Wednesday, March 11, 2015

මිනිත්තු දහය


වලාකුළු දෙකක් අතරින් රිංගා ගත් සැඳෑ හිරු රැස් කදම්බයක් අහසේ සිට කඳු හිස මතට අපූරු ආලෝක ස්ථම්භයක් තනා ඇත.

"අර බලන්නකො දේශාන්, මීදුම අස්සෙන් කන්දට ඉර එලිය වැටිල තියෙන ලස්සන"

මහීමා පොඩි එකෙකු මෙන් කෑගසයි. කොළඹ පරිසරයෙන් මිදී පිටිසර සෞම්‍ය සුන්දරත්වය දකින ඇයට දැනෙන සතුට ඉහිලුම් නොදෙන තරම්‍ ය. 

"ඔයා තාම නියම ලස්සන දැක්කෙ නෑ" දේශාන් ආඩම්බර සිනහවක් මුව රඳවාගෙන පවසයි.

"මොනාද අනේ!! දැන්වත් කියන්නකො කොහාටද යන්නෙ කියලා, මම හිතුවෙ නුවරඑළියේ තැනක් කියලා" 
මහීමා මැසිවිලි නගයි.

මහීමා හා දේශාන් විවාහ වී දින තුනකි. විවාහ උත්සව කටයුතු හමාර වී නිදහසේ දින කීපයක් ගත කල යුතුයැයි යෝජනා කලේ දේශාන්‍ ය. ඒ අනුව දේශාන් නවාතැන තෝරාගත් අතර එය මහීමාට හෙලි නොකලේ ඇයව පුදුම කරවන බවට පවසමිනි.
ඔවුන් ගමන් ගත්තේ නුවරඑළිය බදුල්ල මාර්ගයේ බදුල්ල දෙසටය. නුවරඑළියේ සිට හැතැප්ම 30 ක පමණ දුරක් ගිය පසු අතුරු පාරකට හැරිණි. තේ වතු මැදින් වැටී තිබූ එම පටු මාවත මහීමා වෙත වෙනම ලෝකයක් තැනීය. බැලු බැලු අත තිබූනේ තේ වතු වලින් වැසී ගිය කඳුය. සවස හයට ට පමණ වූ බැවින්, හිරු එළිය පවා සෞම්‍ය බවකින් යුක්ත විය.

"පොඩ්ඩක් බැහැල යමුකො දේශාන්"

"දැන් කරුවල වැටෙන්නත් ලඟයිනෙ බබා, මීදුම ආවොත් ඩ්ර්යිව් කරන්න අමාරුයි."

"අනේ චූට්ටකට"

"හරි හරි, ඔන්න නැවැත්තුවා"

මහීමා කාරයෙන් එලියට පැන්නේ මිටින් හල කුරුල්ලෙකු මෙනි. අසල තිබූ තේ වත්තට පැන එහි මුදුන තෙක් දිව ගියේ දේශාන්වත් ඇදගෙනය.

"මාර ලස්සනයි නේද අනේ, ඒත් එක ගෙයක් වත් පේන නෑනෙ"

"තේ වතු මැද්දෙ ගෙවල් කොහෙද හලෝ" දේශාන් පැවසූවේ මහීමාට ටොක්කක් අනිමිනි.

"සිරි නැරඹුවා ඇති නේද දැන්, අර ඉරත් බැහැල යනවා. යමුද " දේශාන් නොවිසිලිමත්‍ විය.

"තව දුරද දේශාන්, " කාරයට නගින අතර මහිමා විමසීය.

"නෑ, දැන් ලඟටම ඇවිත්."

එසේ කීවද පැය භාගයක පමණ දුරක් යනවිට මාර්ගය අවසන් විය . ඉන්පසු තිබුනේ වල් බිහි වූ වැලි පාරකි.

"මොකක්ද දේශාන් අපි කැලේකටද යන්නෙ? බලන්නකො පාරෙ හැටි" මහීමා මැසිවිලි නගන්නට විය.

"ඔන්න තියෙනව අපි නවතින තැන" දේශාන් පැවසූවේ කාරය නතර කරමිනි.

"කෝ අනේ කොහෙද ගෙයක්" අඩ අදුරේ වටපිට බලමින් මහීමා විමසුවේ විමතියෙනි.

"අර තියෙන්නෙ?" දේශාන් ඉහලට ඇගිල්ල දිගු කලේය.

"හානේ, " කීවාක් මෙන් මහීමා පුදුමයට පත් විය. 
එය කුඩා කන්දක් මත පිහිටි සුවිසල් නිවසකි. එතැන් සිට නිවස වෙත යාමට තිබුණේ කන්ද වටා සර්පිලාකාරව නිමවූ ගල් පඩිපෙළකි.

"කෝ අනේ ලයිට් එලියක්වත් නෑනෙ" දේශාන්ගේ අතේ එල්ලී පඩිපෙල නඟින මහීමා පැවසීය.

"මෙච්ච්ර දුර කොහෙන්ද බබා ලයිට්" 

"එතකොට?" 

"රජ කාලෙ වගේ තමා ඉන්න තියෙන්නෙ, එතකොටනෙ රොමෑන්ටික් වෙන්නෙ" මහීමාව හිනස්සවමින් දේශාන් පැවසීය.

කතාවෙන් කතාවෙන් දෙදෙනා නිවස වෙත ලඟා විය. වසර සියයකට වඩා පැරණි බවක් පෙන්නුවද එය හොඳ තත්වයේ විය. ඉදිරියේ වූ දැවැන්ත දොර හා එයටම ගැලපෙන විශාල යතුරු තහඩු පෞරාණික බව තවත් වැඩි කරයි.

"පුංචි බේබි එන්න පරක්කු උනේ මොකද? හානෙ සීදේවි නෝනෙක්නෙ, එන්න එන්න ඇතුලට හීතලත් ඇතිනෙ"
වයසක යුවලක් ඔවුන් පිළිගත්තේ මහීමාව තවත් විමතියට පත් කරමින්ය.

වයසක කාන්තාව පිළිබඳව නම් මහීමාට එතරම් ප්‍රිය මනාප බවක් ඇති නොවීය. මහීමා දෙසම ගිලින්නට මෙන් බලා සිටි ඇය කෙරෙහි මහීමට ඇති වූවේ අප්‍රසන්න හැඟීමකි.

"ඔයාට කියන්න බැරි වුනානෙ, මේ අපේ ගෙයක්. සීයට අයිති වෙලා තිබ්බෙ, ඉඳල හිටල තමා දැන්නම් මේ පැත්තෙ එන්නෙ, මේ පබ්ලිසුයි එයාගෙ නෝනයි තමයි මේවා බලාකියා ගන්නෙ."
මහිමාට මෙය ඇදහිය නොහැක.

"බේබිලාට උඩ කාමරේ ලෑස්ති කලා"

"යං චේන්ජ් කර ගත්තහම ඔයාගෙ මහන්සිය ඇරෙයි."

"බේබි වතුර උණු කරල නාන කාමරෙන් තිබ්බා, කෑම රත් කරල තියෙන්නෙ, එහෙනම් අපි ගිහින් එන්නම්."

"හා හොඳයි පබ්ලිස්, උදේම එනවනෙ" 

"ඔව් ඔව් බේබි, යන්නම් නෝනා" පබ්ලිස් ගේ බිරිඳ මහීමා දෙස අමුතු බැල්මක් හැලමින් පැවසීය.

"දේශාන්, අපි දෙන්න කොහොමද මෙච්චර ලොකු ගේක තනියම ඉන්නෙ" මහිමා අවට බලන අතර විමසීය.

"ඉතිං හොදයිනෙ, කොච්චර නිදහස්ද" දේශාන් පැවසූවේ ඇයව තමා වෙත ඇද තුරුලු අර ගනිමිනි.

"මම එහෙනම් වොශ් එකක් දාගෙන එන්නම්, ඔයා ගෙයි ලස්සන බලන්නකො." 

"හ්ම්ම් , ඉක්මනට එන්න හොඳේ" මහීම පැවසූවේ චකිතයකින් යුතුවය.

දේශාන් නිකම ගිය පසු මහීමා අවට නරඹන්නට විය. සාලය මැද පිහිටි සුවිසල් උදුනට ගිනි දමා තිබුනෙන් හාත්පස හොදින් ආලෝකමවත් විය. දුර්ලභ දැවයෙන් නිමවා තිබූ ගෘහභාණ්ඩ නිසා නිවස සැබෑවට පැරණි රජ මැදුරක් මෙන් දිස් විය. බිත්ති මත රාමුකරන ලද රූප ගණනාවක් විය. 


ඔවුන් දේශාන්ගේ මුතුන් මිත්තන් වන්නට ඇතැයි මහීමා අනුමාන කලාය. ඔවුන්ගේ මුහුණු වල තිබූ රෞද්‍ර පෙනුම දේශාන්ටත් යන්තම් ගෑවී ඇතැයි ඇයට සිතිණි. නිවසේ තැනින් තැන දල්වා තිබූ ලන්තෑරුම් වලින් අඳුර නිවසේ කොන් වලට පලවා හැරියේය. එහි තිබූ දැඩි නිහැඩියාව නිසා මහිමාට අමුතුම මුස්පේන්තු බවක් හැඟෙන්නට විය. ඇය සාලයෙන් ඉවත් වී තරප්පුව නැග ඉහල මාලයේ වූ නිදන කාමරය වෙත පිය නැගීය. 

තරප්පු පෙල මැද ලන්තෑරුම නිවී ගොස්‍ ය. හිතේ හෝදිසියෙන් ඉහල නගින මහීමාගේ වම් ගෙලට හදිසියේම උණුසුම් සුළඟක් වැදුනාක් මෙන් දැනින. එය සුළඟකට වඩා කවුරුන් හෝ හෙලූ හුස්මක් මෙනි. මහීමා ගැහෙන හදින් යුතුව තරප්පුව ඉහලට දිව ගියේ දෙතුන් පලක ඇද වැටෙමිනි. කාමරයට පැමිණ දොර වසාගෙන හති අරින්නට විය.

"මම බොරුවට බය වෙලා, හිත තමා මේ ඔක්කොම කරන්නෙ"

ඇය ඇඳට ගොඩවිය. එය වචනයේ පරිසමාප්තියෙන්ම සැපපහසුය. පිරිසිදු සුසිනිදු ඇඳ ඇතිරිලි හා කොහෙන්දෝ හමා එන මල් සුවදැති සිසිල් සුලඟ දෙඇස් නිදි බර කරයි.

ඇය මුහුණලා සිටියේ කාමරයෙන් පිටත කොරිඩෝවට ඇතුල් විය හැකි දොර වෙතය. වැඩි ප්‍රමාණයක් වීදුරු යොදා නිමවා තිබූ එහි දොරරෙදි සුලඟට එහා මෙහා වීමේදී සඳ එලියෙන් බැබලෙන මුලු වතුයායම පෙනෙයි.
එදෙස වශීකෘත වී බලාසිටි මහීමාට කිසිවෙකු කොරිඩෝවේ එක් පසක සිට අනෙක් පසට ඇවිද යනවා මෙන් දැකිය හැකි විය. 

"දේශාන් වොශ් දාගෙන ඇවිත් මට කිව්වෙවත් නෑ"

මහීමා ඇදෙන් බැස කොරිඩෝවේ දොර හැර සඳලුතලයට ඇතුළු වූවාය. කාමරයට පමණක් සීමා වන්නට තනා තිබූ සඳලුතලයේ කිසිවෙක් දැකිය නොහැක. මහීමා යලිත් තැති ගත්තාය.
ඇය ක්ෂණිකව යළි කාමරයට ඇතුළු විය. දේශාන් සොයා යාමට කාමරයෙන් පිටවීමට දොර හරිනවාත් සමඟම ඇයට දැකිය හැකි වූවේ දොර අසල සිටගෙන සිටගෙන සිටින ඉටිපන්දමක් අතින් ගත් වයස්ගත කාන්තාවකි. මහීමා කෑ ගසා පස්සට පැන්නාය.

"දුව දුව ! ඇයි මේ.. මම දේශාන්ගෙ දුරින් ආච්චි වෙන කෙනෙක්, ඇයි මේ බය වෙලා. අන්න පල්ලෙහා ඔක්කොමල බලාගෙන ඉන්නවා ඔයාල දෙන්න කෑමට එනකල්. පුතා ඇඟ හෝදගෙන එයි. එතකල් අපි කෑම ගමු. දුවට බඩගිනිත් ඇතිනෙ?"

මහීමාට කිසිවක් තේරුම් ගත නොහැක. "මේකත් දේශාන්ගෙ පුදුම කිරිල්ලෙ කොටසක්ද කොහෙද"

ඇය කාන්තාව පසු පස යලි පහත මාලයට යන්නට විය.
"දේශාන් හරිම නරකයි, ආච්චිල ගැන වචනයක්වත් කිව්වෙ නැහැනෙ"

කාන්තාවගෙන් ප්‍රතිචාරයක් නොමැත. "කන් ඇහෙනවත් අඩුද මන්දා" මහීමා සිතුවාය.

පහල මාලයේ වූ විශාල කෑම මේසයක් වෙත ඇය ලඟා වූවාය. "හප්පේ මේ කවුද?" ඇය සිනාසෙමින් විමතියෙන් ඇසුවාය.
ඇය ඉදිරියේ වූ කෑම මේසයේ රදල පිරිසක් හිඳගෙන සිටිනු ඇයට දැකිය හැකි විය. ඔවුන්ගේ ප්‍රතාපවත් පෙනුම, ඇඳුම් ඇයව වසර සියයක් පමණ අතීතයට ගෙන ගියාක් මෙනි.

මහීමාව කැඳවාගෙන පැමිණි කාන්තාව අතක් දිගු කර හිස් අසුනක් පෙන්වීය.

මහිමා එහි අසුන් ගත්තාය.

"හරි එහෙනම් කමු, අපි හොදට කන බොන උදවිය, එහෙනම් හොදට බෙදාගෙන බඩපිරෙන්න කන්න ඕනෙ"
එතැන සිටි මූලිකයායැයි සිතිය හැකි තැනැත්තා මහීමාට පැවසීය.

"දේශාන් එනකල් ඉමුද"
මහීමා පැවසුවද පිරිස කෑම ආරම්භ කර අවසානය. ඇය වෙතද කෑම බදුන් පිරිනැමෙන්නට විය.

මහීමා වෙත ලැබුණ සෑම කෑම බදුනකම වූවේ විවිධාකාර ක්‍රමයට උයන ලද මස් වර්ගය. එහි සුවඳ ඇයගේ බඩගින්න වැඩි කලේය.
"මොනවද මේ මස් වර්ග, ගොඩක් මස් ජාති මට ඇලර්ජික්" 

කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැත. සියල්ලන්ගෙ මුහුණු වල දැකිය හැකි වූවේ ගුප්ත සමච්චල් සහගත සිනාවක් පමණකි.

"මෙයාලගෙ ලොකුකම" සිතමින් මහීමා බදුනේ වූ මස් කැබලි එහා මෙහා කලාය. දුටු දෙයි ඇයට හීන් දාඩිය දැම්මාය. 
මේ මිනිස් ඇඟිලි නොවේද?!
ඇය අප්පිරියාවෙන් ඉන් එකක් ගෙන බැලීය. එහි මුද්දක්ද ඇත. 

"දෙයියනේ... මේ.. මේ.. මේක දේශාන්ගෙ මුද්දනෙ..! 
මහීමා මේසයෙන් ඉවතට පැන යටි ගිරියෙන් කෑගසන්නට විය.



 ~ ~ ~ ~ ~ ~ ~  ~ ~ ~ ~ ~ ~ ~  
"මහී මහී දෙයියනේ ඕක නවත්තන්න"
මහීම පියවි සිහියට පැමිණියේ දේශාන්ගේ හඬ ඇසීමෙනි.

"දෙශාන්... , ඔයා .. ඔයා හොදින් නේද?, එයාල ඔයාට මොකද කලේ?" මහීමා දේශාන්ගේ ඇඟේ එල්ලී පිස්සියක් මෙන් කියවන්නට විය. දහඩියෙන් පෙඟී තෙත්වී ගිය ඇදුමින් යුතුව ඇඳ මත සිටින ඇය දුටු දේශාන්ට සිනා පහලවේ.

"එයාල? කවුද? අයියෝ බබා ඔයා හොඳවයින් හීනයක් දැකල වගේ?"

"හීනයක්? මහීමා වටපිට බැලුවාය. ඇත්තටම ඇය සිටින්නේ ඉහල මාලයේ ඇඳ මතය.
"එතකොට මම දැක්කෙ හීනයක්ද? මහිමා සවිස්තරාත්මකව ඇගේ සිහිනය දේශාන්ට විස්තර කලාය.

"මම වොශ් දාල එන්න ගිය විනාඩි දහයට ඔයා ඔච්චර දිග හීනයක් දැක්කද?" දේශාන් තවමත් සිනාසෙයි.

නමුත් මහීමා තවමත් යථා තත්වයට පැමිණ සිටියේ නැත.
 "අනේ දේශාන් අපි වෙන කොහේ හරි නතර වෙමු. මට නම් මෙහෙ ඉන්න බැහැ"  ඇය හඩා වැටෙන ස්වරයෙන් පැවසීය.

"හ්ම්ම් බලමුකො" 
දේශාන් පැවසුවේ ජනේලයෙන් ඔබ්බට වූ මීදුම් අඳුරෙන් වැසුණු තේ වත්ත දෙස ගුප්ත බැල්මක් හෙලමිනි.


Sunday, March 8, 2015

දිරියක වරුණ



"උසස් පෙල ප්‍රතිඵල අද අන්තර්ජාලයට" 

දවල් ප්‍රවෘත්ති අසමින් සිටි රංබණ්ඩාගේ දැහැන බිදින.

"මේ.. ඇහුනද විභාග ප්‍රතිඵල දාලය කියන්නෙ, ලොකු කොලුව ගියාද බලන්න"

"හ්ම්ම්..." බිරිඳගෙන් ලැබුන ප්‍රතිචාරය එපමණය.

"මොකද මේ පාරත් මදිද?" රංබණ්ඩා ඇසුවේ බිඳුණු හඬිනි.

"විභාගෙ නම් පාස්ලු, විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදිය කියන්නෙ."

"එහෙමද?"

රංබණ්ඩා යලි කල්පනාවට වැටිණ. වෙහෙස මාන්සි වි පාඩම් වැඩ කල ලොකු පුතා කෙරෙහි ඔහු වැඩි බලාපොරොත්තු තබා සිටියේය. ඒ නිසාම ඉගෙනුම් වැඩ ටියුශන් පොත් පත් සඳහා අවශ්‍ය මුදල් හදල් සැපයූවේ දෙවරක් විමසීමෙන් තොරවමය. තෙවරක්ම විභාගයට පෙනී සිටියද විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට තරම් ලකුණු ලැබීමට සෑම වරකම අසමත් විය.

"දැන් ඉස්සර වගේ නෙවෙයි, තරඟෙ වැඩියි." රංබණ්ඩා සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත්තේය.

"කෝ දැන් කොලුවා?" 

"ඔන්න කාමරේට වුනා,, හිත එච්චර හරි නෑ වගේ"

"හ්ම්ම්..."

රංබණ්ඩා ලොකු පුතාගෙ කාමරය වෙත සෙමෙන් පිය නැගුවේය. උගුර කාරමින් කාමරයට ඇතුල් වූවේ පුතාගේ මුහුණේ ඉරියව් පිරිකසන අතරය.

"අප්පච්චි!"

රංගන ඇඳෙන් නැගී සිටියේ දෙගිඩියාවෙන් යුතුවය. පියා කාමරයට පැමිණෙන්නේ කලාතුරකිනි. අනිවාර්යයෙන්ම කේන්තියෙන් වන්නට ඕනෑ, ඔහු අනුමාන කලේය.

"දැන් මොකද කරන්න හිතාන ඉන්නෙ?"

රංගන කීමට දෙයක් හිතට නොනැගේ

"අනේ මන්ද අප්පච්චි"

"මම බැලුවේ පහල දිය කඩිත්ත ගාව ඉඩම නිකම්ම කැලේ වැදිල ගිහින් මොනව හරි හිටෝල දැම්මොත් හොඳයි කියල, හෙට දිහාට අප්පුවත් කතා කරගෙන ඒ පැත්තෙ යන්න ඉන්නෙ, වැඩක් නැත්නම් ඒ පැත්තෙ ආවනං"

රංගනට එය දැනුනේ නෝක්කාඩුවක් මෙනි. "මෙච්ච්ර ඉගෙනගෙන ගොවිතැන් කරන්න?!" යැයි හිතට නැගුණද මුනිවත රැක්කේ යමක් පැවසීමට යාම වෙලාවට නොගැලපෙන බැවිනි.

ලොකු පුතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන හැටියක් නොමැති බව රංබණ්ඩාට මුහුණෙන් පෙනේ. නමුත් යලිත් කිසිවක් නොවිමසා කාමරයෙන් පිටත් විය.

රංගන සිටියේ සිතුවිලි සමඟ පොරබදමිනි. වසරක් තුනක් පුරාවට ගත් උත්සාහය, මව්පියන් කල වියදම්, අනාගතය මෙවැනි දහසක් සිතුවිලි අතර ඔහු අතරමං වි සිටි අතරදී පැමිණි පියා පැවසූ දෙයින් සිතේ කෙන්තියක් ඇති කලද පියාගෙ සන්සුන් ප්‍රතිචාරය ගැන ඔහුට විමතියක්ද ඇති විය. සිය මාන්නය බැහැර කර බලන කල පියාගේ අදහස අසාධාරණ නොවේ. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සියලු වියදම් යුතුකම් පියා නොපිරිහෙලා ඉටුකලේ ගොවිතැනෙනි. අත්දැකීම් හා සිහිබුද්ධියෙන් යුතුව ගොවිතැන් කල ඔහුට අලාභයක් සිදු වූවේ ඉතාමත් කලාතුරකිනි.

"නිකන් කාලෙ කනවට වඩා ඒකත් හොඳයි තමා"


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

උදෑසනම රංබණ්ඩා මිදුලට බැස්සේ වෙනදා පුරුද්දටය.

"අප්පච්චි දැන්ම ඉඩමට යන්නද?"

ලොකුපුතාගෙ හඬින් රංබණ්ඩා විමතියට පත් විය. "කොලුව එහෙනම් මගෙ කීම ගැන හිතල. " රංබණ්ඩාට සියුම් සතුටක් දැනේ.

"අහ් ඔව්.. අව්ව තද වෙන්න කලියෙන් වැඩ පටන් ගන්න එක හොදයි."

"එහෙනම් යං අප්පච්චි "

"මම හිතුවෙ එන්නෙ නැතිවෙයි කියල., එහෙමනං ගබඩා කාමරෙන් කැත්තයි උදලු දෙකයි ගෙනාව නං"

නිවසට මීටර් දෙතුන් සියයක දුරින් පිහිටි ඉඩම රංබණ්ඩා ඉතිරි කර ගත් මුදලින් වසරකට පමණ පෙර මිලදී ගත්තකි. අක්කරයකට මදක් වැඩි ඉඩම සාරවත් පසින් යුක්තය, අසල පිහිටි දිය කඩිත්ත දැඩි ඉඩෝර සමයක වුවද සිඳී නොයන්නක් බව ගම්මු පවසති. ඉඩමට පැමිණි රංගනට දැනුනේ අමුතුම ප්‍රබෝදයකි. වසර ගණනක් පොත් පත් අතර සිරවී සිටි ඔහුට ගහක් කොලක් දෙස බැලීමද අමතකව ගිය සෙයකි.

මද බෑවුමක් සහිතව පිහිටා තිබූ ඉඩම කුඩා වනරොදක් වන තරමට වල් බිහිවී තිබිණි.පියාගේ ගොවිතැන් කටයුතු වලට උදව් වන අප්පුවාද පියාද සමඟ කරට කර වැඩ කල රංගනට විභාගය නිසා සිතේ ඇතිව තිබූ කණස්සල්ල සෙමෙන් තුනී වී ගියේය. සෙමෙන් කල එලි වී එන ඉඩම දකින විට සිතේ අමුතුම උනන්දුවක් ඇති වේ. සවස් වන විට මුලු ඉඩමම එළිපෙහෙලි කර ගැනීමට තිදෙනාට හැකි විය. 

දින තුනක් යාමට මත්තෙන්  බෝංචි, දඹල, අමු මිරිස් , බටු වෙන වෙනම පාත්ති දැමීය. ඉඩමේ කොනක හෑරූ වලක් තුල ගොම පොහොර හා ඉඩම එලි කිරීමේදී ගොඩ ගැසූ වල්පැල අඩංගු කසලද එක් කර වගාවට අවශ්‍ය පොහොර සාදා ගන්න අයුරු රංගන පියාගෙන් ඉගෙන ගත්තේය. පොත්පත් තුලින් කොම්පෝස්ට් පොහොර තැනීම ලෙස ඉගෙන ගත්තේ මෙයම බව ඔහුට සිහි විය. 

භූමිතෙල් යොදන පොම්පයෙන් දිය කඩිත්තේ සිට වගාවට පහසුවෙන් වතුර දැමිය හැක. දිනෙන් දින දලු දමා වැඩෙන පැල දකින විට රංගනට කිව නොහැකි සතුටකි. සති කීපයක සිට ගෙදර ලිපෙන් එකතු කල අළු ලපටි පැල මත විසුරුවා හැරීමෙන් කෘමීන්ගෙන් ආරක්ෂාකර ගත හැකි බව රංගනට දැක ගත හැකි විය. සති දෙකෙන් දෙකට නැගෙන වල්පැල ගලවා පැලෑටි වලට නිදහස ලබා දෙනු ලැබේ. පියාගේ උපදෙස් පරිදි නියමිත මාත්‍රාවෙන් අවශ්‍ය විටමින් වර්ග යෙදීමද දිරාගිය ගොලු බෙලි කටු බිත්තර කටු කුඩු කර දැමීම රංගන අතින් සිදු විය එවා වගාවට අනගි අහාරයක් බව සිග්‍රයෙන් වැඩෙන පැල හොදින් සාක්ෂි දෙන්නට විය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

මාස තුනක පමණ වෙහෙසීමට පසු පළමු අස්වැන්න නෙලීමට කාලය උදාවිය. ඒ රංගන සිය ජීවිතයේ වැඩියෙන්ම සතුටට පත් වූ කාලයකි.
සිය දෑතින් උස් මහත් වූ බෝග වලින් හටගත් නැවුම් එළවළු දකින විට සිත සතුටින් ඉපිලී යයි. 

ප්‍රවේශමෙන් අස්වැන්න නෙලන අයුරුද රංගනට කියා දුන්නේ පියාය. තැලීම් අවම වන ලෙස ඒවා ඇසිරීම වැදගත්ම කටයුත්තයි. ඒ සඳහා වෙනමම ඇති ප්ලාස්ටික් ඇසුරුම්වල පරඬැල් යොදා ප්‍රවේශමෙන් ඇසුරූ එළවළු තැලීම් වලට ලක්වීමේ අවදානම අවමය. එලෙස නැවුම්ව පවතින එළවළු විකිණීම එතරම් අසීරු කරැණක් නොවීය. ඒ රංගනගේ පියා වසර ගණනක සිට රැකගත් විශ්වාසය නිසාම ඔහුගේ අස්වනු වැඩි මිලකට මිලදී ගැනීමට ඕනෑම අවස්ථාවක සූදනම්ව සිටි ව්‍යාපාරිකන් රැසක් සිටි බැවිනි. පළමු අස්වැන්නෙන්ම වියදම අත්හැරිය විට රැපියල් හැටදහසක පමණ ලාභයක් ඇත. එය සම්පූර්ණයෙන්ම රංගනගේ අතට ලැබිණි. 

"තමුන්ගෙ මහන්සිය නොවැ" රංබණ්ඩා එය රංගනගේ අතේ තබමින් පැවසීය.

"මට එපා අප්පච්චි, ගෙදර වියදමට තියාගන්න"

"ගෙදර වියදම කාරි නෑ, එහෙමනම් මේක පුතාගෙ පොතට දාන්නම්, මේකෙන් ඕනෙ කරන මොනවහරි තියෙනවා නම් ගන්න." මුදලින් දස දහසක් රංගන අත තැබීය.

පියා ගෙදරට පිටත් වූ පසු රංගන වගා බිමේ තනි විය. සිතට ඇත්තේ කිව නොහැකි තරමේ සතුටකි. දැන් තමාටම කියා මුදලක් උපයා ගැනීමට හැකිය යන ස්වයංඅභිමානය සිතට නැගේ. බෝංචි , අමුමිරිස් මාස දෙකක් පමණ යන තුරු පලදරයි. සතියකට වරක් එහි පලදාව ලබා ගත හැක. 

පියා පැවසූ පරිදි කෘෂි උපදේශක මහතා ගෙන් උපදෙස් ගැනීමෙන් තවත් ක්‍රමානුකූලව ඊළඟ වගාව කල හැක. වඩාත් සරු බීජ, කොම්පෝස්ට් පොහොර හා දියර තැනීම, අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක් ගැනීම වැනි ක්‍රම මගින් ආදායම දෙගුණ තෙගුණ කර ගත හැක. රංගනට පියාගේ උපදෙස් සිහියට නැගේ.

"පුතේ, මම ගොවිතැන පටන් ගත්තෙ ගැටය කාලෙ, ඉගෙන ගත්තෙ තාත්තගෙ පස්සෙන් ගිහින්., නොදන්න කමට අස්වනු කීයක් පාඩු වුනාද! ඒත් උනන්දුව හන්දම පොළොවත් එක්ක ගනු දෙනු කරන හැටි ටිකෙන් ටික ඉගෙන ගත්තා. අද කාලෙ රට ලෝකෙ දියුණුයි. ඕනෙම දෙයක් ඉගෙන ගන්න ඕනෙ තරම ක්‍රම තියෙනවා, ඕනෙ උනන්දුව විතරයි. 
උඹලාගෙ වයසෙ කී දාහක් නිකරුනේ නාස්ති වෙනවද කාලෙ කකා. උන්ගෙ වැරැද්දක්ම කියන්න බෑ. ඔය වයසට මොනවා තේරෙනවද, වැඩිහිටියො දැන ගන්න ඕනෙ උන්ව හරි පාරට දාන්න. පුතාට තේරෙනව නේද අතේ මඩ ටිකක් ගෑවුනාට ඇඟපත ටිකක් වෙහෙසුනාට ගොවිතැන 
කියන්නෙ කාටවත් ගැති නැති රස්සාවක්. හැබැයි කොයිදේටත් වගේ මේකටත් උනන්දු දැනුම් තේරුම් ඇති කම තියෙන්න ඕනෙ. වවන්න කලින් හිතන්න ඕනෙ විකුණන්නෙ කොහොමද කාටද කියන එක. ටිකක් 
රටේ හොටේ ගැවසිලා ඇදුනුම්කම් ඇති කර ගත්තාම ගැණුම්කාරයො පස්සෙන් වැටිලා ඉල්ලන ගානට දීල දාන්න වෙන්නෙ නෑ,
අනෙක වගා කර්මාන්තය කරනවා නම් ඒ ගැන දැනුම් තේරුම් ඇති කර ගන්න ඕනෙ, බිස්නස් කාරයො නොවුනට ව්‍යාපාර බුද්ධියත් තියෙන්න ඕනෙ. නැත්නම් සමහර වෙළෙන්දන්ට රැවටෙන්න වෙනවා.
පුතාල ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක යන වියදම් අදායම් සටහන් කර ගන්න. එතකොට සල්ලි නාස්ති වෙන්නෙ නෑ. කීය කීය හරි ඉතුරු කරන්න හොඳ ගානක් එකතු උනහම වගාව වැඩි දියුණු කරගන්න පුලුවන්."

පියාගෙ වදන් රංගනට උද්යෝගජනකය. රංගන හිඳ සිටි තැනින් පස් අහුරක් දෑතට ගෙන බැලීය. 

"දිලිසුනේ නැති උනාට රත්තරං වගේ තමයි"

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

ක්‍රමයෙන් ප්‍රමාණයෙන් පැතිරුණු වගාබිම සමඟ කාර්යබහුල වූ රංගනගට වසරක් පහක් ගෙවී ගිය වගක් නොදැණුනේය. ඒ වසර පහ තුල සිය ජීවිතයේ සිදු වූ වෙනසකම් ගැන නැවත ආවර්ජනය කරන විට රංගනට දැනුනේ ආඩම්බරයකි. වසර දෙක තුල කුඩා ලොරියක් මිලදී ගත් පසු සිය අස්වැන්න කෙලින්ම වෙළෙඳපොල වෙත ගෙන යාමට හැකි එයින් ලැබෙන් ලාභය සමඟ සිය ව්‍යාපාරික දැනුම උපයෝගී කරගෙන තවත් අක්කර 2ක වගා බිමක් මිලදී ගැනීමට හැකි විය. සේවකයන් කිහිප දෙනෙකුම සිටියද වගා බිමේ සෑම වගාවක්ම කෙරෙන්නේ රංගනගේ සැලකිල්ල යටතේය. 
ලැබෙන මුදලට වඩා තවමත් රංගන තවමත් සතුටු වන්නේ සිය ගොවි බිමේ හට ගන්නා අස්වැන්න දැකීමෙනි.

කෙතරම් දියුණුක් ලැබුවද රංගන තවමත් උපදෙස් පැතුවේ සිය පියාගෙන්මය. ඒ නිවරැදි මොහොතේ නිවරැදි වදනින් සිය මාන්නය දුරු කර දිවිය සරු කර ගන්නට මග පහදා දුන්නේ ඔහු බැවිනි. 
ඒ නොවන්නට තමා කුමන තත්වයක සිටීදැයි රංගනට සිතා ගත නොහැකිය.


Friday, March 6, 2015

විටමින් දී දරුවන් හැදීම



උදෑසනම පළමුවෙන් බාහිර රෝගී අංශයට ඇතුල් වූවේ වයස අවුද්දක පමණ දරුවෙකු වඩා ගත් මවකි.

"ඉඳගන්න, මොකක්ද අමාරුව?"

"ඩොක්ටර් මේ ළමය කන්නෙම නැහැනෙ, බරත් හොදටම මදි කියල මිඩ් වයිෆ් නෝන කිව්ව. අනේ ඩොක්ටර් විටමින් මොනව හරි ලියල දෙන්නකො"

පෙනුමෙන් දරුවා ක්‍රියාශීලීය, කෙසඟ සිරුරකට හිමිකම් කීවද රෝගී බවක් නොමැත.

"බබාව පොඩ්ඩක් ඇඳෙන් තියන්න බලන්න."

මූලික පරීක්ෂා වලට අනුව උපතින් පිහිටන හදවත් රෝග හෝ වෙනත් සින්ඩ්‍රොමික ලක්ෂණයන් දැකිය නොහැක.

"හරි බබාව අරගෙන ආයෙත් වාඩි වෙන්නකො, කෝ බලන්න බබාගෙ පොත"

සියලු එන්නත් නියමාකාරව ලබාදී ඇත, ඒ වයසට කලයුතු ක්‍රියාකාරකම් සම්පූර්ණ කර ඇති බවටද සලකුණු වී තිබේ. ගැටලුව ඇත්තේ බර සටහනේය ඉපදීමේ සිට මාස කීපයක් යනතුරු කොළ පැති තීරුවේ සඳහන් වූ බර මාස 

6 පසු වනවාත් සමඟම සීග්‍රයෙන් පහත බැස ගොස් මේ වන විට රතු පැහැ කලාපයට සේන්දු වී තිබේ.
වරද බොහෝ දුරට පැහැදිලිය. 

"දැන් කියන්න බලන්න දරුවට කෑම දෙන විදිහ?

"ඩොක්ටර් මිඩ් වයිෆ් නෝන කියල දුන්න විදිහටම මුලින් බත් කැඳ හදලා දුන්න ඊට පස්සෙ ටිකක් බ්ලෙන්ඩර් කරල දුන්න එළවළුත් ගොඩක් ජාති එකතු කලා. කවා ගන්න හරිම අමාරුයි"

"තාම මව් කිරි දෙනවනෙ?"

"අපොයි ඔව් ඩොක්ටර් ඒක නම් අඩුවක් කලේ නේ" මව ආඩම්බරයෙන් පවසයි.

"ඒ කියන්නෙ බබා අඩනවත් ගානෙ දෙනවා?"

"ඔව් ඩොක්ටර් නැත්නම් කොහෙද මෙයාව නලෝ ගන්නෙ, දෙනකල්ම අඬනවනෙ"

"එතකොට දවසට කී පාරක් විතර මව් කිරි දෙනවද?"

එහෙම ගානක් කියල නෑ ඩොක්ටර් ඔය කොහොමත් ඉතින් පැය දෙකකට සැරයක් වත් දෙනවා"

"හ්ම්ම්, මම වැඩක් කියන්නම්. අද ගෙදර ගියහම වතුර ලීටර් 2කට කිරිපිටි හැන්දි 5ක් විතර දාල කිරි එකක් හදා ගන්න ඊට පස්සෙ පැය දෙකෙන් දෙකට බොන්න. එහෙම බොන අතරෙ බලන්න වෙනද කනවා වගේ බත් කන්න පුලුවන්ද කියල"

මව සිනාසේ, 
"අපෝ පැය දෙහෙකට සැරයක් කිරි බිව්වහම කොහෙටද කන්නෙ? කනව තියා කටේ තියන්නවත් බැරි වෙයි"

"එතකොට මේ දරුවට කරන චෝදනාව හරි අසාධාරණයිනෙ,  අම්ම මෙයාට පැය දෙකෙන් දෙකට කිරි පොවල බත් එක කවා ගන්න බෑ කියන එක"

මම නිරුත්තරය, නමුත් පරාජය භාර ගැනීමට නම් සූදානම් බවක් නොපෙනේ.
"ඒ වුනාට ඔය හැමෝම කියන්නෙ පුලුවන් තරම් දරුවට මව් කිරි දෙන්න කියලනෙ"

"ඔව් ඒක හොඳයි දරුවට මාස 6ක් වෙනකල්." ඊට පස්සෙ දරුවගෙ වැඩීම භාර දෙන්න ඕනෙ කෑමට, මාස හයෙන් පස්සෙ මව් කිරිවල පෝෂණ ගුණය ටිකෙන් ටික අඩු වෙනවා කියල දන්නවද? කල් යනකොට වෙඩි ප්‍රමාණයක් වෙන්නෙ වතුර"

මව දැන් සම්පූර්ණ අවධානය යොමු කර ඇත.

හොඳයි මේ ටික අහගන්න.
දරුවගෙ බර අඩු වෙලා තියෙන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි හරියට කෑම නොදෙන නිසා. අඬනවත් ගානෙ කිරි දෙන්න ඕනෙ මුල් මාස දෙක තුනේ විතරයි. 

හැබැයි නියම විදිහට කිරි දෙන්න ඉගෙන ගන්න ඕනෙ. පළවෙනිම දේ දරුවට ආදරෙන් ඒ දේ කරන්න ඕනෙ. බබාව වඩා ගන්න විදිහ, තනපුඩුව හරියට කටට ඇතුල් කරන එක, කිරි බොන අතරෙ දරුවව තියා ගන්න විදිහ. මේ හැම දෙයක්ම මිඩ් වයිෆ් නිලධාරිනියගෙන් හරියට අහගන්න ඕනෙ.

මාස තුනක් පහු වෙනකොට පැය 3කට සැරයක් කිරි දුන්නහම ඇති. මාස 5ත් 6ත් අතර කාලෙදි අමතර ආහාර පටන් ගත්තට කමක් නෑ නිවැරදි උපදෙස් අරගෙන. මේ කාලෙ වෙනකොට පැය 5කට 6 කට සැරයක් කිරි දෙන්න පුරුදු පුරුදු කර ගන්න ඕනෙ. ඒ වගේම රෑ කාලයට කිරි දෙන එකත් (Over night feeding) නතර කරන්න ඕනෙ. දවල් කාලයේ කිරි වේල් දෙකක් අතරට අමතර කෑම වේලක් ඒ කියන්නෙ දවසට අමතර කෑම වේල් 3ක්. 
මේ කාලෙ තමයි බබාගෙ බර ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කාලෙ. දරුවගෙ බර වැඩි වෙන්න මව් කිරිවල තියන ප්‍රෝටීන ප්‍රමානය මදි. එතකොට බර වැඩි වෙන්න අමතර අහාර වල උදව්ව අත්‍යවශ්‍යයි. මමක් කියන එක විශ්වාස නැත්නම් මාස හයේදිත් කිරි වලිනම බඩ පුරෝපු බබෙක්ගෙ බර සටහන අරන් බලන්න මාස හයේදි බර වැඩි වීම එක පාරට නතර වෙලා තියෙන හැටි.

අපි බලමු අමතර ආහාර දෙනකොට දැනගන්න ඕන දේවල් මොනවද කියල. දරුවා අමතර කෑම වලට හුරු වෙන්නෙ බඩගිනි දැනුනොත් විතරයි. ඒකට කිරි වේල් අතර වැඩි කාලයක් තියන්න ඕනෙ. අමතර කෑම පටන් ගන්නෙ මෙහෙමයි,  මුලින්ම බත් වතුර, ඊලඟට කැඳ වතුර , උකු කැඳ. මේ හැමදෙයක්ම ලා රස්නෙට දෙන්න ඕනෙ. ඊලඟට බත් ඉන්පසු එළවළු.

දරුවගෙ දිවට ඉක්මනට අර්ධ ඝන ආහාර හුරු කරන්න ඕනෙ. එතකොට 
තමයි ආහාර හැපීම ඉක්මනට හුරු වෙන්නෙ. ඒ නිසා දිගටම බ්ලෙන්ඩර් කරල දෙන එක නම් හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම ලුණු පොඩ්ඩක් කැම එකට එකත් කලාට වරදක් නෑ. හැබැයි හොදට මතක තියා ගන්න පැණි රස දේවල් තමයි අන්තිමටම දරුවට පුරුදු කරන්නෙ. මොකද පැණි රස දෙයක් දිවට දැනුන ගමන් ඒකයි මොලේ රෙජිස්ටර් වෙන්නෙ. එතකොට අනිත කෑම මුකුත් කවා ගන්න බැරුව යනවා.

මාස නවයක් වෙද්දි දවසට 4 සැරයක් කිරි දුන්නහම ඇති ඒ එක්කම හොඳ ඝන ආහාර වේල් 3 කට හුරු කරවා ගන්න. අවුරුද්දක් වෙනකොට 3 සැරයකට අඩු කරලා. අවුරුදු එක හමාර වෙනකොට මව් කිරි සම්පූර්ණයෙන් නතර කරන්න ඕනෙ.

ඊලඟට විටමින්! එළවළු ගස් මල් ගස් විටමින් ගහල හදනවා වගේ විටමින් පෙති දීල දරුවො හදන්න බෑ. විටමින් අවශ්‍ය වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා විටමින් ඌනතාවයක් ඇති වුනොත් විතරයි. ඒ වගේම වෙළෙඳපොලේ තියෙන දාහකුත් එකක් කිරිපිටි වර්ග නේස්ටම් වර්ග වලට දරුවව පුරුදු කරන්න එපා. ඒවගෙන් ඇඟ මහත් වුනත් නිරෝගියි කියන්න බෑ. ඒ වගේමයි ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවත් අඩුයි. අඩු වයසින් අධිරුධිර පීඩනය, දියවැඩියාව වගේ රොග වැලඳීමේ හැකියාවත් වැඩියි.
ඒ ඔක්කොටම වඩා හොඳයි පිරිසිදුව ගෙදර හදා ගත්ත කෑම වේලක්. 

"මම කියපු විදිහට සතියක් කිරි එක අඩු කරල හොඳට කෑම එක දවසට තුන් පාරක් කවල එන්න බලන්න බර කිරන්න,"

"ඔව් ඩොක්ටර්, ඒ කිව්ව විදිහට කරල බලන්නම්," කාරණාව හොඳින්ම අවබෝධ කරගත් බවක් මවගේ මුහුණින් පෙනේ. ඊළඟ සතිය  වන විට දරුවාගේ බර වැඩි වන බව නොඅනුමානය.


Tuesday, March 3, 2015

මකා දැමූ දේවල් ගොඩ ගන්නේ මෙහෙමයි ( Easy File Recovery)


අපිට සමහර වෙලාවට අතපසු වීම් වෙනවා . සමහර වෙලාවට දෙලෝ රත් වෙන අතපසු වීමුත් වෙනවා නේද?
එකක් තමයි අතපසු වීමෙන් පරිගණකයේ තියෙන ලිපිගොනු ඩිලීට් (Delete) වීම. ( ප්‍රතිචක්‍රිකරණ බදුනට (Recycle bin) නොගොස් නැවත ලබා ගත නොහැකි වන ලෙස මැකී යාම.)
සාදා නිම කල Powerpont/word/Exel ෆයිලයක්, බාගත කර ගත් චිත්‍රපටයක්, පැරණි දුර්ලභ ඡායාරූප ගොනුවක්. මෙවැන්නක් අත්වැරදීමකින් ඔබ අතින් මැකී ගියොත් ඔබ මොකද කරන්නෙ?

අන්න ඒ වෙලාවට තමයි මේ නැවත ලබා ගැනීමේ මෘදුකාංග ( Recovery Software) අපේ පිහිටට එන්නේ.

හැබැයි එවාටත් අපිට  උදව් වෙන්න පුලුවන් සීමාවන් තියෙනවා. එකක් තමයි අපි අදාල දත්තය මකා දමා එය තිබූ තැන අලුත් දත්ත ඇතුල් කර තිබුන හොත් අප මකා දැමූ දත්තය නැවත ලබා ගත නොහැකියි.
එයට හේතුව තේරුම් ගන්න මේ නැවත ලබා ගැනීමේ මෘදුකාංග ( Recovery Software) වල ක්‍රියා කාරීත්වය කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි යම් දත්තයක් මකා දැමූ විට පරිගනකයේ හර්ඩ් ඩිස්ක් ( Hard Disk) එක මත එම දත්තයට අදාල සැකැස්ම  ඉවත් වන්නේ නැහැ. සිදු වන්නේ පරිගණකය එවැනි දත්තයක් එතැන නොමැති යැයි මතක තබා ගන්නවා. අලුත් දත්තයක් ඇතුල් කල විට මකා දැමූ දත්තයේ ඉඩ අලුත් දත්තයේ සැකැස්ම ස්ථාපනය කිරීමට ලබා දෙනවා. මෙවිට මකා දැමූ දත්තය සදහටම පරිගණකයෙන් ඉවත් එනවා.
ඒ වගේම අපි පරිගණකයේ හාඩ් ඩිස්කය හෝ එහි දත්තය පිහිටා තිබූ කොටස ෆෝමැට් කල හොත් ඉන් පසුවද එම දත්තය නැවත ලබා ගත නොහැකියි. 
ඉතිං ඔබ අතින් යම් දත්තයක් අතපසු වීමෙන් මැකී ගියහොත් යලි කිසිම දත්තයක් හාර්ඩ් ඩිස්ක් එකේ එම දත්තය තිබූ කොටසේ  ( Partition ) තැම්පත් ( save ) කරන්න එපා.

හරි ඒත් කොහොමද මැකී ගිය දත්තය නැවත ලබා ගන්නෙ? තිබ්බ තැනක් වත් ගිය තැනක් වත් හොයා ගන්න බැහැනෙ. 
මේ සඳහා උදව් කරගන්න පුලුවන් මෘදුකාංග රාශියක් තියෙනවා. ඒවයි මට හමු වූ පහසුම මෘදුකාංගයක් ගැන කියන්නම්.
ඒ තමයි HandyRecovery  මෘදුකාංගය.


කොහොමද මේ මෘදුකාංගය හොයා ගන්නෙ?
හරිම පහසුයි පහත ලින්ක් එකෙන් කෙලින්ම බාගත කර ගන්න. 


ප්‍රමාණය ගැන බය වෙන්න එපා මේකෙ සයිස් එක මෙගා බයිට් 1යි  ( 1mb) පොඩි වුනාට තිතට වැඩේ කරනවා.

හරි දැන් කොහොමද මේක ස්ථාපිත (install) කර ගන්නෙ?
ඒ කරදර මුකුත් නෑ. ඔයාලගෙ පරිගණකයේ unzip මෘදුකාංගයක් තියෙනවා නම් (නැත්නම් මෙතනින් (winrar) බාගත කර ගන්න ) ඒ මගින් මෙය කැමති තැනක ලිපි ගොනුවක් ( Folder) හදලා ඒ තුලට දිග හැර ගන්න (Extract).



මෙන්න තියෙනවා ඔයාලට අවශ්‍ය මෘදුකාංගය. (ලියාපදිංචි කිරීම් හෝ වෙනත් තහංචිවලින් තොරයි.)

දැන් මම උදාහරණයක් පෙන්වන්නම් මේ මෘදුකාංගයේ ප්‍රයෝජනය ඔයාලට තේරුම් ගන්න.
මේ තියෙන්නෙ මට ඉතා වැදගත් දේශන සටහන් අඩංගු ලිපි ගොනුවක්.

මේ ඒකෙ තියෙන සටහන් එකතුව.

හදිස්සියට මේ ලිපි ගොනුව මගෙ අතින් මැකෙනවා. හපොයි දැන් මොකද කරන්නෙ!

ඔන්න දැන් තමා HandyRecovery මෘදුකාංග පිහිටට එන්නෙ.

ඔන්න මෘදුකාංය තිබෙන තැන, 

විවෘත කර ගන්න පොඩි උපදෙසක් දෙන්න ඕනෙ. නිකම්ම double click නොකර HandyRecovery.exe කියන එක උඩට mouse pointer  එක  ගෙනිහින් රයිට් ක්ලික් කරන්න එවිට ලැබෙන මෙනුවේ  Run as administrator යන්න තෝරන්න.

 ඔන්න මෘදුකාංගය විවෘත  (open) වුනා. 

දැන් එහි වම්පස ඇති මෙනුවෙන් මැකී ගිය දත්ත තිබූ දෘඩ තැටියේ කොටස (Hard Disk Partition) තෝරන්න. ( My documents වල හෝ Desktop  හි තිබූ දත්තයක් නම් ඔබ තේරිය යුත්තේ c කියන කොටස.)

දැන් වම්පස ඉහල කෙලවරේ ඇති Analayze යන්න ක්ලික් කරන්න.

එවිට ඔබට පෙනීයනවා මෘදුකාංගය සියලු දත්ත එකතු කිරීමක යෙදෙන බව. එය අවසන් වනතුරු මිනිත්තු කීපයක් ඉවසා සිටින්න.

දැන් ලැබෙන ප්‍රතිඵල සටහනේ ඔබට දැකිය හැකි වෙනවා අප මකා දැමූ ලිපිගොනුවත් තිබෙන බව.

දැන් කොහොමද මේක ආපසු ලබා ගන්නෙ? හරිම පහසුයි. ඉහත සඳහන් පරිදි නැවත ලබා ගැනීමට අවශ්‍ය දත්තය තෝරා (Select) වම්පස ඉහල ඇති Recover යන්න ක්ලික් කරන්න.

එවිට ඔබට නැවත ලබා ගන්නා දත්ත තැම්පත් (save) කල යුතු ස්ථානයක් ලබා දිය යුතු වෙනවා. ඔවුන් යෝජනා කරන ස්ථානය වුනත් ගැටලුවක් නැහැ. නැත් නම් අපි අලුතෙන් ලිපි ගොනුවක් (New Folder) නිර්මාණය කර ඒ තුල තැම්පත් කිරීම කරන්නත් පුලුවන්. මෙහිදී කරුණු 2ක් සැලකිලිමත් විය යුතුයි. එකක් අපේ මැකී ගිය දත්තය අඩංගු Hard Disk කොටස (partition) තෝරා ගැනීමෙන් වැලකිය යුතුයි. ඒ වගේම අප නැවත ලබා ගන්න දත්ත සියල්ලට ප්‍රමාණවත් වත් තරම් ඉඩ තිබෙන හාර්ඩ් ඩිස්ක් කොටසක් විය යුතුයි.

 හරි මම දැන් වෙනත් හර්ඩ් ඩිස්ක් කොටසක තැනක් වෙන් කර ගන්නවා.
මුලින් රූපයේ පරිදි Browser යන්න ක්ලික් කරන්න.

දැන් ලැබෙන මෙනුවේ අපිට අවශ්‍ය හර්ඩ් ඩිස්ක් කොටස තෝරා  (New folder) යන්න ක්ලික් කරන්න.


එම ලිපි ගොනුවට කැමති නමක් යොදන්න. මම Recovery යන්න යෙදුවා. දැන් OK කරන්න.

දැන් අපට අවශ්‍ය තැන නැවත ලබා ගන්න දත්ත තැම්පත් කර ගන්න පුලුවන්. දැන් OK කරන්න.

මද වේලාවක් අපේ දත්ත ප්‍රතිස්ථාපනය (Recovery) කිරීමට ඉඩ දෙන්න.

ක්‍රියාවලිය අවසානයේ Finish යන්න  පහල වම් කෙලවරේ සටහන් වේවි.

ඔන්න වැඩේ අවසානයි. දැන් අපි දත්ත තැම්පත් වීමට වෙන් කල ෆෝල්ඩර් එකට ගිහින් බලමු. 
මෙන්න මැකී ගිය දත්ත සියල්ල කිසිම අඩුවක් නැතුව තියෙනවා.

කොහොමද දැන් හිතට දැනෙන සනීපෙ, සදහටම නැති වුනා කියල හිතුන දෙයක් නැවත කිසිම අඩුවක් නැතුව ලබා ගන්න පුලුවන් වුනාම.
[පරිගණක දැනුම ගොඩක් අඩු කෙනෙක්ට වුනත් තේරුම් ගැනීමට පහසු වෙන්න නිසයි ඉතා සුලු දේවලුත් විස්තරාත්මකව රූප අටහන් සහිතව ඉදිරිපත් කලේ ] 

දැන් තමා මම පෝස්ට් එකේ වැදගත්ම දේ කියන්නෙ. අපි ගොඩක් දෙනා හිතනවා අපේ ලැප්ටොප්, පරිගණක, දුරකතන වල තියනෙ යම් පෞද්ගලික දෙයක් සදහටම මකා දැමූ විට  ( Delete කල විට) එය සදහටම ඉවත් වුනා කියල. දැන් ඔයාලට තේරෙනවා නේද මේ වගේ මෘදුකාංගයකින් ඕනෑම කෙනෙක්ට කොයි තරම් පහසුවෙන් ඒ දෙවල් නැවත ලබා ගන්න පුලුවන්ද කියල! ඉතින් එවැනි දෙයකින් කෙනෙක්ගෙ  ජීවිතේ ප්‍රශ්න ගොඩකට ඇදල දාන්න වුනත් බැරි කමක් නැහැ නේද. අද කාලෙ ඕන තරම් උදාහරණ අහන්න දකින්න ලැබෙනවා.

ඒනිසා හොදින් පහත උපදෙස් පිලිපදින්න.

****01. කවදාවත් අතිශය පෞද්ගලික දෙයක් ඩිජිටල් මාධ්‍යයක් මත රැදෙන්න අවස්ථාවක් උදාකර ගන්න එපා. ( තව විදිහකින් කිව්වොත් අනවශ්‍ය තත්වයේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ගන්න  එපා, ගන්න ඉඩතියන්නත් එපා., කෙතරම් විශ්වාසය දායක යැයි සිතෙනවා වුවත්.)

02. යම් ලෙසකින් එසේ ලබා ගත් ඡායාරූපයක්/ වීඩියෝවක් / දත්තයක්  ඔබ මකා දමනවා නම් එම දත්තය තිබූ හාර්ඩ් ඩිස්කය(Hard Disk)/  PenDrive/ මතක චිපය (Memory chip) Format කිරීමට නම් අමතක කරන්න එපා. මගේ මතය නම් දිනෙන් දින දියුණුවන නව තාක්ෂණය සමග Format කිරීමත් අනාරක්ෂිතයි කියලා. ඒ නිසා අදාල හාර්ඩ් ඩිස්කය(Hard Disk)/  PenDrive/ මතක චිපය (Memory chip)විනාශ කර දමනවා නම් වඩාත් සුදුසුයි.

ඉතිං ඉහත මෘදුකාංගය ඔබට වැදගත් නොවුනත් අවසානයේ සදහන් කල ඔවදන තවත් අයට කියල දෙන්න නම් අමතක කරන්න එපා. (විශේෂයෙන්ම ඔයාලගෙ අක්කලා නංගිලාට) එයින් ගොඩක් දෙනෙක්ගෙ ජීවිත අනතුරේ වැටීමෙන් වලක්වන්න අපිට පුලුවන් වේවි. 



Saturday, February 28, 2015

ඔයාටත් හෙම්බිරිස්සාවද ( Common Cold )



දින කීපයකින් දැකිය නොහැකි වූ සිය මිතුරාව බැලීමට නිමල් රන්ජන්ගේ නිවස බලා පිටත් විය.

"මොකෝ රන්ජන් පාඩම් කරන්න ආවෙ නැත්තෙ?"

"කියල වැඩක් නෑ මචෝ මේ හෙම්බිරිස්සාවක් හැදිල මට එපා වෙලා ඉන්නෙ, දැන් සතියක් විතර."

"ඔව් මට මතකයි උඹ මැච් එක ගහන්න එනකොටත් හොටු බේර බේරනෙ හිටියෙ."

ඔව් බං ඊට පස්සෙ දවසෙ ගිනි ගන්න උණ ගත්තනෙ., ඒ මදිවට අම්බානකට ගුටි කාල වගේ මුලු අස්ථි පංජරේම රිදෙන්න ගත්තනෙ."

"සිරාවට .... යකෝ කියන්න එපැයි.. බේත් ගන්න ගියෙ නැද්ද්?

"ගියා බං, මුලින් ගිය තැන පෙනඩෝලුයි පිරිටනුයි තව මොනාද පෙති වර්ගෙකුයි දුන්න. මට එපා උනා ඕව බීල හරියනවැ. මම ඊට පස්සෙ අර .... ගාවට ගියා පොර නම් අපරාදෙ කියන්න බෑ කරල් වර්ග දෙකකුයි රෝස පාට පෙති වගේකුයි දුන්න."

හරි හරි දැන් ඉතිං උඹට අඩුයිද?"


"උණ නම් බැහැල ගියා, ඒ උනාට බෙහෙත් සැරටද මන්දා බඩ දැවිල්ලක් හැදුනා, ඒ මදිවට හොඳටම කැස්ස බං, ෆාමසියෙන් සිරප් වර්ග දෙකක්ම ගෙනත් බිව්ව තාම අඩුවක් නෑ., ඇඟට පණත් නෑ වගේ,"

"හම්මා උඹේ කාමරේ ගඳ, දවස් කීයකින් නෑවෙ නැද්ද්?"

උඹට කියන්න සති දෙකකින් විතර නෑ, කොහෙද මේ කැස්ස ඉවරයක් නෑනෙ"

"අනේ මන්ද උඹ ලෙඩේ දෙක කරගෙන වගේ."


~ ~ ~ ~ ~ ~ ~ * ~ ~ ~ ~ ~ ~ ~ * ~ ~ ~ ~ ~ ~ ~


මේ කාලෙ ලෙඩ රෝග නම් අනන්තයි අප්‍රමාණයි නේද. මේ අනන්ත අප්‍රමාණ ලෙඩ රෝග අතරින් ලොකු කුඩා ගැහැණු පිරිමි බේදයක් නැතුව කොයි කාටත් වද දෙන කරදර කාරී රෝගී තත්ත්වයක් තමා මේ හෙම්බිරිස්සාව එහෙමත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ. මේ ලිපිය කියවන ඔයාට කී පාරක් හෙම්බිරිස්සාව හැදිලා තියෙනවද? ගණන් කර ගන්නත් බැරි තරම් නේද.

සාමාන්‍යයෙන් එක් අයෙක්ට වසරකට දෙවතාවක් වත් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙනවා. කුඩා දරුවෙකුට නම් වසරකට හය වරක් පමණ මෙය වැලඳීමට පුලුවන්. අපි බලමු මේ සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ මොකක්ද කියල. 

මෙහි ප්‍රධාන හේතු කාරකයා වෙන්නෙ වයිරස් වර්ග. එකිනෙකට වෙනස් වයිරස් වර්ග  200ක පමණ ප්‍රමාණයක් අපට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කිරීමට සම්මාදම් වෙනවා කියල සොයාගෙන තියෙනවා. එයිනුත් නායකයා වන්නෙ රයිනො (Rhino virus) වයිරස්  නම් වයිරස් කාණ්ඩය.

මෙම වයිරස සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලෙන රෝගියෙකුගේ ශ්වසන පද්ධතියේ ස්‍රාවය තුල ලක්ෂ සංඛ්‍යාවක් එක් රැස් වී පවතිනවා. රෝගියා කිවිසිම් හරින විට එම වයිරස ස්‍රාවයන් සමඟ පරිසරයට මුදා හැරෙන්වා. මෙම වයිරසයන් වලට පරිසරය තුල යම් කාලයක් ජීවී තත්වයේ පසුවෙන්න පුලුවන් (පැය 18ක් වැනි කාලයක්). මෙම කාලය තුල එම වයිරස වෙනත් අයෙකුගේ ශ්වසන පද්ධතියක් තුලට ඇතුල් වූ පසු ක්ෂණිකව ප්‍රජනය ආරම්භ කර පැය 18ක් වැනි කාලයකදී රෝග ලක්ෂණය ඇති කරනවා. 

අපි ගොඩක් වෙලාවට කිවිසුම යැවීම උගුරේ කැසීමක් ඇති බව දැනෙන්නට වීම සොටු දියර ගැලීම ආරම්භ වෙන්නෙ මේ අවදියේදි. ඉන්පසු සොටු දියර ගැලීම වැඩි වීමත් සමඟ නාසය අවහිර වීම, සමහර විට කන් අගුල් වැටීම (කන් ඇසීම අඩු බවක් දැනීම), ඇඟපත රිදීම, හිසරදය, තෙහෙට්ටුව, කැස්ස, කලාතුරකින් උණ ඇති වීමටද පුලුවන (බොහෝ විට කුඩා දරුවනට). මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ වයිරසය පැරදවීමට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සිදු කරන සටනේ ප්‍රතිඵලයක් ලෙසය.


ආසදනයට හේතු වන වයිරස් වර්ගය, රෝගියාගේ ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිකරණ හැකියාව), රෝගියගේ පෝෂණ තත්වය, රෝගියා වෙහෙසී සිටීද යන්න වැනි හේතු කාරක ගණනාවක් රෝගය සුව වීමට යන කාලය තීරණය වීමට බලපායි. සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකදී මූලික රෝග ලක්ෂණයන් පහව යන මුත් අතැම් අයට  සති  තුනක් පමණ කාලයක් වුවද පැවතිය හැක. වඩාත් වැඩි කාලයක් පවතින්නේ කැස්සයි. එය සතියක සිට මාස දෙකක පමණ කාලයක් දක්වා කරදර කරනවා.

අපට ඒ හැටි හානියක් නොවන රෝගයක් වුවත් මෙය ඉතා කරදරකාරීය. මේ නිසාම අපි විවිධාකාර දේවල් එම අපහසු තත්ත්වයන් මිදීමට පාවිච්චි කරන්න පෙලඹෙනවා. 
විවිධ බාම් වර්ග, ආයුර්වේද බීම වර්ග, පෙති වර්ග... නමුත් ඔබ දැනගත යුතු කාරණාවක් වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමට ඖෂධ නොමැති බව. එය සිරුරේ ප්‍රතිශක්තිකරණය මගින්ම සුව විය යුතු වේ.
ඉහළ සඳහන් කල ප්‍රතිකාර හෝ වෛද්‍යවරයෙකු ඔබට ලබාදෙන ඖෂධ වලින් සිදු වන්නේ රෝග ලක්ෂණ වලින් ඇති වන අපහසුතා අඩු කිරීමයි. 


නමුත් රෝගය පිළිබඳව අවබෝධයකින් යුතුව පහත උපදෙස් පිළිපැදිමෙන් මෙම රෝගය නිසා ඇති වෙන අපහසුතා බොහොමයක් අඩු කර ගන්න පුලුවන් වේවි,

පළමුව රෝගයෙන් වැලකීම.

පාසලට, පන්තියට, වැඩට එහෙමත් නැත්නම් ගමනක් ගොස් පැමිණි විගස හොඳින් පිරිසිදු වීම මගින් ඔබේ සිරුර මතුපිට තැවරී සිටින වයිරස ඔබේ අතින්ම නාසයට හෝ කටට ඇතුල් වීමෙන් වලකිනවා. නිතර දෑත් සෝදා පිරිසිදුව සිටීමද වැදගත් වෙනවා.

රෝගයේ මුල් අවදිය.

* කිවිසිම් යාම, උගුර කැසීම, තෙහෙට්ටුව, මෙවා සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික ලකුණු. මෙම කාලයේදී ඇඟ වෙහෙසකරවන ක්‍රියාකාරකම් වලින් වැලකීමෙන් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇති වන අපහසුතා බොහොමයක් අවම කර ගන්න පුලුවන් වගේම රෝගය පවතින කාලයද අඩු වෙනවා. මේ කාලයේදි තමයි වෛරසය සිරුර තුල වැඩීම හා සංඛ්‍යාවෙන් වැඩි වීම සිදු වන්නේ. අප සිරුර වෙහෙසවා දුර්වල කිරීම ඔවුන්ගෙ  වර්ධනය වේගවත් වීමට හේතු වෙනවා.

* ලුණු මිශ්‍ර උණුසුම් වතුරින් උගුර සේදීම. මෙයින්ද මූලික අවධියේ සිටින වෛරසය විනාශ වී යාම සිදු වෙනවා. 

* හැකි තරම් උණු වතුරම බීමට ගන්න ඒ වගේම සීතල බීම වර්ග නොගැනීම, වායු සමීකරණ භාවිතා නොකිරීම වගේ දේවල් ගොඩක් වැදගත් මොකද සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වෙන වෛරස වඩාත් කැමැති සිසිල් තත්වයන්ට. එවිට ඔවුන් වඩාත් සතුටින් වැඩෙනවා.

දින දෙකක් තුනක් ගත වූ පසු.

* අපි වෛද්‍යවරයෙකු හමු වන්නේ මේ අවධියේ දී. වෛද්‍යවරයාගෙ උපදෙස් නිවරැදිව පිළිපදින්න. ඒ වගේම ඖෂධ පිළිබඳවද විශ්වාසය තබන්න. බොහෝ දෙනෙක් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාදෙන ඖෂධ දෙස බලන්නෙ අඩු තක්සේරුවකින්, 
මම මේ ගැන උදාහරණයක් දෙන්නම්

වෛද්‍යවරයෙකු හමු වී ලබාදුන් ඖෂධ දැක බොහෝ අය මෙසේ පවසනවා.
"මට මෙච්චර අමාරුයි, ඒ උනාට දීල තියෙන්නෙ මොනවද පෙනඩෝලුයි , පිරිටනුයි, C විටමිනුයි, තව කරලකුයි." වෙන කෙනෙක් ගාවට යන්න ඕනෙ හොඳ බේතක් ගන්න."
මෙය වැරදි අදහසක් ඉහත ඖෂධ මිලෙන් අඩු සැවොම දන්නා ඖෂධ වුවත් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා හොඳම ඖෂධ වන්නේද එවායි.

*පැරසිටමෝල් (බොහෝ දෙනෙක් පැනඩෝල් යන වෙලඳ නාමය භාවිතා කරයි) - සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වඩාත්ම සුදුසු හානිකර බව හා අතුරු අබාධ අවම ඖෂධයකි. වෛද්‍ය උපදෙස් පරිදි පැය 6 කට හෝ 8 කට වරක් ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන අපහසුතා රැසක් දුරු කරනු ලැබේ.

*ක්ලෝ(ර්)ෆිනමයින් (Chlorpheniramine) (බොහෝ දෙනෙක් පිරිටන් යන වෙලඳ නාමය භාවිතා කරයි) - කුඩා දරුවාගේ සිට වැඩිමහලු අයට පවා කිසිම හානියක් නොමැතිව භාවිතා කල හැකි වීම මෙහි විශේෂතවයයි, එහි එති එකම අතුරුඵලය නිදිමත බවක් ඇති වීමයි. සෙම්ප්‍රතිශ්‍යාවට අවශ්‍ය වන්නේද එයයි. දිගු සුවදායි නින්දක් මගින් වෛරස හා සටන් වැදීමට සිරුරට සම්පූර්ණ සහයෝගය මෙයින් සැපයේ. නමුත් මෙම ඖෂධය ගැනීමෙන් පසු වාහන පැදවීම, ගමන් බිමන් වල යෙදීම, කල්පනාකාරීව කල යුතු වැඩ වල නිරතවීමෙන් වැලකිය යුතුය.

* ප්‍රතිජීවක (Antibiotics)
සෙම්ප්‍රතිශ්‍යාව සුව වීම සඳහා ප්‍රතිජීවක වල කිසිඳු අවශ්‍යතාවක් නැහැ. නමුත් වෛද්‍යවරු ප්‍රතිජීවක ලබා දෙන්නේ දෙවන බැක්ටීරියා ආසාදනයකින් වැලකීමට යොදන උපක්‍රමයක් ලෙසයි.


සතියකට පමණ පසු..

බොහෝ දෙනෙක්ට මෙම කාලය වනවිට ඉතිරිව ඇති රෝග ලක්ෂණය වන්නේ කැස්සයි. හැමෝම දැන ගත යුතු කරුණක් වන්නේ කැස්ස සතියක සිට සති 8ක් දක්වා පැවතිය හැකි බවය. 
ඉහත සඳහන් කල පරිදි රෝගය හටගන්නා වකවානුව තුල සිරුර දුර්වලව පැවතීම රෝග ලක්ෂණ කල් පැවතිමට හේතු වෙනවා.

කැස්සට අමතරව දින 3කට වඩා උණ පවතින්නේ නම් කල්පනා කාරී විය යුතුයි. එය බෝහෝ විට වයිරස් මගින් අඩපණ කල පටක තුල වර්ධනය වන බැක්ටීරියාවක් (Secondary Bacterial Infection) නිසා විය හැක. එය නොසලකා හැරීම භයානක තත්වයකට ඉඩ හැරීමක් වන්න පුලුවන්. මොකද එම බැක්ටීරියා ස්වසන පද්ධතියේ පහලට ගමන් කර පෙනහලු තුලට ඇතුල් වී එහි සියුම් පටක විනාශ කිරිම හා සියුම් නාල අවහිර කිරීම සිදු කරයි. මෙය නියුමෝනියව ලෙස හදුන් වනවා.

ඒ වගේම සති දෙකකට වඩා පවතින කැස්ස සමඟ ලේ බිඳු පිට වීම ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැක.

එම නිසා දින තුනකට වඩා උණ පවතින විට හෝ කැස්ස සමඟ ලේ බිඳු නිකුත් වන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වීම වැදගත්.

සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමෙන් පසු උණ තත්වය පහවී දින 3ක් ගත වූ පසු ස්නානය කිරීමද වැදගත්. එය කැස්ස පවතින කාල සීම අඩු වීමට හේතු වන අතර. සිරුර මතුපිට ඇති බැක්ටීරියා ගහනය අඩු වීමෙන් දෙවන බැක්ටීරියා ආසදනයක් ඇති වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩු කරනවා. කැස්ස පවතින තුරු  ස්නානය අහිතකරය යන්න අපි අතරේ පවතින වැරදි මතයක්. වැදගත් වෙන්නේ උණ කියන රෝග ලක්ෂණය.

මෙන්න මේ විදිහට කියවෙන හෙම්බිරිස්සාව ගැන කතාවේ සරාංශයක් ගත්තොත්.

1. ඉක්මනට හොඳ වෙන්න හොඳට විවේක ගන්න.
2.බොන දේවල් වැඩි වැඩියෙන් ගන්න, උණුවෙන්ම බොන්න.
3. පොඩි පොඩි බේත් ගැන වැඩි විශ්වාසයක් තියන්න.
4.ටික දවසක් යනකල් කැස්ස ගැන කලබල නොවී උණ බැහැල දවස් තුනෙන් හොඳට නාගන්න.
5. දවස් තුනට වඩා උණ තියෙනවා නම්, කහින් වෙලාවට ලේ එනවා නම් ඩොක්ටර් මුණගැහෙන්න වෙලාව හරි.

ඔබට සෞඛ්‍යයමත් දිවියක්!