Wednesday, April 10, 2013

ඇත්තටම ඉංග්‍රීසි අමාරුද?



දින කීපයකට කලින් සාමාන්‍ය පෙල විභාග ප්‍රතිඵල ආවා. ඔයාලත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඇතිනේ. කොහොමද අහන්න ලැබුන ප්‍රතිඵල?

ටිකක් ගම්පලාතකට වෙන්න ඉන්න මට නම් අහන්න ලැබුන  ප්‍රතිඵල වලින් ගොඩක් දුර්වල ප්‍රතිඵල පෙන්වලා තිබුනේ ඉංග්‍රීසි විෂයට. මෙවර විතරක් නෙවෙයි හැම වසරෙම දක්නට ලැබෙන්නෙ මේ ප්‍රතිඵලයම තමයි.

මොකක්ද මේකට හේතුව? ඇත්තටම ඉංග්‍රීසි අමාරුද?

නමුත් නගරබදට වෙන්නට නම් තත්වය ටිකක් වෙනස්. වෙනත් විෂයන් වලට අඩු ලකුණු ගන්න දරුවනුත් ඉංග්‍රීසි විශයට විශිෂ්ඨ සම්මාන ලබා ගෙන තියෙනවා දකින්න පුලුවන්.

ඉංග්‍රීසි භාෂා හැකියාව ඇති වීමට ඉහල බුද්ධි මට්ටමක් අවශ්‍යද?

නැහැ! ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන්නේ

ආත්මවිශ්වාසය
උත්සාහය
නිවරැදි මග පෙන්වීම

පමණයි!

මෙහිදී මා නිවරැදි මග පෙන්වීමක් කිව්වෙ දක්ෂ ගුරුවරයෙක් කියන එකම නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවේ මූලික ව්‍යාකරණ හා සරල නීති රීති පිළිබඳ දැන ගත හැකි ඕනෑම කෙනෙක්, නිබන්ධනයක් හෝ ගුවන්විදුලි පාඨමාලාවක්.

ඉන්පසු උත්සාහය හා ආත්මවිශ්වාසය (ඉංග්‍රීසි වලට බිය නොවීම ) ඇති ඕනෑම කෙනෙක්ට මනාව ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි අයෙකු වීම අසීරු කාරණයක් නොවෙයි.

ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඉක්මණින් හා රසවත්ව ඉංග්‍රීසි ඉගෙන ගත හැකි ක්‍රම මොනවාද කියන එක ගැන. මම දන්නවා මට වඩා සාර්ථකව මේ පිළිබඳ උපදෙස් ලබා දිය හැකි අය මෙය කියවාවි. කරුණාකර ඔබේ එම උපදෙස් මෙයට එකතු කරන්න. මෙය කියවන තවත් කෙනෙක්ට එය මිල කල නොහැකි උදව්වක් වේවි!

හොඳයි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ ඉංග්‍රීසි කියන්නෙ කියල? 

ඔව් ඒක භාෂාවක්! භාෂාවක් කියන්නේ ප්‍රායෝගික දෙයක්, ඒ කියන්නෙ යම් දෙයක් තව කෙනෙක්ට දන්වන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් එහෙම දෙයක් පොත්වල පිටු පිරෙව්ව කියල වැඩක් වෙන්නෙ නෑ. ප්‍රායෝගික දෙයක් ඉගෙන ගන්න නම් එය පාවිච්චි කරන්න ඕනෑ.

එතකොට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියල මොකක්ද කරන්නෙ?

අපි කරන්නෙ ගුරුවරයා කියන දේ සියල්ල පොතේ සටහන් කරනවා. ඊට පස්සෙ ගණිත සූත්‍රයකට ඉලක්කන් දානවා වගේ වචන එකතු කරල වාක්‍ය කීපයක් හදල නිකන් ඉන්නවා. කවුරුවත් හිතන්නෙ නෑ ඒ වචන වලින් තමන්ගේ යාලුවට මොනව හරි කියන්න පුලුවන් කියල. 
මොකද එහෙම නොකරන්නෙ? හපොයි! වැරදුනොත් එහෙම වස ලැජ්ජාවනේ.

මේකටම මම තව කතාවක් කියන්නම්.

අපේ කාලෙ (දැනුත් එහෙමයි කියල හිතනවා ) 9, 10 ශ්‍රේණි වල ගෑනු ලමයින්ට හින්දි චිත්‍රපට පිස්සුව තිබුනනේ. එයාලට පුලුවන් හින්දියෙන් වාක්‍ය කීපයක් වුනත් කියන්න. 
පන්ති ගිහින් ඉගෙනගෙනද? 
නෑ, තමන් බලපු චිත්‍රපට වලදි ඇහුන වචන එකතු කරල තමයි කියන්නෙ. ඒ වාක්‍ය වැරදි වෙන්න පුලුවන්, ඒත් ලැජ්ජා වෙන්න දෙයක් නෑ මොකද මට එහෙම හරි හින්දි කතා කරන්න පුලුවන් කියලා.

ඉතින් ඒ උනන්දුව ඇයි ඉංග්‍රීසි වලට නැත්තේ? වාක්‍ය ගණන් වරද්ද වරද්දා හින්දි කියන්න පුලුවන් නම් ඇයි ඉංග්‍රීසි වචනයක් කියන්න ලැජ්ජා වෙන්නෙ?

අන්න එතන තමයි වැරැද්ද වෙලා තියෙන්නෙ.  

ඔක්කොටම කලින් ඉංග්‍රීසි වලට තියෙන මේ බොරු ලැජ්ජාවයි බයයි නැති කර ගන්න ඕනෑ. ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ තියන භාෂාවලින් වලින් ඉතා සරල මෙන්ම ඉගෙනීමට ගොඩක් පහසු භාෂාවක්. ලියන්න කියවන්න දෙකට පාවිච්චි වෙන්නෙ එකම භාෂා රටාවක් නිසා තවත් පහසුයි.

දැන් බලමු පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අනුගමනය කල යුතු පියවර මොනවාද කියල.

1. මූලික දැනුම ලබා ගන්න.

නිවරැදි මග පෙන්වීමක් අවශ්‍ය වෙන්නෙ මෙතනදි තමයි.
ඉංග්‍රීසි වල මූලික නීති රීති ගැන සාමන්‍ය දැනුමක් ලබාගෙන වැඩේ පටන් ගත්තොත් සාර්ථක ගමනක් යන්න පුලුවන්.
ඉංග්‍රීසි ගුරුවරයෙක් හෝ හොඳ ඉංග්‍රීසි දැනුමක් ඇති අයෙක්ගෙන් දිනක් දෙකක් වැය කර මේ දැනුම ලබා ගන්න පුලුවන්. 


මේ යටතේ,


  • සරල ඉංග්‍රීසි වාක්‍යයක් හඳුනා ගැනීම. (Simple sentence)
  • ක්‍රියා පද වර්ග. (Verb forms)
  • උප ක්‍රියාපද. (Auxiliaries)
  • කාල බේදය. (Tenses - Active and passive voice)
  • නැත යන අර්ථයේ වාක්‍ය රටාව.
  • ප්‍රශ්ණාර්ථය සහිත වාක්‍ය රටාව.
  • වාක්‍යය කීපයක් එකතු කිරීම. (Conjunctions)
  • නිපාත පද. (Prepositions)


යන නීති රීති හඳුනා ගැනීමෙන් පසු අපහසුවක් නැතිව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හැකි වේ.

( අන්තර්ජාලය තුල ඉහත මා සඳහන් කල මූලික ඉගැන්වීම්ද ඇතුලුව සිංහල බසින් නිවරැදිව ඉංග්‍රීසි ඉගෙන ගත හැකි, ගුණාත්මක් බවෙන් යුතු වෙබ් අඩවියක්  / අඩවි ගැන ඔබ දන්නවා නම් ඒ පිළිබඳව දන්වා කොමෙන්ටුවක් දමන්න. මේ පිළිබඳ සැලකිලිමත් වන්නන්ට එය මහත් උදව්වක් වේවි )


2. කියවන්න.


භාෂාවක හැකියාවට වඩාත්ම හේතු වන්නෙ වැඩි වචන ප්‍රමාණයක් දැන සිටීම. මේ සඳහා කියවීම ඉතා වැදගත්.

මොනවද කියවන්නෙ?

අඩු මුදලින් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ක්‍රමයක් තමයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් ගන්න එක. එක පත්තරයක් සතියටම ඇති. හැබැයි හැමදේම කියවන්න යන්න එපා. සිංහලෙන් වුනත් නීරස දෙයක් කියෙව්වොත් කියවන එක ටිකකින් එපා වෙනවනේ.

තමන්ට කැමති හිතෙන දෙයක් කියවන්න. 
අඩු ගානෙ පින්තූර බලන්න, යම් පින්තූරයක් ගැන කුතුහලයක් ඇති වුනොත් ඔන්න අමාරුවෙන් හරි විස්තර කියවන්න හිතෙනවා.

ඔන්න දැන් තමයි ශබ්දකෝෂයක් අවශ්‍ය වෙන්නෙ.
මලලසේකර ශබ්ද කෝෂය ඉතා ප්‍රයෝජනවත්, නමුත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂයක් පාවිච්චි කලොත් ඉක්මණින් ඉංග්‍රීසි හුරු වෙන්න පුලුවන්.

ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂය මෘදුකාංගය  භාගත කර ගත ගැනීමට ටොරන්ට් ෆයිලය ( මෙහි ඉංග්‍රීසි වචන නිවරැදිව උච්චාරණය කරන ආකාරය ශ්‍රවණය කිරීමටද පහසුකම් සපයා ඇත ) 

ශබ්දකෝෂය ලඟින් තියා ගත්තට හැම වචනෙම තේරුම හොයන්න අවශ්‍ය නෑ. කොහොම හරි වාක්‍ය ටික කියෝල තෙරුම් ගන්න උත්සාහ කරන්න, මොකද වචනෙන් වචනේ හොයන්න ගියහම නිකන්ම කියවන එක නීරස වෙනවා.

පොඩි කතා පොත් හොයා ගෙන කියවන්න. 

ඉංග්‍රීසි චිත්‍රපට නරඹද්දි ඉංග්‍රීසි උපසිරැසි වලින් වචනයක් දෙකක් අහුල ගන්න.

මෙන්න මේ වගේ ක්‍රම වලින් තමන් දන්න ඉංග්‍රීසි වචන ප්‍රමාණය වැඩි කර ගන්න.

අලුත් වචන මතක තියා ගන්න. හැබැයි අලුත් වචන ලියා ගෙන කටපාඩම් කරනවට වඩා සාර්ථකයි ඒ වචන වලින් අපිට සම්බන්ද මොනව හරි ගැන පොඩි වාක්‍ය හදා ගෙන ඒවා නිතර කීම.

3. කතා කරන්න.

මෙය ඉතාම වැදගත්. අපි ගොඩක් අයට තියන දුර්වල කමක් තමයි හොඳින් ඉංග්‍රීසි වචන, ව්‍යාකරණ දැනගෙන හිටියත් තව කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න අපහසු වීමත්, කතා කරන්න නොහැකි වීමත්. කතා කරන්න පුලුවන් උනත් නිවැරැදිව උච්චාරණය කිරීමේ අපහසුතා මතු වෙනවා. 

කොහොමද මේ අපහසුතා ජය ගන්නෙ?

හොඳින් සවන්දෙන්න!

වඩාත් නිවරැදිව වචන උච්චාරණය දැන ගන්න තියන පහසුම ක්‍රමය තමයි රූපවාහිනී හෝ ගුවන්විදුලි ඉංග්‍රීසි ප්‍රවෘත්ති වලට සවන් දීම.

ගුවන්විදුලි වැඩසටහන් වලට සවන්දීමත් සාර්ථකයි, නමුත් නියම ප්‍රමිතියක් සහිත ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වලට සවන්දුන්නොත් වඩාත් හොඳයි. මම හිතන හැටියට ගෝල්ඩ් ෆ්ම් හොඳයි.

ඒවායේදී ඇහෙන අලුත් වචන කීපවරක් උච්චාරණය කරන්න. නිතර භාවිතා වන වාක්‍ය රටා හඳුනාගෙන එවා නිතර නිතර කියන්න.

කතා කරන්න!

වැරදෙමින් හෝ හැකි තරම් කතා කරන්න. මේ සඳහා කණ්ඩායමක් හදා ගන්න පුලුවන් නම් වටිනාම උපරිමයි!


ඉංග්‍රීසි ඉගෙනීමට උනන්දුව ඇති කීප දෙනෙක් එකතු වෙන්න. කතා කරන්න දෙයක් හිතට එන්නෙ නැත්නම් කට්ටිය එකතු වෙලා නාට්‍ය ආකාරයට එක් එක් චරිත හදා ගෙන කතා කරන්න ( Role play ) . අනිත කෙනා කියන දෙය එක වරින් තෙරුම් ගන්න උත්සාහ කරන්න. 

මෙසේ කිරීමේදී වචන කටට මෙන්ම කනට හුරු වෙනවා. ඉංග්‍රීසි වලට ඇති අනිසි බිය දුරු වෙනවා.

කතා කරන්න තවත් කෙනෙක් හොයා ගන්න බැරි අයටත් ක්‍රමයක් කියන්නම්.

මේ කාලෙ හැම කෙනෙක් ලඟම ජංගම දුරකථන තියෙනවනෙ. ඒ හැම එකකම වගේ හඬ පටිගත කිරීමේ පහසුකම තියෙනවා. 

ඉතින් දුරකථනයේ හඬ පටිගත කිරීම සක්‍රීය කරල තමා කැමති ඕනෑම දෙයක් ගැන ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඊට පස්සෙ එය වාදනය කරල අහල බලන්න. වැරදි ඇති තැන් හඳුනා ගෙන නැවත නොකරන්න ඒවා මතක තියා ගන්න. උච්චාරණ අපහසු වූ තැන් හොඳින් උච්චාරණය කරල කටට හුරු කර ගන්න.

4. හිතන්න

අපි දවසේ කොච්චර නම් දේවල් හිතනවද! පොඩ්ඩ්ක් ඉංග්‍රීසියෙන් හිතන්න උත්සාහ කරන්න.

මනසින් විවිද අවස්ථා මවා ගන්න.

උදාහරණයක් ගත්තොත්, බසයේදි විදේශිකයෙක් ලඟ වාඩි වෙනවා, ඔහු හෝ ඇය ඔබට කතා කරනවා. ඒ ප්‍රශ්න මොනවා වේවිද හිතන්න, එවාට පිලිතුරු හිතන්න, පෙරලා ඔහුගෙන් ඇසිය හැකි ප්‍රශ්න හිතන්න, එවාට ලැබිය හැකි පිලිතුරු අනුමාන කරන්න.

ඔබ එක් වරක් මෙසේ හිතින් මේ අභ්‍යාසය කරල තිබ්බොත් සැබැවටම එවැනි අවස්ථාවක් උදා වූ විට තේරේවි ඉන් කොයි තරම් පහසුවක්, ආත්මවිශ්වාසයක් ලැබෙනවද කියලා.

5. ලියන්න

ලිවීම මඟින් භාෂාව හැඩ ගැන්වීම, ව්‍යාකරණ පිලිබඳ දැනුම පරිපූර්ණ වීම සිදු වෙනවා. 

මොනවද ලියන්නෙ?

රචනා අකාරයෙන් තමන් කැමති මාතෘකාවක් ගැන ලියන්න පුලුවන්. 
ඒකට කම්මැලි හිතෙනවා නම් දිනපොතක් ලියන්න පටන් ගන්න. හැමදාම පුරුද්දක් හැටියට එදිනෙදා සිදු වීම් ලියන්න. 


ඉහත සඳහන් ක්‍රම සියල්ලගෙන් මම කියන්න උත්සාහ කලේ ඉංග්‍රීසි දැනුම වැඩි වෙන්නෙ අපි පාවිච්චි කරන තරමට කියන එක.
කඩුවක් වඩාත් හොඳින් කැපෙන්නෙ මුවහත් කරන තරමට. 

වැරදීම් ගැන කිසි විට ලැජ්ජා වෙන්න එපා. ඉංග්‍රීසි අපේ මව් බාෂාව නෙවෙයිනේ. පිටරැටියෙක් කවදාවත් අපි ඉංග්‍රීසි වැරැද්දුවා කියා සමච්චල් කරන්නෙ නෑ. අපි යන්තමින් හෝ ඉංග්‍රීසි කතා කිරීම ගැන ඔවුන් සතුටු වෙනවා. 

ඉංග්‍රීසි පාවිච්චියට ඇති බිය නැති වී විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි භාවිතා කරන්න අරන් කෙටි කාලයක් යද්දි ඉබේම අපේ තියන සුලු සුලු වැරදි නිවරැදි වෙනවා. 

බොහෝ දෙනාට රැකියා ලබා ගැනීමේදි, උසස් වීම් ලබා ගැනීමේදී, වැඩිදුර අධ්‍යාපනය ලැබීමේදී, ව්‍යාපාර කටයුතු වලදී එන ප්‍රබල බාධකයක් තමයි ඉංග්‍රීසි දැනුම නොමැති වීම. ඉතින් ඔබ අද ඒ අඩු පාඩුව හදා ගතහොත් අනාගතයේදී ඔබ ඒ පිළිබඳ දහස් වාරයක් සතුටු වේවි!

ඉතින් හිත හිතා ඉන්න එපා අදම පටන් ගන්න!

Sunday, April 7, 2013

නොනිමි සෙනෙහස



ශීලා අතුගෑම නවත්වා කඩුල්ල වෙත නෙත යොමු කලේ මඳක් වෙහෙස නිවෙන තෙක්ය, අසල්වැසි නිවසේ කුමාරි කඩිමුඩියේ පාසැල වෙත දුවයි. ඇය ගුරුවරියකි.

"අද නම් හොඳටම පරක්කු වුනා අක්කෙ"

"ඒක තමයි මාත් බැලුවේ, ටිකක් අඩිය ඉක්මන් කලා නම් හරි"

කුමාරි සිනාවක් පාමින් ශීලා පසු කලාය. ශීලාගේ නෙත ගියේ ඇය ඇඳ සිටි සාරිය වෙතයි.

"අලුත් එකක් වගේ"

එහි වර්ණය හා කුඩා මල් මෝස්තරය ඇගේ සිත් ගත්තේය.

"තව ටිකක් තද පාට වුනා නම් තවත් හොඳයි. දාහක්වත් වෙන්න ඇති" 
ඇය සුසුමක් පිට කර යලි මිදුල අතු ගෑම පටන් ගත්තාය.

ලබන මාසයේ යෙදී ඇති මංගල උත්සවයක් සඳහා සාරියක් ගැනීමට ශීලා මාස ගණනක සිට පෙරුම් පුරන්නීය. වසර ගණනකින් ඇය සාරියක් මිලට ගෙන නැත. රැකියාවකට නොයන බැවින් පැරණි සාරි කිහිපය ඇය පරෙස්සමෙන් පාවිච්චි කලාය.

ඇගේ සැමියා වූ වරුණ රාජ්‍ය සමාගමක ලිපිකරුවෙකි. පවුලේ සියලු කටයුතු කෙරුනේ ඔහුගේ පඩිපතිනි. ශීලාගේ සකසුරුවම්කමින් හා වරුණගේ මහන්සියෙන් යන්තම් වේල පිරිමහගෙන, තමාගේම නිවසක සිහිනය සැබෑ කර ගැනීමට කීයක් හෝ ඉතිරි කරගන්නට ඔවුන් වෑයම් කලෝය.

ඇඳුම් ආයිත්තම් වලට ඇලුම් කරන්නියක් වුවද ඒවා යටපත් කොට ගෙන සිටීමට ශීලා බොහෝ විට වෙර දැරීය. සාරියේ කල්පනාවෙන් මිදුලා අතුගා හමාර කල ශීලා නිවස වෙත යමින් සිතා ගත්තේ අද සවස ටවුමට ගිය විට සාරියක් බැලීමට යායුතු බවය.

අල්මාරිය හැර ඇඳුම් අතර සඟවා තිබූ මුදල් පසුම්බිය ගෙන යලිත් මුදල ගණන් කර බැලුවාය.

"නමසීයයි, අරය දීල ගිය තුන්සීයත් එක්ක එක්දාස් දෙසීයයි. මේ ගානට හොඳ එකක් හොයා ගන්න පුලුවන් වෙයි"

අද සාරියක් ගන්නවා යන හැඟීම ඇගේ සිත පුරවා දැමීය. ඒ උද්යෝගයෙන් නිවසේ වැඩ කටයුතු වෙනදාටත් කලින් හමාර කලාය.

ඇගේ දැහැන බිඳුනේ ජනිඳුගේ පැමිණීමෙනි.

"අහ් අද මොකද කලින්ම ඇවිත්? තාම එකටවත් නෑ නේද"

"අයියෝ අම්ම නම් මොන සිහියෙන් ඉන්නවද මන්දා! අද නිවාඩු දෙන දවසනෙ"

ශීලාට එය මතකයට ආවේ එවිටය.

"ඔව් නේන්නම්, හා හා එහෙනම් ගන්න බලන්න රිපෝර්ට් එක"

ජනිඳු කියූ සැනින් එය රැගෙන එන උජාරුව දුටු ශීලාට ප්‍රතිඵල සිතා ගත හැකිවිය.

"ෂා! මේ පාර එක වෙලානේ" ඇයට දැනුනේ පුදුම සතුටකි.

ජනිඳු සෙල්ලමට බර වුවද කවදාවත් ඉගෙනුම් වැඩ මඟ හරින්නෙකු නොවීය.

ප්‍රගති වාර්තාවේ වූ අනෙකුත් ලකුණුද ඇය පිරික්සා බැලුවේ ආඩම්බරයෙනි.

"ඔන්න අර කිව්ව එක අරන් ඕනේ!"

ජනිඳු මවගේ මුහුණ පිරික්සමින් ඇසුවේය.

ජනිඳු වසර මුල සිටම ක්‍රිකට් පිත්තක් ඉල්ලන බව ඇයට මතක් වූවේ එවිටය.

"අම්මේ ඉසුරු නියම බැට් එකක් අරන්, ඒකෙන් නියමෙට ගැහුව හැකි ලෑලි වලින් කැපුව ඒව වගේ නෙවෙයි. මටත් එකක් අරන් දෙන්නකෝ"

"අපෝ ක්‍රිකට් ගහල හරියනවද, ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අඩු වුනොත් එහෙම ගස්සන්නම්කො ක්‍රිකට්"

"හා එහෙනම් ටර්ම් ටෙස්ට් එකේ පලවෙනිය වුනොත් මට බැට් එකක් අරන් දෙනවද?"

"හ්ම්ම් එහෙම උනොත් අරන් දෙන්නම්කො"

ශීලාට මසකට දෙකකට පෙර සිය පුතුට දුන් පොරොන්දුව මතක් විය.
ඇය හුස්මක් හෙලා ජනිඳුගේ හිස අත ගෑවාය.

"හා හා අරන් දෙන්නම්කෝ, දැන් ගිහින් නාගෙන එන්න, බත් බෙදල දෙන්න"

ජනිඳු මිටින් හැරි කුරුල්ලෙකු මෙන් දිව ගියේ හද පිරි සතුටිනි.



~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


"පුතා මම ටවුමට ගිහින් එන්නම් ඉක්මනට, කොහෙවත් යන්න එපා, ගෙට වෙලාම ඉන්න හොඳද?

පැය කාලකින් පමණ ටවුමට පැමිණි ශීලා කඩිනමින් නිවසට අවශ්‍යය බඩුමුට්ටු ගෙන හමාර කරද්දීම අහම්බෙන් මෙන් ක්‍රීඩා උපකරණ අලෙවි කරන වෙළඳසැලක් ඇස ගැටින.

"අර බැට් එක කීයක් වෙනවද?"

"575ක් වෙනව මිස්"

"අපෝ එච්චර ගානක් වෙනවද!"

"525කට දෙන්නම් මිස්"

ශීලා කල්පනාවට වැටුනානය. ක්‍රිකට් පිත්ත ගත හොත් සාරියක් ගැනීමට නොහැකි වේ. "හොඳ සාරියක් තියෙනවද කියල බලල එනවා, හොඳ එකක් නැති වුනොත් බැට් එක ගන්නවා"

"මම ටිකක් බලල එන්නම්කො"

"මිස්ට හින්ද 500ට දෙන්නම්"

ඇය එයට පිළිතුරක් නොපවසා කඩයෙන් එලියට බැස්සාය. ඒ අසලම වූවේ ඇඳුම් කඩයයි.

එය තුලට ඇතුල් වූ සිට බැලු බැලු අත වූවේ සිත් පැහැර ගන්නා ඇඳුම් ආයිත්තම්ය. ඒවා අතපත ගාමින් ඇය සාරි තිබූ කොටස වෙත ඇදුනාය. 

වෙළඳ සහායිකාව මේසය පුරා විසිරවූ සාරි ගොඩ අතර ඇය අතරමං විය. ඉතා මිල අධික සාරි අතගා බැලුවේ ඉමහත් ආසාවෙනි. මිලට ගත හැකි වටිනාකමින් යුතු සාරි ගොඩ පෙරලමින් සිටින අතර ඇයට දුටු සැනින් එක් සාරියකට සිත ගියාය.

"මේක කීයක් වෙනවද"

"එක්දාස් දෙසිය පනහක් වෙනව මිස්"

හිතූ තරම් මිල වන්නේද නැත, හෙඩ් පීස් එකද ඇය පුදුම කරන තරමට සිත් ගත්තේය. සිතට සරිලන අයුරේ සාරියක් ලැබීමේ සතුට මුලු හිත පුරාම දිව යන්නට විය. සාරිය ඇඟේ දවටා අසල තිබූ කණ්නාඩියෙන් බැලුවාය.

"ෂා මට නියෙමෙට මැච් වෙනවා " ඇය තවත් හැරි හැරී බැලුවාය.

කන්නාඩිය තුලින් සිය රුව දකිද්දී ඇයට එකවර සිය පුතු මතකයට නැගින.

"මේක ගත්තොත් පුතාට බැට් එක ගන්න වෙන්නෙ නෑ, මොකද කරන්නෙ"

"අම්මේ එහෙනම් එනකොට බැට් එකක් ගේන්න හොඳේ, අර මම කිව්ව විදිහෙ එකක්, මතකයි නේද?" තමා නිවසින් එන විට ජනිඳු කියූ අයුරු ඇයට මතක් විය.

"ආයෙ ලබන මාසෙ වෙනකල් නම් රුපියල් පන්සීයක් හොය ගන්න වෙන්නෙ නෑ, පව් නිවාඩු කාලෙටනෙ සෙල්ලම් කරන්න බැට් එක ඕනැ වෙන්නෙ"

වෙළඳ සහකාරිය දැනටමත් සාරිය පාර්සල් කරයි.

"මේ මම පස්සෙ දවසක එන්නම්"

"ඇයි මිස් සාරිය ගන්නෙ නෙද්ද?, මේක ඉක්මණට යයි, අපරාදේ මිස්ට හොඳට මැච් වෙනවා, මේ ගානට ආයෙ මෙහෙම එකක් හොයන්න වෙන්නෙ නෑ"

වෙළඳ සහායිකාවගේ වදන් ඇයට මහත් ලෝබකමක් හා ශෝකයක් ඇති කලද, යලිත් වරක් සාරිය ආසාවෙන් අතගා බලා සිට ආපසු එන්නට හැරුනාය.



~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


ශීලා ඈත එන අයුරු ජනේලයෙන් බලා සිටි ජනිඳු, දොර හැර පිම්මේ පෙර මගට දුව අවේය.

"අරක ගෙනාවද?" 

ජනිඳුගේ ඇස් සතුටු දායක පිළිතුරක් බලාපොරොත්තුවෙන් දිලිසේ.

ශීලා සිනාසී

"හ්ම්ම් මෙන්න ඔයාගෙ තෑග්ග" 

බඩු අතරින් ක්‍රිකට් පිත්ත ජනිදුට දුන්නාය.

ඇස් ලොකු කර ගනිමින් දෑතින්ම එය ගත් ජනිඳු එවෙලේම එය කඩා බැලුවාය.

"ෂා, මරුනේ මම ආසම කරපු විදිහෙ එකක්! නියමායි!"

ජනිඳු සතුටින් කෑ ගසන්නට විය.

එය දුටු ශීලාටද සිනා නැගුණ. කයේ ගමන් මහන්සිය මෙන්ම සිතේ වූ කණස්සල්ලද හිරු දුටු පිණිමෙන් අතුරුදන් වී ගියේ ඇයටත් නොදැනීමය.

"හා හා ඕකත් උස්සන් ක්‍රිකට් ගහන්න යන්න කලින් එන්න, පොඩි කෑමක් ගෙනාවා"

"නියමයිනේ කෝ!" අසමින් ජනිඳු මව පිටුපසින් දිව ගියායේය.



~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


"ඉතින් එච්චර හොඳ සාරියක් තිබිලත් ඇයි ඔයා ගත්තෙ නැත්තෙ" 

වරුණ විමසිලිමත්ව ශීලාගේ මුහුණ දෙස බලමින් ඇසුවාය.

"හොඳයි නම් තමා අනේ ඒත් කමක් නෑ, පුතා බැට් එකක් ඉල්ලන්නෙ මාස ගානක ඉඳන්. පව්නෙ නිවාඩු කාලේ සෙල්ලම් කරන්නෙ නැතෑ. අම්මෝ ගෙනත් තියනව දැක්කහම තිබුන සතුට! සාරිය නම් මොකද්ද, වෙඩිම් එකට අක්කගෙන් එකක් ඉල්ල ගත්ත හැකි"

එසේ පවසමින් ඇය ජනිඳුගේ කාමරයේ දොර රෙද්ද මෑත් කර බැලුවාය.
ජනිඳු බැට් එකත් තුරුල් කරගෙනම නින්දට වැටී ඇත, නමුත් මුවේ මඳ සිනහවකි. 
ඒ සිනහව දුටු ඇයට ලය පුරා හිරියක් වට්ටමින් ආදරය මුසු සතුටක් දැනෙන්නට විය. 

ශීලා ආදරයෙන් පුතු දෙස බලා සිටින අයුරු වරුණ බලා සිටියේය. සිය බිරිඳ ගැන අනුකම්පාවක්ද ඒ සමඟම මහත් ආදරයක්ද දැනෙන්නට විය. 

ඔහුද නැගිට ඇය අසලට ගියේය. 

"ඒක නෙවෙයි, අද සිල්වා මගෙන් අරන් තිබ්බ ණයක් ආපහු දුන්නනෙ, මටත් ඒක අමතක වෙලා තිබ්බෙ. එතන පන්සීයක් තියනවා හෙට උදේම ගිහින් අර සාරිය අරන් එන්න"

ඔහු බලාපොරොත්තු වූ අයුරින්ම පුදුමය මිශ්‍ර සිහින් සිනා පොදකින් ඇගේ මුහුණ සැරසුණි.




~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 




කිරට හඬන මගේ ලේ කිරි බවට හැරූ
පුතේ නුඹයි මුලු සසරෙම පෙරුම් පිරූ


වස්තුව නුඹයි මට වටිනා මැණික බඳූ
අම්මා මමයි ඔය කිරි කැටි ලොවේ මතූ


සිනා දකින විට සුරතල් මුවින් මැවූ
අන් සැපතක් කොහිද නුඹ හැර මෙමං සතූ


දිවි ඇති තුරාවට ස්නේහය ඔබයි වැදූ
රැකගමි පුතුනි කැපකර හැමදෙයම සතූ....


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 




Saturday, March 30, 2013

ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress )



මා කලින් ඉදිරිපත් කල දැවෙන ජීවිත හා නිවුණ ජීවිත කියන ලිපි දෙක කියවන්න ඇතැයි හිතනවා. එහි ප්‍රධාන චරිතය වූ ජයතිස්ස ඇසුරෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කලේ මානසික පීඩනය (Stress) ජීවිතයට කෙතරම් තදින් බලපානවාද යන්නයි.

අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.

මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.
කොහොමද මනසට පීඩනයක් ඇති වෙන්නෙ? මොනවද හේතු? මෙයට බොහෝ වෙලාවට හේතු වන්නේ අප අවටම ඇති අයගේ / පරිසරයේ ඇති වන වෙනස්කම්. ඒවා වන්නේ,

  • රැකියාව.
  • අපගේ ලඟින් සිටින අය සමඟ ඇති සබඳතා වල වෙනස්කම්.
  • නිවසේ හා එහි ක්‍රියාකාරකම් වල වෙනස්කම්,
  • අභියෝග (විභාග, තරඟ, සම්මුඛ පරීක්ෂණ )
  • නව අත්දැකීම්.
  • රෝගා බාධ, හදිසි අනතුරු.


මෙලෙස ඇති වන මානසික පීඩනයේ තීවෘතාව අඩු වැඩි වීමට බලපාන්නේ  සිරුරට හා මනසට එම පීඩනයට ඔරොත්තු දීමට ඇති හැකියාවයි. එම ඔරොත්තු දීමේ හැකියාව වෙනස් වන්නේ පහත සාධක මගිනි.

  • ශරීර ශක්තිය (Fitness)
  • නින්ද
  • ශාරීරික හා මානසික සෞඛ්‍යය තත්වය.
  • පෝශණ මට්ටම
  • ප්‍රබෝධමත් හැඟීම් වලින් යුක්ත වීම. (Emotional well-being)


ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මානසික පීඩනය කියනනේ හිතේ හැදෙන, හිතට නැත්නම් ඔලුවට විතරක් බරක් වෙන දෙයක් කියල. නැහැ, ඔයා නොදැන මානසික පීඩනය නිසා සිරුරටද විශාල වෙන හානියක් වෙනවා.

මේ ගැන දැනුවත් වීමටත් එක්ක හැකි තරම් සරලව මානසික පීඩනය සිරුර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම්.

ඉහත සඳහන් කල මානසික පීඩනයට හේතුවන කිසියම් හේතු සාධකයක් නිසා අප තුල බියක්, පීඩනයක්, අප්‍රසාදයක් හෝ තිගැස්මක් ඇති වනවා එය මුලින්ම හඳුනා ගන්නේ අපේ මොළය අභ්‍යන්තරයේ ඇති "හයිපොතැලමස" යන ස්ථානයෙන්. ඉන් මානසික පීඩනය හදුනා ගැනීමේන් පසු එයින් CRH (Corticotropin Releasing Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. එය පිටියුටරි ග්‍රන්ථිය මගින් හදුනා ගෙන එයට පිලිතුරු ලෙස ACTH (Adrenocorticotropic Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. මෙම හෝමෝනය රුධිරය ඔස්සේ අපේ වකුගඩු වල ඉහල පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථි වලට පණිවිඩය ගෙන යනවා. එවිට එම ග්‍රන්ථියෙන් කෝ(ර් )ටිසෝල් (Cortisol) නම් හෝමෝනය නිපදවනවා.

මොකක්ද මේ කෝටිසෝල් (Cortisol)!

කෝටිසෝල් මානසික පීඩනයට සිරුර සූදානම් කිරීමට සිරුර තුල මහත් පෙරළියක් සිදු කරනවා. මේ නිසාම මෙය සිරුරේ ස්ට්‍රෙස් හෝමෝනය (Stress Hormone) ලෙසද හඳුන්වනවා. 
මා පහතින් ඉදිරිපත් කරන සිරුරේ සිදුවන වෙනස්කම් බොහොමයකට මෙම හෝමෝනය කෙලින්ම හෝ වක්‍රාකාරව වගකිව යුත්තා වනවා.

හැබැයි මේ හෝමෝනය කෙටි කාලීනව යම් අභියෝගයකට මුහුන දීමට නම්  ඉතා ප්‍රයෝජනවත්. (උදාහරනයක් ලෙස - මීටර් සියය දුවන්නට සූදානම් වන ක්‍රීඩකයෙකුට ) මක් නිසාද ක්ශණිකව සිරුර තුල වැඩි ශක්තියක් නිපදවීම හා සිරුර අවධානමකට මුහුණ දීමට හැඩ ගැස්සවීම මෙමගින් මනාව සිදු කරනවා.

නමුත් දිගුකාලීනව මෙම හෝමෝනය නිපදවීම නම් සිරුරට කිසිසේත්ම හිතකර නැහැ.


දිගු කල් පවතින මානසික පීඩනය සමඟ සිරුරේ සිදුවන වෙනස් කම්. 

1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.

ඔබ හැමෝම දන්නා පරිදි අපේ සිරුරේ ස්වාභාවික ආරක්ෂාව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ, ඉහත සඳහන් හෝමෝනය මගින් මෙය දුර්වල කරනු ලබනවා. (ප්‍රතිශක්තිකරනයට උදව් වන රුධිර සෛල නිපදවීම වැලැක්වීමයි මෙහිදී සිදු වන්නේ )

මෙහිදී අපට ලෙඩ රෝග වැළඳීමට ඇති හැකියාව ඉහල යන අතර. කිසියම් රෝගයක් වැළඳින හොත් එය සුව වීමට කල් ගත වීමද සිදු වෙනවා.
(විභාග කාල වලට මුහුණේ කුරුලෑ ඇති වීම වැඩි වීම මෙම තත්වයට තවත් එක් උදාහරණයක් )

2. කෑම අරුචිය

හිතේ කරදරයක් තියෙද්දි ගොඩක් අය කියන දෙයක්නේ මේ කන්න හිතෙන්නෙ නෑ කියන එක. ඒකටත් යම් දුරකට වගකියන්න ඕනෙ කෝටිසෝල් හෝමෝනයම තමයි.

3. අමාශයික ප්‍රදාහය

ඉහත සඳහන් කල හෝමෝනය නිසාද, කෑම අරුචිය නිසා සිදු වන නිසියාකාරව ආහාර නොගැනීමද, ආහාර නොගැනීමද, අමාශයික යුෂ නිපදවීම වැඩි වීමද නිසා අමාශයේ හා කුඩා බඩවැල් වල ආරම්භක පෙදෙස් වල තුවාල ඇති වීම සිදුවේ. මෙවිට බඩ දැවිල්ල යන රෝග ලක්ෂණය පහල වේ.

4. තුවාල සුව වීම කල් යෑම.

5. සිරුර තුල මේද තැන්පත් වීම වැඩි වේ.

මෙය වක්‍රාකාරව රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වීමට හේතු වේ (හෘද්‍යාබාධ, ආඝාතය ).

6. වර්ධනය අඩු වීම.

මෙය වඩාත් බලපාන්නේ කුඩා දරුවන්ටයි. කෝටිසෝල් හොමෝනය මගින් වර්ධක හෝමෝනය (Growth Hormone) නිපදවීම අඩපණ කිරීමයි මෙයට හෙතුව.

7. සිරුර වයස් ගත වීමේ ක්‍රියාවලිය ඉක්මණ් වීම


දැන් අපි බලමු මේ මානසික පීඩනය අප තුල තිබෙන විට පෙන්නුම් කෙරෙන ලක්ෂණ මොනවද කියල.

1.  මානසික වෙනස්කම්

  • මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම
  • අවධානය එක තැනක රඳවා ගැනීම අපහසු වීම.
  • නිතර බිය සහගත සිතුවිලි ඇති වීම.
  • නිවරැදිව තීරණ නිගමන වලට එළඹීමට නොහැකි වීම.
  • සෘණාත්මක සිතිවිලිම ඇති වීම.
  • නිතර වැලපීම.
  • ඉක්මනින් කෝපයට පත් වීම.
  • තමා තනි වී ඇතැයි යන හැඟීම.
  • අසහනකාරී බව හා සැහැල්ලු වීමට අපහසු යැයි හැඟීම.
  • උදාසීනත්වය හා විෂාදය (Depression)


2. කායික ලක්ෂණ

  • කයේ නිතර කැක්කුම් හා වේදනා ඇති වීම.
  • පපුවේ කැක්කුම හෝඅ හෘද ස්පන්දය වැඩි වී දැනීම.
  • අජීර්ණය (කෑම ගත් පසු උදරයේ වේදනාව හෝ අපහසුව ).
  • වමනයට ඒම.
  • කැරකැවිල්ල.
  • හිසරදය.
  • කයේ දුර්වල බව.
  • වැසිකිලියාම අක්‍රමවත් වීම.
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
  • ලිංගික ආශාව අඩු වීම.
  • රුධිරයේ සීනි ප්‍රමාණයේ අඩු වැඩි වීම් සිදු වීම.


3. හැසිරීමේ හා එදිනෙදා ජීවිතයේ පුරුදු වල සිදු වන වෙනස් වීම්.

  • ආහාර ගැනීම අඩු වීම හෝ අධික ලෙස ආහාර ගැනීමට හුරු වීම.
  • නින්ද යාම අඩු වීම හෝ අසාමාන්‍ය ලෙස දවස පුරාම නිදා ගැනීමට ගැනීම.
  • අන් අයගෙන් ඈත් වී තනිව ජීවත් වීමට උත්සාහ ගැනීම.
  • වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම.
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. (මත්පැන් භාවිතය මානසික පීඩනය අඩු කරන්නක් නොව ඉතා සුලු වෙලාවකට මනස වියවුල් කර ගැනීමක් පමණි. ඉන් සිදු වන්නේ මානසික පීඩනයට මුහුණ දීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී යාම සමඟ අමතර ගැටළු ගණනාවක් එක් කර ගැනීම පමණකි )


දැන් ඔබට මානසික පීඩනය යනුවෙන් හැදින් වෙන්නේ කුමක්ද යන්න ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි හිතනවා.

මානසික පීඩනය පාලනය කර ගන්නේ කෙසේද?

යමක් වීමට පෙර වලක්වා ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. ඉතින් මානසික පීඩනය වුනත් ඇති වීමට ඉඩක් නොතබා ජීවිතය සමබරව ගෙන යාම තමයි අපට කල හැකි හොඳම ප්‍රථිකර්මය.

මොනවද ඒ සඳහා කරන්න ඕනෑ?

1. නිවරැදි තීරණ ගැනීම (Decision Making)

අප ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී එය සුදුසුද? තමාට සම්පූර්ණ කල හැකි පරාසයක තිබේද? ඉදිරියේදී එය දරා ගැනීමට හැකියාවක් තියද යන දෙවල් හොඳින් හිතා බලා සිටිය යුතුයි.

2. සැලසුම් කිරීම (Planing).

මොනදේ කලත් හරියාකාරව සැලසුම් කර කරනවා නම් කවදාවත් මානසික පීඩනයට ලක් වන්නේ නැහැ. මීට සම්බන්ධ ලිපියක් ලෙස 

දිනපොතට වටිනාකමක් දෙන්න පුලුවන් කැමති අය එයින් ප්‍රයෝජනයක් ලබා ගන්න.


3. කාල කලමනාකරණය (Time Management)

ඉහත සඳහන් කල කරුණටම ගොඩක් සමාන දෙයක්. නමුත් ඉහත සඳහන් වුනේ දිගු කාලීන සැලසුම් කිරීම පිලිබඳ. මෙහිදී අදහස් කෙරෙන්නෙ එක් දිනක් තුල කරන වැඩ කටයුතු කිරීම සැලසුම් කිරීම.

ඉහත සඳහන් කරුණු තුන නිවරැදිව සිදු වේ නම්. මානසික පීඩනය ඇති වීම බොහෝ දුරට වලක්වා ගැනීමට හැකිවේ.

ජීවිතේ කිසියම් හෝ දෙයක් නිසා ඉහත සඳහන් අකාරයට අපේ හිත පීඩනයට (අපහසුවට ) ලක් වෙනවා කියල දැණුන ගමන් අපි තෙරුම් ගන්න ඕනෑ, ඒ පීඩනය පාලනය කර නොගත්තොත් ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙන්න පුලුවන් කියන එක.

හරි තෙරුම් ගත්තා! ඊට පස්සෙ මොකද කරන්නෙ?

ඇති වුන පීඩනය අඩු කර ගන්නත් හිත සන්සුන් කර ගන්නත් විවිද ක්‍රම තියෙනවා.

  • පලමුව අදාල ගැටලුව ගැන හිතන එක මදකට නවත්වන්න.
  • තමන්ට ගොඩක් හිතවත් (තව දුරටත් ඔලුව අවුල් කරන්නෙ නැති ) කතාවට ප්‍රිය කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න. (අදාල ගැටලුව ගැන නොවුනාට කමක් නැහැ )
  • තමන් කැමති විනෝදාංශයකට මදක් යොමු වෙන්න (ගීතයකට සවන් දිම, චිත්‍රපටයක් නැරඹීම )
  • මදක් එලිපහලියේ ඇවිදින්න (ගස්කොලන් ඇති සුවදායක පරිසරයක් නම් වඩාත් සුදුසුයි )
  • සැහැල්ලු ව්‍යායාමයක යෙදීම (වේගවත් ඇවිදීම, ක්‍රීඩාවක යෙදීම ) මෙය සිරුරත් හිතත් දෙකම සැහැල්ලු කරන බැවින් ඉතා හොඳ පියවරක්.
  • තමාට කිසියම් කලාත්මක හැකියාවක් ඇත්ත්නම් එහි යෙදීම (චිත්‍රයක් ඇඳීම, සංගීත භාණ්ඩයක් වාදනය, කවියක් ලිවීම )
  • සිත සැහැල්ලු කර ගැනීමේ විශේෂ ක්‍රියාකාරකම් වල නියැලීම (භාවනා ක්‍රම, යෝග ව්‍යායාම ) මේවා වල නියැලීමට පෙර නිසි උපදෙස් ලබා ගැනීම වඩාත් ඵලදායි වෙනවා.


ඉහත සඳහන් ක්‍රම වලින් පිළියමක් නොලැබේ නම් උපදේශකවරයෙක් (counsellor) හමුවීම වඩාත් ඵලදායීය. 
ලංකාව තුල පවතින දුර්වලතාවයක් තමයි උපදේකවරයෙක් හමු වීමට යාමට ඇති අකමැත්ත, සමහරු හිතන්නේ එවැනි කෙනෙක් හමු වන්නට යන්නේ මානසික රෝග ඇති අය කියායි. එය සම්පූර්ණ මුලාවක්. දියුණු රටවල බොහෝ දෙනා වසරකට වරක් වත් උපදේශකවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්නවා.
මෙහිදී ඔවුන් මනාව අපගේ හිතේ ඇති පීඩනකාරී තත්ව හඳුනා ගෙන ඊට වඩාත් ගැලපෙන ප්‍රතිකර්ම හා ව්‍යායාම හඳුන්වා දෙනවා. අපගේ මනස වඩාත් කාර්‍යක්ෂම කිරීමට ඔවුන්ට පුලුවන්.

මානසික පීඩනය ඉතා ප්‍රබලව පවතින අයට විවිධ මානසික සංකූලතා ඇති වීමේ ප්‍රවනතා වැඩියි. විශාදය (Depression), භින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික රෝග ඇති වීමටද ඉඩ තිබෙනවා. එම නිසා තදබල ලෙස මානසික පීඩනය ඇති අය නිසි වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත්. ඔවුනට මනස සැහැල්ලු කර ගැනීමට උපදෙශාත්මක ප්‍රථිකාර ලබා දෙන අතර අවශයම නම් ඖෂධ ලබා දීමද සිදු වනවා.


දිගුකල් පවතින මානසික පීඩනය කියන්නේ අපෙ එදිනෙදා ජීවිතයේ වැරදි පුරුදු නිසාත් ජීවිතයේ සැබෑ සතුට හරියාකාරව තේරුම් නොගැනීම නිසාත් ඇති වන්නක්.

මේ සම්බන්දව ලිපි කීපයක් මගින් මීට පෙර අපි කතා කලා ඔබට මතක ඇති.

ජීවිතය විඳින්න....!


නිවරැදි විවේකයක්...!


නිවුණු ජීවිත


ඒවායෙ අන්තර්ගතය සාරාංශ කල හොත් මෙසේය, 

  • මුදල් ඉපයීමෙන් පමණක් ජීවිතයේ සතුට නොලැබෙන බව වටහා ගැනීම.
  • පවුලේ අය සමඟ කාලය ගත කිරීම ලැබෙන සතුට හා පවුලේ ඇති වන සමඟිය තෙරුම් ගැනීම.
  • ඒකාකාරී ජීවන රටාවෙන් මිදීම.
  • නිවරැදි අහාර රටාවක්, නිවරැදි ප්‍රමාණවත් නින්දක් සමඟ සිරුරට ප්‍රමාණවත් ව්‍යායාම ලබාදීම.
  • නමට පමණක් සීමා නොවී සැබෑවටම සිය ආගමික කටයුතු වල නියැලීම.
  • හැකි පමණ සැහැල්ලු සිතෙන් සිටීම හා සිනාමුසු මුහුණින් යුතුවීම, උද්‍යෝගමත් ලෙස කතා බහේ යෙදීම.


ඉහත කෙටියෙන් පැවසූ කරුණු සම්පූර්ණ වීමෙන් ප්‍රබෝධමත් ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙනු නොඅනුමානය. 

මඳක් සිතන්න, වෙනසක් කරන්න!

ඔබ සැමට සතුටෙන් සැහැල්ලුවෙන් පිරුණු සුවබර දිවියක් පතමි!


~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~ 

මේ ලියැවුනේ ගිමන්හල වෙතින් ඔබට පිදෙන 50 වෙනි ලිපියයි. මෙතෙක් ලියවුනු සෑම ලිපියකින්ම වගේ ඔබට ප්‍රයෝජනවත් වන යමක් ගෙන ඒමට උත්සාහ දැරුවෙමි. ඒවායි ඔබේ දිවියට කිසියම් හෝ යහපතක් ප්‍රයෝජනයක් වූවා නම් එයයි මගේ සතුට!

ඉදිරියටත් ඉඩ ඇති අයුරින් හරවත් යමක් රසවත්ව ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කරමි!

ලිපි කියවමින්, ඒවාට අදහස් දක්වමින්, වැරදි පෙන්වා උපදෙස් දෙමින්, මා හට මහත් ශක්තියක් වූ ඔබ සැමට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටිමි!

~ ~ ~ ~ ~ * ~ * ~ * ~ * ~ ~ ~ ~ ~ 

Thursday, March 28, 2013

නිවුණු ජීවිත



ජයතිස්සට සිද්ද වූ දේ නොදන්නා අය මෙතනින් ( දැවුන ජීවිත ) ගිහින් කියවලා ආවොත් මේ කතාව ගොඩක් රසවත් වේවි.

තර්ජනාත්මක ලෙස බලා සිටි නිලධාරී දෙපල කාමරයෙන් පිටත්ව යනු ජයතිස්ස අන්දමන්ද වී බලා සිටියේය. සිදු වූ දෙය සිහි කල්පනාවට ඒමට මද වේලාවක් ගත විය. 

"මෙච්චර අයිස් ගහන එවුන් කන්තෝරුවෙ ඉඳිද්දි, මටමනෙ ඒ හෙණහුරත් පාත් වුනේ" 
ලේන්සුව ගෙන වැක්කෙරෙන දහඩිය පිස දමා වතුර වීදුරුව එක හුස්මට හමාර කලේය.

ඒ සමඟම පැමිණියේ පියන් කොලුවාය.

"සර්ට ලොකු සර් එන්න කිව්වා"

"හ්ම්ම්" තවත් කුණාටුවක පෙර නිමිති පහල වී ඇති බව ජයතිස්සට වැටහිණ.

"අද නම් මොන කරුම දවසක්ද මන්දා"

යටහත් පහත් ලීලාවෙන් ජයතිස්ස ප්‍රධානියා ඉදිරියට පැමිණුනේය.

"ජයතිස්ස! මොනවද අයිසෙ මේ කරන්නෙ?" සිතුවාක් මෙන් සිදු වූ දෙය ලොක්කාද දැනගෙන ඇත.

"නෑ සර්, මේ අද ටිකක් වැඩ වැඩි වුනා ඒකයි"

"අනේ මේ නවත්ත ගන්නවා අඬවැඩියාව, මොකද තමුසෙට කියල අමුතුවෙන් වැඩ හම්බ වෙනවයැ. අර සිරිතුංග කරන්නේත් තමුසෙගෙ වැඩ ටිකමනෙ. අර අපූරුවට වෙලාවට වැඩ ටික කෙරෙන්නෙ, ජයතිස්ස මම කලිනුත් තමුන්ට අවවාද කලානෙ. දැන්නම් මට කරන්න දෙයක් නෑ, හෙඩ් ඔෆිස් එකෙන් මේකට මොන තීරණයක් ගනීද දන්නෑ. අනේ මන්ද අයිසෙ තමුසෙලගෙ මේ වැඩ නිසා මටත් බැණුම අහන්න වෙනවා"

ජයතිස්සට බිම බලා සිටිනු හැර වෙනත් කියන්නට දෙයක් නොතුබුණේය.

"දැන් ඉතින් යනවා"

ජයතිස්ස ඉක්මණ් ගමනින් සිය කාමරයට පැමිණියේ කන්තෝරුවේ අනෙක් අයගේ ඇස් වලින් වහන් වීමටය.

එසැණින්ම කාමරයට පැමිණියේ සිරිතුංගය.

"ඔන්න ආවා හොඳ මිනිහා, වෙච්ච දේ ගැන මිනිහට සතුටු ඇති" ජයතිස්ස ඉරිසියාවෙන් යුතුව සිතීය.

"මොකද ජයේ වුනේ?"

සිරිතුංග ඇසුවේ කන්තෝරුවේ ඕප දූප ඇසීමට වඩා මිතුරාගේ මුවින්ම සිදු වූ දෙය දැන ගැනීම සුදුසු යැයි සිතූ නිසාය.

"ඇයි ආරංචිය ආවෙ නැද්ද"

ජයතිස්ස තරමක් කේන්තියෙන් සිටින බවක් සිරිතුංගට හැඟින. 

"නෑ ජයේ, ඔය මිනිස්සු කියන කතා අහනවට වැඩිය ජයේගෙන් ඇත්ත කාරණේ අහ ගන්න එක හොඳයි කියල හිතුනා. ඔය මොකක්ද පගාවක් ගැන කසු කුසුවක් යන්නෙ"

ජයතිස්සට තවත් කේන්ති ගියේය. "මෙහෙමත් මිනිස්සු!"
එක අතකට සිරිතුංග ඔවුනට වඩා හොඳ යැයි ඔහුට සිතිණ.

"අනේ ඇත්තට සිරි පුදුම මිනිස්සුනේ මේකෙ ඉන්නෙ! එහෙම මුකුත් වුනේ නෑ. මම මෙතනට එන අයට හරියට කතා කරන්නෙ නෑ කියල පැමිණිල්ලක් දාලලු. අද ඒක බලන්න හෙඩ් ඔෆිස් එකෙන් දෙන්නෙක් ඇවිත්, වෙලාවට අදත් මට වැඩ වැඩි නිසා ටිකක් කේන්ති ගියා"

සිරිතුංගට කාරණේ වැටහින.

"අහ්, එහෙම ප්‍රශ්ණයක්ද. හ්ම්ම් මමත් කීපවරක්ම හිතුව ඕක ගැන කතා කරන්න. ඒත් ජයේ මොනවත් හිතයිද කියල නිකන් හිටිය."

"අනේ මන්ද සිරි, මට නම් පිස්සු වගේ, ජීවත් වෙන්නත් එපා වෙලා. සිරි දන්නවනෙ මම කොච්චර වැඩ කරනවද කියල, කන්න බොන්න වෙලාවක් නෑ, ගොඩක් වෙලාවට ගෙදර ගෙනිහිල්ලත් වැඩ කරනවා. එහෙම කරලත් බලන්නකො වෙච්ච දේ"

සිරිතුංගට සිය මිතුරා ගැන ඇත්තටම අනුකම්පා සිතිණ.

"ජයේ, මම දන්නවා ඒ ගැන හොඳටම. වැරැද්ද තියෙන්නෙ ජයේ කරන්නන් වාලෙ වැඩ කරනවා මිසක් තමන් කරන පිළිවෙල හරිද කියල පොඩ්ඩක් නිදහසේ කල්පනා නොකරන එක"

"ජයේට තියෙන්නෙ මානසික පීඩනය, ඕක පාලනය කර ගත්තේ නැති වුනහම දවසින් දවස වැඩි වෙන එකයි වෙන්නෙ. එතකොට වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා, හිතයි ඇඟයි දෙකම දුර්වල වෙනවා.
අපි උදාහරණෙට ගමු ජයේවම,

අපි දෙන්නම මේ සෙක්ෂන් එකේ වැඩට ආවෙ එකට. ඇත්තටම වැඩ එනවා වැඩියි තමයි. ජයේ මොකද කලේ මුල් කාලේ වැඩ ටිකක් හෙමින් සීරුවෙ කලා, වැඩ එකතු වෙද්දි හදිස්සියට කරන්න ගිහින් කීපයක් ආපහු කරන්න වුනා, වැඩ එකතු වුනා. ඊට පස්සෙ මැරී ගෙන ඒව ඉවර කරන්න හැදුවා මිසක් වෙන දෙයක් ගැන හිතුවේ නෑ. ඒ ගත්ත අධිෂ්ඨානය හොඳයි තමයි, ඒත් සැලසුමක් සමබර තාවයක් නැතුව ඒ අධිශ්ඨානයෙන් පලක් නෑ. කොටින්ම කිව්වොත් ජයේගේ හිතේ තිබ්බ පීඩනේ අඩු කර ගන්න මුකුත් නොකල එකයි ජයේ කල ලොකුම වැරැද්ද"

සිරිතුංගගේ වචනයක් පාසා පවසන්නේ ඇත්ත බව ජයතිස්සට සිතේ. ඒත් ඔය කියන පීඩනේ වැඩ ඉවර නොකර කොහොම අඩු කරන්නද. 

"මොකද ජයේ කල්පනා කරන්නෙ? මම කියපුව වැරදිද?"

"අහ් නෑ සිරි ඒ ඔක්කොම ඇත්ත, ඒත් වැඩ ඉවර නොකර කොහොමද සැහැල්ලු වෙන්නෙ?"

"ඉතින් ජයේ, මටත් මුල් කාලේ ජයේට වගේම තමයි, ගෙදර යන්නෙ ඔලුව තෝන්තු වෙලා වගේ. හැබැයි ගෙදර ගිය ගමන් මම ඔෆිස් එක අමතක කරල දානවා.
වයිෆ් එක්ක පොඩි චැට් එකක් දාල වොශ් එකක් එහෙම දාගෙන පොඩි එවුන් එක්ක පොඩ්ඩක් වෙලා හිටියහම අර ඔලුවෙ තිබ්බ බර කොහෙන් ගියාද නැහැ.
රෑට හොඳ නින්දක් දාල ෆ්‍රෙෂ් පිට පහුවදාට ඔෆිස් ගියහම දවසක වැඩ පැයෙන් දෙකෙන් නීට් එකට කරල දාන්න පුලුවන්."

"වැඩ උපරිමේටම වැඩි වෙලා හිර වුන වෙලාවලුත් තිබ්බ. එක පාරක මම කෙලින්ම ලොක්කව හම්බුනා. හම්බ වෙලා කිව්ව ඉන්න තත්වෙ. රාජකාරී සාකච්ඡාවක් විදිහට නෙවෙයි හිතවත් කමට පොඩි උපදෙශයක් ගන්න විදිහට. ජයේට කියන්න ලොක්ක අපි හිතන විදිහෙ මරුමුස් පොරක් නෙවෙයි. එදා පොර මට මරු ලෙක්චර් එකක් දුන්නා අපේ ෆීල්ඩ් එකෙ තොරතුරු හොයන කෙටි ක්‍රම, අපි යටතේ ඉන්න අයගෙන් උදව් ගන්න හැටි, පැය ගානක් දඟලල අපි හදන ලිපි කෙටියෙන් ලස්සනට හදන ෆොර්මැට්ස් ගැන. කියපු විදිහට ට්‍රයි කරල බැලුවා, මෙන්න බොලේ දවස් දෙකෙන් වැඩ ටික ගොඩ. ලොක්කගෙ හිතත් හොඳයි. 

ඔෆිස් එකේ අනිත් අය එක්ක හොඳට කතා බහ කරල ඉන්න එකත් වටිනවා, මොකද ජයේ හැමෝම එක්කම හිත හොඳින් හිටියහම ඕන වැඩක් ඉක්මණට කර ගන්න පුලුවන්. ඒ නැතත් පොඩ්ඩක් හරි හිත කරදර වෙලාවක ලඟ ඉන්න එකෙක් එක්ක පොඩි විහිලුවක් කරල වචනයක් දෙකක් හිනාවෙලා කතා කලහම හිත ටිකක් නිදහස් වෙනවා. 

තවත් වැදගත්ම දෙයක් තමයි පිලිවෙල, තමන්ගෙන්ම පටන් ගන්න ඕනෑ, බලපන් උඹ ඇදන් ඉන්න හැටි. එහෙම නෙවෙයි ජයේ මහලොකු විලාසිතා නැතුවට අදින එක හෝදල මැදල, දකින කෙනෙක්ට ප්‍රසන්න විදිහට ඉන්න ඕනෑ. එතකොට අපිටම එනවා අමුතු ගැම්මක්. ඇඟේ ඈලි මෑලි ගතිය නැති වෙන්න ඕවත් බලපානවා.
ඊලඟට කරන වැඩ, කරන දේ උපරිමයෙන් ලස්සනට පිළිවෙලට කරන්න ඕනෑ, එතකොට කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්, මහන්සි දැනෙන්නෙ නෑ, වැරදීම් අඩු පාඩු නිසා ආයෙ ආයෙත් කරන්න වෙන්නෙ නෑ, බලන්න ඒකෙන්ම කොච්චර වෙලාව ඉතුරු වෙනවද! කොහොම හරි එදිනෙදා වැඩ එදාම ඉවර කරන්න උත්සාහ ගන්න එකත් ගොඩක් වටිනවා. 

"අනික ජයේ ඔෆිස් වැඩ කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයිනෙ, එවාට වෙන් කරන අවධානයට සමානව පවුල බිරිඳ දරුවො වෙනුවෙනුත් වෙන්වෙන්න ඕනෑ. එයලගෙන් හිතට ලැබෙන ශක්තිය වෙන කිසි දේකින් ලබන්න බෑ. කොච්චර වැඩ තිබ්බත් එයාල එක්ක නිදහසේ ටිකක් කතා කරන්න, ඉඳල හිටලවත් එයාලත් එක්ක ගෙදරින් පිට පොඩි ගමනක් බිමනක් යන්න, එහෙම ගිහින් බලන්න එයාලගේ සතුට! අපිට නොදැනුනාට ලමයි පුදුම සතුටක් විදින්නෙ, ගමනක් යන එකටත් වඩා තාත්ත එක්ක ඉන්න තියන ආසාවට, ඒ  වෙලාවට තමයි හිතෙන්නෙ ජයේ ලෝකෙ මීට වඩා සතුටක් තියෙද කියලා"

ඔය කාරණා සම්පූර්ණ උනහම මානසික පීඩනේ බිංදුවටම බහිනවා, ජීවිතේ ඉබේම ගොඩක් සුන්දර වෙනවා. ඔය දේවල් මුකුත් සල්ලි වියදම් වෙන දෙවල් නෙවෙයිනෙ. හිත සතුටෙන් නම් ලෙඩ අඩුයි. බලපන් උඹට තියෙන ලෙඩ ගොඩ! ෆෙෂර්, සීනි, පපුවෙ මහන්සිය, හිසරදේ ඔය ඔක්කොම කාලේක ඉඳන් උඹට තියන මානසික පීඩනේ හින්දා හැදුන එවා, වෙලවට කන්නේ නෑ, කෑවත් කන දෙයක් අල්ලන්නෙ නෑ. තාමත් පරක්කු නෑ ජයේ පොඩ්ඩක් හිතල බලපන්. පොඩි වෙනස්කම් කීපයකින් ජීවිතේ ගොඩක් වෙනස් කර ගන්න පුලුවන්. 

සිරිතුංගගේ වචන සමඟ තමා ලඟම තබාගෙන තමා නොවිඳි සතුට ගැන තෙරුම් යන විට ජයතිස්සට ශෝකය මුසු පසුතැවීමක් දැනෙන්නට විය.

"උඹට පිං සිරි මේව තෙරුමක් කරල දුන්නට, මට දැනුයි හිතෙන්නෙ මම හිටියෙ මොන තරම් කාලකණ්නි ලෝකෙකද කියල."

"ඕක මොකක්ද ජයේ, යාලුවෝ ඉන්නෙ ඒකටනෙ. දැන් ඉතින් වෙච්ච දේවල් ගැන හිතන්න එපා. ඉස්සරහට කරන්න තියන දේවල් ගැන හිතමු. අද වුන දේ විසඳ ගන්න බැරි වෙන එකක් නෑ. එච් ආර් ඩිපාර්ට්මන්ට් එකේ ලොක්ක මාත් එක්ක ටිකක් හිතවත්. අපේ ලොක්ක එක්කත් කතා කරල මේක ශේප් කරල දාමු, උඹේ හිර වුන වැඩ ටිකටත් මම හෙල්ප් එකක් දෙන්නම්, නිහාලුත් හිත හොඳ එකා පොරත් උදව් කරයි. ජයේ මේ ඔක්කොටම වඩා වටින්නෙ මම කියපු දේවල් ටිකක් හිතල වැරදුනු තැන් හදා ගන්න එක."

"මට තේරෙනවා සිරි, උඹට මේවට ස්තූති කරන්න මං ගාව වචන නැහැ" ජයතිස්ස මුලු හදින්ම පැවසූවේ සිරිතුංගගේ දෑත් තරයේ අල්ලා ගනිමිනි.
සිරිතුංග හා කල කතාබහෙන් පසු හිතට දැනෙන සුවය ගැන ඔහුට පුදුම සිතින.

කල්‍යාණ මිතුරෙක් යනු ජිවිතයේ යහමඟ දකින්නට උදව් කරන්නෙකු  බවට කොහේදී හෝ අසා තිබූ දෙය සම්පූර්ණයෙන්ම සත්‍යක් බව ජයතිස්සට හැඟින.

Tuesday, March 26, 2013

දැවෙන ජීවිත



ශීලා කෝ මෙතන තිබ්බ කොළපාට ෆ්යිල් එක? අනෙ අම්මප මේ ගෙදර කිසි දෙයක් පිලිවෙලට තියා ගන්න බැහැනෙ!"

මොකද අනේ කෑ ගහන්නෙ! මේ හොද්ද ලිපෙන් බාල මම ඇවිත් හොයල දෙන්නම්, ඔයා ලෑස්ති වෙන්නකො" ශීලා කුස්සියේ සිටම කෑ ගැසුවාය. සෑමදාම උදෑසනට ජයතිස්සගේ මේ කලබලය දැන් ඇයට පුරුදුය.

"මේ තියෙන්නෙ අනේ, ඔයාම ඒක තව ෆයිල් එකක් ඇතුලට දාල වහලා"

"හරි හරි ඔන්න ඔය ෆයිල් ඔක්කොම බෑග් එකට දාන්න, ඊයෙ රෑ එක වෙනකල් කරලත් වැඩ ටික ඉවර කර ගන්න බැරි උනානේ. කොහෙද ඔයාගෙයි ළමයින්ගෙයි කරච්චලේ අස්සෙ වැඩක් කර ගන්නෙ"

ශීලාට වඩාත්ම කේන්ති යන්නේ බොහෝ විට ජයතිස්සගේ මුවුන් පිටවන ඔන්න ඔය දෙබසටයි. නමුත් ඔහු සැබෑවටම වෙහෙසෙන අයුරු දකින බැවින් ඇය ඉවසා සිටී. කාර්යාලයේ වැඩ ගෙදරට උස්සන් එනවාට ඇය කවදත් අකමැතිය.

"මොකද ඔය? අයියෝ ඕක හොඳටම පොඩි වෙලානේ!" ඔන්න ඕක ගලෝල දෙන්න මම ඉක්මනට අයන් කරල දෙන්න"

"දැන් වෙලාවක් නෑ කෝච්චියට පැය කාලයි! කෝ ඔන්න ඔය බෑග් එක ගේන්න"

"කටක් දෙකක්වත් කාල යන්නකො, ඔයා ගිහින් මුකුත් කන්නේත් නැහැනේ" 

"ගිහින් මොනව හරි කන්නම්" පවසමින් ශීලා සූදානම් කර තැබූ උදෑසන බේත් වේල කටට හලා ගත්තේය.

"එහෙනම් මම යනවා"

"පරෙස්සමට කෝච්චි වලට දුවද්දි"

ජයතිස්ස දුම් රියපලට පැමිණියේ ඇවිදිනවාට වඩා දුවනවාක් වැනි ගමනින්ය. විනාඩියක් පමණ ඔහු පපුව අත ගාමින් බිත්තියකට පිටදී සිටියේ පපුවේ හතිය අඩු වන තෙක්ය.

පොරකා දුම් රියට නැගි ඔහු යන්තම් අසුනක් අල්ලා ඉඳ ගත්තේය. සුසුමක් හෙලා සුපුරුදු පරිදි කල්පනාවට වැටින. වසර ගණනාවක සිට මෙම දුම් රියේම යන එන අයෙක් වුවද උදෑසන සුබපැතුමකට එහා ගිය කතා බහකට තරම් මිතුරු සමාගමක් ඔහුට නොසිටියේය. ඔහුගේ හිස පිරී තිබුනේ රාජකාරි වැඩ වලිනි. කවුරුන් කතා කලත් මුවින් පිට වූවේ එකම අදෝනාවය. එම නිසාමදෝ කිසිවෙකුත් ඔහුගේ කල්පනා ලෝකයට බාධා කලේ නැත.

සැබවින්ම ඔහුට කල්පනා කිරීමට බොහෝදේ තිබුනේය.
වැඩි වශයෙන් රාජකාරි වැඩද, සුලු වශයෙන් පවුලේ ප්‍රශ්නය.
එන්න එන්නම ණය බර වැඩිවේ, දරුවන්ගේ ඕනෑ එපා කම් ටිකෙන් ටික වැඩි වේ, කීයක් හෝ ඉතිරි කර ගන්නට ඕනෑ යැයි සිතුනද වන්නේ එහි අනිත් පැත්තය. 
දිනෙන් දින අලුතෙන් එකතු වන රෝගයන් නිසා තමා එන්න එන්නම දුර්වල වන සෙයක් දැනේ. සියල්ලටම මුල හිතේ ඇති කරදර නොවේදැයි විටෙක සිතේ.

මෙසේ කෙලවරක් නැතුව කල්පනා කරන විට කවුරු නැතත් ලඟින් සිටින හිසරදය ඔහු සොයා ඒ. ඉන්පසු සිදු වන්නේ නින්දට වැටීමය.

නින්ද අතරින් අවට සිටින අය විටින් විට ඔහුව මාතෘකා කොටගෙන පවසන වදනක් දෙකක් කන වැකෙන අවස්ථාද ඇත.

"බලපංකො අදත් අන්කල්ට ඇදුම් අයන් කරන්න අමතක වෙලා වගේ"
"මොකද බන් පොර හැමදාම කෝච්චියෙ නිදියන්නෙ, රෑට හොඳට වැඩ වෙන්න ඇති"
"පව් අනේ, එ මනුස්සය දවසින් දවස දිරල යනවා, මොනවා හරි ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක් වෙන්න ඇති"
"අනේ මන්ද මම නම් කවදාවත් දැකල නෑ හිනාවෙලා වචනයක් කතා කරනවා"
 ඒ අසල සිටි තරුණ තරුණියන් පිරිසකගේ කසුකුසුවකි. 

සුපුරුදු පරිදි කොටුවෙන් බසින කිසිවෙකුගේ ඇනීමකින් ජයතිස්ස අවදි විය.

යන්තම් රතු ඉර වැදීමට පෙර අත්සන තබා සිය වැඩ කුටියට රිංගා ගත්තේය. 
ජයතිස්සට ලෝකයේ ඇති අප්‍රසන්නම ස්ථානය මෙම කාමරයයි. බැලු බැලු අත ඇත්තේ ලිපිගොනු, ෆයිල්, ලිපි ලේකනය. 

"හප්පා මේ වැඩ කවදා ඉවරයක් වෙයිද, මොන කරුමයක් ගෙවනවද මන්දා මම නම්"

පියන් විසින් උදේම ගෙනත් තබන වතුර වීදුරුව තාමත් නැත.

මේසය මත වූ සීනුවේ හැඬ වූවේ හිතේ කේන්තිය එයට පවරමින්ය.
ඒ සමඟම පියන් කොලුවා දිව ආවේ වතුර වීදුරුවද රැගෙනය.

"මොනවද මනුස්සයො, හැමදාම මම කියනවා නේද උදේම වතුර එකක් ගෙනත් තියන්න කියල" 

සිය හිතේ පීඩනය එසේ හෝ පිට කරන්න ලැබීම පහසුවක් යැයි ජයතිස්සට සිතිණ.

"අහ් ඒක නෙවෙයි, මාව හම්බ වෙන්න එන අයට දහය වෙනකල් ඉන්න කියන්න! තේරුනාද? මට හොඳටම වැඩ ඒව ඉවර කරන්න ඕනෑ, 
හා යනවා"

"හරි සර්"

සුසුමක් හෙලා බෑගය ගෙන ෆයිල් ටික දිග හැර ගත්තේ සුපුරුදු පරිදි හිසරදයට ගන්නා වේදනා නාශකයක් ගිල දමමිනි.

වැඩිමනක් ලිපිගොනු කලබලයට නිම කිරීම නිසා නැවත පිලියෙල කිරීමට වූ එවාය. ජයතිස්සට එපාම කල කාර්යය වූවේද එයයි.

"චැහ් එක පාරෙන්ම හරියට කරල දැම්මා නම් මෙහෙම වදයක් නෑ"
"දැන් ඉතින් මේව රවුම් කර කර ඉන්න වෙලාවක් නෑ, මේ පාරත් යන්තම් ගහල දානවා"

ලිපිගොනු අතර ගිලී සිටි ඔහු පියවි ලොවට ආවේ සිරිතුංග කාමරයට පැමිණීමෙනි.
සිරිතුංග කාර්යයාලයේ ජයතිස්සට සිටි ලඟම මිතුරාය, එකම මිතුරා කිව්වත් වරදක් නැත. සම වයසේ පසූ වූවන් වීමද එකම තනතුරේ රාජකාරී කරන්නන් වීමද ඔවුන් අතර තිබූ එකම සමාන කම විය.

"ජයේ අදත් කෑම පැයෙත් වැඩද?"

ජයතිස්ස ඔරලෝසුව දෙස බැලුවේ එවිටය,

"හප්පා එකටත් ලඟයි, වෙලාව යනවා තෙරුනෙත් නෑ. බඩගින්නකුත් නෑ සිරි"

"ජයේ මොනව කරන්නත් කාල බීල ඉන්න ඕනෑ"

"ඒක තමා, එක්කොත් කාලම එනවා" ජයතිස්ස ලිපිගොනුව පසෙකට කරමින් පැවසීය.

ජයතිස්සට විටෙක සිරිතුංග ගැන ඉරිසියා සිතේ, "මට තියන වැඩමයි තියෙන්නෙත් මේ මනුස්සයා කොහොම මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නවද මන්දා, වාසනාව තමා"

යන්තම් කටක් දෙකක් කා යලි කාමරයට පැමිණියේ කරමින් සිටි කාර්යයේ සිහියෙන්මය.

ඉඳ ගන්නවාත් සමඟම පියන් කොලුවා පැමිණියේය.

"සර්, උදේ ඉඳන් දෙන්නෙක් ඇවිත් පර්මිට් එකක් ගන්න ලිපි වගයක් හදාගන්න"

"මොන වදයක්ද මන්දා, අදත් මේ වැඩේ කර ගන්න වෙන්නෙ නෑ, හා එන්න කියනවකො"

ජයතිස්සගේ මුහුණ රකුස් වෙස් ගත්තේ ඉබේටමය.

සිනා වීගෙන පැමිණි මැදි වියේ යුවල වෙත සිනහවක් පැමට තරම් කරුණාවක් ජයතිස්සගේ සිතේ පහල නොවීය.

"මට අද හොඳටම වැඩ, ඉක්මනට කෙරෙන්න ඕනෑ කාරනේ කිව්වා නම්" ජයතිස්ස පැවසුවේ කරමින් සිටි කාර්යය නොනවත්වාමය.

සර් මේකයි, ලබන මාසේ ඉඳන් අපි පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල,අපි කරන්න හිතන් ඉන්නෙ මෙහෙමයි........
....
....
.. 
"සර්, සර්"

ජයතිස්ස සම්පූර්ණයෙන්ම සිටියේ ලියමින් සිටි ලිපිය ගැන අවධානයෙනි.

"සර් අපි කියපු මුකුත් අහන් හිටියෙ නැහැනෙ" කාන්තාව පැවසුවේ නොරුස්සනා ස්වරයෙනි.

"ඇයි මොකද මොකද? මට රාජකාරි කරන හැටි උගන්වන්නද හදන්නෙ? ඔය ඔක්කොම හෑලි අහන් ඉන්න වෙලාවක් නෑ මට!"

පැමිණි යුවල එකිනෙකාගේ මුහුණු බලමින් ඉඟියක් පෑවේය.

"මිස්ටර් ජයතිස්ස, අපි එච් ආර් ඩිපාර්ට්මන්ට් එකෙන් තමුන් ගැන චෝදනා කීපයක් ලැබිල තිබ්බ මෙතනට වැඩ කර ගන්න ආපු අයගෙන්. හෙඩ් ඔෆිස් එකෙන් අපිව එව්වෙ මේ ගැන හොයල බලන්න. බොහොම වැරදියි මිස්ටර් ගණුදෙණු කරුවන් එක්ක කටයුතු කරන විදිහ, අපිට මේ ගැන වාර්ථා කරන්න වෙනවා"

ජයතිස්සට ඉහින් කණින් දහඩිය බේරෙනු දැනෙන්නට විය.


~ ~ ~ ~ ~ ~ ~ **** ~ ~ ~ ~ ~ ~ ~


නිවුණු ජීවිත සමඟින් යලිත් ලඟදීම දිනක හමු වෙමු....!