Wednesday, September 26, 2012

ගිලන් හදවතට අත්වැලක් - 1


වෙනදාට වඩා අද මදක් වෙනස් අකාරයකට ලිපියක් ගෙන එන්න තමයි මේ ආරම්භය ගන්න යන්නෙ. මීට වසර කීපයකට පෙර එනම් තෙවන වසර වෛද්‍යය ශිෂ්‍යයෙක්ව සිටියදී ගොඩක් වටිනා සමාජ සත්කාරයකට සම්මාදම් වීමේ අවස්ථාවක් ලැබුනා. 

රාගම (උතුරු කොළඹ ) ශික්ෂණ රෝහලේ K. තිරුමාවලවන් කායික රෝග විශේෂඥ වෛද්‍යයතුමන්ගේ උපදෙස් හා අනුශාසකත්වය යටතේ එවකට ආධුනික කායික රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකුව සිට දැනට බිබිල මූලික රෝහලේ සේවය කරන ධම්මික කායික රෝග විශේෂඥ වෛද්‍යයතුමා විසින් රෝගීන් වෙත ලබා දීමට පිළියෙල කරන ලද කුඩා පොත් කිහිපයක් නිර්මාණයට උපකාරවීමට මටද අවස්ථාව ලැබුනා.

ප්‍රමාණයෙන් කුඩා වුවද අත්‍යාවශ්‍යම කරුණු කැටි කර එම පොත් කිහිපය නිම කිරීමට වසරක පමණ කාලයක් ගත වුනා.

ඉන් පළමු පොත් පිංච වන "ගිලන් හදවතට අත්වැලක්" අද සිට ලිපි දෙකක් ලෙස ඔබ වෙතට ලබා දීමට තමයි මේ සූදානම් වන්නේ.

ඉතින් මේ සඳහා අවසරය ලබා දීමෙන්ද මෙම උත්සාහය පිලිබඳ සතුට පල කරමින් මා දිරිමත් කල තිරුමාවලවන් කායික රෝග විශේෂඥ වෛද්‍යයතුමන් හා ධම්මික කායික රෝග විශේෂඥ වෛද්‍යයතුමන් යන වෛද්‍යයවරු දෙපලට මාගේ ඉමහත් ස්තූතිය පල කරමින් ලිපි මෙසේ ආරම්භ කරන්නම්! 

ගිලන් හදවතට අත්වැලක්

හෘදයාබාධයක් යනු කුමක්ද?

හෘදයාබාධයක් යනු හෘදයේ මාංශ පේෂි සදහා රුධිරය සැපයෙන නහරයක සිදු වන විපර්යාසයක් නිසා රුධිර සැපයුම අඩාල වීමෙන් හෝ ඇනහිටීමෙන් හෘදය වස්තුවේ කොටසක් හානියට පත් වීමයි. මෙය සති 6 සිට 8කට කාලයක් ඇතුලත කැළලක් ඇති වීම මගින් සුවවන නමුත් එය හුදෙක් කැළලක් මිස කි‍්‍රයාකාරි මාංශ පේෂී කොටසක් නොවේ.

එනිසා වැදගත්කම - නැවත වරක් හෘදයේ වෙනත් කොටසකට මෙවැනි සිදු වීමක් වීම වළක්වා ගැනීමයි.

ඔබට හෘදයාබාධයක් ඇතිවූයේ ඇයි?

මේ සඳහා හේතු තුන් ආකාරයකි.

A.  ප‍්‍රබල ලෙස බලපවත්නා වෙනස් කල නොහැකි සාධක.

වයස - පිරිමින් සඳහා වයස 50ට වැඩි නම්
         ගැහැනුන් සඳහා වයස 55ට වවැඩි නම් (ආර්ථවහරණයෙන් පසු) 

ආරය - මව පියා හෝ සහෝදර සහෝදරියන් හෘදයාබාධයෙන් පෙලෙයි නම්.

B. ප‍්‍රබල ලෙස බලපානමුත් යම්තාක් දුරකට වෙනස් කර පාලනය කරගත හැකි සාධක.

  • දුම්බීම.
  • කොලෙස්ටරෝල් අධික බව.
  • දියවැඩියාව.
  • අධිරුධිර පීඩනය.
  • තරබාරු බව .
  • මානසික ආතතිය.
  • සිරුරට ව්‍යායාම මද බව.


රෝගියෙකු ලෙස ඔබගේ වගකීම වෛද්‍ය උපදෙස් පිලිපැදීමෙන් මෙම අවදානම්  තත්වයන්  පාලනය කර  ගැනීමයි. මෙමගින්  ඔබගේ  රෝගය සඳහා ඖෂධ වලින් ලබනවාට වඩා වැඩි පාලනයක් අවදානම් තත්ව පාලනය තුලින් ලබා ගත හැකි බව සැලකිය යුතුයි.

C. මීට අමතරව වෙනත් රෝගී තත්වයන්ද බලපෑ හැකි අතර එවන්නක් ඇත්නම් වෛද්‍යවරයා ඔබව විශේෂයෙන් දැනුවත් කරනවා ඇත.

ඔබට ඇතිවූ හෘදයාබාධය සුවකර ගැනීමට ඔබගෙන් ඉටුවිය යුතු කාර්යය කුමක්ද?

වෛද්‍ය ප‍්‍රතිකාරය රෝගය පාලනයට ප‍්‍රධානතම සාධකය නොවන අතර ඔබගේ කාර්යභාරයද ඒ හා සමානවම වැදගත් බව අමතක නොකරන්න.

දළ වශයෙන් ඔබ පහත දැක්වෙන අකාරයට කටයුතු කිරීම ඉතා වැදගති වන්නේය.

මුල් දින 2 (මුල් පැය 48 ඇතුලත)

පූර්ණ ඇඳ විවේකය මගින් කායික විවේකයද මානසික විවේකයද අත්‍යාවශ්‍යය.

වැසිකිලි යාමටවත් ඇඳෙන් බැසීමට නොහැකි අතර ඇඳට සපයනා භාජනයකට මල මුත‍්‍රා කිරීම කල යුතුය.

බොහෝ විට ඝන ආහාර නොදෙන අතර මුල් පැය 24න් පසුව ඔබට දියරමය ආහාර ලබාදීමට වෛද්‍යවරයා අවසර දෙනවා ඇත. (උදේ කිරි තේ, දියරමය සුප්)

දෙවන දිනයේදී ඔබට වෛද්‍ය උපදෙස් මත ඇඳේ වාඩි වී සිටීමට හැකිවනු ඇත.

3වන දිනය

ඔබට හෘද වේදනාව නැති නම් සංකූලතා තත්වයන් නොමැතිනම් ඇඳෙන් බිමට බැස පුටුවක වාඩි වී සිටීමට හැකිය. අපහසුවක් නොමැතිනම් ඇඳ වටා ඇවිදිය හැකිය.

අර්ධ ඝන ආහාරයක් ඔබට ගත හැකිය. (කැඳ,ඝන සුප්)

4 වන දිනය.

වේදනාවක් හෝ සංකූලතාවයක් නොමැති නම් ඔබට ඇඳෙන් බැස ඇඳෙන් අඩි කිහිපයක් ඔබ්බට ඇවිදීයමට හැකිය. ඔබට අපහසුතාවයක් නොමැති නම් වැසිකිලිය වෙත රෝද පුටුවකින් හෝ ක‍්‍රමක‍්‍රමයෙන් ඇවිදගෙන යාමට අවසර දෙනු ඇත. (සහකරුවෙකු සමග)

මෙහිදී ඔබගේ පහසුව සඳහා ඥතියෙකු හෝ හිතවතෙකු ළග තබා ගැනීමට අවසර ලැබිය හැක.

සැහැල්ලූ ඝන ආහාරයක් සීමා සහිතව ගතහැක. ( ඉදිආප්ප, බෙරි කරන ලද බත්, නූඞ්ල්ස්)

වැදගත් - වැසිකිලි යාමේදී මලබද්ධයට තැටමීම වැනි තත්ව හෘදයට ඉතා අහිතකර විය හැකි අතර මෙවැනි තත්වයන් ඇත්නම් වෛද්‍යවරයාට වහාම දන්වන්න.

5 වන දිනය.

පපුවට වේදනා හෝ මහන්සි නොමැති වන සීමාව තුල වැසිකිලියාම, ඇවිදීම, ඇඳෙන් බැස ඇඳෙන් අඩි කිහිපයක් ඔබ්බට යාමට ඔබට හැකිය.

ඔබට වේදනාවක් හෝ මහන්සියක් දැනේ නම් ඒ බව වෛද්‍යවරයාට දන්වන්න.

ඔබට සාමාන්‍ය පරිදි හෘද රෝගියෙකුට ගැලපෙන ආහාරයක් ගත හැකිය.

ඔබට සංකූලතාවයන් නොමැති නම් පමණක් නිවසට යාමට අවසර දෙනු ඇත.

රෝහලෙන් පිටවී යන විට ඔබට ලබාදෙන රෝග විනිශ්චය පත හා ECG හා X-ray වැනි අනෙකුත් පරික්ෂණ වාර්තාවන් ඉතා සුරැකිව තබා ගත යුතු අතර පසු දිනෙක ඔබ සායනයට පැමිණෙන විට අනිවාර්යයෙන් ඒවා රැගෙන ආ යුතුය.

ඔබට සංකූලතා තත්වයන් පවතී නම් දින 5කට වැඩි කාලයක් රෝහලේ සිටීමට සිදුවන අතර එම කාලය ඔබගේ රෝග ස්වභාවය මත තීරණය වනු ඇත.

වැදගත් -මේ වන විට ඔබ ඔබගේ ජීවිතයට පවතින දැඩිම අවධානම් කාලය පසුකලා පමණි. පූර්ණ සුවය ලැබීමට අවම වශයෙන් සති 6ක පමණ කාලයක්වත් ගතවේ.

නිවසට බැහැරව යාමෙන් පසුව ඔබ කල යුත්තේ කුමක්ද?

පළමු සති   


ඔබගේ නිවස තුල වෙහෙසට පත් නොවන සීමාව තුල එහා මෙහා ගමන් කල හැක.


බර ආහාර ගැනීමෙන් සහ එකවරකට අධික ලෙස ආහාර ගැනීමෙන් වලකින්න.
(මෙතැන් පටන් ඔබට ගැලපෙන ආහාර වට්ටෝරුව පිලිපැදිය යුතුය.)

වැදගත් - 
පූර්ණ සුවය ලබන තෙක් අවම වශයෙන් සති 6ක කාලයක් වත් ඔබගේ රැකියාවේ නියැලීමට හෝ ලිංගික කටයුතු වල යෙදීම සුදුසු නොවේ.

දෙවන සතිය

ඔබ නිවසේ සහ ගෙවත්තේ වෙහෙසට පත් නොවන ලෙස ඇවිදිය හැකිය.
මේ සතිය තුල ඔබගේ වෛද්‍ය වාර්තා සමග වෛද්‍ය සායනයේදී වෛද්‍යවරයා මුණගැසිය යුතුය.

වැදගත්-
සායනයට යාමේදී වැඩිදුර ඇවිදීම, පඩි පේලි නැගීම, බර රැගෙන යාම අහිතකර බැවින් හැකි සෑම විටකම එවැනි දෑ කිරීමෙන් වලකින්න. සායනයට පැමිණීමේදී ඔබගේ සහයට කෙනෙකු සමග පැමිණෙන්න.

තෙවන සතිය

මෙතැන් සිට වෙහෙසකර නොවන සුළු වැඩ කටයුතු කල හැක.

උදා -නිදන ඇඳ සැකසීම.
අඩි කිහිපයක් අතු ගෑම.
ඔබගේ පිගාන කෝප්පය සේදීම.

සිව්වන සතිය 

නිවස තුලදී ඇදුමක් සේදීම, ඉස්ත‍්‍රික්ක කිරිම වැනි වෙහෙසකර නොවන සුළු වැඩ පලක් කළ හැක. ගෙදර මිදුලේ ඉතා සුළු ඉඩ කඩ ප‍්‍රමාණයක් අතුගෑම වැනි වැඩක් කල හැක.


අසල් වැසි නිවස ඔබ නිවසේ සිට සුළු දුර ප‍්‍රමාණයක වේ නම් ඒ තාක් ඇවිදීම කල හැක.
(උදා - උපරිම ලයිට් කණු දෙකක් අතර දුර ප‍්‍රමාණයක්)


පස්වන සතිය 

තැනිතලා පොලවේ වැඩි දුර ප‍්‍රමාණයක් වෙහෙසකර නොවන සීමාව තුල ක‍්‍රමක‍්‍රමයෙන් තවත් කෙනෙකු සමග ඇවිදීම සිදුකල හැක.
උදා ඃ කඩයට යාම.

ඔබ ඇවිදීමේ දී ඨඔභ පෙති සහිත බෝතලය ඔබ ලඟ තබා ගන්න. පපුවට වේදනාවක් දැනුනේ නම් වහාම නැවතී දිවයට පෙත්තක් තබාගෙන වාඩි වී විවේකීව සිටින්න. වහාම වෛද්‍යවරයා හමු වන්න.

ඇවිදීමේදී

  • වේගයෙන් නොඇවිදින්න.
  • පඩිපේලි කදුගැට නැගීම සිදු නොකරන්න.
  • බර ඔසවාගෙන යාමෙන් වලකින්න.
  • ඔබ මහල් නිවසක, පදිංචිව සිටින්නේ උඩ මහලේ නම් පලමු මහලේ වාසය කිරිමට කටයුතු යොදා ගැනීම මැනවි.

නොවලැක්විය හැකි හේතුවක් මත උඩුමහලේ සිටීමට සිදුවේ නම් වරකට පඩි තුනක් පමණ වන සේ සහායකයෙකු සමඟ ක‍්‍රමයෙන් පඩි නැගීම සිදුකල යුතු අතර පඩිපෙල නැගිමේ වාර ගණන සීමා කරන්න.

හයවන සතිය

මෙම සතියේදී ඔබට ඇවිදීම සුළු වැඩ පල කිරිම වැනිදෑ සාමාන්‍ය පරිදි සිදු කිරිමට හුරු වන්න.
මේ අවස්ථාව වන විට, එනම් දෙවන වර සායනයට සහභාගී වීමේදී ඔබගේ වෛද්‍යවරයා සමඟ රැකියාවට යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.
උදා - කය නොවෙහෙසන්නා වූ රැකියාවක නියුතු නම් ඔබගේ රැකියාවට පිටත් විය හැක.

6 - 8 සතිය

මින් පසුවට ඔබගේ දෛනික ක‍්‍රියාකාරකම් හා ව්‍යායාම කෙරෙහි ක‍්‍රමයෙන් අවතීර්ණ විය හැකිය.

  • වේගයෙන් ඇවිදීමට උත්සාහ කල හැකිය.
  • දිනකට විනාඩි 30- 45 ක කාලයක් සැහැල්ලූ ව්‍යායාම් වල නිරත වන්න.

උදා - ඉක්මන් ගමනින් ඇවිදීම.

මස් පිඩු තදකොට තැටමීමෙන් සිදුකරන ව්‍යායාම වල නිරත වීම සුදුසු නොවේ.
උදා - බර ඉසිලීම, කදු නැගීම,දිග හැරිම් ව්‍යායාම.
මෙලෙස සතියකට දින 4 - 5 ක් වත් ව්‍යායාම කල යුතු වේ.

සති 8 කට පසු ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කල හැකිද?
මෙතැන සිට ඉතිරිය ඊලඟ ලිපියෙන් ගෙන එන තුරු ඔබට සුවබර දවසක්!



20 comments:

  1. මම හිතන්නෙ මම මේ පොත් පිංච දැකල තියෙනව. නියමම වැඩක් ගිමන්. ඇත්තටම වටිනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිඳූ!
      වෙන්න පුලුවන් සිඳූ එහෙනම් ඔයලගෙ හෘද රෝග ඒකකයටත් එවන්න ඇති.

      Delete
  2. අලුත් වැඩේට සුබපැතුම් ගිමන් අයියේ...ගොඩාක් වටිනවා

    ReplyDelete
  3. හුඟක් වටින සටහනක්. පොත් පිංච කියවීමට ඉඩ නොලැබෙන අය වෙනුවෙන් එකිනෙකා හා බෙදා ගැනීමටත් ඉඩ සැලසෙනවා මෙහෙම පළ කිරීමෙන්.

    ReplyDelete
  4. වටින වැඩක්..!

    ReplyDelete
  5. කාට වුනත් අනාගතේදී අවශ්‍ය නොවෙයි කියල හිතන්න බැරි ලිපියක්. ගොඩක් වටිනවා දන්නා අයට උපදෙසක් වුනත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්!
      පුලුවන් තරම් දැනුම බෙදා ගැනීම තමා වටින්නෙ

      Delete
  6. ඔබේ හැම ලිපියක්ම හරිම වටිනවා ගිමන් ඒක ආයෙ වචන දෙකක් නෑ කථාවක් ලිව්වත් ගන්න දෙයක් තියෙනවා ලිපියක් ලිව්වත් එහෙමයි.ඔයාව පොඩ්ඩක් උඩින් තිබ්බ නෙමෙයි අවංකවම මම දකින දේ.

    කාට වුනත් ඇත්තටම වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි සිත්තමී නංගි!
      කාලෙකින් දැක්කේ.

      Delete
  7. ගොඩක් ස්තුතියි ගිම්..
    තව තවත් මෙවන් ලිපි ලියන්නට කාලය ලැබේවා..

    ReplyDelete
  8. හ්ම්ම්..වැදගත් ලිපි ලියන තරමට බ්ලොග් එකත් ලස්සන වෙනවා.
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
  9. පෝස්ට් එක කියෙව්වාට වෙනදා වගේ කමෙන්ට් එකක් දාන්න වෙලාවක් තිබ්බෙ නෑ ගිමන්. හරිම වැදගත් පෝස්ට් එකක්. මගේ දෝනිටත් ලින්ක් එක යැව්වා. ගිමන් කරන ප්‍රොජෙක්ට් එක මේකද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dude අයියා!
      කමක් නෑ කොහොම හරි කියෙව්වා නම් ඒක තමා වටින්නෙ.
      දැන් කරන එක නෙවෙයි අයියා වෛද්‍යය පීඨෙ ඉන්න කාලෙ කල වැඩක්,

      Delete