Saturday, March 30, 2013

ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress )



මා කලින් ඉදිරිපත් කල දැවෙන ජීවිත හා නිවුණ ජීවිත කියන ලිපි දෙක කියවන්න ඇතැයි හිතනවා. එහි ප්‍රධාන චරිතය වූ ජයතිස්ස ඇසුරෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කලේ මානසික පීඩනය (Stress) ජීවිතයට කෙතරම් තදින් බලපානවාද යන්නයි.

අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.

මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.
කොහොමද මනසට පීඩනයක් ඇති වෙන්නෙ? මොනවද හේතු? මෙයට බොහෝ වෙලාවට හේතු වන්නේ අප අවටම ඇති අයගේ / පරිසරයේ ඇති වන වෙනස්කම්. ඒවා වන්නේ,

  • රැකියාව.
  • අපගේ ලඟින් සිටින අය සමඟ ඇති සබඳතා වල වෙනස්කම්.
  • නිවසේ හා එහි ක්‍රියාකාරකම් වල වෙනස්කම්,
  • අභියෝග (විභාග, තරඟ, සම්මුඛ පරීක්ෂණ )
  • නව අත්දැකීම්.
  • රෝගා බාධ, හදිසි අනතුරු.


මෙලෙස ඇති වන මානසික පීඩනයේ තීවෘතාව අඩු වැඩි වීමට බලපාන්නේ  සිරුරට හා මනසට එම පීඩනයට ඔරොත්තු දීමට ඇති හැකියාවයි. එම ඔරොත්තු දීමේ හැකියාව වෙනස් වන්නේ පහත සාධක මගිනි.

  • ශරීර ශක්තිය (Fitness)
  • නින්ද
  • ශාරීරික හා මානසික සෞඛ්‍යය තත්වය.
  • පෝශණ මට්ටම
  • ප්‍රබෝධමත් හැඟීම් වලින් යුක්ත වීම. (Emotional well-being)


ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මානසික පීඩනය කියනනේ හිතේ හැදෙන, හිතට නැත්නම් ඔලුවට විතරක් බරක් වෙන දෙයක් කියල. නැහැ, ඔයා නොදැන මානසික පීඩනය නිසා සිරුරටද විශාල වෙන හානියක් වෙනවා.

මේ ගැන දැනුවත් වීමටත් එක්ක හැකි තරම් සරලව මානසික පීඩනය සිරුර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම්.

ඉහත සඳහන් කල මානසික පීඩනයට හේතුවන කිසියම් හේතු සාධකයක් නිසා අප තුල බියක්, පීඩනයක්, අප්‍රසාදයක් හෝ තිගැස්මක් ඇති වනවා එය මුලින්ම හඳුනා ගන්නේ අපේ මොළය අභ්‍යන්තරයේ ඇති "හයිපොතැලමස" යන ස්ථානයෙන්. ඉන් මානසික පීඩනය හදුනා ගැනීමේන් පසු එයින් CRH (Corticotropin Releasing Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. එය පිටියුටරි ග්‍රන්ථිය මගින් හදුනා ගෙන එයට පිලිතුරු ලෙස ACTH (Adrenocorticotropic Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. මෙම හෝමෝනය රුධිරය ඔස්සේ අපේ වකුගඩු වල ඉහල පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථි වලට පණිවිඩය ගෙන යනවා. එවිට එම ග්‍රන්ථියෙන් කෝ(ර් )ටිසෝල් (Cortisol) නම් හෝමෝනය නිපදවනවා.

මොකක්ද මේ කෝටිසෝල් (Cortisol)!

කෝටිසෝල් මානසික පීඩනයට සිරුර සූදානම් කිරීමට සිරුර තුල මහත් පෙරළියක් සිදු කරනවා. මේ නිසාම මෙය සිරුරේ ස්ට්‍රෙස් හෝමෝනය (Stress Hormone) ලෙසද හඳුන්වනවා. 
මා පහතින් ඉදිරිපත් කරන සිරුරේ සිදුවන වෙනස්කම් බොහොමයකට මෙම හෝමෝනය කෙලින්ම හෝ වක්‍රාකාරව වගකිව යුත්තා වනවා.

හැබැයි මේ හෝමෝනය කෙටි කාලීනව යම් අභියෝගයකට මුහුන දීමට නම්  ඉතා ප්‍රයෝජනවත්. (උදාහරනයක් ලෙස - මීටර් සියය දුවන්නට සූදානම් වන ක්‍රීඩකයෙකුට ) මක් නිසාද ක්ශණිකව සිරුර තුල වැඩි ශක්තියක් නිපදවීම හා සිරුර අවධානමකට මුහුණ දීමට හැඩ ගැස්සවීම මෙමගින් මනාව සිදු කරනවා.

නමුත් දිගුකාලීනව මෙම හෝමෝනය නිපදවීම නම් සිරුරට කිසිසේත්ම හිතකර නැහැ.


දිගු කල් පවතින මානසික පීඩනය සමඟ සිරුරේ සිදුවන වෙනස් කම්. 

1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.

ඔබ හැමෝම දන්නා පරිදි අපේ සිරුරේ ස්වාභාවික ආරක්ෂාව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ, ඉහත සඳහන් හෝමෝනය මගින් මෙය දුර්වල කරනු ලබනවා. (ප්‍රතිශක්තිකරනයට උදව් වන රුධිර සෛල නිපදවීම වැලැක්වීමයි මෙහිදී සිදු වන්නේ )

මෙහිදී අපට ලෙඩ රෝග වැළඳීමට ඇති හැකියාව ඉහල යන අතර. කිසියම් රෝගයක් වැළඳින හොත් එය සුව වීමට කල් ගත වීමද සිදු වෙනවා.
(විභාග කාල වලට මුහුණේ කුරුලෑ ඇති වීම වැඩි වීම මෙම තත්වයට තවත් එක් උදාහරණයක් )

2. කෑම අරුචිය

හිතේ කරදරයක් තියෙද්දි ගොඩක් අය කියන දෙයක්නේ මේ කන්න හිතෙන්නෙ නෑ කියන එක. ඒකටත් යම් දුරකට වගකියන්න ඕනෙ කෝටිසෝල් හෝමෝනයම තමයි.

3. අමාශයික ප්‍රදාහය

ඉහත සඳහන් කල හෝමෝනය නිසාද, කෑම අරුචිය නිසා සිදු වන නිසියාකාරව ආහාර නොගැනීමද, ආහාර නොගැනීමද, අමාශයික යුෂ නිපදවීම වැඩි වීමද නිසා අමාශයේ හා කුඩා බඩවැල් වල ආරම්භක පෙදෙස් වල තුවාල ඇති වීම සිදුවේ. මෙවිට බඩ දැවිල්ල යන රෝග ලක්ෂණය පහල වේ.

4. තුවාල සුව වීම කල් යෑම.

5. සිරුර තුල මේද තැන්පත් වීම වැඩි වේ.

මෙය වක්‍රාකාරව රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වීමට හේතු වේ (හෘද්‍යාබාධ, ආඝාතය ).

6. වර්ධනය අඩු වීම.

මෙය වඩාත් බලපාන්නේ කුඩා දරුවන්ටයි. කෝටිසෝල් හොමෝනය මගින් වර්ධක හෝමෝනය (Growth Hormone) නිපදවීම අඩපණ කිරීමයි මෙයට හෙතුව.

7. සිරුර වයස් ගත වීමේ ක්‍රියාවලිය ඉක්මණ් වීම


දැන් අපි බලමු මේ මානසික පීඩනය අප තුල තිබෙන විට පෙන්නුම් කෙරෙන ලක්ෂණ මොනවද කියල.

1.  මානසික වෙනස්කම්

  • මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම
  • අවධානය එක තැනක රඳවා ගැනීම අපහසු වීම.
  • නිතර බිය සහගත සිතුවිලි ඇති වීම.
  • නිවරැදිව තීරණ නිගමන වලට එළඹීමට නොහැකි වීම.
  • සෘණාත්මක සිතිවිලිම ඇති වීම.
  • නිතර වැලපීම.
  • ඉක්මනින් කෝපයට පත් වීම.
  • තමා තනි වී ඇතැයි යන හැඟීම.
  • අසහනකාරී බව හා සැහැල්ලු වීමට අපහසු යැයි හැඟීම.
  • උදාසීනත්වය හා විෂාදය (Depression)


2. කායික ලක්ෂණ

  • කයේ නිතර කැක්කුම් හා වේදනා ඇති වීම.
  • පපුවේ කැක්කුම හෝඅ හෘද ස්පන්දය වැඩි වී දැනීම.
  • අජීර්ණය (කෑම ගත් පසු උදරයේ වේදනාව හෝ අපහසුව ).
  • වමනයට ඒම.
  • කැරකැවිල්ල.
  • හිසරදය.
  • කයේ දුර්වල බව.
  • වැසිකිලියාම අක්‍රමවත් වීම.
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
  • ලිංගික ආශාව අඩු වීම.
  • රුධිරයේ සීනි ප්‍රමාණයේ අඩු වැඩි වීම් සිදු වීම.


3. හැසිරීමේ හා එදිනෙදා ජීවිතයේ පුරුදු වල සිදු වන වෙනස් වීම්.

  • ආහාර ගැනීම අඩු වීම හෝ අධික ලෙස ආහාර ගැනීමට හුරු වීම.
  • නින්ද යාම අඩු වීම හෝ අසාමාන්‍ය ලෙස දවස පුරාම නිදා ගැනීමට ගැනීම.
  • අන් අයගෙන් ඈත් වී තනිව ජීවත් වීමට උත්සාහ ගැනීම.
  • වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම.
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. (මත්පැන් භාවිතය මානසික පීඩනය අඩු කරන්නක් නොව ඉතා සුලු වෙලාවකට මනස වියවුල් කර ගැනීමක් පමණි. ඉන් සිදු වන්නේ මානසික පීඩනයට මුහුණ දීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී යාම සමඟ අමතර ගැටළු ගණනාවක් එක් කර ගැනීම පමණකි )


දැන් ඔබට මානසික පීඩනය යනුවෙන් හැදින් වෙන්නේ කුමක්ද යන්න ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි හිතනවා.

මානසික පීඩනය පාලනය කර ගන්නේ කෙසේද?

යමක් වීමට පෙර වලක්වා ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. ඉතින් මානසික පීඩනය වුනත් ඇති වීමට ඉඩක් නොතබා ජීවිතය සමබරව ගෙන යාම තමයි අපට කල හැකි හොඳම ප්‍රථිකර්මය.

මොනවද ඒ සඳහා කරන්න ඕනෑ?

1. නිවරැදි තීරණ ගැනීම (Decision Making)

අප ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී එය සුදුසුද? තමාට සම්පූර්ණ කල හැකි පරාසයක තිබේද? ඉදිරියේදී එය දරා ගැනීමට හැකියාවක් තියද යන දෙවල් හොඳින් හිතා බලා සිටිය යුතුයි.

2. සැලසුම් කිරීම (Planing).

මොනදේ කලත් හරියාකාරව සැලසුම් කර කරනවා නම් කවදාවත් මානසික පීඩනයට ලක් වන්නේ නැහැ. මීට සම්බන්ධ ලිපියක් ලෙස 

දිනපොතට වටිනාකමක් දෙන්න පුලුවන් කැමති අය එයින් ප්‍රයෝජනයක් ලබා ගන්න.


3. කාල කලමනාකරණය (Time Management)

ඉහත සඳහන් කල කරුණටම ගොඩක් සමාන දෙයක්. නමුත් ඉහත සඳහන් වුනේ දිගු කාලීන සැලසුම් කිරීම පිලිබඳ. මෙහිදී අදහස් කෙරෙන්නෙ එක් දිනක් තුල කරන වැඩ කටයුතු කිරීම සැලසුම් කිරීම.

ඉහත සඳහන් කරුණු තුන නිවරැදිව සිදු වේ නම්. මානසික පීඩනය ඇති වීම බොහෝ දුරට වලක්වා ගැනීමට හැකිවේ.

ජීවිතේ කිසියම් හෝ දෙයක් නිසා ඉහත සඳහන් අකාරයට අපේ හිත පීඩනයට (අපහසුවට ) ලක් වෙනවා කියල දැණුන ගමන් අපි තෙරුම් ගන්න ඕනෑ, ඒ පීඩනය පාලනය කර නොගත්තොත් ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙන්න පුලුවන් කියන එක.

හරි තෙරුම් ගත්තා! ඊට පස්සෙ මොකද කරන්නෙ?

ඇති වුන පීඩනය අඩු කර ගන්නත් හිත සන්සුන් කර ගන්නත් විවිද ක්‍රම තියෙනවා.

  • පලමුව අදාල ගැටලුව ගැන හිතන එක මදකට නවත්වන්න.
  • තමන්ට ගොඩක් හිතවත් (තව දුරටත් ඔලුව අවුල් කරන්නෙ නැති ) කතාවට ප්‍රිය කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න. (අදාල ගැටලුව ගැන නොවුනාට කමක් නැහැ )
  • තමන් කැමති විනෝදාංශයකට මදක් යොමු වෙන්න (ගීතයකට සවන් දිම, චිත්‍රපටයක් නැරඹීම )
  • මදක් එලිපහලියේ ඇවිදින්න (ගස්කොලන් ඇති සුවදායක පරිසරයක් නම් වඩාත් සුදුසුයි )
  • සැහැල්ලු ව්‍යායාමයක යෙදීම (වේගවත් ඇවිදීම, ක්‍රීඩාවක යෙදීම ) මෙය සිරුරත් හිතත් දෙකම සැහැල්ලු කරන බැවින් ඉතා හොඳ පියවරක්.
  • තමාට කිසියම් කලාත්මක හැකියාවක් ඇත්ත්නම් එහි යෙදීම (චිත්‍රයක් ඇඳීම, සංගීත භාණ්ඩයක් වාදනය, කවියක් ලිවීම )
  • සිත සැහැල්ලු කර ගැනීමේ විශේෂ ක්‍රියාකාරකම් වල නියැලීම (භාවනා ක්‍රම, යෝග ව්‍යායාම ) මේවා වල නියැලීමට පෙර නිසි උපදෙස් ලබා ගැනීම වඩාත් ඵලදායි වෙනවා.


ඉහත සඳහන් ක්‍රම වලින් පිළියමක් නොලැබේ නම් උපදේශකවරයෙක් (counsellor) හමුවීම වඩාත් ඵලදායීය. 
ලංකාව තුල පවතින දුර්වලතාවයක් තමයි උපදේකවරයෙක් හමු වීමට යාමට ඇති අකමැත්ත, සමහරු හිතන්නේ එවැනි කෙනෙක් හමු වන්නට යන්නේ මානසික රෝග ඇති අය කියායි. එය සම්පූර්ණ මුලාවක්. දියුණු රටවල බොහෝ දෙනා වසරකට වරක් වත් උපදේශකවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්නවා.
මෙහිදී ඔවුන් මනාව අපගේ හිතේ ඇති පීඩනකාරී තත්ව හඳුනා ගෙන ඊට වඩාත් ගැලපෙන ප්‍රතිකර්ම හා ව්‍යායාම හඳුන්වා දෙනවා. අපගේ මනස වඩාත් කාර්‍යක්ෂම කිරීමට ඔවුන්ට පුලුවන්.

මානසික පීඩනය ඉතා ප්‍රබලව පවතින අයට විවිධ මානසික සංකූලතා ඇති වීමේ ප්‍රවනතා වැඩියි. විශාදය (Depression), භින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික රෝග ඇති වීමටද ඉඩ තිබෙනවා. එම නිසා තදබල ලෙස මානසික පීඩනය ඇති අය නිසි වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත්. ඔවුනට මනස සැහැල්ලු කර ගැනීමට උපදෙශාත්මක ප්‍රථිකාර ලබා දෙන අතර අවශයම නම් ඖෂධ ලබා දීමද සිදු වනවා.


දිගුකල් පවතින මානසික පීඩනය කියන්නේ අපෙ එදිනෙදා ජීවිතයේ වැරදි පුරුදු නිසාත් ජීවිතයේ සැබෑ සතුට හරියාකාරව තේරුම් නොගැනීම නිසාත් ඇති වන්නක්.

මේ සම්බන්දව ලිපි කීපයක් මගින් මීට පෙර අපි කතා කලා ඔබට මතක ඇති.

ජීවිතය විඳින්න....!


නිවරැදි විවේකයක්...!


නිවුණු ජීවිත


ඒවායෙ අන්තර්ගතය සාරාංශ කල හොත් මෙසේය, 

  • මුදල් ඉපයීමෙන් පමණක් ජීවිතයේ සතුට නොලැබෙන බව වටහා ගැනීම.
  • පවුලේ අය සමඟ කාලය ගත කිරීම ලැබෙන සතුට හා පවුලේ ඇති වන සමඟිය තෙරුම් ගැනීම.
  • ඒකාකාරී ජීවන රටාවෙන් මිදීම.
  • නිවරැදි අහාර රටාවක්, නිවරැදි ප්‍රමාණවත් නින්දක් සමඟ සිරුරට ප්‍රමාණවත් ව්‍යායාම ලබාදීම.
  • නමට පමණක් සීමා නොවී සැබෑවටම සිය ආගමික කටයුතු වල නියැලීම.
  • හැකි පමණ සැහැල්ලු සිතෙන් සිටීම හා සිනාමුසු මුහුණින් යුතුවීම, උද්‍යෝගමත් ලෙස කතා බහේ යෙදීම.


ඉහත කෙටියෙන් පැවසූ කරුණු සම්පූර්ණ වීමෙන් ප්‍රබෝධමත් ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙනු නොඅනුමානය. 

මඳක් සිතන්න, වෙනසක් කරන්න!

ඔබ සැමට සතුටෙන් සැහැල්ලුවෙන් පිරුණු සුවබර දිවියක් පතමි!


~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~ 

මේ ලියැවුනේ ගිමන්හල වෙතින් ඔබට පිදෙන 50 වෙනි ලිපියයි. මෙතෙක් ලියවුනු සෑම ලිපියකින්ම වගේ ඔබට ප්‍රයෝජනවත් වන යමක් ගෙන ඒමට උත්සාහ දැරුවෙමි. ඒවායි ඔබේ දිවියට කිසියම් හෝ යහපතක් ප්‍රයෝජනයක් වූවා නම් එයයි මගේ සතුට!

ඉදිරියටත් ඉඩ ඇති අයුරින් හරවත් යමක් රසවත්ව ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කරමි!

ලිපි කියවමින්, ඒවාට අදහස් දක්වමින්, වැරදි පෙන්වා උපදෙස් දෙමින්, මා හට මහත් ශක්තියක් වූ ඔබ සැමට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටිමි!

~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~ 

36 comments:

  1. ඉතාම වැදගත් ලිපියක්.ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙල ලියද්දිත් මට ඔය වගේ මානසික ආතතිය ටිකක් තිබ්බා.දැනුත් ටිකක් තියෙනව.මොකද ප්‍රතිඵල එන්න ලඟයිනෙ දැන්. වටිනා ලිපියක්.තව ලියන්න. මතකනේ මගේ ඉල්ලීම.ඉංග්‍රීසි ඉගෙනගන්න ලෙහෙසි ක්‍රම ගැන.ඒක ඉක්මනින් ඉටු කරන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉමන්ත!
      ඔව් ඔව් ඉල්ලීම මතකයි. ඉක්මණින් ඉටු කරන්නම්.
      විභාගය දැන් අවසන්නේ තවත් ඒ ගැන හිතන එක වැඩක් නෑ. ප්‍රතිඵලය මොකක් වුනත් සතුටින් බාර ගන්න. හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

      Delete
  2. මුලින්ම ගිමන් අයියට සුබ පැතුම්. :)

    සතුටුයි ඇත්තටම මේ බ්ලොග් අඩවිය නිසා මට දැනගෙන ඉගෙනගන්න ලැබුණු වැදගත් කරුණු ගැන.

    "ලංකාව තුල පවතින දුර්වලතාවයක් තමයි උපදේකවරයෙක් හමු වීමට යාමට ඇති අකමැත්ත, සමහරු හිතන්නේ එවැනි කෙනෙක් හමු වන්නට යන්නේ මානසික රෝග ඇති අය කියායි. එය සම්පූර්ණ මුලාවක්. දියුණු රටවල බොහෝ දෙනා වසරකට වරක් වත් උපදේශකවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්නවා."

    අනිවාර්යයෙන්ම අයියේ. ගොඩක් අය මේ ගැන හිතන්නේ වැරදි විදියට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වකා නංගි.
      ගොඩක් ආකල්පමයම වෙනසකම් අවශ‍යයි අපේ රටට.

      Delete
  3. හරිම වැදගත් ලිපියක් සහෝ

    ReplyDelete
  4. මුලින්ම සුභ පැතුම් පනස් වෙනි පෝස්ටුවට..ඇත්තටම මේ බ්ලොග් එක හරහා ගිමන් ලොකු දැනුමක් අපට දුන්න... විශේෂයෙන්ම රෝගාබාධ සම්බන්ධයෙන්. ඔයා ගොඩක් වෙලාවට කතාවක් මාර්ගයෙන් ඒ ගැන කියපු නිසා ඒ දේවල් තේරුම් ගන්න තවත් පහසු උනා. ඉතින් තවත් ඒවගේ හරවත් රසවත් දේවල් ලියන්න ශක්තිය ධෛර්‍යය ගිමන්ට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනාව!!!!!!!
    ඇත්තටම ස්ට්‍රෙස් කියන එක නම් මටත් උපරිමයෙන්ම දැනෙනව. කාලෙක ඉඳල දැනුන ඇඟේ කැක්කුම, ඇඟට පණ නැති ගතිය, වගේ දෙවල් නිසා වෛද්‍යවරුන් කීප දෙනෙක් ලඟට ගියත් එයාල කියන්නෙ එහෙම කියන්න තරම් අසනීපයක් නෑ කියලයි.ඔයාගෙ මේ ලිපිය කියෙව්වම හිතුන සමහරවිට ඒ දේවල් මානසික පීඩනයත් එක්ක ආපු තත්වයන් වෙන්න ඇති කියල.
    කොහොම උනත් පුලුවන් හැම වෙලාවකම //තමන් කැමති විනෝදාංශයකට මදක් යොමු වෙන්න// කියන උපදෙස නම් මම පිලිපදිනව :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්!
      හැමදාම වගේ ඔබේ අදහස් ලොකු ශක්තියක්.
      මානසික පීඩනය තේරුම් ගිය ගමන් එයින් මිදෙන්න කටයුතු කිරන්න ඕනෑ ඒ සඳහා මනස සමබරව තියා ගන්න විනෝදාංශ ගොඩක් වැදගත්.

      Delete
  5. අනිවාර්යෙන් ඔබ අතින් ගිලිහෙන්නේ වටිනා ලියමන්.මටත් ඉස්සර තිබුණා මොනවට හරි මුහුණ දෙන කොට බයට කෑම කන්න බැරි ගතියක්.දැන් නැහැ.මේ ලිපිය ඉතාමත් වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයානි!
      ඒක ඇත්ත ගොඩක් වෙලාවට හිත නිදහස් නැති වුනහම මුලින්ම වෙනදේ තමයි කන බැරිව යන එක. එතකොට තේරුම් ගන්න ඕනෑ හිත ටිකක් සැහැල්ලු කර ගන්න අවශ්‍යයයි කියල.

      Delete
  6. ඉතාම වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහන්!

      Delete
  7. අපි කවුරුත් කැමතියි ස්ට්‍රෙස් එක නැතුව ජීවත් වෙන්න. නමුත් සාර්ථක ජීවිතයකටත් යම් මට්ටමක ස්ට්‍රෙස් එකක් ඕනෙ තමයි.

    නමුත් මම නම් කරන්නෙ ස්ට්‍රෙස් එක වැඩිම රස්සාවලින් එකක්. අනික මේ ක්‍රමය නිර්මානය වෙලා තියෙන්නෙත් ස්ට්‍රෙස් එක වැඩිවෙන ආකාරයට තමයි. අනික සේවා දායකයන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතන සේවා යෝජකයෝ නැත්තේ ඇයි කියන එක මම හැමදාම හිතන දෙයක්.

    ReplyDelete
    Replies
    1. 50 වැනි පෝස්‍ටුවට සුබ පතන්න අමතක වුනානේ. මේ දිගු ගමනක මුල් පියවර පනහ පමනක් වේවා.

      Delete
    2. ස්තූතියි ඩූඩ් අයියා, මුල ඉදන්ම වගේ ගොඩක් උපදෙස් දුන්න, නොවරදවාම යන එන එන කෙනෙක් හැටියට අයියාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා කරන දිරි ගැන්වීමට.
      ඕක කොයි රැකියාවෙත් එකයි සේවායෝජකයො නිතරම හිතන්නෙ උපරිම සේවාවක් ලබා ගැනීම ගැන විතරයි.

      Delete
  8. මුලින්ම 50 වෙනි පෝස්ටුවට සුබ පැතුම් ගිම්.මෙවැනි වටිනා ලිපි වලින් අපිව දැනුවත් කිරීම ගැන ගිම්ට ස්තූතියි.

    ස්ට්‍රෙස් කියන එක නම් මටත් තියෙනවා.රැකියාවේ කාර්යබහුල කම වගේම සමහර පෞද්ගලික ප්‍රශ්ණ නිසාත් සමහර වෙලාවල්වලදී ස්ට්‍රෙස් එක දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ළිහිණි!
      ඒකනේ, ඔන්න දැන් නම් ස්ට්‍රෙස් වෙන්න කලින් පාලනය කර ගන්න.

      Delete
  9. සිරාවටම ගිමා අයියේ කාලයක් ඔය සීන් එක තිබුනා ලඟක් වෙනකම්... ඔය කියන රෝග ලක්ෂණ අතරින් පතර මටත් තිබුනා. ජීවිතේ ඇස් ඉස්සරහම කඩා වැටෙනවා වගේ මට දැනුනා. පස්සේ අන්තිමට මමම මේකට විසඳුම් හොයලා මේවගේ විස්තර හොයලා පත්තර පොත් කියෙව්වා. ගෙදර අයත් හැම වෙලේම උදව් කළා. දැන් ගොඩක් දුරට මම ඒවගේ ඒවා අනුගමනය කරලා ජීවිතේ ආතල් එකේ ඉන්නවා...

    සතුටින් ඉන්නවා කියන්නේ ගොඩක් ලෙඩ වලට ප්‍රතිකර්මයක්..

    50 වෙනි ලිපියට මගේ සුභම සුභ පැතුම්..හැමදාව වගේ හරවත් දෙයක් කියවන්න අපි මග බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පැතුම් මල්ලි!
      මාන්සික පීඩනය නිසා අපේ ජීවිත ගොඩක් පහලට වැටෙනවා, ඒ වෙලාවට තමන් ලඟ ඉන්න අයගේ උදව් ගොඩක් වටිනවා. අපේ හිතවත් කාට හරි එහෙම තිබුණොත් උදව් කලන එක ලොකු පිනක්. එතකොට අපේ හිතටත් සතුටක්.

      Delete
  10. පැහැදිලි කිරීමනම් වටිනවා. පසුගිය දිනවල අපිත් යම් මානසික පීඩනයෙන් සිටියේ. ජීවිතේ සැමදා සතුටින් ඉන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මලා!
      හැමදාමත් එක වගේ සතුට රැදෙන්නෙ නෑ. ඒත් වැඩි වේලාවක් සතුට රඳවාගන්න, විහින් සතුට නැති වීම වලක්වා ගන්නත් පුලුවන් නේද!

      Delete
  11. බොහොම වැදගත් ලිපියක් ගිමන්. ස්තූතියි මේ අනගි සටහනට. මමත් කාලයක් මේ තත්වයේ හිටියා කීවොත් නිවැරදියි. මට හුඟක් වෙලාවට අපේ මහත්තයාගේ අස්වාභාවික හැසිරීම තේරුම් ගන්නට අපහසු උනා. සමහර වෙලාවට ඔහු අනවශ්‍ය ලෙස මා සැක කරන ගතියක් තිබුනා. මා ඔබට කීවානෙ අක්කාගේ තත්වය. ඉතින් මගේ සොයුරියකගේ මාර්ගයෙන් මා වෛද්‍ය වරයෙකු හමු උනා. ඒ හේතුවෙන් මගේ විවාහ ජීවිතය යලි රැකුනා කීවොත් නිවරදියි. ඔහු උපදෙස් දුන්නා මට ගැටෙන වෙලාවට නොගැටී ඉන්නත්, සමහර වෙලාවට ප්‍රශ්ණයකදී උපේක්ෂාවෙන් බලන්නත්. ඉවසීමෙන් කටයුතුකරන්නත්, ඒ පවුලේ ජාන වල මේ සමහර ලක්ෂණ මගේ මහත්තයාටත් ඇති බැවින් බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න කියා. ඒ වටිනා උපදේශය අදටත් මා රකිනවා. ජීවිතේ බොහොම ආදරෙන් විඳිමින් ඉන්නවා. බොහොම ඉවසීමක් ඕනෙ මේ විදිහට ඉන්න. නමුත් ජය එතැනයි. පවුල් කඩාගැනීම නෙමෙයිනෙ. විවේක වෙලාවට බ්ලොග් ලියන එකත් ලොකු මානසික සුවයක් දෙනවා. සොඳුරු දේ කියවනවා රස විඳිනවා. ගීයක් අහනවා , හිමිහිට ඒක කියනවා. එහෙම ඉන්න කොට ආතතිය අඩුයි. දවසේ කාලයෙන් කොටසක් භාවනාවට වෙන් වෙනවා. නිතරම මෙත් සිතින් ඉන්නවා. එහෙම තමා ආතතියට පිළියම් කලේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ජීවන රටාව ගැන ගොඩක් සතුටුයි චන්දි! ජීවිතේ අවුල්සහගත විය හැකි අවස්ථා ගණනාවක්ම ඉතා බුද්ධිමත් විදිහට ජය අරන් තියනවා. ඔබ අගනා උදාහරණයක් හැමදෙනාටම, එක පිට එක එන ගැටලු ජීවිතයේ සතුට පවත්වා ගැනීමට බාධාවක් නොවන බව පෙන්වීමට. ගොඩක් ස්තූතියි අදහසට!

      Delete
  12. සිත්තමීට 50 වෙනි පෝස්ට් එක මිස් නොවුන එකට සිත්තමී ඉන්න හරි හැපී එකේ........කවුරු කමෙන්ට් කලත් සිත්තමී කමෙන්ට් එකක් නොදැම්මොත් හිතට හරි නෑ වගේ නේ..................ඔන් ඒක නිසාම ආදරණීය ගිමන් අයියට 50වෙනි පෝස්ටුවට හදවතින්ම සිත්තමී කෙල්ල ආදරණීයව සුභ පතනවා........

    තවත් හරවත් රසවත් වටිනා ලිපි ලියන්න ශක්තිය ලැබෙන්න වගේම බ්ලොග් ලෝකයේ හරවත් ලිපි ඇති එකම බ්ලොග් එක වන්නටත් සුභ පතනවා............

    ලිපිය ගැන කියන්න දෙයක් නෑ සුපර්......වටින එකේ උපරිමටම වටිනවා

    සිත්තමී කෙල්ල

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සිත්තමී නංගි!
      ඒකනේ එකනේ, ඔයා මුල ඉඳන්ම ගිමන්හලේ නවාතැන් ගත්ත කෙනෙක්නේ. ඉතින් 50 වෙනි ලිපියට මුකුත් කියල ගියෙ නැත්නම් අඩුවක් තමයි.
      ඔන්න එහෙනම් ස්ට්‍රෙස් නොවී වැඩ කරන්න පුරුදු වෙන්න.

      Delete
  13. 50 වෙනි පෝස්ට් එකට සුභ පැතුම් ගිමන් අයියේ..

    මේ කියපු කාරණා එක්ක බැළුවමනම් මේ ටිකේ මටත් sterss එක ටිකක් තියෙනවා කියලා හිතෙනවා.. හිත මේ ටිකේනම් ටිකක් අවුලෙන් තියෙන්නේ.. බලමුකෝ ටිකක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේශ් මල්ලි!
      මොකද මේ අවුලෙන්?, කලබල නැතිව ඉවසීමෙන් වැඩ ටික කරගෙන යන්න. කාලෙත් එක්ක ඔය අවුල් නිකන්ම විසඳේවි.

      Delete
  14. හිතුවක්කාරීApril 2, 2013 at 7:14 AM

    50වෙනි පෝස්ටුවට සුභ පැතුම්!!! බ්ලොග් කියවන්න මෙ දවස්වල වෙලාවක් නෑ.. අහම්බෙන් දැකලා ආවෙ, මෙ දවස්වල මටත් මෙ විභාග ආතතිය උපරිමෙන්ම තියෙන කාලයක් හින්දා.. ලිපිය හරිම හොදට කියෙව්වා :)

    ස්තූථියි අයියේ!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගි!
      එහෙනම් මේ කිව්ව ඒවත් උදව් කරගෙන හොඳට පාඩම් කරන්න. විභාගේ උපරිම හොඳට කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

      Delete
  15. stress කියන දේ නම් තවමත් මට තියනවද මන්දා හරවත් ලිපියක් වෙනද වගේම..ස්තුතියි ගිමන් සුභ පැතුම් පනස් වෙනි පෝස්ටුවට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රෙහානි! කාලෙකින් දැක්කෙ

      Delete
  16. අපූරු වැදගත් තෑග්ගක් එක්ක 50 වෙනි පෝස්ටුව පලකලාට සුභ පැතුම් ගිම්..ගොඩක් සතුටුයි මෙච්චර දුරක් ආපු එක ගැන..

    ඉස්සරහටත් මේ වගේ වැදගත් දේ අපිත් එක්ක බෙදාගන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ලඟඳි ලස්සන කතාවක් කියෙව්වෙ නෑ..මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රූ!
      එහෙනම් ඔන්න ඊළඟට කතාවක්! :)

      Delete
  17. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිල කරන්න බැරි බ්ලොග් එකක් කියලා කෙටි සටහනක් විතරක් තියන්නම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!
      ඔබේ අදහස ලොකු දිරි දීමක්.

      Delete
  18. ඔයාට ලස්සනට ලියන්න කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්.අද තමා මම ඔයාගේ පොස්ට් 1 දැක්කේ ගොඩක් කියෙව්වා.ගොඩක් රසවත් ගොඩක් දැනුවත් උනා මම පාසලක විදුහල්පති කෙනෙක් මම හැම වෙලාවේම උත්සහ ගන්නේ ළමයින්ට ජීවත් වෙන්න ඕනේ දැනුම කුසලතා දෙන්න,මට හමුවෙන පොස්ට් වල ලස්සන ලිපි මම ප්‍රින්ට් කරලා ළමයින්ට කියවන්න එයාලගේ බිත්ති පුවත්පත් වල දානවා.ඔයාගේ ඒවත් හොදටම හොදයි ඒවාට.තව ලියන්න ඔබට ජය සතුට

    ReplyDelete