Saturday, June 18, 2016

ප්‍රෙෂර් වලට සීනි වලට බේත් බොනවද?


ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 ලිපිමාලාවෙ අවසන් පියවර තමයි මේ. "ඔබට ලබා දෙන ප්‍රතිකාර හා උපදෙස් නිවැරැදිව පිළිපැදීම."

මුලින් රෝගියෙක් එක්ක ඇති වුන පොඩි සංවාදයක් කියල ඉන්නම්.

මේ බාහිර රෝගී අංශයට ආව වයස අවුරුදු 62 ක් විතර වෙන අම්ම කෙනෙක්. ඔලුව කැරකෙනව වගේ කියල සීනියි, පෙශර් එකයි බලා ගන්න ඇවිත් 

"ලේ වල සීනි ප්‍රමාණය නම් ටිකක් වැඩියි 185ක් වෙනව උදේ තේකක් වත් බිව්වද?"

"අනේ නෑ ඩොක්ටර් රෑ කෑවට පස්සෙ වතුර විතරයි බිව්වෙ"

"පෙශරුත් බලමුකො, 
පෙශර් එකත් ටිකක් වැඩි වෙලානෙ 160යි 100ක් වෙනවා"

"කෝ බලන්න පොත."

පොතට අනුව වරින් වර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කීපයකින් ප්‍රතිකාර ලබා ඇත. නියම කර ඇති ඖෂධ ප්‍රමාණවත් නොවේදැයි නිගමයට පෙර සුපුරුදු ප්‍රශ්නයක් ඇසුවෙමි.

"මේ තියෙන විදිහට හරියට බේත් ටික බිව්වනෙ නේද?"

"ඔව් ඩොක්ටර් හරියට බිව්වා, සති දෙකකට කලින් පෙශරුයි සීනියි බලනකොට දෙකම නියම ගානට තිබ්බා. ඉතිං මම සීනි පෙත්තයි පෙශර් පෙත්තයි දෙකම බොන එක නැවැත්තුවා. ඔය හැටි බේත් බොන්න හොඳ නැහැනෙ නේද ඩොක්ටර්!"

රෝගියාගේම වරදක් කිව නොහැක. සමහර රෝගීන් හට දීර්ඝකාලීනව ඖෂධ ගැනීමේ අවශ්‍යතාව හා එහි වැදගත්කම ගැන ටිකක් බරපතල ලෙස අවවාද කල යුතුවේ.

"ඒ කියන්නෙ ඒ වෙලාවෙ ඩොක්ටර් කිව්වද බේත් නතර කරන්න කියල?

"අපෝ නෑ, ඔය විදිහටම බොන්න කියල තමයි කිව්වෙ."

ඒකනේ, ඩොක්ටර් කෙනෙක් නිකන් බේත් දෙන්නෙ නැහැනේ. අම්මේ පෙශර්, සීනි කියන්නෙ කැස්ස හැම්බිරිස්සාව වගේ හොඳ වෙන ලෙඩ නෙවෙයි, බේත් වලින් කෑම බීම වලින් පරෙස්සම් වෙලා පාලනය කර ගන්න ලෙඩ."
"දැන් බලන්න පහු ගිය මාස ටිකේ හරියට බේත් බිව්ව නිසා සීනි පෙශර් දෙකට නියම ගානට අඩු වෙලා. බේත් නොබිව්ව නිසා දැන් ඒ දෙකම ගොඩක් වැඩි වෙලා, මේ වගේ පෙශර් සීනි දෙකම වැඩි වෙනක ගොඩක් අවදානම්, අංශභාගය, හාට් ඇටෑක් වුනත් හැදෙන්න පුලුවන්."
"කාලයක් යනකොට පෙශර් සීනි හොඳටම අඩුයි නම් ගොඩක් හෙමින් බේත් අඩු කරල බලන්න පුලුවන්, හැබැයි ඒක් කරන්න ඕනෙ ඩොක්ටර් කෙනෙක් කියන විදිහට නිතරම සීනි පෙශර් බලන ගමන්. අනෙක මාසෙන් මාසෙට හරියට සීනි පෙශර් බලාගෙන බේත් ගන්න ඕනෙ. ඒ වගේම හරියට වෙලාවට බේත් බොන්නත් ඕනෙ."

ඒක තමයි ඩොක්ටර්, මම හරියට බේත් ටික බොන්නම්.

` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` `

රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය ආහාර පාලනයෙන් හෝ ව්‍යායාම වලින් පාලනය කරන්න අපහසු වන විට ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

ඔනෑම ඖෂධයක අතුරු ආබාධ අහිතකර තත්ව තියෙන බව ඇත්ත, ඒත් රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය අධික ලෙස වැඩි වීම මගින් සිදුවන හානිය බරපතලය.

බෝනොවන රෝග සඳහා නියම කරන මෙම ඖෂධ වලින් සිදුවන්නේ අදාල අසමතුලිත තත්වය (වැඩි වූ රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය) සමතුලිතතාවය ගෙන ඒම පමණයි. එයින් රෝගය නිට්ටාවට සුව වීමක් සිදු වන්නේ නෑ ඉන් සිදු වන්නේ පාලනයක් පමණයි. ඖෂධය ගැනීම නතර කල විට යලිත් සුපුරුදු අසමතුලිතාව මතු වෙනවා. නමුත් මෙම ඖෂධ නිසා සිරුර සාමාන්‍ය පරිදි ක්‍රියාකරන්නවා එවිට අධික රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය නිසා සිරුරරට සිදුවන හානිය හා අතුරු විපාක වැලකෙනවා. 

රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය සඳහා ඖෂධයක් වෛද්‍යවරයෙක් නියම කලොත් ඒ සම්බන්ධයෙන් දෙන උපදෙස් නිවරැදිව අවබෝධ කර ගන්න.

උදා :-

1. ඖෂධය ගතයුතු වාර ගණන හා ප්‍රමාණය
2. කෑමට පෙරද පසුද යන වග.
3. ඖෂධය බොන අතරතුර ඇති වීමට ඉඩ ඇති සංකූලතා (රුධිර පීඩනය පාලනය සඳහා ලබා දෙන සමහර ඖෂධ වලින් අඩු රුධිර පීඩන තත්වයක් ඇති වුවහොත් දැනෙන රෝග ලක්ෂණයන් මොනවාද,  රුධිරයේ සීනි ප්‍රමාණය පාලනයට ලබා දෙන සමහර ඖෂධ වලින් අඩු රුධිර සීනි තත්වයක් ඇති වුවහොත් දැනෙන රෝග ලක්ෂණයන් මොනවාද වැනි කරුණු ) අසා දැනගත යුතුය.
4. නැවත රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂාවට පැමිණිය යුතු දිනය.

සෑම විටම තමා ගන්නා ඖෂධ නාමයන් හා ප්‍රමාණයන් මතකයේ තබා ගන්න. එමෙනඅස් ඖෂධ තබා ගැනීමට නිවැරැදිව ලේබල් කල සුලං නොවදින අසුරන සකසා ගන්න.

බෝනොවන රෝග සම්බන්ධයෙන් ඖෂධ ලබා ගැනීමට සිදු වන තත්වයක් යනු රෝගයේ තරමක් උත්සන්න අදියරකි. එනම් එහිදී රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම වැනි අසංතුලිතතා නිසා සිරුරේ බොහොමයක් අවයව වලට හානි පැමිණීමට හැකියාව ඇති තත්ත්වයකි. එම නිසා තමාගේ සෞඛ්‍යය පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය.

එනම්,

  • නියමිත කාලසීමාවකට වරක් වකුගඩු වල තත්වය, හදවතේ ක්‍රියාකාරීත්වය, ඇස් වල තත්වය පරීක්ෂා කර ගතයුතුය. මක් නිසාද රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල යාම දිගු කාලයක් පැවතීමේදී ඉහත අවයව වලට සියුම් ලෙස හානි සිදුවේ. එම සියුම් හානි පසුකාලීනව දරුණු තත්වයන්ට පත්වීමට ප්‍රථම හදුනාගෙන ප්‍රතිකාර කලයුතු වනවා.
  • දියවැඩියා රෝගයෙන් පෙලෙන අය තම පාද ගැන වැඩි අවධානයයක් දිය යුතුවේ. සෑම දිනකම හොඳින් සිය පාද පරීක්ෂා කලයුතුය (යටිපතුල්, ඇඟිලිකරු අතර ) මක්නිසාද බොහෝ දියවැඩියා රෝගීන්ගේ ස්නායු අන්ත දුර්වල වීමේ අතුරු විපාකය නිසා දෙඅත් දෙපා වල සංවේදීබව අඩු වේ. මෙවිට කුඩා තුවාල වල වේදනාව නොදැනේ. එම කුඩා තුවාල ආසදනය වුවහොත් එම ආසාදන පාලනය ඉතා අසීරු වේ. එවැනි අවස්ථා කෙලවර වන්නේ පාදයේ කොටසක් කපා දැමීමෙනි.

  • බෝනොවන රෝගයක් පවතින (දියවැඩියාව / අධි රුධිර පීඩනය) රෝගියෙකු සිය පවුලේ ළඟම ඥාතීන් බෝනොවන රෝග හදුනා ගැනීමේ පරීක්ෂා සඳහා යොමු කල යුතුය. බොහොමයක් බෝනොවන රෝග වලට ජානමය බලපෑමක් ඇත.
  • අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝගයකින් පෙලෙන සෑම කාන්තාවක්ම ගර්භණීවීමට ප්‍රථම සිය රෝග තත්වය ඉතා හොදින් පාලනය කරගත යුතුය.
  • බෝනොවන රෝගයකින් පෙලෙන ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න සෑම අයෙක්ම වෛද්‍යවරයෙකු හමුවන සෑම විටම සිය රෝග නිශ්ච ය කාඩ්පත ( Diagnosis Card) හෝ සායන පොත (Clinic record)රැගෙන යාම අත්‍යවශ්‍ය වේ. මක්නිසාද වෙනත් රෝගයකට ප්‍රතිකාර නියම කිරීමේදී දැනට ප්‍රතිකාර ලබන රෝගයේ පාලනයට බලපෑමක් නොවන ලෙස හා දැනට ගන්න ඖෂධ හා අනිසි ලෙස ක්‍රියානොකරන ඖෂධ තීරණය කිරීමට සිදුවන බැවිනි. 

ඔන්න දැනට වසරක පමණ කාලයක ඉඳන් කතාකල "අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීම" ලිපිපෙල අදින් අවසන් වෙනවා. අලුතින් කියවන අයට පහසුවක් වෙන්න එම ලිපි සියල්ල පහත දක්වන්නම්.

Friday, June 17, 2016

ඔබ ඔබේ සෞඛ්‍යය තත්වය ගැන සැලකිලිමත්ද?


සෑම සුවදිවි සායනයකම අවසානයේ පැවැත්වෙන පැයක සාකච්ඡාව බොහෝ විට රසවත්‍ එකකි. එය එසේ වීම බොහොමයක් අහිතකර සෞඛ්‍යය පුරුදු හදුනා ගැනීමටත් ඒවාට ප්‍රායෝගික විසදුම් සොයා ගැනීමටත් විශාල උදව්වකි.
මම ඒ සංවාදයක කොටසක් සඳහන් කරන්නම්.

සංවාදයට ක්‍රියාකාරිකව සහභාගී වූවේ එදින සායනයට එක් වූ වයස 40ක් පමණ වූ මහත්මයෙකි. මට මතක පරිදි සායනයේදී හදුනාගත් පරිදි ඔහුගේ රුධිරගත සීනි, රුධිර පීඩනය සාමාන්‍ය සීමාව ඉක්මවීමට ආසන්න තත්වයක පැවති අයෙකි.

"ඩොක්ටර්, අපේ අම්මලා තාත්තලා කවදාවත් සීනි පෙශර් බලන්න ගිහින් නෑ ඔය හොඳට ඉන්නෙ. ඕව බැලුවහම තමයි ලෙඩ වැඩි."

"හොඳ ප්‍රශ්නයක් තමයි. මොකක්ද මහත්මයාගෙ නම?'

"නිමල්!"

"හොඳයි නිමල් මහත්තයාගෙ අම්ම තාත්ත ගැන පොඩි විස්තරයක් කියන්න බලන්න."

"තාත්තා ගොවිතැන් කලේ, අම්මත් ඉතිං ඒවට උදව් කරන එකයි ගෙදර වැඩයි තමයි කලේ.  පවුලෙ ඔක්කොම දරුවො මාත් එක්ක 5ක්. එයාලගෙ වැඩ කලෙත් අම්මා තනියම."

"එතකොට ඔබතුමා පොඩි කාලෙ කෑම බීම එහෙම කොහොමද?"

"ඇත්තම කියනවා නම් ඩොක්ටර් ඒ කාලෙ ගොඩක් ආර්ථික අමාරුකම් තිබ්බා. ගොඩක් වෙලාවට වේල පිරිමහ ගත්තෙ වත්තෙ පිටියෙන්ම තමා."

"ඒ කිව්වෙ?"

"වත්තෙ හැමතැනම මොන මොනව හරි එළවළු ගහක් දෙකක් අම්ම හදල තිබ්බා, කරවිල, බණ්ඩක්කා, බටු, මෑ කරල් වගේ. ඕව එකක් එක්ක පලා මැල්ලුමක් හදනවා. ඒ දවස් වල කතුරුමුරුංගා ගස් දෙකතුනක් වත්තෙ තිබුනා. ගොටුකොළ මුකුණුවැන්න කියන්නෙ හැමතැනම වගේ වැවෙන පැලෑටි වගේනෙ.
ඕවට අමතරව කොස් පොලොස් දෙල් වුනත් ගමේ හැමතැනම තිබ්බා."

"ඉදල හිටල වෙනසකට වගේ ෆ්රයිඩ් රයිස් එකක් කොත්තුවක් එහෙම කන්න ඇතිනෙ ඔය කිව්වට?"

නිමල් මහතාට එකවරම පහල වූයේ සිනහවකි. "ඒ කාලෙ කොහෙද ඒව ඩොක්ටර්, අම්මල හිතුවෙ කඩෙන් බත් එකක් කනව කියන්නෙත් අපරාදයක් අමතර වියදමක් කියල."

"හොඳයි එහෙනම් සාරාංශෙ කිව්වොත් මහත්තයාගෙ අම්මල තාත්තලා හැමදාම වගේ කාල තියෙන්නෙ එළවළු පලා වර්ග, දවස තිස්සෙම මහන්සිවෙලා."

"දැන් නිමල් මහත්තයගේ විස්තර ටිකක් කිව්වොත්"

"මම ----- තේ වත්තේ කාර්යාලයේ තමයි වැඩ කරන්නේ. ගෙවල් හෝමාගම. මෙහෙ වත්තෙ නිල නිවාස වල  ඉන්නෙ. මට විතරක් උයන්න කම්මැලි නිසා ගොඩක් වෙලාවට කඩෙන් තමයි කන්නෙ.
එතකොට ඉතිං ගුණ අගුණ හොයන්න අමාරුයිනෙ. සමහර වෙලාවට රෝල්ස් එකක් කාල ටි එකක් බීල ශේප් වෙන වෙලාවලුත් තියෙනවා."

"ඒ කියන්නෙ වැඩිය මහන්සි වෙන්නෙ නෑ ටිකක් තෙල් ලුණු වැඩි කෑම තමයි ගොඩක් වෙලාවට කන්නෙ." 

"ඉතිං බලන්න අපේ අම්මලා තාත්තලා ජීවත් වුන ජීවන රටාව නෙවෙයි අපි ගෙවන්නේ  ඊට හාත්පසින්ම වෙනස් නරක ජීවන ක්‍රමයක්. එයාලට මේ කියන බෝ නොවන වැලඳෙන්න තිබ්බ අවදානම වගේ හතර පස් ගුණයක අවදානමක් අපිට තියෙනවා නේද. ඒ කියන්නෙ එයාලට වයස 60ක් 70ක් වෙන්කොට හැදෙන ලෙඩ අපිට වයස 30ක් 40ක් වෙනකොට හැදෙන්න පුලුවන් නේද?"

"ඒකනම් ඇත්ත ඩොක්ටර් ඒත් මොනව කරන්නද? ඒත් ඉතිං කාලෙට ඔබින විදිහට හැඩ ගැහෙන්නත්  එපැයි!"

"අන්න ඒ හන්ද තමයි තමන්ගෙ සෞඛ්‍යය තත්වය ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනෙ කියන්නෙ.

ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් අයට අඩු වයසින් බෝනොවන රෝග වැළඳෙනවා. හැබැයි අවදානම් සහිත එහෙම නැත්නම් නිරෝගී සීමාව පනින්න ඔන්න මෙන්න කාලෙදි හදුනා ගත්තොත් ලේසියෙන් වලක්වා ගන්න පුලුවන්."

ඉතිං මොකක්ද අපි ඒකට කරන්න ඕනෙ?

"හැම අවුරුදු 35 ඉක්මවූ කෙනෙක්ම අවුරුදු 2කට 3කට සැරයක් වත් තමාට බෝනොවන රෝගයක් වැළඳීමට තියෙන හේතු කාරක පරීක්ෂා කර ගන්නෙ ඕනෙ."

මොනවද  මේ බෝනොවන රෝගයක් වැළඳීමට තියෙන හේතු කාරක?

- වයස අවුරුදු 40ට වැඩි වීම 
- දුම්පානය 
- ස්ථූලභාවය (ශරීර ස්කන්ධ දර්ශකය/  BMI හා ඉනේ වට ප්‍රමාණය අනුව තීරණය වන්නකි )
- රුධිර පීඩනය - දියවැඩියාව ඇති අයෙක් නම් රුධිර පීඩනය රසදිය මිලිමීටර් 130/80 ට වැඩි වීම හෝ දියවැඩියාව නැති අයෙක් නම් රුධිර පීඩනය රසදිය මිලිමීටර් 140/90 ට වැඩි වීම
- තමාගේ ළඟම ඥාතියකුට (අම්මා,තාත්තා, සහෝදර සහෝදරියක් ) රුධිර සංසරණ පද්ධතිය ආශිත රෝග පැවතීම.
- තමාගේ ළඟම ඥාතියකුට (අම්මා,තාත්තා, සහෝදර සහෝදරියක් ) දියවැඩියාව වැළඳී තිබීම.

මෙන්න මේ හේතු කාරක ටික පරීක්ෂා කර ගන්න තියෙන පහසුම ක්‍රමය තමයි සුවදිවි සායනයකට සහභාගී වීම. මේ වෙනකොට සෑම රෝහලකම වගේ මේ සුවදිවි සායන මාසිකව පැවෙත්වෙනවා. 
ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම දහස් වාරයකින් වාසි සහගතයි!

ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ දසවෙනි පියවර ගැනත් අපි මේ කතා කලා.
"ඔබගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව මනා අවබෝදයක් තබා ගැනීම."

Saturday, June 11, 2016

හිත හොඳයි නම් ලෙඩ අඩුයි


මේ ගැන වඩාත් විස්තර ඇතිව වඩාත් රසවත් ලිපිකීපයකින් අපි කතා කලා මතක ඇති. කියවන්න බැරි වුන අය පහල යොමු ඔස්සේ ගිහින් බලල එන්න. (කියවපු අයටත් නැවත මතක් වෙන්න කියවල එන්න, ජීවිතයට පොඩි තල්ලුවක් ලැබේවි)


මානසික ආතතියත් එක්ක අපේ සිරුර කොයි තරම් දුර්වල වෙනවද කියන එක දැන් ඔයාලට හොඳින් වැටහෙනවනේ
ඉතිං ඒ ලිපිවල අන්තර්ගතයේ සාරාංශයක් තමයි අද ලිය වෙන්නේ. 

ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මානසික පීඩනය කියනනේ හිතේ හැදෙන, හිතට නැත්නම් ඔලුවට විතරක් බරක් වෙන දෙයක් කියල. නැහැ, ඔයා නොදැන මානසික පීඩනය නිසා සිරුරටද විශාල වෙන හානියක් වෙනවා.

මේ ගැන දැනුවත් වීමටත් එක්ක හැකි තරම් සරලව මානසික පීඩනය සිරුර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම්.

 ඉහත සඳහන් කල මානසික පීඩනයට හේතුවන කිසියම් හේතු සාධකයක් නිසා අප තුල බියක්, පීඩනයක්, අප්‍රසාදයක් හෝ තිගැස්මක් ඇති වනවා එය මුලින්ම හඳුනා ගන්නේ අපේ මොළය අභ්‍යන්තරයේ ඇති "හයිපොතැලමස" යන ස්ථානයෙන්. ඉන් මානසික පීඩනය හදුනා ගැනීමේන් පසු එයින් CRH (Corticotropin Releasing Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. එය පිටියුටරි ග්‍රන්ථිය මගින් හදුනා ගෙන එයට පිලිතුරු ලෙස ACTH (Adrenocorticotropic Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. මෙම හෝමෝනය රුධිරය ඔස්සේ අපේ වකුගඩු වල ඉහල පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථි වලට පණිවිඩය ගෙන යනවා. එවිට එම ග්‍රන්ථියෙන් කෝ(ර්)ටිසෝල් (Cortisol) නම් හෝමෝනය නිපදවනවා.

මොකක්ද මේ කෝටිසෝල් (Cortisol)!

කෝටිසෝල් මානසික පීඩනයට සිරුර සූදානම් කිරීමට සිරුර තුල මහත් පෙරළියක් සිදු කරනවා. මේ නිසාම මෙය සිරුරේ ස්ට්‍රෙස් හෝමෝනය (Stress Hormone) ලෙසද හඳුන්වනවා. 
මා පහතින් ඉදිරිපත් කරන සිරුරේ සිදුවන වෙනස්කම් බොහොමයකට මෙම හෝමෝනය කෙලින්ම හෝ වක්‍රාකාරව වගකිව යුත්තා වනවා.

හැබැයි මේ හෝමෝනය කෙටි කාලීනව යම් අභියෝගයකට මුහුන දීමට නම්  ඉතා ප්‍රයෝජනවත්. (උදාහරනයක් ලෙස - මීටර් සියය දුවන්නට සූදානම් වන ක්‍රීඩකයෙකුට ) මක් නිසාද ක්ශණිකව සිරුර තුල වැඩි ශක්තියක් නිපදවීම හා සිරුර අවධානමකට මුහුණ දීමට හැඩ ගැස්සවීම මෙමගින් මනාව සිදු කරනවා.

නමුත් දිගුකාලීනව මෙම හෝමෝනය නිපදවීම නම් සිරුරට කිසිසේත්ම හිතකර නැහැ.

මානසික සුවතාව වැඩි වන ක්‍රියාකාරකම් අපිට අවශ්‍ය වන්නේ ඇයි?

  • එය අපේ සිත්වල හට ගන්නා තරහ අඩු කරනවා / පාලනය කරනවා.
හිතල බලන්න තරහ නිසා අපිට සිද්ද වෙන පාඩු කොයිතරම්ද කියල. 
  • එය හදිසි අනතුරු අවම කිරීමට උදව් වෙනවා.
ගොඩක් හදිසි අනතුරු වලට හේතුවක් තමයි මානසික ආතතිය නිසා අවධානය අඩු වීම.
  • එය පව්ලේ හා වැඩ කරන ස්ථානයේ සමඟිය වැඩි කරවනවා

හිතන්න අපි වැඩි පුර කතාබහ කරන්නෙ හිතේ සතුටින් ඉන්න වෙලාවටද? පීඩනයකින් ඉන්න වෙලාවකටද? ඉතින් මේ මානසික පීඩනය නිසා අපි තියෙන ප්‍රශ්න තවත් වැඩි කර ගන්නවා ගෙදර, වැඩකරන තැන සාමාජිකයො එක්ක ගැටලු ඇති කරගෙන.
  • රැකියාව හා සබැඳි මානසික පීඩනය අවම කරන අතර නායකත්ව ලක්ෂණ වැඩි දියුණු කරවනවා.
අපි ගැටලුවක ඉන්න වෙලාවට වෙනත් දෙයක් ගැන සිත යොමු කරන්න අමාරුයි. 
  • විභාග ආශ්‍රිත මානසික පිඩනය අඩු කරනවා.

කවුරු වුනත් විභාග ගැන හිතුවහම ටිකක් නොසන්සුන්. ඒත් ඒ බිය නිසා ඇතිවෙන පීඩනයෙන් අපේ හිත අවුල් සහගත වෙනවා, එතකොට කොහොමද යමක් මතක තියා ගන්නෙ? ඒ කියන්නෙ අපිට මානසික පීඩනය අඩු කරගන්න යමක් කරන්නම වෙනවා.
  • සිත අපේ ශරීර සෞඛ්‍යයේ වර්ධනයට ඉතා වැදගත් වෙනවා.
මේ ගැන ඉහත විස්තර කලා මතක ඇති!
  • මානසික පීඩනය අධිරුධිර පීඩනයට හා හෘදයාබාධ වැනි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැළඳීමේ හැකියාව ඉහල දමනවා.
ඉහත කියල තියෙන විදිහට කෝර්ටිසෝල් තමා මේකට උදව් කරන්නෙ.
  • මානසික සෞඛ්‍යය යහපත් කරන ක්‍රියාකාරකම් මගින් ජීවිතය විඳවීමට වඩා රසවත්ව විඳීමට ඉඩ සලසනවා.
මේ ගැන මෙන්න මේ ලිපියෙන් අපි කතා කලා

ජීවිතය විඳින්න....!

  • සමහර තරගකාරි ක්‍රීඩාවන් වුවද මානසික පීඩනයට හේතු වෙන්න පුලුවන්.
කොහොමද තීරණාත්මක ක්‍රිකට් මැච් එකක අන්තිම හරිය වෙද්දි ?
  • දුර්වල මානසික සෞඛ්‍යයකින් යුතු වීම දුම් පානය, මත්පැන් , නරක ආහාර පුරුදු වැනි ඇබ්බැහි වීම වලට හේතු වෙනවා.
ඕන තරම් දැකල ඇතිනෙ පොඩි ප්‍රශ්නයක් ආවත් බෝතලේ බදා ගන්න අය.


මොනවද අපිට මානසික සෞඛ්‍යය වැඩි දියුණු කර ගන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකම්

  • දිනපතා භාවනාක යෙදීම හෝ ආගම ඇදහීමේ යෙදීම.
ඉතා වැදගත් දෙයක්, හිත ටිකක් සංසුන් කර ගත්තහම ගොඩක් ප්‍රශ්න වලට විසදුම් පේන්න පටන් ගනවා. මේ විදිහට සිත පාලනය කර ගන්න පුරුදු අයට ගොඩක් අභියෝග ජය ගන්න ශක්තිය තියෙනවා.
  • සංගීතය සවන් දීම.

සෑම කෙනෙක්ම වගේ කුමක්හෝ සංගීතයකට ආසයි. හිත සංසුන් කර ගන්න ගොඩක් ලේසියෙන් උදව් කර ගන්න පුලුවන් ක්‍රමයක්.
  • ඇවිදීම හෝ යෝග ව්‍යායාම වැනි ක්‍රියාකාරකමක යෙදීම.
හිතටත් හොඳයි, ඇඟටත් හොඳයි. 
  • තමන් කැමති විනෝදාංශයක යෙදීම.
දැන්නම් ගොඩක් අය විනෝදාංශ වලින් ඈත් වෙලා. ඒත් උත්සාහයක් අරන් බලන්න පරණ විනෝදාංශයක් පටන් ගන්න.
  • කලින් නින්දට යාම කලින් අවදි වීම.
කලින් නින්දට යාමෙන් හොඳ නින්දක් ලැබෙනවා, කලින් අවදි වීමෙන් මුලු දවසටම කාලය ඉතිරි වෙනවා. එතකොට නැගිට්ට වෙලේ ඉදන් ඔලුව ගිනි අරන් වගේ දඟලන්න ඕනෙ නෑ.
  • ස්භාවධර්මය නිරීක්ෂණය - ගහකොල නිරීක්ෂණය, තාරකා නිරීක්ෂණය.
කිසිම වියදමක් නැතුව ගොඩක් සාමකාමී විනෝදයක් ලබන්න පුලුවන් දෙයක්. කරල තියෙන අය දන්නවානේ!
  • සුරතල් සතෙක් / සතුන් ඇති කිරීම.

තමන් කැමති වර්ගයක සුරතල් සතෙක් ඇති කිරීමෙන්, එම සතා නිරීක්ෂණය කිරීමෙන් සුරතල් කිරීමෙන් හිතට ලොකු සහනයක් සතුටක් ලැබෙනවා.
  • සිය පවුල, දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීම, චිත්‍රපටයක් නැරඹීමට හෝ විනෝද චාරිකාවක යෙදීම.
අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපේ සිත් හඳුනා ගන්නෙ අපිත් එක්ක ඇත්තටම සතුටු වෙන්නෙ මේ අයනේ. කලින් ලිපියකුත් මේ ගැන ලිව්වා මතක ඇති.

නිවරැදි විවේකයක්...!


  • හැකි පමණ සැහැල්ලු සිතෙන් සිටීම හා සිනාමුසු මුහුණින් යුතුවීම, උද්‍යෝගමත් ලෙස කතා බහේ යෙදීම.

  • ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ නවවෙනි පියවර ගැන තමයි අපි මේ කතා කරල ඉවර වුනේ.

    Wednesday, June 1, 2016

    කොලෙස්ටෙරෝල් වැඩි වෙලාද?


    පෙශර්,  සීනි, හාට් ඇටෑක්, ..... මේ වචන සෙට් එක අතරේ නිතරම කියවෙන වචනයක් තමයි මේ කොලෙස්ටෙරෝල්. නිතර කිව්වට වැඩි දෙනෙක් මේ ගැන හොයල බල්න්නෙ නැහැ නේද?

    මොනවද මේ කොලෙස්ටෙරෝල්?

    කොලෙස්ටෙරෝල් කියන්නෙ අපේ සිරුරට අවශ්‍ය, අපේ සිරුර ගොඩනැගී තියෙන සෛල වල බිත්තියේ සංඝටක් වන ඉටි වගේ ද්‍රව්‍යයක්. මෙය නිපදවීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපේ සිරුර තුලම නිපදවීම, ඒ කියන්නේ අපේ අක්මාව සියල්ලක්ම වාගේ අපේ සිරුරට අවශ්‍ය කොලෙස්ටෙරෝල් නිපදවා රුධිරයට මුදා හරිනවා සිරුරේ අවශ්‍ය ස්ථාන වලට ලැබෙන පරිදි. ඒ වගේම අපි ගන්නා ආහාර වලිනුත් සිරුරට කොලෙස්ටෙරෝල් ලැබෙනවා, ඒ කියන්නෙ අපි කන සත්වමය ආහාර වලින්. ( උදා - මස් , සම්පූර්ණ යොදය සහිත කිරි) අපි වැඩි වශයෙන් සංතෘප්ත හා ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වැඩියෙන් ගන්න විට අක්මාව වැඩි වැඩියෙන් කොලෙස්ටෙරෝල් නිපදවීමට පටන් ගන්නවා. මෙවිට රුධිරයට එකතු වෙන කොලෙස්ටෙරෝල් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙන කොලෙස්ටෙරෝල් එකට බැඳී කැටිති සෑදේනවා ඒ කැටිති රුධිර නාල වල බිත්ති අතර බැඳී එම ස්ථාන රුධිරය ගමන් කිරීමට අපහසු වෙන විදිහට අවහිර කරනවා. මේ කැටිති රුධිර නාල වල බිත්තියෙන් කැඩී රුධිරය හා එක්ව රුධිර කැටි සාදනවා. එම කැටිති නිසා මොළයේ යම් රුධිර නාලයක් අවහිර වීමක් සිදුවුවහොත් එය ආඝාතය (Stoke) යන රෝග තත්වයට හේතු වෙනවා. ඒ වගේම හෘදයට රුධිරය සපයන රුධිර නාලයක් අවහිර වීමක් සිදුවුවහොත් එය හෘදයාබාධයක් ලෙස හැඳින්වෙනවා.

    කොලෙස්ටෙරෝල් වර්ග දෙකක් තියෙනවා, හොඳ කොලෙස්ටෙරෝල් (HDL - High density Lipoprotein) හා නරක කොලෙස්ටෙරෝල් (LDL - Low density Lipoprotein) විදිහට. ඉහත සඳහන් කල රුධිර කැටි ඇති කරන්න උදව් කරන්නේ මේ නරක (LDL) කොලෙස්ටෙරෝල්. නරක කොලෙස්ටෙරෝල් (LDL) වලට රුධිර නාලිකා වලට ඇලිල රුධිර කැටි හදන්න  ඉඩ නොදී අපිව ආරක්ෂා කරන්නේ හොඳ (HDL) කොලෙස්ටෙරෝල්.

    මීට අමතරව ට්ර්යිග්ලිසෙර්යිඩ් (Triglycerides) කියන ලිපිඩ වර්ගයත් ඉහල සාන්ද්‍රණයෙන් රුධිරයේ ඇති විට නරක කොලෙස්ටෙරෝල් එක්ක එකතු වෙලා  මේ රුධිර කැටිති හදන්න උදව් කරනවා. මේ ලිපිඩ වර්ගය වැඩියෙන් නිපදවීම සිදුවන්නේ පහත සඳහන් තත්වයන් වලදී.

    - කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීමෙන් (ආහාරයේ සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් 60% වඩා කාබෝහයිඩ්‍රේට් වීම)
    - තරබාරු බව
    - දුම්පානය
    - අධික මත්පැන් පානය
    - ව්‍යායාම අඩු වීම 
    - සමහර ජානමය රෝගී තත්ව


    මොනවද මේ ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් (Trans Fatty acid)?

    ස්වාභාවිකව සෑදෙන තෙල් වර්ග වන අසංතෘප්ත මේද (polyunsaturated oils) වල අඩංගු වන්නේ සිස් ෆැටි ඇසිඩ් (cis fatty acid) එළවළු තෙල් නිපදවීමේ ක්‍රියාවලියේදී (හඩ්‍රජනීකරණයේදී) මෙම සිස් ෆැටි ඇසිඩ් වල බන්ධන බිඳී හැඩය වෙනස් වී ට්‍රාන්ස් යන ස්වරූපයට පත් වෙනවා. බොහෝ විට මෙම ඝන මේද ස්වරූපය මේස මාගරින් (Table magarine)ලෙස හැඳින්වෙනවා.

     මෙම කියාවලියට අමතරව සෝයා තෙල්, සූරියකාන්ත ඇට තෙල්, හෝ ධාන්‍ය තෙල් අධි උෂ්ණත්වයට රත් වීමේදී නැත්නම් නැවත නැවත ගැඹුරු තෙලේ බැඳිමට ලක් කිරීමේදී ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් නිපදවීම සිදු වෙනවා.

    ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් අහිතකර ඇයි?

    ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් මගින් අපේ රුධිරයේ ඇති LDL (නරක කොලෙස්ටෙරෝල්) වැඩි කරන්න ක්‍රියා කරන අතර  HDL (හොඳ කොලෙස්ටෙරෝල්) අඩු කරන්නත් ක්‍රියා කරනවා. මේ තත්වය බොහොමයක් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වැළඳෙන්නට හේතු වෙනවා. (හෘදයාබාධ, ආඝාතය, ලේ කැටි ඇති වීම)

    මෙම ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් අඩංගු වන ආහාර වර්ග මොනවාද?

    - මාගරින් 
    - බඳින ලද ආහාර 
    - පේස්ට්‍රි 
    - බිස්කට්
    - කේක් 
    - බේකරි නිෂ්පාදන

    කොහොමද අපි මෙම ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් භාවිතය අවම කරන්නෙ

    හැකිතරම් තෙල් භාවිතා කර සිදු කරන ආහාර පිසීම් අවම කිරීම.
    ගැඹුරු තෙලේ බැඳීම් (Deep fry) සඳහා කිසිවිටක අසංතෘප්ත මේද (polyunsaturated oils) සහිත තෙල් වර්ග භාවිතා නොකිරීම  (උදා : එළවළු තෙල් හෝ සූරියකාන්ත තෙල් ) සාමාන්‍ය බැඳීම් වලදී වුවද තෙල් අධි උෂ්ණත්වයට රත් වීමේදී ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් නිපදවීම සිදු වෙන බව මතක තබා ගත යුතු වෙනවා. පොල්තෙල් ගැඹුරු බැදිම් වලට සුදුසු ලෙස හදුනා ගෙන තියෙනවා. නමුත් සෑම ගැඹුරු බැදීමකදීම ආහාරය හා තැවරී ඇති තෙල් හොදින් බේරීමට හැර ආහාරයට ගැනීමට හුරු වෙන්න ඕනෙ. 
    සෑම විටම ලේබල් හොදින් පරීක්ෂා කර ග්‍රෑමයක් තුල ඇති ට්‍රාන්ස් ෆැට් ප්‍රතිශතය හඳුනා ගැනීම ( ග්‍රෑම් 1 කට ට්‍රාන්ස් ෆැට් 1% වඩා අන්තර්ගත වේ නම් එම ආහාර භාවිතයෙන් වැලකීම සුදුසුය)

    මාගරින් භාවිතය අවශ්‍යම නම් හැකිතාක් දැඩි මාගරින් ( Hard stick) වලට වඩා මෘදු මාගරින් (soft margarine)භාවිතය හුරු වීම.

    අධි ශරීර බර සහිත අය, රුධිර සංසරණ පද්ධතිය ආශිත රෝග ඇති හා රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇති අය හැකිතාක් තෙල් වලින් වැලකී ඉන්න පුරුදු වෙන්න ඕනෙ.

    ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ අටවෙනි පියවර ගැන තමයි අපි මේ කතා කරල ඉවර වුනේ.