Friday, January 11, 2013

මහතුන්ට පමණයි!



ඔන්න මීට අවුරුදු ගානකට ඉස්සර හද්ද පිටිසර ගමක මනුස්සයෙක් හිටියා මහතුන් කියල. මිනිහා අහිංසකය. රස්සාවකට කියල කලේ බයිසිකලේ හයි කරපු පෙට්ටියක ඔය දිලිසෙන මාල පෙති, කරාඹු, මුදු වගේ සුකුරුත්තන් මොනව හරි එල්ලගෙන ගම වටේ ගිහින් කොල්ලො කුරුට්ටන්ට විකුණන එක. කොල්ලො කුරුට්ටො කිව්වට ඉතින් ගමේ ඉන්න ගැටිස්සියො ටික තමා වැඩියෙන්ම ඔය සුකුරුත්තන් වලට වහ වැටිල හිටියෙ.

ඔන්න ඔය සුකුරුත්තන් ගේන්න මාසෙකට විතර සැරයක් මහතුන් කොළඹ යනවා. ඕකෙන් ගමෙන්ම කොළොඹ රට පාගපු එකෙකුට හිටියෙ මහතුන් විතරයි.

දවසක් වෙනදා වගේ බයිසිකලෙත් තල්ලු කරගෙන සීනුව හොල්ල හොල්ල මහතුන් ගමේ කොපි කඩේ ගාවින් යනවා. 
ඔය කඩේ හිටපු මදලාලියත් එච්චර කට හොඳ එකෙක් නෙවෙයි. මුදලාලියත් මහතුන්ව දැක්ක ගමන් කියාපි. 

"ඈ බං ගොයියො මොකද්ද බං ඔය ජීවිතේ ඔය සරුවපිත්තල කෑලි විකුනල උඹට වෙන වගතුවක් තියද, ඔන්න ඕක විසි කරල දාල කුඹුරක් කොටාගෙන හිටහන්කො වැදගත් විදිහට"

මහතුන්ට ඕක ටිකක් හිතට වැදුනා. බයිසිකලෙත් හරෝගෙන කඩේට ආවා. 

"ඈ බං මුදලාලි තමුන්නැහැ කියන්නෙ මම වැදගතෙක් නෙවෙයි කියලද?"

ඕක අහල මුදලාලිය බඩ අල්ලන් හිනා වෙනවා

"අනේ මහතුවො උඹෙ තියන වැදගත් කම මොකද්ද කියහංකො එහෙනම් බලන්න"

"ගමේ උන්ට මාව වැදගත් තාලෙට නොපෙනුනාට, මේ රට කොරවන ආණ්ඩුවෙ උන්නාන්සෙලා දන්නව මගෙ වැදගත් කම!"

ඒ අහපු මුදලාලිගෙ හිනාව නැවතුනා

"මොකද්ද මහතුවො ඒ හරුපෙ තේරුම?"

"තේරුමද? උඹල දන්නෙ නැතුවට මටම විතරක් කියල කාමරයකුත් හදල තියෙනවා ආණ්ඩුව ගානෙ"

"අනෙ පලයන් යන්න මෙතන පොලව පැලෙන බේගල් අතාරින්නෙ නැතුව" මුදලාලි කිව්වෙ මේ කතාවට කං දීගෙන හිටපු එවුන් ටිකගෙ ඇරිල තිබ්බ කටවල් වැහෙන්නත් එක්ක.

"එතොකොට මුදලාලි කියන්නෙ මම බොරු කියනව කියලද? කොටින්ම කිව්වොත් ලොකු බෝඩ් කෑල්ලකුත් ගහල තියෙනවා මට විතරයි ඒ කාමරේ කියල. එහෙනම් දාමුද ඔට්ටුවක්? මම කියන්නෙ බොරු නම් මම මේ රස්සාව අත අරිනවා. මුදලාලි පැරදුනොත් මම උකසට තියල තියෙන මගේ ඉඩම් කෑල්ල නිදහස් කොරන්ට ඕනෙ. කැමතිද?"

කටවල් ඇරන් බලන් හිටිය පිරිස ඉදිරියෙ දෙවෙනි වෙන්න මුදලාලි කැමති වුනේ නෑ ඕං

"හොහ් හොහ් මම කැමතියි! දැන් කියහංකො උඹටම කියල ඔය ආණ්ඩුවෙන් හදල තියන කාමරේ කොහෙද තියෙන්නෙ කියල!

"ඒක තියෙන්නෙ නම් ටිකක් දුර හැබැයි" මහතුන් කල්පනා කරන ගමන් කිව්ව

"කමක් නෑ කමක් නෑ උඹේ නමට තියනවා නම් අපිටත් ගිහින් බලල එන්න බැරියෑ හොහ් හොහ්" මුදාලලි නම් හිතුවෙ මේකගෙ බොරු පුරාජේරුවක් කියල

"හා එහෙනම් යන උදවිය හෙට උදේම කොලඹ දුවන රේල්ලුවෙ යන්න ලෑස්ති උනා නම්, මරදානෙ තමා ඕක තියෙන්නෙ. උඹල කවදාවත් ඔහෙ ගොහින් නැති හන්ද මාත් එන්නම්කො" මහතුන් මෙහෙම කිව්වවහම නම් මුදලාලිටත් පුදුමයි.

කොහොමින් හරි පහුදා උදේ රැයින් මුදලාලියි මහතුනුයි තව ගම්මු කීප දෙනෙකුයි පිටත් උනා මහතුන්ගෙ කාමරේ බලන්න. ඔන්න පැය ගානක කෝච්චි ගමනින් පස්සෙ කට්ටිය මරදානෙන් බැහැ ගත්තා.

"හා දැන් ඉතිං කොහෙටද යන්ට ඕනෑ" මුදලාලිට ඉවසුමක් නෑ දැන්.

"වැඩිය දුර නෑ මුදලාලි මේ ස්ටේශොමේමයි තියෙන්නෙ. මෙන්න මේ වේදිකාවෙ කෙලවරටම වෙන්න." 

මහතුන් කිව්ව ගමන් කට්ටිය දුරින් දුරින් අඩි තියල යන්න ගත්තා. කෙලවරට ඉස්සෙල්ලම ගිය කොලු ගැටයා කට ඇරගෙන ටිකක් බලාගෙන ඉඳල කිව්වෙ නැතෑ.

 "ඇත්ත නේන්නම් මුදලාලි මේ තියෙන්නෙ මහතුන් අය්යට විතරයි කියල බෝඩ් එකකුත් ගහල!"

ඒ අහපු මුදලාලිට දෙලෝ රත් උනා මුදලාලිත් කට්ටිය පෙරලගෙන ගොහින් එබිල බැලුවා. ඇත්ත නේන්නම් "මහතුන්ට පමණයි" කියල තඩියට බෝඩ් එකකුත් ගහල. මුදලාලි දොර පලුව ටිකක් ඈත් කොරල බැලුවා.

"හෑ! ඈ බොල මේ වැසිකිලියක්නෙ!"

"මොකක් උනහම මොකද මුදලාලි මට විතරයි කියලනෙ තියෙන්නෙ, ඔන්න ඔට්ටුව මම දිනුම් ඈ!"

Monday, January 7, 2013

දිනපොතට වටිනාකමක්





ලිවීම නවත්වලා ගත්ත මාස දෙකක පමණ විරාමයට නැවතීමක් තියන්නත් එක්ක ඔබේ ජීවිතේට අලුත් යෝජනාවක් අරගෙන පොඩි ලිපියක් ලියන්නයි යන්නෙ.

නව වසරක් උදාවත් එක්ක හැමෝම වගේ තමන්ගෙ ජීවිත අලුත් කර ගන්නවා. 
අවුරුද්ද සාර්ථක කර ගන්නවා කියන බලාපොරොත්තුව ඔයාල හැමදෙනාම අවුරුද්ද මුලම ඇති කර ගන්න ඇති. එහෙම බලාපොරොත්තුවක් ඇති කර ගන්න එක ඇත්තටම වටින දෙයක්. නමුත් ගොඩක් දෙනෙක් අවුරුද්ද පටන් අරගෙන මාසයක් යන්නත් කලින් තමන් අර කලින් හිටිය උදාසීන ජීවන රටාවට වැටෙනවා. ඉතින් එහෙම වෙන්න කලින් ඔයාල දැනටමත් ඇති කර ගෙන තියන ඒ ජවය අවුරුද්ද පුරාවටම තියා ගන්න කරන්න පුලුවන් පුංචි උපක්‍රමයක් තමයි මම අද යෝජනා කරන්න යන්නෙ.

මේ දවස් වල ගොඩක් අයට තියෙන ආසාවක් තමයි ලස්සන දිනපොතක් හොයා ගන්න එක. ඒත් එහෙම ආසාවෙන් හොයා ගත්තත් ඒ දිනපොතෙන් වැඩක් ගන්නෙ කීයෙන් කීදෙනාද? බලන්න ඔබ ගාවත් සමහර විට වචනයක් වත් නොලියපු පරණ දිනපොත් කීයක් තියෙනවද කියල. 
ඉතිං මේ අවුරුද්දෙවත් නිකන් තියන දිනපොතෙන් වැඩක් ගන්න බලමුද?

මේකයි කරන්න තියෙන්නෙ, ඔයාල හැමෝටම විවිධාකාරයේ බලාපොරොත්තු ඇති. උදාහරන හැටියට පාසල් යන දුවෙක් පුතෙක් නම් සාමාන්‍ය පෙල විභාගයට / උසස් පෙල විභාගයට සාර්ථක ලෙස සූදානම් වීම, විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආකාරයක උසස් අධ්‍යාපනයක යෙදෙන කෙනෙක් නම් ඒ ඉගෙනුම් කටයුතු උපරිමයෙන් කිරීම, රාජකාරියක යෙදෙන කෙනෙක් නම් ඒ අංශයෙන් උසස් වීමක් ලබා ගැනීමට අමතර විභාගයක් නිම කිරීම, ව්‍යාපාර කටයුත්තක යෙදෙන කෙනෙක් නම් එය වැඩි දියුණු කර ගැනීම, නිවසක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එය කඩිනම් කර ගැනීම... මේ ආකරයෙන්.

ඉතින් මේ දහසක් බලාපොරොත්තු අරමුණු තිබ්බත් එවා ඉක්මනින් කෙරෙන්නෙ නැහැ එහෙමත් නැත්නම් කරන්න තල්ලුවක් නැති නිසා ඔන්න ඔහෙ කවද හරි වෙන විදිහකට වෙන්න ඉඩ දීල ඉන්නව. මෙන්න මේ වෙලාවලදි තමා දින පොතට අපිට තල්ලුවක් දෙන්න පවරන්න ඕනෙ.

මුලින්ම දිනපොතක් හොයා ගන්න (පිට ඔපෙන් නම් වැඩක් නෑ දින සහිත කොල ටිකක් තියෙනවා නම් ඇති ) ඊට පස්සෙ අද දිනේට අදාලව කැමති ආකාරයකින් ලිවීම ආරම්භ කරන බව ලියා ගන්න. ඊට පස්සෙ තමන්ගේ බලාපොරොත්තුවට අදාලව අවුරුද්ද සරලව බෙදා ගන්න.
මම උදාහරනයක් දෙන්නම් මේ වසරෙ උසස් පෙල ලියන සිසුවෙක් හැටියට හිතල,

අගෝස්තු දක්වා කාලය සරලව බෙදා ගන්න. ඒ අනුව තමා බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් ඒ ඒ දිනවල  සටහනක් දාන්න.

උදා - 

පෙබරවාරි 1 පිටුව - සටහන්, ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කර ගැනීම

පෙබරවාරි 10 පිටුව - පාඩම් කිරීමට කාල සටහන් ක්‍රමයක් ආරම්භ කිරීම.

මාර්තු 1 පිටුව - පසු ගිය ප්‍රශ්න පත්‍ර කිරීම ආරම්භ කිරීම.

මාර්තු 31 - පසු ගිය ප්‍රශ්න පත්‍ර කිරීම අවසන් කිරීම.

අප්‍රේල් 1 - විශ‍ය්‍යන් 3ටම අදා පලමු ප්‍රධාන පාඩම් 3 පාඩම් කිරීම පටන් ගැනීම

අප්‍රේල් 30 - විශ‍ය්‍යන් 3ටම අදා පලමු ප්‍රධාන පාඩම් 3 පාඩම් කිරීම අවසන් කිරීම 

මැයි 1 - විශ‍ය්‍යන් 3ටම අදාලව ඊළඟ පාඩම් 3 පාඩම් කිරීම පටන් ගැනීම 

මැයි 30 - අවසන් කිරීම

ජූනි 1 - විශ‍ය්‍යන් 3ටම අදාලව අවසන් ප්‍රධාන පාඩම් 3 පාඩම් කිරීම පටන් ගැනීම. 

ජූනි 30 - අවසන් කිරීම

ජූලි 1 - අනුමාන ප්‍රශ්න සකස් කිරීම හා පිලිතුරු සැපයීම

ජූලි 31 - අනුමාන ප්‍රශ්න සකස් කිරීම හා පිලිතුරු සැපයීම අවසන් කිරීම.

මේ ආකාරයට අපි හැමෝගෙම තියෙන විවිධාකාර බලාපොරොත්තු සම්පූර්ණ කර ගන්න කල යුතු දේවල් වසර පුරාවට එක් එක් අදියරයන් ලෙස මාසයක මුල පිටුවෙ හෝ සති දෙකකට වරක් දින සටහනක් යොදන්න.

ඊට පස්සෙ දින පතාම නොහැකි නම් සතියකට වරක් වත් තමා එම සතියේ එක් එක් දිනයේ සිය බලාපොරොත්තුව දෙසට ගත් කිසියම් හෝ ක්‍රියකාරමක් කෙලේ නම් එය සටහන් කරන්න. මෙලෙස යන විට ඔබ වසර මුල දල වශයෙන් යෝජනා කල පියවරයන් ඔබට හමු වේවි. ඔබ ඒ වන විට එය සම්පූර්ණ කරගෙන නැත්නම් එය සම්පූර්ණ කල යුතුයි කියන අනතුරු ඇඟවීම ඔබට ලැබෙනවා.

(ඉහත සඳහන් උදාහරනයේ මාර්තු 31 දිනට ප්‍රශ්න පත්‍ර කිරීම අතපසු වී තිබුන හොත් ඒ පිලිබඳ දැනුවත් වීම හා එය ඉක්මණින් සිදු කල යුතු බවට උත්ප්‍රේරණයක් දිනපොතෙන් ලැබෙනවා.)

එම කාර්‍යය සම්පුර්ණ වී තිබුන හොත් ඔබට දැනෙන සැහැල්ලු බව එම පිටුවේ සඳහන් කරන්න. එය පසු දිනක නැවත දින පොත කියවන විට ඔබට ඔබගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට උපකාරී වන්නක් වෙනවා.

මුල් කාලයේ මෙය අමුත්තක් ලෙස දැනුනත් ඉතා ඉක්මණින් ඔබ එයට හුරු වේවි. ඉන්පසු ඔබටත් නොදැනීම දිනපොත ඔබව ක්‍රමනුකූලව වැඩ කරන කෙනෙක් බවට පත් කරාවි. සැලසුම් කිරීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රතිඵල අනුව සැලසුම් කාර්‍යක්ෂම කිරීම වැනි දියුණුවේ දුර්ලභ ගුණාංග ඔබටත් නොදැනීම ඔබට හුරු වේවි.

යම් විදිහකින් ඔබට බලාපොරොත්තුව හඹා යාම අපහසු වන විට ඉන් දැනෙන පීඩනය බෙද හදා ගන්නත් දින පොත උපකාරී වෙනවා. තමාට අවශ්‍යය අරමුණ වෙත යාමට අපහසු වීමට හේතු  ඔබම සිතා බලා හඳුනාගෙන දින පොතේ සඳහන් කරන්න, එවිට එම හේතු මග හැරීමට ඇති ක්‍රම පැහැදිලිව දැකිය හැකියි. ඒවාද සඳහන් කරන්න. අවසානයට සෑම විටම "මට මෙය කල හැකියි"  "මම කොහොම හරි මෙය කරනවා" වැනි දෙයක් ලියන්න. මෙලෙස නිතර ලියා දැක්වීම යටි හිතට කරන ස්ව්‍යංයෝජනාවක් තව විදිහකට කිව්වොත් ඔබගේ හැකියාව වැඩි කරවන මන්තරයක්.

මේක මම අත්හදා බලල 100% ප්‍රතිඵල ලබා ගත්ත දෙයක්. අසීරු අවස්ථාවන් වල මානසිකත්වය ශක්තිමත්ව ඒකාග්‍රව තියා ගන්න ගොඩක් උපකාරී උන දෙයක්. සමහර විට ඔයාලත් දැනට මෙහෙම දේවල් කරනවා ඇති. එහෙම නැති අය ඉන්නවා නම් අත්හදා බලන්න. 

ඔයාල ගාව වැඩිපුර අලුත් දිනපොත් තියෙනවා නම් හිතවතෙකුට තෑගි කරන්න, ඒ සමඟම එයින් ප්‍රයෝජනයක් ගන්න හැටිත් කියලා දෙන්න. සමහර විට එය ඔහුගේ ජීවිතය සර්ථකත්වයට යොමු කරන හැරවුම් ලක්ෂය වේවි. එහෙම උනොත් ඔබට කොයිතරම් සතුටු සිතේවිද!

ඉගෙනීම් කටයුතු වල යෙදෙන අයට වැදගත් වන මෙවැනිම ලිපි කිහිපයක් මම කලින් ඉදිරිපත් කලා ඔයාලට මතක ඇති. අමතක නම් ගිහින් බලන්න. 


ඔබේ සාර්ථකයට කිසියම් හෝ උදව්වක් ඒවායින් ලබා ගන්නට හැකි වුව හොත් එයයි මගේ සතුට.

මේ ලැබූ වසර ඔබගේ සාර්ථකම වසර කර ගැනීමට මගෙන් සුබ පැතුම්!


Saturday, November 10, 2012

සමුදීම....!



කන් බිහිරි කරවන තරමේ යෝධ යන්ත්‍රයේ ගෝසාව නිසා ජානක වැඩ සීමාවෙන් පිටත සිට කියූ කිසිවක් සුමාල්ට නෑසින.
ඔහු යන්ත්‍රය නවතා ජානක දෙස බැලීය.

"මචං ගමෙන් කෝල් එකක් ආවා. පොඩි නරක ආරංචියක්"

ජානක එය පැවසූ අයුරින් සුමාල්ගේ හද ගැස්ම මදක් වැඩි විය. ඔහුගේ තීව්‍ර බැල්ම දුටු ජානක

"කලබල වෙන්න එපා, ඊයේ රෑ කුසුම් නැන්දා එල්ලිලා මැරිලලු"

නෑ!! දෙයියනේ! ඒ අහවල් පිස්සුවකටද? සුමාල් ක්ශණිකව ඇතිවූ දහසකුත් සිතුවිලි අතරින් කීපයක් පැවසීය.

"උදේ ශ්‍රියා නංගි බලනකොට දැකල තියෙන්නෙ"

"අපොයි! අනේ මචං මම දැම්ම යන්න ඕනේ. ලොක්කට විස්තරේ කියල නිවාඩුවක් දාපන්"

"ඒවා හරි බන් ලොක්ක විස්තරේ දන්නවා, උඹ කලබල නොවී සිහි කල්පනාවෙන් යමන්. පොඩි දුරකුත් නෙවෙයිනෙ දැන්ම ගියොත් රෑ වෙද්දි යා ගත්ත හැකි, මම මේ වැඩ ටික ඉවර කරල උදේම එන්නම්"

සුමාල් එසැණින් බෝඩිම බලා පිටත් වූයේ හැකි ඉක්මණින් ගමන ඇරඹීමේ අරමුණිනි.

ගමන පුරාවට ඔහුට සිය කුඩා කාලයේ සුන්දරම මතකයන් එකින් එක සිහියට නැගෙන්නට විය. කුඩා කල සිට සිය නිවසටත් වඩා ඔහුගේ කාලය ගෙවුනේ කුසුම් නැන්දාගේ නිවසේය.

මවට නොදෙවෙනි ආදරයක් දැක්වූ කුසුම් නැන්දා තමාට සිය දරුවෙකුට මෙන් තමාට කැවූ පෙවූ නැහැවූ හැටි සිහිවන විට නිරායාසයෙන් දෙනෙතෙතට නැගෙන කඳුලු සඟවා ගන්නට සුමාල් බෑගයේ හිස තබා ගත්තේය.

කුඩා උන් කල සහෝදරියක් මෙන් එකට හැදුනු කුසුම් නැන්දාගේ දියණිය ශ්‍රියා හා සුමාල් අතරේ වෙනස් හැඟීමක් ඇති වන්නට වූයේ දෙදෙනාටම රහසේය. එය වැඩිහිටියන්ගේ ඇස් වලට හසු වීමට වැඩි කලක් ගත නොවීය. සුමාල්ගේ දෙමාපියන්ගේ මාන්නක්කාර උඬගුකම් නිසා අවසානයේ සිදු වූයේ කුසුම් නැන්දලාගේ නිවස සුමාල්ට තහනම් අඩවියක් වීම හා නෑදෑයින් විරසක වීමය. ඒ සමඟම මාමාගේ අකල් මරණයෙන් අසරණව සිටි නැන්දා තවත් තනිවිය.

ඒ හිත් අමනාපයෙන්ම මීට වසර දෙකකට පෙර කොළඹ ෆැක්ට්‍රියක රස්සාවට පැමිණියේ සිය පවුලේ පුහු මාන්නයට එරෙහි වීමක් ලෙසය.
කාර‍ය්‍ය බහුල වීමත් සමඟ ඉබේම ගම හා දුරස් බවක් ඇතිවී පරණ සිදුවීම් මතකයෙන් මදක් දුරස් විය.

නමුත් මේ සිඳු වී ඇති වින්නහිය කුමක්ද, සුමාල්ගේ සිතේ විවිධාකාරී සිතුවිලි මැවී බිඳී යයි.

යන්තම් රාත්‍රී එකොලහ පමණ වන විට සුමාල් ගම වෙත සේන්දු විය. සිය නිවසටත් නොයා කෙලින්ම කුසුම් නැන්දාගේ නිවසට යාමට ඔහු තීරණය කලේය. ඊට හැතැප්ම දෙකක් පමණ රබර් කට්ටිය මැදින් දුශ්කර ගමනකි. යාන්තමට සිරිපොදක් තිබුනද එය ගනනකට  නොගෙන බස් පාරෙන් රබර් වත්ත වෙත හැරෙනවාත් සමඟම ඇසුනු සුපුරුදු හඬකින් සුමාල් නතර විය.

"අයියේ ඒ පැත්තෙ නේද යන්නෙ?"

තමා වෙත එන ශ්‍රියා නංගී දුටු විට සුමාල්ට විශ්මය මුසු සතුටක් දැනින.
වසර දෙකට ඇය වැඩුනු පිරිපුන් තරුණියක් වී ඇත.

"නංගී! මොකද මෙච්චර රෑ වෙලා තනියම!? තෙමුනද? කොන්ඩෙන් වතුරත් බේරෙනවා."

මේ පොඩි හිරිපොදට ඇය එතරම් තෙමුනේ කෙසේදැයි සිතමින් සුමාල් ඇසීය.

"ඔව් අයියේ වැස්සට පොඩ්ඩක් තෙමුනා; අයියා එන ගමන්මද?

"ඔව් නංගා දැන ගත්ත ගමන්මයි මම එහෙන් පිටත් වුනේ. මට නම් හිතා ගන්න බෑ මොකද මේ උනේ කියල. ඇයි නැන්ද මෙහෙම දෙයක් කර ගත්තෙ!

"ජීවිතෙ හැටි තමයි අයියෙ, අම්ම නිදහස් උනා"

ඇයගේ සන්සුන් වදන් සුමාල්ට අමුත්තක් දැනවීය. ඇගේ මුහුන හැඟීම් විරහිතය. දුක්බර බවක් දකින්නට නැත.

"මට තෙරුනේ නෑ"

"අයියා නොදන්න ගොඩක් දේවල් උනා. අයියලාගෙ අම්මලා අමනාප උනාට පස්සෙ අපිට ගොඩක් අමාරුකම් ආවා. අපේ ගෙදරයි ඉඩමයි තාත්තාගේ අසනීපෙට බේත් කරන්න උකස් කරල තිබ්බෙ. ඒක මාස හයකට කලින් මුදලාලිට සින්න වුනා. ඊට පස්සෙ මුදලාලි අමුතු යෝජනවක් ගෙනාව. මාව කඩේ වැඩට නතර කරන්න කියල. 
අයියා දන්නවනෙ මුදලාලිගේ තිරිසන් වැඩ. අම්ම කැමති උනේ නෑ. එන්න එන්නම මුදලාලිගේ කරදර වැඩි උනා. ඇදුනුම්කම් වලින් රබර් කට්ටියෙ අම්මගෙ රස්සාවත් නැති කලා. පහු ගිය ටිකේ අපිට කන්න දෙයක්වත් තිබුනේ නෑ.
අම්ම ඔහේ කල්පනා කරන්න ගත්ත. එහෙම ඉඳල තමා ඔය දේ කර ගත්තෙ"

ඇගේ කතාව අසා සිටි සුමාල්ට පපුවේ යමක් හිර වූ සෙයක් දැනින. දෙවියනේ කොයිතරම් දුක් කන්දරාවක් විඳින්නට ඇද්ද! මේ සියල්ලට තමාත් වරදකරුවෙක් නොවේදැයි සුමාල්ට සිතින.

කතාවෙන් කතාවෙන් රබර් වත්ත අවසන් වී කුසුම් නැන්දාගේ නිවස ලං විය. 
ඈතින් නිවස අසල පන්දම් දල්වාගෙන විශාල පිරිසක් රැස්ව සිටිනු සුමාල්ට දැකිය හැකි විය. 

"පුදුම සෙනගක් ඇවිල්ලනෙ මල ගෙදරට!"

"ඒක තමා අයියෙ, අයිය ඔහොම්ම ගෙට යන්නකො එහෙනම්"

"හරි නංගි" සුමාල් ජනකාය දෙසම නෙත් දල්වාගෙන පවසමින් ඉදිරියට පා නැගීය.

එතැනට ඔහු ලන් වන විට කසු කුසු ගගා සිටි පිරිස නිශ්ෂබ්ද වී ඔහු දෙස බැලුවේ සානුකම්පිත ලෙසය. 
වැඩි පිරිසක් ගේ දොරකඩම යමක් වට කරගෙන නරඹයි. සුමාල්ද එතැනට එබෙන්නට යත්ම කොහේදෝ සිට පැමිණි සුමාල්ගේ මව ඔහු බදාගෙන හඬන්නට විය.

"බලන්න පුතේ වෙලා තියන විනාසෙ... උදේ හොඳට හිටපු කෙල්ලනෙ. කවුද හිතුවෙ එක ගෙයි මරණ දෙකක් වෙයි කියල!"

සුමාල්ට ඒ විලාපය මහත් ගැටලුවක් විය
ඔහු හනිකට සෙනග තල්ලු කර එබී බැලීය.

ශ්‍රියා නංගී දොරකඩ පැදුරක වැතිර සිටී. සිරුරම දියෙන් තෙතබා වී ඇත.

සුමල්ට සිහි විකල් වූ සේ දැනින

"මොකක්ද දෙයියනේ මෙතන වෙලා තියෙන්නෙ! ඇයි මේ නංගි මෙතන නිදි, කවුරු හරි කියපල්ලකෝ!

ගමේ වැඩිහිටියෙකු වූ බන්ඩාරේ මාමා පැමිණ, සුමාල්ව අල්ලා ගත්තේය.

"කලබල වෙන්න එපා පුතේ, දවල් ශ්‍රියා කෙල්ල ගඟට පැනල පහල ගමේ කොල්ලො වගයක් දැකල ගොඩ අරන්.  එතකොටත් මැරිල පැය ගානක්. දැන් ටිකකට කලින් තමයි මෙතනට ගෙනාවෙ."

සුමාල්ට ඔහු කියූ දෙය නොතේරුනාක් මෙන් රබර් වත්ත දෙස හැරී බැලීය. යන්තමට නොපෙනී යන ඡායාවක් වැනි යමක් ඔහුට ඈතින් දැකිය හැකි විය.

දහසක් සිතුවිලි එක වර සිතට නැගීමෙන්දෝ සුමාල්ට සිය දෑස් නිලංකාර වී යන බවක් දැනින.



Tuesday, October 30, 2012

විස සිහින



සරත් කියවමින් සිටි පත්තරය පහත් කර කඩුල්ලෙන් එපිට ගුරුපාර දෙස බැලුවේය. ඒ කුස්සියේ සිටිය ශීලා කඩාගෙන බිඳගෙන ඉස්තෝප්පුවට විත් මෙතරම් උවමනාවෙන් පාර වෙත ඇස් යොමා සිටීමට හේතුව දැකීමට.

මඳ වේලාවකින් දුහුවිලි නඟමින් නිවස ඉදිරියෙන් ඇඳී ගිය සිල්ව ලාගේ අලුතින් ගත් කාරය දුටුවිට සරත්ට කාරණය පැහැදිලි විය. 
ශීලා තවමත් ඇඟිලි වලින්ද ඉස්සෙමින් ඈත ඇදී යන කාරය දෙස බලයි. 

"සුදු පාට නැතුව රතු පාට එකක් ගත්තනම් හොඳයි නේද අනේ"
ශීලා ඒ දෙස බලා ගෙනම පැවසීය.

"ඒක ඒ මිනිස්සුන්ගෙ කැමැත්තනෙ, අපි මොකටද ඕව හොයන්නෙ" සරත් එතරම් ගනනකට නොගෙන පැවසීය

"ඔයටා තමා ඕනැකමක් නැත්තෙ අහල පහල හැමෝටම වාහන තියෙනවා"
ශීලා නෝක්කාඩු ස්වරයෙන් පවසමින් ගෙතුලට ගියාය.

"අපිට පුලුවන් විදිහට එපැයි අපි ජීවත් වෙන්න, නැතුව රටේ ලෝකෙ මිනිස්සු කරන හැමදේම අපිට කලහැකිද"

"බැරි කම නෙවෙයි උවමනාවක් නැති කම මිසක්"
ශීලා ගෙතුල සිට හඬ නැඟීය.

සරත් පත්තරය පුටුව මතට දමා කල්පනාවකින් යුතුව පාර දෙසට පා නැඟීය. 


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

"ශීලා ලබන සඳුදා ඉඳන් මම එන්න ටිකක් රෑ වේවි"

ඇය විමසිල්ලෙන් සරත් දෙස බැලීය

"හවස පැය තුනකට කොම්පැනියක ජොබ් එකක් හම්බුනා, බොරැල්ලෙ. වැඩ ඇරුණු ගමන් බස් එකක් අල්ල ගත්තොත් පහ වෙද්දි එතනට ගිය හැකි"

"ඉතින් අනේ එච්චර රෑ වෙලා එන්නෙ කොහොමද"

"බොරැල්ලෙන් අන්තිම බස් එක නවය, ඒකෙ අවොත් දහයමාර විතර වෙද්දි ගෙදරට ආව හැකි"

"ප්‍රයිවට් තැනක් නම් හොඳට ගෙවනවා ඇති නේද?"

"ඔව් දැන් හම්බවෙන ගානම වගේ හෙව්ව හැකි සෙනසුරාද වරුවයි ඉරිදයිත් ගියොත්"

ශීලා සිතින් ගණන් හදා බැලීය, එය හැබෑවටම හොඳ අදායමකි. සිය සිත් ගත් කාරය ඇයට මැවී පෙනෙන්නාක් මෙන් විය. සිය සිහිනය සැබෑවක් වීම වැඩි ඈතක නොවේ යයි සිතන විට ශීලාට සතුටු සිතිනි.

ඒ කල්පනා ලෝකයේ කිමිදෙමින් ඇය කුස්සිය වෙත ඇවිද ගියාය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

සරත් නව රැකියාවට යාමට ආරම්භ කර සති දෙකක් ගත විය.
උදේ රැයින් පිටවන ඔහු ගෙදර එන්නෙ රෑ මැදියමට හෝරාවක් දෙකක් තිබියදීය.

වෙහෙසින් හෙම්බත් වී එන ඔහු යන්තම් ඇඟ පත සෝදා ගෙන ශීලා බෙදා දෙන බත් පත කා ඇඳට වැටෙන්නේය. 

ශීලා ඇඳට පැමිනෙන විට සරත් නින්දට වැටී ගොරවමින් සිටී. ශීලාද ඔහුව අවදි නොවන අයුරින් පසෙකින් ඇලවෙයි.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

"අම්මේ තාත්ත මාත් එක්ක තරහ වෙලාද"

පෙර පාසල් නිම වී එන අතර දියණියගේ හඬින් ශීලා කල්පනාවෙන් මිදුනි.

"නෑ පුතේ, ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ නෑ අම්ම දන්නෙ නැතුවට තාත්ත මාත් එක්ක තරහ වෙලා, ගොඩක් දවසකින් මාත් එක්ක කතා කලේවත් නෑ, මම නිදා ගන්න කලින් එයා යනවා. ඊට පස්සෙ මම රෑට නිදා ගන්නකල් එන්නෙත් නෑ. නිවාඩු දවසටත් නෑ..
අනේ අම්මෙ තාත්තට යාලු වෙන්න කියන්නකෝ.." සිඟිත්තිය හැඬුම්බරව පැවසීය.

ශීලාට ඇය ගැන දුක සිතින.

"නෑ පුතේ තාත්තට දැන් ගොඩක් වැඩනේ, ඒකයි ඒ"

දියණිය ඉන් සෑහීමට පත නොවූ බව ශීලාට වැටහින. 

ශීලා යලි කල්පනාවට වැටින.

වෙනදා යන්තම් අදුරු වැටීගෙන එන විට සරත් නිවසට පැමිනෙන තුරු දියණිය බලා සීටී, සරත් ගෙදර පැමිනි සැනින් ඔහු තුරුලට වැටෙන ඇය ඉන්පසු බොහෝ වේලාවක් සරත් හා හුරතල් වේ. ඔවුන්ගේ කෝලම් බලමින් තමාද ඉමහත් සතුටක් විඳි අයුරු ශීලාට සිහි විය.
තමාටත් නොදැනීම යම් අඳුරක් සිය ජීවිත වෙලා ගනිමින් සිටින බවක් හැඟීමෙන් ශීලාගේ හිත පුරා තිගැස්මක් ඇති විය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

පොද වැස්ස සෙමෙන් තද වැස්සකට හැරෙන ලකුණු පහල විය.
රාත්‍රී එකොලහ පසු වුවද තාමත් සරත් නැත. ශීලා යලිත් දුරකතන ඇමතුමක් ගත්තාය.

"බස් එක මගදි කැඩුන ශීලා, හදන පාටක් නෑ. එන්න විදිහක් බලල කියන්නම්කො, ෆෝන් එකේ බැට්‍රිත් බැහැල. ඕෆ් වෙයිද දන්නෑ."

ඒ සැනින් ඇමතුම විසන්ඳි විය.

රාත්‍රී දොලහ පසු වුවද සරත් තාමත් නැත. යන්තමට තිබූ වර්ශාව මහා මේඝයක හැරී ඇත. ශීලාගේ සිත දැන් ගිනි ගොඩකි.

"සරත්ට කරදරයක්වත්ද" ශීලා මෙසේ සිතදිදීම පලාතම දෙදරවාගෙන අකුනක් ගැසුවේය. ඒහාම වැස්ස තවත් වැඩි විය.

"අනේ දෙවියනේ සරත්ට මුකුත් කරදරයක් වෙන්න එපා" ඉස්තෝප්පුවේ කනුවකට වාරු වී ඇත බලා සිටින ශීලාගේ දෙඇසින් කඳුලු රූරා වැටෙන්නට විය. පිට පිට ගසන අකුනු වලින් ඇගේ සිත තව තවත් කීරි ගැසේ.

මද වේලාවකට පසු කඩින් කඩ වැටෙන අකුණු එලියෙන් ඈත එන රුවක් ඇයට දිස් විය. ඒ සරත්ය. 
ඔහු කඩුල්ල පනිනවාත් සමඟම වැස්සද නොතකා ඔහු වෙත දිව ගිය ශීලා සරත්ව වැලඳගෙන හඬන්නට වූවේ හිත තුල වූ බිය ආවේගය පිට කිරීමටය.

"මොකද මේ! යමු යමු ගෙට ඔයත් තෙමෙන්නෙ නැතුව" 
දෙදෙනාම ගෙට ඇතුලුවිය. 

"හතේ කනුව ගාවට ලොරියක් හම්බුනා, ඉතුරු ටික ඉතිං පයින් එන්න වුනා"

"දෙයියනේ මේ වැස්සෙ ඔයා හැතැප්ම පහක් පයින් ආවද"
තෙතබරිත වූ ඇඳුම් හා වතුර බේරෙමෙන් සිටින සරත් දුටු ඇයට ඔහු පැමිණි ගමන පැහැදිලි විය.

"අනේ ඉක්මනට නා ගෙන එන්න, කාලත් නෑනෙ. මම ඉක්මනට කෑම ටික රත් කරල ගන්නම්"


එදින ශීලා සරත්ට තුරුල් වූයේ මඳ වේලාවකට පෙර ඇයට දැනුන බිය තනිකම සිතේ දෝංකාර දෙමින් පැවතුන බැවිනි.

"සරත්?"

"හ්ම්ම්ම්"

"නිදි නෑ නේද?"
"සරත්, හවස ජොබ් එක නතර කරල දාන්න. අපි අර ඉස්සර හිටිය වගේ ඉමු"

සරත් කිසිත් නොදොඩාම ශීලා වටා අතක් දමා ගෙන දෙනෙත් පියා ගත්තේය.  


Monday, October 22, 2012

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 3 ( අවසාන කොටස )



පළමු හා දෙවන කොටස් කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.
සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීම

අද එතැන් සිට ලිපියේ තුන්වන (අවසාන ) කොටස....


දුම්පානය හා මත්පැන් භාවිතය

දුම්පානය


දුම්පානය යනු දැනට වලක්වා ගත හැකි ප‍්‍රධානතම රෝගී හා මරණ සඳහා බලපාන්නාවූ සාධකයකි. ලොව පුරා වසරකට මිනිසුන් හාරලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අඩු වයසින් දුම්පානයට සම්බන්ධ රෝගී තත්ව වලින් මියයයි. දුම් බොන්නන් අතර සියයට 40ක ප‍්‍රමාණයක් අඩු වයසින් මිය යයි. දියවැඩියාව හැරුණු කොට නහර කෙරෙහි බලපාන ප‍්‍රබලතම සාධකය දුම්පානයයි. එම නිසා දුම්පානය දියවැඩියාව නැත්තෙකුට පවා ඉතාමත් අයහපත් ලෙසට සෞඛ්‍යයට බලපායි. දියවැඩියා රෝගියෙකු දුම්පානය කරයි නම් එම අවදානම මහත්සේ දරුණු වන්නේය.



දුම්පානය නතර කිරීමෙන් පිළිකා සඳහා ඇති අවදානම අඩු කර ගත හැකිය. නමුත් දුම්පානය නතර කලද වසර 20 කට පසුව පවා පෙනහලු පිළිකා සඳහා අවදානම තව දුරටත් රැදී පවතී. එය එතරම් ම දරුණුය.


දුම්පානය නතර කිරීමෙන් හෘද රෝගයක් සඳහා බලපාන්නා වූ අවදානම ඉතා අඩු කරගත හැකිය.  මෙහිදී වැදගත් වනුයේ එම අවදානම් අඩු කිරීමේ වාසියෙන් 50‍ % ක්ම මුල් වසර දෙක තුල ලැබෙන නිසාය. වසර 15 ක් ඉක්ම ගිය පසු ඔබේ අවදානම දුම් නොබොන්නෙකුගේ මට්ටමට පහත බසී.

මේ උදාහරණ මඟින් දුම්පානය නතර කිරීමේ අත්‍යාවශ්‍යතාවය ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඇත.



මත්පැන් භාවිතය.


ලෝකයේ 30‍ % කට වඩා රිය අනතුරු සඳහා හේතුව මත්පැන් භාවිතයයි. එය වලක්වා ගත හැකි අවදානම් තත්ව අතර තුන්වන ස්ථානය ගනී. එයට ඉහලින් සිටින්නේ ඉහත සඳහන් දුම්පානය හා තරබාරු කම පමණි.



මෙම උදාහරණ දෙක මගින් පමණක්ම මත්පැන් හි අවදානම වටහා දීමට ප‍්‍රමාණවත් වන්නේය. මඳ වශයෙන් භාවිතය වරදක් නැති බවට සමාජ මතයක් පවතින අතර වැරදි මධ්‍යම ප‍්‍රචාරනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසාත් මත් ද‍්‍රව්‍ය කොහෙත්ම නිරෝගී පුද්ගලයකුටවත් නොගැලපෙන නිසාත් මත්පැන් භාවිතය නතර කිරීම සෞඛ්‍ය සම්පන්න බව මෙයින් අවධාරණය වන්නේය.




ශරීර ඉන්ද‍්‍රියයන් හා අවයවයන් පිළිබඳ සැලකිලිමත් වීම.


  • ප‍්‍රධාන වශයෙන් ඔබගේ වෛද්‍යවරයා ඔබට හෘදයාබාධයක් හෝ අංශභාගය වැනි නහර ආශ‍්‍රිත සංකූලතා ඇති වීමට ඇති හැකියාව පිරික්සනු ඇත .

  • මෙයට අමතරව වකුගඩු ක‍්‍රියාකාරීත්‍වය පිළිබඳව අවධානය යොමු කර පරීක්‍ෂණ කරනු ඇත .

  • අන්ධභාවයට හේතු කාරණා වැලකීමට අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු හට යොමු කොට ඒ ගැන අවධානයෙන් සිටිනු ඇත .

  • දෛනික දෙපය ආශ‍්‍රිත තුවාල වනවීම්  හා හිරි වැටීම් ආදිය මත අනතුරු වළක්වා ගැනීමට උපදෙස් දෙනු ඇත.




දෙපා ආරක්‍ෂා කර ගැනීම.


  • ඇගිලි කකුල් කැපීම දක්වා දිවෙන පාදයේ වනවීම් පිළිබඳව ඔබ හොඳින් අසා ඇත. එයට හේතුවන කාරණා කිහිපයකි  රුධිර නහර හීනි වීම මත රුධිර ගමනාගමනය අඩාල වීම එක් ප‍්‍රධාන කාරණයකි. ඊට අමතර ස්නායු ආශ‍්‍රිත කුඩා නහර හානියට පත් වීමෙන් දෙපා වලට දැනීම වේදනාව සංවේදනායහි මදකම නිසා ඉක්මනින් දෙපා ආශ‍්‍රිත තුවාල නොදැනීම සිදු වීම අනෙක් ප‍්‍රධාන කාරණයයි.

  • මේ නිසා දිනපතා රාත‍්‍රියේ නින්දට පෙර දෙපා හොඳින් සෝදා නියපොතු ඇඟිලි කරු ආශ‍්‍රිතව තුවාල රතුවීම් ඇත් දැයි පරීක්‍ෂා කර වෙනසක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

  • නියපොතු කොටටම කැපීමත් දිගට වැවීමත් සුදුසු නොවේ නියපොත්ත සම්පූර්ණයෙන් ඇඟිල්ලෙන් එළියට වැඩෙන්නට පෙර වැඩිපුර වැවෙන කොටස පමණක් නියමල් වලට හානි නොවන පරිදි කැපිය යුතුය. 

  • පාදවල සංවේදනා අඩු නම් පාවහන් පැළදීම අත්‍යාවශ්‍යය. එහිදී ඒවා බුරුල් හෝ තද නොවිය යුතු අතර දෙපයට ගැලපෙන ප‍්‍රමාණයේ හා ඇතුලත සුමුදු ආවරණයක් සහිත පාද හොඳින් ආවණය වන පාවහන් තෝරාගත යුතුය.




ඖෂධ භාවිතය.


ඉහත සදහන් භෞතික ක‍්‍රියාකාරකම් මගින් ඔබගේ රුධිරයේ සීනි ප‍්‍රමාණය පැහැදිලි ලෙසම පාලනය කර ගත හැකි වන්නේය.  නමුත් එම ක‍්‍රියාමාර්ග පිළිපදිමින් සිටින අතර වාරයේදී රුධිරයේ සීනි ප‍්‍රමාණය පාලනය සාමාන්‍ය නොවේ නම් ඔබට ඖෂධ නිර්දේශ කරනු ඇත. එය විවිධාකාර වන අතර ඒ ඒ ඖෂධ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු ඇත. සමහර විටෙක ඔබට එන්නත් කිරීම සඳහා ඉන්සියුලින් නිර්දේශ කරනු ඇත.  



ඖෂධ අතර වැඩිපුරම භාවිතා වන ඖෂධ අතර මෙට්ෆෝමින්, ග්ලිබෙන්ක්ලමයිඞ් වැනි ඖෂධ වේ.  ග්ලිබෙන්ක්ලමයිඞ් වැනි ඖෂධ මඟින් අග්නයාශයෙන් ඉන්සියුලින් ශ‍්‍රාවය උත්තේජනය කරයි. එහිදී ඖෂධ භාවිතයත් ආහාර ගැනීමත් සමතුලිතව සිදු කල යුතුය.  විටෙක ඔබ ආහාර නොගෙන ඖෂධ භාවිතා කළේ නම් ශරීරයේ සීනි මට්ටම ඉතා පහල අගයකට බැසීමෙන් සිහිසන් වී මාරාන්තික තත්වයන් පවා ඇතිවිය හැකිය. එම නිසා සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. සීනි මට්ටම පහල වැටීමේදී ඔබට දැඩි විඩාවක් බඩගින්නක් සිහින් වෙව්ලීමක් හෝ දහඩිය දැමීමක් වැනි තත්වයක් ඇති විය හැකිය. කෙටි වේලාවකින් ඔබව ක්ලාන්ත වී සිහිසුන් වනු ඇත. ඔබ කල යුත්තේ පැණි රස ඇති බීමක් හෝ ග්ලූකෝස් (හෝ සීනි)වැනි යමක් වහාම ආහාරයට ගැනීමය. අනතුරුව වහාම ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසිය යුතුය.



ඉන්සියුලින් එන්නත් භාවිතයේදී මෙය පිළිපැදිය යුතුය. ආහාරය සූදානම් කරගෙන එන්නත් විදීමෙන් පැය භාගයක් ඇතුලත ආහාර ගත යුතුය. එය ඔබ භාවිතා කරන ඉන්සියුලින් වර්ගය මත වෙනස් වනු ඇත. ඉන්සියුලින් ශිතකරණයක (දොරෙහි) අසුරා තැබිය යුතු වන අතර ඉන්සියුලින් භාවිතායේදී එවැන්නක් සිදු කිරීම අවශ්‍ය නොවේ. 



සායනික කටයුතු


  • ඔබගේ සැම පරීක්‍ෂණ වාර්තාවක්ම ෆයිල් කවරයක දින පිළිවෙලට තබා ආරක්‍ෂිතව තබා ගත යුතුය. රුධිරයේ සීනි මට්ටම නිතර පරීක්‍ෂා කර (මුත‍්‍රා හා සීනි පරීක්‍ෂා කිරීම වුවද කල හැක) දින පොතක සටහන් කර වෛද්‍යවරයාට පෙන්වන්න.

  • සායනයට මාස් පතා පැමිණීමේදී නිරාහාරව පැය 10-12 ක කාලයක් සිට කරන FBS හෝ ආහාරයට පැය 02 කට පසුව කරන PPBS පරීක්‍ෂණයක් කරගෙන පැමිණිය යුතුය.

  • ඔබට යම් රෝගයක් හෝ ප‍්‍රතිකාර පිළිබඳව ගැටළුවක්  ඇත්නම් නියමිත සායන දිනට හෝ පෙර දිනයක හෝ පැමිණ වෛද්‍යවරයා මුණ ගැසිය හැකිය. රෝහලේ නොමැති ඖෂධ පිටින් මිලදී ගැනීමට සිදුවන අතර ඒවා සියල්ල නිර්දේශිත පරිදි භාවිතා කල යුතුය.

  • මෙමගින් ඔබට සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ.





විශේෂිත අවස්ථා 


  • ඔබ රෝගී අවස්ථාවකදී ඔබගේ සිරුරට ඉන්සියුලින් අවශ්‍යතාවය වැඩි වන්නේය. සමහර විටෙක ඔබ ආහාර පාන හරි හැටි නොගන්නා බැවින් ඖෂධ භාවිතා නොකරන්නට ඉඩ ඇත. එය සුදුසු නැත. එම නිසා පෙර පරිදි ඖෂධ භාවිතා කර වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

  • ඔබ විවාහ වී දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන්නේ නම් එය කල් වේලා ඇතිව සැලසුම් කරගත යුතුය. ගැබ් ගැනීමට මාස 3 කට හෝ කාලයක සිට ඔබගේ රුධිර සීනි මට්ටම ප‍්‍රශස්ථ මට්ටමකට පාලනය කරගෙන තිබිය යුතුය. ඊට අමතරව ෆෝලික් ඇසිඞ් පෙති භාවිතයටද වෛද්‍යරයා උපදෙස් දෙනු ඇත. මෙමගින් නිරෝගිමත් දරුවෙක් පිළිසිඳගැනීමට මග සලසා ගත හැකිය. ඊට අමතරව ඖෂධ වෙනුවට ඉන්සියුලින් භාවිතා කිරීමට ඔබට උපදෙස් දෙනු ඇත. එම නිසා දරු පිළිසිඳ ගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් ඊට මාස 4-5 කට පෙර සිටම වෛද්‍යවරයාට ඒ බව දන්වා අදාල උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය වේ.

  • ගර්භනී කාලයේදී දියවැඩියා පාලනය සඳහා ඔබගේ කායික වෛද්‍යවරයා මෙන්ම නාරී හා ප‍්‍රසව වෛද්‍යවරයාද සහය වනු ඇත. එම කාලය තුල ඉතාමත්ම සැලකිලිමත්ව දියවැඩියාව පාලනය කර ගැනීමෙන් සංකූලතා වලින් තොර නිරෝගීමත් දරුවෙකු බිහිකර ගැනීමට ඔබට හැකිය.

  • දරු ප‍්‍රසූතියෙන් පසු දරුවාට මව්කිරි ලබා දිය හැකි අතර අදාල ඖෂධ පිළිබඳව වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.

  • නිරාහාරව සිටින්නේ නම් (රෝගී නොවු අවස්ථාවක) ඖෂධ භාවිතය මාත‍්‍රාවේ වෙනසක් සිදුවිය යුතුය. උදා :- මුස්ලිම් ආගමිකයන්ගේ නෝම්බි ආගමික වතාවත් වෙනුවෙන් ඔබගේ වෛද්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාකචිඡා කරගන්න.

 


දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකි අතර මේ සඳහා ඔබ දක්වන උනන්දුව හා කැපවීම මත සාර්ථකත්වය බෝහෝ දුරට තීරණය වේ!



ඉතා සීග්‍රයෙන් සමාජය ගිල ගන්න රෝගී තත්වයක් බැවින් අවදානමෙන් සිටින්න. කලකට ඉහත බොහෝ විට වයස් ගත අයට සීමා වී තිබූ දියවැඩියාව ( දෙවන වර්ගය - Type II ) අද කාලයේ තරුණ අවධියේ සිටම වැලඳුන අය දක්නට හැක. ඉතින් ප්‍රමාද වීමට ඉඩ නොතබා සෞඛ්‍යමත් ජීවන ක්‍රමයකට (Healthy Life Style) හුරුවී ප්‍රීතිමත් නිරෝගී දිගු ජීවිත කාලයකට උරුමකම් කියන්නෙකු වන්න!



Thursday, October 18, 2012

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීම



පළමු කොටස කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.
සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 1

අද එතැන් සිට ලිපියේ දෙවන කොටස....


දිවැඩියාව මෙතරම් දරුණු වන්නේ ඇයි?

එය වෙනත් රෝගී තත්වයන් සඳහා මග පාදනා ප‍්‍රධානතම හේතු කාරකයකි. මෙමඟින් රුධිරයේ තෙල් (කොලෙස්ටරොල්) ප‍්‍රමාණයද ඉහල නංවයි. එමඟින් රුධිර නහර වල වන්නාවු විපර්යාස සියළු රෝග කරා ම්‍ඟ සලසයි.

ඔබ දුම් පානය කරයි නම් ද ඔබට අධික රුධිර පීඩනය ද වේ නම් දියවැඩියාව සමඟ කොලෙස්ටරෝල් වැඩි වන ඔබ හෘදයාබාධයන් වැළදීම සඳහා ඉහලම සුදුසුකම ලබයි.  එනම් දියවැඩියාව තවත් රෝග රාශියකට කැඳවුම් කරු වේ. ස්ථුලභාවය හෙවත් තරබාරු බව දියවැඩියාව ඇති කිරීමට හේතුවන අතර දියවැඩියාව පාලනයට අපහසුතා ඇති කරයි.


ආහාර පාලනය

මෙහිදී අරමුණ සිරුරට ඔරොත්තු නොදෙන ග්ලූකෝස් මට්ටමක් ඇති කරන පිෂ්ඨමය හා සීනිමය ආහාර පාලනය කිරීම හා රුධිරයේ කොලෙස්ටරොල් මට්ටම පාලන කිරීමයි. ඒ සඳහා පහත සඳහන් රාමුව තුළ තමන් හට ගැලපෙන ආහාර වේල සකසා ගත යුතුය.

01 පැණි රස සහිත සියළුම ආහාර අත්හිටු වීම.

රුධිරයේ සීනි පාලනය ප‍්‍රශස්ථ මට්ටමක පවතින අවස්ථාවක පමණක් ආහාර වෛද්‍ය උපදෙස් මත ඔබට අනුභව කල හැකිය.
තේ පානයේදී සීනි වෙනුවට පැණිරස ආදේශක භාවිතා කිරීම වරදක් නොවේ.

02 සුදු පිටි වලින් සාදන ලද ආහාර සහ සුදු හාලේ බත් කෑම අවම කල 
        යුතුය.

ඔබට ගැලපෙන්නේ තද රතු නිවුඞ්ඩ සහිත සහල් වලින් හා සහල් පිටි වලින් තැනු ආහාරයි. එමගින් සිරුරට ආහාරයෙන් නිකුත් කරන සීනි ප‍්‍රමාණය අඩු අතර මනා ක‍්‍රමික පාලනයකින් යුතුය සිදු කෙරේ.
සුදු පැහැති පිටිමය හෝ බත් ආහාර අනුභව කරන්නේ නම් කුඩා ප‍්‍රමාණයක් එමෙන් දෙතුන් ගූණයක එළවළු ප‍්‍රමාණයක් සමඟ අනුභවය අනුමත කල හැකිය.

03     අධික ආහාර ප‍්‍රමාණයක් එකවර ගැනීමෙන් වලකිමු.

එකවර අධික ආහාර ප‍්‍රමාණයක් නොගෙන ප‍්‍රධාන ආහාර 3 වෙනුවට කුඩා ආහාර වේල් 6 ක් ගැනීම යහපත්ය  එමගින් සිරුරට දරාගත නොහැකි සීනි මට්ටමක් එකවර ලබා දීම වැළකීමෙන් මනා රුධිර සීනි පාලනයක් ඇති කල හැකිය.



උදා :-

  • උදේට රතු ඉදි ආප්ප සමඟ පොල් සම්බෝල හෝ එළවළුවක්.
  • උදේ 10 ට පමණ ඇඹුල් කෙසෙල් ගෙඩියක් සමග ක‍්‍රීම් කැකර්            බිස්කට් 01 ක්.
  • දවල්ට රතු හාලේ බත් කෝප්ප සමග එළවළු.
  • සවසට සාමාන්‍ය ගස්ලබු ගෙඩියකින් 1/4 
  • රාත‍්‍රියට ක‍්‍රීම් කැකර් බිස්කට් 2 ක් කිරි කෝප්පයක්



04    ධාන්‍ය වර්ග වැඩිපුර

පොතු පිටින් තම්බා කන ධාන්‍ය වර්ග (මෑ කව්පි කඩල මුං ඇට) පැය 12ක - 24ක කාලයක් පෙගෙන්නට දමා හෝ උදය හෝ රාත‍්‍රී ආහාර වේලට පරිසියක තරම් ප‍්‍රමාණයක් ගැනීම ඉතා හොඳය. මෙහිදී පොල් ස්වල්පයක් එක් කලාට කමක් නැත.


05 ඔබ පිටි වලින් තනත ලද කෑම වලට වැඩි රුචියක් දක්වයි නම් රතු සහල් පිටි (කුරක්කන් පිටි ස්වල්පයක් එකතු කර ගන්නේ නම් වඩාත් හොඳය) යොදා ගනිමින් ඉදිආප්ප ආප්ප පිට්ටු රොටී වැනි  ඕනෑම ආහාරයක් සකස් කර ගත හැකිය.


06 සත්ව ආහාර අතර කිරි සහ කිරි ආශ‍්‍රිතව නිපදවන්නා ලද ආහාර (බටර්, ගිතෙල්, චීස්, මුදවන ලද කිරි සහ යෝගට්) සීමා සහිතව ගත යුතුය. හැකි සෑම විටකම මේදය රහිත කිරි ආහාරයට යොදා ගැනීම වැදගත්ය.

07 බිත්තර කහ මදයෙහි මේදය ප‍්‍රමාණය ඉහල බැවින් සතියකට උපරිමය දෙකකට වඩා ආහාරයට එක්කර නොගත යුතුය. බිත්තර සුදු මදය පමණක් නම් අවශ්‍ය පරිදි ආහාරයට ගත හැකිය.

08 මස් මාංශ පරිභෝජනය අවම කල යුතු වේ. සුදු මස් (කුකුල් මස්) සමහර තෙල් කොටස් ඉවත් කර ආහාරයට ගත්තාට වරදක් නැත. ගව මස් ඌරු මස් ආදිය සුදුසු නොවේ.

09 මුහුදු ආහාර අතර දැල්ලෝ කකුළුවෝ වැනි ආහාර මේදය අධික බැවින් යෝග්‍ය නොවේ. මාළු විශේෂයෙන් සුදු පැහැති මාළු ආහාරයට එක්කර ගැනීම අහිතකර නොවේ.  සැමන් සහ එහි අඩංගු තෙල් ශරීරයට යෝග්‍ය වේ.

10 පැණි රස නැති පළතුරු අසීමිතිව ආහාරයට ගත හැකිය. පැණි රස සහිත පළතුරු තරමක් ඉදුණු අවස්ථාවේදී සීමා සහිතව ආහාරයට ගත හැක.

උදා:- බාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි 2 ක්.
                 සාමාන්‍ය ගස්ලබු ගෙඩියකින් හතරෙන් කොටසක්.

11 පිෂ්ඨය අඩු එළවළු අසීමිතව ආහාරයට ගත හැක. 

උදා :-

(වැටකොලූ, පතෝල, බෝංචි, ගෝවා, පලා වර්ග) පැණි රස සහිත කැරට්,  සහ වට්ටක්කා වැනි පැණි රස සහිත එළවළු වර්ග ව්‍යාංජනයක් හැටියට ආහාර වේලට එකතු කර ගැනීම අහිතකර නොවේ. පිෂ්ඨය අධික යැයි සැලකෙන අර්තාපල් වැනි අල වර්ගද සීමා සහිතව අනුභව කල හැක.
තවද කොස් දෙල් මඤ්ඤොක්කා බතල වැනි ආහාර ඔබට තහනම් නැත. ඉදුනු පළතුරු මෙන් සීමා සහිතව ආහාරයට ගත හැක. එයට හේතුව මේවායේ සීනි හා පිෂ්ඨයට අමතරව අධික වශයෙන් ආහාර කෙඳි හෙවත් තන්තු අඩංගු නිසා රුධිරයට අවශෝෂණය ඉතා සෙමෙන් සිදු වන නිසාය.
එනම් ආහාරයට වැඩිපුර එළවළු එකතු කරගත යුත්තේ මේ නිසාමය.

12 ඔබගේ දියවැඩියාව පාලනය ඉතාමත් හොඳ නම් සමහරක් පැණි රස ආහාර ඉතා සුථ වශයෙන් වුවද ඉඳහිට ආහාරයට ගැනීමට ඔබගේ වෛද්‍යවරයා අවසර දෙනු ඇත. එ සඳහා මනා රෝග පාලනයක් ඇති කරගත් පසුව සූක්‍ෂමව කර ගත යුත්තකි. මෙය තීරණය කරනුයේ ඔබගේ රෝග පාලනය තත්වය මත ඔබගේ වෛද්‍යවරයා විසිනි.



සාරාංශයක් වශයෙන් පිටි අධික ආහාර හා සුදු පැහැති බත් හා පැණි රස සුදුසු නොවේ. රතු කැකුළු හාලේ බත් (හෝ නාඩු හාල්) සමඟ පළතුරු සහ එළවළු යහමින් ආහාරයට එක් කර ගත යුතු අතර ධාන්‍ය වර්ගද යෝග්‍ය වේ සත්ව ආහාර සීමා කළ යුතු අතර මුහුදු මාළු අහිතකර නොවේ.



ශරීරයේ බර පාලනය

ඔබගේ උසට සරිලන බරක් නඩත්තු කළ යුතුය. තරබාරු බව දියවැඩියා පාලනයට හිතකර නොවේ. අහිතකර දියවැඩියා පාලනය බර අඩු වීමට හේතු වේ. BMI අගය 23 ට අඩුව තබා ගැනීම යහපත්ය. උදරයේ වට ප‍්‍රමාණයද පාලනය කල යුතුය. පිරිමියෙකු සඳහා උපරිමය 90 cm ද ගැහැණියක සඳහා 85 cm ද උපරිමය විය යුතුය. 


බර පාලනය කල හැක්කේ දෙයාකාරයකිනි.


01 අධික බර ව්‍යායාම මඟින් සිරුරේ වැඩිපුර මේදය දහනය කර අඩු 
        කර ගත යුතුය.

02 ආහාර පාලනයෙන් බර වැඩි වීම පාලනයත් අඩු කර ගත් බර නැවත   
        වැය වීමත් පාලනය කරගත යුතුය.

03 ව්‍යායාම.


  • නිර්දේශ කල හැකි හොඳම ව්‍යායාමය නම් දිනකට විනාඩි 30-60 ත් අතර කාලයක් එක දිගට වේගයෙන් ඇවිදීමය. මෙය අවම සතියකට දින 5 ක් වත් කල යුතුය.

  • ව්‍යායාම දෛනික ජීවිතයේ අංගයක් කර ගැනීම සාර්ථක ක‍්‍රමයකි. වැඩ ඇරී ගෙදර එනවිට නිවසට විනාඩි 45 ක දුරක් ඈතින් වාහනයෙන් බැස ඉතිරි කොටස ඇවිදගෙන ගෙදර ඒම ඉතාමත්ම සාර්ථක ක‍්‍රමයකි.

  • ඔබ වාහනයකින් ගමන් බිමන් යන්නේ නම් සුදුසු පිළිවෙළක් ඒ සඳහා යොදා ගත යුතුය.

  • අතපය සැහැල්ලූවෙන් චලනය කරන  ඕනෑම ව්‍යායාමයක් සුදුසුය.  උදා:- බැඞ්මින්ටන් ගැසීම, පිහිණීම, දිවීම නැටීම.


ලිපිය දීර්ග වැඩි වන නිසා කොටස් තුනකින් අවසන් කිරීමට තීරණය කලා. ඉතින් මේ හා සම්බන්ධ ඖෂධ භාවිතය, සායනික කටයුතු හා තවත් වැදගත් තොරතුරු රැසක් සමඟින් ඊලඟ කොටසින් හමු වෙමු.


තුන්වෙනි ( අවසාන ) කොටසට....

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 3 ( අවසාන කොටස )



Wednesday, October 10, 2012

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක්




(එක්සත් ජාතීන්ගේ දියවැඩියාව සඳහා වූ "නිල් වක්‍ර" සලකුණ)

මීට කලින් ගිලන් හදවතට අත් වැලක් ලිපියේ  සඳහන් කෙරුණු ආකරයටම නිර්මාණය කෙරුණු පොත් පිංචක් ඇසුරෙන් මීලඟට කොටස් දෙකක ලිපියක් ලෙස "සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක්"  මඟින් සෑම දෙනෙක්ට වැදගත් වන දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ.

ඔබට මෙම රෝගය අද නොමැති වෙන්න පුලුවන්, තිබෙන මුත් නොදන්නවා වෙන්න පුලුවන්, කෙසේ වුවත් සෑම කෙනෙක්ටම මෙය වැලඳීමේ අවදානමක් තිබෙනව හරි හැටි ප්‍රවෙශම් නොවුනොත්. 


සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - දියවැඩියාව (Diabetes Mellitus)



01 දියවැඩියාව යනු කවරේද? 


  • ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිර සීනි ප‍්‍රමාණය යම්කිසි සාමාන්‍ය පරාසයක් තුළ පාලනයකින් යුතුව පවතී. 

  • මෙසේ පවතින රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල අගයක පැවතීම දියවැඩියා ව නම් රෝගී තත්වයයි.




02 ඔබගේ සාමාන්‍ය රුධිර සීනි  මට්ටම කුමක්ද?


  • සාමාන්‍යයෙන් පැය 08 සිට 12 දක්වා කාලයක් නිරාහාරව සිටි අයෙකුගේ රුධිරයේ සීනි මට්ටම ^FBS& 110mg/dl  සිට 181 mg/dl  ට අඩු අගයක පවතී. මෙය 126 mg/dl  සිට 181 mg/dl  දක්වා ඉහල යාම පූර්ව දියවැඩියා තත්වයකි. ඔවුන් ඉදිරි කාලයකදී පූර්ණ දියවැඩියා රෝගීන් බවට පත්වීමට වැඩි ඉඩකඩක් පවතී. මෙය 126 mg/dlක සිට 181 mg/dlක ට වැඩි  වීම දියවැඩියා රෝගී තත්වයකි.
  • යමෙකු තමන්ගේ සුපුරුදු සමබර ආහාර වේලක් අනුභව කර පැය දෙකකින් රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂා කලේ නම් (PPBS) එය සාමාන්‍යයෙන් 140 mg/dl  සිට 181 mg/dl  ට අඩු මට්ටමක පවතී  එය 199 mg/dl  සිට 181 mg/dlක දක්වා වැඩි වීම පූර්ව දියවැඩියා තත්වයකිx එය 200 mg/dl  සිට 181 mg/dl ට වැඩි වීම දියවැඩියාවයි.




03 ඔබට දියවැඩියාව වැළඳුනේ කෙසේද?


  • දියවැඩියාව වැළඳීමට හේතු කාරණා රැුසක් පවතී. කුඩා අවධියේ දී වැළදෙන දියවැඩියාව (Type I) අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝර්මෝන නිපදවීමේදී ඌනතාවය මත හට ගන්නා අතර වැඩිහිටි වයසේ දී සෑදෙන දියවැඩියාව (Type II) බොහෝ විට ඉන්සියුලින් හෝර්මෝනයේ ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රතිරෝධී බව නිසා හට ගනී  මෙයට බොහෝ විට ආරය බලපායි.
  • මෙයට අමතරව කරුණු කාරනා හා තත්වයන් රැුසකට ද්විතීයිකව දියවැඩියාව සෑදිය හැකිය.  ඔබට වැළදී ඇත්තේ කුමන ආකාරයේ තත්වයක් ද බව ඔබගේ වෛද්‍යවරයා ඔබට පවසනු ඇත.




04 මේ වැළදී ඇති දියවැඩියා රෝගී තත්වය සුව වන්නේ කවදාද?


  • දියවැඩියා යනු සුව කළ නොහැකියි. නමුත් මනා ලෙස පාලනය කළ හැකි රෝගී තත්වයකි.
  • නමුත් කලාතුරකින් සමහර විශේෂිත අවස්ථා වල දී ඇතිවන දියවැඩියා තත්වය ( උදා :- ගර්භනී අවධියේ දී ) නැවත සුව විය හැකි නමුත් ඔවුන්ට පසු කලකදී දියවැඩියාව වැළදීමට වැඩි ඉඩකඩක් පවතී.


එසේ නම්

ඔබට මින් ඉදිරියට කළ හැක්කේ රෝගය පාලනය කිරීම පමණකි. වෛද්‍ය උපදෙස් මත ක‍්‍රියා කිරීමෙන් එය ඉතාමත් ප‍්‍රශස්ථ මට්ටමකින් සිදු කළ හැක.


05 දියවැඩියාවේ රෝගී ලක්‍ෂණ මොනවාද?

දියවැඩියාවට රෝගී ලක්‍ෂණ නොමැත. එනම් එදිනෙදා සාමාන්‍ය පරිදි ජීවත්වන අයෙකුට ඔහු නොදැනුවත්වම දියවැඩියාව තිබෙනවා වුවද විය හැකිය. නමුත් එහි කෙටි කාලීන හා දිගු කාලීන සංකූලතාවයන් මත යම් කිසි රෝගී ලක්‍ෂණ ඇති විය හැක.

උදා :-


කෙටි කාලීන සංකූලතා



  • දැඩි පිපාසය හා මුත‍්‍රා අධික ලෙස පිටවීම. ( විශේෂයෙන් රාත‍්‍රීයේදී) 
  • පිරිමින්ගේ මුත‍්‍ර මාර්ගය ආශ‍්‍රිතව ඇතිවන ආසාදන හා වන වීම්.
  • ගැහැණුන්ගේ යෝනි මාර්ග ආසාදන (සුද යෑම) 
  • ශරීරයේ බර වෙනස් වීම.                      


දිගු කාලීන සංකුලතාවයන් 

උදා :-


  • හෘදයාබාධ.
  • අංශභාගය.
  • ශරීරයේ කොටසක් අප‍්‍රාණික වීම.
  • අන්ධ භාවය හෝ දෘෂ්‍යාබාධ.
  • පාදයේ වනවීම්.
  • වකුගඩු ක‍්‍රියාකාරිත්වය අකර්මන්‍ය වීම.
  • අතපයේ හිරි වැටීම්.



06 රෝගී ලක්‍ෂණ ඇත්නම් කුමක් කළ යුතුද?


ඔබ වයස අවුරුදු 35 ට වැඩි නම් රුධිර සීනි පරීක්‍ෂාවක් කර ගැනීම  
මැනවි.

x ඔබගේ කිට්ටු ඥාතීන්හට දියවැඩියාව වැළදී ඇත්නම්.
x ඔබ පූර්ව දියවැඩියා රෝගී තත්වයෙන් පෙළේ නම්
x ඔබ තරබාරු අයෙක් නම්.

           ඉහත රෝග ලක්‍ෂණ වේ නම් රුධිරයේ සීනි මට්ටම වෛද්‍ය    
           උපදෙස්  මත පරීක්‍ෂා කරගත යුතුය.

07 දියවැඩියාව පාලනය කළ යුත්තේ ඇයි ?

රුධිරයේ අධික සීනි මට්ටම වකුගඩු මත බලපෑම නිසා මුත‍්‍රා වැඩි පුර පිට වීමත් එම නිසා දැඩි පිපාසයක් දැනීමත් සිදු වේ. මෙයට අමතරව ඔබ ප‍්‍රතිකාර ගත්තත් නොගත්තත් සමහර විට ඔබට ගැටථවකින් තොරව යම් කාලයක් ජීවත් වීමේ හැකියාවක් පවතී.  
නමුත් මෙම කාලය දැඩි කුණාටුවකට පෙර පවතින දැඩි නිහැඩියාවක් තරමට භයානකය. ඒ ඔබට නොදැනීම දියවැඩියා රෝගී තත්වය නිසා දිනෙන් දින ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඔබගේ ශරීරයේ සෑම අවයවයක්ම විනාශය කරා ලගා කරමින්  පවතී. එනම් නිහඩව කාලයා විසින් ඔබ මරා දැමීමට ^ Silent Killer දියවැඩියා රෝගය ක‍්‍රියා කරනු ඇත. අනතුරුව සංකූලතා මතු වී එමගින් ඔබට දැඩි සෞඛ්‍ය අපහසුතා හා මාරාන්තික රෝගී තත්වයන් උදා කරනු ඇත.

උදා :-

හෘදය හා නහර   -  හෘදයාභාධ පාදයේ නහර හීනි වී රුධිර ගමනා ගමනය මද වී කකුල් කැපීමට පවා සිදු විය හැක.

ස්නායු - අංශභාග තත්ව ස්නායු දුර්වලතා ලිංගික අප‍්‍රාණික තත්වය අතපයේ හිරිවැටීම් හා වේදනා පාද අහිමි වීම දක්වා දිවයෑම.

වකුගඩු -  වකුගඩු අකර්මන්‍ය වී බද්ද කිරීමක් දක්වා දිවයෑමේ හැකියාව.


08 එසේනම් මේවා වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක් ද?


        1 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න.

තවදුරටත්
        2 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න.

ඉවසීමෙන් හා සිහියෙන්
        3 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිිදි පිළිපදින්න.
එනම් කළ හැකි එකම දේ නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීම පමණකි.


09 ඒ කියන්නේ දියවැඩියා රෝගියෙකුට සාමාන්‍ය කෙනෙකුට මෙන් ජීවත් වීමේ හැකියාවක් නැත්ද?

අනිවාර්යෙන්ම පුළුවන්. 

බාල අවඩියේදී වැළදෙන රෝගියෙකු එදිනෙදා රෝග පාලනයක් කර ගත්තේ නම් ආචාර්ය මහාචාර්ය්‍ය වරයෙකු දක්වා ඉගෙන ගත හැක.  ඕනෑම ඉහල නිලයක් දක්වා ගමන් කළ හැක.  විවාහ වී දරු මල්ලන් ලබා ප‍්‍රීතිමත් යුග දිවියක් ගත කළ හැක.


නමුත් ඒ සඳහා
එක් අවශ්‍යතායක් පවතී  රෝගය පිළිබඳ එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කොට මනා පාලනයක් කර ගැනීමයි. එයට ඔබගේ වෛද්‍යවරයා අඛණ්ඩව සහය වනු ඇත .

10 කලයුතු හා කල නොකල යුතු දෑ කවරේද?

පළමුව ඔබ රෝගය හා එහි චර්යාව හොඳින් හඳුනා ගත යුතුය. සාමාන්‍ය අයෙකු පිෂ්ඨය හා සීනිමය ආහාරයක් අනුභව කල විට රුධිරයේ සීනි මට්ටම ඉහල අගයකට පත් වන අතර ශරීරය ඒ අනුව ක්‍ෂණිකව ක‍්‍රියාකර ඉන්සියුලින් ක‍්‍රියාකාරීත්වය විසින් එම ඉහල සීනි මට්ටම සැනෙන් සාමාන්‍ය මට්ටම දක්වා අඩු කර පාලනය කර තබා ගනී.

දියවැඩියාව සහිත ඔබගේ මෙම ඉන්සියුලින් ක‍්‍රියාකාරීත්වය සාමාන්‍ය නොවන නිසා එවන් පාලනයක් බලාපොරොත්තු විය නොහැක.  එනිසා භෞතික ක‍්‍රම හා ඖෂධ ක‍්‍රම මගින් අප විසින් පාලනයක් ඇති කර ගත යුතු වේ.

නමුත් මෙය ස්වභාවික පාලනය තරම්ම පහසු හා කාර්යක්‍ෂම නොවේ. එනම් ඔබගේ රෝගී තත්වය එයය. එම නිසා ශරීරයට පාලනය කරගත නොහැකි සීනි මට්ටමක් (ග්ලූකෝස්) අප ලබා නොදිය යුතුය.

මෙහිදී මතක තබා ගන්න. වෛද්‍යවරයා ඔබට මාර්ගෝපදේශකයෙක් පමණි  උපදෙස් පිළිපදිම්න් රෝග පාලනය කර ගැනීම මා විසින් ම කල යුත්තකි. එය පහත ආකාර වලින් කල හැකිය.



භෞතික ක‍්‍රමවේදයන්.

01 ආහාර පාලනය කොලෙස්ටරෝල් සීනි පාලනය.

01 ශරීර බර පාලනය.

02 ශරීර ව්‍යායාම.

03 දුම්පානය නතර කිරීම හා සුරාපානය පාලනය.

04 ශරීර අවයව හා කොටස් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම. 
        උදාඃ පාද නඩත්තු කිරීම.


ඖෂධ භාවිතය.

01 වෛද්‍යවරයා නියම කරන ඖෂධ නියමිත මාත‍්‍රාව නියමිත වාර ගණනක් භාවිතා කල යුතුය.

02 වරින් වර සිදු කරන රුධිර හා මුත‍්‍රා පරීක්‍ෂණ හා අනෙකුත් විශේෂ පරීක්‍ෂණ නිසි පරිදි සිදු කරගත යුතුය.



දියවැඩියාව මෙතරම් දරුණු වන්නේ ඇයි
මෙයට පිලිතුරත් සහිතව ලිපියේ ඉතිරි කොටසින් හමුවෙමු

Wednesday, October 3, 2012

වෙස් මුහුණු (Fake Profiles)



එක්තරා හවසක... මූණු පොතේ මිතුරු සංවාදයේ...

ගයන්ත : තෑන්ක්යූ හොඳේ මාව ඇඩ් කර ගත්තට

නිශාන්ති : හ්ම්ම් හොඳ කෙනෙක් කියල හිතුනා.

ගයන්ත : :) ඒක නෙවේ හිම කිරිල්ලිගෙ හැබෑ නම කියන්නකෝ

නිශාන්ති : පිස්සු කොල්ලට නම මොකටද! :p එහෙනම් ඔයාගේ නම කියන්න.

ගයන්ත : මම ගයාන්

නිශාන්ති : මම නිශා
.......
....
..

 ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

ඊට නුදුරු දිනයක රෑ 1 ට විතර

ගයන්ත : ඔයා පාඩම් කරල ඉවරද සුදූ?

නිශාන්ති : ඔව් අයියා නිදිමතයි

ගයන්ත : මොනවද අනේ චුට්ටක් වෙලා කතා කරමුකෝ.. අද දවසටම චැට් කරන්න බැරි උනා.

නිශාන්ති : හ්ම්ම් ඉතිං කියන්න

ගයන්ත : ඔයා කැමතිම පාට මොකක්ද?

නිශාන්ති : :) ඔයත් අහන දේවල්, හා එහෙනම් ඔයාම කියන්න බලන්න!

ගයන්ත : රෝස?
.......
....
..

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

තවත් දින කීපයකට පසු... උදේ පාන්දරම...


ගයන්ත : ගුඩ් මෝනින් නිශා පැටියෝ...!

නිශාන්ති : ගුඩ් මොනින් ගයාන් අයියේ :)

ගයන්ත : මේ මම පොඩි බඩ්ඩක් අහන්නම් තරහ වෙන්නෙ බෑ ඔන්න.

නිශාන්ති : හ්ම්ම් අහන්නකො බලන්න O.o

ගයන්ත : මට ඔයාව බලන්න ආසයි

නිශාන්ති : අපෝ බෑ :o

ගයන්ත : ඔයා ගම්පහ නෙද ක්ලාස් යන්නේ. මම එන්නද?

නිශාන්ති : ඉතිං කොහොමද මාව හොයා ගන්නෙ?

ගයන්ත : ඉතිං නම්බර් එක දෙන්නකෝ

නිශාන්ති : හොරා :) කපටිකමෙන් නම්බර් එක ගන්න නේද! බෑ අනේ අපේ අම්මා ඒක හැමතිස්සෙම චෙක් කරනවා.

ගයන්ත : :( හ්ම්ම් එහෙනම් ඔයා ---- නෙට් කැෆේ එකේ 5 වෙනි බොක්ස් එකේ ඉන්න.

නිශාන්ති : බලමුකො

ගයන්ත :  එහෙනම් ඔන්න හරි නේද? :) අද හවස 4ට! :)

නිශාන්ති : :)

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

එදින සවස...

ජැන්ඩියට හැඳ පැලඳ ගත් ගයන්ත ලොකු වැයින් චොකලට් එකක්ද ගෙන ---- නෙට් කැෆේ හලට ගොඩ වෙයි.
බලාපොරොත්තු ඉතීරී යන සිතින් යුතුව අංක 4 ගැසූ දොර ලෑල්ල අසල මදක් ලත වී දොරට තට්ටු කරයි.

"ගයාන් අයියාද?"

ඉතා සුපුරුදු හඬකි. 
දොරා කඩා ගෙන මෙන් ගයන්ත ඇතුලට එබෙයි.

"තමුසේ මොකද මෙතන කරන්නේ?"

එතුල වූ තරුණියට තරු පෙනේ.
"ඔයාද එතකොට ගයාන් කියල චැට් කලේ!"

එය අසුනු ගයන්තටද තරු පෙනේ.

"වරෙන් යන්න ගෙදර, ආයෙ එහෙම තමුසෙ ෆේස්බුක් පැත්තෙ ගිහින් තිබ්බොත් බලා ගත්ත හැකි"

බෙරි කර ගත් මුහුණු වලින් යුතුව මෝටර් සයිකලයට නැඟී අයිය නගෝ ගෙදර යන්න පිටත් විය.


(නිමි )



~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

මේ කතාව දන්න ඇත්තෝ සිටිය හැක, කලකට පෙර ඇස ගැටුණු ඉන්දීය කෙටි චිත්‍රපටයක් සිහි වී එය මඳක් වෙනස් කර ලියන ලද්දකි. 
සයිබර් ලෝකය යනු අකරතැබ්බයන්ගේ තෝතැන්නකි. සිහි බුද්ධියෙන් ඒ හා කටයුතු කරන්න.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

මෙන්න මේක තමා ඒ කෙටි චිත්‍රපටය. කැමති අය බලන්න