උදෑසනම පළමුවෙන් බාහිර රෝගී අංශයට ඇතුල් වූවේ වයස අවුද්දක පමණ දරුවෙකු වඩා ගත් මවකි.
"ඉඳගන්න, මොකක්ද අමාරුව?"
"ඩොක්ටර් මේ ළමය කන්නෙම නැහැනෙ, බරත් හොදටම මදි කියල මිඩ් වයිෆ් නෝන කිව්ව. අනේ ඩොක්ටර් විටමින් මොනව හරි ලියල දෙන්නකො"
පෙනුමෙන් දරුවා ක්‍රියාශීලීය, කෙසඟ සිරුරකට හිමිකම් කීවද රෝගී බවක් නොමැත.
"බබාව පොඩ්ඩක් ඇඳෙන් තියන්න බලන්න."
මූලික පරීක්ෂා වලට අනුව උපතින් පිහිටන හදවත් රෝග හෝ වෙනත් සින්ඩ්‍රොමික ලක්ෂණයන් දැකිය නොහැක.
"හරි බබාව අරගෙන ආයෙත් වාඩි වෙන්නකො, කෝ බලන්න බබාගෙ පොත"
සියලු එන්නත් නියමාකාරව ලබාදී ඇත, ඒ වයසට කලයුතු ක්‍රියාකාරකම් සම්පූර්ණ කර ඇති බවටද සලකුණු වී තිබේ. ගැටලුව ඇත්තේ බර සටහනේය ඉපදීමේ සිට මාස කීපයක් යනතුරු කොළ පැති තීරුවේ සඳහන් වූ බර මාස
6 පසු වනවාත් සමඟම සීග්‍රයෙන් පහත බැස ගොස් මේ වන විට රතු පැහැ කලාපයට සේන්දු වී තිබේ.
වරද බොහෝ දුරට පැහැදිලිය.
"දැන් කියන්න බලන්න දරුවට කෑම දෙන විදිහ?
"ඩොක්ටර් මිඩ් වයිෆ් නෝන කියල දුන්න විදිහටම මුලින් බත් කැඳ හදලා දුන්න ඊට පස්සෙ ටිකක් බ්ලෙන්ඩර් කරල දුන්න එළවළුත් ගොඩක් ජාති එකතු කලා. කවා ගන්න හරිම අමාරුයි"
"තාම මව් කිරි දෙනවනෙ?"
"අපොයි ඔව් ඩොක්ටර් ඒක නම් අඩුවක් කලේ නේ" මව ආඩම්බරයෙන් පවසයි.
"ඒ කියන්නෙ බබා අඩනවත් ගානෙ දෙනවා?"
"ඔව් ඩොක්ටර් නැත්නම් කොහෙද මෙයාව නලෝ ගන්නෙ, දෙනකල්ම අඬනවනෙ"
"එතකොට දවසට කී පාරක් විතර මව් කිරි දෙනවද?"
එහෙම ගානක් කියල නෑ ඩොක්ටර් ඔය කොහොමත් ඉතින් පැය දෙකකට සැරයක් වත් දෙනවා"
"හ්ම්ම්, මම වැඩක් කියන්නම්. අද ගෙදර ගියහම වතුර ලීටර් 2කට කිරිපිටි හැන්දි 5ක් විතර දාල කිරි එකක් හදා ගන්න ඊට පස්සෙ පැය දෙකෙන් දෙකට බොන්න. එහෙම බොන අතරෙ බලන්න වෙනද කනවා වගේ බත් කන්න පුලුවන්ද කියල"
මව සිනාසේ,
"අපෝ පැය දෙහෙකට සැරයක් කිරි බිව්වහම කොහෙටද කන්නෙ? කනව තියා කටේ තියන්නවත් බැරි වෙයි"
"එතකොට මේ දරුවට කරන චෝදනාව හරි අසාධාරණයිනෙ, අම්ම මෙයාට පැය දෙකෙන් දෙකට කිරි පොවල බත් එක කවා ගන්න බෑ කියන එක"
මම නිරුත්තරය, නමුත් පරාජය භාර ගැනීමට නම් සූදානම් බවක් නොපෙනේ.
"ඒ වුනාට ඔය හැමෝම කියන්නෙ පුලුවන් තරම් දරුවට මව් කිරි දෙන්න කියලනෙ"
"ඔව් ඒක හොඳයි දරුවට මාස 6ක් වෙනකල්." ඊට පස්සෙ දරුවගෙ වැඩීම භාර දෙන්න ඕනෙ කෑමට, මාස හයෙන් පස්සෙ මව් කිරිවල පෝෂණ ගුණය ටිකෙන් ටික අඩු වෙනවා කියල දන්නවද? කල් යනකොට වෙඩි ප්‍රමාණයක් වෙන්නෙ වතුර"
මව දැන් සම්පූර්ණ අවධානය යොමු කර ඇත.
හොඳයි මේ ටික අහගන්න.
දරුවගෙ බර අඩු වෙලා තියෙන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි හරියට කෑම නොදෙන නිසා. අඬනවත් ගානෙ කිරි දෙන්න ඕනෙ මුල් මාස දෙක තුනේ විතරයි.
හැබැයි නියම විදිහට කිරි දෙන්න ඉගෙන ගන්න ඕනෙ. පළවෙනිම දේ දරුවට ආදරෙන් ඒ දේ කරන්න ඕනෙ. බබාව වඩා ගන්න විදිහ, තනපුඩුව හරියට කටට ඇතුල් කරන එක, කිරි බොන අතරෙ දරුවව තියා ගන්න විදිහ. මේ හැම දෙයක්ම මිඩ් වයිෆ් නිලධාරිනියගෙන් හරියට අහගන්න ඕනෙ.
මාස තුනක් පහු වෙනකොට පැය 3කට සැරයක් කිරි දුන්නහම ඇති. මාස 5ත් 6ත් අතර කාලෙදි අමතර ආහාර පටන් ගත්තට කමක් නෑ නිවැරදි උපදෙස් අරගෙන. මේ කාලෙ වෙනකොට පැය 5කට 6 කට සැරයක් කිරි දෙන්න පුරුදු පුරුදු කර ගන්න ඕනෙ. ඒ වගේම රෑ කාලයට කිරි දෙන එකත් (Over night feeding) නතර කරන්න ඕනෙ. දවල් කාලයේ කිරි වේල් දෙකක් අතරට අමතර කෑම වේලක් ඒ කියන්නෙ දවසට අමතර කෑම වේල් 3ක්.
මේ කාලෙ තමයි බබාගෙ බර ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කාලෙ. දරුවගෙ බර වැඩි වෙන්න මව් කිරිවල තියන ප්‍රෝටීන ප්‍රමානය මදි. එතකොට බර වැඩි වෙන්න අමතර අහාර වල උදව්ව අත්‍යවශ්‍යයි. මමක් කියන එක විශ්වාස නැත්නම් මාස හයේදිත් කිරි වලිනම බඩ පුරෝපු බබෙක්ගෙ බර සටහන අරන් බලන්න මාස හයේදි බර වැඩි වීම එක පාරට නතර වෙලා තියෙන හැටි.
අපි බලමු අමතර ආහාර දෙනකොට දැනගන්න ඕන දේවල් මොනවද කියල. දරුවා අමතර කෑම වලට හුරු වෙන්නෙ බඩගිනි දැනුනොත් විතරයි. ඒකට කිරි වේල් අතර වැඩි කාලයක් තියන්න ඕනෙ. අමතර කෑම පටන් ගන්නෙ මෙහෙමයි, මුලින්ම බත් වතුර, ඊලඟට කැඳ වතුර , උකු කැඳ. මේ හැමදෙයක්ම ලා රස්නෙට දෙන්න ඕනෙ. ඊලඟට බත් ඉන්පසු එළවළු.
දරුවගෙ දිවට ඉක්මනට අර්ධ ඝන ආහාර හුරු කරන්න ඕනෙ. එතකොට
තමයි ආහාර හැපීම ඉක්මනට හුරු වෙන්නෙ. ඒ නිසා දිගටම බ්ලෙන්ඩර් කරල දෙන එක නම් හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම ලුණු පොඩ්ඩක් කැම එකට එකත් කලාට වරදක් නෑ. හැබැයි හොදට මතක තියා ගන්න පැණි රස දේවල් තමයි අන්තිමටම දරුවට පුරුදු කරන්නෙ. මොකද පැණි රස දෙයක් දිවට දැනුන ගමන් ඒකයි මොලේ රෙජිස්ටර් වෙන්නෙ. එතකොට අනිත කෑම මුකුත් කවා ගන්න බැරුව යනවා.
මාස නවයක් වෙද්දි දවසට 4 සැරයක් කිරි දුන්නහම ඇති ඒ එක්කම හොඳ ඝන ආහාර වේල් 3 කට හුරු කරවා ගන්න. අවුරුද්දක් වෙනකොට 3 සැරයකට අඩු කරලා. අවුරුදු එක හමාර වෙනකොට මව් කිරි සම්පූර්ණයෙන් නතර කරන්න ඕනෙ.
ඊලඟට විටමින්! එළවළු ගස් මල් ගස් විටමින් ගහල හදනවා වගේ විටමින් පෙති දීල දරුවො හදන්න බෑ. විටමින් අවශ්‍ය වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා විටමින් ඌනතාවයක් ඇති වුනොත් විතරයි. ඒ වගේම වෙළෙඳපොලේ තියෙන දාහකුත් එකක් කිරිපිටි වර්ග නේස්ටම් වර්ග වලට දරුවව පුරුදු කරන්න එපා. ඒවගෙන් ඇඟ මහත් වුනත් නිරෝගියි කියන්න බෑ. ඒ වගේමයි ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවත් අඩුයි. අඩු වයසින් අධිරුධිර පීඩනය, දියවැඩියාව වගේ රොග වැලඳීමේ හැකියාවත් වැඩියි.
ඒ ඔක්කොටම වඩා හොඳයි පිරිසිදුව ගෙදර හදා ගත්ත කෑම වේලක්.
"මම කියපු විදිහට සතියක් කිරි එක අඩු කරල හොඳට කෑම එක දවසට තුන් පාරක් කවල එන්න බලන්න බර කිරන්න,"
"ඔව් ඩොක්ටර්, ඒ කිව්ව විදිහට කරල බලන්නම්," කාරණාව හොඳින්ම අවබෝධ කරගත් බවක් මවගේ මුහුණින් පෙනේ. ඊළඟ සතිය වන විට දරුවාගේ බර වැඩි වන බව නොඅනුමානය.












































