Tuesday, June 16, 2015

බඩ දැවිල්ල භයානකද? - ගැස්ට්‍රයිටිස් (Gastritis)


සඳුදා උදෑසන බාහිර රෝගී අංශය යනු සතියේ කාර්යය බහුලම හෝරා කිහිපයයි.

පළමු රෝගියා කාමරයට ඇතුලු විය. 
මවත් සමඟ පැමිණ සිටි ඇය, වයස අවුරුදු 16ක් 18ක් පමණ විය හැකි යැයි අනුමාන කලෙමි.
එය නිවරැදිය. ඇය රැගෙන ආ බාහිර රෝගී අංශ තුණ්ඩුවෙහි වයස අවුරුදු 18ක් ලෙස සඳහන් වී තිබිණ.

මුහුණෙන් තරමක් තදබල අපහසුවකින් පෙළෙමින් සිටින බව දැකිය හැක.

"මොකක්ද අසනීපෙ?"

"අනේ ඩොක්ට, දැන් දවස් තුනක හතරක ඉදන්ම බඩදැවිල්ලයි කියනව, කෑමක් කටේ තියන්නෙ නෑ. මොනවා කෑවත් වමනෙ කරන්න හදනවා "
පිළිතුරු දුන්නේ මවයි.

"අද උදේ ඉදන් වමනෙ කරනවා, ඒ මදිවට කොන්දයි බඩයි දෙකම රිදෙනවා කියනවා, ඒකයි මේ උදේම බේත් ටිකක් ගන්න ආවෙ"
"අද හවස පන්ති යවන්නත් ඕනෙ, අනේ ඩොක්ට ඉන්ජෙක්ශන් එකක් දාල හරි ඉක්මනට හොඳ කරල දෙන්න."

මවගේ විස්තරයෙන්, රෝගී තත්වයද එය උග්‍ර වීමට හේතු සාධකයන් ද පැහැදිලි වේ.

"එතකොට මේ අමාරුකම් ඔක්කොටම දවස් තුනයිද? නැත්නම් කලිනුත් මෙහෙම වෙලා තියෙනවද?

"අපෝ ඔව් ඩොක්ට, මෙයාට ගැස්ට්‍රයිටිස් තියෙනවනෙ. දැන් අවුරුද්දක විතර ඉදන් ඔය බඩ දැවිල්ල කියන්නෙ. සැරෙන් සැරේට හැදෙනව. කීප පොලකින්ම බේත් ගත්තා. අර ඇතුලෙ ඇට තියෙන කරල් ගෙදර තියන් එහෙම වෙලාවට දෙනවා, ඒත් මේ පාර හරි ගියෙ නැහැනෙ."

"කොහෙද වැඩි පුරම රිදෙන්නෙ?"

"මේ හරියෙ ඩොක්ට" රෝගියා පළමු වරට පිළිතුරු දුන්නාය.
ඇය පෙන්වූයේ උදරයේ ඉහල කොටසය.

"පහුගිය ටිකේ ගොඩක් දැවිල්ල තිබ්බා, වෙලාවකට අනිනවා වගේ රිදෙනවා, අද නම් ගොඩක් අමාරුයි. ඒ හරිය පෙරලෙනවා වගේ. වමනෙ යන්න එනවා, ඒ කැක්කුමට 

හුස්ම ගන්නත් අමාරුයි."
"බඩ රිදෙන හරියෙන්ම වගේ පිටත් රිදෙනවා"

අමාශෛක ප්‍රදාහය යන රෝගී තත්වයේ තරම උග්‍ර තත්වයකට පත්ව ඇති බවක් හැඟවෙන බැවින්, වහාම ඖෂධ දෙවර්ගයක් රුධිර ගත කලෙමි.

මද වේලාවකින් ඇය යම්තාක් දුරට සුවපත් වනු දැකිය හැකි විය.

"දැන් නම් ටිකක් අඩුයි වගේ"

"හොඳයි, එහෙනම් අහගන්න ගොඩක් අය එච්චර ගනන් ගන්නෙ නැති උනාට, මේක එහෙම පොඩි ලෙඩක් නෙවෙයි. අමාශයේ හරි බඩවැල් වල හරි තුවාල ඇති වෙන එක තමයි මේකට හේතුව. හැබැයි අපේ හමේ තුවාල වගේ නෙවෙයි, ඒ තුවාල සුව කරන්න අමාරුයි. මොකද ඒ තුවාල ගොඩක් වෙලාවට තියෙන්නෙ ඇසිඩ් ගොඩක. ඒ ඇසිඩ් අඩු කරන්න පුලුවන් ක්‍රමේ තමයි සෞඛ්‍යයමත් විදිහට කෑම ගන්න එක."

"කියන්න බලන්න දවසේ කෑම වේලවල් ගන්න වෙලාවල් ඒ වගේ මොනවද කන කෑම කියල"

"උදේට නම් කන්න වෙලාවක් නෑ, කන්න පිරියත් නෑ, උදේ 6ට ස්කූල් වෑන් එක එනවා, හැබැයි නැගිට්ට ගමන් උදේ 5ට විතර කිරි එකක් බොනවා"
ඊට පස්සෙ ඉන්ටර්වල් එකට තමයි කන්නෙ, 11ට ගොඩක් දවසට සැන්විච්, නූඩ්ල්ස්, සමහර දාට බත්. ආපහු ගෙදර එද්දි හවස 3.30 විතර වෙනවා. හවස 4ට විතර බත් කනවා. පන්ති යන දවසට පේස්ට්‍රි ෂොප් එකකින් රෝල්ස් එකක් හරි සොසේජ් බන් එකක් හරි කාල කෝක් එකක් බොනවා. රෑට කනකොට නම් 8 විතර වෙනවා."

"පහුගිය ටිකේ කන්න බෑ කිව්ව හින්ද කොත්තු, පරාටෙ වගේ දේවලුත් ගෙනත් දුන්නා, බඩ හිස්ව තියන්න හොඳ නෑනෙ නේද ඩොක්ට?"
ඒ මවගේ ප්‍රතිචාරයයි.

"හ්ම්ම්.. කෑම වේලවල් අතරට මුකුත් කන්නෙ නැද්ද?

"අපෝ මෙයා ඒවට නම් කැමතියි, මිරිස් ලුණු දාපු කඩල, රටකජු, බයිට්ස් කොච්චර කෑවත් මදි කියන්නෙ නෑ."

"එළවළු පලතුරු කොළ වර්ග එහෙම නිතර කැවෙන්නෙ නැතුව ඇති නේද?

"මෙයා කැමති නෑ ඩොක්ට, පොඩි කාලෙ ඉදන්ම මෙයා එළවළු, කොළ ජාති කන්න කැමති නෑ."
ඒ මවගෙන් බලාපොරොත්තු වූ පිළිතුරමය.

"මේ දවස් වල විභාගයක් එහෙම තියෙනවද?

"අනේ ඔව් ඩොක්ට, ලබන සතියෙ ටර්ම් ටෙස්ට් එක අනික ඒ ලෙවල් වලටත් තව මාස දෙකයිනේ. මම කොච්චරවත් මේ ලමයට කියනවා විභාගෙ කට උඩ තියාගෙන ලෙඩ හදාගන්න එහෙම එපා කියල. මෙච්චර මහන්සි වෙලා විභාගෙ හරියට කර ගත්තෙ නැත්නම් ඉදල වැඩක් නෑනෙ නේද ඩොක්ට!"

මවගේ එම ප්‍රකාශයෙන් ළමයාට ඖෂධ හා මවට උපදේශනයක් ලබා දීම අත්‍යවශ්‍ය බවට මා හට ප්‍රත්‍යක්ෂ විය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

 අමාශයික ප්‍රදාහය නැත්නම් "ගැස්ට්‍රයිටිස්" කියලා හදුන්වන්නේ අමාශයේ ඇතුලත සෛල ආවරණයේ සිදුවන ආසාදන තත්වයට. එය මුලින් සෛල ආසාදනය කරන අතර කාලයත් සමග සෛල විනාශ කර අමාශයේ කුඩා තුවාල ඇති කරයි, තවත් කාලයක් පවතින විට මෙම කුඩා තුවාල ගැඹුරු තුවාල (Peptic Ulcer) බවට පත් වේ.
හිතන්න ආමාශය මල්ලක් කියා, එහි ඇතුලත සිට හෑරිමක් සිදු කරන්වා. සෙමෙන් සෙමෙන් මේ හෑරිම ගැඹුරු වන විට කුමක්ද සිදු වෙන්නෙ? ඔව් සිදුරක් ඇති වීම. මෙය තමයි ගැස්ට්‍රයිටිස් වල උච්චතම අවස්තාව.
source - http://en.wikipedia.org/wiki/Image:Deep_gastric_ulcer.png

අමාශ ප්‍රදාහයේ රෝග ලක්ෂණයන් දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවා, 

  • උදරයේ ඉහල කොටසේ වේදනාව, නැත්නම් දැවිල්ල.
  • ඔක්කාරය හෝ වමනය.
  • බඩ පුරවා දැමීම.
  • කෑම අප්‍රියතාව.
  • නිතර උගුරට ඒම.
  • පපුව පෙදෙසේ දැවිල්ල (බඩ පපුව දැවිල්ල)
  • මස්පිඬු වේදනාව.


රෝග ලක්ෂණ මෙසේ වුවත් සමහර අයට මෙම ලක්ෂණ නොමැති වුනත් රෝගය පවතින අවස්ථා තියෙනවා.

ගොඩක් වැදගත් වෙන්නේ රෝගයට හේතු වෙන දේවල් දැනගන්න එක.

01. බැක්ටීරියා ආසාදනයන්
මේ යටතේ ප්‍රධාන වශයෙන් හේතු වන බැක්ටීරියාව වෙන්නෙ හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter Pylori) කියන බැක්ටීරියාව.

02. ඖෂධ වර්ග
ගොඩක් වෙලාවට වේදනා නාශක ඖෂධ වර්ග (NSAIDs) මගින් මෙම රෝගි තත්වය ඇති වෙනවා.

03. මත්පැන්
04. දුම්බීම
05. මානසික ආතතිය (Stress).

මෙවැනි හේතුන් නිසා ඇති වන අමාශයේ ඇතුලත ආවරණය ප්‍රදාහයට ලක් විය හැක. මේ විදිහට ආරම්භ වන ගැස්ට්‍රයිටිස් කෙතරම් කාලයක් පවතිනවාද යන්න තීරණය වෙන්නෙ අපේ හාර පුරුදු හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනුව. 

නිවැරැදි ආහාර පුරුදු

වෙළද ප්‍රචාරණය වගේම කාර්ය බහුලත්වය නිසා අපේ වෙනස් වුන ආහාර රටාව තමයි මෙම ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන වගඋත්තරකරු වෙන්නෙ. පාන් පිටි ආශිත නිෂ්පාදනයන්, තෙල් හා මිරිස් අධික ආහාර, රෝල්ස් වැනි කෙටි ආහාර නිතර නිතර ගැනීම, කාබනීකෘත බීම වර්ග (වැඩි වශයෙන්ම කෝක් වර්ග) ගැස්ට්‍රයිටිස් රෝගය උත්සන්න වීමට හේතු වෙනවා.

 අනිත් කාරණය වන්නේ ප්‍රධාන ආහාර වේල් මග හැරීම හෝ නියමිත වේලාවට නොගැනීම. මේ තත්වය ගොඩක්ම දකින්න ලැබෙන්නෙ පාසැල් දරුවන් අතර. අමාශය ආහාර නොමැතිව හිස් වන විට ආමාශය තුල ඇති හ්යිඩ්‍රක්ලෝරික් (HCL) ආමාශය ආස්තරණය කරන සෛල තට්ටුවේ ගැටීම වැඩි වෙනවා. මෙලෙස නිතර නිතර අධික ආම්ලික තාවය නිරාවරණය විමෙන් එම සෛල වලට හානි වී තුවාල ඇති වීම වගේම එම තුවාල ගැඹුරු තුවාල බවට පත්වීම සිදු වෙනවා.

ඉතින් මේ ආම්ලික බව අඩු කිරීමට කල හැකි හොඳම ක්‍රමය තම නියමිත වෙලාවට ප්‍රධාන ආහාර වේලවල් ගැනීම. පාන් පිටි ආශිත ආහාර කෙටි ආහාර ආමාශයේ රැදෙන්නෙ සුළු වේලාවක් පමණයි. එවිට ඉක්මණින් ආමාශය යලි ආම්ලික තත්වයට පත් වෙනවා. කෝක් වර්ග වැනි කාබනීකෘත බීම වර්ග වලින්ද සිදුවන්නේ ආමාශයේ ආම්ලික බව වැඩි කිරීමයි. ඒ වගේ තෙල්, මිරිස් අධික කෑම අඩු කරන්න. හැකි තරම් එළවලු, පලා වර්ග කෑමට එකතු කරගන්න. තන්තුමය බව වැඩි ආහාර නිසා ආමාශයේ ආම්ලික බවෙන් ආමාශයේ සෛල ආරක්ෂා වෙනවා.

උදෑසන ආහාරය ඉතාම වැදගත්, පැය 12ක් පමණ නිරාහාරව සිටින බැවින් උදෑසන ආහාරය ආමාශයට අත්‍යවශ්‍යය වෙනවා. ගොඩක් අය කියන දෙයක් තමයි උදේට කෑම කන්න බෑ, වෙලාවක් නෑ කියන එක. එහෙම වෙන්න හේතු කීපයක් බලපානවා. එකක් උදේ නැගිට්ට ගමන් ලොකු කිරි වීදුරුවක් බොන්න පුරුදු වෙලා තියෙන එක. කිරි කියන්නෙ ජීර්ණය වෙන්න වෙලා යන දෙයක්. ඒ නිසා නැවත බඩගිනි ඇති වෙන්න වෙලා යනවා. ඉතින් උදේ 5ට අවදි වෙන දරුවෙක් කිරි වීදුරුවක් බිව්වොත් පැයකින් ඒ කියන්නෙ 6ට ආයෙත් කෑම කන්න ප්‍රිය තාවයක් නොදැක්වීම මුරණ්ඩු කමක් නෙවෙයි.

මේකට විසදුම තමයි නැගිට්ට ගමන් හොඳ වතුර වීදුරුවක් බොන එක. ගොඩක් අය අහල ඇති උදේම වතුර වීදුරුවක් බොන එකෙන් කොයි තරම් සිරුරට හිතකරද කියන එක. 
බලන්න එක දවසක් මේ උපදෙස්  පිලිපැදලා, ඉක්මණින් බඩගිනි වෙනවා, හොඳට කන්න පුලුවන්.

අනිත් එක වෙලාව නැති කම. මේකට ප්‍රධාන හේතුව ප්‍රමාද වෙලා නින්දට යන එක. ටිකක් හිතල ඉක්මණින් දවසේ වැඩ ඉවර කරල වෙනදට වඩා පැයක් කලින් නින්දට යන්න, වෙනදට වඩා පැය කාලක් කලින් අවදි වෙන්න. වෙලාව ගැන ප්‍රශ්නය විසදෙනවා වගේම දවසම උද්යෝගිමත් වේවි.

පාසැල් යන දරුවන්ට උදේ කෑම කාල යන්න පුරුදු කරන්න ඒ වගේම හොඳ පෝෂ්‍යදායී කෑම වේලක් දීල යවන්න. හවස අමතර පන්ති වලට නතර වෙනවා නම් කෑම දෙකක් හදල දෙන්න. නැත්නම් දවල් කෑම වේල ගෙනිහින් දෙන්න. මොකද හොඳ අධ්‍යයනයක් ලබන්න අනිවාර්යයෙන් දරුවා නිරෝගීමත්ව ඉන්න ඕනෑ.

කිරි වගේම කිරි ආශිත නිෂ්පාදනයන් මගින් ගැටලුවක් වෙන්නේ නැහැ.
හැබැයි තේ (ප්ලේන් ටී) හෝ කෝපි නම් මෙම රෝගීන්ට සුදුසු නැහැ.

හැකි තරම් වතුර බොන්න 

මොකද ඒ බීමට ගන්නා හැම වතුර වීදුරුවකින්ම ආමාශයේ ආම්ලික බව අඩු වෙනවා.

මානසික ආතතිය අඩු කර ගන්න.

ගොඩක් දෙනෙක් අත්දැකීමෙන් දන්නවා ඇති මානසික ආතතියත් බඩේ දැවිල්ල ඇති වීමත් කොයි තරම් එකිනෙකට සම්බන්ධද කියලා. ඉතින් ඔබේ දරුවෙකුට, සහකරුවාට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් හැකිතාක් දුරට ඔහුව හෝ ඇයව සැහැල්ලුවෙන් තියන්න උත්සාහ ගන්න.

වෛද්‍ය උපදෙස් නිවරැදිව පිළිපදින්න

බඩ දැවිල්ල හෝ ඉහත සඳහන් රෝග ලක්ෂණයන් නිසා තමාට ඇත්තේ ගැස්ට්‍රයිටිස් කියමින් කල් අරින එක නම් ගොඩක් නරක පුරුද්දක්. මොකද ගැස්ට්‍රයිටිස් රොග ලක්ෂණයන්ට සමාන රෝග ලක්ෂණයන් සහිත තවත් රෝග ගණනාවක්ම පවතින නිසා.

උදා :-
  • අග්න්‍යාසයේ ඇතිවන සංකූලතා
  • පිත්තාශයේ ඇතිවන සංකූලතා
  • හෘදයාබාධ
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශිත පිළිකාමය තත්ව.


මේ නිසා වෛද්‍ය සහය ලබාගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වෙනවා.

වෛද්‍යවරයා රෝග ඉතිහාසය හා රෝග ලක්ෂණ මෙන්ම අත්‍යවශ්‍ය පරීක්ෂා වලින් නිවැරිදි රෝග නිර්ණයකට පැමිණේවි. අවශ්‍ය වුවහොත් වෛද්‍යවරයා යම් යම් විශේෂ පරීක්ෂා උදව් කර ගනීවි.

උදා :-
1. එන්ඩස්කොපි පරීක්ෂාව 

මෙහිදී මුඛයෙන් ඇතුළු කරන කැමරාවක් සහිත  බටයක් මගින් ආමාශය පරීක්ෂා කරනු ලැබේ. අවශ්‍ය විටදී එමගින් ලබාගන්නා ආමාශයේ ඉතා කුඩා කොටස් පරීක්ෂා කිරීමට ලක් කරයි. 
 මෙය තුවාලයට හේතුව සොයා ගැනීමට උදව් වෙනවා.

2. අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය - අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්  (USS)

3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ

4. ඊසීජී (Electrocardiogram-ECG)

5. මලපහ තුල රෝග කාරක බැක්ටීරියා හා සුලුවෙන් හෝ රැධිරය අඩංගුදැයි බැලීම.

වෛද්‍යවරයා රෝග නිර්ණයෙන් පසු අවශ්‍ය ඖෂධ නියමිත මාත්‍රාව හා කාල සීමාව සහිතව තීරණය කරනු ලැබේ.

ඖෂධ

මෙහිදී බාවිතාවන ඖෂධ බොහොමයකම අරමුණ වන්නේ ආමාශයේ ආම්ලික බව අඩු කිරීමයි.

1. භාෂ්මික ඖෂධයන් ( Antacids )
උදා - ඇලුඩ්‍රොක්ස්, ගැවිස්කෝන් 

2. H2 antagonist
උදා - සිමැටිඩින්(cimetidine), ෆැමොටිඩින්(Famotidine) වැනි ඖෂධ.

3. Proton-Pump Inhibitors 
උදා - ඔමෙප්‍රසෝල්(omeprazole), පැන්ටප්‍රසෝල්(pantoprazole),  ඉසොමොප්‍රසෝල්(esomeprazole) 

4. ප්‍රතිජීවක ඖෂධයන් (Antibiotics)
ඉහත සඳහන් කල හෙලිකොබැක්ට බැක්ටීරියාව සිටින බව තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කිරිම සඳහා ප්‍රතිජීවක අත්‍යවශ්‍ය වෙනවා.

මෙලෙස ලබාදෙන ඖෂධ හා උපදෙස් පිලිපැදීමෙන් පසු රෝගය සුව වුවද නැවත ඇති වීම වලක්වා ගැනීමටද වෛද්‍යවරයාගේ උදව් සහිතව කලයුතු වෙනවා.

රෝගයේ අතුරු විපාක

අමාශයේ හෝ අන්ත්‍ර වල ඇති වන කුඩා තුවාල ගැඹුරු තුවාල බවට පත් වූ විට එම අවධිය පෙප්ට්ක් වණ (Peptic Ulcers) ලෙස හදුවනවා.
එවිට ඉහත රෝග ලක්ෂණ සමග තදබල ලෙස වමනය, උදරය ස්පර්ශ කරන විට පවා වේදනාව ඇති වීම, ලේ මිශ්‍රිත වමනය, කලුපැහැ (රුධිරය සහිත) මලපහ පිටවීම වැනි ලක්ෂණ දැකිය හැකි වෙනවා.
රෝගයේ උත්සන්න අවස්ථාවක් බැවින් රෝහල් ගත වීම අත්‍යවශ්‍ය වෙනවා.
මෙම පෙප්ටික් තුවාල හරහා අමාශයේ සිදුරු ඇතිවී අමාශය උදර කුහරයට විවෘත වීම පවා සිදු විය හැකියි (peptic ulcer perforation).

තුවාල ලින් නිරන්තරයෙන් සිදුවන ලේ ගැලීම් නිසා නිරක්ති තත්වයක් (Anemia)  ඇති විය හැකියි.

දිගු කාලිනව පවතින ගැඹුරු තුවාල පිළිකාමය තත්වයන්ට පත් වීමේ අවදානමක්ද තිබෙනවා.

ඉතිං, සරලව කිව්වොත් හොඳ ආහාර පුරුදු තියා ගන්න. දින කීපයක් පවතින බඩේ දැවිල්ල නොසලකා හරින්න එපා. වෛද්‍ය උපදෙස් නිවරැදිව පිළිපදින්න.
ඔයාල හැමෝටම සෞඛ්‍යයමත් දිවියක්!