Wednesday, March 11, 2015

මිනිත්තු දහය


වලාකුළු දෙකක් අතරින් රිංගා ගත් සැඳෑ හිරු රැස් කදම්බයක් අහසේ සිට කඳු හිස මතට අපූරු ආලෝක ස්ථම්භයක් තනා ඇත.

"අර බලන්නකො දේශාන්, මීදුම අස්සෙන් කන්දට ඉර එලිය වැටිල තියෙන ලස්සන"

මහීමා පොඩි එකෙකු මෙන් කෑගසයි. කොළඹ පරිසරයෙන් මිදී පිටිසර සෞම්‍ය සුන්දරත්වය දකින ඇයට දැනෙන සතුට ඉහිලුම් නොදෙන තරම්‍ ය. 

"ඔයා තාම නියම ලස්සන දැක්කෙ නෑ" දේශාන් ආඩම්බර සිනහවක් මුව රඳවාගෙන පවසයි.

"මොනාද අනේ!! දැන්වත් කියන්නකො කොහාටද යන්නෙ කියලා, මම හිතුවෙ නුවරඑළියේ තැනක් කියලා" 
මහීමා මැසිවිලි නගයි.

මහීමා හා දේශාන් විවාහ වී දින තුනකි. විවාහ උත්සව කටයුතු හමාර වී නිදහසේ දින කීපයක් ගත කල යුතුයැයි යෝජනා කලේ දේශාන්‍ ය. ඒ අනුව දේශාන් නවාතැන තෝරාගත් අතර එය මහීමාට හෙලි නොකලේ ඇයව පුදුම කරවන බවට පවසමිනි.
ඔවුන් ගමන් ගත්තේ නුවරඑළිය බදුල්ල මාර්ගයේ බදුල්ල දෙසටය. නුවරඑළියේ සිට හැතැප්ම 30 ක පමණ දුරක් ගිය පසු අතුරු පාරකට හැරිණි. තේ වතු මැදින් වැටී තිබූ එම පටු මාවත මහීමා වෙත වෙනම ලෝකයක් තැනීය. බැලු බැලු අත තිබූනේ තේ වතු වලින් වැසී ගිය කඳුය. සවස හයට ට පමණ වූ බැවින්, හිරු එළිය පවා සෞම්‍ය බවකින් යුක්ත විය.

"පොඩ්ඩක් බැහැල යමුකො දේශාන්"

"දැන් කරුවල වැටෙන්නත් ලඟයිනෙ බබා, මීදුම ආවොත් ඩ්ර්යිව් කරන්න අමාරුයි."

"අනේ චූට්ටකට"

"හරි හරි, ඔන්න නැවැත්තුවා"

මහීමා කාරයෙන් එලියට පැන්නේ මිටින් හල කුරුල්ලෙකු මෙනි. අසල තිබූ තේ වත්තට පැන එහි මුදුන තෙක් දිව ගියේ දේශාන්වත් ඇදගෙනය.

"මාර ලස්සනයි නේද අනේ, ඒත් එක ගෙයක් වත් පේන නෑනෙ"

"තේ වතු මැද්දෙ ගෙවල් කොහෙද හලෝ" දේශාන් පැවසූවේ මහීමාට ටොක්කක් අනිමිනි.

"සිරි නැරඹුවා ඇති නේද දැන්, අර ඉරත් බැහැල යනවා. යමුද " දේශාන් නොවිසිලිමත්‍ විය.

"තව දුරද දේශාන්, " කාරයට නගින අතර මහිමා විමසීය.

"නෑ, දැන් ලඟටම ඇවිත්."

එසේ කීවද පැය භාගයක පමණ දුරක් යනවිට මාර්ගය අවසන් විය . ඉන්පසු තිබුනේ වල් බිහි වූ වැලි පාරකි.

"මොකක්ද දේශාන් අපි කැලේකටද යන්නෙ? බලන්නකො පාරෙ හැටි" මහීමා මැසිවිලි නගන්නට විය.

"ඔන්න තියෙනව අපි නවතින තැන" දේශාන් පැවසූවේ කාරය නතර කරමිනි.

"කෝ අනේ කොහෙද ගෙයක්" අඩ අදුරේ වටපිට බලමින් මහීමා විමසුවේ විමතියෙනි.

"අර තියෙන්නෙ?" දේශාන් ඉහලට ඇගිල්ල දිගු කලේය.

"හානේ, " කීවාක් මෙන් මහීමා පුදුමයට පත් විය. 
එය කුඩා කන්දක් මත පිහිටි සුවිසල් නිවසකි. එතැන් සිට නිවස වෙත යාමට තිබුණේ කන්ද වටා සර්පිලාකාරව නිමවූ ගල් පඩිපෙළකි.

"කෝ අනේ ලයිට් එලියක්වත් නෑනෙ" දේශාන්ගේ අතේ එල්ලී පඩිපෙල නඟින මහීමා පැවසීය.

"මෙච්ච්ර දුර කොහෙන්ද බබා ලයිට්" 

"එතකොට?" 

"රජ කාලෙ වගේ තමා ඉන්න තියෙන්නෙ, එතකොටනෙ රොමෑන්ටික් වෙන්නෙ" මහීමාව හිනස්සවමින් දේශාන් පැවසීය.

කතාවෙන් කතාවෙන් දෙදෙනා නිවස වෙත ලඟා විය. වසර සියයකට වඩා පැරණි බවක් පෙන්නුවද එය හොඳ තත්වයේ විය. ඉදිරියේ වූ දැවැන්ත දොර හා එයටම ගැලපෙන විශාල යතුරු තහඩු පෞරාණික බව තවත් වැඩි කරයි.

"පුංචි බේබි එන්න පරක්කු උනේ මොකද? හානෙ සීදේවි නෝනෙක්නෙ, එන්න එන්න ඇතුලට හීතලත් ඇතිනෙ"
වයසක යුවලක් ඔවුන් පිළිගත්තේ මහීමාව තවත් විමතියට පත් කරමින්ය.

වයසක කාන්තාව පිළිබඳව නම් මහීමාට එතරම් ප්‍රිය මනාප බවක් ඇති නොවීය. මහීමා දෙසම ගිලින්නට මෙන් බලා සිටි ඇය කෙරෙහි මහීමට ඇති වූවේ අප්‍රසන්න හැඟීමකි.

"ඔයාට කියන්න බැරි වුනානෙ, මේ අපේ ගෙයක්. සීයට අයිති වෙලා තිබ්බෙ, ඉඳල හිටල තමා දැන්නම් මේ පැත්තෙ එන්නෙ, මේ පබ්ලිසුයි එයාගෙ නෝනයි තමයි මේවා බලාකියා ගන්නෙ."
මහිමාට මෙය ඇදහිය නොහැක.

"බේබිලාට උඩ කාමරේ ලෑස්ති කලා"

"යං චේන්ජ් කර ගත්තහම ඔයාගෙ මහන්සිය ඇරෙයි."

"බේබි වතුර උණු කරල නාන කාමරෙන් තිබ්බා, කෑම රත් කරල තියෙන්නෙ, එහෙනම් අපි ගිහින් එන්නම්."

"හා හොඳයි පබ්ලිස්, උදේම එනවනෙ" 

"ඔව් ඔව් බේබි, යන්නම් නෝනා" පබ්ලිස් ගේ බිරිඳ මහීමා දෙස අමුතු බැල්මක් හැලමින් පැවසීය.

"දේශාන්, අපි දෙන්න කොහොමද මෙච්චර ලොකු ගේක තනියම ඉන්නෙ" මහිමා අවට බලන අතර විමසීය.

"ඉතිං හොදයිනෙ, කොච්චර නිදහස්ද" දේශාන් පැවසූවේ ඇයව තමා වෙත ඇද තුරුලු අර ගනිමිනි.

"මම එහෙනම් වොශ් එකක් දාගෙන එන්නම්, ඔයා ගෙයි ලස්සන බලන්නකො." 

"හ්ම්ම් , ඉක්මනට එන්න හොඳේ" මහීම පැවසූවේ චකිතයකින් යුතුවය.

දේශාන් නිකම ගිය පසු මහීමා අවට නරඹන්නට විය. සාලය මැද පිහිටි සුවිසල් උදුනට ගිනි දමා තිබුනෙන් හාත්පස හොදින් ආලෝකමවත් විය. දුර්ලභ දැවයෙන් නිමවා තිබූ ගෘහභාණ්ඩ නිසා නිවස සැබෑවට පැරණි රජ මැදුරක් මෙන් දිස් විය. බිත්ති මත රාමුකරන ලද රූප ගණනාවක් විය. 


ඔවුන් දේශාන්ගේ මුතුන් මිත්තන් වන්නට ඇතැයි මහීමා අනුමාන කලාය. ඔවුන්ගේ මුහුණු වල තිබූ රෞද්‍ර පෙනුම දේශාන්ටත් යන්තම් ගෑවී ඇතැයි ඇයට සිතිණි. නිවසේ තැනින් තැන දල්වා තිබූ ලන්තෑරුම් වලින් අඳුර නිවසේ කොන් වලට පලවා හැරියේය. එහි තිබූ දැඩි නිහැඩියාව නිසා මහිමාට අමුතුම මුස්පේන්තු බවක් හැඟෙන්නට විය. ඇය සාලයෙන් ඉවත් වී තරප්පුව නැග ඉහල මාලයේ වූ නිදන කාමරය වෙත පිය නැගීය. 

තරප්පු පෙල මැද ලන්තෑරුම නිවී ගොස්‍ ය. හිතේ හෝදිසියෙන් ඉහල නගින මහීමාගේ වම් ගෙලට හදිසියේම උණුසුම් සුළඟක් වැදුනාක් මෙන් දැනින. එය සුළඟකට වඩා කවුරුන් හෝ හෙලූ හුස්මක් මෙනි. මහීමා ගැහෙන හදින් යුතුව තරප්පුව ඉහලට දිව ගියේ දෙතුන් පලක ඇද වැටෙමිනි. කාමරයට පැමිණ දොර වසාගෙන හති අරින්නට විය.

"මම බොරුවට බය වෙලා, හිත තමා මේ ඔක්කොම කරන්නෙ"

ඇය ඇඳට ගොඩවිය. එය වචනයේ පරිසමාප්තියෙන්ම සැපපහසුය. පිරිසිදු සුසිනිදු ඇඳ ඇතිරිලි හා කොහෙන්දෝ හමා එන මල් සුවදැති සිසිල් සුලඟ දෙඇස් නිදි බර කරයි.

ඇය මුහුණලා සිටියේ කාමරයෙන් පිටත කොරිඩෝවට ඇතුල් විය හැකි දොර වෙතය. වැඩි ප්‍රමාණයක් වීදුරු යොදා නිමවා තිබූ එහි දොරරෙදි සුලඟට එහා මෙහා වීමේදී සඳ එලියෙන් බැබලෙන මුලු වතුයායම පෙනෙයි.
එදෙස වශීකෘත වී බලාසිටි මහීමාට කිසිවෙකු කොරිඩෝවේ එක් පසක සිට අනෙක් පසට ඇවිද යනවා මෙන් දැකිය හැකි විය. 

"දේශාන් වොශ් දාගෙන ඇවිත් මට කිව්වෙවත් නෑ"

මහීමා ඇදෙන් බැස කොරිඩෝවේ දොර හැර සඳලුතලයට ඇතුළු වූවාය. කාමරයට පමණක් සීමා වන්නට තනා තිබූ සඳලුතලයේ කිසිවෙක් දැකිය නොහැක. මහීමා යලිත් තැති ගත්තාය.
ඇය ක්ෂණිකව යළි කාමරයට ඇතුළු විය. දේශාන් සොයා යාමට කාමරයෙන් පිටවීමට දොර හරිනවාත් සමඟම ඇයට දැකිය හැකි වූවේ දොර අසල සිටගෙන සිටගෙන සිටින ඉටිපන්දමක් අතින් ගත් වයස්ගත කාන්තාවකි. මහීමා කෑ ගසා පස්සට පැන්නාය.

"දුව දුව ! ඇයි මේ.. මම දේශාන්ගෙ දුරින් ආච්චි වෙන කෙනෙක්, ඇයි මේ බය වෙලා. අන්න පල්ලෙහා ඔක්කොමල බලාගෙන ඉන්නවා ඔයාල දෙන්න කෑමට එනකල්. පුතා ඇඟ හෝදගෙන එයි. එතකල් අපි කෑම ගමු. දුවට බඩගිනිත් ඇතිනෙ?"

මහීමාට කිසිවක් තේරුම් ගත නොහැක. "මේකත් දේශාන්ගෙ පුදුම කිරිල්ලෙ කොටසක්ද කොහෙද"

ඇය කාන්තාව පසු පස යලි පහත මාලයට යන්නට විය.
"දේශාන් හරිම නරකයි, ආච්චිල ගැන වචනයක්වත් කිව්වෙ නැහැනෙ"

කාන්තාවගෙන් ප්‍රතිචාරයක් නොමැත. "කන් ඇහෙනවත් අඩුද මන්දා" මහීමා සිතුවාය.

පහල මාලයේ වූ විශාල කෑම මේසයක් වෙත ඇය ලඟා වූවාය. "හප්පේ මේ කවුද?" ඇය සිනාසෙමින් විමතියෙන් ඇසුවාය.
ඇය ඉදිරියේ වූ කෑම මේසයේ රදල පිරිසක් හිඳගෙන සිටිනු ඇයට දැකිය හැකි විය. ඔවුන්ගේ ප්‍රතාපවත් පෙනුම, ඇඳුම් ඇයව වසර සියයක් පමණ අතීතයට ගෙන ගියාක් මෙනි.

මහීමාව කැඳවාගෙන පැමිණි කාන්තාව අතක් දිගු කර හිස් අසුනක් පෙන්වීය.

මහිමා එහි අසුන් ගත්තාය.

"හරි එහෙනම් කමු, අපි හොදට කන බොන උදවිය, එහෙනම් හොදට බෙදාගෙන බඩපිරෙන්න කන්න ඕනෙ"
එතැන සිටි මූලිකයායැයි සිතිය හැකි තැනැත්තා මහීමාට පැවසීය.

"දේශාන් එනකල් ඉමුද"
මහීමා පැවසුවද පිරිස කෑම ආරම්භ කර අවසානය. ඇය වෙතද කෑම බදුන් පිරිනැමෙන්නට විය.

මහීමා වෙත ලැබුණ සෑම කෑම බදුනකම වූවේ විවිධාකාර ක්‍රමයට උයන ලද මස් වර්ගය. එහි සුවඳ ඇයගේ බඩගින්න වැඩි කලේය.
"මොනවද මේ මස් වර්ග, ගොඩක් මස් ජාති මට ඇලර්ජික්" 

කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැත. සියල්ලන්ගෙ මුහුණු වල දැකිය හැකි වූවේ ගුප්ත සමච්චල් සහගත සිනාවක් පමණකි.

"මෙයාලගෙ ලොකුකම" සිතමින් මහීමා බදුනේ වූ මස් කැබලි එහා මෙහා කලාය. දුටු දෙයි ඇයට හීන් දාඩිය දැම්මාය. 
මේ මිනිස් ඇඟිලි නොවේද?!
ඇය අප්පිරියාවෙන් ඉන් එකක් ගෙන බැලීය. එහි මුද්දක්ද ඇත. 

"දෙයියනේ... මේ.. මේ.. මේක දේශාන්ගෙ මුද්දනෙ..! 
මහීමා මේසයෙන් ඉවතට පැන යටි ගිරියෙන් කෑගසන්නට විය.



 ~ ~ ~ ~ ~ ~ ~  ~ ~ ~ ~ ~ ~ ~  
"මහී මහී දෙයියනේ ඕක නවත්තන්න"
මහීම පියවි සිහියට පැමිණියේ දේශාන්ගේ හඬ ඇසීමෙනි.

"දෙශාන්... , ඔයා .. ඔයා හොදින් නේද?, එයාල ඔයාට මොකද කලේ?" මහීමා දේශාන්ගේ ඇඟේ එල්ලී පිස්සියක් මෙන් කියවන්නට විය. දහඩියෙන් පෙඟී තෙත්වී ගිය ඇදුමින් යුතුව ඇඳ මත සිටින ඇය දුටු දේශාන්ට සිනා පහලවේ.

"එයාල? කවුද? අයියෝ බබා ඔයා හොඳවයින් හීනයක් දැකල වගේ?"

"හීනයක්? මහීමා වටපිට බැලුවාය. ඇත්තටම ඇය සිටින්නේ ඉහල මාලයේ ඇඳ මතය.
"එතකොට මම දැක්කෙ හීනයක්ද? මහිමා සවිස්තරාත්මකව ඇගේ සිහිනය දේශාන්ට විස්තර කලාය.

"මම වොශ් දාල එන්න ගිය විනාඩි දහයට ඔයා ඔච්චර දිග හීනයක් දැක්කද?" දේශාන් තවමත් සිනාසෙයි.

නමුත් මහීමා තවමත් යථා තත්වයට පැමිණ සිටියේ නැත.
 "අනේ දේශාන් අපි වෙන කොහේ හරි නතර වෙමු. මට නම් මෙහෙ ඉන්න බැහැ"  ඇය හඩා වැටෙන ස්වරයෙන් පැවසීය.

"හ්ම්ම් බලමුකො" 
දේශාන් පැවසුවේ ජනේලයෙන් ඔබ්බට වූ මීදුම් අඳුරෙන් වැසුණු තේ වත්ත දෙස ගුප්ත බැල්මක් හෙලමිනි.


10 comments:

  1. එක බැල්මෙන් සිත කැලඹුනාම විනාඩි දහයට ඔයිට බරපතල හීනයක් උනත් දකින්න ඇහැකි. කතාව ගෙතීම නං ඉතා අලංකාරයි...

    ReplyDelete
  2. ආව් ආව්.... හොම්මං කතාවක්......

    ReplyDelete
    Replies
    1. :) හොම්මං කතා වලට බය නැති හැඩයි.

      Delete
  3. හොම්මන් කතාවක්.. මම ආසම එකක්..

    හිත අප්සට් ගිය වෙලාවට එක විනාඩියකුත් ඇති විකාර දේවල් ඔළුවට එන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ගොඩක් කාලෙකින් මේ වගේ එකක් ලිව්වෙ.

      Delete
  4. අද කතාව නම් හරිම ලස්සනයි. කතා විලාශය හරියට හිත තුල කුතුහලය පුරවනවා ගිමන්.

    ReplyDelete
  5. නියමයි !. කතාවේ මම ආසම කොටස අර මිනී ඇඟිලි මතුවෙන හරිය ඒ හරියෙ නම් කතාව නියමෙට හිතේ මැවුන :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හංසිත් අත්භූත කතා වලට කැමතියි වගේ.

      Delete