අධික සීතල පරදමින් නැගෙන දාබිඳු නලලතින් සූරා දැමූ ඔහු වෙහෙස නොබලා යලි ගිරි හිස තරණය කරන්නට විය. තිස් එක් වියැති හැඩි දැඩි සිරුර, ඉදිරියෙන් ඇති හිමාල කඳුවැටියට අභියෝග කරන්නට අපූරුවට සුදුසුකම් කියාපෑවේය. ගතේ සවියට වඩා ඔහුගේ සිතේ වූ සවියට හා අධිෂ්ඨානයට නම් හිමාලයත් දෙවෙනි වනු නිසැකය.
අඩි හාරසියක් පමණ එක හුස්මට නැග ගත් ඔහු මඳ විවේකයකට නතර වූයේ ඈත කඳු වැටි දෙකක් අතරින් බැස යන හිරු දෙස බලා ගෙනය. අඳුර වැටීමට තව ඇත්තේ හෝරාවක් පමණය. සිතියමට අනුව තව නැගිය යුත්තේ අඩි පන්සියයක පමණ දුරකි. ඉහලට යන්න යන්නම මිදුනු ඝන හිම ප්‍රමාණය වැඩි වන බව ඔහුට වැටහින, එය තවත් බාධාවකි. ලිස්සා යමේ අවධානම වැඩිය, ඊටත් වඩා එම අයිස් ස්පර්ශයේදී දැනෙන සීතල වැලැක්වීමට ඝන හමින් තැනූ ඇදුම පවා අපොහොසත්ය. ඒ සීතල මස්පිඬුද පසු කර අස්ථි දක්වා ගොස් සිරුරම හිරිවට්ටයි.
ගැඹුරු හුස්මක් ගෙන ඔහු යලි ගිරි හිස නැගීම ආරම්භ කලේය.
මිනිස් ජනාවාසයෙන් බොහෝ ඇතට පැමිණ සිටින ඔහුට තනිකමක් නොදැනුනේ තත්පරයක් පාසා දහසකුත් මතකයන් ඔහු හා සිටි බැවිනි.
ඒ මතකයන් සමඟ අඩියෙන් අඩිය ඔහු ඉහල නැගුනේ ඔහුත් නොදැනීමය.
"ඔච්චරටම මට ආදරෙයි නම් ඔයාට මං වෙනුවෙන් ඕනෙම දෙයක් කල හැකිද?"
"ඔව් ඔව් මොනවද මට ඔයා වෙනුවෙන් කරන්න බැරි, ඔයා වෙනුවෙන් මම එවරස්ට් උනත් නගින්නම් සුදෝ"
තමා පැවසූ ස්වරය නිසාමදෝ ඇයට නොනවතින සිනහවක් පහල වූ අයුරු ඔහුට තාමත් මැවී පෙනෙයි,
"ඔව් ඔව් නගී කියල තමා බය, මං එනකල් පැය භාගයක් හිටන් ඉඳල කකුල් රිදෙනවා කියන මිනිහා"
වසර ගණනාවකට පෙර තමා කවට කමට පැවසූ වදන් යම් තාක් දුරකට හෝ හැබෑ වී තිබෙනවා නොවේදැයි සිතී ඔහුට මද සිනහවක් පහල විය.
තව නැගීමට ඇත්තේ අඩි කිහිපයකි. එයින් දැනුන අමතර සවියද ගෙන ඔහු විනාඩි කිහිපයකින් දින දෙකක සිට කල කඳු නැඟීම නිමා කලේය. තවත් විනාඩි කිහිපයක් වැතිර ගිමන් නිවූ පසු සෙමෙන් නැගිට අවට සිරි නරඹන්නට විය.
ඔහු ඉදිරියෙන් වුවේ අති රමණීය වූ මිටියාවතකි. ටිබෙට් ජාතිකයන් "අමරණීයත්වයේ මිටියාවත" ලෙසින් හඳුන්වන මෙම මිටියාවත ගැන ඔවුන් අතර පවතින ජනප්‍රවාද අතිශෝක්තියක් නම් නොවන බව ඔහුට වැටහී ගියේය.
ඔහු සිටි තැනට හැතැප්මක් පමණ දුරින්, හිමෙන් වැසී ගිය හිමාල කඳු මුදුන යෝධයෙක් මෙන් නැගී සිටියේය. ඒ වනතෙක් වූ භූමිභාගය සුරලොව ගෙවත්තක් වැනි විය. බිම වැසී යන සේ වැතිර තිබූ සිහින් කොල ඇති තෘණ ආවරණය බිමට එලූ ලා කොල පැහැති පලසක් වැනිය.
එම පලසෙහි තැනින් තැන පැන නැග තිබූ වෘක්ෂයන් පරිපූර්ණ බවින් යුක්තය. ඉතා උස් නොවූවද එවා වසර දස දහස් ගණන් පැරැණි එවා විය යුතු බව ඒවායෙ අපූර්ව වර්ණයෙන් හා වට ප්‍රමාණයෙන් ඔහුට හැඟී ගියේය. වෙනත් කිසිම ශාක පත්‍රයක දැකිය නොහැකි ප්‍රභාවත් කොළ පැහැයක් එම වෘක්ෂයන්ගේ පත්‍ර වලින් නිකුත් විය. ඒවායින් නිකුත් වූ සුගන්ධය ඔහුව මත් කලේය. මෙම දර්ශණයෙන් වශීකෘත වූ ඔහු ඒ දෙසට ඇවිද ගියේ ඉබේමය.
මිටියාවත මැදට වන්නට ගලා යන දිය පහරකි. මොහොතකට නොසිතා දිව ගොස් දණින් වැටී ඉන් දිය දෝතක් ගෙන පානය කලේ දින ගණනකින් දිය පොදක් ලැබූවෙක් සේය. ප්‍රථම වරට සිය දිවියේදී පිරිසිදු ජලයේ නියම රස දැන ගත්තේ එවෙලේයැයි ඔහුට සිතිණ.
ඔහු එතැනම වැතිර ගති. බැස යන හිරුගේ ලා දම් පැහැති අවසන් හිරු රැස හිමාල ගිරි හිසට වැටී දිලිසෙන අයුරු මීදුම් අතරින් පෙනේ. තමා සිටින්නේ දෙව්ලොවදැයි ඔහුට වරෙක සිතිණ.
කලුවර වැටීමට පෙර රැය ගත කිරීමට උණුසුම් තැනක් සොයා ගත යුතුය. අසල තිබූ වෘක්ෂයකට පිටදී මේ පිළිබඳ කල්පනා කරනවිට ඔහුට අමුත්තක් දැණුනි. ඔහු සැනෙන් හැරී අත්වැසුම් ගලවා වෘක්ෂයට අත තබා බැලීය. ඔහු විස්මයට පත්කරමින් ඉන් දැනුනේ සෞම්‍ය උණුසුමකි. ජීවී සත්වයෙකු වෙතින් පමණක් මෙසේ නිකුත් විය හැකි උණුසුමක් වෘක්ෂයට ලැබුනේ කෙසේද.
ඔහු ඒ ගැන සිතීමට තවත් නොවෙහෙසී සිය රාත්‍රී යහන එම වෘක්ෂයේ යෝධ මුල් දෙකක් අතර පිලියෙල කර ගත්තේය.
ජල පහරෙන් දිය නා ගෙන පිරිසිදූ වී එම යහනේ වැතිරුනු ඔහු යලිත් සිය පැරණි මතකයන් අතර ගිලෙන්නට විය.
මීට වසර ගණනාවකට පෙර උද්භිඳ විද්‍යඥවරියක් වූ ඇය මුණ ගැසුන සැටි, ඇය හා පෙමින් බැඳුන සැටි, ඇය හා විවාහ වූ සැටි පිළිවෙලින් මතකයට නැගෙන්නට විය. ඉන්පසු ඒ මතකයන් පසුපස හඹා ආවේ අවාසනාවේ සෙවනැලි රැඳි මතකයන්ය,
"මිස්ටර්, කියන්න කණගාටුයි එයාගේ සිරුර පුරාම රෝගය පැතිරිලා දැනටමත්. සුව කරන්න කිසිම අවසථාවක් ඉතිරි වෙලා නැහැ"
"එහෙම කියන්න එපා ඩොක්ටර්, ලෝකෙ තියෙන ඕනෑම හොස්පිටල් එකක් කියන්න. මට එයාව අරන් යන්න පුලුවන්"
"හ්ම්ම් මට ඔයාට බොරු බලාපොරොත්තු ඇති කරවන්න බැහැ, මෙයාව බේරගන්න කොහොමත්ම බැහැ. තව මාස තුනක විතර කාලයක් තියෙන්නෙ. පුලුවන් තරම් එයාව සතුටින් තියන්න උත්සාහ කරන්න, ඒකයි මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම දේ"
සිය දිවියේ සතුට කෙලවර වූ කාල සීමාව ඇරඹි අයුරු ඔහු සිහි කලේ දෙනෙත් යලිත් කඳුලින් බොඳ වී යද්දීය.
ඉන්පසු ඇයව නැහැවූ සැටි, කැවූ පෙවූ සැටි, හැකි සෑම විටම ඇය අසලම රැඳී සිටි සැටි එකිනෙක සිහි වන විට ඔහුට ඔහු ගැනම ආතමානුකම්පාවක් ඇති කලේය.
ඇය, ඉතා බුද්ධිමත් එමෙන්ම සංවේදී කාන්තාවක් විය. උද්භිඳ විද්‍යාව සඳහා ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර ගැනීමට කල අධ්‍යයන කටයුතු නිසා ඇය මධ්‍යම ආසියාවේ ගස්කොලන් ගැන කිසිවෙකුට නැති දැනුමකින් යුක්ත වන්නියක් විය.
දිනක් ඇය ඔහුට පුදුම යෝජනාවක් ගෙන ආ අයුරු ඔහුට සිහි විය. ඒ මෙම අමරණීයත්වයේ මිටියාවත පිළිබඳ රහසයි.
"ඒ මිටියාවතේ පුදුම සහගත වෘක්ෂ වර්ගයක් තියෙනවා, එවායින් පුලුවන් ඕනෑම රෝගයක් සුව කරන්න"
ඇයගෙන් එය දැනගෙන පැය කිහිපයකින්ම ඔහු අමරණීයත්වයේ මිටියාවත සොයා යාමට පිටත් විය. දහසකුත් එකක් බධා පැමිණුනද ඇයව සුව කර ගැනීමට ඇති නොසිඳෙන උවමනාව නිසාම ඉතා ඉක්මණින් ඔහු සිය අරමුණ ජය ගත්තේය.
මෙම සිතුවිලි අතරින් ඔහු නින්දට වැටින. ඒ ඔහුගේ ජීවිතේ ඔහු ගෙවූ සුවදායකම රාත්‍රියයි. නින්දෙන් කිසියම් පිරිසක් තමා වට කර සිටිනු හැඟී ගියේය. ඔවුන් ඉතා ආදරෙන් ඔහුව අමතන්නට විය. ඉන්පසු ඔවුන් ඔහුගේ සිරුර අල්වා ගෙන ආශිර්වාද කරන්නට විය. ඔවුන්ගේ ස්පර්ශයෙන් කාන්දු වූ යම්දෙයකින් සිය ජීවය අලුත් වන්නාක් මෙන් ඔහුට දැනිණ.
පසු දින උදෑසනම හිරු කිරණත් සමඟ අවදි වූ ඔහුට දැනුණේ කිසි දිනක නොදැනුණු ප්‍රබෝධයකි.
"මම අන්තිමේදි දිණුවා, මට පුලුවන් දැන් එයාව සුව කර ගන්න" යන සිතුවිල්ල ඔහුගේ සිත සතුටෙන් පුරවා දමන්නට විය.
ඇය පැවසූ අකාරයෙන්ම, ඒ මහානුභාව සම්පන්න වෘක්ෂයකින් පැන නැඟ තිබූ කුඩා පැලයක් ඉතා ප්‍රවේශමෙන් මුල් නොකැඩෙන පරිදි පසද සමඟ ගෙන, ඉතා සුරක්ෂිත ලෙස අසුරා ගත්තේය.
ආපසු පිටත් වීමට පෙර තමාට උණුසුම හා සෙවණ දුන් වෘක්ෂයට ඔහු නමස්කාර කලේ ඉබේටම වාගේය. ඔහුට එම වෘක්ෂය පෙනුනේ ආදරණීය වයෝවෘධ මෑණියක මෙනි.
පැමිණියාටත් වඩා වේගවත් ආපසු ගමනක යෙදුනු ඔහු දින කිපයකින් ඇය වෙත පැමිණියේය.
දීප්තිමත් වූ දෙනෙතින් පැලෑටිය අත තබා සිටින ඔහු දෙස ඇය බැලුවේ ස්තූතිය පිරුණු ආදරණීය බැල්මකිනි. "ඔයා එහෙනම් මම වෙනුවෙන් එය කලා"
ඇය පරෙස්සමෙන් පැලෑටිය ලඟට ගෙන එහි පත්‍රයක් සිප එහි සුඝන්ධය ආශ්වාස කලාය.
"ඉතින් ඔවුන් ඔබට කතා කලාද?" ඇය විමසුවාය
"කවුද? ඒ මිටියාවතේ කවුරුවත්ම හිටියේ නැහැ"
ඇය සිනාවක් පහල කර "නින්දේදි අමුත්තක් දැනුණේ නැද්ද?"
"නින්දේදි නම් කවුරු හරි ලඟ හිටිය බවක් දැනුණා, ඔවුන් යමක් කරුණාවෙන් කියන්න උත්සාහ කලා, මම හිතුවෙ හීනයක් කියලා"
ඇය යලිත් සිහින් සිනහවක් පල කලාය. "ඔයා වාසනාවන්තයි, එයාල හැමෝටම කතා කරන්නෙ නෑ"
"එවායින් වැඩක් නෑ, ඉතින් ඉක්මණට කියන්න කොහොමද ඖෂධය හදන්නෙ?" ඔහු නොවිසිලිමත්ය
"අහ් ඒකට මේ පැලැටිය කොටල අඹරල යුෂ ගන්න වෙනවා"
"හා"
ඔහු ඉක්මණින් පැලෑටිය ගනිමින් පැවසුවේය. නමුත් ඒ සමඟම ඔහුට දැනුනේ තමා මිණීමැරුමක් කරන්නට යනවාක් වැනි හැඟීමකි. ඒ සිතුවිල්ල් යටපත් කර යන්නට හැරෙත්ම ඇය ඔහුගේ අතින් අලවා ගත්තාය.
"මොකක්ද දැන් ඔයාට දැනුනේ?"
ඔහු විමතියෙන් ඇය දෙස බැලීය
"කාව හරි මරන්න යනව කියල හිතුනා නේද?"
"අහ් ඕ ඔව්! ඔයා කොහොමද ඒක දැන ගත්තෙ?" ඔහු විමතියෙන් විමසීය.
ඇය එම පැනයටද කලේ සිනා පහල කිරීම පමණි.
"මේ අහන්න, මෙතනින් ඉඳ ගන්න ටිකක්."
ඔහු ඇයගේ ඇඳ අසල ඉඳ ගත්තේය.
"මේ පැලැටියෙන් මාව සුව කරන්න බැහැ"
"මොනවා!!!" ඔහුගේ බලාපොරොත්තු එක වර කඩා වැටින. දුක කේන්තිය මුසු හැඟීම් අතර මුණිවත් රැක්කේ මෙහි තෙරුම මොකක්දැයි අසන නෙතින් යුතුවය.
"මේ අහන්නකො ඉතින්, ඒත් මම ඔයාව දාල යන්නේ නෑ, මට තේරෙනවා මම තව ජීවත් වෙන්නෙ අද හෝ හෙට දවස විතරයි, ඊට පස්සෙ මාව අර පේන තණතිල්ලෙ වල දාන්න. ඊට උඩින් මේ පැලය පැල කරන්න. මම ඒ තුලින් යලි ජීවත් වේවි, මට ඔයාව ඇහෙවි, මට ඔයාව දැනේවි, මම කියන දේවල් තේරුම් ගන්න ඔයා ඉගෙන ගනීවි, ඔයාට මාව දැනෙන්න ගනීවි. ඔයා ජීවත් වන තුරා මම ඔයත් එක්ක ඉඳීවි. කියන්න ඔයා එහෙම කරනවාද?
ඔහු ඇගේ දෑත් තුරුල් කරගෙන කඳුලු පිරි දෙනෙතින් යුතුව හිස සැලුවේ ඇය කියූ දෙය හොඳින් වැටහුණු නිසාවෙනි...
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
ඔහු කාටත් ප්‍රිය මනාපව සතුටින් ජීවත් වූවෙක් විය. ඔහුගේ දිවිය පුදුම සහගත ලෙස නිරෝගීව හා සතුටින් පිරී තිබීමේ රහස නම් කිසිවෙක් දැන නොසිටියේය. නමුත් සැම දෙනාම ඔහු ගැන දැන සිටි එක් විශේෂ කාරණයක් විය. ඒ ඔහු ඕනෑම වෘක්ෂලතාවකට මිනිසෙකුටම මෙන්ම ගෞරවය ආදරය දැක් වූ බවය.
එක් දිනක ඔහු කිසිවෙකුටත් නොකියාම සාමකාමීව සිය අවසන් ගමන ගොස් සිටියේය, ඒ ඔහුගේ ගෙවත්තේ පිහිටි අසාමාන්‍ය ප්‍රෞඪ බවක් පෙන්වූ වෘක්ෂයක සෙවණේ ඒ වෘක්ෂයේ උණුසුම ලබමිනි.






































