Saturday, February 21, 2015

(නො)දුටු සතුට


“ඉක්මන් කරන්නකො සුජා දැන් වෑන් එක ඇවිල්ලත් ඇති.”

අසංකගේ නොඉවසිල්ල සුජාතාට සිනහ පහල කරයි.

“පොඩි  එකෙක් වගේනෙ , මෙයාට තියන හදිස්සිය පුතාගෙ කෑම එක කවාගන්න කල් පොඩ්ඩක් ඉන්න”  

අසංක හා සුජාතා  විනෝද චාරිකාවක යෙදෙන්නේ වසර දෙකකින් පමණය. නොපෙන්වා සිටියමුත් අසංකටත් වඩා එහි ආසාව ඇත්තේ සුජාතාටය. පුතුගේ වැඩ සඳහාම කාලය ගත කරමින් එකාකාරී දිවියක් ගත කරමින් සිටි ඇයට මෙම විනෝද චාරිකාව ඉඩෝර සමයක වැටුන වරුසාවක් මෙන් විය. වැඩිමනක්ම අසංක සමඟ මෙවැනි ගමනක යෙදීමේ ආසාවත්ය. 

“හරී, මගෙ හොඳ පුතු පැටියා අද ඔක්කොම කෑවා”, 
“අසංක බෑග් දෙකම ගත්ත නේද?, මේ … මම ලස්සනයි නේද මේ කිට් එකට?

සුජාතා ඇසුවේ නිරූපිකාවක් මෙන් රවුමක් කැරකීමෙන් පසුවය.

“ආයෙත් අහල කත්‍රිනා  කයිෆ් වගේ!” අසංක පැවසූවේ ඇගේ සුන්දරත්වය විඳිමින්ය”

සැබවින්ම සුජාතා සුන්දර යුවතියක්  විය. පාසැල් වියේදී දුටු ඒ ලස්සන දිනෙන් දින වැඩි වූවා වෙනවා යැයි අසංකට සිතේ. 

“අනිත් එවුන්ට ඉරිසියා හිතෙයිද දන්නෑ මට මෙච්චර ලස්සන නෝන කෙනෙක් ඉන්නවා දැක්කහම” 

“යන්න අනේ විහිලු නොකර” සුජාතා පැවසූවේ සිත යටින් ආඩම්බර වෙමිනි.

අසංක හා සුජාතා සේවය කලේ එකම ආයතනයකය. වසර අවසානයේ විනෝද චාරිකාවක් යෑමට ආයතනයේ සැවොම ලක ලැස්ති වූවේ මාසයක පමණ සිටය. 

“අපෝ මොකක්ද බන් පැය භාගයක්ම පරක්කුයි!”

“ එහෙම තමා බන් පවුල් කාරයො උනහම , මොකෝ උඹලාට වගේ ඩෙනිමයි ටී එකයි දාගෙන ඔන්න මම ගියෝ කියල එන්න බෑනෙ දැන් “ අසංක පැවසූවේ සිනාමුසු මුහුණින්ය.

“ඒකත් ඇත්ත තමා උඹට එහෙනම් සමාව දෙනවා, ඒත් කෝ මේ නලින්දයා? ඌත් පවුල් වෙලාද දන්නෑ අපිටත් හොරෙන්” තව අයෙක් පැවසූවේ වෑන් රථයේ සියලු දෙනාටම සිනා පහල කරවමින්ය.

“ඔය එන්නේ කියනකොටම, ශුවර් එකටම නින්ද යන්න ඇති, වැඩට ඇවිල්ලත් දවසෙන් භාගයක් නිදියන එකානෙ.”

විනෝදයෙන් හා උද්යෝගයෙන් මෙසේ ආරම්භ වූ විනෝද චාරිකාව නොනවතින ගීත, සිනා හඬ මැදින් උඩරට වෙත ලඟා විය.



නුවර ආසන්නයේ දී උදාසන ආහාරය ගෙන කෙලින්ම හග්ගල උද්යානය බලා පිටත් වූවේ පලමු නැරඹුම් ස්ථානය ලෙස එය තෝරා ගෙනය.
පුතුව තුරුල් කරගෙන අසංකගේ උණුසුමේ රැඳෙමින් මඟ දෙපස පසුවන සුන්දරත්වය නරඹමින් යන සුජාතාට දැනුනේ කියා නිම කල නොහැකි සතුටකි. ඔහුගේ උරහිසෙහි හිස රඳවාගෙන එය වඩ වඩාත් විඳීමට සුජාතා උත්සුක විය. 
අතර මඟදී හමු වූ සිසිල් දිය අහරක් නිසා පිරිසගේ තීරණය වෙනස් විය.

“බලපන්කො මරු වතුර ටික, මේකෙන් නාන්නෙ නැතුව ගියොත් නම් මුලු ට්‍රිප් එකෙන්ම වැඩක් නෑ!”

“එහෙනම් නාන අය නාන්න , අපි දවල්ට මෙතන ඉදන් කාල යමු”

එම යෝජනාව එකමතිකව ස්ථිර විය.
පැයක් පමණ දිය කෙලියෙන් පසු සියල්ල ගොඩට ආවේ ඉවසිය නොහැකි බඩගින්න නිසාමය.

“එහෙනම් කට්ටිය කෑම ලෑස්ති කරන්නකො අපි පොඩ්ඩක් මේ දිය පාරෙ ලස්සන බලල එන්නම්.” වෑන් එකෙන් සිය බෑගය ගනිමින් නලින්ද පැවසූවේ කුමක්ද යන්න ඉවෙන් මෙන් සුජාතාට වැටහිණ. 

“ඔයත් යනවද ?” සුජාතා අසංකගෙන් විමසූවේ ආයාචනාත්මක බැල්මක් සහිතවය.

“නැත්නම් කිසි ගතියක් නෑනෙ සුජා!, මම ඉක්මනට එන්නම්.

“හ්ම්ම් එහෙනං ඉක්මනටම එන්න හොඳේ “

“ඒයි ඇයි උඹලා එන්නෙ නැද්ද?” නලින්ද කෑගැසුවේ ඔහු හා එක් වූවේ තිදෙනෙක් පමනක් බැවිනි.

“අපි ඕවට නෑනෙ, ඉහල උසාවියෙන් අවසර නෑ , අද බෑ වගේ!” නලින්දට පිලිතුරු කීපයක් ලැබිණි.

“අපෝ උඹලා නම්, ඔන්න අපි ගියා පස්සෙ ආරාධනා කලේ නෑ කියන්න එහෙම එපා”

ඉතිරි පිරිස අතින් ලහි ලහියේ දවල් කෑම පිළිවෙළ විය. හිඳෙන්නට උයා තිබූ පොලොස් ව්යංජනය තෙම්පරාදු කල පරිප්පු, සීනි සම්බෝලය, හා මාලු ඇඹුල් තියල් සුවඳ දැනෙන කල කාගෙත් කටට කෙල උනන්නට විය.

“එහෙනම් කමු නේද නිවෙන්න කලින්, කෝ මෙයාලට කී පාරක්  නම් කෝල් කලාද දැන් එනව දැන් එනව කියනවා”

“උන් ටික එන්න තව පැයක් වත් යයි., අපි කමු”

සුජාතා නොසන්සුන්ය, ඉවසිය නොහැකි තරම් බඩගිනිය.

“අසංක අනේ එන්නකො , ඔය මදෑ , මට බඩගිනියි හොඳටම දැන්,”

“හරි හරි සුජා දැන් එනවා, ඔයා කන්න.”

“සුජාතා එයාල එද්දි තව පරක්කු වෙයි, ඔයත් එන්න කන්න.” දම්මි පැවසූවේ සිය සැමියා කෑම ගෙන අවසන් වූ  පිඟානේම තමටත් කෑම බෙදා ගැනීමට යන අතරය.

“මම තව ටිකක් බලල එන්නම් දම්මි” සුජාතා පැවසූවේ බඩගින්න පරයමින් සිතේ ඇගී ආ හිස් හැඟුමින් යුතුවය.

“බබාටත් බඩගිනි ඇති දැන්” දම්මි පැවසීය.


අසංක ඇතුලු පිරිස පැමිනියේ සුජාතා පුතාට කවා අවසන් වන විටමය.
පරිසරයේ සීතල නිසා කෑම සියල්ල ඇල් වී හමාරය.
සුජාතා මුවින් නොබැන අසංකට කෑම බෙදාදී තමාත් බෙදා ගත්තාය. තිබූ බඩගින්න කොහේ ගියාදැයි ඇයට සිතේ.

ප්‍රමාද වූ පිරිසට අවලාද නගමින් යලි ගමන ආරම්භක විය.
සිසිල් දිය නෑමෙන් ලැබූ සැහැල්ලුව නිසාදෝ සුජාතාට තද නිදි මතක් දැනේ, ඇය සෙමෙන් අසංකට බර විය. වංගු සහිත මාර්ගයේ අපහසුව හා අසංක වෙතින් හමන මත්පැන් ගඳ සුජාතා වෙත ඔක්කාරය ඇති කරවයි. ඇය අකමැත්තෙන් වුවද අනෙක් පස වූ වෑන් රථයේ ජනේලයට හිස තබා ගත්තාය.

නුවරඑළියට ලඟා වන විට සවස පහත් පසුව තිබූ බැවින් හග්ගල යෑම අතහැර නවාතැන්පලට යාමට යෝජනා විය. 

නුවරඑලියට නුදුරුව පිහිටි මනරම් පෙදෙසක පිහිටා තිබූ නවාතැන්පොල වඩාත් නිදහස් හා නිස්කලංක ස්ථානයක් විය. බැස යන හිරුගේ ලා කහ පැහැති හිරු රැස් වැටීමෙන් ඉදිරිපසින් වූ තේ වගාවෙන් වැසුණු කඳුවැටිය අපූරයි දසුනක් මවයි.

පිරිස ඇඟපත සෝදාගෙන අවට සිරි නරඹන්නට විය. සුජාතාගේ සිතේ පැවති කනස්සල්ලද පරිසරයේ මිහිරියාව සමග තුනී වී ගියේය. කෙමෙන් රෑ බෝ වත්ම සීතලද වැඩි වන්නට ගත්තෙන් සැවොම නවාතැන්පල තුලට එකතු වූවේ රෑ කෑම පිළියෙල කිරීමටය. 

“අපේ කුක්ලගෙ හපන්කම් බලන්නත් එක්ක මෙන්න මේක හොඳට රෝස් කරල දෙන්න”
නලින්ද කුස්සියට එබිකම් කර පැවසීය.

“මරුනෙ, රෑ කෑමට රෝස් චිකන් ද?” දම්මි ඔහුගේ අභිලාෂය නොදන්නවා මෙන් ඇසුවේ ස්සමච්චලයට මෙනි.

“පිස්සු කතා අරන්න එපා ඔන්න ඕක රෝස් කරල මෙහෙට දෙන්න”

රෑ කෑම පිළියෙළ කිරීමෙන් පසු යෝජනාව වූවේ ගීයෙන් ගීය පැදුරු පාටියක් දැමීමටය.

“අන්න මැක්සා අයිඩියා එකක්, ඔයාල පටන් ගන්න අපි සිංදු වතුර ටිකක් දාගෙන එන්නම්”

අසංක පැවසූවේ සුජාතා දෙස හොරැහින් බලමිනි. සුජාතා රවාගෙනම ඉවත බලා ගත්තාය.
ගීයෙන් ගීය තරගකාරීව ජයටම කෙරීගෙන යයි, ජය පැරදුම කෙසේ වෙතත් එකිනෙකාගේ ගායන හැකියාවන් නම් හොඳින් ප්රදර්ශනය වන්නට විය. එයිනුත් කැපී පෙනුනේ සුජාතාගේ කටහඬය. අඩුපාඩුවට වූවේ යුග ගායනයට අසංක නොමැති වීමය. දම්මි නිරූපා ජයනි සියලු දෙනා සිය සැමියන් උණුසුමේ රැඳෙමින් හිදිනු දකින සුජාතාට සියුම් දුකක් දැනේ. ඇය සෙමෙන් පුතුගේ හිස සිඹ ගත්තේ එය මග අරින්නට වෙර දරමිනි.

“මොකක්ද මේ , අපි නැතුව කවුද යකෝ සින්දු කියන්නෙ ආ?”

තරමක් පදම් වැඩි වී සිටි නලින්ද කෑගසමින් පැමිනියේය. අසංක ඇතුළු අනෙක් අයටද කෙලීන් ඇවිදීම මදක් අපහසුව ඇති හැඩක් පෙනෙන්නට විය.

“හරි ඔන්න එහෙනම් මම පටන් ගන්නවා , හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ කලේ කලේ …..”

“අන්න එල,ඔන්න ඕවනෙ සින්දු” වැනෙමින් සිටි අසංකද එතනින් හිඳ ගත්තේය.

 ඉන්පසු ආරම්භ වූවේ කොමඩි සංදර්ශනයක්ය. මද වේලාවකින් එය අසභ්ය තත්වයට හැරෙන්නට වූ බැවින් එකා දෙන්නා ඉවත්ව ගියේ රෑ කෑම ගැනීමේ අදහසත් ඇතිවය. 



රාත්රිය අධික ලෙස සීතල වන්නට විය. සුජාතා පුතු තුරුල් කරගෙන අසංකගෙන් ඉවතට හැරී නින්දට වැටුනේ කේන්තියට වඩා මත්පැන් ගඳ ඉවසීමට අපහසු වූ බැවින්ය

”අම්මෝ ඔලු පැලෙන්න වගේ රිදෙනවා, සීතලට වෙන්න ඇති ” මැසිවිලි නගමින් උදෑසන අවදි වූ  අසංක හිරි ඇර ඇඳේ වාඩි විය.

සුජාතාගේන් ප්‍රතිචාරයක් නැත. 

“මොකෝ බුම්මගෙන, කෝ බලන්න මේ පැත්ත” අසංක සුජාතාව හරවා ගත්තාය. 



“මොකද මේ කඳුළු පුරෝගෙන” අසංක ඇසුවේ හේතුව නොදන්නවාට නොවේ.

“ඇයි ඔයා මේ ට්‍රිප් එක ආවෙ අසංක, ඔයාට යාලුවො ටිකත් එක්ක ගෙදර හිටිය නම් ඕන තරමක් බීල හොඳ ජොලියෙ ඉන්න  තිබ්බනෙ” සුජාතා පැවසූවේ නෝක්කඩු ස්වරයෙනි.

“හරි හරි බබා, ඔන්න ප්‍රොමිස් අද මම ඔයා කියන විදිහටම ඉන්නවා” අසංක පැවසූවේ සුජාතාට ඇත්තටම සිත රිදී ඇති බව දැනුනු බැවිනි. 

“බලමුකො කොච්ච්ර වෙලා පොරොන්දුව රකීද කියල.” සුජාතා මද සිනාවක් පා පැවසීය.


එදින පලමු නැවතුම වූවේ අඹේවෙල ගොවිපලය. එයින් පසු හෝර්ටන්තැන්න නැරඹීමට යෝජනා විය.
  අඹේවෙල සිට හෝර්ටන්තැන්න බලා යන අතරතුර තිබූ තැබෑරුමක් අසල වෑනය නතර කල නලින්ද 

“කිලෝමීටර් 7ක් 8ක් ඇවිදින්න තියෙනවනෙ ඊට කලින් අපිත් හීනියට පැට්රල් ටිකක් ගහ ගන්න එපැයි.” පවසමින් බැස ගත්තේය.

“ඒයි අසංකයා බැහැපන් , ඇයි උඹ එන්නෙ නැද්ද.”

“ඔලුව රිදෙනවා බන් උඹලා ගිහින් වරෙන්” අසංක පවසන විට සුජාතාට පුදුම සිතින. 

හෝර්ටන්තැන්නේ ඇතුල් වීම අසල වාහනය නැවතූ පිරිස නැරඹුම් පා ගමන ආරම්භ කිරීමට සූදානම් විය.

“අපි මේ ටික ඉවර කරලම එන්නම්” අවසන් අසුනේ සිටි නලින්ද පැවසීය.

පුතාව වඩා ගත්  අසංක අසලින් ගමන් ගත් සුජාතාට ඇත්තේ කිව නොහැකි සතුටකි. වෙනම රටක් දැයි සිතෙන තරමට පරිසරය ලස්සනය. අනෙක් අයගේ විහිලු තහලු අසමින් විනෝදයෙන් ගමනේ යෙදෙන අසංකට අමුතු මිහිරක් දැනේ. පුතුද අසංකගේ අතේ සිටින්නට වඩාත් කැමැතිය. අතේ සිටම සිනාසෙමින් උඩ පනින්නේ සතුට පිට කිරීමටය.  සුජාතාගේ සතුටද ඇයගේ සෑම ඉරියව්වකින්ම ඉස්මතු වේ යැයි අසංකට සිතේ. 



අසංක මෙතෙක් සිටියේ මිතුරන් හා මත්පැන් ටිකක් තොලගා ගැනීමට නොහැකි වීම ගැන කණගාටුවෙන් යුතුවය. නමුත් දැන් එය මගහැරීමෙන් ලැබෙන දේවල් බොහෝම යැයි ඔහුට සිතේ. පුංචි ලෝකාන්තය අසල හිඳ අවට බලමින් හොඳ හුස්මක් ගත් අසංකට තමා නිදහස්ව ඇති බවක් දැනිණි. තමා හා ගමනේ යෙදෙන අනෙක් මිතුරන් දෙස බලන විට හා ඔවුන් විදින විනෝදය දකින විට තමා සිරවී සිටියේ කෙතරම් මිරිඟුවකදැයි අසංකට සිතේ.

කිලෝමීටර් 9ක් පමණ ඇවිද්ද මුත් කිසිවෙකුට විඩාවක් ඇති බවක් දැකිය නොහැකි විය.
පැය තුනක් පමණ වෙනම රටක සිටියාක් මෙනි.

“මෙන්න මුන් ටික වෑන් එකේ නිදි!”

“අහ් උඹල ගිහිල්ලත් ආවද, අපිට කම්මැලි හිතුන. අනික ඔය කැලෑවෙ මොනව කියල බලන්නද. අඩෝ අසංක උඹ හිටියෙ නෑනෙ, අපි පට්ට ෆන් එකක් ගත්තා.” නලින්ද නැවතුමක් නැතුව කියවයි.

“හැබෑට! ෆන් එක වැඩි වෙලාද මෙතන වමනෙ දාල තියෙන්නෙ, දැන් ඉතින් වෑන් එක හෝදන්න වෙනවා ඔක්කොටම කලින්” රේනුකා පැවසූවේ කේන්තියෙන් යුතුවය.

තමාද සතුට යැයි සිතා සිටියේ මේ අප්රසන්න ජීවිතයදැයි අසංකට දැන් සිතේ.

ආපසු එන ගමන පුරාවට සුජාතාට ඉමහත් සතුටක් ගෙන දෙන්නක් විය. මග පසු වන බොහෝ දේ පෙන්වමින් අසංක දොඩමළු විය. 

“සුජා ඊයෙ දවස ගැන මට අපරාදෙ කියල හිතෙනවා, ඔයාටයි තෑන්ක්ස් කරන්න ඕනෙ මට ඇත්තටම ට්රිප් එක එන්ජෝයි කරන්න පාර පෙන්නුවට .”

සුජාතා කිසිත් නොකියා අසංකගේ උරහිසකට බර වූවේ ඔහුගේ අතක් සුරතින් ගනිමිනි. පුතු අසංකගේ උකුලේ හිඳ නොනවත්වා ගීයක් වරද වරදා ගයන්නට දඟලයි. ඒ ඇසූ ස්ජාතා හා අසංක දෙදෙනාටම එකවර සිනා පහල විය. අසංක ඇය වටා අතක් යවා තවත් තමා වෙත ලං කර ගත්තාය.

මීට වඩා තවත් සතුටක් තිබේද අසංකට සිතිනි.


2 comments: