Saturday, March 23, 2013

අමරණීයත්වයේ ඖෂධය



අධික සීතල පරදමින් නැගෙන දාබිඳු නලලතින් සූරා දැමූ ඔහු වෙහෙස නොබලා යලි ගිරි හිස තරණය කරන්නට විය. තිස් එක් වියැති හැඩි දැඩි සිරුර, ඉදිරියෙන් ඇති හිමාල කඳුවැටියට  අභියෝග කරන්නට අපූරුවට සුදුසුකම් කියාපෑවේය. ගතේ සවියට වඩා ඔහුගේ සිතේ වූ සවියට හා අධිෂ්ඨානය   නම් හිමාලයත් දෙවෙනි වනු නිසැකය.

අඩි හාරසියක් පමණ එක හුස්මට නැග ගත් ඔහු මඳ විවේකයකට නතර වූයේ ඈත කඳු වැටි දෙකක් අතරින් බැස යන හිරු දෙස බලා ගෙනය. අඳුර වැටීමට තව ඇත්තේ හෝරාවක් පමණය. සිතියමට අනුව තව නැගිය යුත්තේ අඩි පන්සියයක පමණ දුරකි. ඉහලට යන්න යන්නම මිදුනු ඝන හිම ප්‍රමාණය වැඩි වන බව ඔහුට වැටහින, එය තවත් බාධාවකි. ලිස්සා යමේ අවධානම වැඩිය, ඊටත් වඩා එම අයිස් ස්පර්ශයේදී දැනෙන සීතල වැලැක්වීමට ඝන හමින් තැනූ ඇදුම පවා අපොහොසත්ය. ඒ සීතල මස්පිඬුද පසු කර අස්ථි දක්වා ගොස් සිරුරම හිරිවට්ටයි.

ගැඹුරු හුස්මක් ගෙන ඔහු යලි ගිරි හිස නැගීම ආරම්භ කලේය.
මිනිස් ජනාවාසයෙන් බොහෝ ඇතට පැමිණ සිටින ඔහුට තනිකමක් නොදැනුනේ තත්පරයක් පාසා දහසකුත් මතකයන් ඔහු හා සිටි බැවිනි.
ඒ මතකයන් සමඟ අඩියෙන් අඩිය ඔහු ඉහල නැගුනේ ඔහුත් නොදැනීමය.

"ඔච්චරටම මට ආදරෙයි නම් ඔයාට මං වෙනුවෙන් ඕනෙම දෙයක් කල හැකිද?"

"ඔව් ඔව් මොනවද මට ඔයා වෙනුවෙන් කරන්න බැරි, ඔයා වෙනුවෙන් මම එවරස්ට් උනත් නගින්නම් සුදෝ"

තමා පැවසූ ස්වරය නිසාමදෝ ඇයට නොනවතින සිනහවක් පහල වූ අයුරු ඔහුට තාමත් මැවී පෙනෙයි,

"ඔව් ඔව් නගී කියල තමා බය, මං එනකල් පැය භාගයක් හිටන් ඉඳල කකුල් රිදෙනවා කියන මිනිහා"

වසර ගණනාවකට පෙර තමා කවට කමට පැවසූ වදන් යම් තාක් දුරකට හෝ හැබෑ වී තිබෙනවා නොවේදැයි සිතී ඔහුට මද සිනහවක් පහල විය.

තව නැගීමට ඇත්තේ අඩි කිහිපයකි. එයින් දැනුන අමතර සවියද ගෙන ඔහු විනාඩි කිහිපයකින් දින දෙකක සිට කල කඳු නැඟීම නිමා කලේය. තවත් විනාඩි කිහිපයක් වැතිර ගිමන් නිවූ පසු සෙමෙන් නැගිට අවට සිරි නරඹන්නට විය.

ඔහු ඉදිරියෙන් වුවේ අති රමණීය වූ මිටියාවතකි. ටිබෙට් ජාතිකයන් "අමරණීයත්වයේ මිටියාවත" ලෙසින් හඳුන්වන මෙම මිටියාවත ගැන ඔවුන් අතර පවතින ජනප්‍රවාද අතිශෝක්තියක් නම් නොවන බව ඔහුට වැටහී ගියේය.

ඔහු සිටි තැනට හැතැප්මක් පමණ දුරින්, හිමෙන් වැසී ගිය හිමාල කඳු මුදුන යෝධයෙක් මෙන් නැගී සිටියේය. ඒ වනතෙක් වූ භූමිභාගය සුරලොව ගෙවත්තක් වැනි විය. බිම වැසී යන සේ වැතිර තිබූ සිහින් කොල ඇති තෘණ ආවරණය බිමට එලූ ලා කොල පැහැති පලසක් වැනිය.
එම පලසෙහි තැනින් තැන පැන නැග තිබූ වෘක්ෂයන් පරිපූර්ණ බවින් යුක්තය. ඉතා උස් නොවූවද එවා වසර දස දහස් ගණන් පැරැණි එවා විය යුතු බව ඒවායෙ අපූර්ව වර්ණයෙන් හා වට ප්‍රමාණයෙන් ඔහුට හැඟී ගියේය. වෙනත් කිසිම ශාක පත්‍රයක දැකිය නොහැකි ප්‍රභාවත් කොළ පැහැයක් එම වෘක්ෂයන්ගේ පත්‍ර වලින් නිකුත් විය. ඒවායින් නිකුත් වූ සුගන්ධය ඔහුව මත් කලේය. මෙම දර්ශණයෙන් වශීකෘත වූ ඔහු ඒ දෙසට ඇවිද ගියේ ඉබේමය. 

මිටියාවත මැදට වන්නට ගලා යන දිය පහරකි. මොහොතකට නොසිතා දිව ගොස් දණින් වැටී ඉන් දිය දෝතක් ගෙන පානය කලේ දින ගණනකින් දිය පොදක් ලැබූවෙක් සේය. ප්‍රථම වරට සිය දිවියේදී පිරිසිදු ජලයේ නියම රස දැන ගත්තේ එවෙලේයැයි ඔහුට සිතිණ.

ඔහු එතැනම වැතිර ගති. බැස යන හිරුගේ ලා දම් පැහැති අවසන් හිරු රැස හිමාල ගිරි හිසට වැටී දිලිසෙන අයුරු මීදුම් අතරින් පෙනේ. තමා සිටින්නේ දෙව්ලොවදැයි ඔහුට වරෙක සිතිණ. 

කලුවර වැටීමට පෙර රැය ගත කිරීමට උණුසුම් තැනක් සොයා ගත යුතුය. අසල තිබූ වෘක්ෂයකට පිටදී මේ පිළිබඳ කල්පනා කරනවිට ඔහුට අමුත්තක් දැණුනි. ඔහු සැනෙන් හැරී අත්වැසුම් ගලවා වෘක්ෂයට අත තබා බැලීය. ඔහු විස්මයට පත්කරමින් ඉන් දැනුනේ සෞම්‍ය උණුසුමකි. ජීවී සත්වයෙකු වෙතින් පමණක් මෙසේ නිකුත් විය හැකි උණුසුමක් වෘක්ෂයට ලැබුනේ කෙසේද.
ඔහු ඒ ගැන සිතීමට තවත් නොවෙහෙසී සිය රාත්‍රී යහන එම වෘක්ෂයේ යෝධ මුල් දෙකක් අතර පිලියෙල කර ගත්තේය.

ජල පහරෙන් දිය නා ගෙන පිරිසිදූ වී එම යහනේ වැතිරුනු ඔහු යලිත් සිය පැරණි මතකයන් අතර ගිලෙන්නට විය.

මීට වසර ගණනාවකට පෙර උද්භිඳ විද්‍යඥවරියක් වූ ඇය මුණ ගැසුන සැටි, ඇය හා පෙමින් බැඳුන සැටි, ඇය හා විවාහ වූ සැටි පිළිවෙලින් මතකයට නැගෙන්නට විය. ඉන්පසු ඒ මතකයන් පසුපස හඹා ආවේ අවාසනාවේ සෙවනැලි රැඳි මතකයන්ය,

"මිස්ටර්, කියන්න කණගාටුයි එයාගේ සිරුර පුරාම රෝගය පැතිරිලා දැනටමත්. සුව කරන්න කිසිම අවසථාවක් ඉතිරි වෙලා නැහැ"

"එහෙම කියන්න එපා ඩොක්ටර්, ලෝකෙ තියෙන ඕනෑම හොස්පිටල් එකක් කියන්න. මට එයාව අරන් යන්න පුලුවන්"

"හ්ම්ම් මට ඔයාට බොරු බලාපොරොත්තු ඇති කරවන්න බැහැ, මෙයාව බේරගන්න කොහොමත්ම බැහැ. තව මාස තුනක විතර කාලයක් තියෙන්නෙ. පුලුවන් තරම් එයාව සතුටින් තියන්න උත්සාහ කරන්න, ඒකයි  මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම දේ"

සිය දිවියේ සතුට කෙලවර වූ කාල සීමාව ඇරඹි අයුරු ඔහු සිහි කලේ දෙනෙත් යලිත් කඳුලින් බොඳ වී යද්දීය.

ඉන්පසු ඇයව නැහැවූ සැටි, කැවූ පෙවූ සැටි, හැකි සෑම විටම ඇය අසලම රැඳී සිටි සැටි එකිනෙක සිහි වන විට ඔහුට ඔහු ගැනම ආතමානුකම්පාවක් ඇති කලේය.

ඇය, ඉතා බුද්ධිමත් එමෙන්ම සංවේදී කාන්තාවක් විය. උද්භිඳ විද්‍යාව සඳහා ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර ගැනීමට කල අධ්‍යයන කටයුතු නිසා ඇය මධ්‍යම ආසියාවේ ගස්කොලන් ගැන කිසිවෙකුට නැති දැනුමකින් යුක්ත වන්නියක් විය.

දිනක් ඇය ඔහුට පුදුම යෝජනාවක් ගෙන ආ අයුරු ඔහුට සිහි විය. ඒ මෙම අමරණීයත්වයේ මිටියාවත පිළිබඳ රහසයි.

"ඒ මිටියාවතේ පුදුම සහගත වෘක්ෂ වර්ගයක් තියෙනවා, එවායින් පුලුවන් ඕනෑම රෝගයක් සුව කරන්න"

ඇයගෙන් එය දැනගෙන පැය කිහිපයකින්ම ඔහු  අමරණීයත්වයේ මිටියාවත සොයා යාමට පිටත් විය. දහසකුත් එකක් බධා පැමිණුනද ඇයව සුව කර ගැනීමට ඇති නොසිඳෙන උවමනාව නිසාම ඉතා ඉක්මණින් ඔහු සිය අරමුණ ජය ගත්තේය.

මෙම සිතුවිලි අතරින් ඔහු නින්දට වැටින. ඒ ඔහුගේ ජීවිතේ ඔහු ගෙවූ සුවදායකම රාත්‍රියයි. නින්දෙන් කිසියම් පිරිසක් තමා වට කර සිටිනු හැඟී ගියේය. ඔවුන් ඉතා ආදරෙන් ඔහුව අමතන්නට විය. ඉන්පසු ඔවුන් ඔහුගේ සිරුර අල්වා ගෙන ආශිර්වාද කරන්නට විය. ඔවුන්ගේ ස්පර්ශයෙන් කාන්දු වූ යම්දෙයකින් සිය ජීවය අලුත් වන්නාක් මෙන් ඔහුට දැනිණ.

පසු දින උදෑසනම හිරු කිරණත් සමඟ අවදි වූ ඔහුට දැනුණේ කිසි දිනක නොදැනුණු ප්‍රබෝධයකි. 

"මම අන්තිමේදි දිණුවා, මට පුලුවන් දැන් එයාව සුව කර ගන්න" යන සිතුවිල්ල ඔහුගේ සිත සතුටෙන් පුරවා දමන්නට විය. 

ඇය පැවසූ අකාරයෙන්ම, ඒ මහානුභාව සම්පන්න වෘක්ෂයකින් පැන නැඟ තිබූ කුඩා පැලයක් ඉතා ප්‍රවේශමෙන් මුල් නොකැඩෙන පරිදි පසද සමඟ ගෙන, ඉතා සුරක්ෂිත ලෙස අසුරා ගත්තේය.

ආපසු පිටත් වීමට පෙර තමාට උණුසුම හා සෙවණ දුන් වෘක්ෂයට ඔහු නමස්කාර කලේ ඉබේටම වාගේය. ඔහුට එම වෘක්ෂය පෙනුනේ ආදරණීය  ව‍යෝවෘධ මෑණියක මෙනි.

පැමිණියාටත් වඩා වේගවත් ආපසු ගමනක යෙදුනු ඔහු දින කිපයකින් ඇය වෙත පැමිණියේය.

දීප්තිමත් වූ දෙනෙතින් පැලෑටිය අත තබා සිටින ඔහු දෙස ඇය බැලුවේ ස්තූතිය පිරුණු ආදරණීය බැල්මකිනි. "ඔයා එහෙනම් මම වෙනුවෙන් එය කලා"

ඇය පරෙස්සමෙන් පැලෑටිය ලඟට ගෙන එහි පත්‍රයක් සිප එහි සුඝන්ධය ආශ්වාස කලාය.

"ඉතින් ඔවුන් ඔබට කතා කලාද?" ඇය විමසුවාය

"කවුද? ඒ මිටියාවතේ කවුරුවත්ම හිටියේ නැහැ" 

ඇය සිනාවක් පහල කර "නින්දේදි අමුත්තක් දැනුණේ නැද්ද?"

"නින්දේදි නම් කවුරු හරි ලඟ හිටිය බවක් දැනුණා, ඔවුන් යමක් කරුණාවෙන් කියන්න උත්සාහ කලා, මම හිතුවෙ හීනයක් කියලා"

ඇය යලිත් සිහින් සිනහවක් පල කලාය. "ඔයා වාසනාවන්තයි, එයාල හැමෝටම කතා කරන්නෙ නෑ"

"එවායින් වැඩක් නෑ, ඉතින් ඉක්මණට කියන්න කොහොමද ඖෂධය හදන්නෙ?" ඔහු නොවිසිලිමත්ය

"අහ් ඒකට මේ පැලැටිය කොටල අඹරල යුෂ ගන්න වෙනවා"

"හා"  
ඔහු ඉක්මණින් පැලෑටිය ගනිමින් පැවසුවේය. නමුත් ඒ සමඟම ඔහුට දැනුනේ තමා මිණීමැරුමක් කරන්නට යනවාක් වැනි හැඟීමකි. ඒ සිතුවිල්ල් යටපත් කර යන්නට හැරෙත්ම ඇය ඔහුගේ අතින් අලවා ගත්තාය. 

"මොකක්ද දැන් ඔයාට දැනුනේ?"

ඔහු විමතියෙන් ඇය දෙස බැලීය

"කාව හරි මරන්න යනව කියල හිතුනා නේද?"

"අහ් ඕ ඔව්! ඔයා කොහොමද ඒක දැන ගත්තෙ?" ඔහු විමතියෙන් විමසීය.

ඇය එම පැනයටද කලේ සිනා පහල කිරීම පමණි.

"මේ අහන්න, මෙතනින් ඉඳ ගන්න ටිකක්."
ඔහු ඇයගේ ඇඳ අසල ඉඳ ගත්තේය. 

"මේ පැලැටියෙන් මාව සුව කරන්න බැහැ"

"මොනවා!!!" ඔහුගේ බලාපොරොත්තු එක වර කඩා වැටින. දුක කේන්තිය මුසු හැඟීම් අතර මුණිවත් රැක්කේ මෙහි තෙරුම මොකක්දැයි අසන නෙතින් යුතුවය.

"මේ අහන්නකො ඉතින්, ඒත් මම ඔයාව දාල යන්නේ නෑ, මට තේරෙනවා මම තව ජීවත් වෙන්නෙ අද හෝ හෙට දවස විතරයි, ඊට පස්සෙ මාව අර පේන තණතිල්ලෙ වල දාන්න. ඊට උඩින් මේ පැලය පැල කරන්න. මම ඒ තුලින් යලි ජීවත් වේවි, මට ඔයාව ඇහෙවි, මට ඔයාව දැනේවි, මම කියන දේවල් තේරුම් ගන්න ඔයා ඉගෙන ගනීවි, ඔයාට මාව දැනෙන්න ගනීවි. ඔයා ජීවත් වන තුරා මම ඔයත් එක්ක ඉඳීවි. කියන්න ඔයා එහෙම කරනවාද?

ඔහු ඇගේ දෑත් තුරුල් කරගෙන කඳුලු පිරි දෙනෙතින් යුතුව හිස සැලුවේ ඇය කියූ දෙය හොඳින් වැටහුණු නිසාවෙනි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

ඔහු කාටත් ප්‍රිය මනාපව සතුටින් ජීවත් වූවෙක් විය. ඔහුගේ දිවිය පුදුම සහගත ලෙස නිරෝගීව හා සතුටින් පිරී තිබීමේ රහස නම් කිසිවෙක් දැන නොසිටියේය. නමුත් සැම දෙනාම ඔහු ගැන දැන සිටි එක් විශේෂ කාරණයක් විය. ඒ ඔහු ඕනෑම වෘක්ෂලතාවකට මිනිසෙකුටම මෙන්ම ගෞරවය ආදරය දැක් වූ බවය.

එක් දිනක ඔහු කිසිවෙකුටත් නොකියාම සාමකාමීව සිය අවසන් ගමන ගොස් සිටියේය, ඒ ඔහුගේ ගෙවත්තේ පිහිටි අසාමාන්‍ය ප්‍රෞඪ බවක් පෙන්වූ වෘක්ෂයක සෙවණේ ඒ වෘක්ෂයේ උණුසුම ලබමිනි.


Sunday, March 17, 2013

මනස වනසන භින්නෝන්මාදය (schizophrenia)



කලින් ලිපියෙන්......
නදීශා..! බණ්ඩාර..!  කාන්ති..!  මේ කවුද? මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?

මේ අය ගැන කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.

කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..?



නදීශා - පවුලෙ එකම දරුවා මුරණ්ඩු ළමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච මය,තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්‍රයකුත් නැහැ, තනිව සිනාසේ, ඇයටම පමණක් පෙනෙන පෙම්වතෙක් සිටී, ඇයගේ ලෝකය ඔහුයි...

බණ්ඩාර - යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම කියවයි, අසීමිතව බිරිඳව සැක කරයි, කටහඬවල් ඔහුට නියෝග දේ, ඔහු එම කටහඬවල් විශ්වාසද කරයි...

කාන්ති - අවිවාහකය, වයස හතලිහද ඉක්මවා ඇත, සැහෙන කලක සිට අසීමිත දේව ඇදහීමක් කරයි, ලඟකදී දෙවි කෙනෙක් ආරූඪ වී ඇත, දෙවියන් වරින් වර පෙනෙයි, ඇයට දැන් විවිධ බල ඇත, වැසි වැස්සවිය හැක, මුදල් මැවිය හැක, නැති වූ දේවල් ගැන කිවිය හැක....

ඉතින් මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?

මුකුත් නෙවෙයි නොදැනුවත් කම නිසා භින්නෝන්මාදය (schizophrenia) නම් මානසික රෝගයෙන් පෙලෙමින් එය උග්‍ර අවස්ථාවට එන තෙක් නිසි ප්‍රතිකාර වලට යොමු නොවූ අයය.

දැනට හඳුනාගෙන ඇති මානසික රෝග අතුරෙන් දරුණුතම මානසික රෝගී තත්වය ලෙස මෙම භින්නෝන්මාදය හඳුන්වන්න පුලුවන්. මේ පිලිබඳව සිදුකර ඇති පර්යේෂණ (Torrey,1987) වලට අනුව ලෝක ජනගහනයෙන් සෑම 100 දෙනෙක්ගෙන්ම එක් අයෙක් මෙම රෝගයෙන් පෙලෙන බවට සඳහන් වෙනවා.

මෙහි නම වන schizophrenia ග්‍රීක ව්‍යවහාරයට අනුව බෙදුණු (schizo) මනස (phrene) යන අර්ථය තමා ගන්නෙ.
රෝගය හොඳින් තේරුම් ගැනීමටත් උපකාරයක් වන නිසා, මෙම රෝගය නිශ්චිතව හඳුනා ගැනීමට වෛද්‍යයවරු සුලබව භාවිතා කරන ප්‍රබල රෝග ලක්ෂණ කීපයක් සඳහන් කරන්නම්. (මූලාශ්‍රය ICD 10 )

1. සිතුවිලි වල සංකූලතා

මෙම රෝගීන් අතර සුලබව දක්නට ලැබෙන සිතුවිලි වල සංකූලතා කීපයක් මෙසේය
  • සිතිවිලි නින්නාද දීම, එනම් තම සිතුවිලි නැවත නැවත ඇසෙන්නට ගැනීම.
  • කවුරුන් හෝ සිතට බලෙන් සිතුවිලි ඇතුලත් කරන බව දැනීම.
  • තම සිතෙහි ඇති සිතුවිලි වෙනත් කෙනෙක් බලෙන් ඇද ගන්නවා හෝ එවා දැන ගන්නවා යන හැඟීම.
  • තමන් සිතන විට එම සිතුවිලි අවට සිටින අයටද ඇසෙන ලෙස විහිදෙනවා යන හැඟීම


2. මෝහය නැත්නම් මුලාව (Delusions)

මෙය සාමාන්‍යෙන් අපට ඇතිවන මුලාවන් හෝ මිත්‍යා විශ්වායන් නොවේ. කෙසේත්ම සමාන්‍ය නොවන, සිදුවිය නොහැකි අස්වාභාවික විශ්වාසයන්ය.  උදා -

  • තමාව, තම සිතුවිලි හෝ තම සිරුරේ අංගයන් වෙනත් අයෙකු හෝ බාහිර යන්ත්‍රයක් මගින් පාලනය කරනවාය යන විශ්වාසය (සමහර පුද්ගලයන් තමාව පිටසක්වල ජීවීන් විසින් හසුරවන බව නැතහොත් වෙනත් රටක රහස් ඔත්තු සේවයක් විසින් නිපදවූ අධිතාක්ශණික යන්ත්‍රයක් මගින් පාලනය කරන බව විශ්වාස කරයි )

  • කවුරුන් හෝ තමාට හානි කරාවි යන සැකය - තම නිවැසියන්, ඥාතීන් හෝ අසල්වාසීන් තමාට හානි කරන්නට හෝ ජීවිතයට හානි කිරීමට උත්සාහ කරනවා යන සැකය. (කෑමට වස දමාවි යන සැකය, තමා ඝාතනයට එකතු වී කුමන්ත්‍රන කරනවා යන සැකය )

  • අසාමාන්‍යය ඉරිසියාව - මෙය බොහෝ විට සිය බිරිඳ හෝ සැමියා වෙනත් අය සමඟ අයුතු සබඳතා පවත්වනවා යන සැකය.

  • තමන්ට විශේෂ බලයන් ඇති බව විශ්වාස කිරීම - දේව වරම්, අත්භූත බලවේග මගින් කාලගුණය වෙනස් කිරීම හෝ ලෝකය වෙනස් කිරීමට හැකි බව


3. භ්‍රාන්තිය නැත හොත් ව්‍යාජ දර්ශන (Hallucinations)

මෙහිදී විවිද ශබ්ද ඇසීම හා දර්ශන පෙනීම සිදුවේ, සමහර විට විවිධ රසවල් දැනීම හෝ විවිද ගඳ සුවඳ දැනීමද සිදු විය හැක. මේ සියල්ල බාහිර බලපෑමක් නොමැතිව ඔවුන්ගේ හිස හෝ මනස තුලින්ම ඇතිවන එවා වේ.

  • විවිධ ශබ්ද - යම් කටහඬක් තමාට අණ කරනවා ඇසීම, කටහඬවල් කීපයක් තමා ගැන කතා කරනවා ඇසීම, යම් කටහඬක් තමා කරන කරන දෙය හඬ නගා කියනවා ඇසීම.

  • විවිධ දර්ශන - අන් අයට නොපෙනෙන පුද්ගලයන් පෙනීම, මකරුන් වැනි සතුන් පෙනීම.


4. කතාවේ සිදුවන එනස්කම්

  • සමාන්‍ය අයට තෙරුම් ගත නොහැකි නව වචන යොදා ගනීම. (neologisms)
  • හදිසියේම කතාව නවත්වමින් අස්වාභාවික ලෙස කතා කිරීම.(breaks)
  • කතාව එක් මතෘකාවකින් තවත් මාතෘකාවකට ක්ශනිකව මාරු කිරීම. (මම කොලයක ලියනවා, මම ලියන පෑන හදල තියෙන්නෙ පෙරී සහ සමාගමෙහි නිපදවූවක්, ඒ සමාගම තියෙන්නෙ ලංඩන් නගරයේ. ලංඩන් තිබෙන්නේ එංගලන්තයේ. මම ඉස්කෝලෙ යන කාලෙ කැමතිම චිත්‍ර වලට....)
  • තෙරුම් ගත නොහැකි කිසිදු ගැලපීමක් නැති දේවල් කියවීම


5. අස්වාභාවික හැසිරීම්

  • දින හෝ සති ගණනාවක් නිශ්ශබ්දව සිටීම. (mutism)
  • එකම ඉරියව්වෙන් බොහෝ වෙලාවක් සිටීම (පැය ගණනාවක් ) (posturing)
  • සමාන්‍යයෙන් සිටීමට අපහසු ඉරියව් වලින් සිටීම.
  • තමා ඉටි වලින් තැනූවෙක් සේ හිඳීම එනම් වෙනත් අයෙක් අත යම් ඉරියව්වක තැබුවොත් ඒ අයුරින්ම සිටීම.(waxy flexibility)


6. එදිනෙදා හැසිරීමේ සිදුවන වෙනස්කම්

  • සමාජයෙන් ඈත් වී සමාජයට බිය වූවෙක් මෙන් ජීවත් වීම. (social withdrawal)
  • කිසිම හැඟීම් ප්‍රකාශයක් නොමැති වීම.(blunting) 
  • තැනට නොගැලපෙන හැසිරීම් ඇති වීම.
  • අසාමාන්‍ය නිශ්ශබ්දතාවය.


භින්නෝන්මාදය ඇත්තෙකු ලෙස ස්ථීර ලෙසම රෝග නිර්ණය කිරීම මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින්ම ඉතා කල්පනාකාරීව කල යුත්තක්. මක් නිසාද මෙහි අනෙක් සෑම මානසික රෝගයකම ඇති ලක්ෂණ අනතර්ගත වන රෝගයක් වන නිසා. එම රෝග නිර්ණයට වඩාත් උපකාරී වන්නේ ඉහත සඳහන් කල රෝග ලක්ෂණයි.

මීට අමතරව පහත ලක්ෂණද මෙම රෝගීන්ගේ දැකිය හැකි වනවා.

  • පිරිසිදුව සිටීම අඩු වීම.
  • සමාජ සම්මතයන් නොතකා අසභ්‍ය ලෙස හැසිරීම.
  • කලබලකාරී බව, කෑකෝ ගැසීම
  • තනිව සිනාසීම, කතා කිරීම
  • තෙරුම් ගත නොහැකි වචන එකතුවක් පමණක් කියවීම
  • එකවරම සිනාසීම හෝ හැඬීම, තැනට නොගැලපෙන හැඟීම් ප්‍රකාශය
  • අවධානය එක් තැනක රඳවා සිටීමේ අපහසුව.
මෙම රෝගය උග්‍ර තත්වයට පත් විමේ ඉතා දරුණු ප්‍රති විපාකයක් වන්නේ මෙම රෝගීන් සියදිවි නසාගැනීමට පෙළඹීම. (  භින්නෝන්මාද රෝගීන්ගෙන් 15%ක් සියදිවි නසාගැනීමට පෙළඹේ )


ඉහත වෙනස්කම් නිසා රාජකාරී කටයුතු අවුල් වීම, රැකියාවෙන් පිටුවහල් කිරීම වැනි දේ වලින් මොවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරීම කල් යත්ම සිදුවේ. ඒ සමඟ පවුලේ අසමඟිය, සමාජයෙන් කොන් වීම වැනි තත්වයන් සමඟ මොවුන් වඩාත් නරක තත්වයකට ඉක්මණින්ම පත්වේ.

දැන් අපි බලමු භින්නෝන්මාදය ඇති වීමට බලපාන හේතු.

1. ජානමය බලපෑම

සෑම රෝගයක මෙන්ම ජානමය බලපෑමක් මෙහිදීද ප්‍රබලව දක්නට ලැබේ. නමුත් මෙහිදී විවාදාත්මක තර්කයක් වනුයේ පවුලේ අයෙකුට මෙම රෝගය ඇති විට එයින් ඇතිවන මානසික පීඩනය හා සමාජයෙන් ඇතිවන පීඩනය නිසා පවුලේ කීප දෙනෙකුට මෙම රෝගය ඇති වීමට බලපාන බවයි.

2.ගර්භණී අවධියේදී ඇතිවන අනතුරු හා රෝග නිසා.

ගර්භණී අවධියේ මවට සෑදෙන අසාදන (ඉන්ෆ්ලුවෙන්සා, සරම්ප, පෝලියෝ )

3. දීර්ඝ කාලීන මත්ද්‍රව‍ය භාවිතය (විශේෂයෙන් ගංජා, කංසා වැනි මත්ද්‍රව්‍ය )

4. පවුල් පරිසරය

  • දෙමව්පියන්ගේ අසමගිය, ආරවුල් ඇති පවුල් වල දරුවන්.
  • කුඩා කල සිදුවන නොසලකා හැරීම්.
  • මානසික අසහනය ඇතිවන පවුල් පරිසර


5. සමාජ තත්වය
ආර්ථික දුශ්කරතා නිසා ඇති වන මානසික පීඩනය

6. මොලයේ ඇතිවන රසායනික හා ක්‍රියාකාරිත්වයේ අක්‍රමිකතා

  • මොලයේ ඇති ප්‍රධාන අන්තර්ස්නායු සන්නිවේදකයක් වන ඩෝපමින් (Dopamine) යන රසායනිකයට ස්නායු දක්වන සංවේදීතාවය අඩු වීම මෙයට බලපාන බව දැනට සොයාගෙන ඇති ප්‍රබල කරුණකි.

  • එමෙන්ම මොලයේ ඇති කුටීර වර්ගයක (cerebral ventricles) සිදු වන විශාල වීම භින්නෝන්මාදයට බලපාන බවත් සඳහන් වේ.


භින්නෝන්මාදය ගැන සැලකිය යුතු දැනුමක් දැන් ඔබ හට ඇත.

දැන් ඔබ නගන පලමු ගැටලුව කුමක්ද!  මේ රෝගයට ප්‍රතිකාර තිබේද යන්න.

ඔව්. බොහොමයක් රෝග වලදී මෙන්ම මුල් අවදියේ දීම වඩාත් සැලකිල්ලෙන් ප්‍රතිකාර කිරීමෙන් මොවුන් සාමාන්‍ය තත්වයට පත් කල හැක.

මොවුන්ගෙන්
  • 25% කට රෝගය එක් වරක් පමණක් ඇතිවේ. ඉන් පසු ප්‍රතිකාර සමඟ සාමාන්‍ය තත්වයට පැමිණේ
  • 25% කට රෝගය නැවත නැවත ඇති වුවද ප්‍රතිකාර නිවරැදිව කිරීමෙන් සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් ජීවත් වීමේ හැකියාව ඇත
  • 25% කට රෝගය නැවත නැවත ඇතිවේ, තත්වය දරුණු තත්වයට පත්වීම් දැකිය හැකි වුවද ප්‍රතිකාර මඟින් පාලනය සිදු කෙරේ.
  • 25% කට දිගින් දිගටම රෝගය දරුණු තත්වයට පත් වේ.


වඩාත් පැහැදිලි වීමට රෝගය සුව විමේ හැකියාව වැඩි වීමට හේතු වන සාධක ලැයිස්තුවක් ලෙස දක්වන්නම්

  1. රෝග ලක්ෂණ එකවරම ඇතිවී කෙටි කලක් පැවතුන අයෙක් වීම
  2. පෙර ජීවිතයේ මානසික රෝග තිබූ අයෙකු නොවීම
  3. සමාජයෙන් ඈත්වීමට උත්සාහ දරන අයෙකු නොවීම
  4. රෝගය පළමු වර ඇති වනවිට වයසින් වැඩි අයෙකු වීම
  5. මනා පෞර්ශයක් ඇති අයෙක් වීම
  6. පවුලේ හා සමාජයේ උදවු උපකාර හොඳින් ඇති අයෙකු වීම
  7. වෛද්‍ය උපදෙස් මනාව පිලිපදින අයෙක් වීම


රෝගය සුව විමේ හැකියාව අඩු වීමට හේතු වන සාධකද ලැයිස්තුවක් දැක්වන්නම් 

  1. රෝග ලක්ෂණ දිගු කලක් පැවතීම
  2. පෙර මානසික රෝග තිබූ අයෙකු වීම
  3. සමාජයෙන් ඇත්වීමට උත්සාහ දරන අයෙකු වීම
  4. තරුණ අවධියේදීම රෝගය ඇති වීම
  5. දුර්වල හෝ අසාමාන්‍ය පෞර්ශයක් ඇත්තෙකු වීම
  6. පවුලෙන් හා සමාජයෙන් උදවු උපකාර නොලබන අයෙකු වීම
  7. අවිවාහක හෝ තම සහකරුවා මිය ගොස් සිටින අයෙකු වීම 


ප්‍රතිකාර

1. ඖෂධමය ප්‍රතිකාර

පියවරෙන් පියවර රෝගයේ තීවුරතාවය අනුව වෙනස් කරමින් යන ලෙස ඖෂධමය ප්‍රතිකාරය සිදු වේ.

2. රෝගය ඉතා උත්සන්න වූ අයට ඉක්මන් පාලනයක් ලබා දීමට හා, ඖශධ දීම අපහසු අයට විද්‍යුත් කම්පන ප්‍රතිකාර (ECT) ලබා දේ

3. මානසික තත්වය නඟා සිටවීමට උපදෙශාත්මකව රෝගියා හා කතා කිරීමෙන් ප්‍රතිකාර කිරීම. 
මෙහිදී 

  • රෝගියාගේ තත්වය ඔහුට හැකිතාක් දුරට තෙරුම් ගැන්වීම. 
  • අනතුරු දායක තත්ව වල රෝගියා ඇති දැයි තේරුම් ගැනීම හා ඒවා වැලක්වීමට උපදෙස් දීම.
  • තමාගේ කටයුතු තනිවම කර ගැනීමට හුරු කිරීම.
  • භාශාමය හැකියාව යථා තත්වයට ගෙන ඒම.


වැනි අරමුණු මූලික කර ගැනේ.
මෙහිදී රෝගියා නේවාසිකව හෝ ඔවුන් සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ආයතන (Nest, සහනය)  වල ප්‍රථිකාර කිරීම සිදු වේ. 

4. සාමාජීය සහය වැඩි කිරීම

මෙහිදී
  • පවුලේ අය හා කතා කර ඔවුන්ව රෝගය පිලිබඳ දැනුවත් කිරීම.
  • රෝගියා හා කටයුතු කල යුතු ආකාරය පිලිබඳ දැනුවත් කිරීම. (රෝගියාගේ මානසික පීඩනය අඩු වන ලෙස කටයුතු කිරීම, ආදරයෙන් කරුණවෙන් සැලකීම, රෝගියාට මුදල් පරිහරණයට දීමේදී සැලකිලිමත් වීම, තනිව දුර ගමන් වල යෙදීමට ඉඩ නොදීම )
  • පවුලේ අයගේ මානසික තත්වය යහපත් අතට හැරවීම.
  • රෝගියාගේ රැකියාව පිලිබඳ සොයා බලා එය නැවැත්වීමට හෝ රැකියාව වෙනස් කිරීමට උපදෙස් දීම (වගකීම් සහිත රැකියා රෝගය නරක අතට හැරීමට හෙතු විය හැකි අතර, සමාජයට හානි වීමටද ඉඩ ඇති බැවින්)


ඉහත සියලු ප්‍රතිකාර ක්‍රම සාර්ථකව සිදු කිරීමෙන් මෙම රෝගීන් සුව අතට ගෙන ඒමටත්, සම්පූර්ණ සුවය නොලැබූවත් රෝගය පාලනය කරගෙන සාමාන්‍ය දිවියක් ගෙන යාමට හෝ හැකියාව ලැබේ.

භින්නෝන්මාදය මුල් කොටගෙන තැනුනු චිත්‍රපට ගණනාවක් දැකිය හැකියි. ඒ අතරින්  සෑම කෙනෙක්ම නැරඹිය යුතු වටිනා චිත්‍රපටයක් ලෙස 2001 වසර සඳහා හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුලුව ඇකඩමි සම්මාන 4ක් දිනා ගත් A Beautiful Mind දැක්විය හැක.

එහි දැක්වෙන්නෙ නොබෙල් ත්‍යාගලාභී ගණිතඥයෙක් වන ජෝන් නෑශ් ගේ සැබෑ ජීවිත කතාව. ඔහු භින්නෝන්මාදය නිසා විඳි ගැහැටවල් හා අවසානයේ ඔහු රෝගය ජය ගන්නා අකාරය ඉතා සංවේදීව ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව ගරිල්ලා මාකටිං චිත්‍රපටයද භින්නෝන්මාදය මුල් කොට තැනූවක්.



ඉහත මා සඳහන් කල විස්තර වලට වඩා වැදගත්ම වන කරුණ සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ දැනුයි. 

මානසික රෝගයක් යනු කායික රෝග මෙන්ම ඕනෑම කෙනෙකුට වැලදිය හැකි රෝගී තත්වයකි. ඒ සෑම රෝගයකටම කායික රෝග වලදී මෙන් සාර්ථක ප්‍රථිකාර ඇත. එම නිසා මානසික රෝගයක් යනු සැඟවිය යුතු හෝ ලැජ්ජාවට පත් වීමට හේතුවක් නොවේ මක් නිසාද අප නොදන්නවාට අප හැමෝටම එක් එක් කාල වලදී විවිධ මානසික ව්‍යාකූලතා ඇති වන බැවින්. ඒවා හෙම්බිරිස්සාවක් ඉබේ සුව වෙනවාක් මෙන් කෙටි කලකින් සුව වේ. නමුත් සමහරුන්ට එම හෙම්බිරිස්සා නිව්මෝනියාව තෙක් උග්‍ර වන්නාක් මෙන් මානසික රෝගද උග්‍ර වේ. එය ඔවුන්ගේ වරදක්ද? ඔවුන්ව කොන් කිරීමට සමච්චලයට පත් කිරීමට කාරණයක්ද? නැහැ

කරුණාකර තම හිතවතෙක්, පවුලේ අයෙක් මෙවැනි රෝගයකින් පෙලේ නම් නොපමාව සුදුසු මානසික වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න, නැත හොත් සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පතන්න. ඔහු නිවරැදි තැනට ඔබව යොමු කරාවි. කායික අසනීපයක් මෙන් නොව, මානසික රෝගයකදි රෝගියාටම එය වටහා ගැනීම අපහසුයි, එවිට ඔවුන් ඉතාමත් අසරණයි. ඔවුන්ට එවිට හිතවතුන්ගේ සහය අත්‍යාවශයයි.

කායික රෝගීනටද වඩා මොවුන්ට ආදරය කරුණාව සැලකිල්ල අත්‍යාවශ්‍යයයි. මෙම රෝග සුවකිරීමේ ආශ්චර්‍යාත්මක බලයක් එවායේ ගැබ් වෙනවා.

ඔබත් අද සිට මානසික රෝග ගැන සමාජයේ ඇති හණමිටි අදහස් වෙනස් කිරීමට උපකාර කරන්න. නොදැනුවත් කමින් නිසි ප්‍රතිකාර නොලබා නිරපරාදේ දුක් විඳින දහසක් අතරින් එක් අයෙකුටවත් යලි සාමන්‍ය ජීවිතයක සුව විඳීමට අත දෙන්න. ඔවුන්ව නිසි ප්‍රතිකාර ගැනීමට යොමු කරන්න. එය ඔබට ජීවිතය තිබෙන තුරු සිතා සතුටු විය හැකි මහඟු පුණ්යකර්මයක් වේවි!


Friday, March 15, 2013

කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..?



නදීශා

"මට නම් තව බලා ඉන්න බෑ බං, මම ගෙදරට ගිහින් මේ ගැන කතා කරනවා"
දිගු කල්පනාවක ගිලී සිටි ගයාන් සිය රූමා සමඟ පැවසූවේ ස්ථීර තීරණයකට පැමිණෙමිනි. 

"ඒකි කියන්නෙ බොරුවක් කියල හිතනවා නම් එහෙම කරන එක හොඳයි, මොකක් හරි ගෙදර අවුලක්ද දන්නෙ නැහැනෙ"

"ඔව් මම හෙටම යනවා"

..........

නදීශාගේ නිවස..

"මේ ලමය එතකොට අපේ දුවගෙ කැම්පස් එකේම කිව්ව නේද, ඉතින් දැන් කාරණේ කිව්වා නම්"

ගයාන් මදක් පැකිලෙමින් සිට
"අම්මෙ මම එහෙනම් කෙලින්ම කාරනේ කියන්නම්කො, මම නදීශාට කැමතියි, එයාගේත් අකමැත්තක් නැතිලු ඒත් මට කලින් වෙන පිරිමි ලමයෙකුට පොරොන්දු වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැතිලු. මම ටිකක් හොයල බැලුවා. ඒත් නදීශා එහෙම කෙනෙක් හම්බවෙනව වත් එහෙම කෙනෙක් ගැනවත් එයාගෙ යලුවොවවත් දැකල නෑ.
ඉතින් අම්මෙ මට දැන ගන්න ඕනැ නදීශා කියන්නෙ ඇත්තක්ද කියල"

නදීශාගේ මව සුසුමක් හෙලීය
"මේ ලමය වැදගත් විදිහට මේව කෙලින් කතා කරපු එක මම අගය කරනවා"

"අපේ දරුවගේ ඔය කියන වැඩ කටයුතු අපිටත් ගැටලුවක්, අපිටත් ඔය කතාව කියල තියනවා. දවසට පැය ගණන් ෆෝන් එකේ එල්ලීගෙන කතා කරනවා, සතියකට සැරයක් විතර මුණ ගැහෙන්න කියලා යනවා. අපිට මුන ගස්සන්න කිව්වහම මොකක් හරි කියල කල් දානවා, කතා කරන්න දෙන්න කිව්වත් අහන්නෙ නැහැනෙ. මම තනියම කොහොමද පුතේ මේවා විසඳන්නෙ. අනෙක මෙයා එහෙම මුරණ්ඩු ලමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච ලමය, මේ කාරනේ විතරයි ඔය හිතුවක්කාර දේකට කලේ, පුදුම ආදරයක් ඒ පිරිමි ලමයට තියෙන්නෙ. සමහරදාට ඔය ඉස්තෝප්පුවට වෙලා තනියම හිනා වෙවි ඉන්නවා මතක් වෙලාද කොහෙද. පවුලෙ එකම ලමයනෙ, තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්‍රයකුත් නැහැ. අනේ මන්දා පුතේ ඕවා. 

"අහ් ඔය දුව එන්නෙ, කතා කරන්න්කො එහෙනම්, මම තෙකක් හදා ගෙන එන්නම්"

"ගයාන්! ඔයා මොකද මෙහෙ?"

"මොකද මේ තරහ ගිහින්, මම ඔයා කියපුවගෙ ඇත්ත නැත්ත දැන ගන්න ආවා නදීශා"

"මොකක්? ඔයා හිතන්නෙ මම බොරු කියනවා කියලද?"
ඇය මද කල්පනාවකට වැටින.
"හරි එහෙනම් හෙට හවස 5ට ගෝල්ෆේස් එකට එන්න මම එයාව මුන ගස්සන්නම්, එතකොට හරිනෙ?"

"හරි!"

..........

"හරි ඔන්න මම වෙලාවට ආවා, කෝ ඉතින් ඔයා කියන කෙනා?" ගයාන් ඇසුවේ නොඉවසිල්ලෙනි.

ඒ වනවිටත් නදිශා සිටියේ මුහුදු වෙරල දෙසා බලා ගෙනය, ඇගේ දෙනෙත් ආදරයෙන් පිරී තිබෙනු ගයාන්ට දැකිය හැකි විය.

"අර රැල්ල පාගන්නෙ, එයා තමයි" ඒ දෙසම බලා ගෙන ඇය පැවසීය.

ඈ බලා සිටි ඉසව්ව වෙත නෙත් යොමු කලද පෙනෙන තෙක් මානයේ කිසිවෙකු දැක ගැනීමට ගයාන්ට නොහැකි විය. අයා ගත් මුවින් යුතුව ගයාන් නදීශා දෙසත් මුහුදු වෙරල දෙසත් කිහිපවරක් බැලුවේ, ඒ පිලිගැනීමට අකමැති විවිධ නිගමන සිතට නැගෙද්දීය...


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 



බණ්ඩාර

"කාගෙන්ද දැන් ආපු කෝල් එක?"

"අපේ අක්ක අනේ කතා කලේ" සුජානි පැවසූවේ බණ්ඩාර දෙස බියමුසු බැල්මක් හෙලමිනි.

"අක්ක? හහ් මම දන්නව කවුද කතා කලේ කියල මම හොයා ගන්නම්කො" බණ්ඩාර පැවසූවේ දත්මිටි කමිනි.
"ඕකි බොරු කියන්නෙ! වඩාත් තීවුර ලෙස තම හිස තුලින්ම බණ්ඩාරට යලි යලිත් ඇසෙන්නට විය.

බණ්ඩාර තනිවම කියවනු ඇසෙන සෑම විටකම සුජානිගේ සිත බියෙන් පිරී යයි. මාස කීපයක සිට බණඩාර තමාව මෙතරම් සැක කරන්නේ ඇයිදැයි ඇයට සිතා ගත නොහැක. වෙනත් පිරිමියෙකු ඇස ගැටුනු කාලයක්  ඇයට මතක නැත.
බණ්ඩාර ලඟක සිට බොහෝ සෙයින් වෙනස් වී ඇත, යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම කියවයි, මෙවා සිහි වන විට සුජානිගේ බිය තවත් වැඩි වේ.

.........

සිතේ නොසන්සුන් කමටදෝ සුජානිට රාත්‍රියේ හරි හැටි නින්ද නොගියේය. සුසුමක් හෙලා ඇඳෙන් බැස නාන කාමරය වෙත ගියේ මුහුන කට මදක් සෝදා ගැනීමටය.

ඇය කාමරයෙන් පිටවන තෙක් බණ්ඩාර නොසෙල්වී සිටියේය.
"ඕකි ගියේ අරූ හම්බවෙන්න්න" සුපුරුදු ලෙස සිය හිතට කවුරුන්හෝ සිතුවිලි ඇතුල් කරනු බණ්ඩාරට දැනෙන්නට විය.
 "පලයන්! පලයන් ගිහින් බලපාන්"! එවර අණ කිරීමකි

බණ්ඩාර හොරෙකු මෙන් දොර වෙත ගොස් කන් යොමා සිටියේය

"ඇහෙනවද උන් දෙන්නගේ සද්දෙ?!"
බණ්ඩාරට ඉවසිය නොහැකි කේන්තියක් දැනෙන්නට විය.

"ඇයි තවත් බලන් ඉන්නෙ! මරපන් උන් දෙන්නවම!" යලි ආඥාවකි. බණ්ඩාර අවනත විය. දොර අසල තිබූ දොර පොල්ල අතට ගෙන ගේතුලට පා නැගීය.

දොර පොල්ල අතට ගෙන කෝපය පිරි දෑසින් යුතුව තමා දෙසට එන බණ්ඩාර දුටු සුජානි බියෙන් තැති ගත්තේය. අසලම තිබූ දියණියගේ කාමරයට පැන කෂනිකව දොර වසා ගති. බණ්ඩාර බෙරිහන් දෙමින් දොරට තඩි බාන හඬ ඇසෙන්නට විය. 

සුජානි දියණිවද තුරුල් කර ගෙන හඬමින් රැය පහන් කලාය. උදේ රැයින්ම දියණිවද ගෙන සිය සොහොයොයුරාගේ නිවස බලා ඇය පිටත් විය...


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 



කාන්ති

"පොඩ්ඩක් අපිටත් වතුර බාල්දියක් ගන්න දියන්කො, උඹ ඔතන බදු අරන් වගේනෙ"

"ඉඳා ගනින්, ඕකට ඉතින් ගිරිය පුප්පන්න ඕනැද"

සවස් යාමය පීල්ල අසල සුපුරුදු තදබදය සාදන වේලාවය

"ඒක නෙවෙයි උඹලට ආරංචි නැද්ද කාන්තිට දෙවි කෙනෙක් ආරූඪ වෙලාලුනෙ"

"හෑ! හැබෑට? උබ ඔය කියන කල් දන්නෙ නෑනෙ"

"ඔව් බන්, උඹල ඉතින් රටේ ලෝකෙ වෙන දේවල් දන්න එකක්යැ, දැන් මාසයක විතර ඉඳන්ලුනෙ, දවස් දෙක තුනකට සැරයක් පේන්වත්ලුනෙ, ඒ වෙලාවට පරල වෙලා අවේශ වෙනවා"

"අනේ වාසනවන්, ඒකි ඉතින් බැඳලත් නෑනෙ දැන් හතලිහත් පැනල මයෙ හිතේ. කොහොමත් දන්න කියන කාලෙ ඉඳන් දෙවියන්ට බොහොම ගැති කමෙන්නෙ හිටියෙ, උදේ හවා දෙවියන්න්ට පාන තියනවත් එක්ක"

"දැන් ඒකිට මොනවද බල වගේකුත් හම්බ වෙලාලුනෙ, වැස්සක් වස්සවන්න උනත් පුලුවන්ලු, සල්ලි මවන්න පුලුවන්ලු, ඔය බලේ යොදාගෙන සාස්තර කියනවලු! දැන් ගෙදර දේවාලෙකුත් දාලනෙ, මිනිස්සුත් සැහෙන්න යනවා"

"හැබෑට! අනේ මාත් එහෙනම් ලඟදිම යන්න ඕනෙ මගේ නැති වෙච්ච වලලු දෙක ගැන අහන්න"

"පලයන් පලයන් ඉක්මනට ඔය බල කවද වෙනකන් තියේද දන්නෙ නැහැනෙ, ඔන්න මගෙ රෙදි ටික හෝදලා ඉවරයි, මන් ගියා...!"


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


නදීශා..! බණ්ඩාර..!  කාන්ති..! 
මේ කවුද?
මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?

ඔබේ අදහස් දක්වන්න. ඊලඟ සටහනින් මේ ගැන වැඩි විස්තර බලාපොරොත්තු වන්න....!


Saturday, March 9, 2013

ඕනෑම දෙයක් උපරිම වේගයෙන් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගන්න!



ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.
ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.

මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.

ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට සෙවා සපයන්නන් මෙන්ම සේවා ලබා ගන්න අය වෙන්නේත් සාමාන්‍ය අන්තර්ජාල පාවිච්චි කරන අයමයි. අපට අවශ්‍ය ඕනැම දෙයක් මෙම ටොරන්ට් මගින් නොමිලේ ලබා ගන්න අද කාලයේ පුලුවන්.
ආයතන කීපයක් මෙම දෙකොට්ටාශය සම්බන්ධ කරන්නන් ලෙස ක්‍රියා කරනවා.
උදා -
www.utorrent.com
www.torchbrowser.com

මෙහිදී සිද්ධ වෙන්නෙ, අපේ පරිගනකයේ තියෙන ගීතයක්, චිත්‍රපටයක් හෝ ඔනෑම දෙයක් තවත් කෙනෙක්ට ලබා ගන්න ඉඩ දීම. එවැනි අය රාශියකගේ එකතුවෙන් තමයි මෙම සේවාව සැපයෙන්නෙ.
ටොරන්ට් ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුලුවන් පහත සඳහන් ලිපි වලින්.

TORRENT ගැන සම්පූර්ණ පාඩමක්!

ටොරන්ට් කියන්නේ මොනවාද?




දැන් මම කියන්නම් මේ Furk.net අඩවිය භාවිතා කරන හැටි.

1. මුලින්ම පහත ලින්කුවෙන් Furk.net අඩවියට යන්න.

https://www.furk.net/


2. අඩවියෙහි ලියාපදිංචි වන්න. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. නමුත් ඒ සඳහා ලියාපදිංචි වී සිටින අයෙකුගේ ආරාධනයක් අවශ්‍ය වනවා.(මේ ලින්කුවෙන් ගොස් එම අරාධන කේත ලබා ගන්න පුලුවන් වේවි )
http://thebotnet.com/freebies/169690-free-furk-net-invite-codes/
එහෙම නැත්නම් තමන්ගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර ලියා පදිංචි වන්න වෙනවා.

3.  Register යන්න ක්ලික් කරන්න.

3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම භාවිතා කර ඔබේ ගිණුම අනුමත කර ගන්න.

4. දැන් ඔබට මෙම වෙබ් අඩවිය පාවිච්චි කල හැකියි.


අපි බලමු කොහොමද මෙය භාවිතා කර ඔබට අවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා.

මේ සඳහා මම බොහෝ දෙනෙක් දන්න zoom.lk වෙබ් අඩවියෙන් ලබාදෙන ටොරෙන්ට් මගින් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරන හැටි උදාහරනයකට ගන්නම්.

1. Zoom.lk වෙබ් අඩවියට යන්න.

2. කැමති චිත්‍රපටයක් තෝරා ගන්න (මම තෝරා ගත්ත මෑතකදී ඉතා ප්‍රසිද්ධ වූ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් නිපදවූ හොබිට් - The Hobbit: An Unexpected Journey චිත්‍රපටය )

3. දැන් එය භාගත කර ගැනීමට අවශ්‍ය ටොරන්ට් එක ලබාගෙන සොයා ගත හැකි තැනක සේව් කර ගන්න (මම නම් ඩෙස්ක්ටොප් එකට )

4. දැන් Furk.net අඩවියට යන්න

5. My files යන්න තෝරන්න

6. New යන්න ක්ලික් කරන්න

7. Choose file ක්ලික් කරන්න

8. කලින් සේව් කර ගත් ටොරෙන්ට් ෆ්යිලය ලබා දෙන්න

9. Add download ක්ලික් කරන්න

10. Download ක්ලික් කරන්න.

11. දැන් ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයට ලබා ගත හැකි උපරිම වේගයෙන් චිත්‍රපටය ඩවුන්ලෝඩ් වේ. මෙන්න සාක්ෂි! 



වේගය අතින් තරමක් දුර්වල SLT අන්තර්ජාල සබඳතාවක් ඇතිව වුවද චිත්‍රපටය විනාඩි 10කටත් අඩු කාලයකින් ඩවුන්ලෝඩ් කරගත හැකි විය.


12. ඩවුන්ලෝඩ් වී අවසන් වූ පසු චිත්‍රපටය ලැබෙන්නේ zip ෆ්යිල් එකක් විදිහට. එය කැමති තැනකට unzip කර ගන්න.


  • මේ අකාරයට ටොරෙන්ට් අකාරයට ඇති ඔනෑම දෙයක් මේ වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කර ගත හැක. 
  • ටොරෙන්ට් එක සඳහා සීඩ්ස් අඩු වුවත් බාධාවක් රහිතව උපරිම වේගය ලැබේ.
  • වීඩියෝ කොන්වර්ට් කර ලබා ගැනීමටද පහසුකම ඇත.
  • අප ඩවුන්ලෝඩ් කරන දේවල් නැවත නැවත ගැනීමට හැකි ලෙස අපගේ ගිණුමේ සුරක්ශිත වේ.
  • අපගේ පෞද්ගලික දත්ත ගබඩාවක් ලෙසද භාවිතා කල හැක. 
  • දිනකට 1 GB දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. (මුදල් ගෙවා මාසකට 250GB දක්වා වැඩි කර ගත හැක )





එහෙනම් අවශ්‍යතාවය ඇති අය ප්‍රයෝජනයට ගන්න.!

Thursday, February 14, 2013

මිතුරු පෙම



සෙමෙන් සෙමෙන් විවර කල දෙනෙතට අයුබෝවන් කී උදෑසන සෞම්‍ය හිරු එළිය සහන්ට ඇති කලේ ප්‍රමෝදයකි. 

"හප්පා එලාම් සද්දයක් නැතිව නැගිට්ටහම තියන සනීපෙ"

අතපය දිග හැරි සහන් ජනේලය දෙස හැරී යලි ගුලි වූවේ කල්පනාවකට වැටෙමිනි.

ඊයේ දින ලියූ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයෙන් උසස් පෙළ විභාගය හමාර විය. ඒ සමඟම අතිශය අවිවේකී වසර දෙකක නිමාවද ලැබුවේ සිතට ඉගිලී යන තරමේ නිදහසක් මෝදු කරවමිනි.

විභාගය නිම වීමේ සහැල්ලුව තවත් මෙනෙහි කරන අතරම ඔහුගේ සිතුවිලි තුලට ගොඩ බැස්සේ සයුරිය. සහන් ඇයව අමතන්නට පුරුදුව සිටියේ "සයූ" කියාය. සයූ සහන්ගේ සම වයසේ මිතුරියකි. අසල්වැසියන් අතර සම වයසේ සිටියේ ඔවුන් දෙදෙන පමණක් බැවින් කුඩා කල සිටම ගජ යහළුවන්ය. පාසැල් ගියේ, පන්ති ගියේ පාඩම් කලේ එකටමය. 

තමා සයූ ගැන මිතුරු කමකට වඩා යමක් බලාපොරොත්තු වන බව දැනෙනෙන්ට වූවේ සාමන්‍ය පෙලට සූදානම් වන අවදියේ දීය. 
සාමාන්‍ය පෙලට දෙදෙනා එකතුව පාඩම් කරන අතරේදී ඇයට හොරෙන් ඇගේ සුන්දරත්වය විඳි අයුරු සහන් සිහි කරන්නට විය. 
ඇගේ සිනහව, යාන්තමට වල ගැසෙන දෙකම්මුල්, තද කලු පැහැ දීප්තිමත් ඇස්, නිතරම මුහුණට වැටෙන අකීකරු කෙස් කැරැල්ල මේ සියල්ලට ඒ දිනවල තමා ඇලුම් කල හැටි මතක් වන්නේ අද ඊයේ මෙනි. 

"මොකෝ මේ මගෙ මූනේ තොරණක් වත් තියද ඔච්චර බලන් කල්පනා කරන්නෙ?"

දිනක් සයූ ඇසූ සැනින් තමා ලජ්ජාවට පත් වූ සැටි සිහි වී යලි සිනා නැගින.

දැඩි ලෙස විනීත හා ඉගෙනුමට ලැදි අයෙකු වූ සහන් තම හැඟීම් සයුරිගෙන් සැඟවූවේ තම අදහස තමාගේ හා ඇයගේ ඉගෙනුමට බාධාවක් වේයැයි සැකයෙනි. දින ගණනක් සිතුවිලි සමඟ පොර බැඳ අවසානයේ උසස් පෙළ නිම කරන තෙක් ඉවසා සිටීමට ඔහු තීරණය කලේය.

ඉන්පසු සහන්ගේ සිතේ රජ කල එකම සිහිනය වූවේ ඇයව තමාගේ කර ගැනීමය. සිතින් පමණක් පෙම් කිරීමේ දුක මෙන්ම රසද හොඳ හැටි විඳීමට ගෙවුනු වසර දෙකේදී ඔහුට හැකි විය.

"හ්ම්ම් අද තමයි දවස"

යලිත් අත පයෙ හිරි අරිමින් නැගී සිටින අතර සහන් සිතීය.

"ආ ඉලන්දාරිය නැගිටල තියෙන්නෙ, මාත් සද්ද බද්දයක් කලේ නෑ ඇහැරේවි කියල. කොච්චර කාලෙකට පස්සෙද හරියකට නිදා ගත්තෙ"

කුස්සිය දෙසට එන සහන් දුටු සහන්ගේ මව පැවසීය.

"අම්මේ මම සයූලගෙ දිහා ගිහින් එන්නම්"
ඔහුගේ සිතේ තාමත් වැඩ කරන්නේ එකම සිතුවිල්ලය.

සහන්ගේ මවට සිනා පහල විය.

"ඔව් ඉතින් කොහොමත් වැඩි හරියක් හිටියෙත් එහෙනෙ, සයූලගෙ අම්මට කිව්ව කියන්න හෙට හවස බෝධි පූජාවක් තියනව සයූත් එක්ක එන්න කිව්ව කියල"


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

ගෙදරදී තදියම තිබුනාට, සයූගේ නිවසට ලං වන විට හද ගැස්ම වැඩි වෙන්නට විය. මෙතෙක් කල් ලඟම මිතුරා ලෙස ඇසුරු කල තමා මෙවෙනි යෝජනාවක් කල විට ඇය කුමක් සිතාවිද. 

"නෑ නෑ සයූ මම ගැන හොඳට දන්නවනෙ, එයා අකමැති වෙන්නෙ නෑ"

ඈත සිටම සයූ මිදුලේ සිටිනු සහන්ට දැකිය හැකි විය.
ඇය වෙනදාටත් වඩා ලස්සනැයැයි ඔහුට දුටු සැණින් සිතුණි.

"දෙවියනේ අද දවස ඉවර වෙද්දි මේ කෙල්ල මගේ වේවි නේද" සහන්ගේ හද ගැස්ම තවත් වේගවත් වූවේ ඒ සිතුවිල්ලේ ගැබ් වූ සතුටත් සමඟය.

"මට නිකමට හිතුන සහන් උදේ එයිවත්ද කියල"

සිනාසෙන දෑසින් යුතුව සයුරි පැවසීය.

"අම්මෝ දැනෙන නිදහස නේද සහන්, පහු ගිය දවස් ටික මතක් වෙද්දිත් මට පිස්සු වගේ"

" ඒක තමා, කමක් නෑ මහන්සි උන නිසානේ අවුලක් නැතිව ඔක්කොම පේපර් ටික ලියා ගන්න පුලුවන් වුනේ"

"අපෝ ඔව් සහන්, ඔයාගේ සපෝර්ට් එක නැත්නම් මම පේපර් තුනම ඇන ගන්නව ශුවර් එකටම" සයුරි පැවසූවේ අවංකවමය.

"ආ මේ සහන් පුතානේ, යන්තම් ඒ යුද්දෙත් ඉවරයි නේද?" මගෙ ඔලුවටත් ලොකු බරක් වෙලා තිබ්බෙ, දැන් ඉතින් නිදහස්" සයුරිගේ මව පැවසීය. ඇය කවදත් සහන්ට සැලකුවේ සිය පුතෙකුට මෙනි.

"මොකද ඉතිං තාම එලියෙ, අව්වත් සැරයි. ගෙට එන්න පුතේ" මම බොන්න මුකුත් හදාගෙන එන්නම්.

අඩ පැයක් පමණ වල් පල් කියවූ පසු සහන් මඳක් නොසන්සුන් විය.
"කොහොමද මාතෘකාවට එන්නෙ, එක පාරට මුකුත් කියන්නත් බැහැනෙ"

"අහ් මේ සහන් ඔයාට පොඩි බඩ්ඩක් කියන්න තියේ" සයුරි එකවරම පැවසීය.

"ඔන්න ඔයාගෙන් ලොකු හෙල්ප් එකක් ඕනෑ, මට මේක වෙන කියන්න කෙනෙකුත් නෑ අනේ."

'හරි හරි ඉස්සෙල්ල කියන්නකො බලන්න"

"සහන්, ඔයා දන්නවද මේධගෙ අයියා?"

"කවුද?..!'

"ඇයි අනේ අර සෙන්ට්‍රල් එකට ගියේ...! චන්දිමාල් අයියා, දැන් 
නම් කැම්පස්"

"අහ් චන්දිමාල් අයියා, එහෙම කියන්න එපැයි. දන්නවා දන්නවා"

"ඉහි ඉහි ඔන්න කාටවත් කියන්න බෑ හැබැයි හරිද!!"

"හරි හරි ඉතින් කියන්නකො ඇඹරෙන්නෙ නැතුව" එසේ පැවසුවද සහන්ගේ සිත නොසන්සුන්ය.

"මේ එයා ටික කාලෙකට කලින් මේධා අතේ මට කැමතියි කියල එවල තිබ්බනෙ"

"නෑ..! ඉතිං?..!

"ඒ අයියා හොඳ පාටයි, මටත් කැමැත්තක් තිබ්බ. ඒත් ඒ ලෙවල් ඇනෙයි කියල බයට මම කැමති නෑ කියල යැව්ව"

"අහ් ඒක හොඳයි!" සහන්ගේ ගිනිවදිමින් තිබූ සිතට අයිසි කැටයක් දම්මාක් මෙන් දැනින.

"ඉන්නකො ඉතිං, ඊයෙ හවස චන්දිමාල් අයියා ඉස්කෝලෙ ගාවට ආවනේ, විභාගෙ කොහොමද ඇහුවා? ටිකක් විස්තර කතා කර කර හිටියා, ඊට පස්සෙ ඇහුවා එයා තාම බලාගෙන ඉන්නවා. උත්තරේ වෙනසක් නද්ද කියලා, අය්යෝ මට මොනා උනාදා මන්ද හලෝ, මම හිනා වෙලා බැලුව. එයා දැන ගත්ත කැමතියි කියලා, ඒ එක්කම බස් එක ආවා. මම නැගල ආවා"

අවසන් විස්තරය අසා සිටි සහන්ට මුලු ලෝකයම කඩා වැටෙන සෙයක් දැනෙන්නට විය. යමක් පවසන්නට උත්සාහ කලද වචන පිට නොවේ. සයුරිට සිය වියවුල සැඟ වීමට ඉබේම බිම බැලිණ.

"ඔක්කොම කරගෙන තමා මට කියන්නෙ නේද?" යන්තම් වචන ගැට ගසා ගෙන බිඳුනු හඬින් සහන් පැවසීය.

"ඉතිං සහන් ඊයෙ කියන්න වෙලාවක් තිබ්බෙ නැහැනෙ අනේ, එක නෙවෙයි. එයා ගැන පොඩ්ඩක් හොයල බලන්නකො සහන්, ඔයා අදුනන අය නැද්ද එයාගෙ කැම්පස් එකේ"

"දැන් ඉතිං මොනව හොයලා බලන්නද, බැඳ ගත්ත බෙරේ ගහන එකයි තියෙන්නෙ" තම හඬ සැර වූවා වැඩි දැයි සහන්ට පසුතැවිල්ලක් ඇති විය.

"මොකද මේ තරහ ගිහින් වගේ? ඇයි එයා හොඳ කෙනෙක් නෙවෙයිද සහන්?"

දුරකථනය ඔබ ඔබ සිටි සහන් හදිසියේ එය කන තබා ගත්තේ හදිසි ඇමතුමක් පැමිණි බව හඟවමිනි.

"අහ් එහෙමද, හරි හරි මම ඉක්මනට එන්නම්"

"සයූ පොඩි හදිස්සියක්, මම පස්සෙ වෙලාවක එන්නම්. අම්මට ගියා කියන්න"

"හ් හා, ඇයි සහන් මොකද්ද හදිස්සිය"

ඒ අසන විටද සහන් පාරට බැස අවසානය.

"සුදු දූ..!, කෝ සහන් පුතා?"

ඒ හා පැමිණි සයුරිගේ මව ඇසීය

"අනේ මන්ද අම්මෙ හදිස්සියක් කියල ඔන්න මේ දැන් ගියා"

"අර මොකද! වෙනදට වැඳල කියල යන ලමයා, ඇහුවෙ නැද්ද මොකද්ද කාරනේ කියල?"

"ඇහුවා අම්මෙ ඒකට උත්තර දෙන්නවත් නැවතුනේ නෑ"

මෙසේ කී සයුරි කාමරයට වැදිනි,

ඇඳට පැන කොට්ටය බදා ගත්තේ මෙතෙක් සිර කර ගෙන සිටි සිතේ දුක කොට්ටයට මුදා හැරීමටය.
සිදු වූ දෙය ඇයට හොඳින් වැටහින. මෙය බොහෝ කලක සිට බලාපොරොත්තු වූවකි.

කුඩා කල සිටම හොඳම මිතුරා මෙන්ම, පවුලේ එකම දරුවා වූ තමාගේ සොහොයුරා යන තැන් දෙකම පිරවූවේ සහන්ය. සිය දෙමවුපියන්ට මෙන්ම ඇය සහන්ටද ආදරය කලාය. නමුත් ඇයට කිසි විටක එය සහන් පෙම්වතා කර ගැනීමේ ආදරයක් නොවීය. ඇගේ සිහින කුමරාගේ තැන අරක් ගැනීමට සමත් වී සිටියේ චන්දිමාල්ය, සිය මිතුරියගේ වැඩිමහල් සහෝදරයා වූ ඔහු දුටු දිනම සයුරිට අමුත්තක් දැනින. සසර පුරුද්දට මෙන් චන්දිමාල්ටද සයුරි ගැන කැමැත්තක් ඇති වී තිබින.

සාමාන්‍යය පෙල ආරම්භයේ සිට සහන්ගේ අමුත්තක් ඇති බව සයුරිට දැනෙන්නට විය. වෙනදාට වඩා සහන් තමා දෙස බල බවත්, වෙනදාටත් වඩා තමා ගැන සැලකිලිමත් වන බවත් ඇයට වැටහින. වීමට යන දෙය තේරීමෙන් ඇයට ඇති වූවේ බියකි.

ඒ සිය හොඳම මිතුරා, සොහොයුරා තමාගෙන් දුරස් වේයයි යන බියය. විටෙක චන්දිමාල් ගැන පැවසීමට සිතුනද, නමුත් ඉන්පසු සහන් තමාගෙන් දුරස් වේවි යන බියද, සහන්ගෙන් ලැබෙන සියුම් සෙනෙහසට ඇති ලෝබ කමද ඇයව වැලැක්වීය.

මේ සිතුවිලි අතර ඊයේ දින සිදුවීමද සයුරිගේ සිතට නැගින, ඇය පැවසූවේ බොරුවක් නොවේ. විභාගය අවසන් කර පාසැලෙන් එලියට එනවාත් සමඟම ඇයට චන්දිමාල් මුණ ගැසින. 

වසර දෙකකට පමණ පෙර ඔහුගෙ යෝජනාව තමා ප්‍රතික්ශේප කලේ  ඉගෙනුම් කටයුතු වලට බාදා වේවි යන බිය නිසා බව චන්දිමාල් වටහා ගෙන සිටියේය. නැවත යොමු කල යෝජනාවට තමාගෙන් ලැබුනු මදහසෙහි පිලිතුර වුවමනාවටත් වඩා ගැබ්ව තිබෙන්නට ඇති බව චන්දිමාල්ගේ තුතිබර සිනහව සයුරිට දැන්වීය.

"කමක් නෑ සහන් මාව තේරුම් ගනීවි, එයාට බෑ මාත් එක්ක තරහ වෙන්න" අවසානයේ සයුරි එසේ සිතා සිත සැහැල්ලු කර ගත්තාය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

සහන්ට තමා නිවසට පැමිනි අයුරක් සිහි කල්පනාවේ නොවීය. තමා මෙතරම් අවාසනාවන්ත වූයේ මන්ද යන ප්‍රශ්ණයෙන් සිත පිරී තිබිණ. කාමරයේ දොර වසාගත් ඔහු ඇන්දට වැටින. සිදු වූ දෙය පිලිගැනීමට තවම සිත සූදානම් නැත.
දහසක් මතක සටහන් අතරෙන් සිතට නැගෙන්නේම සයුරිවය. කයට වේදනාව ඉවසිය නොහැකි වන කල සිහි නැති වන්නාක් මෙන් වේදනාව වැඩි වන සිත හිරිවැට්ටීමට සහන් නින්දට වැටින.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

දින දෙකක් පුරාවට සහන් දැකිය නොහැකි විය, ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත කර ඇත.

"දෙයියනේ සහන් කරදරක් වත් කර ගත්තද"

සයුරිට කිහිප වතාවක් සිතිණ. 

තෝන්තු වූ සිතින් සයුරි කාමරයට පැමිණියේය.
ඒ හාම ඇයගේ දුරකතනය නද දෙන්නට විය.

"සහන්...!!!"

ඇය හනික පිලිතුරු දිණි.

" හෙලෝ සයූ, යාලුවෙක්ට පොඩි කරදරයක් වෙලා එහෙ යන්න වුනානෙ. ඔයාට කියන්නත් බැරි උනා.
අහ් එදා ඔයගෙ කතාවට මුකුත් කියන්නත් බැරි උනානෙ මේ කලබලේ නිසා, චන්දිමාල් අයියා හොඳ කොල්ල, මාත් අදුනනව ටිකක්. මම අදුනන අයිය කෙනෙක් ඉන්නව එයාගේ කැම්පස් එකෙ. එයත් කිව්ව එහෙම්මම, මම අද හවස් වෙලා ඔය පැත්තෙ එන්නම්කො තව ටිකක් විස්තර කතා කරන්න!, එහෙනම් තිබ්බා! බුදුසරණයි...!"

"බුදුසරණයි! " සයුරි සිහින් හඬින් පවසීය. 

ඇයට මෙය අදහා ගත නොහැක. 
"එයා මාව තෙරුම් ගත්තා"

මෙවැනි මිතුරෙක් ලැබීමට තරම් තමා වසනාවන්ත වීමේ සතුට සයුරි සැහැල්ලු සිතින් විඳින්නට විය.