Wednesday, March 18, 2015

මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?



පසුගිය ලිපිය ඔයාල කියවන්න ඇති කියල හිතනවා. කියවපු නැති අය මෙතනින් ගිහින් බලන්න.

මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)


දැන් ඔයාල දන්නවා  අනවශ්‍ය විදිහට බර වැඩි වීම නැත්නම් තරබාරුකම අපේ නිරෝගී දිවියේ අවසානය බව. ඉහත ලිපිය දකින්න කලින් වුනත් ඔයාල හැමෝම මහත, නැත්නම් බර වැඩි වීම නරකයි කියල දැනගෙන හිටියා. 

ඉතින් එහෙම දැන දැනත් බර වැඩි වුනේ කොහොමද? දැන් ඔයාල කියයි අනේ මන්ද මම ඒ හැටි කන්නෙත් නෑ කොහොම බර වැඩි වෙනවද කියල හිතාගන්න බෑ කියල. තවත් කෙනෙක් කියයි මම නිතරම ව්‍යායාම කරනවා ඒත් බර අඩු වෙන්නෙ නෑ, බඩ අඩු වෙන්නෙ නෑ, තෙල් තට්ටු අයින් වෙන්නෙ නෑ. කොහේ හෝ වරදක් තියෙන්න ඕනෙ නේද!

අපි මේ වරද කරන්න පටන් අරන් තියෙන්නෙ අද ඊයෙ නෙවෙයි, මීට වසර 50කට විතර කලින්. මිනිසා තරබාරු සත්වයෙක් හැටියට පරිණාමය වෙන්න ගත්තෙ මෑත කාලයක ඉදන්. දැන් තරබාරු කම අපේ ජාන වල පටිගත වෙන තරමට අපිට බද්ධ වෙලා. 

ඒ වරද සිදුවුනේ කොහොමද කියන එක අද ලිපියෙන් බලමු.

කතාව පටන් ගන්නෙ 1950 ගනන් වල ඉඳන්, මේ කාලයේ තමයි මුලුන්ම මේ තරබාරු කම ගැන ලෝකයේ උනන්දුවක් ඇති වුනේ. මේ උනන්දුවට හේතුව වුනේ තරබාරු කම පිළිබඳව ඇමෙරිකානු විශේෂඥයෙකු වන වෛද්‍ය  ජීන් මයෙර් ( Dr.Jean Mayer) කරන ලද සොයා ගැනීමක් සමඟ.


ඔහු මීයන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දුන්නා ව්‍යායාම අඩුකම බර වැඩි වීමට ඍජුවම බලපාන බව. ඔහුගේ මේ සොයා ගැනීම ලෝකයේ ශරීර සුවතා පුනරුදයක් (Fitness revolution) ඇති කිරීමට හේතු වුනා. ව්‍යායාම වැඩසටහන් රූපවාහිනිය ආක්‍රමණය කරන්නට වූ අතර ශරීර සුවතා ආයතන සීග්‍රයෙන් ලොව පුරා ප්‍රචලිත වෙන්නට වුනා. මේ සමඟ 1980වසරත් 2000ත් අතරදී ඇමෙරිකා එක්සත් ජනපදය තුල ශරීර සුවතා ආයතන වල සාමාජික ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වෙනවා.
මේ කාලය තුලදීම තරබාරු බවට පත්වෙන ප්‍රමාණයත් දෙගුණයක් බවට පත් වෙනවා. ඒ අනුව සෑම ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් තරබාරු අය බවට පත් වෙනවා.

මේක පුදුම වැඩක්නෙ! ව්‍යායාම කිරීමට මෙතරම් උද්යෝගයක් ඇති වුනු කාලෙක තමයි තරබාරුකම සිග්‍රයෙන් වැඩි වෙන්නෙ.! සංඛ්‍යාලේඛන ඇමෙරිකාවෙන් ඉදිරිපත් උනත් ලෝකය පුරාම සොයා බැලූ විට සිදු වෙලා තියෙන්නෙ එකම දේ. 
කොහොමද මෙහෙම උනේ! 

අද වන විට බොහොමයක් දියුණු රටවල ප්‍රධානතම සෞඛ්‍යය ගැටලුව බවට පත් වෙලා තියෙන්නෙ තරබාරු කම. මේ පිළිබඳව දේශපාලකයන් ඇතුලු වග කිය යුත්තන් හැමදෙනෙක්ටම තියෙන්නෙ එකම පිළිතුරක් 

"කනවා නම් ඒ තරමට ව්‍යායාම කල යුතුයි, එහෙම නොවන එකයි එකම වරද ". මුලු ලෝකයම මුලාවට පත් කල ආකල්පය වුනේ මෙයයි.

"කන තරමට ව්‍යායාම කරන්න" ???

වඩාත් සවිස්තරාත්මකව කිව්වොත් අපි කන ආහාර වල අඩංගු ශක්තිය ( calories) තමයි මේදය විදිහට තැම්පත් වෙන්නෙ. අපි ව්‍යායාම කරන විට ශක්තිය (කැලරි) වැය වෙනවා. ඉතින් අපි කෑම බීම විදිහට සිරුරට ගන්න කැලරි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ව්‍යායාම වලින් දහනය කලොත් අපි මහත් වෙන්නෙ නෑ. හරිම සරලයි නේද!

ඒත් ඒක කියන තරම් සරල නෑ. එය සිහිනයක්. කොටින්ම කිව්වොත් අපි දිනපතා ආහාරයට ගන්න ශක්ති ප්‍රමාණය ව්‍යායාම වලින් ඉවත් කරන්න බෑ.පුදුම වෙන්න එපා. පහත උදාහරණ බලන්න.

  • කෝක් (කොකාකෝලා,පෙප්සි) අවුන්ස 20ක් (590 ml) ක කැලරි දහනය කිරීමට පැයකුත් විනාඩි 15ක් බයිසිකල් පැදිය යුතු වෙනවා.
  • කුකී එකක් (අපි දන්න පරිදි ක්‍රීම් බිස්කට් එකක් උදාහරණයකට ගම්මු)  කැලරි දහනය කරන්න විනාඩි 20ක් ඇවිදින්න වෙනවා.


ඉතින් හිතන්න අපි කන බොන දේවල් සියල්ල දහනය කරන්න දවසම ව්‍යායාම කලත් ඇති වෙයිද?

ඊලඟට අපි ගන්නා ආහාරයේ ස්වභාවය අනුවත් මේදය ගොඩ ගැසීමේ ප්‍රමාණය තීරණය වෙනවා.

උදාහරණයක් ගත්තොත්, අපි කිසියම් පලතුරක් ආහාරයට ගන්නවා කියල හිතමු. එහි ගොඩක් වෙලාවට තන්තු නැත්නම් කෙඳි ස්වභාවයක් තියෙනවා. ඒ කෙඳි නිසා ආමාශයට හෝ බඩවැල් වලට ඉක්මනින් ශක්තිය අවශෝෂණය කර ගන්නෙ බෑ. ඉතින් ඒ වගේ කෑමකදී හෙමින් තමයි ලේ වල සීනි ප්‍රමාණයේ වැඩි වීමක් වෙන්නෙ ඒ වැඩි වන ශක්තිය දහනය වීමට ලක් වෙනවා වගේම මේදය බවට හැරීමක් සිදු වන්නේ නැති තරම්.

ඊලඟට බලමු අපි පැණි බීම (soft drink) එකක් බොනවා. මෙහිදී ආමාශයට හෝ බඩවැල් වලට කරන්න කාර්යයක් නෑ, එහි ඇති කැලරි ක්ෂණිකව සිරුරට අවශෝෂණය වෙනවා. එහිදී අපේ අක්මාවට පණිවිඩයක් යනවා ඔන්න සිරුරට ලොකු කැලරි ලෝඩ් එකක් ලැබුනා කියල. එතකොට අක්මාව ලේ වල සිනි මට්ටම අඩු වෙන තෙක්ම ඉහත කැලරි යොදාගෙන මේදය නිපදවනවා.

ඉතින් ඉහත වර්ග දෙකෙන්ම එකම කැලරි ප්‍රමාණයක් ලැබුනත් පලතුරට වඩා ඉතා අධික මේද ප්‍රමාණයක් පැණි බීම මගින් නිපද වෙනවා.

එතකොට මේ "කැමති තරම් කාල හොඳට ව්‍යායාම කලොත් ඇති" කියල ප්‍රචාරය වුනේ කොහොමද? කන කෑම එකේ ස්වභාවය අනුව මේදය තැන්පත් වීම වැඩි වෙනවා කියන එක ප්‍රචාරය නොවුනේ/නොවන්නේ ඇයි?

මොකද මේ සියල්ල පාලනය සිදු වන්නේ ලෝකයේ ප්‍රබල ආහාර හා බීම නිෂ්පාදනය කරන සමාගම් කීපයකින් වීම. ලෝකයේ බොහොමයක් පර්යේෂණ වලට හා එම පර්යේෂණ සිදු කරන විශ්වවිද්‍යාලයන්ට අවශ්‍ය මූල්‍යාධාර ලබා දෙන්නෙ මෙම ආහාර හා බීම නිපදවන සමාගම්. ඉතින් එසේ කරන ඔවුන් පර්යේෂණවලින් හෙලි කරගන්න දේවල් සිය වාසිය සඳහා විකෘති කරනු ලබනවා.

මෑතකදී කරන ලද පර්යේෂණයක ප්‍රතිපලය ලෙස සඳහන් කර ඇත්තේ සිසිල් බීම හා තරබාරු බව අතර කිසිඳු සබඳතාවක් නොමැති බවයි, හොදින් සොයා බැලූ විට එම පර්යේෂණය සඳහා මුදල් යොදවා තිබෙන්නේ කොකාකෝලා සමාගම විසිනි. 

එමෙන්ම  සුප්‍රකට ඇමෙරිකානු වෛද්‍ය එකතුවක් වන American Academy of Family Physicians කොකාකෝලා සමාගම සමඟ අත්වැල් බැඳ ගන්නා විට එහි වෛද්‍යවරුන් 20ක් එම සංගමයෙන් ඉවත් වුනා, එහිදී ඔවුන් කියා සිටියේ "අපගේ දරුවන්ගේ සෞඛ්‍යය අනතුරේ හෙලන නිෂ්පාදනයන් ප්‍රචාරණය කරන සමාගමක් සමඟ මහජන සෞඛ්‍යය පිළිබඳව යහපත් ප්‍රචාරණයක් කරන්නේ කොහොමද" කියාය.

1977 දී ඇමෙරිකාවේ දී එළිදැක්වූ මැක්ගවර්න් වාර්තාව (1977 Dietary Goals for the United States) මගින් තරබාරු බව පෝෂණය හා සම්බන්ධ සෞඛ්‍යය ගැටලු අතර අංක එක වන බවත්, එයින් වැලකීමට තෙල් අධික ආහාර අවම කලයුතු බවත් පෙන්වා දෙන ලදී. මෙයින් පසු ආහාර නිපදවන සමාගම් ආහාර වලට ආහාර වල අඩංගු මේද ප්‍රතිශතය අඩු කිරීමට සිදු විය. එයින් වුනේ ආහාර වල ඇබ්බැහි කර ගන්නා සුලු රසය ඉවත් වීමයි. එයින් පසු ඔවුන් කලේ ආහාර වලට වැඩි වැඩියෙන් සීනි එකතු කිරීමයි.

සීනි

සීනි යනු පැහැදිලි වස වර්ගයකි. වෙනස එය ක්‍රියා කරන්නේ සෙමෙන් වීමයි. සීනි නියමිත මාත්‍රාව ඉක්මවූ පසු අක්මාවට විශකාරකයක් ( hepato-toxic) ලෙස ක්‍රියා කරනවා.  සීනි ( sucrose) අමාශයේ සිට අවශෝෂනය කරගෙන අක්මාවට යවනවා. එහිදී අග්න්‍යාසයේ සිට එවන ඉන්සියුලින් හෝමෝනය උදව් කරගෙන මේදය නිපදවීම සිදු කරනවා. මෙහිදී අග්න්‍යාසයෙන් නිපදවෙන අධික ඉන්සියුලින් ප්‍රමානය මගින් මොළයට බඩ පිරී ඇති බවට යැවෙන පණිවිඩය නවත්වනවා. එවිට මොළය තේරුම් ගන්නෙ අප බඩගින්නේ සිටින බවයි. මෙවිට සිදු වන්නෙ අපට වෙහෙස දැනීම, ශක්තියක් නැති බව දැනීම හා නිතර බඩගිනි දැනීම මෙවිට අපි තව තවත් කෑමට පටන් ගන්නවා. සීනි අධික කෑම වැඩි පුර කෑමට ගැනීමේ රහස එයයි. 
එමෙන්ම සීනි වල ඇබ්බැහි වීමේ ගුණාංගයක්ද අඩංගු වෙනවා.

කොකේන් නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහි කල මීයන් 43කට සිනි දිය කල වතුර හා කොකේන් දිය කල වතුර දින 15ක් ලබා දී ඔවුන් වඩාත් තොරා ගන්නේ කුමන වතුර දැයි පර්යේෂණයක් සිදු කර තිබෙනවා, එහිදී මීයන් 40ක්ම තෝරාගෙන තිබෙන්නේ සීනි දියකල වතුර. මින් පෙනී යනවා සීනි කෙතරම් අපව ඇබ්බැහි කර ගන්නවාද කියල.

ඉතින් ආහාර නිපදවන සමාගම් මෙම ගුණාංගය හොඳින්ම ප්‍රයෝජනයට ගන්නවා. ඔවුන් ඉලක්ක කරන්නෙ දරුවන්, එවිට ඔවුන් ජීවිත කාලය පුරාවටම සීනි රසයෙන් ඈත් වෙන්නෙ නැති නිසා. බලන්න අද නගරබද පෙදෙසක ටිකක් ඇවිදල අපිව කෑමට යොමු කරන දර්ශන කොච්චර තියෙනවද? සුපිරි වෙළෙඳසලක රාක්ක අතර ගමන් කරනකොට කීයක් නම් චොකලට්, බිස්කට්, ක්ෂණික ආහාර, බිම වර්ග දකිනවද, එවිට ගොඩක් අය ඒවත් තමන්ගෙ මල්ලට එකතු කර ගන්න පෙළඹෙනවා.

ලෝකයේ වැඩිම අදායම් උපයන මෙම දැවැන්ත අහාර නිපදවීමේ සමාගම් සිය නිෂ්පාදන අලෙවිය බින්දුවට හෙලිය හැකි මත හෝ පර්යේෂණ වාර්තා සමාජයට යාමට කිසි සේත්ම ඉඩ දෙන්නෙ නැහැ. 

වර්තමානයේ මෙම ආහාර සමාගම් වලට දරුණු පහරක් වූවේ මිචෙල් ඔබාමා (ඇමෙරිකානු ජනපති ආර්‍යාව ) ආරම්භ කල  "lets move" කඳවුර. 

මෙහිදී ඇය දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියා දරුවන් සීනි, ලුණු රසැති ආහාර වලින් මුදා ගන්නා ලෙස, මෙහිදීද මුදල් ආධාර දෙන මුවාවෙන් ඇයගේ ව්‍යාපෘතියට ලංවූ ආහාර සමාගම් (පෙප්සි, කොකාකෝලා, ක්‍රාෆ්ට්, මාර්ස්,....) ඇයගේ සටන් පාඨ වෙනස් කලා. 
"කැලරි අඩුවන ලෙස ප්‍රතිනිර්මාණය කල ආහාර ගමු, ව්‍යායාම කරමු" 
ලෙස. 
මුදල් වල බලයෙන් යලිත් ඊලඟ පරම්පරාවවත් තරබාරු බවින් මුදා ගැනීමේ වෑයමක් යටපත් වුනා.

දැන් ඔයාල හිතනවා ඇති ඔච්චර වැල්වටාරම් නොකියා සිසිල් බීම බොන්න එපා කඩ කෑම, සීනි තෙල් අධික කෑම කන්න එපා එළවළු පලතුරු කන්න කිව්ව නම් හරිනේ කියල.

ඔව්, ඒත් එහෙම කිව්වට අපිට කරන්න පුලුවන්ද? බැහැ මොකද අපි ඒ ජීවන රටාවට හුරු කරවලා. බලන්න අද ආහාර, බීම වර්ග ප්‍රචාරණය කරන්න කොයි තරම් දේවල් කරනවද? වර්ණවත් ලේබල්, ප්‍රසිද්ධ පුද්ගලයින්, කුඩා දරුවන් ආදරය කරන කාටූන් චරිත. බලන්න රූපවාහිනියේ රසවත්ව පෙන්නුම් කරන ආහාර පිළිබඳ වෙළඳ දැන්වීම්. බොහෝ විට ඒව දකින විට දරුවන් මෙන්ම වැඩිහිටියන් පවා "අපි හෙට අරක කමු, සති අන්තයට අහවල් තැනින් කමු" කියන තත්වයට පත්වෙනවා. අපේ අහාර රටාව මේ විදිහට දවසෙන් දවස වෙනස් වෙනවා, කාගේ උවමනාවටද? ආහාර සමාගම් වල පෙළඹවීමට. 

මොකක්ද ප්‍රතිඵලය, අද දවස වෙනකොට මාස හයක ළදරුවන් පවා තරබාරු බවෙන් පෙලෙන්නට පටන් අරන්.
1980 වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුල එකදු දරුවෙකු වත් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් ( Type 2 Diabetic) පෙළෙන බවට වාර්තා වුනේ නෑ. නමුත් 2010 වන විට දරුවන් 57 600ක් !

ලිපිය දිග වැඩියි වගේ නේද! ඊලඟ ලිපියෙන් හමුවෙමු ඇත්තටම අපි කල යුත්තේ කුමක්ද යන්න කතා කරන්න. - නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda)


17 comments:

  1. උෟප්ස්...... චොක්ලට්...? අයියෝ......

    ( චොක්ලට් වල කිරි ප්‍රමාණය වැඩි උනාම ඔය කේස් එක වෙන බව දන්නව.. ඒත් ඉතිං කිරි නැති චොක්ලට් කියල කනව නං කන්න තියෙන්නෙ කුකිං චොක්ලට් තමයි... ඔව් ඔව්... මගෙන් ඒවත් බේරගන්න බෑ තමයි..)

    කරන්න දෙයක් නෑ සුදා.... අර පරණ කියමන මතක් වෙන්නෙ ඔන්න ඔය වෙලාවට.... අකාල මරණං කාලා මැරියං... හි හි

    ( ඔව් හලෝ... මාත් සුපර් මාකට් යන එක මාසෙකට එක පාරක් දක්වා අඩු කරල තියෙන්නෙ... මොකද ගියොත් අනිවා රාක්කවල දිලිසි දිලිසි තියෙන චොක්ලට්, බිස්කට් ජාති ගන්නවමයි.... හැබැයි බීම ජාති නං එකක්වත් ගන්නෙ නෑ.. ඊට වැඩිය සැපයි කැරට් අලයක් බ්ලෙන්ඩර් කරල ගන්නව... හි හි )

    ReplyDelete
    Replies
    1. "කරන්න දෙයක් නෑ සුදා.... අර පරණ කියමන මතක් වෙන්නෙ ඔන්න ඔය වෙලාවට.... අකාල මරණං කාලා මැරියං.."
      "රාක්කවල දිලිසි දිලිසි තියෙන චොක්ලට්, බිස්කට් ජාති ගන්නවමයි"
      මෙන්න මේක තමයි කෞශි මම උදාහරණ සාක්ෂි එක්ක කියන්න උත්සාහ කරන්නෙ. අපි හැමෝම මිනිස්සුනෙ කන්න කැමති දෙයක් කන්න වෙන්නෙ නෑ කියන්නෙ අපේ මුලික අවශ්‍යතා වලින් එකක් හිර කරනවා කියන එක. එකෙ ප්‍රතිඵලය අපි නොදැනුවත්වම මානසික පීඩනයට ලක් වෙන එක. හිතන්න අපි කවදාවවත් පීසා එකක්
      දැකල අහල නෑ, කොකාකෝල ගැන අහලා නෑ බීලත් නෑ. ඉතින් එතකොට අපිට ඒව නෑ කියල තඹ සතේක දුකක් දැනෙයිද? අපි උගුලට අහු වෙලා ඉවරයි. දැන්
      ගැලවෙන්න ලොකු උත්සාහයක් ගන්න වෙනවා. හැබැයි අපේ ඊලඟ පරම්පරාව බේර ගන්න පුලුවන් අපි මොලේ ඇතුව වැඩ කලොත්.

      Delete
    2. එහෙනං ඉතිං අර පිටරටවල් වල කරනවා හෙල්දි කෑම හදන වැඩ සටහන් පටං ගන්න ඕනෙ ටීවී එකේ... හි හි... සැලඩ්ස් අරවා මේවා.... ඒවටත් පීසා කඩෙං ගහන ලීෆ්ලට් එක වගේ, ෆුල් කලර් කරලා, ලීෆ්ලට් ගහල, ටීවී වැඩසටහන් වලින් පොෂ් පෙනුමක් දෙන්න ඕනෙ.. මොකද කටට යන්න කලින් ඇහැටනෙ යන්නෙ...

      ( හැබැයි අපේ රටේ ඔය පැකට් කරන කෑම ජාති, බේකරි, රෙස්ටුරන්ට් වගේ සාමාන්‍ය කෑම ඉන්ඩස්ට්‍රි එක ගැන මට නං තියෙන්නෙ මහා කළකිරීමක්... කෑම වලට දාන දේවල් වලදි කිසිම ප්‍රමිතියක්, අඩුම ගානෙ මේවා කන්නෙ මනුස්සයො නේද කියල හිතන්න මනුස්සකමත් වත් නෑ ගොඩක් අයට..)

      දැං කොහොමත් අපි ඒ ජීවන රටාවලට හුරු වෙලා ඉවරයි නේ.. ඒවා ඉතිං හදන්න බෑ කොච්චර දැඟලුවත්.. ඒකනෙ යථාර්ථය... ඒ ජීවන රටාවෙ වැරදි ටික අඩුකරගන්නව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ..

      ( හැබැයි ඉතිං ඔයා කියනව ගේ මේ වගේ දේවල් වලදි ලොකු කෑම, බීම කම්පැණි අතේ වැඩි බලයක් තියෙන හින්ද මිචෙල් ඔබාමටත් කරගන්න බැරි උනදේ කවද කෙරෙයිද දන්නෙ නෑ..)

      Delete
    3. "එහෙනං ඉතිං අර පිටරටවල් වල කරනවා හෙල්දි කෑම හදන වැඩ සටහන් පටං ගන්න ඕනෙ ටීවී එකේ... හි හි... සැලඩ්ස් අරවා මේවා.... ඒවටත් පීසා කඩෙං ගහන ලීෆ්ලට් එක වගේ, ෆුල් කලර් කරලා, ලීෆ්ලට් ගහල, ටීවී වැඩසටහන් වලින් පොෂ් පෙනුමක් දෙන්න ඕනෙ.. මොකද කටට යන්න කලින් ඇහැටනෙ යන්නෙ"
      කරනවා නම් හොඳයි. ඒත් කවුද ඔය වගේ අනුන්ට හොදක් වෙන දේවල් වලට අනුග්‍රහය දක්වන්නෙ.
      රටක සමාජයක උනත් වැඩි වැඩියෙන් දැනුවත් වීම් වෙනකොට. සල්ලි බලෙන් උනත් ඇත්ත යට ගහන්න බැරි කාලයක් එනවා. ඒ තත්වය ඉක්මණින් ඇති කරන්න ඕනෙ.

      Delete
  2. මචෝ අපේ හුගක් අම්මලත් පොඩි එකා කෙට්ටුය් වගේ නං රටේ නැති කෑම ජාති දීල මහත් කරගන්ට බලනව ඇත්තටම තත්තෙ අර පොඩි එකා හොද තත්වෙක ඉදල අමු ලෙඩෙක් වෙනව ඒක තේරුං ගන්නෙ නෑ...

    කන්න එක්සයිස් කරන්න කීවට වැඩක් නෑ කොලපාටට තියෙන අයිටම් කැවෙන්නෙ නැත්තං මස්ම කන එකා කොයි තරං එක්සයිස් කලත් වැඩක් නැත්තෙ ඒකයි
    ඊට පස්සෙ ලයිට් වෝකිං අරකි මේකි කියල සෙද්දවල් පටං ගන්නව...
    ඒත් නියපොත්තෙන් කඩන්න තිනෙ දේ කඩල දාන්න කැමති නැ...

    ඒක වැරැද්දක් පිළි නොගන්න ලොකු වැරැදද්දක්

    ReplyDelete
    Replies
    1. මහේශ් බොහෝම පැහැදිලිව සාරාංශය කියලා තියෙනවා. මේ හරය සමාජයට යවන එක තමයි ලොකුම අභියෝගය වෙන්නෙ.

      Delete
  3. ඇත්ත නේන්නම් ව්‍යායාම කරන එකයි කැලරි දහනය වෙන තරමට ව්‍යායාම කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවානේ. කෘතිම තෙල්, පැණි රස කෑම වෙනුවට ස්වභාවික කෑම කන්න පුලුවන් නම් හුඟක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම විය යුත්තෙ ඒකයි තුශානි, බලන්න අදට වුනත් අපේ ගම්වල ආච්චිල සීයලට කොත්තුවක් නූල්ඩ්ස් එකක් දුන්නොත් මේ මොන ජරාවක්ද කටට රහට කන්න එළවළු 2ක් එක්ක බත් ටිකක් ගෙනත් දියන් කියන්නෙ නැද්ද. එතකොට අපි හිතන්නෙ මොන ගොඩයොද සුපිරි රහ තියන කෑමක් කාල පුරුද්දක් නැති කමනෙ කියල.
      කොහෙවත් ඉන්න කොම්පැනි වල අලෙවිකරණ වැඩසටහන් වලින් අපේ මොලයි දිවයි රවට්ටල කියන එක අපිට තේරෙන්නෙ නෑ.

      Delete
  4. අගනා උපදෙස් ටිකක් ගිමන්. බොහොම ස්තූතියි. අපේ ගෙදර අයට බලන්න මම මේක මූනු පොතට දානවා පුතා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. දැනුවත්කම තවත් අයට බෙදා දෙන එකයි ගොඩක්ම වටින්නෙ

      Delete
  5. ‘සීතාම්බර කෑම ලිස්ට් එක‘ කියල බ්ලැක්ලිස්ට් කරපු ලිස්ට් එකක් මමනං හදාගෙන ඉන්නව ගිමන්. මම ඔය පීට්ස, කොකාකෝල වගේ ඒව දාල තියෙන්නෙ ඒ ගොඩට. දැන් පේන විදිහට පැණිරස කෑම වලින් වැඩි හරියකුත් ඒකට දාන්න වෙනව වගේ.

    ලුණු සහ අජිනමොටෝ ගැනත් ලියනව නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම වටින තීරණයයක්.රුධිර පීඩනයට කෙලින්ම බලපාන ලුණු වගේම පිළිකා කාරකයක් ලෙස සැලකෙන අජිනමොටෝ(monosodium glutamate) ගැන වෙනම ලිපියකින් කතා කරන එක වටිනවා.

      Delete
  6. ඔයාට ගොඩක් ස්තුති ගිය මාස කීපය පුරාවට මං උත්සහ කරමින් කප්පාදු කරන්න පටන්ගත්ත සීනි කපාහරින්න විස්තරාත්මකව ලිපියක් ලිවිම ගැන,, වචනයක් ගානේ මට වැදගත්.. ස්තුති,,, ඔබ ඊලග කොටසත් ලියා අවසන් නිසා දෙකම පිළිවෙලට කියවන්න ලැබෙනවා අද

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ ලිපි පෝලිමම ඔයාට ගොඩක් උදව් වෙයි. අනිත් ටිකත් කියවල බලන්න.

      Delete
  7. බොහොම ස්තූතියි ගිමන් නිවන්නා මේ සටහන් වලට.
    හරි නම් මේවා කරන්න ඕනේ රජයෙන්. ඒත් ඒ මිනිස්සු වගේ වගක් නැතිව ඉන්නවා තමන්ගේ කොටස ලැබෙන නිසා.
    මට කෑම ගැන ලොකු ප්‍රශ්න තියෙන කෙනෙක්. ඒත් හැම වෙලාවකම මම ට්‍රයි කරන්නේ ගෙදර කෑම කන්න. පාට බීම වගේ දේවල් කවදාවත් ගෙදරට ගන්නෙවත් නෑ. කොච්චර පරෙස්සම් වුනත් අපි වටේ තියෙන රසායනකික දේවල් වුනත් අපිට බලපානවා. චෙර්නෝබිල් ඉසූස් හෙම අපිට තදින් බලපෑවා.
    අපේ රටවල් වල එහෙම බලපෑම් නැති වෙලා පරෙස්සම් වෙන්න පුළුවන් වුනත් තරුණ උගත් ළමයින්වත් ඒ ගැන උවමනාවෙන් වගකීමක් ගන්නේ නෑ. ඒක කණගාටුවට කරුණක්.
    ඔබට පින් මේ ඇස් පාදන සටහන් වලට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තටම රසයානික බලපෑම් වලින් ගැලවිලා ඉන්නවා කියන එක මෙ දවස් වල හරිම අමාරු කාරණයක්. ඒ තරමට කෘත්‍රිම දේවල් බහුල වෙලා. වරද මුල ඉඳන් හදන්න ඕනෙ. ඒ කියන්නෙ ළදරුවන්ගේ ඉඳන්.

      Delete
  8. owmai mewa kawruth therun gannethi ekai lokuma prushne hm kiyala wedak ne ithim

    ReplyDelete