Monday, May 13, 2013

ප්‍රතිප්‍රහාරය (විද්‍යා ප්‍රබන්ධය )



"මහත්තයව හම්බවෙන්නෙ කවුද ඇවිත්"

"කවුද මේ වෙලාවෙ?
කියවමින් සිටි ලිපියෙන් ඇස්  ඉවතට ගනිමින් ජයදේව ඇසීය. 

"අනේ මන්දා, ටයිකෝට් දා ගත්ත කට්ටියක්"

"හොඳයි මම එන්නම් කියන්න"

"ගෙදරකට එන වෙලාවක්ද මේක, රෑ 12ටත් වෙලා" ඔහු හනික අමුත්තන් ඉදිරියට යාමට සුදුසු ඇඳුමක් හැඳ ගනිමින් සිතීය.

සාලයට පැමිණි ඔහුට දැකගත හැකි වූවේ හොඳින් හැඳ පැලඳ ගත් විදේශිකයන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයෙකි.

"සමාවෙන්න මහාචාර්‍යතුමා මේ වෙලාවෙ කරදර කරන්න වුනාට, මම රාජ්‍ය ආරක්ශක අංශයේ ඉහළ නිලාධාරියෙක්" ශ්‍රී ලාංකිකයා හැඳුනුම්පතක් පාමින් පැවසීය.

"මේ අන්තර්ජාතික රහස් ව්‍යාපෘතියක මෙහෙයුම් නිලධාරීන් දෙදෙනෙක්, ඔවුන්ට ඔබතුමාගෙ සේවය අවශ්‍ය වෙලා තියෙනවා. ඉතා හදිසි කාරණයක් නිසා ඔබතුමාට දැන්ම ඔවුන් සමඟ පිටත් වෙන්න වෙනවා"

ජයදේවා සිනාමුසුව විමසුම් ඇසින් බැලුවේ මෙය කිසියම් විහිලුවක්දෝ යන ප්‍රශ්නාර්ථ බැල්මෙනි. නමුත් ඔහුන්ගේ මුහුණු වල තිබූ බැරෑරුම් පෙනුමෙන් ඔහුට පිළිතුරු ලැබිණ.

"හොඳයි අත්‍යාවශ්‍යය දෙයක් නම් මම එන්නම්. ඉන්න මම ලෑස්ති වෙන්නම්"

"කරදර වෙන්න එපා මහාචාර්‍යතුමා අපි එවා ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ. අපි දැන්ම පිටත් වෙමු" නිලධාරියා නැගී සිට ජයදේවගේ අතින් අල්වා ගනිමින්  පැවසූවේ පැහැරගෙන යාමට සමාන අයුරක් පාමිනි.

ඔවුන් සමඟ මිදුලට පැමිණි ජයදේවට දැකිය හැකි වූවේ දැඩි ආරක්ශාව යෙදවූ නවීන පන්නයේ මෝටර් රථ පෙලකි. ඒ ගැන සිතීමටත් පෙල රථපෙල ජයදේවද ගෙන ඉගිලුනේ පොලිස් සයිරන් හඬ නගමිනි. පැයක් යන්නට මත්තෙන් ගුවන්තොටුපොලට පැමිණි ඔවුන් කිසිම විමසීමක් නොමැතිව ඔවුන්ටම වෙන්වූ ගුවන් යානයක් වෙත ලඟා විය. ඔවුන් එයට ගොඩ වූ වහාම ගුවන්යානය ගමන් ඇරඹීය.

මේ වන විට ජයදේව සිටියේ කෙන්තිය මුසුවූ නොඉවසිල්ලෙනි.
ඒ සමඟම ඉහල නිලධාරියෙකු යැයි සැක කල හැකි තරුණ කාන්තාවක් ඔහු සිටි කුටියට ඇතුලු විය.

"මොකක්ද මේකෙ තේරුම? මේක පැහැර ගැනීමක්!"
ජයදේව තදින් පැවසූවේ සිය කේන්තිය පිට කිරීමටය.

"සමාවෙන්න මහාචාර්‍ය ජයදේව, කාලය ඉතාමත් සීමිත නිසා මේ ආකාරයෙන් කටයුතු කරන්න වුනාට. මම ආවේ ඔබතුමාට සියලු කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න."

මෙසේ පවසමින් තමා ඉදිරියේ තිබූ සෝපාවෙහි හිඳ ගත් ඇය දෙස ජයදේව විමසුම් ඇසින් බලාසිටියේ මෙම පැහැර ගැනීමට සධාරණ හේතුවක් බලාපොරොත්තුවෙනි.

"මම ආන්යා, ජීව විද්‍යාව පිලිබඳ විද්‍යාඥවරියක්. වසර තුනකට පෙර මම ඇමෙරිකානු පර්යේෂණ ආයතනයක සම්බන්ද වුනා. අපි පර්යෙෂණ කලේ මීට වසර අටකට පෙර මෙක්සිකෝවට කඩා වැටුන උල්කාපාතයක් පිලිබඳව.
ඇත්තටම එය උල්කාපාතයක් නොවෙයි, අභ්‍යවකාශ යානයක්.
එය තුලින් අපිට ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු හමු වුනා.
කුමක් හෝ හේතුවක් නිසා එම සිරුරු සුරක්ශිතාගාරය තුලදී ඉටි වැනි අර්ධ ද්‍රව තත්වයකට පත් වුනා. එම නිසා අපිට ඔවුන් ගැන වැඩි දුර පරීක්ෂා කරන්නට අවස්තාවක් නොමැති වුනා.

ඉන්පසු අපේ සම්පූර්ණ අවධානය යොමු වුනේ ඔවුන්ගේ යානය හා එහි තිබු ද්‍රව්‍ය වලට. එහි තිබූ ඔවුන්ගේ ලේඛන යැයි සැක කල හැකි දෙයක් හමු වුනා. වසර ගණනක විශ්ලේෂණ වලින් පසු එලි කර ගත හැකි වූ කරුණු ඉතා දරුණු වුනා. ඔවුන්ගේ ඒ ගමන මිතුරු හමුවක් නොවෙයි! ඔවුන් ඔත්තු කරුවන් නැත්නම් ආක්‍රමණයක පෙර පුහුණුවක්. මොවුන්ගේ අරමුණ පෘතුවියේ ජීවීන් සමූල ඝාතනය කර පෘතුවිය අල්වා ගැනීම. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්න යන්නේ විශ වායුවක්.

අපි ඒ ලේඛණ වටහා ගත් ආකාරයට සැක කලේ එම ආක්‍රමණය සඳහා මෙයින් වසර 50ක කාලයක් ඇති බව ඔවුන්ගේ කාලසටහනට අනුව. නමුත් අපි වැරදීමක් සිදු වෙලා. ඔවුන් දැනටමත් අපි ආසන්නයට ඇවිත්. මීට දින දෙකකට පෙර ඔවුන්ගේ යානා හදුනා ගනු ලැබුවා. ඔවුන් පැමිණෙන වේගයට අනුව අපිට ඇත්තේ මාස තුනකටත් වඩා අඩු කාලයක්"

මේ සියල්ල අසා සිටි ජයදේව හුස්මක් ගෙන කල්පනා කලේ තමා මෙතෙක් අසා සිටියේ සුරංගනා කතාවක්දෝ කියාය.

"හොඳයි දැන් මගෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද, ඔය පිටසක්වල යානා, ජීවීන් ගැන නම් බොහොම දුර්වල දැනුමක් තමයි මට තියෙන්නෙ" 

එයට මඳ සිනහවක් පල කල ආන්යා. 
"මෙම ජීවින්ගේ අරමුණ හඳුනා ගත් සැනෙන් අපි මේ ගැන රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් දියුණු රටවල් සමඟ කතා කලා. ඊට පසු අපි පෘතුවිය හා ජීවීන් රැක ගැනීමට රහස් ව්‍යාපෘතියක් ආරම්භ කලා.
කෙටියෙන් පැවසුවහොත් අපි කරන්න යන්නෙ භූගත කුටි ඉදි කර ඒවාගේ රැකවරණය ලබා ගැනීම.

"මොකක්? ඔය අදහස ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙයක්ද?

"දැනටමත් එය කෙරෙමින් පවතිනවා, හදිසියේ කාලය හරස් වීම තමයි ගැටලුව වූවේ"


මෙම සංවාදය අවසන් වන විට ඔවුන් ඇමෙරිකාවට ලඟා වී තිබිණ. පැය කීපයක් ඇතුලත භූගත රහස් පර්යේෂණ මූලස්ථානය වෙත ඔවුන් ලඟා විය.

ජයදේව විස්මයට පත් වූවේ එය තුලට ඇතුල් වූ විටය. එය භූගත නගරයකට සමාන විය. සූක්ෂමව ඉදිකර තිබූ දැවැන්ත ශාලා තුල විවිධාකාරයේ නිශ්පාදනයන් සිදු වෙමින් පැවතින.
අවට නරඹමින් ජයදේව එහි පාලන මූලස්ථානයට පැමිණියේය.

විශාල සාකච්ඡා මේසයක හිඳ විවිධ ජාතීනට අයත් බුද්ධිමත් පෙනුමෙන් යුතු සියයකට අධික පිරිසක් එහි සිටිනු දැකිය හැකි විය.
ජයදේව එයට ඇතුලු වූ සැණින් සාකච්ඡා මේසයේ මුලසුන හෙබවූ තැනැත්තා නැගිට සභාව නිහඬ කරවා ජයදේව පිලිගත්තේය.

"නියම වෙලාවට ඔබ පැමිණියේ මහාචාර්‍යයතුමා, මම අන්සොව් වොරොනින්, ජීව විද්‍යාව පිලිබඳ රුසියානු විද්‍යාඥයෙක්. අපි ඉන්නෙ ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා. පෘතුවිය තුල මිනිසාගේ පැවත්මට විශාල අභියෝගයක් ලඟ ලඟම පැමිණෙනවා.
මම හිතනවා ඔබ දැනටමත් අපේ අරමුණ දන්නවා ඇති කියලා.  ඒ සැලසුමට අනුව මිනිස් වර්ගයා භූගත රැඳවුම් කුටි වලට යැවීමේදීදී ඔවුන්ට අවශ්‍යය ඔක්ෂිජන් හා ආහාර පෘතුවිය මතු පිටින් ලබා ගත නොහැකියි. එවා පොළව තුලදීම නිපදවිය යුතුයි. නමුත් ඒ සඳහා අපි යෝජනා කරගෙන සිටි සැලසුම් කිසිවක් ක්‍රියාත්මක කිරීමට කාලය නැහැ.
මෙහිදී තමයි අපිට ඔබගේ කල්පිතය ප්‍රයෝජනවත් වෙන්නෙ.

ජයදේව විස්මයටත් තැති ගැන්මටත් පත් විය.
මිනිස් සිරුර පූර්ණ නිර්වින්දනයට ලක් කර, සියලු ජෛව ක්‍රියාවලි අවම ක්‍රියාකාරිත්වයට පත් කල හැකි රසායනිකයක් ගැන ඔහු මාස කීපයකට පෙර ලිපියක් පල කලේය. එය මෙතරම් අවදානයක ලක් වී ඇතැයි ඔහු නොසිතුවේය.

"ඇත්තෙන්ම මම සතුටු වෙනවා මගේ කල්පිතයෙන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි වීම ගැන. නමුත් ඒ කල්පිතය කෙතරම් දුරට ප්‍රායෝගිකදැයි මට සහතික වෙන්න බෑ."
ජයදේව පැවසූවේ සියලු දෙනාහේ බැල්ම ඔහු වෙතට ගනිමිනි.

"ඒක ගැටලුවක් කර ගන්න එපා, ලෝකයේ හොඳම ජීව විද්‍යාඥයන් මෙහි සිටිනවා. ඔබ සිතනවාට වඩා බොහෝ ඉහල තාක්ෂණික පහසුකම් මෙහි තිබෙනවා. මම හිතනවා මාසයක් ඇතුලත ඔබේ කල්පිතය ප්‍රායෝගිකත්වයට හරවයි කියා. එමගින් වසර ගණනාවක් මිනිසුන් අවම ඔක්ෂිජන් හා ශක්ති වැය වීමක් සහිතව නිද්‍රාගතව තබා ගන්න පුලුවන් වේවි පෘතුවිය මතු පිටින් විශ වායූන් ඉවත් වන තුරු"

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

මසක් ගත වීමට පෙර ජයදේව සාර්ථකව සිය කල්පිතය සැබෑවක් බවට පත් කලේය. බොහෝ දෙනෙක් තුල පැවති අවිනිශ්චිත බව දුරු වූවේ ඉන්පසුවය.
නමුත් ජයදේවගේ සිතෙහි නම් දහසක් ගැටළු පැවතින. ඒ සියල්ල නිරාකරණය කර ගැනීමට හැකි වූවේ මෙහෙයුම් ප්‍රධානියා ඔහුට ස්තූති කිරීමට පැමිණි මොහොතේය.

"සමාවෙන්න මෙහෙම ඇහුවට, ඔබ මෙහි සූදානම් කරන භූගත කඳවුර ලෝකයේ සියලු දෙනාට ප්‍රමාණවත් නැහැ නේද?"

ප්‍රධානියා ජයදේවට මද සිනහවක් හෙලුවේය.
"ඇත්තෙන්ම නැහැ, ඔබ නොදන්නවා වුනාට එක් එක් කලාපයට වෙන වෙනම භූගත කඳවුරු ඉදි කෙරෙනවා. දැනටමත් බොහොමයක වැඩ අවසන්"

ජයදේවට එය යම් සැහැල්ලුවක් ගෙන දෙන්නක් විය.

"මට තාමත් අපහැදිලියි ඔබේ සැලැසුම, ඇයි අපිට බැරි මෙම ජීවීන්ට අභ්‍යවකාශයේදීම ප්‍රහාර එල්ල කර පලවා හරින්න"

"ඇත්තෙන්ම අපි පහර දෙනවා, දැනටමත් දැවැන්ත න්‍යශ්ටික ආයුධ අපි නිපදවා තිබෙනවා. නමුත් ඔවුන්ගේ යානා ඉදි කර තිබෙන මූලද්‍රව්‍යය අත්භූත ජනකයි. මෙක්සිකෝවට ඇද වැටුන යානය අපි ලක් කල සෑම ඔරොත්තු දීමේ පර්යෙෂණයකටම සාර්ථකව ඔරොත්තු දුන්නා.
"නමුත් රුසියාවට ඇද වැටුන යානයට එතරම් ඔරොත්තු දීමේ හැකියාවක් තිබී නැහැ. ඒ වගේ එහි සිටි නියමු ජීවීන්ද හමු වී නැහැ, යානය තුල තිබී දිය වී ගිය සිරුරු කොටස් පමණක් හමු වී තිබුණා." "අපිට අවදානමක් ගන්න බෑ, එම නිසා තියන හොඳම විසඳුම තමයි වාඩත් ආරක්ෂාකාරී සැඟවීමක් සැලසුම් කරන එක."

"ඉතින් ජයදේව මහාචාර්‍යතුමා ඔබේ වැඩ කොටස සාර්ථකව ඉටු කලා. ඔබට බොහොම ස්තූතියි. තව සතියකින් පමණ අපි මිනිසුන් කුටීර තුලට යැවීම ආරම්භ කරනවා. අවශ්‍යය නම් ඔබට ඔබේ කලාපීය රැඳවුම්පලට යන්න පුලුවන්"

ජයදේව මදක් කල්පනා කලේය, 
"මම කැමතියි ඉදිරියටත් ඔබ සමඟ එකතුව මෙම උවදුරෙන් ගැලවීමට ඔබට කල හැකි උපකාරයක් කිරීමට"

"ගොඩක් ස්තූතියි ඔබට, එය විශාල උදව්වක්!"

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

තවත් මාස දෙකක් යන්නට මත්තෙන් සියලු දෙනා බලාපොරොත්තු වූ දිනය උදා විය. දහස් ගණන් වලින් පැමිණි සිලින්ඩරාකාර හැඩැති අභ්‍යාවකාශ යානා පෘතුවිය වටා සැරිසරන්නට විය. 
ඔවුන් වෙත එල්ල කල සෑම ප්‍රහාරයක්ම ව්‍යර්ථ කිරීමට ඔවුන් සමත් වූවේ එම යානා වල පැවති සුපිරි ගනයේ ඔරොත්තු දීමේ හැකියාව මගිනි.

මිනිසාගේ අවසන් තුරුම්පුව වූ න්‍යශ්ටික අවි වලින් ඔවුන්ගේ යානා යලි අභ්‍යවකාශායට විසිකර දැමීමට සමත් වුවද ඒවාට හානියක් කිරීමට තරම් හැකියාවක් නොවීය.

සිතූ පරිදිම අවසානයේ ඔවුන් ප්‍රහාරය ආරම්භ කලෝය. නමුත් බලාපොරොත්තු වූ විශ දුමාරයක් නොව එය ගිනි දුමාරයක් විය. ලෝහ පවා සැනින් උණු වී යන ඔවුන්ගේ ගිනියම් වූ වායු ප්‍රහාරය හමුවේ මිනිස් අවි ආයුද සෙල්ලම් බඩු වැනි විය.

ඉතිරි හමුදා භූගත කඳවුරු වලට කැඳවා ගත් පසු මිනිසාගේ එකම ගැලවීම වූවේ සැඟවී සිටීමය.

සිදුවන සංහාරය දුටු ජයදේවට මිනිස් වර්ගයාගේ අනාගතය ගැන සැක පහල වන්නට විය. මොවුන් කවදා පෘථුවිය මතින් යාවිද? නැත්නම් ඔවුන් මෙහිම ජනාවාස ඉදි කර ගනීවිද?

මෙම සිතුවිලි අතර වෙහෙසෙන අතර ඔහුගේ ඇස යොමුවී තිබුනේ සතුරු යානා සලකුණු කර තිබූ ලෝක සිතියම වෙතය. ඔහුට එහි රටාවක් දැකිය හැකි විය.
වඩාත් විමසිල්ලෙන් බැලූ විට ඔහුට පෙනී ගියේ ජීවීන් වැඩි වශයෙන් රැඳී සිටින්නේ මෙක්සිකෝව, බ්‍රසීලය, ලිබියාව, මැදපෙරදිග, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශ වල බවය.

මෙහි කුමක් හෝ විශේෂයක් තිබිය යුතුය. මඳ වේලාවකින් ජයදේවගේ හද ගැස්ම වැඩි වන්නට විය. ඒ හදිසියේ සිතට නැගුන අදහසක් නිසාවෙනි.

"ඔව් ඔවුන් රැඳී ඉන්නෙ උනුසුම වැඩි ප්‍රදේශ වල," ඒ සමඟ එකින් එක තවත් කරුණු සිහියට නැගෙන්නට විය.

එසැණින් ජයදේව ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වෙත දිව ගියේය.

"මම හිතන්නෙ ඔවුන්ගේ දුර්වල ස්ථානයක් තිබෙනවා"

සියලු බලාපොරොත්තු කඩ වී සිටි සියලු දෙනා ජයදේව වෙත හැරුණේ එතරම් විශ්වාසයකින් තොරවය.

"හිතල බලන්න, මෙක්සිකෝවේදී හමුවූ සිරුරු සුරක්ශිතගාර වල අධිශීතකරණ වලට දැමූ සැණින් දිය වී ගියේ ඇයි? රුසියාවට ඇද වැටුන යානයේ නියමුවන්ගේ සිරුරු හමු නොවුනේ ඇයි? මෙක්සිකෝවේ තිබූ යානය හොඳින් ප්‍රහාර වලට ඔරොත්තු දෙන අතර රුසියාවට වැටුණු යානය දිරාපත් වුනේ ඇයි?
බලන්න සිතියම දිහා ඔවුන් රැඳී සිටින්නේ සමකය ආසන්නයේ!

ජයදේවගේ තියුණු හඬ සියලු සියලු දෙනා ප්‍රාණවත් කරන්නට විය.

"ඔව් ඔහු හරි, මොවුන් උණුසුමට හා අනෙක් පිපිරීම් වලට හොඳින් මුහුන දුන්නත් ශීතලට එතරම් කැමැත්තක් දක්වන්නෙ නැති හැඩයි"
"ඉක්මණින් අපි ගාව ඉතිරිව තිබෙන ඔවුන්ගේ යානා කොටස් යොදාගෙන පරීක්ෂා කර බලමු"

ජයදේවගේ උපකල්පනය යළිත් වරක් සාර්ථක විය, ශීත කල වාතය එල්ල කල සැණින් පිටසක්වල යනා කොටස් අවපැහැ වනු දැකිය හැකි විය.

"ඔව් එය වැඩ කරනවා,! ඒත් යනා දුර්වල කිරීමට එය පමණක් ප්‍රමානවත් වෙන එකක් නැහැ."

එය සාදාරණ ගැටළුවකි. විද්‍යාඥයන් යලි විවිද මත පල කරමින් වාද කරන්නට විය.

මදක් නිහඬව කල්පනා කල ජයදේව යළිත් විසදුමක් යෝජනා කලේය.

"මම හිතන්නෙ අපි මුලින් බලාපොරොත්තු වුන විශ වායු ප්‍රහාරය ඇත්ත වෙන්න පුලුවන්. අපිට හානි කර වුනේ එම වායුවේ උණුසුම විතරක් වුනත්. ඔවුන්ගේ උනුසුම් වායුව ශීත කල පසු ඔවුන්ට වඩාත් විශ වෙන්න පුලුවන්. "

"ඔවුන්ගේ වායු ප්‍රහාරයේ සංඝටක හදුනාගන්න අපහසුයි, ඒවා අපෙ මූලද්‍රව්‍ය වලට වඩා වෙනස්. නමුත් ආසන්න වශයෙන් නයිට්‍රජන් වලට සමානයි" රසායනික විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙක් ක්ශණිකව උපකාරී විය.

"එහෙනම් අපි ශීත කල නයිට්‍රජන් වායුව උත්සාහ කර බලමු" ජයදේව ප්‍රකාශ කලේය.

අධිශීත කල නයිට්‍රජන් වායුව පිටසක්වල යානා කොටසකට එල්ල කල විට දැකිය හැකි වූවේ ඇදහිය නොහැකි ප්‍රතිඵලයකි. ලෝහය ගින්නට හසුවූ ඉටි මෙන් දිය වී යන්නට විය. අවට සිටි පිරිසගෙන් නැගුනේ ඔල්වරසන් හඬකි.

විනාඩියකුදු අපතේ නොයවා නව ආයුධ නිපදවීම ආරම්භ විය.
ඉතිරිව සිටි හමුදාව උපක්‍රම ශීලීව යොදා ගනිමින් සතුරු යානා වෙත අධි ශීත කල නයිට්‍රජන් වායු ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.

එකිනෙක සිය ගණන් සතුරු යානා දිය වෙමින් ඇද වැටෙන්නට විය. අවසානයේ ඔවුන්ගේ විශ ඔවුනටම පාරාවලල්ලක් වුවේය. සතියක් යන්නට පෙර පෘතුවියේ බලය මිනිසුන් වෙත ලබා ගැනීමට හැකි විය.

ජයදේව යන නම ලෝක ඉතිහාසයේ දැවැන්ත ලකුණක් තැබුවේ, සියුම් ප්‍රඥාවෙන් ලොවක් රැක ගත් මිනිසෙකු ලෙසය.


34 comments:

  1. හොදට ලියලා තියනවා නමුත් තව ටිකක් ගැබුරට යන්න පුලුවන්නම් මිට වඩා ලස්සන වේවි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි! ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
      ඇත්ත කතාවට මූලික කර ගත් දේවල් තව දුරටත් සංකීර්ණව ඉදිරිපත් කල හැකියි. නමුත් එයින් කතාව තවත් දීර්ඝ වීම කියවන්නාට අපහසු විය හැකියි හිතුවා. එමෙන්ම කතාව සංකීර්ණ වීම සමහර පාඨකයෙකුට කතාව නීරස කිරීමටත් ඉඩ තියනවා.
      ඊලඟ කතාවේදී ඔබේ අදහස ගැන සිහි තබා ගන්නම්!

      Delete
  2. වෙනදා වගේම ලස්සන කතාවක් ගිම්..
    කාරණා දෙකක්ම මතු කරලා කතාව ගොඩනගපු නිසා කතාවේ පිරුනු බවක් දැනුනා..
    විද්‍යා ප්‍රබන්ධ කෙටි කරන්න එපා..ඔයාට ලස්සන සිද්දි විස්තර කරන්න පුළුවන් නිසා ඒ හැකියාව ප්‍රයෝජනයට ගන්න..
    විද්‍යා ප්‍රබන්ධ කෙටි කරන්න අමාරු ලේඛකයාගේ විද්‍යා දැනුමට සමාන්තර තලයකට පාඨකයා ගේන්න ඕන නිසා..අපිට නීරස වේවි කියලා හිතලා ඔයාගේ කතා කෙටි කරන්න එපා ගිම්...

    සුභ පැතුම් ඔන්න ඊළඟ කතාවට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ!
      ඇත්තෙන්ම ලියන්න ගත්ත පරාසය කෙටි කතාවකට සුදුසු නැහැ වගේ. එකත් හොඳ ඇත්දැකීමක්.

      Delete
  3. ලස්සණ කතාවක්, ගිමන් අයියේ. හුඟක් විද්‍යා ප්‍රබන්ධවලට වඩා වෙනස්. හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට සරල භාෂාවක් භාවිතා කරපු එක ඇත්තට ම හොඳයි. මොකද තවත් සංකීර්ණ වුණා නං විද්‍යා දැනුම පටු අයට මේ කතාව රස විඳින්න බැරි වෙනවා. ඉස්සරහටත් මේ වගේ ලස්සණ කතා කියවන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධාරා!
      ඔන්න ඔය කරුණු අතරේදි තමයි කතාවක් ලියන්න ගියහම අපහසුතාවයට පත් වෙන්නෙ. සරල බව හා සංකීර්ණ බව පාලනය. විද්‍යා ප්‍රබන්ධ ලිවීමේදී එය වඩාත් තදින් බලපානවා.

      Delete
  4. නියමයි මචන් ,ලෙසට ලියලා තියෙනවා ,ඉස්සරහට මීට වඩා හොදට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොබින්!
      බලමු ඉස්සරහට තව ටිකක් දියුණු වෙන්න.

      Delete
  5. විද්‍යා ප්‍රබන්ධ කියවන්න කම්මැලි කෙනා කොහොමත් කම්මැලියි ආස කෙනා තමයි කියවන්නේ.ආස කෙනා වෙනුවෙන් ගත් උත්සහය අගය කරනවා.විද්‍යා ප්‍රබන්ධ ලියන්න හැමෝටම බෑ කොහොමටත් බෑ....මාර දැනීමක් ඕනි සහ ඒක වෙනම හැකියාවක් කරැණු රැස් කිරීම උපකල්පන සරල විදහා දැක්වීම් තව තව ගොඩක් දේවල් ඉතින් තියනෝ.....ඒව ජයගෙන ගියපු ටික මදි වගේ ඔයා ෂෝට් කරල කියල අපිට හොදට දැනුනෙ ඒ නිසයි.

    අනිත් දවසෙ එහෙම කරන්න එපා කියවන කෙනා ගැන හිතන්න එපා......තව රස කරන්න තිබුණා....

    විශේෂයි.......සිත්තමීටත් මේ පිටසක්වල පිස්සුවනම් තදින්ම තිබුන එකක්.ජොබ් එකත් එක්ක ‍දැන්නම් වෙලාවක් නෑ.සෑහෙන්න කරැණු තිබුණා.ලංකාවෙ ප්‍රොජෙක්ට් එකක් කරන අයෙක් සමග බොහොම හිතවත්ව මේ සම්බන්ධව ඉගන ගැනීමත් පිටුවහලක් වුණා.විටෙක කෙනෙක් විශ්වාස නොකරන කරැණු පවා මා දැනගෙන සිටියා......ලංකාවේ අපි ලිදේ ගෙම්බො හා සමාන නිසා පිටසක්වල ජීවීන් කථාවලට ප්‍රබන්ධ වලට සීමා වෙලා........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී!
      සරල එක් ඉලක්කයක් විතරක් වස්තු බීජයට ගන්න එක තමයි හොඳම දේ කියල මේකෙන් ඉගෙන ගත්තා. කොහොමද මේක නවකතාවකට හැරෙව්වොත්?

      Delete
  6. මම හිතන්නේ ගිමන්, මේ liquid Nitrogen වෙන්න ඕනෙ වැඩේ ගොඩ දාගන්න උදව් වුනේ.

    මට මෙන්නෙ මේ ගැටළුව තියෙනවා, ගිමන්. ද්‍රව නයිට්‍රජන් තරම්ම (සෙල්සියස් සෘණ 196) ශීතල නොවුනත් රුසියාව වගේ රටවල ශීත සෘතුවේ ඇති සෙල්සියස් සෘන හතලිස් ගනන් වල උෂ්ණත්වයේදිත් මේ යානා විනාශ වුනා නම්, මේ යානා වලට සමකයට ඉහලින් අඩි 37000ක් වැනි උසකදී පවා ඔය උෂ්ණත්වයට මූණ දෙන්න සිද්ධ වෙනවා.

    එතකොට වායුගෝලයෙන් පිටත අභ්‍යාවකාශයේදී සෙවනැලි අතර සහ හිරු එලියේ උෂ්නත්ව පරතරය විශ්වාස කල නොහැකි තරම් වෙනස්. උදාහරනයක් හැටියට සතුරු යානාවේම හිරුට මූණ දෙන දිශාවේ අධික උෂ්ණත්වයකුත්, ප්‍රති විරුද්ධ දිශාවේ අධික ශීතලකුත් ඇතිවෙන නිසා, ඔය යානාවට වැඩි දුර ගමන් කරන එක ප්‍රශ්ණයක් වෙනවා.

    මේ ගැටළුව ඇරෙන්න, කතාවේ ගොඩ නැංවීම නම් සුපිරියැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් අයියා!
      අයියා නම් බොහොම කල්පනාවෙන් කියවල තියනවා වගේ, මෙහෙම ගැටළුවක් මතු වෙනවා කියන්නෙ කතාවේ අඩු පාඩුවක්. කලින් අය කියල තියනවා වගේ කෙටි කිරීමේ විපාකයක්.
      මෙහෙමයි අභ්‍යවකාශය ජය ගන්න ඕනෑම කෙනෙක් එහි පවතින තත්ව වලට පෙර සූදානම් සහිත වනවා. නමුත් ඒක මට සඳහන් කරන්න තිබ්බා පෘතුවිය තුල උශ්ණත්වයේ ආවරණ ලැබීම නිසා අභ්‍යවකාශයේදී යොදා ගත් ආරක්ශක ආවරණ මුදා හැරියා කියලා. ඒ කල මෝඩකම නිසා තමයි ඔවුනට සමකය ආශිතවම රැඳී සිටින්න වුනේ.
      දෙවෙනි කාරණේ ශීතල පමණැක් ඔවුන්ට හානි කරන්න ප්‍රබල වුනේ නැහැ. මෙහිදී ඔවුනට දැඩිව විරුද්ධව සිටියේ ඔවුන්ගේම විශ වල ආකෘතිය "නයිට්‍රජන් අණුව"

      කොහොම වුනත් මේ සිදුවීම් පෙල ගැලපෙන්නෙ දිගු කතාවකට. බලමු ඉදිරියේදි. (සීමාවාසිකේ එහෙම ඉවර වෙලා :D )

      Delete
  7. උඩ හෙන්රි ඩූඩ් දාලා තියෙන දේ නම් ඇත්ත තමා. නමුත් මට නම් අතිශයින්ම හොඳ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළහිරු! ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
      ඒ ගැටලුවට පිලිතුරක් දෙන්න උත්සාහ කලා. කෙසේ නමුත් එය කතාවට ඇතුලත්ව තිබිය යුතු වූ දෙයක්.

      Delete
  8. කම්මැලි හිතෙන්නෙ නැතුව කියවන්න පුලුවන් අයියෙ... සරලව ලස්සනට ලියලා :)
    ඊලඟ කතාවෙදි ලියන්න හිතට එන ඔක්කොම ලියන්න, දිග වැඩිනම් කොටස් දෙකකට හරි! එතකොට කතාව කෙටි කරන්න ගියාම වෙන අපහසුකම් ව්එන්නෙ නෑනෙ.

    තවත් කතාවක් ලියන්න ,ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි!
      ඒක ඇත්ත, ඊළඟ කතා ලියද්දි මේ ගැන මතක තිය ගන්නම්කො.

      Delete
  9. මේ මං කියන්නද වැඩක්?දැන් මේක දික් කරල novel එකක් ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිසඟි!
      පේන විදිහට ඒක තමයි හොඳම අදහස! වෙලාව තමයි ගැටළුව.

      Delete
  10. පට්ට කතාව මචන් නිකන් ෆිල්ම් එකක් බැලුවා වගේ :)

    ReplyDelete
  11. හරිම ආසාවෙන් කියෙව්වා. හරියට පරිවර්ථන කතාවක් වාගේ. අන්තිම ටික ටිකක් ලිස්සලා ඇරල වගේ ලියවිලා තියෙන්නෙ. මාත් හිතනවා කොටස් දෙකකට ලීවා නම් හරි කියල. හොඳ උත්සාහයක්. හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාන්දි!
      උඩින් කියල තියනවා වගේ නවකතාවකට හරවන්න අදහසක් තියනවා.

      Delete
  12. හරිම ලස්සන කතාව මම කීප සැරයක් කියෙව්වා. මම විද්‍යා ප්‍රබන්ධ කතා කියවන්න මාරම ආසයි අනේ. අනේ ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි ගැන කමෙන්ට් දාලා ගුණ දොස් විවේචනය කරලා මාව ධෛර්යමත් කරන්න ඇවිල්ලා යන්න එන්නකෝ.

    ReplyDelete
  13. සාර්ථකයි.. ගොඩක් හොඳට ලියලා තියනවා සහෝ.. වැඩි දෙනා කිවුවා වගේම මටත් කියන්න තියෙන්නෙ උඹේ කතාවෙ වැදගත් සිද්දි තව විස්තරාත්මකව තවත් රසවත් විදිහට ලිවුවා නම් අති විශිෂ්ටයි සහෝ.. උඹට හොඳ හැකියාවක් තියනවා.. මේ වගේ කතා දිගටම බලාපොරොත්තු වෙනවා මචං..

    කියන්න බැරි වුනා.. අදමයි මං උඹේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්නෙ.. කොහොමත් මං විද්‍යා ප්‍රබන්ධ වලට පට්ට ආසයි..

    ගතේ මහන්සිය නිවාගන්න ගිමන්හලේ ගොඩවැදිලා ඉඳලා උඹට හිතුන වෙලාවක මතක මාවත පැත්තෙත් ඇවිදලා යන්න වරෙන් සහෝ..
    http://mathakamawatha.blogspot.com/?m=1#

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සචින්! ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා.
      ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්කො.

      Delete
  14. විද්‍යා ප්‍රබන්ධ නම් කොහොම උනත් කමක් නෑ... හි හි...

    හැබැයි මේක නම් කොට වැඩියි... මේ ළඟදි මට අහුවුනා ආතර් සී ක්ලාක්ගේ එක පොතක්... පරිවර්තනයක්.... ඇත්තටම මං කියවලා තියෙන නීරසම විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් එකක්... ඒකේ නීරස බවට මට දැනුන ලොකුම හේතුව තමයි යම්කිසි විද්‍යාත්මක හේතුවක් මත පදනම් කරගෙන කල්පිතයක් ගොඩ නැඟීමේදී, කල්පිතය සාර්ථකව ඉදිරිපත් කරන්න වැඩි වැඩියෙන් විද්‍යාත්මකව විස්තර කිරීමට යාම.... ඒක පාඨකයාට මහ ඔලුවේ කැක්කුමක් වෙනවා විතරක් නෙවෙයි කතාවේ රසය සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් දෙයක්.... ඇත්තටම විද්‍යා ප්‍රබන්ධයක් කියවද්දි කියවන කෙනා දන්නවා මේක ඇත්තක් නෙවෙයි කියලා.. හැබැයි කතාව තුළ ජීවත් වෙන්න පුලුවන් විදියට ඉදිරිපත් කිරීම කරනවා නම් ඒක සරල විද්‍යාත්මක කරුණු යොදාගෙන සාර්ථකව කල්පිතය ගොඩ නංවන්න පුලූවන්...

    දැන් ඔය ගිය අවුරුද්දේ ආපු Prometheus වගේ ෆිල්ම් එකක කතාවේ සාරාංශය ගොනු වෙන්නේ හරිම සරල සිද්ධාන්ත දෙකක් මත.... ඒ තමයි පෘථිවියට ජීවය ආවේ පිටසක්වලින් කියන එක සහ මිනිසා‌ෙග් සදාකල් ජීවත් වීමට ඇති ආසාව කියන දෙක... ඔය දෙක පදනම් කරගෙන කතාව ගොඩනඟද්දි කල්පිතය යථාර්ථයට සම්බන්ධ කරන්න ප්‍රාග් ඓතිහාසික ගල්ගුහා චිත්‍ර කියන විද්‍යාත්මක සොයාගැනීම කල්පිතයක් විදියට යොදා ගන්නවා... ඊට එහාට ඒ කතාව තුළ විද්‍යාත්මක කියවීම් නෑ.... කල්පිත කතාන්දරයක් විතරයි තියෙන්නේ... එහෙම කරපු එකෙන් වෙන දේ තමයි බලන කෙනා ඒ බලන වෙලාවට තුළ ඒ කතාව තුළ ජීවත් වෙන එක... ඒක තමයි කතාවේ සාර්ථකත්වයට මුල...

    මට හිතෙන හැටියට ඔන්න ඔය ටික ඔලුවේ තියාගෙන විද්‍යාප්‍රබන්ධයක් ලියන්න පුළුවන් නම් මං හිතන්නේ ගොඩක් සාර්ථක කරගන්න පුලූවන් වෙයි...

    ආ තව දෙයක්.. ඉංග්‍රිසි වචන වල සිංහල භාවිතාව ගැනත් සැලකිලිමත් උනොත් හොඳයි... ඇත්තම කියනවා නම් සමහර ඉංග්‍රීසි වචන සිංහලට පෙරලලා ලියන එකෙන් වෙන්නේ කතාව අභව්‍ය වෙන එක... එහෙම වචන අපිට පුරුදු නැති නිසා... ඊට වඩා හොඳයි ඒ දෙබස්, ඒ වචන ඉංග්‍රීසියෙන්ම ඉදිරිපත් කරන එක... හැබැයි මේ මගේ අදහසක් විතරයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හිරැ!
      වැදගත් දේවල් ගොඩක් කියලා. ආයෙ කතාවක් ලියද්දි ඒ ගැනත් හිතන්නම්.

      Delete
  15. ගැමියා එක්ක කරට කර සටන් කරන්න පුළුවන් තවත් ක්‍රීඩකයෙක් ඉන්නවා..ඒ තමයි උඹ ගිමා අයියේ. (ගැමියා ලිවිල්ල නතර කරත් ඌ ආයේ පටන් ගනීවි කියලා හිතනවා)ගුටි බැට කුණුහරුප වෙනුවට අපිට දකින්න වෙන්නේ සුපිරි නිර්මාණ..මම ෆිල්ම් එකක් බැලුවා වගේ. හිරු අක්කා කියනවා වගේ ප්‍රබන්ධ කියවන්න එපා වෙන්නේ අනවශ්‍ය විස්තර කිරීම් නිසා...මේ කතාවේ අනවශ්‍ය වෙහෙසක් ගන්න ඕනි නෑ කතාව පැහැදිලියි. මම හිතන්නේ මේක අලුත් ආරම්භයක්.. මට මතකයි අර අවශෝෂණ පාශානයක් ගැනත් ගිමා අයිය කතාවක් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රයිටර් මල්ලි!
      විද්‍යා ප්‍රබන්ධ ලියන්න ටිකක් අමාරුයි. හැබැයි ගොඩක් අය කියවන්න කැමතියි. ඒ වගේම සියල්ල් සතුටු කරන්නත් අමාරුයි. අත්දැකීම් ඊලඟ එකට යොදා ගන්න පුලුවන්.

      Delete
  16. බොහොම සතුටුයි මල්ලී, මේ කතාව කියවන්න ලැබීම ගැන... සාර්ථකයි. ඒ වගේම සීමාවාසික... ගැන දැන ගන්න ලැබීම ඉතා සතුටක්. කතා ලියන්න හොඳ හැකියාවක් ඔබ තුල තියෙනවා,. එනිසා නවත්වන්න එපා... තව ඉදිරියට ලැබෙන අත්දැකීම් සමග තවත් ලියන්නට හැකි වේවි. ඔබ විදුසර පත්තරයට විද්‍යා ප්‍රබන්ද ලියුවාද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කා.
      ලියන්න ආස වුනත් . සීමාවාසිකේට මට තියන රෝහල අනුව නම් හුස්ම ගන්නවත් විවේකයක් ලැබෙන්නෙ නැති වෙන හැඩයි.
      විදුසරට ලියල නෑ අක්කා. බ්ලොග් එකේ තමා හැම කතාවක්ම දාන්නෙ.

      Delete
  17. විද්‍යා ප්‍රබන්ධ කියවන්න ගොඩක් අය කැමති උනාට ඒවා ලියන්න හැමෝටම බෑ. ගිමන්ට නම් ඒ හැකියාව හොඳටම තියෙනව :) ටිකක් වේගවත් විදිහට කතාව ගලාගෙන ගියාට රසවින්දනයට ඒක බාධාවක් උනේ නම් නෑ. කොහොම උනත් විවේකයක් තියෙන වෙලාවට කොටස් විදිහට පලකරන්නත් දීර්ඝ විද්‍යා ප්‍රබන්ධයක් ලියන්නකො...

    ReplyDelete
  18. ඇත්තටම කවදාවත් මන් විද්‍යා ප්‍රබන්දන කියවලත් නෑ. කියවන්න හිතලත් නෑ. ඒ ගැන මට කිසිම කැමැත්තක් නෑ. නමුත් මේ කතාව කියෙව්වට පස්සේ ගොඩාක් ආශාවක් ඇති වුණා. ගොඩාක් ස්තුතියි ගිමන්. අර්ථවත් වගේම රසවත් කතාවක්. :)
    ඔබේ හැකියාව ගැන පුදුමයි.. :)

    ReplyDelete