Thursday, June 21, 2012

කළුවලා පරදා....!

 

දින දෙකක් තිස්සේ නොනවත්වා ඇද හැලුන ධාරාණිපාත වර්ශාව චුරු චුරු

වැස්සකට හැරී ඇත. පිලේ ඇන තියාගෙන වැස්ස දෙස බලා සිටි කළුබණ්ඩාට

වැස්සේ හඬ ගෙන ආවේ කුසීත කාලකණ්ණි හැඟීමකි.

 

"අන්න අහරයට වෙයන්"

 

ඇඟේ දැවටෙන්නට ආ කළුබණ්ඩාගේ බාල දරුවා ඔහුගේ හඬින් ගැස්සී ගේ තුලට

දිව ගියාය.

 

"පුතේ අප්පච්චිට කරදර නොකර මෙන්න මෙහාට වෙලා ඉඳින්" හීන්මැණිකා

කුස්සියේ සිට කෑ ගැසුවාය.

 

තමා වැස්සත් සමඟ බැඳ ගත් වෛරය නිරපරාදේ පොඩි එකීගේ පිටින් යැවීමට ගත්

උත්සාහය ගැන කළුබණ්ඩාට කනස්සල්ලක් ඇති විය. දින දෙකකට පෙර කලු

වලාකුලු ඒක රාශී වනු දුටු විටම කලුබණ්ඩාට ඉවෙන් මෙන් වින්නැහියක සේයාවක්

දැනෙන්නට විය. වැස්ස ඇරඹී පැය ගණනක් එකම ගැම්මට එක දිගටම නොනවත්වා

කඩා හැලෙන විට කළුබණ්ඩාගේ හිත ගිනි වදින්නට විය.

 

"මෙදා පොටේ නම් කාල හමාරයි" ඒ සිතුවාක් මෙන් පසුවදා උදෑසන වන තෙක්

ගිඟුරුම් දෙමින් මහ වරුසා එක පිට එක ඇද හැලෙන්නට විය.

 

උදෑසනම වෙල් යාය වෙත දිව ගිය කළුබණ්ඩේට දැක ගත හැකි වූයේ හතර දික්

බාගයේම ජල කඳෙන් යටවී වැවක් මෙන් දිස් වූ වෙල් යායයි. ගොයම් ගස් ටික

යන්තම් කිරි වැදී ගෙන ආවා විතරය. පපුව තුල ගිනි ගොඩක් ගැසුවාක් මෙන්

දැනෙන්නට විය. ඒ වන විටත් අඩුවක් නැතුව ගල් ගෙඩි වැනි වැහි බිඳු බෙදමින් සිටි

අහස දෙස කළුබණ්ඩා බැලුවේ සාප කරන්නට මෙනි. ඉන් පසු පැමිණ පිලේ ඇඳට වූ

පසු තවමත් ඒ අයුරින්මය. කෑමක් බීමක් ගැනීමට වත් පිරියක් නොමැති සේ ඔහුට

හැඟේ.

 

කළුබණ්ඩා දන්න කියන කාලයේ කිසිවෙකුට ණය තුරුස් වී නැත. යහමින් ගොවිතැන්

බත් කල ඔහු අඩු පාඩුවක් නැතුව දරු පවුලට ජීවත් වීමට සලසා දී තිබිනි. එහෙත්

මෙවර අකාලයේ ඇද හැලුනු මහ වරුසාව මාස ගණනක ඔහුගේ මහන්සිය සෝදා

පාලු කර හැරීය.

"මේ කහට ටික බීල හිටිය නම්"

 

හීන්මැණිකාගේ හඬින් ඔහු ගැස්සී ගියේ කල්පනා ලොවින් මෙලොවට කැඳවමිනි.

 

"ඔන්න ඔහෙන් තියහන් බන්, පස්සෙ බොන්නම්"

 

සුසුමක් හෙලා කහට කෝප්පය හා හකුරු කෑල්ල මේසය උඩ තැබූ හීන්මැණිකා,

"දැන් ඉතින් ඕක ගැන ඔය හැටි හිතන්න ඕනැ නෑ, අපිට විතරක් වෙච්ච දෙයක්යැ!

කොහොමින් හරි ඊළඟ කන්නෙ එනකල් ගැට ගහගන්න බලමු"

 

කළුබණ්ඩා යලි කල්පනාවට වැටිණි.


එතරම් කලක් ජීවත් වීමට නම් කොහෙන් හෝ ණයක් ගත යුතු වේ. ඒ සිතුවිල්ලත්

හාම ඔහුට සිහි වූයේ සිය පියාගේ ඔවදනකි.

 

"ලොකු එකෝ, කවදාවත් ඔය ණය තුරුස් වලට එහෙම යට වෙන්න එපා ඕං. ණය

ගන්න පුරුදු වෙනවා කියන්නේ හොඳ හැටි හැදිල තියන ගහක පිලිලයක් හිටෝනවා

වගේ වැඩක්, අන්තිමට ගහ පිලිලෙටම උරල නැති වෙලා යනවා"

 

ඒ ඔවදන හැබෑවක් වනු කළුබණ්ඩා ඕනෑ තරම් දැක තිබින. ගමේ හරි හමන් ණයක්

ගැනීමට කියා හිඳින්නේ අන්දිරිස් මුදලාලිය. ඔහු ගමේ පෝසතා හා එකම වී මෝල්

හිමියා වූවේ සෙමෙන් සෙමෙන් සට කපට කම් වලින් ගමේ අහිංසක ගොවියන් රවටා

ගනිමින් ඔවුන් ගසා කෑමෙනි. කළුබණ්ඩා හා තවත් අතලොස්සක්  හැරුණු කොට

අනෙක් සියලුම ගොවීන්ගේ අස්වැන්න අන්දිරිස් මුදලාලි කුණු කොල්ලයට ගසා

කයි, ඒ සල්ලි බලයෙනි.

 

අසරණ ගොවියෙක් ණයක් ඉල්ලූ විට නැති බැණේ දිග හරින අන්දිරිස් මුදලාලි

අවසානයේ එකට එකක් පොලිය නියම කර ණය මුදල දෙයි. කන්නය අවසානයේ

කුඹුරට පැමිණෙන ඔහු තුට්ටු දෙකට මුලු අස්වැන්නම පටවාගෙන යන්නේ ණයට

පොලියට හිලවු වන්නටය. ඉන්පසු ඉතිරි වන සොච්චමද අවසන් වූ පසු ගොවියනට

සිදු වන්නේ නැවත ගිනි පොලියට ණය ගැනීමටය. මෙම විශම චක්‍රයෙන් ඔවුනට

ගැලවීමක් නැත.

 

මේවා එකිනෙක සිහි වන විට කළුබණඩාගේ මොළය තව තවත් අවුල් වේ.

එකවරම සිය කකුලේ ඉඳිකටුවක් ඇනුනාක් මෙන් දැනුනෙන් කළුබණ්ඩා කල්පනා

දැහැනින් මිදින.


අකල් වැස්සට ඇවිස්සුනු කඩි රැලක් අලුත් නවතැන් පොලක් සොයා පෙලට යනු

ගෙබිම දෙස බැලූ කළුබණ්ඩාට පෙණිනි.


නොදැනුවත්වම කළුබණ්ඩාට එකෙකු පෑගී ඇත. කකුල අසලම රවුමට කැරකැවෙන

කඩියා දෙස ඔහු නිකමට බලා සිටියේය. කඩියාගේ අන්ඩක් කැඩී ඇත, ඉතිරි අඩු

වලින් සිය ගමන පාලනය කිරීමට දඟලද්දී කෙලින් යාම වෙනුවට සිදු වන්නේ රවුමට

කැරකැවීමය. කලුබණ්ඩාට මඳ පසුතැවිල්ලක් ඇති විය.

"මක් කොරන්නද හිතල කොරපු දෙයක්යැ"

 

නමුත් මඳ වේලාවක් කල අභ්‍යයාසයෙන් කඩියා කෙලින් ගමන් කිරීමට හුරු වූ

සෙයකි. ඉන් පසු කළුබණ්ඩා පුදුම කරමින් ඌ සුපුරුදු වේගයෙන් සිය වර්ගයාගේ

ගමනට එක් විය. ඒ නිකම්ම නොව යමක් ඔසවාගෙන යන තවත් කඩීන් කිහිපයකගේ

සහයටය.


"පොඩි උනාට මුන්ගෙ හිත අපිටත් වඩා හයියයි නොවැ" කළුබණ්ඩාට සිතිණි.

 

කළුබණ්ඩා සුසුමක් හෙලා අහස දෙස ඇස් යොමු කලේය. වලාකුලු කෙමෙන්

පැහැපත් වන හැඩකි. වැස්ස මඳ පින්නකට හැරී ඇත. ගෙට එබී බැලූ ඔහු

 

"මේ ඇහුනද, ඔය කැත්තයි උදැල්ලයි මෙහෙට ගෙනාව නම්"

 

"වැස්ස ටිකක් අඩු කලා විතරයි මේ පින්නෙ කොහෙ යන්නද හදිස්සියෙ?"
කැත්තත් උදැල්ලත් ගෙන ආ හීන්මැණිකා කළුබණ්ඩාගේ මුහුණ පිරිකසමින්

ඇසුවාය.

 

"අර දුමේ තියන එළවළු ඇට ටික දියේ දාල තිබ්බ නම් හවසට, මම උඩහ කෑල්ලෙ

මූකලාණ ටිකක් කොටල දාල එන්නං" යැයි කියමින් කළුබණ්ඩා තුවාය ගසා දමා

හිස වටා බැඳ ගෙන උදැල්ල කර තබා ගනිමින් පැවසීය.

 

හීන්මැණිකාට කළුබණ්ඩාගේ අදහස අනුමාන කල හැකිය. උඩහ කෑල්ල යනු,

හීන්මැණිකාට සිය පියාගෙන් උරුම වුනු අක්කර හතරක පමණ වූ ඉඩම් කොටසකි.

දන්න කියන කාලයේ සිට මූකලාණෙන් වැසී ඇති එය ගැන සිය පියා මහත් ඉහලින්

වර්ණනා කරනු හීන්මැණිකා අසා ඇත.

 

"ඕක දැන් කැලෑ වැහුනට අපේ මුත්ත මහ හේනක් වවල තිබිල තියෙනව ඒ කාලෙ,

රත්තරන් පොළව, පේන්නේ නැද්ද වල් පැලෑටි ටික වුනත් හැදිල තියන සනීපෙ"

 

කළුබණ්ඩාගේ අදහස මූකලාන හෙලි පෙහෙලි කොට එළවළු ඉන්දවීමට බව

හීන්මැනිකාවට අනුමාන කිරීමට අපහසු නොවීය.

 

එසේ මෙසේ වැඩක් නොවුනත්, සතියක් හමාරක් යන විට මුලු මූකලානම වුව මට්ටු

කිරීම කළුබණ්ඩාට මහ දෙයක් නොවන බව හීන්මැනිකාට හැඟුනේ කළුබණ්ඩාගේ

හිතේ හයියත් වැඩක් කරන්නට ගත් විට නොපසුබටව නිම කිරීමේ ගුණයත් හොඳ

හැටි දන්න බැවිනි.

 

"අදම පොල් අතු ටිකක් හොයල පොඟන්න දාන්න ඕනැ පොල් අතු ටිකක් වියා

ගත්තොත් කීයකට හරි විකුන ගත්ත හැකි" හැකි උපරිමයෙන් කළුබණ්ඩාට සහය

වීමට හීන්මැණිකා අදිටන් කර ගත්තාය.

 

සීසීකඩ විසිර යන කලු වලකුලු පරදමින් යාන්තමට නැවුම් හිරු රැස් දොරකඩට වැටී

එනු ඇයට පෙනෙයි.

9 comments:

  1. අපූරු අදහසක්. මේ දවස් වල බ්ලොග් ලියන්න තරම් හිතක් නෑ. ඒ නිසා කිය්වන එක තමයි කරන්නෙ. අද කියවපු ලිපි වලින් හිතට වැදුන් එකක්.

    ReplyDelete
    Replies
    1. හපොයි සිදු ඕය කතාව ඔයාගේ බ්ලොග් එකේ නම් ලියන්න එපා .අර කොටස් හැටියට පලවෙන කතාවේ රසික පිරිස කුපිත වේවි :)

      Delete
    2. ඒක නම් ඇත්ත TG! බලා ඉන්න කොට අගේ වැඩි වෙනවලුනෙ ඒකද දන්නෑ නේද?

      Delete
    3. හා හා එහෙම වෙන්නත් බැරි නෑ ගිමන් :) කතාවත් නැගල යන රොමැන්ටික් එකක් නේ :) බ්ලොග් ලියාගෙන එනකොට ඔහොම අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා . විහිලුවක් කලේ සිදූ .ටේක් යුවර් ටයිම්.හිතුනම ලියන්න

      Delete
  2. ස්තූතියි සිඳූ!
    හැබැයි අර ලියන්න හිතක් නෑ කියපු එක ගැන නම් මනාපයක් නෑ ඕන්න. මම බලාගෙන ඉන්නෙ අර නින්ද ගැන පෝස්ට් එක දාන කල්.
    හම්ම් එහෙනම් ඉක්මනටම ලියන්න හිතක් පහල වේවා කියල ප්‍රාර්ථනා කරන්නම්කෝ!

    ReplyDelete
  3. ලස්සන අදහසක්.. අදයි මේ පැත්තට ගොඩ උනේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේශ්!
      ඔයාවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා.
      විවේක තියෙන වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  4. අපුරුයි..අද නම් මම පරක්කුයි නේහ්...

    එකට කමක් නැ අපුරුම අපුරු කතාවක්...ගන්න දේවල් නම් කොච්චරක් තියෙනවද..ඔයාට දිගු ගමනක් තියෙනව අයියේ ඇත්තටම හිතට දැනෙන වටිනා කියන අදහස්..සහ රසවත්..

    ReplyDelete
    Replies
    1. පරක්කුයි නේන්නම්! හැබැයි ඉතිං නෑවිත් ඉන්නෙ නැති බව දන්නවා.
      ස්තූතියි නංගි, ඔයාගෙ දිරි ගැන්වීම් හැමදාමත් මට ගොඩක් වටිනවා!

      Delete