Saturday, June 23, 2012

ඉගෙනීම රසවත් කරගමු! - 2 (නිදිමත පරදවමු)


 

සාර්ථක නිවරැදි ආරම්භයක් (ඉගෙනීම රසවත් කරගමු! - 1) අරගෙන පාඩම් කරගෙන යනකොට ඔන්න ඕකට හරස් වෙන්න එන හතුරෝ ඉන්නවනෙ නේද? ඔය හතුරු හමුදාවෙ ප්‍රමුඛයෙක් තමයි 'නිදිමත'. මහන්සි වෙලා පාඩම් කරන, කරපු ඕනෑම කෙනෙක් හොඳ හැටි දන්නවනෙ ඔය හතුරගෙ තරම.


පොත අතට අරන් පිටුවක් කියවන්න හම්බවෙන්නෙ නැහැ අහලකවත් හිටියෙ නැති නිදිමතක් අපිව හොයාගෙන එනව.


ඉතිං අපිත් ඇස් ලොකු කරගෙන, නලල දෙපැත්ත අතින් තද කරගෙන ලොකු උත්සාහයක් ගන්නවා කොහොම හරි පාඩම් කරගෙන යන්න. අහල පහල වතුර වීදුරුවක් තිබුනොත් එකෙනුත් ටිකක් බීල මූනෙත් වතුර ටිකක් ගාගෙන බලනවා. ඔන්න ඔහොම පැයක් විතර නිදිමතත් එක්ක යුද්ද කරනව. අන්තිමට කරපු පාඩමකුත් නෑ, නින්ද අපිව යටත් කරගෙන, හෙමින් සැරේ අපිටත් හොරාම ඇස් පිය වෙනවා, ඔලුව ටිකකින් පොත උඩ.


නිදිමතට එකම සාර්ථක පිලියම කෙටි නින්දක් වෙන අවස්ථාවලුත් තියෙනව. නමුත් ඇත්තටම අපිට ඒ කෙටි නින්ද අවශ්‍යයමද කියන එක තීරණය කරන්න ඕනෙ.  ඇඟපතත් දුබල වෙලා හිසරදයකුත් එනවා නම්, ඇස් ඇරගෙන ඉන්න බැරි තරමට නිදිමත දැනෙනවා නම් කෙටි නින්දකට ගියාට වරදක් නෑ.


මොකද ඒ කෙටි නින්ද නිසා ඔබ අකාර්‍යයක්ෂමව පාඩම් කරන්න ඳඟලල පැය ගනනාවක් නාස්ති කර ගැනීම වලක්වා ගනීවි.


හැබැයි ඉතිං කෙටි නින්දක් කියන්නෙ කෙටි නින්දක් මිසක් පැය ගනන් නිදියන එකට නෙවේ. මේ කෙටි නින්දට මිනිත්තු 30ක් හොඳටෝම ඇති. ඉතිං එලාම් එක තියා ගෙන හරි ළඟ පාත ඉන්න කෙනෙක් දැනුවත් කර තියල හරි කෙටි වේලාවකින් අවදි වෙන්න වග බලා ගන්න ඕනෙ.


මේ දුර්ලභ අවස්තාව හැරුනහම අනෙක් බොහෝ වෙලා වලට එන නිදිමත අපිට යටපත් කරන්න පුලුවන්.


දැන් අපි බලමු නිදිමත ජය අරගෙන පාඩම් කටයුතු වල උද්යෝගය දිගටම පවත්වා ගෙන යන්න පුලුවන් ක්‍රමෝපායන් ටිකක්.
නිදිමත එන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපිට පාඩම් කරන්න උවමනාවක්, ආසාවක්, උද්යෝගයක් නැති කම.
ඒ නිසා අපි මුලින්ම පාඩම් කරන්නේ මොන ඉලක්කයක් කරා  යන්නද කියන දේ ගැන හොඳ වැටහීමක් අරගෙන පාඩම් කිරීමට වටිනාකමක් දෙන්න ඕනෑ.


මම කියන්නම් උදාහරණයක්, ඔබ උසස් පෙලට සූදානම් වන අයෙක් නම් ප්‍රධාන ඉලක්කය ළඟ එන විභාගයනෙ. හිතන්න අද ඔබ මේ පාඩම් කරන විශයය කරුණෙන් සම්පූර්ණ රචනා ගැටලුවක් ඔබට විභාගයේදි ලැබෙන්න පුලුවන් නේද කියල.


ඒ එක්කම හිතන්න ඒ ගැටලුව මොන වගේ එකක් වෙන්න් පුලුවන්ද කියල,


හිතන්න දැන් ඔබට තියන දැනුමෙන් ඒ ගටලුවට පිලිතුරු සපයන්න පුලුවන්ද කියල.


ඔන්න ටිකක් පපුවේ ගැස්ම වැඩි උනා නේද? ඔන්න නිදිමත පසු බසිනවා. දැන් ඔබ සිතන්නෙ නිදිමත ගැන නෙවෙයි "හැබෑටම මෙහෙම ගැටලුවක් ආවොත් ගොඩ යන්නෙ කොහොමද කියල" ඉතිං බලන්න ගත්ත විශය කොටස එක හුස්මට කියවල දැම්ම හැකි නේද? නිකම්ම නෙවෙයි ගලේ කෙටුව වගේ මතකත් හිටිනව. මොකක්ද රහස? ඔබ කරන්නම් වාලේ පාඩම් කලා නෙවෙයි විශයය කරුණ අවබෝධ කර ගන්න උවමනාව ඇතිව පාඩම් කල නිසා.


ඔතනදි ඔයාලට නොදැනීම හතුරෙකු ලවා හතුරෙකුට පහර දෙන්න සැලැස්වීම තමයි සිදු කලේ. ඒ විභාගය සිහි වීමෙන් මතු වුන ආතතිය (Stress) නිදිමත යටපත් කල එක.


තේරුනාද! බුද්ධිමත්ව හිතුවොත් හතුරෙක් උනත් මිතුරෙක් කර ගන්න පුලුවන් කියල.


ඊළඟට බලමු තවත් ක්‍රමයක්.

ඒ තමයි කෙටි සටහන් ලිවීම. පසුවට ඉක්මණින් විශය කරුණු සම්පූර්න කිරීමට සහ විභාගය ආසන්න වූ විට පාවිච්චියට ගන්නනෙ අපි ගොඩක් වේලාවට කෙටි සටහන් හදන්නේ.


පාඩම් කරගෙන යනකොට නිදිමත එන බව තේරුණ ගමන් ඒ විශයය කරුණට අදාලව කෙටි සටහනක් හදන්න පටන් ගන්න. හැබැයි මේ වැඩේ ලස්සනට කෙරෙන්න ඕනෙ. වෙලා යනව කියල නොසිතා, පාට පෑන් දෙකක් තුනක් හොයා ගෙන ලස්සනට මාතෘකා ලියල, අවශ්‍යය යැයි හිතෙන විදිහට රූප සටහන් ඇඳල සටහන් ලියා ගෙන යන්න ඕනෑ. තමන්ට පුලුවන් උපරිමයෙන් අත් අකුරු ලස්සනට ලියන්න උත්සාහ ගන්න. ටිකක් ලියාගෙන යද්දි ඔබටම එය දකින විට ආසා හිතෙනවා.


මේ වෙනකොට නිදිමත ඔබට පැරදිලා. ඒ වගේම වටින අතුරු ප්‍රතිලාභ ටිකකුත් ලැබිල.  එකක් ඔබ අත් අකුරු උවමනාවෙන් ලියන්න හුරු වීම, පිළිවෙලට ලස්සනට යමක් කිරීමේ තෘප්තිය ලබන්න ඇබ්බැහි වීම, විභාගෙ ලන් උනහම හිතේ සතුටින් බලන්න පුලුවන් ලස්සන කෙටි සටහන් ටිකක් පිලියෙල වීම.


සතුරෙක් එක්ක සටනට යන්න ආයුදයක් දෙකක් තිබ්බට මදිනෙ නේද?


අපි බලමු තවත් ක්‍රමයක්.


ඒ තමයි පරණ ප්‍රශ්ණ පත්‍ර!
නිදිමත එන වෙලාවට එහෙම නැත්නම් එකම විශය කරුණ බොහෝ වෙලාවක් අධ්‍යයනය කිරීම නිසා වෙහෙසකුත් දැනෙනව නම්, හොයා ගන්න ඔබ මුහුන දීමට බලාපොරොත්තු වෙන විභාගයට අදාල ප්‍රශ්ණ පත්‍ර කීපයක්. කොල අරගෙන වෙලාව තියල උත්තර ලියන්න නෙවෙයි. දල වශයෙන් කියවල බලන්න.


විශයයකට ප්‍රශ්න කීයක් ලැබෙනවාද?
ප්‍රශ්න ලැබිල තියෙන්නෙ මොන විදිහෙ විශයය ප්‍රදේශ වලින්ද?
එකම ගැටලුව කීප වරක් ලැබිල තියනවාද?
ප්‍රශ්නයකට කාලය කොපමණද?
ඒ කාලය තමන්ට ප්‍රමාණවත්ද?


ඔන්න ඔය වගේ ප්‍රශ්ණ පත්‍රය ගැන පොඩි තර්ක විතර්ක ටිකක් කරන්න. මෙයත් අර මුලින් කිව්ව ක්‍රමේට සමාන ප්‍රයෝගයක් තමයි. මෙහිදී මොළය ටිකක් සැහැල්ලුවෙන් හැබැයි ස්ක්‍රීයව හිතන්න ගත්තු නිසා නිදිමතට පසු බසින්න වෙනව, නැති වී ගිය උද්යෝගය නැවත ලැබෙන බව ඔබට දැනේවි. ඉතිං යලි පාඩම් පටන් ගන්න.


මෙහිදීද ඔබට අතුරු ප්‍රතිලාභ ලැබෙනවා. නැකතක් බලල පසු ගිය ප්‍රශ්න පත්‍ර කරන්න කියල බලන් ඉන්න අයට වඩා සාර්ථකව විභාගය ගැන අවබෝධයක් සහිත කෙනෙක් වෙන්න ඔබට පුලුවන් වෙනව, විභාගය මොහොතේදී ඔබට මෙය විශ්වාස කල නොහැකි තරමේ රුකුලක් වේවි.


අපි බලමු තව උපයෝගී කර ගන්න පුලුවන් සරල උපක්‍රම ටිකක්.


ඔබ එක දිගටම පැයක් පමණ පාඩම් කළා නම් පොඩි රවුමක් ඇවිදලා එන්න. හැබැයි එලිමහනේ ගස් කොලන් පේන විදිහට, අත පය දිග හැරෙන්න ටිකක් ඇවිදල, පපුව පිරෙන්න හොඳට හුස්ම ටිකක් අරගෙන ආයෙත් පාඩම් කරන්න පටන් ගන්න.
( රූපවාහිනිය, පරිඝනකය, දුරකථනය අසලට යාම නම් තහනම්. කලින් අපි කතා කලානෙ ඒ ගැන )


පාඩම් කරන්න ජනේලයක් අසල සූදානම් කර ගන්නවා නම් සුදුසුයි. පොඩි නිදිමතක් එන වෙලාවලට ජනේලයෙන් ඈත ඇති ගහ කොලන් දිහා බලන්න පුලුවන් නම් නිදිමත පාලනය කරන්න පුලුවන්.

ඒ වගේම වැදගත් ආලෝකය. පාඩම් කරන තැන හොඳට ආලෝකය ලැබෙන තැනක් වෙන්න ඕනෑ. මොකද අඩු ආලෝකය නිදිමතට ආරාධනා කරන්න හේතුවක් නිසා.


තව දෙයක් අනවශ්‍යය ලෙස රාත්‍රියට නිදිමරාගෙන පාඩම් කිරීමෙන් වලකින්න. එයින් ඔබේ මොළයය වෙහෙසට පත් වෙලා ඔබේ කර්‍යයක්ශමතාව අඩු වෙනවා.


නිදිමතට ඔබේ වසර ගණනක මහන්සිය අපතේ යවන්න ඉඩ නොදී උත්සාහයෙන් ආසාවෙන් පාඩම් කරන්න පුරුදු වෙලා අපේ මහන්සියෙනුත් වැය කරන කාලයෙනුත් උපරිම ප්‍රතිඵල ලබා ගමු නේද?

12 comments:

  1. ඔන්න අද නම් මම ලිපිය දාපු ගමන්ම බැලුවා...

    අයියේ පාඩම් කරද්දි නිදිමත යන්න කෝලා..කැෆේ වගේ බොන්න හොද නැද්ද..ඉස්සර මම පාඩම් කරන කාලේ මට අනිවර්යෙන් කොක් එකක් ඔනි..එකෙන් මගේ නින්ද නැති වෙලා අමුතු පණක් එනවා..එ වගේමයි කැෆේත්..

    ආයේ අර කිව්වා වගේ ලස්සනට පාට පැන් වලින් ලියන නොට් නම් ආයේ කියන්න දෙයක් නැ වැඩ හොදට..බලද්දි ආසයි...පාඩම් කරන්න ලේසියි..පිලිවෙලක් නැතුව ලියන් යනවාට වඩා එක ටිකක් වෙලා ගියත් කල් පවතිනවා..

    අදත් වෙනදා වගේම වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අද නම් නිම්ශා නංගි කලින්ම ඇවිත්!

      නිදිමත මට්ටු කරන්න කෝපි, තේ දෙන්න කවදත් දක්ශයොනෙ. ඉතිං නිදිමත එන වෙලාවට තේ එකක් කෝපි එකක් බිව්වට වරදක් නෑ. හැබැයි නිතර බඩේ දැවිල්ල හැදෙන (Gartritis) අයට නම් තේ බීමෙන් ඒ තත්වය වැඩි වෙන ගතියක් තියනව.

      Delete
  2. විභගේ ලංවෙනකොට තමයි නිදි මත වැඩියෙන් දැනෙන්නේ :)

    දැන් අවුරුදු පහ හයක් ඉඳන් මම ඩෙඩ් ලයින්ස් වලට වැඩ කරද්දී අන්තිම දවසට කලින් දවසේ රෑ සර්ව රාත්‍රික වෙලා තමයි වැඩෙ ගොඩ දාන්නේ .ඒ උපක්‍රමේ සාර්ථකයි . කාලයක් ඇදි අදී ගිය වැඩේ සුටුස් ගාලා ඉවර කරනවා .ඒත් ඉතින් කලබලේට කොරොස් කටෙත් අත දාගන්න බෑ වගේ ලයිට් ගිහින් ,ලැප්ටොප් එක අවුල් වෙන වෙලා වල නම වැඩ අන්තිම මොහොතට කල දාන එකට හිතෙන් බැන බැන තමයි ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. විභාගයක් ලං වෙද්දි අපිටත් නොදැනීම මොළේ වෙහෙස වන ප්‍රමාණය වැඩි කරනවනෙ. එතකොට මොළේට නිතරම විවේකයක් ඕනෙ කියන තත්වයට පත් වෙනව.

      කව්රු කව්රුත් ඉතිං ඔය සර්ව රාත්‍රී ක්‍රමේට තමා හුරුවෙලා ඉන්නෙ. හැබැයි ඉතිං ඔලුව ගිනි අරන් වගේ දඟලල කරනවට වඩා ටිකක් පිලිවෙලට වැඩේ ඉවර කල හැකි නේද කලින්ම ටිකක් මහන්සි වුනොත්. කිව්වත් වගේ අන්තිම මොහොත වෙනකල් ඉඳල මොකක් හරි අකරතැබ්බයක් හින්ද වැඩේ කර ගන්න බැරි තත්වයක් ආවොත් තමා කර ගත්ත මෝඩ කමක් කියල හිතෙන්නෙ.

      Delete
    2. කරුමෙ කියන්නේ ගිමන් ලෝකේ තියෙන එක්සලන්ට්ම ප්‍රොජෙක්ට් ප්ලැනින්ග් අයිඩියා එක මට බොහෝ වෙලාවට පහල වෙන්නේ ඔය ඩෙඩ් ලයින් එකට පැය 24ක් තියලනේ :) කලින් මොනතරම් දැඟලුවත් ඕක එන්නේ නෑ :)

      මම දන්නේ නෑ විද්‍යාත්මකව හරිද කියන්න ඩිමාන්ඩින්ග් ස්ට්‍රෙස්ෆුල් අවස්ථා වල සමහර වෙලාවට සාර්ථකම අදහස් එනවා ඇති මොකද අපි ඒ වැඩේට මුලු ඇඟෙන්ම ෆොකස් වෙන නිසා :)

      දැන් නම් ඔය සර්ව රාත්‍රික වැඩ වලට කල් තියා සූදානමින් ලැප්ටොප් චාර්ජ් කරලා තව වැඩි පුර එකක් ලඟ තියන් බැක් අප් කරන් ඉන්නේ :)

      මේ වල් පල් පැත්තක තියලා ඔන්න වැදගත් දෙයක් කියන්න හිතුනා ඔයා මේක වැඩියෙන්ම ඒ ලෙවල් වගේ විබාග කරන අයට ලිව්ව නිසා

      මම කැම්පස් අවුට් වෙනකන්ම කෙරුව හොඳ පුරුද්දක් තිබ්බා එදාට තියෙන පාඩම් වැඩ එදාම ඉවර කරලා දානවා .එතකොට විබාගෙට කියලා අමුතුවෙන් නැහෙන්න ඕනෙ නෑ . මම ඒ කාලේ -දැනුත් ටිකක් පාඩම් කරන්න හිත හදාගන්න තියරියක් තියෙනවා .ඔන්න මොනවහරි පාඩම් වැඩක් ඉක්මනට ඉවර කලොත් මට තියෙන වාසි කැල්කියුලේට් කරනවා . එතකොට මැච් බලන්න , පොත් කියවන්න , ටී වී බලන්න වෙලාවක් එනවනේ . ආස දේ මිස් වෙන්නේ නෑ .එහෙම හිතලා ප්ලෑන් කරලා ඉවර කරලා ආස දේ ඊට පස්සේ කරනවා , සමහර වෙලාවට විබාගෙ ඉවර වුනාම යන ට්‍රිප් ගැන හිතලා පාඩම් කරන්න හිත හදාගන්නවා .

      Delete
    3. ඒක ඇත්ත TG, stress එකෙන් කරන්නෙ අපේ ඇඟ හදිසි අවස්ථාවකට මුහුන දෙන්න පුලුවන් විදිහට සූදානම් කරන එක, ඉතිං මොළෙත් සාමාන්‍ය වෙලාවලට වඩා ක්‍රියාශීලී වෙනව.

      එදිනෙදා වැඩ එදාම ඉවර කරන එක කොයි කාට පිලිපදිනව නම් හිතන්නවත් බැරි තරම් ප්‍රතිඵල ලැබෙන පුරුද්දක්.
      ඔයා කියන ක්‍රමේ සාර්තකයි, මොකද පාඩම් කරන දේ නීරස වුනත් රසවත් දෙයක් ඉලක්ක කර ගෙන ඉන්න නිසාත් ඒ දේවල් ගැන හිතන කොට මොළේ උත්තේජ වන නිසාත් නිදිමත වෙන්නේ නැහැ. හැබැයි ඉතිං හීන මවන්න වැඩි වෙලාවක් යොදන්න නොදී හිත ඉක්මනට පාඩමට ගන්න ඕනෙ නේද?

      Delete
  3. වැදගත් ලිපියක් ..

    ReplyDelete
  4. වැදගත් ලිපියක්... හම්මෝ ඒ දවස් වල.. එපා වෙනාවා නිදි මත එද්දි.. ඒත් ඉතින් කට්ට කාගෙන පාඩම් කලානේ..

    ReplyDelete
  5. ස්තූතියි දිනේශ්!
    මහන්සි වෙලා වැඩක් කල තරමටනේ ප්‍රතිඵල ලැබෙද්දි සතුටු හිතෙන්නේ. අනෙක පසුතැවිමකුත් නෑ තව කරන්න තිබ්බානෙ කියල.

    ReplyDelete
  6. මට පාඩම් කරද්දී නිදිමතට වඩා එන්නෙ ඹලුවෙ කැක්කුම...

    ReplyDelete