Friday, January 11, 2013

මහතුන්ට පමණයි!



ඔන්න මීට අවුරුදු ගානකට ඉස්සර හද්ද පිටිසර ගමක මනුස්සයෙක් හිටියා මහතුන් කියල. මිනිහා අහිංසකය. රස්සාවකට කියල කලේ බයිසිකලේ හයි කරපු පෙට්ටියක ඔය දිලිසෙන මාල පෙති, කරාඹු, මුදු වගේ සුකුරුත්තන් මොනව හරි එල්ලගෙන ගම වටේ ගිහින් කොල්ලො කුරුට්ටන්ට විකුණන එක. කොල්ලො කුරුට්ටො කිව්වට ඉතින් ගමේ ඉන්න ගැටිස්සියො ටික තමා වැඩියෙන්ම ඔය සුකුරුත්තන් වලට වහ වැටිල හිටියෙ.

ඔන්න ඔය සුකුරුත්තන් ගේන්න මාසෙකට විතර සැරයක් මහතුන් කොළඹ යනවා. ඕකෙන් ගමෙන්ම කොළොඹ රට පාගපු එකෙකුට හිටියෙ මහතුන් විතරයි.

දවසක් වෙනදා වගේ බයිසිකලෙත් තල්ලු කරගෙන සීනුව හොල්ල හොල්ල මහතුන් ගමේ කොපි කඩේ ගාවින් යනවා. 
ඔය කඩේ හිටපු මදලාලියත් එච්චර කට හොඳ එකෙක් නෙවෙයි. මුදලාලියත් මහතුන්ව දැක්ක ගමන් කියාපි. 

"ඈ බං ගොයියො මොකද්ද බං ඔය ජීවිතේ ඔය සරුවපිත්තල කෑලි විකුනල උඹට වෙන වගතුවක් තියද, ඔන්න ඕක විසි කරල දාල කුඹුරක් කොටාගෙන හිටහන්කො වැදගත් විදිහට"

මහතුන්ට ඕක ටිකක් හිතට වැදුනා. බයිසිකලෙත් හරෝගෙන කඩේට ආවා. 

"ඈ බං මුදලාලි තමුන්නැහැ කියන්නෙ මම වැදගතෙක් නෙවෙයි කියලද?"

ඕක අහල මුදලාලිය බඩ අල්ලන් හිනා වෙනවා

"අනේ මහතුවො උඹෙ තියන වැදගත් කම මොකද්ද කියහංකො එහෙනම් බලන්න"

"ගමේ උන්ට මාව වැදගත් තාලෙට නොපෙනුනාට, මේ රට කොරවන ආණ්ඩුවෙ උන්නාන්සෙලා දන්නව මගෙ වැදගත් කම!"

ඒ අහපු මුදලාලිගෙ හිනාව නැවතුනා

"මොකද්ද මහතුවො ඒ හරුපෙ තේරුම?"

"තේරුමද? උඹල දන්නෙ නැතුවට මටම විතරක් කියල කාමරයකුත් හදල තියෙනවා ආණ්ඩුව ගානෙ"

"අනෙ පලයන් යන්න මෙතන පොලව පැලෙන බේගල් අතාරින්නෙ නැතුව" මුදලාලි කිව්වෙ මේ කතාවට කං දීගෙන හිටපු එවුන් ටිකගෙ ඇරිල තිබ්බ කටවල් වැහෙන්නත් එක්ක.

"එතොකොට මුදලාලි කියන්නෙ මම බොරු කියනව කියලද? කොටින්ම කිව්වොත් ලොකු බෝඩ් කෑල්ලකුත් ගහල තියෙනවා මට විතරයි ඒ කාමරේ කියල. එහෙනම් දාමුද ඔට්ටුවක්? මම කියන්නෙ බොරු නම් මම මේ රස්සාව අත අරිනවා. මුදලාලි පැරදුනොත් මම උකසට තියල තියෙන මගේ ඉඩම් කෑල්ල නිදහස් කොරන්ට ඕනෙ. කැමතිද?"

කටවල් ඇරන් බලන් හිටිය පිරිස ඉදිරියෙ දෙවෙනි වෙන්න මුදලාලි කැමති වුනේ නෑ ඕං

"හොහ් හොහ් මම කැමතියි! දැන් කියහංකො උඹටම කියල ඔය ආණ්ඩුවෙන් හදල තියන කාමරේ කොහෙද තියෙන්නෙ කියල!

"ඒක තියෙන්නෙ නම් ටිකක් දුර හැබැයි" මහතුන් කල්පනා කරන ගමන් කිව්ව

"කමක් නෑ කමක් නෑ උඹේ නමට තියනවා නම් අපිටත් ගිහින් බලල එන්න බැරියෑ හොහ් හොහ්" මුදාලලි නම් හිතුවෙ මේකගෙ බොරු පුරාජේරුවක් කියල

"හා එහෙනම් යන උදවිය හෙට උදේම කොලඹ දුවන රේල්ලුවෙ යන්න ලෑස්ති උනා නම්, මරදානෙ තමා ඕක තියෙන්නෙ. උඹල කවදාවත් ඔහෙ ගොහින් නැති හන්ද මාත් එන්නම්කො" මහතුන් මෙහෙම කිව්වවහම නම් මුදලාලිටත් පුදුමයි.

කොහොමින් හරි පහුදා උදේ රැයින් මුදලාලියි මහතුනුයි තව ගම්මු කීප දෙනෙකුයි පිටත් උනා මහතුන්ගෙ කාමරේ බලන්න. ඔන්න පැය ගානක කෝච්චි ගමනින් පස්සෙ කට්ටිය මරදානෙන් බැහැ ගත්තා.

"හා දැන් ඉතිං කොහෙටද යන්ට ඕනෑ" මුදලාලිට ඉවසුමක් නෑ දැන්.

"වැඩිය දුර නෑ මුදලාලි මේ ස්ටේශොමේමයි තියෙන්නෙ. මෙන්න මේ වේදිකාවෙ කෙලවරටම වෙන්න." 

මහතුන් කිව්ව ගමන් කට්ටිය දුරින් දුරින් අඩි තියල යන්න ගත්තා. කෙලවරට ඉස්සෙල්ලම ගිය කොලු ගැටයා කට ඇරගෙන ටිකක් බලාගෙන ඉඳල කිව්වෙ නැතෑ.

 "ඇත්ත නේන්නම් මුදලාලි මේ තියෙන්නෙ මහතුන් අය්යට විතරයි කියල බෝඩ් එකකුත් ගහල!"

ඒ අහපු මුදලාලිට දෙලෝ රත් උනා මුදලාලිත් කට්ටිය පෙරලගෙන ගොහින් එබිල බැලුවා. ඇත්ත නේන්නම් "මහතුන්ට පමණයි" කියල තඩියට බෝඩ් එකකුත් ගහල. මුදලාලි දොර පලුව ටිකක් ඈත් කොරල බැලුවා.

"හෑ! ඈ බොල මේ වැසිකිලියක්නෙ!"

"මොකක් උනහම මොකද මුදලාලි මට විතරයි කියලනෙ තියෙන්නෙ, ඔන්න ඔට්ටුව මම දිනුම් ඈ!"

40 comments:

  1. හි හි...අන්තිමේදි එහෙනම් නම හින්ද මහතුන් උකසත් බේරගත්තා :D

    ReplyDelete
  2. මතකේ අලුත් උනා ...... තව පරන ස්ටේශන් කථාවකුත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. මතක් වුන ඒවයින් ටිකක් ඔහොම්ම ලියල දාමු

      Delete
  3. මරු කතාව ගිමන්. මහතුන්ට පමණයි.D;

    ReplyDelete
  4. ඇත්ත නේන්නම්.." මහතුන්ට පමණයි " හි හි හී

    ReplyDelete
  5. හි හි ...ඕක ඉතින් කතා කිරීමේ හැකියාව තමයි ..මම නං අදමයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. :D ඕක ඉතිං මට නිකමට හිතුන කතාවක්

      Delete
  6. හා හා.. මහතුන්ගේ ඇඳුම් තිබේ කියලත් කතාවක් තියෙනවා නේ?.

    ReplyDelete
    Replies
    1. හික් හිතා ගන්න පුලුවන් කතාව :D

      Delete
  7. පරණ මිනිහෙක් ඔට්ටුවක් ඇල්ලුවළු කඩේකට ගිහින් ලොකු කෙහෙල් කැනක් මිනිහයි මිනිහගේ හොඳම යාළුවයි කාලා ඉවර කරනවා එක සැරේට කියලා.එතන හිටිය මිනිහෙක් වැඩේට කැමති වෙලා දිනුවොත් කෙසෙල් කැනේ ගානයි තෑගි මුදලකුයි දෙනව කියලා .මිනිහා ටික වෙලාවකින් හරකෙක් අරගෙන ඇවිල්ලා මේ මගේ හොඳම යාළුවා කියලා කෙසෙල් ගෙඩි දෙකක් කඩාගෙන හරකට කෙහෙල් කැන දැම්මාලු කන්න

    ReplyDelete
  8. මහතුන් ගොඩ ගියා එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මොලේ පාවිච්චි කලොත් වරදින්නෑ :D

      Delete
  9. එකත් නියමයි. මහතුවාට තින්නෙ පට්ට මොළයක් නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වෙලාව ආපු ගමන් ප්‍රයෝජනේ ගත්ත

      Delete

  10. ගිමන්, මහතුන් හම්බවුනොත් කියන්න අපේ පැත්තෙත් තියෙනවා කියලා එයාගෙ කොන්ඩෙ කපන්නම හදපු බාබර් සාප්පුවකුත්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවහම මහතුන්ට සෑහෙන දේපොල තියෙනව නේද

      Delete
  11. ගිමන්ටත් මතක් වෙන කථා....වෙනසකටත් එක්ක හොදයි...කට්ටියට හිනා වෙන්න

    ReplyDelete
  12. හෙහ්.. මහතුවා හොදා තමා.. බලං ගියාම ඒකට ලංකාවේ හැම තැනම කාමර තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් එහෙම බැලුවහම හොඳ පොහොසතෙක්!

      Delete
  13. හෙහ් :) :)

    යකෝ අපේ මාමාටත් කට්ටිය කියන්නේ මහතුන්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් එහෙනම් මාමටත් කතාව කියන්න වෙලාවක :D

      Delete
  14. හැක් හැක්...
    ආ ඒ විතරක් නෙවි ගිමන්හලුත් රට පුරා තියනවාලු.. කාටද ආඩම්බර ආ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි තොටියා අයියෙ :D

      Delete
  15. උගස දෙන්න උනාද දන්නේ නෑ..හෙහ් හෙහ්. මුදලාලියට කොළඹ ගිය එකටත් පාඩුයි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මුදලාලි පැරදුනානෙ. දෙන්න වෙන්න ඇති!

      Delete
  16. කථාවෙ මැද්දට එද්දි මට හිතුනා මේ සන්තෑසිය තමා වෙන්නෙ කියලා... පවු අසරණ මුදලාලි..

    ReplyDelete
    Replies
    1. මුදලාලිත් කට පියාගෙන හිටියා නම් ඔය වින්නැහිය වෙන්නෙ නැහැනෙ.

      Delete
  17. මහතුන් දස්සයා ඉතින්..!!

    ReplyDelete
  18. නියම කතාව. මං නං කලින් අහල තිබුනෙ නෑ :D

    100 වෙනි ෆලෝවර් මම.. සුභ පතනව හදවතින්ම තවත් දිගු ගමනකට

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සමී. මාත් බලාගෙන හිටියෙ කව්ද ගිමන්හලේ නවාතැන් ගන්න සියවෙනියා කියල. ගොඩක් ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට. ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  19. godak kalekin awe me paththata....
    honda kathawak... :D

    ReplyDelete