සරත් කියවමින් සිටි පත්තරය පහත් කර කඩුල්ලෙන් එපිට ගුරුපාර දෙස බැලුවේය. ඒ කුස්සියේ සිටිය ශීලා කඩාගෙන බිඳගෙන ඉස්තෝප්පුවට විත් මෙතරම් උවමනාවෙන් පාර වෙත ඇස් යොමා සිටීමට හේතුව දැකීමට.
මඳ වේලාවකින් දුහුවිලි නඟමින් නිවස ඉදිරියෙන් ඇඳී ගිය සිල්ව ලාගේ අලුතින් ගත් කාරය දුටුවිට සරත්ට කාරණය පැහැදිලි විය.
ශීලා තවමත් ඇඟිලි වලින්ද ඉස්සෙමින් ඈත ඇදී යන කාරය දෙස බලයි.
"සුදු පාට නැතුව රතු පාට එකක් ගත්තනම් හොඳයි නේද අනේ"
ශීලා ඒ දෙස බලා ගෙනම පැවසීය.
"ඒක ඒ මිනිස්සුන්ගෙ කැමැත්තනෙ, අපි මොකටද ඕව හොයන්නෙ" සරත් එතරම් ගනනකට නොගෙන පැවසීය
"ඔයටා තමා ඕනැකමක් නැත්තෙ අහල පහල හැමෝටම වාහන තියෙනවා"
ශීලා නෝක්කාඩු ස්වරයෙන් පවසමින් ගෙතුලට ගියාය.
"අපිට පුලුවන් විදිහට එපැයි අපි ජීවත් වෙන්න, නැතුව රටේ ලෝකෙ මිනිස්සු කරන හැමදේම අපිට කලහැකිද"
"බැරි කම නෙවෙයි උවමනාවක් නැති කම මිසක්"
ශීලා ගෙතුල සිට හඬ නැඟීය.
සරත් පත්තරය පුටුව මතට දමා කල්පනාවකින් යුතුව පාර දෙසට පා නැඟීය.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
"ශීලා ලබන සඳුදා ඉඳන් මම එන්න ටිකක් රෑ වේවි"
ඇය විමසිල්ලෙන් සරත් දෙස බැලීය
"හවස පැය තුනකට කොම්පැනියක ජොබ් එකක් හම්බුනා, බොරැල්ලෙ. වැඩ ඇරුණු ගමන් බස් එකක් අල්ල ගත්තොත් පහ වෙද්දි එතනට ගිය හැකි"
"ඉතින් අනේ එච්චර රෑ වෙලා එන්නෙ කොහොමද"
"බොරැල්ලෙන් අන්තිම බස් එක නවය, ඒකෙ අවොත් දහයමාර විතර වෙද්දි ගෙදරට ආව හැකි"
"ප්‍රයිවට් තැනක් නම් හොඳට ගෙවනවා ඇති නේද?"
"ඔව් දැන් හම්බවෙන ගානම වගේ හෙව්ව හැකි සෙනසුරාද වරුවයි ඉරිදයිත් ගියොත්"
ශීලා සිතින් ගණන් හදා බැලීය, එය හැබෑවටම හොඳ අදායමකි. සිය සිත් ගත් කාරය ඇයට මැවී පෙනෙන්නාක් මෙන් විය. සිය සිහිනය සැබෑවක් වීම වැඩි ඈතක නොවේ යයි සිතන විට ශීලාට සතුටු සිතිනි.
ඒ කල්පනා ලෝකයේ කිමිදෙමින් ඇය කුස්සිය වෙත ඇවිද ගියාය.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
සරත් නව රැකියාවට යාමට ආරම්භ කර සති දෙකක් ගත විය.
උදේ රැයින් පිටවන ඔහු ගෙදර එන්නෙ රෑ මැදියමට හෝරාවක් දෙකක් තිබියදීය.
වෙහෙසින් හෙම්බත් වී එන ඔහු යන්තම් ඇඟ පත සෝදා ගෙන ශීලා බෙදා දෙන බත් පත කා ඇඳට වැටෙන්නේය.
ශීලා ඇඳට පැමිනෙන විට සරත් නින්දට වැටී ගොරවමින් සිටී. ශීලාද ඔහුව අවදි නොවන අයුරින් පසෙකින් ඇලවෙයි.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
"අම්මේ තාත්ත මාත් එක්ක තරහ වෙලාද"
පෙර පාසල් නිම වී එන අතර දියණියගේ හඬින් ශීලා කල්පනාවෙන් මිදුනි.
"නෑ පුතේ, ඇයි එහෙම ඇහුවෙ?"
"නෑ නෑ අම්ම දන්නෙ නැතුවට තාත්ත මාත් එක්ක තරහ වෙලා, ගොඩක් දවසකින් මාත් එක්ක කතා කලේවත් නෑ, මම නිදා ගන්න කලින් එයා යනවා. ඊට පස්සෙ මම රෑට නිදා ගන්නකල් එන්නෙත් නෑ. නිවාඩු දවසටත් නෑ..
අනේ අම්මෙ තාත්තට යාලු වෙන්න කියන්නකෝ.." සිඟිත්තිය හැඬුම්බරව පැවසීය.
ශීලාට ඇය ගැන දුක සිතින.
"නෑ පුතේ තාත්තට දැන් ගොඩක් වැඩනේ, ඒකයි ඒ"
දියණිය ඉන් සෑහීමට පත නොවූ බව ශීලාට වැටහින.
ශීලා යලි කල්පනාවට වැටින.
වෙනදා යන්තම් අදුරු වැටීගෙන එන විට සරත් නිවසට පැමිනෙන තුරු දියණිය බලා සීටී, සරත් ගෙදර පැමිනි සැනින් ඔහු තුරුලට වැටෙන ඇය ඉන්පසු බොහෝ වේලාවක් සරත් හා හුරතල් වේ. ඔවුන්ගේ කෝලම් බලමින් තමාද ඉමහත් සතුටක් විඳි අයුරු ශීලාට සිහි විය.
තමාටත් නොදැනීම යම් අඳුරක් සිය ජීවිත වෙලා ගනිමින් සිටින බවක් හැඟීමෙන් ශීලාගේ හිත පුරා තිගැස්මක් ඇති විය.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
පොද වැස්ස සෙමෙන් තද වැස්සකට හැරෙන ලකුණු පහල විය.
රාත්‍රී එකොලහ පසු වුවද තාමත් සරත් නැත. ශීලා යලිත් දුරකතන ඇමතුමක් ගත්තාය.
"බස් එක මගදි කැඩුන ශීලා, හදන පාටක් නෑ. එන්න විදිහක් බලල කියන්නම්කො, ෆෝන් එකේ බැට්‍රිත් බැහැල. ඕෆ් වෙයිද දන්නෑ."
ඒ සැනින් ඇමතුම විසන්ඳි විය.
රාත්‍රී දොලහ පසු වුවද සරත් තාමත් නැත. යන්තමට තිබූ වර්ශාව මහා මේඝයක හැරී ඇත. ශීලාගේ සිත දැන් ගිනි ගොඩකි.
"සරත්ට කරදරයක්වත්ද" ශීලා මෙසේ සිතදිදීම පලාතම දෙදරවාගෙන අකුනක් ගැසුවේය. ඒහාම වැස්ස තවත් වැඩි විය.
"අනේ දෙවියනේ සරත්ට මුකුත් කරදරයක් වෙන්න එපා" ඉස්තෝප්පුවේ කනුවකට වාරු වී ඇත බලා සිටින ශීලාගේ දෙඇසින් කඳුලු රූරා වැටෙන්නට විය. පිට පිට ගසන අකුනු වලින් ඇගේ සිත තව තවත් කීරි ගැසේ.
මද වේලාවකට පසු කඩින් කඩ වැටෙන අකුණු එලියෙන් ඈත එන රුවක් ඇයට දිස් විය. ඒ සරත්ය.
ඔහු කඩුල්ල පනිනවාත් සමඟම වැස්සද නොතකා ඔහු වෙත දිව ගිය ශීලා සරත්ව වැලඳගෙන හඬන්නට වූවේ හිත තුල වූ බිය ආවේගය පිට කිරීමටය.
"මොකද මේ! යමු යමු ගෙට ඔයත් තෙමෙන්නෙ නැතුව"
දෙදෙනාම ගෙට ඇතුලුවිය.
"හතේ කනුව ගාවට ලොරියක් හම්බුනා, ඉතුරු ටික ඉතිං පයින් එන්න වුනා"
"දෙයියනේ මේ වැස්සෙ ඔයා හැතැප්ම පහක් පයින් ආවද"
තෙතබරිත වූ ඇඳුම් හා වතුර බේරෙමෙන් සිටින සරත් දුටු ඇයට ඔහු පැමිණි ගමන පැහැදිලි විය.
"අනේ ඉක්මනට නා ගෙන එන්න, කාලත් නෑනෙ. මම ඉක්මනට කෑම ටික රත් කරල ගන්නම්"
එදින ශීලා සරත්ට තුරුල් වූයේ මඳ වේලාවකට පෙර ඇයට දැනුන බිය තනිකම සිතේ දෝංකාර දෙමින් පැවතුන බැවිනි.
"සරත්?"
"හ්ම්ම්ම්"
"නිදි නෑ නේද?"
"සරත්, හවස ජොබ් එක නතර කරල දාන්න. අපි අර ඉස්සර හිටිය වගේ ඉමු"
සරත් කිසිත් නොදොඩාම ශීලා වටා අතක් දමා ගෙන දෙනෙත් පියා ගත්තේය.