සිටිය යුතුයි.

2. සැලසුම් කිරීම (Planing).

මොනදේ කලත් හරියාකාරව සැලසුම් කර කරනවා නම් කවදාවත් මානසික පීඩනයට ලක් වන්නේ නැහැ. මීට සම්බන්ධ ලිපියක් ලෙස 

දිනපොතට වටිනාකමක් දෙන්න පුලුවන් කැමති අය එයින් ප්‍රයෝජනයක් ලබා ගන්න.


3. කාල කලමනාකරණය (Time Management)

ඉහත සඳහන් කල කරුණටම ගොඩක් සමාන දෙයක්. නමුත් ඉහත සඳහන් වුනේ දිගු කාලීන සැලසුම් කිරීම පිලිබඳ. මෙහිදී අදහස් කෙරෙන්නෙ එක් දිනක් තුල කරන වැඩ කටයුතු කිරීම සැලසුම් කිරීම.

ඉහත සඳහන් කරුණු තුන නිවරැදිව සිදු වේ නම්. මානසික පීඩනය ඇති වීම බොහෝ දුරට වලක්වා ගැනීමට හැකිවේ.

ජීවිතේ කිසියම් හෝ දෙයක් නිසා ඉහත සඳහන් අකාරයට අපේ හිත පීඩනයට (අපහසුවට ) ලක් වෙනවා කියල දැණුන ගමන් අපි තෙරුම් ගන්න ඕනෑ, ඒ පීඩනය පාලනය කර නොගත්තොත් ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙන්න පුලුවන් කියන එක.

හරි තෙරුම් ගත්තා! ඊට පස්සෙ මොකද කරන්නෙ?

ඇති වුන පීඩනය අඩු කර ගන්නත් හිත සන්සුන් කර ගන්නත් විවිද ක්‍රම තියෙනවා.

  • පලමුව අදාල ගැටලුව ගැන හිතන එක මදකට නවත්වන්න.
  • තමන්ට ගොඩක් හිතවත් (තව දුරටත් ඔලුව අවුල් කරන්නෙ නැති ) කතාවට ප්‍රිය කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න. (අදාල ගැටලුව ගැන නොවුනාට කමක් නැහැ )
  • තමන් කැමති විනෝදාංශයකට මදක් යොමු වෙන්න (ගීතයකට සවන් දිම, චිත්‍රපටයක් නැරඹීම )
  • මදක් එලිපහලියේ ඇවිදින්න (ගස්කොලන් ඇති සුවදායක පරිසරයක් නම් වඩාත් සුදුසුයි )
  • සැහැල්ලු ව්‍යායාමයක යෙදීම (වේගවත් ඇවිදීම, ක්‍රීඩාවක යෙදීම ) මෙය සිරුරත් හිතත් දෙකම සැහැල්ලු කරන බැවින් ඉතා හොඳ පියවරක්.
  • තමාට කිසියම් කලාත්මක හැකියාවක් ඇත්ත්නම් එහි යෙදීම (චිත්‍රයක් ඇඳීම, සංගීත භාණ්ඩයක් වාදනය, කවියක් ලිවීම )
  • සිත සැහැල්ලු කර ගැනීමේ විශේෂ ක්‍රියාකාරකම් වල නියැලීම (භාවනා ක්‍රම, යෝග ව්‍යායාම ) මේවා වල නියැලීමට පෙර නිසි උපදෙස් ලබා ගැනීම වඩාත් ඵලදායි වෙනවා.


ඉහත සඳහන් ක්‍රම වලින් පිළියමක් නොලැබේ නම් උපදේශකවරයෙක් (counsellor) හමුවීම වඩාත් ඵලදායීය. 
ලංකාව තුල පවතින දුර්වලතාවයක් තමයි උපදේකවරයෙක් හමු වීමට යාමට ඇති අකමැත්ත, සමහරු හිතන්නේ එවැනි කෙනෙක් හමු වන්නට යන්නේ මානසික රෝග ඇති අය කියායි. එය සම්පූර්ණ මුලාවක්. දියුණු රටවල බොහෝ දෙනා වසරකට වරක් වත් උපදේශකවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්නවා.
මෙහිදී ඔවුන් මනාව අපගේ හිතේ ඇති පීඩනකාරී තත්ව හඳුනා ගෙන ඊට වඩාත් ගැලපෙන ප්‍රතිකර්ම හා ව්‍යායාම හඳුන්වා දෙනවා. අපගේ මනස වඩාත් කාර්‍යක්ෂම කිරීමට ඔවුන්ට පුලුවන්.

මානසික පීඩනය ඉතා ප්‍රබලව පවතින අයට විවිධ මානසික සංකූලතා ඇති වීමේ ප්‍රවනතා වැඩියි. විශාදය (Depression), භින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික රෝග ඇති වීමටද ඉඩ තිබෙනවා. එම නිසා තදබල ලෙස මානසික පීඩනය ඇති අය නිසි වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත්. ඔවුනට මනස සැහැල්ලු කර ගැනීමට උපදෙශාත්මක ප්‍රථිකාර ලබා දෙන අතර අවශයම නම් ඖෂධ ලබා දීමද සිදු වනවා.


දිගුකල් පවතින මානසික පීඩනය කියන්නේ අපෙ එදිනෙදා ජීවිතයේ වැරදි පුරුදු නිසාත් ජීවිතයේ සැබෑ සතුට හරියාකාරව තේරුම් නොගැනීම නිසාත් ඇති වන්නක්.

මේ සම්බන්දව ලිපි කීපයක් මගින් මීට පෙර අපි කතා කලා ඔබට මතක ඇති.

ජීවිතය විඳින්න....!


නිවරැදි විවේකයක්...!


නිවුණු ජීවිත


ඒවායෙ අන්තර්ගතය සාරාංශ කල හොත් මෙසේය, 

  • මුදල් ඉපයීමෙන් පමණක් ජීවිතයේ සතුට නොලැබෙන බව වටහා ගැනීම.
  • පවුලේ අය සමඟ කාලය ගත කිරීම ලැබෙන සතුට හා පවුලේ ඇති වන සමඟිය තෙරුම් ගැනීම.
  • ඒකාකාරී ජීවන රටාවෙන් මිදීම.
  • නිවරැදි අහාර රටාවක්, නිවරැදි ප්‍රමාණවත් නින්දක් සමඟ සිරුරට ප්‍රමාණවත් ව්‍යායාම ලබාදීම.
  • නමට පමණක් සීමා නොවී සැබෑවටම සිය ආගමික කටයුතු වල නියැලීම.
  • හැකි පමණ සැහැල්ලු සිතෙන් සිටීම හා සිනාමුසු මුහුණින් යුතුවීම, උද්‍යෝගමත් ලෙස කතා බහේ යෙදීම.


ඉහත කෙටියෙන් පැවසූ කරුණු සම්පූර්ණ වීමෙන් ප්‍රබෝධමත් ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙනු නොඅනුමානය. 

මඳක් සිතන්න, වෙනසක් කරන්න!

ඔබ සැමට සතුටෙන් සැහැල්ලුවෙන් පිරුණු සුවබර දිවියක් පතමි!


~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~ 

මේ ලියැවුනේ ගිමන්හල වෙතින් ඔබට පිදෙන 50 වෙනි ලිපියයි. මෙතෙක් ලියවුනු සෑම ලිපියකින්ම වගේ ඔබට ප්‍රයෝජනවත් වන යමක් ගෙන ඒමට උත්සාහ දැරුවෙමි. ඒවායි ඔබේ දිවියට කිසියම් හෝ යහපතක් ප්‍රයෝජනයක් වූවා නම් එයයි මගේ සතුට!

ඉදිරියටත් ඉඩ ඇති අයුරින් හරවත් යමක් රසවත්ව ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කරමි!

ලිපි කියවමින්, ඒවාට අදහස් දක්වමින්, වැරදි පෙන්වා උපදෙස් දෙමින්, මා හට මහත් ශක්තියක් වූ ඔබ සැමට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටිමි!

~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~ 

Thursday, March 28, 2013

නිවුණු ජීවිත



ජයතිස්සට සිද්ද වූ දේ නොදන්නා අය මෙතනින් ( දැවුන ජීවිත ) ගිහින් කියවලා ආවොත් මේ කතාව ගොඩක් රසවත් වේවි.

තර්ජනාත්මක ලෙස බලා සිටි නිලධාරී දෙපල කාමරයෙන් පිටත්ව යනු ජයතිස්ස අන්දමන්ද වී බලා සිටියේය. සිදු වූ දෙය සිහි කල්පනාවට ඒමට මද වේලාවක් ගත විය. 

"මෙච්චර අයිස් ගහන එවුන් කන්තෝරුවෙ ඉඳිද්දි, මටමනෙ ඒ හෙණහුරත් පාත් වුනේ" 
ලේන්සුව ගෙන වැක්කෙරෙන දහඩිය පිස දමා වතුර වීදුරුව එක හුස්මට හමාර කලේය.

ඒ සමඟම පැමිණියේ පියන් කොලුවාය.

"සර්ට ලොකු සර් එන්න කිව්වා"

"හ්ම්ම්" තවත් කුණාටුවක පෙර නිමිති පහල වී ඇති බව ජයතිස්සට වැටහිණ.

"අද නම් මොන කරුම දවසක්ද මන්දා"

යටහත් පහත් ලීලාවෙන් ජයතිස්ස ප්‍රධානියා ඉදිරියට පැමිණුනේය.

"ජයතිස්ස! මොනවද අයිසෙ මේ කරන්නෙ?" සිතුවාක් මෙන් සිදු වූ දෙය ලොක්කාද දැනගෙන ඇත.

"නෑ සර්, මේ අද ටිකක් වැඩ වැඩි වුනා ඒකයි"

"අනේ මේ නවත්ත ගන්නවා අඬවැඩියාව, මොකද තමුසෙට කියල අමුතුවෙන් වැඩ හම්බ වෙනවයැ. අර සිරිතුංග කරන්නේත් තමුසෙගෙ වැඩ ටිකමනෙ. අර අපූරුවට වෙලාවට වැඩ ටික කෙරෙන්නෙ, ජයතිස්ස මම කලිනුත් තමුන්ට අවවාද කලානෙ. දැන්නම් මට කරන්න දෙයක් නෑ, හෙඩ් ඔෆිස් එකෙන් මේකට මොන තීරණයක් ගනීද දන්නෑ. අනේ මන්ද අයිසෙ තමුසෙලගෙ මේ වැඩ නිසා මටත් බැණුම අහන්න වෙනවා"

ජයතිස්සට බිම බලා සිටිනු හැර වෙනත් කියන්නට දෙයක් නොතුබුණේය.

"දැන් ඉතින් යනවා"

ජයතිස්ස ඉක්මණ් ගමනින් සිය කාමරයට පැමිණියේ කන්තෝරුවේ අනෙක් අයගේ ඇස් වලින් වහන් වීමටය.

එසැණින්ම කාමරයට පැමිණියේ සිරිතුංගය.

"ඔන්න ආවා හොඳ මිනිහා, වෙච්ච දේ ගැන මිනිහට සතුටු ඇති" ජයතිස්ස ඉරිසියාවෙන් යුතුව සිතීය.

"මොකද ජයේ වුනේ?"

සිරිතුංග ඇසුවේ කන්තෝරුවේ ඕප දූප ඇසීමට වඩා මිතුරාගේ මුවින්ම සිදු වූ දෙය දැන ගැනීම සුදුසු යැයි සිතූ නිසාය.

"ඇයි ආරංචිය ආවෙ නැද්ද"

ජයතිස්ස තරමක් කේන්තියෙන් සිටින බවක් සිරිතුංගට හැඟින. 

"නෑ ජයේ, ඔය මිනිස්සු කියන කතා අහනවට වැඩිය ජයේගෙන් ඇත්ත කාරණේ අහ ගන්න එක හොඳයි කියල හිතුනා. ඔය මොකක්ද පගාවක් ගැන කසු කුසුවක් යන්නෙ"

ජයතිස්සට තවත් කේන්ති ගියේය. "මෙහෙමත් මිනිස්සු!"
එක අතකට සිරිතුංග ඔවුනට වඩා හොඳ යැයි ඔහුට සිතිණ.

"අනේ ඇත්තට සිරි පුදුම මිනිස්සුනේ මේකෙ ඉන්නෙ! එහෙම මුකුත් වුනේ නෑ. මම මෙතනට එන අයට හරියට කතා කරන්නෙ නෑ කියල පැමිණිල්ලක් දාලලු. අද ඒක බලන්න හෙඩ් ඔෆිස් එකෙන් දෙන්නෙක් ඇවිත්, වෙලාවට අදත් මට වැඩ වැඩි නිසා ටිකක් කේන්ති ගියා"

සිරිතුංගට කාරණේ වැටහින.

"අහ්, එහෙම ප්‍රශ්ණයක්ද. හ්ම්ම් මමත් කීපවරක්ම හිතුව ඕක ගැන කතා කරන්න. ඒත් ජයේ මොනවත් හිතයිද කියල නිකන් හිටිය."

"අනේ මන්ද සිරි, මට නම් පිස්සු වගේ, ජීවත් වෙන්නත් එපා වෙලා. සිරි දන්නවනෙ මම කොච්චර වැඩ කරනවද කියල, කන්න බොන්න වෙලාවක් නෑ, ගොඩක් වෙලාවට ගෙදර ගෙනිහිල්ලත් වැඩ කරනවා. එහෙම කරලත් බලන්නකො වෙච්ච දේ"

සිරිතුංගට සිය මිතුරා ගැන ඇත්තටම අනුකම්පා සිතිණ.

"ජයේ, මම දන්නවා ඒ ගැන හොඳටම. වැරැද්ද තියෙන්නෙ ජයේ කරන්නන් වාලෙ වැඩ කරනවා මිසක් තමන් කරන පිළිවෙල හරිද කියල පොඩ්ඩක් නිදහසේ කල්පනා නොකරන එක"

"ජයේට තියෙන්නෙ මානසික පීඩනය, ඕක පාලනය කර ගත්තේ නැති වුනහම දවසින් දවස වැඩි වෙන එකයි වෙන්නෙ. එතකොට වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා, හිතයි ඇඟයි දෙකම දුර්වල වෙනවා.
අපි උදාහරණෙට ගමු ජයේවම,

අපි දෙන්නම මේ සෙක්ෂන් එකේ වැඩට ආවෙ එකට. ඇත්තටම වැඩ එනවා වැඩියි තමයි. ජයේ මොකද කලේ මුල් කාලේ වැඩ ටිකක් හෙමින් සීරුවෙ කලා, වැඩ එකතු වෙද්දි හදිස්සියට කරන්න ගිහින් කීපයක් ආපහු කරන්න වුනා, වැඩ එකතු වුනා. ඊට පස්සෙ මැරී ගෙන ඒව ඉවර කරන්න හැදුවා මිසක් වෙන දෙයක් ගැන හිතුවේ නෑ. ඒ ගත්ත අධිෂ්ඨානය හොඳයි තමයි, ඒත් සැලසුමක් සමබර තාවයක් නැතුව ඒ අධිශ්ඨානයෙන් පලක් නෑ. කොටින්ම කිව්වොත් ජයේගේ හිතේ තිබ්බ පීඩනේ අඩු කර ගන්න මුකුත් නොකල එකයි ජයේ කල ලොකුම වැරැද්ද"

සිරිතුංගගේ වචනයක් පාසා පවසන්නේ ඇත්ත බව ජයතිස්සට සිතේ. ඒත් ඔය කියන පීඩනේ වැඩ ඉවර නොකර කොහොම අඩු කරන්නද. 

"මොකද ජයේ කල්පනා කරන්නෙ? මම කියපුව වැරදිද?"

"අහ් නෑ සිරි ඒ ඔක්කොම ඇත්ත, ඒත් වැඩ ඉවර නොකර කොහොමද සැහැල්ලු වෙන්නෙ?"

"ඉතින් ජයේ, මටත් මුල් කාලේ ජයේට වගේම තමයි, ගෙදර යන්නෙ ඔලුව තෝන්තු වෙලා වගේ. හැබැයි ගෙදර ගිය ගමන් මම ඔෆිස් එක අමතක කරල දානවා.
වයිෆ් එක්ක පොඩි චැට් එකක් දාල වොශ් එකක් එහෙම දාගෙන පොඩි එවුන් එක්ක පොඩ්ඩක් වෙලා හිටියහම අර ඔලුවෙ තිබ්බ බර කොහෙන් ගියාද නැහැ.
රෑට හොඳ නින්දක් දාල ෆ්‍රෙෂ් පිට පහුවදාට ඔෆිස් ගියහම දවසක වැඩ පැයෙන් දෙකෙන් නීට් එකට කරල දාන්න පුලුවන්."

"වැඩ උපරිමේටම වැඩි වෙලා හිර වුන වෙලාවලුත් තිබ්බ. එක පාරක මම කෙලින්ම ලොක්කව හම්බුනා. හම්බ වෙලා කිව්ව ඉන්න තත්වෙ. රාජකාරී සාකච්ඡාවක් විදිහට නෙවෙයි හිතවත් කමට පොඩි උපදෙශයක් ගන්න විදිහට. ජයේට කියන්න ලොක්ක අපි හිතන විදිහෙ මරුමුස් පොරක් නෙවෙයි. එදා පොර මට මරු ලෙක්චර් එකක් දුන්නා අපේ ෆීල්ඩ් එකෙ තොරතුරු හොයන කෙටි ක්‍රම, අපි යටතේ ඉන්න අයගෙන් උදව් ගන්න හැටි, පැය ගානක් දඟලල අපි හදන ලිපි කෙටියෙන් ලස්සනට හදන ෆොර්මැට්ස් ගැන. කියපු විදිහට ට්‍රයි කරල බැලුවා, මෙන්න බොලේ දවස් දෙකෙන් වැඩ ටික ගොඩ. ලොක්කගෙ හිතත් හොඳයි. 

ඔෆිස් එකේ අනිත් අය එක්ක හොඳට කතා බහ කරල ඉන්න එකත් වටිනවා, මොකද ජයේ හැමෝම එක්කම හිත හොඳින් හිටියහම ඕන වැඩක් ඉක්මණට කර ගන්න පුලුවන්. ඒ නැතත් පොඩ්ඩක් හරි හිත කරදර වෙලාවක ලඟ ඉන්න එකෙක් එක්ක පොඩි විහිලුවක් කරල වචනයක් දෙකක් හිනාවෙලා කතා කලහම හිත ටිකක් නිදහස් වෙනවා. 

තවත් වැදගත්ම දෙයක් තමයි පිලිවෙල, තමන්ගෙන්ම පටන් ගන්න ඕනෑ, බලපන් උඹ ඇදන් ඉන්න හැටි. එහෙම නෙවෙයි ජයේ මහලොකු විලාසිතා නැතුවට අදින එක හෝදල මැදල, දකින කෙනෙක්ට ප්‍රසන්න විදිහට ඉන්න ඕනෑ. එතකොට අපිටම එනවා අමුතු ගැම්මක්. ඇඟේ ඈලි මෑලි ගතිය නැති වෙන්න ඕවත් බලපානවා.
ඊලඟට කරන වැඩ, කරන දේ උපරිමයෙන් ලස්සනට පිළිවෙලට කරන්න ඕනෑ, එතකොට කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්, මහන්සි දැනෙන්නෙ නෑ, වැරදීම් අඩු පාඩු නිසා ආයෙ ආයෙත් කරන්න වෙන්නෙ නෑ, බලන්න ඒකෙන්ම කොච්චර වෙලාව ඉතුරු වෙනවද! කොහොම හරි එදිනෙදා වැඩ එදාම ඉවර කරන්න උත්සාහ ගන්න එකත් ගොඩක් වටිනවා. 

"අනික ජයේ ඔෆිස් වැඩ කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයිනෙ, එවාට වෙන් කරන අවධානයට සමානව පවුල බිරිඳ දරුවො වෙනුවෙනුත් වෙන්වෙන්න ඕනෑ. එයලගෙන් හිතට ලැබෙන ශක්තිය වෙන කිසි දේකින් ලබන්න බෑ. කොච්චර වැඩ තිබ්බත් එයාල එක්ක නිදහසේ ටිකක් කතා කරන්න, ඉඳල හිටලවත් එයාලත් එක්ක ගෙදරින් පිට පොඩි ගමනක් බිමනක් යන්න, එහෙම ගිහින් බලන්න එයාලගේ සතුට! අපිට නොදැනුනාට ලමයි පුදුම සතුටක් විදින්නෙ, ගමනක් යන එකටත් වඩා තාත්ත එක්ක ඉන්න තියන ආසාවට, ඒ  වෙලාවට තමයි හිතෙන්නෙ ජයේ ලෝකෙ මීට වඩා සතුටක් තියෙද කියලා"

ඔය කාරණා සම්පූර්ණ උනහම මානසික පීඩනේ බිංදුවටම බහිනවා, ජීවිතේ ඉබේම ගොඩක් සුන්දර වෙනවා. ඔය දේවල් මුකුත් සල්ලි වියදම් වෙන දෙවල් නෙවෙයිනෙ. හිත සතුටෙන් නම් ලෙඩ අඩුයි. බලපන් උඹට තියෙන ලෙඩ ගොඩ! ෆෙෂර්, සීනි, පපුවෙ මහන්සිය, හිසරදේ ඔය ඔක්කොම කාලේක ඉඳන් උඹට තියන මානසික පීඩනේ හින්දා හැදුන එවා, වෙලවට කන්නේ නෑ, කෑවත් කන දෙයක් අල්ලන්නෙ නෑ. තාමත් පරක්කු නෑ ජයේ පොඩ්ඩක් හිතල බලපන්. පොඩි වෙනස්කම් කීපයකින් ජීවිතේ ගොඩක් වෙනස් කර ගන්න පුලුවන්. 

සිරිතුංගගේ වචන සමඟ තමා ලඟම තබාගෙන තමා නොවිඳි සතුට ගැන තෙරුම් යන විට ජයතිස්සට ශෝකය මුසු පසුතැවීමක් දැනෙන්නට විය.

"උඹට පිං සිරි මේව තෙරුමක් කරල දුන්නට, මට දැනුයි හිතෙන්නෙ මම හිටියෙ මොන තරම් කාලකණ්නි ලෝකෙකද කියල."

"ඕක මොකක්ද ජයේ, යාලුවෝ ඉන්නෙ ඒකටනෙ. දැන් ඉතින් වෙච්ච දේවල් ගැන හිතන්න එපා. ඉස්සරහට කරන්න තියන දේවල් ගැන හිතමු. අද වුන දේ විසඳ ගන්න බැරි වෙන එකක් නෑ. එච් ආර් ඩිපාර්ට්මන්ට් එකේ ලොක්ක මාත් එක්ක ටිකක් හිතවත්. අපේ ලොක්ක එක්කත් කතා කරල මේක ශේප් කරල දාමු, උඹේ හිර වුන වැඩ ටිකටත් මම හෙල්ප් එකක් දෙන්නම්, නිහාලුත් හිත හොඳ එකා පොරත් උදව් කරයි. ජයේ මේ ඔක්කොටම වඩා වටින්නෙ මම කියපු දේවල් ටිකක් හිතල වැරදුනු තැන් හදා ගන්න එක."

"මට තේරෙනවා සිරි, උඹට මේවට ස්තූති කරන්න මං ගාව වචන නැහැ" ජයතිස්ස මුලු හදින්ම පැවසූවේ සිරිතුංගගේ දෑත් තරයේ අල්ලා ගනිමිනි.
සිරිතුංග හා කල කතාබහෙන් පසු හිතට දැනෙන සුවය ගැන ඔහුට පුදුම සිතින.

කල්‍යාණ මිතුරෙක් යනු ජිවිතයේ යහමඟ දකින්නට උදව් කරන්නෙකු  බවට කොහේදී හෝ අසා තිබූ දෙය සම්පූර්ණයෙන්ම සත්‍යක් බව ජයතිස්සට හැඟින.

Tuesday, March 26, 2013

දැවෙන ජීවිත



ශීලා කෝ මෙතන තිබ්බ කොළපාට ෆ්යිල් එක? අනෙ අම්මප මේ ගෙදර කිසි දෙයක් පිලිවෙලට තියා ගන්න බැහැනෙ!"

මොකද අනේ කෑ ගහන්නෙ! මේ හොද්ද ලිපෙන් බාල මම ඇවිත් හොයල දෙන්නම්, ඔයා ලෑස්ති වෙන්නකො" ශීලා කුස්සියේ සිටම කෑ ගැසුවාය. සෑමදාම උදෑසනට ජයතිස්සගේ මේ කලබලය දැන් ඇයට පුරුදුය.

"මේ තියෙන්නෙ අනේ, ඔයාම ඒක තව ෆයිල් එකක් ඇතුලට දාල වහලා"

"හරි හරි ඔන්න ඔය ෆයිල් ඔක්කොම බෑග් එකට දාන්න, ඊයෙ රෑ එක වෙනකල් කරලත් වැඩ ටික ඉවර කර ගන්න බැරි උනානේ. කොහෙද ඔයාගෙයි ළමයින්ගෙයි කරච්චලේ අස්සෙ වැඩක් කර ගන්නෙ"

ශීලාට වඩාත්ම කේන්ති යන්නේ බොහෝ විට ජයතිස්සගේ මුවුන් පිටවන ඔන්න ඔය දෙබසටයි. නමුත් ඔහු සැබෑවටම වෙහෙසෙන අයුරු දකින බැවින් ඇය ඉවසා සිටී. කාර්යාලයේ වැඩ ගෙදරට උස්සන් එනවාට ඇය කවදත් අකමැතිය.

"මොකද ඔය? අයියෝ ඕක හොඳටම පොඩි වෙලානේ!" ඔන්න ඕක ගලෝල දෙන්න මම ඉක්මනට අයන් කරල දෙන්න"

"දැන් වෙලාවක් නෑ කෝච්චියට පැය කාලයි! කෝ ඔන්න ඔය බෑග් එක ගේන්න"

"කටක් දෙකක්වත් කාල යන්නකො, ඔයා ගිහින් මුකුත් කන්නේත් නැහැනේ" 

"ගිහින් මොනව හරි කන්නම්" පවසමින් ශීලා සූදානම් කර තැබූ උදෑසන බේත් වේල කටට හලා ගත්තේය.

"එහෙනම් මම යනවා"

"පරෙස්සමට කෝච්චි වලට දුවද්දි"

ජයතිස්ස දුම් රියපලට පැමිණියේ ඇවිදිනවාට වඩා දුවනවාක් වැනි ගමනින්ය. විනාඩියක් පමණ ඔහු පපුව අත ගාමින් බිත්තියකට පිටදී සිටියේ පපුවේ හතිය අඩු වන තෙක්ය.

පොරකා දුම් රියට නැගි ඔහු යන්තම් අසුනක් අල්ලා ඉඳ ගත්තේය. සුසුමක් හෙලා සුපුරුදු පරිදි කල්පනාවට වැටින. වසර ගණනාවක සිට මෙම දුම් රියේම යන එන අයෙක් වුවද උදෑසන සුබපැතුමකට එහා ගිය කතා බහකට තරම් මිතුරු සමාගමක් ඔහුට නොසිටියේය. ඔහුගේ හිස පිරී තිබුනේ රාජකාරි වැඩ වලිනි. කවුරුන් කතා කලත් මුවින් පිට වූවේ එකම අදෝනාවය. එම නිසාමදෝ කිසිවෙකුත් ඔහුගේ කල්පනා ලෝකයට බාධා කලේ නැත.

සැබවින්ම ඔහුට කල්පනා කිරීමට බොහෝදේ තිබුනේය.
වැඩි වශයෙන් රාජකාරි වැඩද, සුලු වශයෙන් පවුලේ ප්‍රශ්නය.
එන්න එන්නම ණය බර වැඩිවේ, දරුවන්ගේ ඕනෑ එපා කම් ටිකෙන් ටික වැඩි වේ, කීයක් හෝ ඉතිරි කර ගන්නට ඕනෑ යැයි සිතුනද වන්නේ එහි අනිත් පැත්තය. 
දිනෙන් දින අලුතෙන් එකතු වන රෝගයන් නිසා තමා එන්න එන්නම දුර්වල වන සෙයක් දැනේ. සියල්ලටම මුල හිතේ ඇති කරදර නොවේදැයි විටෙක සිතේ.

මෙසේ කෙලවරක් නැතුව කල්පනා කරන විට කවුරු නැතත් ලඟින් සිටින හිසරදය ඔහු සොයා ඒ. ඉන්පසු සිදු වන්නේ නින්දට වැටීමය.

නින්ද අතරින් අවට සිටින අය විටින් විට ඔහුව මාතෘකා කොටගෙන පවසන වදනක් දෙකක් කන වැකෙන අවස්ථාද ඇත.

"බලපංකො අදත් අන්කල්ට ඇදුම් අයන් කරන්න අමතක වෙලා වගේ"
"මොකද බන් පොර හැමදාම කෝච්චියෙ නිදියන්නෙ, රෑට හොඳට වැඩ වෙන්න ඇති"
"පව් අනේ, එ මනුස්සය දවසින් දවස දිරල යනවා, මොනවා හරි ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක් වෙන්න ඇති"
"අනේ මන්ද මම නම් කවදාවත් දැකල නෑ හිනාවෙලා වචනයක් කතා කරනවා"
 ඒ අසල සිටි තරුණ තරුණියන් පිරිසකගේ කසුකුසුවකි. 

සුපුරුදු පරිදි කොටුවෙන් බසින කිසිවෙකුගේ ඇනීමකින් ජයතිස්ස අවදි විය.

යන්තම් රතු ඉර වැදීමට පෙර අත්සන තබා සිය වැඩ කුටියට රිංගා ගත්තේය. 
ජයතිස්සට ලෝකයේ ඇති අප්‍රසන්නම ස්ථානය මෙම කාමරයයි. බැලු බැලු අත ඇත්තේ ලිපිගොනු, ෆයිල්, ලිපි ලේකනය. 

"හප්පා මේ වැඩ කවදා ඉවරයක් වෙයිද, මොන කරුමයක් ගෙවනවද මන්දා මම නම්"

පියන් විසින් උදේම ගෙනත් තබන වතුර වීදුරුව තාමත් නැත.

මේසය මත වූ සීනුවේ හැඬ වූවේ හිතේ කේන්තිය එයට පවරමින්ය.
ඒ සමඟම පියන් කොලුවා දිව ආවේ වතුර වීදුරුවද රැගෙනය.

"මොනවද මනුස්සයො, හැමදාම මම කියනවා නේද උදේම වතුර එකක් ගෙනත් තියන්න කියල" 

සිය හිතේ පීඩනය එසේ හෝ පිට කරන්න ලැබීම පහසුවක් යැයි ජයතිස්සට සිතිණ.

"අහ් ඒක නෙවෙයි, මාව හම්බ වෙන්න එන අයට දහය වෙනකල් ඉන්න කියන්න! තේරුනාද? මට හොඳටම වැඩ ඒව ඉවර කරන්න ඕනෑ, 
හා යනවා"

"හරි සර්"

සුසුමක් හෙලා බෑගය ගෙන ෆයිල් ටික දිග හැර ගත්තේ සුපුරුදු පරිදි හිසරදයට ගන්නා වේදනා නාශකයක් ගිල දමමිනි.

වැඩිමනක් ලිපිගොනු කලබලයට නිම කිරීම නිසා නැවත පිලියෙල කිරීමට වූ එවාය. ජයතිස්සට එපාම කල කාර්යය වූවේද එයයි.

"චැහ් එක පාරෙන්ම හරියට කරල දැම්මා නම් මෙහෙම වදයක් නෑ"
"දැන් ඉතින් මේව රවුම් කර කර ඉන්න වෙලාවක් නෑ, මේ පාරත් යන්තම් ගහල දානවා"

ලිපිගොනු අතර ගිලී සිටි ඔහු පියවි ලොවට ආවේ සිරිතුංග කාමරයට පැමිණීමෙනි.
සිරිතුංග කාර්යයාලයේ ජයතිස්සට සිටි ලඟම මිතුරාය, එකම මිතුරා කිව්වත් වරදක් නැත. සම වයසේ පසූ වූවන් වීමද එකම තනතුරේ රාජකාරී කරන්නන් වීමද ඔවුන් අතර තිබූ එකම සමාන කම විය.

"ජයේ අදත් කෑම පැයෙත් වැඩද?"

ජයතිස්ස ඔරලෝසුව දෙස බැලුවේ එවිටය,

"හප්පා එකටත් ලඟයි, වෙලාව යනවා තෙරුනෙත් නෑ. බඩගින්නකුත් නෑ සිරි"

"ජයේ මොනව කරන්නත් කාල බීල ඉන්න ඕනෑ"

"ඒක තමා, එක්කොත් කාලම එනවා" ජයතිස්ස ලිපිගොනුව පසෙකට කරමින් පැවසීය.

ජයතිස්සට විටෙක සිරිතුංග ගැන ඉරිසියා සිතේ, "මට තියන වැඩමයි තියෙන්නෙත් මේ මනුස්සයා කොහොම මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නවද මන්දා, වාසනාව තමා"

යන්තම් කටක් දෙකක් කා යලි කාමරයට පැමිණියේ කරමින් සිටි කාර්යයේ සිහියෙන්මය.

ඉඳ ගන්නවාත් සමඟම පියන් කොලුවා පැමිණියේය.

"සර්, උදේ ඉඳන් දෙන්නෙක් ඇවිත් පර්මිට් එකක් ගන්න ලිපි වගයක් හදාගන්න"

"මොන වදයක්ද මන්දා, අදත් මේ වැඩේ කර ගන්න වෙන්නෙ නෑ, හා එන්න කියනවකො"

ජයතිස්සගේ මුහුණ රකුස් වෙස් ගත්තේ ඉබේටමය.

සිනා වීගෙන පැමිණි මැදි වියේ යුවල වෙත සිනහවක් පැමට තරම් කරුණාවක් ජයතිස්සගේ සිතේ පහල නොවීය.

"මට අද හොඳටම වැඩ, ඉක්මනට කෙරෙන්න ඕනෑ කාරනේ කිව්වා නම්" ජයතිස්ස පැවසුවේ කරමින් සිටි කාර්යය නොනවත්වාමය.

සර් මේකයි, ලබන මාසේ ඉඳන් අපි පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල,අපි කරන්න හිතන් ඉන්නෙ මෙහෙමයි........
....
....
.. 
"සර්, සර්"

ජයතිස්ස සම්පූර්ණයෙන්ම සිටියේ ලියමින් සිටි ලිපිය ගැන අවධානයෙනි.

"සර් අපි කියපු මුකුත් අහන් හිටියෙ නැහැනෙ" කාන්තාව පැවසුවේ නොරුස්සනා ස්වරයෙනි.

"ඇයි මොකද මොකද? මට රාජකාරි කරන හැටි උගන්වන්නද හදන්නෙ? ඔය ඔක්කොම හෑලි අහන් ඉන්න වෙලාවක් නෑ මට!"

පැමිණි යුවල එකිනෙකාගේ මුහුණු බලමින් ඉඟියක් පෑවේය.

"මිස්ටර් ජයතිස්ස, අපි එච් ආර් ඩිපාර්ට්මන්ට් එකෙන් තමුන් ගැන චෝදනා කීපයක් ලැබිල තිබ්බ මෙතනට වැඩ කර ගන්න ආපු අයගෙන්. හෙඩ් ඔෆිස් එකෙන් අපිව එව්වෙ මේ ගැන හොයල බලන්න. බොහොම වැරදියි මිස්ටර් ගණුදෙණු කරුවන් එක්ක කටයුතු කරන විදිහ, අපිට මේ ගැන වාර්ථා කරන්න වෙනවා"

ජයතිස්සට ඉහින් කණින් දහඩිය බේරෙනු දැනෙන්නට විය.


~ ~ ~ ~ ~ ~ ~ **** ~ ~ ~ ~ ~ ~ ~


නිවුණු ජීවිත සමඟින් යලිත් ලඟදීම දිනක හමු වෙමු....!

Saturday, March 23, 2013

අමරණීයත්වයේ ඖෂධය



අධික සීතල පරදමින් නැගෙන දාබිඳු නලලතින් සූරා දැමූ ඔහු වෙහෙස නොබලා යලි ගිරි හිස තරණය කරන්නට විය. තිස් එක් වියැති හැඩි දැඩි සිරුර, ඉදිරියෙන් ඇති හිමාල කඳුවැටියට  අභියෝග කරන්නට අපූරුවට සුදුසුකම් කියාපෑවේය. ගතේ සවියට වඩා ඔහුගේ සිතේ වූ සවියට හා අධිෂ්ඨානය   නම් හිමාලයත් දෙවෙනි වනු නිසැකය.

අඩි හාරසියක් පමණ එක හුස්මට නැග ගත් ඔහු මඳ විවේකයකට නතර වූයේ ඈත කඳු වැටි දෙකක් අතරින් බැස යන හිරු දෙස බලා ගෙනය. අඳුර වැටීමට තව ඇත්තේ හෝරාවක් පමණය. සිතියමට අනුව තව නැගිය යුත්තේ අඩි පන්සියයක පමණ දුරකි. ඉහලට යන්න යන්නම මිදුනු ඝන හිම ප්‍රමාණය වැඩි වන බව ඔහුට වැටහින, එය තවත් බාධාවකි. ලිස්සා යමේ අවධානම වැඩිය, ඊටත් වඩා එම අයිස් ස්පර්ශයේදී දැනෙන සීතල වැලැක්වීමට ඝන හමින් තැනූ ඇදුම පවා අපොහොසත්ය. ඒ සීතල මස්පිඬුද පසු කර අස්ථි දක්වා ගොස් සිරුරම හිරිවට්ටයි.

ගැඹුරු හුස්මක් ගෙන ඔහු යලි ගිරි හිස නැගීම ආරම්භ කලේය.
මිනිස් ජනාවාසයෙන් බොහෝ ඇතට පැමිණ සිටින ඔහුට තනිකමක් නොදැනුනේ තත්පරයක් පාසා දහසකුත් මතකයන් ඔහු හා සිටි බැවිනි.
ඒ මතකයන් සමඟ අඩියෙන් අඩිය ඔහු ඉහල නැගුනේ ඔහුත් නොදැනීමය.

"ඔච්චරටම මට ආදරෙයි නම් ඔයාට මං වෙනුවෙන් ඕනෙම දෙයක් කල හැකිද?"

"ඔව් ඔව් මොනවද මට ඔයා වෙනුවෙන් කරන්න බැරි, ඔයා වෙනුවෙන් මම එවරස්ට් උනත් නගින්නම් සුදෝ"

තමා පැවසූ ස්වරය නිසාමදෝ ඇයට නොනවතින සිනහවක් පහල වූ අයුරු ඔහුට තාමත් මැවී පෙනෙයි,

"ඔව් ඔව් නගී කියල තමා බය, මං එනකල් පැය භාගයක් හිටන් ඉඳල කකුල් රිදෙනවා කියන මිනිහා"

වසර ගණනාවකට පෙර තමා කවට කමට පැවසූ වදන් යම් තාක් දුරකට හෝ හැබෑ වී තිබෙනවා නොවේදැයි සිතී ඔහුට මද සිනහවක් පහල විය.

තව නැගීමට ඇත්තේ අඩි කිහිපයකි. එයින් දැනුන අමතර සවියද ගෙන ඔහු විනාඩි කිහිපයකින් දින දෙකක සිට කල කඳු නැඟීම නිමා කලේය. තවත් විනාඩි කිහිපයක් වැතිර ගිමන් නිවූ පසු සෙමෙන් නැගිට අවට සිරි නරඹන්නට විය.

ඔහු ඉදිරියෙන් වුවේ අති රමණීය වූ මිටියාවතකි. ටිබෙට් ජාතිකයන් "අමරණීයත්වයේ මිටියාවත" ලෙසින් හඳුන්වන මෙම මිටියාවත ගැන ඔවුන් අතර පවතින ජනප්‍රවාද අතිශෝක්තියක් නම් නොවන බව ඔහුට වැටහී ගියේය.

ඔහු සිටි තැනට හැතැප්මක් පමණ දුරින්, හිමෙන් වැසී ගිය හිමාල කඳු මුදුන යෝධයෙක් මෙන් නැගී සිටියේය. ඒ වනතෙක් වූ භූමිභාගය සුරලොව ගෙවත්තක් වැනි විය. බිම වැසී යන සේ වැතිර තිබූ සිහින් කොල ඇති තෘණ ආවරණය බිමට එලූ ලා කොල පැහැති පලසක් වැනිය.
එම පලසෙහි තැනින් තැන පැන නැග තිබූ වෘක්ෂයන් පරිපූර්ණ බවින් යුක්තය. ඉතා උස් නොවූවද එවා වසර දස දහස් ගණන් පැරැණි එවා විය යුතු බව ඒවායෙ අපූර්ව වර්ණයෙන් හා වට ප්‍රමාණයෙන් ඔහුට හැඟී ගියේය. වෙනත් කිසිම ශාක පත්‍රයක දැකිය නොහැකි ප්‍රභාවත් කොළ පැහැයක් එම වෘක්ෂයන්ගේ පත්‍ර වලින් නිකුත් විය. ඒවායින් නිකුත් වූ සුගන්ධය ඔහුව මත් කලේය. මෙම දර්ශණයෙන් වශීකෘත වූ ඔහු ඒ දෙසට ඇවිද ගියේ ඉබේමය. 

මිටියාවත මැදට වන්නට ගලා යන දිය පහරකි. මොහොතකට නොසිතා දිව ගොස් දණින් වැටී ඉන් දිය දෝතක් ගෙන පානය කලේ දින ගණනකින් දිය පොදක් ලැබූවෙක් සේය. ප්‍රථම වරට සිය දිවියේදී පිරිසිදු ජලයේ නියම රස දැන ගත්තේ එවෙලේයැයි ඔහුට සිතිණ.

ඔහු එතැනම වැතිර ගති. බැස යන හිරුගේ ලා දම් පැහැති අවසන් හිරු රැස හිමාල ගිරි හිසට වැටී දිලිසෙන අයුරු මීදුම් අතරින් පෙනේ. තමා සිටින්නේ දෙව්ලොවදැයි ඔහුට වරෙක සිතිණ. 

කලුවර වැටීමට පෙර රැය ගත කිරීමට උණුසුම් තැනක් සොයා ගත යුතුය. අසල තිබූ වෘක්ෂයකට පිටදී මේ පිළිබඳ කල්පනා කරනවිට ඔහුට අමුත්තක් දැණුනි. ඔහු සැනෙන් හැරී අත්වැසුම් ගලවා වෘක්ෂයට අත තබා බැලීය. ඔහු විස්මයට පත්කරමින් ඉන් දැනුනේ සෞම්‍ය උණුසුමකි. ජීවී සත්වයෙකු වෙතින් පමණක් මෙසේ නිකුත් විය හැකි උණුසුමක් වෘක්ෂයට ලැබුනේ කෙසේද.
ඔහු ඒ ගැන සිතීමට තවත් නොවෙහෙසී සිය රාත්‍රී යහන එම වෘක්ෂයේ යෝධ මුල් දෙකක් අතර පිලියෙල කර ගත්තේය.

ජල පහරෙන් දිය නා ගෙන පිරිසිදූ වී එම යහනේ වැතිරුනු ඔහු යලිත් සිය පැරණි මතකයන් අතර ගිලෙන්නට විය.

මීට වසර ගණනාවකට පෙර උද්භිඳ විද්‍යඥවරියක් වූ ඇය මුණ ගැසුන සැටි, ඇය හා පෙමින් බැඳුන සැටි, ඇය හා විවාහ වූ සැටි පිළිවෙලින් මතකයට නැගෙන්නට විය. ඉන්පසු ඒ මතකයන් පසුපස හඹා ආවේ අවාසනාවේ සෙවනැලි රැඳි මතකයන්ය,

"මිස්ටර්, කියන්න කණගාටුයි එයාගේ සිරුර පුරාම රෝගය පැතිරිලා දැනටමත්. සුව කරන්න කිසිම අවසථාවක් ඉතිරි වෙලා නැහැ"

"එහෙම කියන්න එපා ඩොක්ටර්, ලෝකෙ තියෙන ඕනෑම හොස්පිටල් එකක් කියන්න. මට එයාව අරන් යන්න පුලුවන්"

"හ්ම්ම් මට ඔයාට බොරු බලාපොරොත්තු ඇති කරවන්න බැහැ, මෙයාව බේරගන්න කොහොමත්ම බැහැ. තව මාස තුනක විතර කාලයක් තියෙන්නෙ. පුලුවන් තරම් එයාව සතුටින් තියන්න උත්සාහ කරන්න, ඒකයි  මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම දේ"

සිය දිවියේ සතුට කෙලවර වූ කාල සීමාව ඇරඹි අයුරු ඔහු සිහි කලේ දෙනෙත් යලිත් කඳුලින් බොඳ වී යද්දීය.

ඉන්පසු ඇයව නැහැවූ සැටි, කැවූ පෙවූ සැටි, හැකි සෑම විටම ඇය අසලම රැඳී සිටි සැටි එකිනෙක සිහි වන විට ඔහුට ඔහු ගැනම ආතමානුකම්පාවක් ඇති කලේය.

ඇය, ඉතා බුද්ධිමත් එමෙන්ම සංවේදී කාන්තාවක් විය. උද්භිඳ විද්‍යාව සඳහා ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර ගැනීමට කල අධ්‍යයන කටයුතු නිසා ඇය මධ්‍යම ආසියාවේ ගස්කොලන් ගැන කිසිවෙකුට නැති දැනුමකින් යුක්ත වන්නියක් විය.

දිනක් ඇය ඔහුට පුදුම යෝජනාවක් ගෙන ආ අයුරු ඔහුට සිහි විය. ඒ මෙම අමරණීයත්වයේ මිටියාවත පිළිබඳ රහසයි.

"ඒ මිටියාවතේ පුදුම සහගත වෘක්ෂ වර්ගයක් තියෙනවා, එවායින් පුලුවන් ඕනෑම රෝගයක් සුව කරන්න"

ඇයගෙන් එය දැනගෙන පැය කිහිපයකින්ම ඔහු  අමරණීයත්වයේ මිටියාවත සොයා යාමට පිටත් විය. දහසකුත් එකක් බධා පැමිණුනද ඇයව සුව කර ගැනීමට ඇති නොසිඳෙන උවමනාව නිසාම ඉතා ඉක්මණින් ඔහු සිය අරමුණ ජය ගත්තේය.

මෙම සිතුවිලි අතරින් ඔහු නින්දට වැටින. ඒ ඔහුගේ ජීවිතේ ඔහු ගෙවූ සුවදායකම රාත්‍රියයි. නින්දෙන් කිසියම් පිරිසක් තමා වට කර සිටිනු හැඟී ගියේය. ඔවුන් ඉතා ආදරෙන් ඔහුව අමතන්නට විය. ඉන්පසු ඔවුන් ඔහුගේ සිරුර අල්වා ගෙන ආශිර්වාද කරන්නට විය. ඔවුන්ගේ ස්පර්ශයෙන් කාන්දු වූ යම්දෙයකින් සිය ජීවය අලුත් වන්නාක් මෙන් ඔහුට දැනිණ.

පසු දින උදෑසනම හිරු කිරණත් සමඟ අවදි වූ ඔහුට දැනුණේ කිසි දිනක නොදැනුණු ප්‍රබෝධයකි. 

"මම අන්තිමේදි දිණුවා, මට පුලුවන් දැන් එයාව සුව කර ගන්න" යන සිතුවිල්ල ඔහුගේ සිත සතුටෙන් පුරවා දමන්නට විය. 

ඇය පැවසූ අකාරයෙන්ම, ඒ මහානුභාව සම්පන්න වෘක්ෂයකින් පැන නැඟ තිබූ කුඩා පැලයක් ඉතා ප්‍රවේශමෙන් මුල් නොකැඩෙන පරිදි පසද සමඟ ගෙන, ඉතා සුරක්ෂිත ලෙස අසුරා ගත්තේය.

ආපසු පිටත් වීමට පෙර තමාට උණුසුම හා සෙවණ දුන් වෘක්ෂයට ඔහු නමස්කාර කලේ ඉබේටම වාගේය. ඔහුට එම වෘක්ෂය පෙනුනේ ආදරණීය  ව‍යෝවෘධ මෑණියක මෙනි.

පැමිණියාටත් වඩා වේගවත් ආපසු ගමනක යෙදුනු ඔහු දින කිපයකින් ඇය වෙත පැමිණියේය.

දීප්තිමත් වූ දෙනෙතින් පැලෑටිය අත තබා සිටින ඔහු දෙස ඇය බැලුවේ ස්තූතිය පිරුණු ආදරණීය බැල්මකිනි. "ඔයා එහෙනම් මම වෙනුවෙන් එය කලා"

ඇය පරෙස්සමෙන් පැලෑටිය ලඟට ගෙන එහි පත්‍රයක් සිප එහි සුඝන්ධය ආශ්වාස කලාය.

"ඉතින් ඔවුන් ඔබට කතා කලාද?" ඇය විමසුවාය

"කවුද? ඒ මිටියාවතේ කවුරුවත්ම හිටියේ නැහැ" 

ඇය සිනාවක් පහල කර "නින්දේදි අමුත්තක් දැනුණේ නැද්ද?"

"නින්දේදි නම් කවුරු හරි ලඟ හිටිය බවක් දැනුණා, ඔවුන් යමක් කරුණාවෙන් කියන්න උත්සාහ කලා, මම හිතුවෙ හීනයක් කියලා"

ඇය යලිත් සිහින් සිනහවක් පල කලාය. "ඔයා වාසනාවන්තයි, එයාල හැමෝටම කතා කරන්නෙ නෑ"

"එවායින් වැඩක් නෑ, ඉතින් ඉක්මණට කියන්න කොහොමද ඖෂධය හදන්නෙ?" ඔහු නොවිසිලිමත්ය

"අහ් ඒකට මේ පැලැටිය කොටල අඹරල යුෂ ගන්න වෙනවා"

"හා"  
ඔහු ඉක්මණින් පැලෑටිය ගනිමින් පැවසුවේය. නමුත් ඒ සමඟම ඔහුට දැනුනේ තමා මිණීමැරුමක් කරන්නට යනවාක් වැනි හැඟීමකි. ඒ සිතුවිල්ල් යටපත් කර යන්නට හැරෙත්ම ඇය ඔහුගේ අතින් අලවා ගත්තාය. 

"මොකක්ද දැන් ඔයාට දැනුනේ?"

ඔහු විමතියෙන් ඇය දෙස බැලීය

"කාව හරි මරන්න යනව කියල හිතුනා නේද?"

"අහ් ඕ ඔව්! ඔයා කොහොමද ඒක දැන ගත්තෙ?" ඔහු විමතියෙන් විමසීය.

ඇය එම පැනයටද කලේ සිනා පහල කිරීම පමණි.

"මේ අහන්න, මෙතනින් ඉඳ ගන්න ටිකක්."
ඔහු ඇයගේ ඇඳ අසල ඉඳ ගත්තේය. 

"මේ පැලැටියෙන් මාව සුව කරන්න බැහැ"

"මොනවා!!!" ඔහුගේ බලාපොරොත්තු එක වර කඩා වැටින. දුක කේන්තිය මුසු හැඟීම් අතර මුණිවත් රැක්කේ මෙහි තෙරුම මොකක්දැයි අසන නෙතින් යුතුවය.

"මේ අහන්නකො ඉතින්, ඒත් මම ඔයාව දාල යන්නේ නෑ, මට තේරෙනවා මම තව ජීවත් වෙන්නෙ අද හෝ හෙට දවස විතරයි, ඊට පස්සෙ මාව අර පේන තණතිල්ලෙ වල දාන්න. ඊට උඩින් මේ පැලය පැල කරන්න. මම ඒ තුලින් යලි ජීවත් වේවි, මට ඔයාව ඇහෙවි, මට ඔයාව දැනේවි, මම කියන දේවල් තේරුම් ගන්න ඔයා ඉගෙන ගනීවි, ඔයාට මාව දැනෙන්න ගනීවි. ඔයා ජීවත් වන තුරා මම ඔයත් එක්ක ඉඳීවි. කියන්න ඔයා එහෙම කරනවාද?

ඔහු ඇගේ දෑත් තුරුල් කරගෙන කඳුලු පිරි දෙනෙතින් යුතුව හිස සැලුවේ ඇය කියූ දෙය හොඳින් වැටහුණු නිසාවෙනි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

ඔහු කාටත් ප්‍රිය මනාපව සතුටින් ජීවත් වූවෙක් විය. ඔහුගේ දිවිය පුදුම සහගත ලෙස නිරෝගීව හා සතුටින් පිරී තිබීමේ රහස නම් කිසිවෙක් දැන නොසිටියේය. නමුත් සැම දෙනාම ඔහු ගැන දැන සිටි එක් විශේෂ කාරණයක් විය. ඒ ඔහු ඕනෑම වෘක්ෂලතාවකට මිනිසෙකුටම මෙන්ම ගෞරවය ආදරය දැක් වූ බවය.

එක් දිනක ඔහු කිසිවෙකුටත් නොකියාම සාමකාමීව සිය අවසන් ගමන ගොස් සිටියේය, ඒ ඔහුගේ ගෙවත්තේ පිහිටි අසාමාන්‍ය ප්‍රෞඪ බවක් පෙන්වූ වෘක්ෂයක සෙවණේ ඒ වෘක්ෂයේ උණුසුම ලබමිනි.


Sunday, March 17, 2013

මනස වනසන භින්නෝන්මාදය (schizophrenia)



කලින් ලිපියෙන්......
නදීශා..! බණ්ඩාර..!  කාන්ති..!  මේ කවුද? මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?

මේ අය ගැන කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.

කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..?



නදීශා - පවුලෙ එකම දරුවා මුරණ්ඩු ළමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච මය,තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්‍රයකුත් නැහැ, තනිව සිනාසේ, ඇයටම පමණක් පෙනෙන පෙම්වතෙක් සිටී, ඇයගේ ලෝකය ඔහුයි...

බණ්ඩාර - යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම කියවයි, අසීමිතව බිරිඳව සැක කරයි, කටහඬවල් ඔහුට නියෝග දේ, ඔහු එම කටහඬවල් විශ්වාසද කරයි...

කාන්ති - අවිවාහකය, වයස හතලිහද ඉක්මවා ඇත, සැහෙන කලක සිට අසීමිත දේව ඇදහීමක් කරයි, ලඟකදී දෙවි කෙනෙක් ආරූඪ වී ඇත, දෙවියන් වරින් වර පෙනෙයි, ඇයට දැන් විවිධ බල ඇත, වැසි වැස්සවිය හැක, මුදල් මැවිය හැක, නැති වූ දේවල් ගැන කිවිය හැක....

ඉතින් මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?

මුකුත් නෙවෙයි නොදැනුවත් කම නිසා භින්නෝන්මාදය (schizophrenia) නම් මානසික රෝගයෙන් පෙලෙමින් එය උග්‍ර අවස්ථාවට එන තෙක් නිසි ප්‍රතිකාර වලට යොමු නොවූ අයය.

දැනට හඳුනාගෙන ඇති මානසික රෝග අතුරෙන් දරුණුතම මානසික රෝගී තත්වය ලෙස මෙම භින්නෝන්මාදය හඳුන්වන්න පුලුවන්. මේ පිලිබඳව සිදුකර ඇති පර්යේෂණ (Torrey,1987) වලට අනුව ලෝක ජනගහනයෙන් සෑම 100 දෙනෙක්ගෙන්ම එක් අයෙක් මෙම රෝගයෙන් පෙලෙන බවට සඳහන් වෙනවා.

මෙහි නම වන schizophrenia ග්‍රීක ව්‍යවහාරයට අනුව බෙදුණු (schizo) මනස (phrene) යන අර්ථය තමා ගන්නෙ.
රෝගය හොඳින් තේරුම් ගැනීමටත් උපකාරයක් වන නිසා, මෙම රෝගය නිශ්චිතව හඳුනා ගැනීමට වෛද්‍යයවරු සුලබව භාවිතා කරන ප්‍රබල රෝග ලක්ෂණ කීපයක් සඳහන් කරන්නම්. (මූලාශ්‍රය ICD 10 )

1. සිතුවිලි වල සංකූලතා

මෙම රෝගීන් අතර සුලබව දක්නට ලැබෙන සිතුවිලි වල සංකූලතා කීපයක් මෙසේය
  • සිතිවිලි නින්නාද දීම, එනම් තම සිතුවිලි නැවත නැවත ඇසෙන්නට ගැනීම.
  • කවුරුන් හෝ සිතට බලෙන් සිතුවිලි ඇතුලත් කරන බව දැනීම.
  • තම සිතෙහි ඇති සිතුවිලි වෙනත් කෙනෙක් බලෙන් ඇද ගන්නවා හෝ එවා දැන ගන්නවා යන හැඟීම.
  • තමන් සිතන විට එම සිතුවිලි අවට සිටින අයටද ඇසෙන ලෙස විහිදෙනවා යන හැඟීම


2. මෝහය නැත්නම් මුලාව (Delusions)

මෙය සාමාන්‍යෙන් අපට ඇතිවන මුලාවන් හෝ මිත්‍යා විශ්වායන් නොවේ. කෙසේත්ම සමාන්‍ය නොවන, සිදුවිය නොහැකි අස්වාභාවික විශ්වාසයන්ය.  උදා -

  • තමාව, තම සිතුවිලි හෝ තම සිරුරේ අංගයන් වෙනත් අයෙකු හෝ බාහිර යන්ත්‍රයක් මගින් පාලනය කරනවාය යන විශ්වාසය (සමහර පුද්ගලයන් තමාව පිටසක්වල ජීවීන් විසින් හසුරවන බව නැතහොත් වෙනත් රටක රහස් ඔත්තු සේවයක් විසින් නිපදවූ අධිතාක්ශණික යන්ත්‍රයක් මගින් පාලනය කරන බව විශ්වාස කරයි )

  • කවුරුන් හෝ තමාට හානි කරාවි යන සැකය - තම නිවැසියන්, ඥාතීන් හෝ අසල්වාසීන් තමාට හානි කරන්නට හෝ ජීවිතයට හානි කිරීමට උත්සාහ කරනවා යන සැකය. (කෑමට වස දමාවි යන සැකය, තමා ඝාතනයට එකතු වී කුමන්ත්‍රන කරනවා යන සැකය )

  • අසාමාන්‍යය ඉරිසියාව - මෙය බොහෝ විට සිය බිරිඳ හෝ සැමියා වෙනත් අය සමඟ අයුතු සබඳතා පවත්වනවා යන සැකය.

  • තමන්ට විශේෂ බලයන් ඇති බව විශ්වාස කිරීම - දේව වරම්, අත්භූත බලවේග මගින් කාලගුණය වෙනස් කිරීම හෝ ලෝකය වෙනස් කිරීමට හැකි බව


3. භ්‍රාන්තිය නැත හොත් ව්‍යාජ දර්ශන (Hallucinations)

මෙහිදී විවිද ශබ්ද ඇසීම හා දර්ශන පෙනීම සිදුවේ, සමහර විට විවිධ රසවල් දැනීම හෝ විවිද ගඳ සුවඳ දැනීමද සිදු විය හැක. මේ සියල්ල බාහිර බලපෑමක් නොමැතිව ඔවුන්ගේ හිස හෝ මනස තුලින්ම ඇතිවන එවා වේ.

  • විවිධ ශබ්ද - යම් කටහඬක් තමාට අණ කරනවා ඇසීම, කටහඬවල් කීපයක් තමා ගැන කතා කරනවා ඇසීම, යම් කටහඬක් තමා කරන කරන දෙය හඬ නගා කියනවා ඇසීම.

  • විවිධ දර්ශන - අන් අයට නොපෙනෙන පුද්ගලයන් පෙනීම, මකරුන් වැනි සතුන් පෙනීම.


4. කතාවේ සිදුවන එනස්කම්

  • සමාන්‍ය අයට තෙරුම් ගත නොහැකි නව වචන යොදා ගනීම. (neologisms)
  • හදිසියේම කතාව නවත්වමින් අස්වාභාවික ලෙස කතා කිරීම.(breaks)
  • කතාව එක් මතෘකාවකින් තවත් මාතෘකාවකට ක්ශනිකව මාරු කිරීම. (මම කොලයක ලියනවා, මම ලියන පෑන හදල තියෙන්නෙ පෙරී සහ සමාගමෙහි නිපදවූවක්, ඒ සමාගම තියෙන්නෙ ලංඩන් නගරයේ. ලංඩන් තිබෙන්නේ එංගලන්තයේ. මම ඉස්කෝලෙ යන කාලෙ කැමතිම චිත්‍ර වලට....)
  • තෙරුම් ගත නොහැකි කිසිදු ගැලපීමක් නැති දේවල් කියවීම


5. අස්වාභාවික හැසිරීම්

  • දින හෝ සති ගණනාවක් නිශ්ශබ්දව සිටීම. (mutism)
  • එකම ඉරියව්වෙන් බොහෝ වෙලාවක් සිටීම (පැය ගණනාවක් ) (posturing)
  • සමාන්‍යයෙන් සිටීමට අපහසු ඉරියව් වලින් සිටීම.
  • තමා ඉටි වලින් තැනූවෙක් සේ හිඳීම එනම් වෙනත් අයෙක් අත යම් ඉරියව්වක තැබුවොත් ඒ අයුරින්ම සිටීම.(waxy flexibility)


6. එදිනෙදා හැසිරීමේ සිදුවන වෙනස්කම්

  • සමාජයෙන් ඈත් වී සමාජයට බිය වූවෙක් මෙන් ජීවත් වීම. (social withdrawal)
  • කිසිම හැඟීම් ප්‍රකාශයක් නොමැති වීම.(blunting) 
  • තැනට නොගැලපෙන හැසිරීම් ඇති වීම.
  • අසාමාන්‍ය නිශ්ශබ්දතාවය.


භින්නෝන්මාදය ඇත්තෙකු ලෙස ස්ථීර ලෙසම රෝග නිර්ණය කිරීම මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින්ම ඉතා කල්පනාකාරීව කල යුත්තක්. මක් නිසාද මෙහි අනෙක් සෑම මානසික රෝගයකම ඇති ලක්ෂණ අනතර්ගත වන රෝගයක් වන නිසා. එම රෝග නිර්ණයට වඩාත් උපකාරී වන්නේ ඉහත සඳහන් කල රෝග ලක්ෂණයි.

මීට අමතරව පහත ලක්ෂණද මෙම රෝගීන්ගේ දැකිය හැකි වනවා.

  • පිරිසිදුව සිටීම අඩු වීම.
  • සමාජ සම්මතයන් නොතකා අසභ්‍ය ලෙස හැසිරීම.
  • කලබලකාරී බව, කෑකෝ ගැසීම
  • තනිව සිනාසීම, කතා කිරීම
  • තෙරුම් ගත නොහැකි වචන එකතුවක් පමණක් කියවීම
  • එකවරම සිනාසීම හෝ හැඬීම, තැනට නොගැලපෙන හැඟීම් ප්‍රකාශය
  • අවධානය එක් තැනක රඳවා සිටීමේ අපහසුව.
මෙම රෝගය උග්‍ර තත්වයට පත් විමේ ඉතා දරුණු ප්‍රති විපාකයක් වන්නේ මෙම රෝගීන් සියදිවි නසාගැනීමට පෙළඹීම. (  භින්නෝන්මාද රෝගීන්ගෙන් 15%ක් සියදිවි නසාගැනීමට පෙළඹේ )


ඉහත වෙනස්කම් නිසා රාජකාරී කටයුතු අවුල් වීම, රැකියාවෙන් පිටුවහල් කිරීම වැනි දේ වලින් මොවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරීම කල් යත්ම සිදුවේ. ඒ සමඟ පවුලේ අසමඟිය, සමාජයෙන් කොන් වීම වැනි තත්වයන් සමඟ මොවුන් වඩාත් නරක තත්වයකට ඉක්මණින්ම පත්වේ.

දැන් අපි බලමු භින්නෝන්මාදය ඇති වීමට බලපාන හේතු.

1. ජානමය බලපෑම

සෑම රෝගයක මෙන්ම ජානමය බලපෑමක් මෙහිදීද ප්‍රබලව දක්නට ලැබේ. නමුත් මෙහිදී විවාදාත්මක තර්කයක් වනුයේ පවුලේ අයෙකුට මෙම රෝගය ඇති විට එයින් ඇතිවන මානසික පීඩනය හා සමාජයෙන් ඇතිවන පීඩනය නිසා පවුලේ කීප දෙනෙකුට මෙම රෝගය ඇති වීමට බලපාන බවයි.

2.ගර්භණී අවධියේදී ඇතිවන අනතුරු හා රෝග නිසා.

ගර්භණී අවධියේ මවට සෑදෙන අසාදන (ඉන්ෆ්ලුවෙන්සා, සරම්ප, පෝලියෝ )

3. දීර්ඝ කාලීන මත්ද්‍රව‍ය භාවිතය (විශේෂයෙන් ගංජා, කංසා වැනි මත්ද්‍රව්‍ය )

4. පවුල් පරිසරය

  • දෙමව්පියන්ගේ අසමගිය, ආරවුල් ඇති පවුල් වල දරුවන්.
  • කුඩා කල සිදුවන නොසලකා හැරීම්.
  • මානසික අසහනය ඇතිවන පවුල් පරිසර


5. සමාජ තත්වය
ආර්ථික දුශ්කරතා නිසා ඇති වන මානසික පීඩනය

6. මොලයේ ඇතිවන රසායනික හා ක්‍රියාකාරිත්වයේ අක්‍රමිකතා

  • මොලයේ ඇති ප්‍රධාන අන්තර්ස්නායු සන්නිවේදකයක් වන ඩෝපමින් (Dopamine) යන රසායනිකයට ස්නායු දක්වන සංවේදීතාවය අඩු වීම මෙයට බලපාන බව දැනට සොයාගෙන ඇති ප්‍රබල කරුණකි.

  • එමෙන්ම මොලයේ ඇති කුටීර වර්ගයක (cerebral ventricles) සිදු වන විශාල වීම භින්නෝන්මාදයට බලපාන බවත් සඳහන් වේ.


භින්නෝන්මාදය ගැන සැලකිය යුතු දැනුමක් දැන් ඔබ හට ඇත.

දැන් ඔබ නගන පලමු ගැටලුව කුමක්ද!  මේ රෝගයට ප්‍රතිකාර තිබේද යන්න.

ඔව්. බොහොමයක් රෝග වලදී මෙන්ම මුල් අවදියේ දීම වඩාත් සැලකිල්ලෙන් ප්‍රතිකාර කිරීමෙන් මොවුන් සාමාන්‍ය තත්වයට පත් කල හැක.

මොවුන්ගෙන්
  • 25% කට රෝගය එක් වරක් පමණක් ඇතිවේ. ඉන් පසු ප්‍රතිකාර සමඟ සාමාන්‍ය තත්වයට පැමිණේ
  • 25% කට රෝගය නැවත නැවත ඇති වුවද ප්‍රතිකාර නිවරැදිව කිරීමෙන් සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් ජීවත් වීමේ හැකියාව ඇත
  • 25% කට රෝගය නැවත නැවත ඇතිවේ, තත්වය දරුණු තත්වයට පත්වීම් දැකිය හැකි වුවද ප්‍රතිකාර මඟින් පාලනය සිදු කෙරේ.
  • 25% කට දිගින් දිගටම රෝගය දරුණු තත්වයට පත් වේ.


වඩාත් පැහැදිලි වීමට රෝගය සුව විමේ හැකියාව වැඩි වීමට හේතු වන සාධක ලැයිස්තුවක් ලෙස දක්වන්නම්

  1. රෝග ලක්ෂණ එකවරම ඇතිවී කෙටි කලක් පැවතුන අයෙක් වීම
  2. පෙර ජීවිතයේ මානසික රෝග තිබූ අයෙකු නොවීම
  3. සමාජයෙන් ඈත්වීමට උත්සාහ දරන අයෙකු නොවීම
  4. රෝගය පළමු වර ඇති වනවිට වයසින් වැඩි අයෙකු වීම
  5. මනා පෞර්ශයක් ඇති අයෙක් වීම
  6. පවුලේ හා සමාජයේ උදවු උපකාර හොඳින් ඇති අයෙකු වීම
  7. වෛද්‍ය උපදෙස් මනාව පිලිපදින අයෙක් වීම


රෝගය සුව විමේ හැකියාව අඩු වීමට හේතු වන සාධකද ලැයිස්තුවක් දැක්වන්නම් 

  1. රෝග ලක්ෂණ දිගු කලක් පැවතීම
  2. පෙර මානසික රෝග තිබූ අයෙකු වීම
  3. සමාජයෙන් ඇත්වීමට උත්සාහ දරන අයෙකු වීම
  4. තරුණ අවධියේදීම රෝගය ඇති වීම
  5. දුර්වල හෝ අසාමාන්‍ය පෞර්ශයක් ඇත්තෙකු වීම
  6. පවුලෙන් හා සමාජයෙන් උදවු උපකාර නොලබන අයෙකු වීම
  7. අවිවාහක හෝ තම සහකරුවා මිය ගොස් සිටින අයෙකු වීම 


ප්‍රතිකාර

1. ඖෂධමය ප්‍රතිකාර

පියවරෙන් පියවර රෝගයේ තීවුරතාවය අනුව වෙනස් කරමින් යන ලෙස ඖෂධමය ප්‍රතිකාරය සිදු වේ.

2. රෝගය ඉතා උත්සන්න වූ අයට ඉක්මන් පාලනයක් ලබා දීමට හා, ඖශධ දීම අපහසු අයට විද්‍යුත් කම්පන ප්‍රතිකාර (ECT) ලබා දේ

3. මානසික තත්වය නඟා සිටවීමට උපදෙශාත්මකව රෝගියා හා කතා කිරීමෙන් ප්‍රතිකාර කිරීම. 
මෙහිදී 

  • රෝගියාගේ තත්වය ඔහුට හැකිතාක් දුරට තෙරුම් ගැන්වීම. 
  • අනතුරු දායක තත්ව වල රෝගියා ඇති දැයි තේරුම් ගැනීම හා ඒවා වැලක්වීමට උපදෙස් දීම.
  • තමාගේ කටයුතු තනිවම කර ගැනීමට හුරු කිරීම.
  • භාශාමය හැකියාව යථා තත්වයට ගෙන ඒම.


වැනි අරමුණු මූලික කර ගැනේ.
මෙහිදී රෝගියා නේවාසිකව හෝ ඔවුන් සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ආයතන (Nest, සහනය)  වල ප්‍රථිකාර කිරීම සිදු වේ. 

4. සාමාජීය සහය වැඩි කිරීම

මෙහිදී
  • පවුලේ අය හා කතා කර ඔවුන්ව රෝගය පිලිබඳ දැනුවත් කිරීම.
  • රෝගියා හා කටයුතු කල යුතු ආකාරය පිලිබඳ දැනුවත් කිරීම. (රෝගියාගේ මානසික පීඩනය අඩු වන ලෙස කටයුතු කිරීම, ආදරයෙන් කරුණවෙන් සැලකීම, රෝගියාට මුදල් පරිහරණයට දීමේදී සැලකිලිමත් වීම, තනිව දුර ගමන් වල යෙදීමට ඉඩ නොදීම )
  • පවුලේ අයගේ මානසික තත්වය යහපත් අතට හැරවීම.
  • රෝගියාගේ රැකියාව පිලිබඳ සොයා බලා එය නැවැත්වීමට හෝ රැකියාව වෙනස් කිරීමට උපදෙස් දීම (වගකීම් සහිත රැකියා රෝගය නරක අතට හැරීමට හෙතු විය හැකි අතර, සමාජයට හානි වීමටද ඉඩ ඇති බැවින්)


ඉහත සියලු ප්‍රතිකාර ක්‍රම සාර්ථකව සිදු කිරීමෙන් මෙම රෝගීන් සුව අතට ගෙන ඒමටත්, සම්පූර්ණ සුවය නොලැබූවත් රෝගය පාලනය කරගෙන සාමාන්‍ය දිවියක් ගෙන යාමට හෝ හැකියාව ලැබේ.

භින්නෝන්මාදය මුල් කොටගෙන තැනුනු චිත්‍රපට ගණනාවක් දැකිය හැකියි. ඒ අතරින්  සෑම කෙනෙක්ම නැරඹිය යුතු වටිනා චිත්‍රපටයක් ලෙස 2001 වසර සඳහා හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුලුව ඇකඩමි සම්මාන 4ක් දිනා ගත් A Beautiful Mind දැක්විය හැක.

එහි දැක්වෙන්නෙ නොබෙල් ත්‍යාගලාභී ගණිතඥයෙක් වන ජෝන් නෑශ් ගේ සැබෑ ජීවිත කතාව. ඔහු භින්නෝන්මාදය නිසා විඳි ගැහැටවල් හා අවසානයේ ඔහු රෝගය ජය ගන්නා අකාරය ඉතා සංවේදීව ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව ගරිල්ලා මාකටිං චිත්‍රපටයද භින්නෝන්මාදය මුල් කොට තැනූවක්.



ඉහත මා සඳහන් කල විස්තර වලට වඩා වැදගත්ම වන කරුණ සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ දැනුයි. 

මානසික රෝගයක් යනු කායික රෝග මෙන්ම ඕනෑම කෙනෙකුට වැලදිය හැකි රෝගී තත්වයකි. ඒ සෑම රෝගයකටම කායික රෝග වලදී මෙන් සාර්ථක ප්‍රථිකාර ඇත. එම නිසා මානසික රෝගයක් යනු සැඟවිය යුතු හෝ ලැජ්ජාවට පත් වීමට හේතුවක් නොවේ මක් නිසාද අප නොදන්නවාට අප හැමෝටම එක් එක් කාල වලදී විවිධ මානසික ව්‍යාකූලතා ඇති වන බැවින්. ඒවා හෙම්බිරිස්සාවක් ඉබේ සුව වෙනවාක් මෙන් කෙටි කලකින් සුව වේ. නමුත් සමහරුන්ට එම හෙම්බිරිස්සා නිව්මෝනියාව තෙක් උග්‍ර වන්නාක් මෙන් මානසික රෝගද උග්‍ර වේ. එය ඔවුන්ගේ වරදක්ද? ඔවුන්ව කොන් කිරීමට සමච්චලයට පත් කිරීමට කාරණයක්ද? නැහැ

කරුණාකර තම හිතවතෙක්, පවුලේ අයෙක් මෙවැනි රෝගයකින් පෙලේ නම් නොපමාව සුදුසු මානසික වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න, නැත හොත් සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පතන්න. ඔහු නිවරැදි තැනට ඔබව යොමු කරාවි. කායික අසනීපයක් මෙන් නොව, මානසික රෝගයකදි රෝගියාටම එය වටහා ගැනීම අපහසුයි, එවිට ඔවුන් ඉතාමත් අසරණයි. ඔවුන්ට එවිට හිතවතුන්ගේ සහය අත්‍යාවශයයි.

කායික රෝගීනටද වඩා මොවුන්ට ආදරය කරුණාව සැලකිල්ල අත්‍යාවශ්‍යයයි. මෙම රෝග සුවකිරීමේ ආශ්චර්‍යාත්මක බලයක් එවායේ ගැබ් වෙනවා.

ඔබත් අද සිට මානසික රෝග ගැන සමාජයේ ඇති හණමිටි අදහස් වෙනස් කිරීමට උපකාර කරන්න. නොදැනුවත් කමින් නිසි ප්‍රතිකාර නොලබා නිරපරාදේ දුක් විඳින දහසක් අතරින් එක් අයෙකුටවත් යලි සාමන්‍ය ජීවිතයක සුව විඳීමට අත දෙන්න. ඔවුන්ව නිසි ප්‍රතිකාර ගැනීමට යොමු කරන්න. එය ඔබට ජීවිතය තිබෙන තුරු සිතා සතුටු විය හැකි මහඟු පුණ්යකර්මයක් වේවි!