Saturday, June 18, 2016

ප්‍රෙෂර් වලට සීනි වලට බේත් බොනවද?


ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 ලිපිමාලාවෙ අවසන් පියවර තමයි මේ. "ඔබට ලබා දෙන ප්‍රතිකාර හා උපදෙස් නිවැරැදිව පිළිපැදීම."

මුලින් රෝගියෙක් එක්ක ඇති වුන පොඩි සංවාදයක් කියල ඉන්නම්.

මේ බාහිර රෝගී අංශයට ආව වයස අවුරුදු 62 ක් විතර වෙන අම්ම කෙනෙක්. ඔලුව කැරකෙනව වගේ කියල සීනියි, පෙශර් එකයි බලා ගන්න ඇවිත් 

"ලේ වල සීනි ප්‍රමාණය නම් ටිකක් වැඩියි 185ක් වෙනව උදේ තේකක් වත් බිව්වද?"

"අනේ නෑ ඩොක්ටර් රෑ කෑවට පස්සෙ වතුර විතරයි බිව්වෙ"

"පෙශරුත් බලමුකො, 
පෙශර් එකත් ටිකක් වැඩි වෙලානෙ 160යි 100ක් වෙනවා"

"කෝ බලන්න පොත."

පොතට අනුව වරින් වර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කීපයකින් ප්‍රතිකාර ලබා ඇත. නියම කර ඇති ඖෂධ ප්‍රමාණවත් නොවේදැයි නිගමයට පෙර සුපුරුදු ප්‍රශ්නයක් ඇසුවෙමි.

"මේ තියෙන විදිහට හරියට බේත් ටික බිව්වනෙ නේද?"

"ඔව් ඩොක්ටර් හරියට බිව්වා, සති දෙකකට කලින් පෙශරුයි සීනියි බලනකොට දෙකම නියම ගානට තිබ්බා. ඉතිං මම සීනි පෙත්තයි පෙශර් පෙත්තයි දෙකම බොන එක නැවැත්තුවා. ඔය හැටි බේත් බොන්න හොඳ නැහැනෙ නේද ඩොක්ටර්!"

රෝගියාගේම වරදක් කිව නොහැක. සමහර රෝගීන් හට දීර්ඝකාලීනව ඖෂධ ගැනීමේ අවශ්‍යතාව හා එහි වැදගත්කම ගැන ටිකක් බරපතල ලෙස අවවාද කල යුතුවේ.

"ඒ කියන්නෙ ඒ වෙලාවෙ ඩොක්ටර් කිව්වද බේත් නතර කරන්න කියල?

"අපෝ නෑ, ඔය විදිහටම බොන්න කියල තමයි කිව්වෙ."

ඒකනේ, ඩොක්ටර් කෙනෙක් නිකන් බේත් දෙන්නෙ නැහැනේ. අම්මේ පෙශර්, සීනි කියන්නෙ කැස්ස හැම්බිරිස්සාව වගේ හොඳ වෙන ලෙඩ නෙවෙයි, බේත් වලින් කෑම බීම වලින් පරෙස්සම් වෙලා පාලනය කර ගන්න ලෙඩ."
"දැන් බලන්න පහු ගිය මාස ටිකේ හරියට බේත් බිව්ව නිසා සීනි පෙශර් දෙකට නියම ගානට අඩු වෙලා. බේත් නොබිව්ව නිසා දැන් ඒ දෙකම ගොඩක් වැඩි වෙලා, මේ වගේ පෙශර් සීනි දෙකම වැඩි වෙනක ගොඩක් අවදානම්, අංශභාගය, හාට් ඇටෑක් වුනත් හැදෙන්න පුලුවන්."
"කාලයක් යනකොට පෙශර් සීනි හොඳටම අඩුයි නම් ගොඩක් හෙමින් බේත් අඩු කරල බලන්න පුලුවන්, හැබැයි ඒක් කරන්න ඕනෙ ඩොක්ටර් කෙනෙක් කියන විදිහට නිතරම සීනි පෙශර් බලන ගමන්. අනෙක මාසෙන් මාසෙට හරියට සීනි පෙශර් බලාගෙන බේත් ගන්න ඕනෙ. ඒ වගේම හරියට වෙලාවට බේත් බොන්නත් ඕනෙ."

ඒක තමයි ඩොක්ටර්, මම හරියට බේත් ටික බොන්නම්.

` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` `

රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය ආහාර පාලනයෙන් හෝ ව්‍යායාම වලින් පාලනය කරන්න අපහසු වන විට ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

ඔනෑම ඖෂධයක අතුරු ආබාධ අහිතකර තත්ව තියෙන බව ඇත්ත, ඒත් රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය අධික ලෙස වැඩි වීම මගින් සිදුවන හානිය බරපතලය.

බෝනොවන රෝග සඳහා නියම කරන මෙම ඖෂධ වලින් සිදුවන්නේ අදාල අසමතුලිත තත්වය (වැඩි වූ රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය) සමතුලිතතාවය ගෙන ඒම පමණයි. එයින් රෝගය නිට්ටාවට සුව වීමක් සිදු වන්නේ නෑ ඉන් සිදු වන්නේ පාලනයක් පමණයි. ඖෂධය ගැනීම නතර කල විට යලිත් සුපුරුදු අසමතුලිතාව මතු වෙනවා. නමුත් මෙම ඖෂධ නිසා සිරුර සාමාන්‍ය පරිදි ක්‍රියාකරන්නවා එවිට අධික රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය නිසා සිරුරරට සිදුවන හානිය හා අතුරු විපාක වැලකෙනවා. 

රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය සඳහා ඖෂධයක් වෛද්‍යවරයෙක් නියම කලොත් ඒ සම්බන්ධයෙන් දෙන උපදෙස් නිවරැදිව අවබෝධ කර ගන්න.

උදා :-

1. ඖෂධය ගතයුතු වාර ගණන හා ප්‍රමාණය
2. කෑමට පෙරද පසුද යන වග.
3. ඖෂධය බොන අතරතුර ඇති වීමට ඉඩ ඇති සංකූලතා (රුධිර පීඩනය පාලනය සඳහා ලබා දෙන සමහර ඖෂධ වලින් අඩු රුධිර පීඩන තත්වයක් ඇති වුවහොත් දැනෙන රෝග ලක්ෂණයන් මොනවාද,  රුධිරයේ සීනි ප්‍රමාණය පාලනයට ලබා දෙන සමහර ඖෂධ වලින් අඩු රුධිර සීනි තත්වයක් ඇති වුවහොත් දැනෙන රෝග ලක්ෂණයන් මොනවාද වැනි කරුණු ) අසා දැනගත යුතුය.
4. නැවත රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂාවට පැමිණිය යුතු දිනය.

සෑම විටම තමා ගන්නා ඖෂධ නාමයන් හා ප්‍රමාණයන් මතකයේ තබා ගන්න. එමෙනඅස් ඖෂධ තබා ගැනීමට නිවැරැදිව ලේබල් කල සුලං නොවදින අසුරන සකසා ගන්න.

බෝනොවන රෝග සම්බන්ධයෙන් ඖෂධ ලබා ගැනීමට සිදු වන තත්වයක් යනු රෝගයේ තරමක් උත්සන්න අදියරකි. එනම් එහිදී රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම වැනි අසංතුලිතතා නිසා සිරුරේ බොහොමයක් අවයව වලට හානි පැමිණීමට හැකියාව ඇති තත්ත්වයකි. එම නිසා තමාගේ සෞඛ්‍යය පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය.

එනම්,

  • නියමිත කාලසීමාවකට වරක් වකුගඩු වල තත්වය, හදවතේ ක්‍රියාකාරීත්වය, ඇස් වල තත්වය පරීක්ෂා කර ගතයුතුය. මක් නිසාද රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල යාම දිගු කාලයක් පැවතීමේදී ඉහත අවයව වලට සියුම් ලෙස හානි සිදුවේ. එම සියුම් හානි පසුකාලීනව දරුණු තත්වයන්ට පත්වීමට ප්‍රථම හදුනාගෙන ප්‍රතිකාර කලයුතු වනවා.
  • දියවැඩියා රෝගයෙන් පෙලෙන අය තම පාද ගැන වැඩි අවධානයයක් දිය යුතුවේ. සෑම දිනකම හොඳින් සිය පාද පරීක්ෂා කලයුතුය (යටිපතුල්, ඇඟිලිකරු අතර ) මක්නිසාද බොහෝ දියවැඩියා රෝගීන්ගේ ස්නායු අන්ත දුර්වල වීමේ අතුරු විපාකය නිසා දෙඅත් දෙපා වල සංවේදීබව අඩු වේ. මෙවිට කුඩා තුවාල වල වේදනාව නොදැනේ. එම කුඩා තුවාල ආසදනය වුවහොත් එම ආසාදන පාලනය ඉතා අසීරු වේ. එවැනි අවස්ථා කෙලවර වන්නේ පාදයේ කොටසක් කපා දැමීමෙනි.

  • බෝනොවන රෝගයක් පවතින (දියවැඩියාව / අධි රුධිර පීඩනය) රෝගියෙකු සිය පවුලේ ළඟම ඥාතීන් බෝනොවන රෝග හදුනා ගැනීමේ පරීක්ෂා සඳහා යොමු කල යුතුය. බොහොමයක් බෝනොවන රෝග වලට ජානමය බලපෑමක් ඇත.
  • අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝගයකින් පෙලෙන සෑම කාන්තාවක්ම ගර්භණීවීමට ප්‍රථම සිය රෝග තත්වය ඉතා හොදින් පාලනය කරගත යුතුය.
  • බෝනොවන රෝගයකින් පෙලෙන ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න සෑම අයෙක්ම වෛද්‍යවරයෙකු හමුවන සෑම විටම සිය රෝග නිශ්ච ය කාඩ්පත ( Diagnosis Card) හෝ සායන පොත (Clinic record)රැගෙන යාම අත්‍යවශ්‍ය වේ. මක්නිසාද වෙනත් රෝගයකට ප්‍රතිකාර නියම කිරීමේදී දැනට ප්‍රතිකාර ලබන රෝගයේ පාලනයට බලපෑමක් නොවන ලෙස හා දැනට ගන්න ඖෂධ හා අනිසි ලෙස ක්‍රියානොකරන ඖෂධ තීරණය කිරීමට සිදුවන බැවිනි. 

ඔන්න දැනට වසරක පමණ කාලයක ඉඳන් කතාකල "අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීම" ලිපිපෙල අදින් අවසන් වෙනවා. අලුතින් කියවන අයට පහසුවක් වෙන්න එම ලිපි සියල්ල පහත දක්වන්නම්.

ඉහත ලිපි පෙල තුලින් පෙන්වා දෙන්න උත්සාහ ගත්තේ අපේ වර්තමාන නරක ජීවන රටාව නිසා අනාගතයේ උරුම වීමට නියමිත රෝග ගොන්නකින් වැලකීමට ගතයුතු පියවරයන්‍ වේ. එමෙන්ම අපේ දරුවන් වෙත කියා දියයුතු යහපත් ජීවන රටාවක තිබිය යුතු පියවරයන්‍ ය. මෙම පෙලින් කිසියම් හෝ දැනුමක් ලබා ඔබේ දිවිය සෞඛ්‍යයමත් වීමට රුකුලක් වූවා නම් එයයි මගේ සතුට. 
ඒ වගේම ලිපිපෙල පුරා රැඳෙමින් අදහස් දැක්වූ, එම අදහස් තුලින් මාගේ වැරදි නිවරැදි කල, නව කරුණු එකතු කල, මා හට දිගටම ලිපිපෙල ලිවීමට දිරිදුන් සියලුම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

සියලු දෙනාට සතුටින් පිරි සෞඛ්‍යයමත් දිවියක් !

19 comments:

  1. හුඟක් ප්‍රයෝජනවත් ලිපි මාලාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලිනි! කාලෙකින් දැක්කෙ.

      Delete
  2. බොහොම පින් පුතා.

    ReplyDelete
  3. සිංහලෙන් සරල ලෙස කරුනු පැහැදිලී කෙරෙන නිසා ඉතාම වටිනා ලිපි මාලාවක් බවට පත්ව තිබෙනවා. ස්තුතියි ඔබට

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ගිමන් වටිනා සටහන් පෙලට.

    ReplyDelete
  5. සිය වතාවක් විතර දොස්තරගෙනම මේ ටික අහගෙන ඇති.. ඒත් දුක යනු එවැනිම වතාවක්ම ඒ උපදෙස් අමතක කර කටයුතු කිරීමයි.. :(

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අහන්න අහන්න ටිකක් හරි පිළිපදින්න හිතෙයිනෙ.

      Delete
  6. වටිනා ලිපියක්. අපේ සමහර පිරිස් ඉන්නවා බෙහෙත් ගෙනල්ලා තමන්ට මතක් වුනාම එහෙම නැත්තන් සිරුරට වෙනසක් දැනුනාම තමයි බෙහෙත් බොන්නේ. අන්තිමේට ' ඒ දොස්තරගේ බෙහෙත් හරි නෑ' කියල කියනවා.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      හපොයි ඔව්. එහෙම අය ගොඩක් ඉන්නවා. හරියට රෝගී තත්වය පාලනය කරන්න අමාරු ඒ වගේ පුරුදු නිසා තමයි.

      Delete
  7. ආ මල්ලි දැන් OPD ද ඉන්නේ? ඔය OPD එකේ ප්‍රෙශර්, ෂුගර් චෙක් කලාම ලෙඩ්ඩු අහන ප්‍රෙෂර්/ෂුගර් නෝමල් නේද කියන ප්‍රශ්නය හරි දරුණු, බොහොම කල්පනාවෙන් උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. හරියට දොස්තරට එල්ල කරන යෝකර් පන්දුවක් වගේ. කාලයක් යද්දි මමත් ඕකට හොඳ උත්තරයක් හොයා ගත්තා. "බෙහෙත් වලින් දැනට ප්‍රෙෂර්/ෂුගර් කන්ට්‍රොල් වෙලා තියෙන්නෙ" .
    වැරදිලා හරි ප්‍රෙශර් නෝමල්, ෂුගර් නෝමල් කිව්වොත් පහුවැනිදා ඉඳලම මේ අය බෙහෙත් බීම අතහරිනවා.. අනිවා

    ReplyDelete
    Replies
    1. හම්මෝ අයියව දැක්ක කල්!
      PMCU එකක ඉන්නෙ අයියා, ඉතිං OPD, Medical clinic, NCD Clinic, PCU, Emergency ඔක්කොම තනියම කොහොම හරි කරගෙන යනවා. අයියා කිව්ව කතාව හරියටම හරි. එහෙම අත්දැකීම් මටත් තියෙනවා. බොහොම පරෙස්සමට හිතල බලල තමයි ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනෙ.
      ඉතිං මොනවද අලුත් තොරතුරු?

      Delete
  8. හොඳට කරුණු විස්තර කරලා තියෙනවා. ඒත් සීනි පෙත්ත අවසානයේදී වකුගඩු අක්‍රිය කරන ඒක ගැනයි, ශාරීරික අභ්‍යාස මගින් සීනි පාලනය කරගන්නා අන්දම ගැනයි අවධානය යොමු වෙලා මදි වගෙයි. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ කෙනෙක් විදියට නොව දියවැඩියා රෝගියෙක් විදියට මමත් මගේ blog එකේ ලිපි දෙකක්ම ලියලා තියෙනවා . ඒ ගනොබේ අදහසත් දන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවාට. ඔබ මතු කරන කරුණ ඇත්තක්. නමුත් දියවැඩියාව පිලිබඳ ලිපි ගණනාවක්ම පල කල බැවින් ව්‍යායාම හා දියවැඩියාව පාලනය පිළිබඳව එම ලිපි වල වරින් වර පලකල බැවින් මෙහි සඳහන් කලේ සාරාංශයක් පමණයි.පහත සඳහන් වන්නේ එම ලිපි.
      http://gimanhalablog.blogspot.com/2012/10/blog-post.html
      http://gimanhalablog.blogspot.com/2012/10/2.html
      http://gimanhalablog.blogspot.com/2012/10/3.html
      https://gimanhalablog.blogspot.com/2016/03/blog-post.html
      http://gimanhalablog.blogspot.com/2016/05/blog-post_27.html

      දියවැඩියා රෝගියෙකුගේ රෝගය හා බැදුණු අතුරුආබාධ හා ඖෂධ හා බැදුණු අතුරුආබාධ අතරින් වකුගඩු ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් මාසිකව සායනයකට සහභාගි වන විට මේ පිළිබඳව පරීක්ෂා කිරීම සිදු කෙරෙනවා.

      ඔබේ ලිපි කියෙව්වා. ඉතා වටිනා පණිවිඩයක් ඉන් කියවෙනවා. ඖෂධ භාවිතය අවම කරගෙන බෝ නොවන රෝග (දියවැඩියාව...) පාලනයට හැකි බවට හොඳ උදාහරණයක්.

      Delete
  9. කොහොමද ඩොක්ටර්..?
    වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හොඳින් ඉන්නවා රෙහානි. කාලෙකින් දැක්කෙ.

      Delete
  10. මේ ගැන මොකද හිතන්නෙ?
    http://www.nittaa.com/?page_id=1417

    ReplyDelete