Sunday, May 22, 2016

ලුණු නැතිවම බැරිද?


අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ හයවෙනි වෙනි පියවර ගැන තමයි මේ කතා කරන්න යන්නෙ.

ලුණු!

ගොඩක් වෙලාවට අපේ කෑම වල රස තීරණය කරන තීරණාත්මකම සාධකය නේද!

"හප්පෝ කටේ තියන්න බෑ, ලුණු වැඩියි නේද?"

"අද ලුණු දැම්මෙ නැද්ද?"  

ගෘහණියන්ට නිතර ඇහෙන නෝක්කඩු දෙකක්. මෙහෙම අඩු වැඩි වෙන ලුණු අපේ සිරුරට බලපාන්නෙ කොහොමද?

ලුණු වල අඩංගු සෝඩියම් අයන අපේ සිරුරේ කාර්යය ගණනාවකට අත්‍යවශ්‍ය වෙනවා.
- අපේ සිරුරේ ඇති විවිධ ද්‍රව වල නියම තත්වය පවතවාගෙන යන්න
- ස්නායු හා මස්පිඬුවල ක්‍රියාකාරිත්වය පවතවා ගෙන යාම මේවා අතර ප්‍රධාන තැනක් ගන්නවා.

එමෙන්ම සිරුරට කිසිම විටක ලුණු නිපදවන්න බැහැ,
ඒ කියන්නෙ ලුණු ආහාරයට එක් කර ගැනීම ගොඩක් වැදගත්! ඇත්තෙන්ම ඔව්.

කොහොමද ලුණු අපේ ආහාරයට එකතු වෙන්නෙ?

අපි ගන්නා ගොඩක් කෑම වර්ග වල ස්වාභාවිකවම ලුණු අඩංගු වෙනවා. මේ විදිහට එකතුවෙන ලුණු වලින් අපේ ලුණු අවශ්‍යතාවයෙන් සියයට අසූවක්ම (80% ) සම්පූර්ණ වෙනවා.
සමහර ආහාර වර්ගවල ඉහල ප්‍රතිශත වලින් ලුණු අඩංගු වෙනවා. මොකද ඒ ආහාර නිපදවීමේදී ලුණු එකතු කරන නිසා
උදා - කරවල, ජාඩි, බයිට්ස් වර්ග (මුරුක්කු,බැඳපු අල තීරු, ලුණු රසැති බිස්කට් වර්ග), ටින් මාළු, සකස් කරන ලද මස් වර්ග, අච්චාරු, සෝස්, මෝල්ට් පානයන්, සුප්කැට...

මීට අමතර කෑම පිසීමේදීත්  ලුණු එකතු කරනවා.

අපි දිනකට ලුණු කොතරම් ප්‍රමාණයක් කෑමට ගත යුතුද?
අනුමත ප්‍රමාණය වෙන්නේ දිනකට ලුණු ග්‍රෑම් 5ක් (එක් අයෙකුට දිනකට ලුණු තේ හැඳි 1ක් )

එතකොට ලුණු වැඩි පුර කෑවොත් මොකද වෙන්නෙ?
වැඩි වශයෙන් ලුණු සිරුරට එකතු වීම අධි රුධිරපීඩනය, මොළයේ රුධිර නාල පිපිරීම නිසා අංශභාග තත්ව ඇති වීම වගේම අමාශගත පිළිකා තත්ව ඇති වීමට හේතු වෙනවා.

කොහොමද ඉතිං ලුණු පරිභෝජනය අඩු කරන්නේ?

ඕනෑම දේකට ඇබ්බැහි වෙනවා වගේ ලුණු වලටත් අපි ඇබ්බැහි වෙනවා. මේ නිසා තමයි සමහර අය අඩු ලුණු රස සහිතවත් සමහරු වැඩි ලුණු රස සහිතවත් කෑමට කැමති වෙන්නේ. ඉතිං නියම විදිහට නම් පොඩි කාලෙ ඉඳන්ම ලුණු අඩුවෙන් කෑමට ගන්න පුරුදු වෙන්න ඕනෙ. අවුරුද්දට අඩු දරුවන් සඳහා කෑම පිලිවෙල කරන විට හැකි තරම් ලුණු අඩුවෙන් පාවිච්චි කිරීම ලුණු රසට දිව හුරු වීම වලක්වන්න පුලුවන් වෙනවා.

ඉහත සඳහන් කල විදිහේ අධික ලෙස ලුණු අඩංගු අහාර ද්‍රව්‍යය නිතර කෑමට ගැනීමෙන් වලකින්න ඕනෙ.
ආහාර පිසීමේදී හැකි තරම් ලුණු යොදා ගැනීම අඩු කරන්න උත්සාහ ගන්න ඕනෙ. ඒ වෙනුවට දෙහි, හෝ එවැනි ශාකමය රස කාරක යොදා ගැනීම කරන්න පුළුවන්. පුරුද්දක් ලෙස බත් උයන විට ලුණු එකතු කිරීම නතර කරන්න ඕනෙ.
කිසිම විටක කෑම සමඟ ලුණු වෙනම කෑම මේසයට තියන්න එපා.

ප්‍රායෝගිකව පවුලේ දෛනික ලුණු පරිභෝජනය මැන ගැනීම මගින් අධික ලුණු පරිභෝජනය වලක්වා ගැනිම.

උදාහරණයක් ලෙස දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය මැන පාවිච්චි කිරීම 
ඒ කියන්නෙ සාමාජිකයන් පස් දෙනෙක් සිටින පවුලකට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 25ක් ඒ අනුව ග්‍රෑම් 450ක පැකැට්ටුවක් දින 18ත් 20ත් පමණ කාලයකට සෑහිය යුතු වෙනවා.

දිවට ඕනෙ විදිහට ජීවත් වෙනවට වඩා අපිට ඕනෙ විදිහට දිව හදා ගන්න ඕනෙ!

4 comments:

  1. ලංකාවෙ ලුනු කනව වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. අපි ලුණු රසට ඇබ්බැහි වෙලා.

      Delete
  2. යකඩ වුනත් ගිල්ලම ඔරොත්තුදෙන වයසේ වැරදි ආහාර පුරුදු යන්තමින් හෝ දරාගන්න පුළුවන් වුනාට ඒ වයස පහුවෙද්දී ඒවාට ඔරොත්තු දෙනවා අඩුයි කියල මගේ අදහස. ඒ වුනාට ඒ වෙනකොට වැරදි පුරුදු අතහැරගන්න තරුණ කාලෙට වැඩිය ටිකක් අමාරුයි කියලයි කියන්නේ. පොඩි කලේ ඉදලම අඩු ලුණු රසට හුරු වෙන එක හොදයි නේද මිත්‍රයා ?

    පොටෑසියම් අයන අඩංගු ප්‍රභවයන් අලුත් පලතුරු සහ එළවලු බහුලව අහාරයට ගැනීමෙන් පොටෑසියම් අයන මගින් සෝඩියම් අයන තරමක් දුරට විස්ථාපනය කිරීමත් එමගින් අයන සමතුලිතතාවය ස්ථාවර කිරීමත් රෝගී වීමට පෙර නිවසේදී කල හැකි පිලියමක් යයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. ලුණු රසට දීව ඇබ්බැහි වෙන එක නවත්තගන්න එක තමයි හොඳම දේ ඒකට සුදුසුම කාලෙ තමයි පොඩි කාලෙ.
      අලුත් පලහුරු එළවළු වැඩි පුර කැම්මට ගන්නවා කියන්නෙ සිරුරට ඖෂධයක් වගේ.

      Delete