Sunday, September 30, 2012

ගිලන් හදවතට අත්වැලක් - 2 (අවසාන කොටස)



පළමු කොටස කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.
ගිලන් හදවතට අත්වැලක් - 1

අද එතැන් සිට ලිපියේ දෙවන හා අවසාන කොටස....

සති  8 කට පසු ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කල හැකිද?


මේ වන විට ඔබට දැඩි සංකූලතා නොමැති නම්, ඔබගේ හෘදය වස්තුවේ කැලල බොහෝ දුරට සුවතාවයට පත් වී ඇත. මින් ඔබ්බට ඔබගේ සාමාන්‍ය දෛනික ක‍්‍රියාකාරකම් කෙරෙහි ක‍්‍රමයෙන් යොමුවිය හැක.

එය පහත ආකාරයට සිදු කල හැක.

01. ආහාර පාන

ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම වළක්වා ගන්න. සීනි, බත්, පාන්, අර්තාපල් සහ අනෙකුත් අල වර්ග භාවිතය අඩු කරන්න. මාළු හා සම ඉවත් කරන ලද කුකුල් මස් භාවිතයට සුදුසු වේ. අනිත් මස් වර්ග, බිත්තර භාවිතය අඩු කරන්න. 

තෙල් විශේෂයෙන්ම සත්ව තෙල් භාවිතය අඩු කරන්න. උදා :- බටර්, මාගරින්, ගිතෙල් පොල්තෙල්, භාවිතය හැකි නම් නවත්වන්න. නැත්නම් අඩු කරන්න. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න. එළවළු තෙල් යොදා ආහාර පිසින්න. කෙඳි සහිත ආහාර හා එළවළු වැඩි වශයෙන් භාවිතා කරන්න.

ඔබට රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ආහාරය මෙසේය.


  • මේද රහිත  කිරි හා කිරි නිෂ්පාදන.
  • මාලූ, කුකුල් මස් (හම රහිත), බිත්තර (සුදු මදය), කරවල හා     සෝයාමීට්.
  • දෙවන හා තෙවන වරට මිරිකා ගන්නා ලද පොල් කිරි. (දිය  කිරි)
  • පලතුරු හා එළවළු.
  • ධාන්‍ය හා ධාන්‍ය හා නිවුඩු හාල් පිටි වලින් සාදන ලද කෑම (පාන්, ඉඳිආප්ප, පිට්ටු)
  • පරිප්පු, මුං ඇට, කඩල, කව්පි ආදිය.
  • තේ පානය කෝපි පානයට වඩා සුදුසුය.


02. ව්‍යායාම්


හොඳම ව්‍යායාමය නම් ඇවිදීමය. වරකට මීටර 30 - 45 ත් අතර දුරක් සතියකට දින 4 - 5 ක් වත් සිදුකල යුතුය.

ශරීරය මහත් ලෙස වෙහෙසට පත් කිරීමත් (උදාඃ නිවසේ දෛනික කටයුතු නිසා) ව්‍යායාමයත් අතර විශාල වෙනසක් ඇත. එනම් මහනසි වී ගේ දොර වැඩ කටයුතු කිරීම ව්‍යායාමයකට සමකල නොහැක.
වෙහෙස දැනෙන්නේ නම් නිදි මරමින් රූපවාහිනී නැරඹීම හෝ පොත් කියවීම නොකල යුතුය.

බර වස්තු එසවීම (කිලෝග‍්‍රෑම් 15ට වැඩි) හෝ වෙනත් කාර්යයකදී වුවද පමණට වඩා වෙහෙසීම සුදුසු නැත.
මලපහ කිරීමේදී තැටමීම සුදුසු නැත. නින්දට යාමට පෙර අවශ්‍ය නම් විරේක ඖෂධයක් වෛද්‍ය අනුමැතිය පරිදි භාවිතා කල හැක.

ඉහත සඳහන් කල පරිදි ඇවිදීම සිදු කළ හැකිය. එමගින් ඔබගේ හෘදයට සැපයෙන රුධිර වාහිනී පද්ධතිය වැඩි දියුණු වීමක් සිදුවේ. මෙමගින් ඔබගේ හෘදයට ලේ ගමනාගමනය දියුණු වී හෘද වේදනා ඇති වීම අවම කර ගත හැකි අතර හෘදයට අහිතකර කොලෙස්ටරෝල් දහනයක්ද සිදුවේ.

මෙතෙක් ඔබ විසින් නොකල පඩිපේලි සහ කදු නැගීම ක‍්‍රමයෙන් සිදු කල හැක.
ව්‍යායාම මගින් ඔබගේ බර පාලනය කිරීම සිදුවන අතර මෙය අත්‍යාවශ්‍ය අංගයකි.
ඔබගේ උසට සරිලන බර පහත ආකාරයට ගනනය කර ගත හැක.

අඩි 5(150 cm) ක් උස පිරිමියෙකුගේ උපරිම බර රාත්තල් 120(54 kg) නොඉක්මවිය යුතුය.
අඩි 5(150 cm) ක් උස ගැහැණියකුගේ උපරිම බර රාත්තල් 115(51.75 kg) නොඉක්මවිය යුතුය.


මීට වැඩි වන සෑම අඟලක් සඳහාම රාත්තල් 4(1.8 kg) ක් වැඩි විය හැකි අතර මීට අඩු වන සෑම අඟලක් සඳහාම රාත්තල් 4(1.8 kg) ක් අඩු විය යුතුය.

ඉහත උපරිම බරට අඩුවෙන් ඔබගේ බර පවත්වා ගැනීමට සැලකිලිමත් වන්න.

03. රැකියාව.

කායිකව හා මානසිකව අධික ලෙස වෙහෙස කර නොවන රැකියාවක නියුතු වන අයෙකුට සති 6 - 8 පමණ කාලයකින් රැකියාවට යා හැකිය.
ඔබ කය වෙහෙසන හෝ මනස වෙහෙසන රැකියාවක නියුතු නම් රැකියාවට පෙර වෛද්‍ය උපදෙස් පතන්න.
ඔබට සමහර රැකියාවන් කිරීම සුදුසු නොවන අතර එනිසා ඔබගේ සුපුරුදු රැකියාව වෙනුවටවෙනත් සුදුසු රැකියාවකට වෙනස්වීමට ඔබට සිදුවේ.

උදා :- බර වාහන එළවීම නුසුදුසුය. සැහැල්ලූ වාහන එළවීමට හැකි රැකියාවකට යොමුවන්න.

බර එසවීම, ඇවිදීම, තල්ලූ කිරීම වැනි මස් පිඩු තදකොට තටමා වෙහෙසෙන රැකියාවක නියුතු නම් එවැනි රැකියා වෙනුවට සැහැල්ලූවෙන් කල හැකි රැකියාවක් තෝරාගත හැක.
ඔබගේ රැකියාව මානසික ආතතිය වැඩි කරන සුළු නම් එය අඩු කර ගත හැකි රැකියා අංශයකට යොමු වන්න.


04. ජීවන රටාවේ සිදුකල යුතු වෙනස්කම්.

දෛනික ක‍්‍රියාවන්
1. දුම්පානය සපුරා තහනම්ය.

2. කවර අයෙකුට වුවත් මත්පැන් පානය හිතකර නොවේ එම නිසා මත්පැනින් සම්පූර්ණයෙන් වලකින්න.

3. බුලත් සැපීමේදී දුම්කොළ භාවිතය සුදුසු නැත. (මීට අමතරව බුලත් සැපීමේදී දුම්කොළ භාවිතය මුඛ පිළිකා වලට හේතු වේ)

4. කායික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යයද ඉතා වැදගත්ය මානසික ආතතිය හෘදයාබාධ වැඩි කරයි. එනිසා මානසික ආතතිය අඩු කිරීම සඳහා පහත පිළිවෙත් අනුගමනය කල හැක.

උදා :- භාවනා කිරීම.
                ඝෝෂාකාරී නොවන මිහිරි සංගීතයට සවන් දීම.
        මාළු ටැංකියක මත්ස්‍යයින්ගේ චර්යාවන් නැරඹීම.

අධික කෝපය සිතෙහි කැකෑරෙන වෛරී සිතුවිලි හෘදයාභාදයට අහිතකර ලෙස බලපායි. සාමාන්‍ය ජීවිතයේදී පවුල් ප‍්‍රශ්න වැනි දේ  ඕනෑවට වඩා සිතීමට සුදුසු නැත.

ස්නානය

හෘද්‍යාබාධයකින් පෙලීමේදී දියනෑමේ වරදක් නැත.
අහිතකර වන්නේ ළිඳකින් දිය ඇද ගෙන නෑම වැනි වෙහෙසකර අවස්ථාය. තවද දැඩි සීතල වතුර ස්නානයේදී රුධිර පීඩනය ඉහල යා හැකි නිසා සීතල ප‍්‍රදේශ වල ජීවත් වන උදවිය මඳ රස්නයෙන් යුත් වතුර නෑම සිදු කල යුතුය.
හෘද්‍යාබාධයෙන් සතියකට පසුව වතුර මලකින් හෝ පුරවන ලද වතුර තව කෙනෙකුගේ සහය ඇතිව නෑමේ වරදක් නැත.
මාස 3කට පසුව ඉතා වෙහසකර නොවේ නම් වෛද්‍ය උපදෙස් මත දිය ඇද ගෙන නෑම සිදු කල හැක.

වාහන ගමනාගමනය

ඉඳ ගැනීමට ආසනයක් ලබා ගත හැකිනම් සති 6කට පසුව සැතපුම් කිහිපයක් වුවද කාරයක දුම්රියක හෝ බස් රථයක ගමන් කල හැකිය.
වාහන පැදවීමේදී මාස 3ක් ඉක්මයාමෙන් පසු සැහැල්ලූ වාහාහනයක් පැදවිය හැකිය. යතුරුපැදියක් මාස 6කට පමන පසුපැදවිය හැකිය.පාපැදියකින් කදු පෑගීම බර දමා පෑගීම සුදුසු නැත.
බර වාහන ඔබට ජීවිත කාලයටම පැදවීම සුදුුසු නොවේ. (ලොරි, බස්*

05. ලිංගික සෞඛ්‍යය

හෘදයාබාධයකදී අවම සති 6ක් ගත වන තුරු ලිංගික සංසර්ගයේ යෙදීම සුදුසු නැත. ඉන් පසු ඔබට සංකූලතා නොමැති නම් ඒ කෙරෙහි යොමු විය හැක.
දල වශයෙන් ඔබට මහන්සියට පත් නොවී යම් දුරක් එක දිගට හැකි නම් පමණක් ඔබගේ සුපුරුදු ලිංගික සහකරුවා හෝ සහකාරිය සමඟ එක් විය හැක.

මෙහිදී ඔබ රාත‍්‍රියට බර ආහාරයක් ගත් විට හෝ මහන්සියක් දැනෙන අවස්ථා වලදී ලිංගිකව එක් වීම සුදුසු නැත. මෙලෙස සතියකට දෙවරක් හෝ තුන් වරක් ලිංගිකව එක් වීම හානිකර නොවේ.
ලිංගික එක්වීමේදී පපුවේ වේදනාවක් ඇතිවේ නම් ඊට පෙර GTN පෙත්තක් දිවයට තබාගැනීම කල හැකිය.

06. සායනයකට සහභාගි වීම හා ඖෂධ.


ඔබට රෝගයක් වැළදී සුවවූවා නොව ඔබගේ රෝගය පාලනය කලා පමණි. ඔබට මෙම රෝගය සමඟ ජීවිත කාලයක් ජීවත් වීමට සිදු වන අතර මෙවැනි තත්වයන් ඉදිරියේදීද ඇති විය හැකි අතර එහි සංකූල තත්වයන් වුවද ඇතිවිය හැක.

එම නිසා මෙම තත්වයන් මගහරවා ගැනීමට සායනික උපදෙස් පිලපැදීම හා ඖෂධ භාවිතය අත්‍යාවශ්‍ය වේ. ඔබගේ ඖෂධ භාවිතය වෛද්‍ය උපදෙස් මතම පමණක් වෙනස් කල හැකි අතර යම් ඖෂධයකින් ඔබට අතුරු ආබාධ තත්වයක් ඇති යැයි හැෙඟ් නම් වෙවද්‍යවරය් සමඟ සාකච්ඡා කරන්න.

ඔබට සායනයට පැමිණීමට දිනක් අතපසු වුව හොත් වහාම එම ඖෂධ ෆාමසියකින් ලබාගෙන ඊළඟට එළැඹෙන පළමු සායන දිනයේදී සායනයට සහභාගි විය යුතුය. ඔබගේ පහසුව සඳහා ඔබ නිවසට ආසන්න රොහලකට ඖෂධ ලබා ගැනිමට මාරුකර ගත හැකිය.
සායනයට සහභාගි වන සැම මොහොතකම අදාල බෙහෙත් ප‍්‍රමාණය නියමිත වෙලාවට  භාවිතා කර පැමිණෙන්න.
උදා :- අධි රුධිර පීඩනය පාලනය.

ඔබට දියවැඩියාව ඇතිනම් ලේ වල සීනි පරීක්ෂාවක් කරගෙන පැමිණිය යුතුය.
මාස 6කට වරක් වත් කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කරගත යුතුය.
බොහෝ ඖෂධ රෝහලෙන් නොමිලේ සැපයෙන අතර රෝහලේ නොමැති වන ඖෂධ ෆාමසියකින් මිලදී ගෙන භාවිතා කිරීමද අත්‍යාවශයය.

ඖෂධ තබාගැනීමේදී කුඩා බෝතල් වැනි අසුරන වලවෙන වෙනම බෙහෙත් ලේබල් කර කුඩා ළමුන්ට අසු නොවන සේ තබා ගන්න.

ඔබ ගන්නා ඖෂධ පිළිබඳව දැනීමක් ඔබට තිබීමද අත්‍යාවශ්‍යය. එනිසා ඔබ භාවිතා කරන ඖෂධ වල නාමයන් හා මාත‍්‍රාවන් ඔබට පුරුදු භාෂාවකින් ලියාතබා ගැනීම අවශ්‍ය වේ.
ඔබට පපුවේ වේදනාවක් ඇති වූ විට දිව යට තැබීමට නිර්දේශිත පෙති අඳුරු පැහැති කුඩා බෝතල් කුප්පියක අසුරා තබන්න. එයට කපු පුළුන් දැමීමෙන් වලකින්න. මසකට වරක් බෝතලයේ බෙහෙත් අළුත් කරන්න. 

ඔබට හෘද්‍යාබාධය වැළඳුන අවස්ථාවේ ඇති වූ වේදනාවට සමාන පපුවේ වේදනාවක් දැනුන විට දිව යට පෙත්තක් තබා විවේකීව හා සන්සුන්ව සිටින්න. විනාඩි 10 - 15 ක් තුලදී වේදනාව අඩු නොවේ නම් තව පෙත්තක් තබන්න. එයටද අඩු නොවුනහොත් වහාම ළඟම ඇති රෝහල කරා යන්න.

හෘද රෝගියෙකු හට පොදුවේ භාවිති කිරීමට සිදු වන ඖෂධ සමහරක් පහත දැක්වේ. ඒවායේ නම් හා මාත‍්‍රාවන් මතක තබා ගැනීමට උත්සාහ කරන්න.

උදා - ඇස්පිරින්
ක්ලොපිඩෝග්රල්
ඇටෝවාස්ටැටින් හෝ සිම්වාසටැටින්
ISMN හෝ ISDN
ඇටෙනලෝල් හෝ කාවෙඩිලෝල් හෝ ඩිල්ටියසිම්
කැප්ටොපි‍්‍රල් හෝ එනලොපි‍්‍රල් හෝ ලොසාර්ටන්

මින් මතුවට ඔබ හෘද රෝගියෙකු බව සැබෑය. තවද එනිසාම ඔබ හට සමහර ක‍්‍රියාකාරකම් සීමා කිරීමටද සිදුවේ. නමුත් එයින් ඔබ අධෛයට පත් විය යුතු නැත. ඒ මන්ද යත් ඔබගේ රෝගය මනා ලෙස පාලනය කිරීමට විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම නොඅඩුව පවතින නිසාය. අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීම සහ මනා දායකත්වය පමණි.

ඒ අනුව ඔබගේ පූර්ණ දායකත්වය ලැබෙන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හට ඔබගේ රෝගය මනා ලෙස පාලනය ඉතා පහසුවෙන් සිදු කල හැකි අතර එමගින් ඔබ හට පී‍්‍රතිමත් හා නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට මඟ පාදා ගත හැක.

මේ උපදේශන මාලාව ඔබට රෝගය හා ප‍්‍රතිකාර පිළිබඳව දල අවබෝධයක් ලබා දීම සඳහා වන අතර ඔබට අවශ්‍ය වැඩි විස්තර දැන ගැනීමට ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

23 comments:

  1. //ශරීරය මහත් ලෙස වෙහෙසට පත් කිරීමත් (උදාඃ නිවසේ දෛනික කටයුතු නිසා) ව්‍යායාමයත් අතර විශාල වෙනසක් ඇත. එනම් මහනසි වී ගේ දොර වැඩ කටයුතු කිරීම ව්‍යායාමයකට සමකල නොහැක.//
    මෙන්න මේ කෑල්ල ගැන කියන්න තියෙනෙ දේ ඔක්කොම කියන්න ගිමන්. මම කියන්නෙ හෘදරරෝගීන් ගැන නෙවෙයි. කවුරුත් කියන දෙයක්නෙ.

    1. මට ඔය අමුතුවෙන් ව්‍යායාම ඕනෙ නෑ මේ ගෙදර වැඩපල ටික ඉකරනකොට ලැබෙන ටික හොඳටම ඇති.

    2. කුඹුරු වැඩ වත්තෙ පිටියෙ වැඩ කරන අපේ සීයලට ඕවා මොකුත් ඕනෙ නෑ

    ...කියන මත දෙක ගැන.

    මම ඔය ගැන තර්ක කරලාත් පැරදිලා තියෙනවා. මම හිතෙන්නෙ ව්‍යායාමය කියන එක ව්‍යායාමයක් කියලා හිතාගෙන සතුටින් කැපවීමෙන් කරන්න ඕනෙමයි කියලා. ගිමන් මොකද කියන්නෙ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මහන්සි වෙල ගෙදර දොරේ වත්තෙ පිටියෙ වැඩ පල කරන එක හොඳයි. ඒත් එක ව්‍යායාමෙකට සම කරන්න බෑ. උසට නියමිත බර තියන කෙනෙක්ට සමබර ආහාරයක් එක්ක සෞඛ්‍යයමත්ව ඉන්න කෙනෙක්ට නම් මේ ආකාරයට කය වෙහෙසීම ම්‍රමාණවත් වෙන්න පුලුවන්.
      ඒත් සිරුරේ ඇති මේද දහනයට හා අනෙකුත් සිරුරේ රසායනික ක්‍රියාවලි උත්තේජනය කිරීමට නම් හොඳින් දහඩිය දාල කය වෙහෙසන ක්‍රියාවක් ප්‍රමාණවත් කාලයක් රිද්මයානුකූලව සිද්ධ වෙන්න ඕනෙ.
      ඒකයි නියම ව්‍යායාමයක් වෙන්නෙ.
      හැබැයි කුඹුරු කොටන කෙනෙක්ට වගේ නම් ස්වාභාවිකව මේ ව්‍යායාමෙ ලැබුනව. මෝල් ගහෙන් වන්ගෙඩියෙන් පිටි කොටන ගෘහනියකටත් ඒ ව්‍යායාමෙ ලබන්න පුලුවන්.
      හැබැයි යන්තම් නලලට දාඩිය දාන විදිහට දවසම එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියත් සිරුරට අවශ්‍යය ව්‍යායාමයක් ලැබෙන්නෙ නෑ.

      ඒ නිසා දවසට පැය භාගයක් හරි කමක් නෑ ඇඟ පුරා හොඳට දාඩිය වැටෙන පපුව පිරෙන්න හුස්ම ගැනෙන විදිහට හති වැටෙන ව්‍යායාමයක් හැමෝම කල යුතුයි නියම ප්‍රතිඵල ලබන්න නම්.

      Delete
  2. මේ පොත පීඩීඑෆ් ෆයිල් එකක් විදිහට භාගත කරන්න සකස් කළොත් හොඳයි නේද අයියා ?

    ReplyDelete
    Replies
    1. ඒක වටින වැඩක් තමයි. පොත සම්පාදනය කරපු වෛද්‍යයවරුන්ගේත් අවසරය ඇතිව ඉදිරි කාලයේදි තනි PDF ලිපියක් හැටියට දෙන්න උත්සහ කරන්නම්. ස්තූතියි!

      Delete
  3. මට fatty liver තියෙනවා කියලා පරීක්ෂවලින් හොයාගත්තට පස්සේ වෛද්‍යවරුන් මට උපදෙස් දුන්නේ දවසකට පැයක් ව්‍යායාම කරන්න කියලා. මුලදි මුලදි නම් ව්‍යායාම නිසියාකාරව කලත් දැන්නම් හුඟාක් මඟ හැරෙනවා. ඒත් මම හුඟක් ඇවිදින කෙනෙක්. දවසක් ගෙදර උන්නත් මම ඒ දවසේදී ඇඟ වෙහෙසලා හොඳට වැඩ කරනවා. ඒත් ඒක ව්‍යායාමක් නෙමේ නේද...

    ReplyDelete
    Replies
    1. ඔයාට තියෙනවයි කියන රෝගයට තියන වටිනාම ඖෂධයන් දෙක තමයි ව්‍යායාමය හා අහාර පාලනය. එයින් ලැබෙන සුවය ඖෂධ ගැනීමෙන් ලබන්න බෑ.
      මම ඉහත Dudeට ලබා දුන්න පිලිතුර නැවත කියවන්න.

      "නලලට දාඩිය දාන විදිහට දවසම එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියත් සිරුරට අවශ්‍යය ව්‍යායාමයක් ලැබෙන්නෙ නෑ.
      ඒ නිසා දවසට පැය භාගයක් හරි කමක් නෑ ඇඟ පුරා හොඳට දාඩිය වැටෙන පපුව පිරෙන්න හුස්ම ගැනෙන විදිහට හති වැටෙන ව්‍යායාමයක් හැමෝම කල යුතුයි නියම ප්‍රතිඵල ලබන්න නම්."

      Delete
  4. ඇත්තටම මෙහෙම ලිපි ලියන එක කාටත් වටිනවා.
    ඔබට ජය!

    ReplyDelete
  5. ඇත්තටම මෙහෙම ලිපි ලියන එක කාටත් වටිනවා.
    ඔබට ජය!

    ReplyDelete
  6. ස්තුතියි ගිම්..බෙහෙත් ජාති ගැන කියපු එක නම් ගොඩක් වැදගත්..සමහර වෙලාවට නම් පටලැවිලා ගොඩක් ලොකු හානියක් වෙන්න පුළුවන්..

    මේක PDF කරන්න පුළුවන් නම් අපිට බෙදාගන් ලේසි වේවි..

    ReplyDelete
    Replies
    1. මේ අදහස නම් ගොඩාක් හොඳයි.


      @ ගිමන් අයියා

      එදාත් කිව්වා වගේම මේක නම් ගොඩාක් වටින වැඩක්. ජයවේවා!

      Delete
    2. @රූ! ස්තූතියි රූ!
      ඇත්තෙන්ම ඖෂධ භාවිතයේදී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෑ.
      පොත සම්පාදනය කරපු වෛද්‍යයවරුන්ගේත් අවසරය ඇතිව ඉදිරි කාලයේදි තනි PDF ලිපියක් හැටියට දෙන්න උත්සහ කරන්නම්.

      @වකා නංගී! ස්තූතියි නංගා!

      Delete
  7. අනර්ග ලිපියක් ...!!!

    ReplyDelete
  8. කාලෙකින් ආවේ යාළු...හෙමින් කියවන්නම් ලිපි දෙකම....සමාවෙන්න පමා වුනාට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි!
      ඒක නේන්නම් සෑහෙන කාලෙකින්නෙ දැක්කෙ. ඒකට කමක් නෑ. ඉඳල හිටලා හරි එන එක වටිනවා!

      Delete
  9. ඔබේ සමාජ සත්කාරයට මාගේ ප්‍රණාමය.....

    ReplyDelete
  10. aiyee oyanam godak wadagath lipi danne..aththatama ekanam hoda wadak.....

    ReplyDelete
  11. වැදගත් විස්තරයක් යාළුවා..

    ReplyDelete
  12. බොහොම වටිනා ලිපියක්. මේ වගේ දැනුවත් කිරීම් අපි හැමෝටම වටිනවා. ස්තූතියි!

    ReplyDelete