Sunday, April 28, 2013

සහේතුක ආඩම්බරය



"ඒයි අන්න අරූ එනවා"

"මේ ඌ මෙතනින් යද්දිම ඔක්කොම එකට කියමු"

"මෙන්න කුණු සමිතය එනෝ... අපෝ මුගේ ලඟ ගඳ.."

සමිත කෝපයෙන් ඔවුන් දෙස බලත්ම ඔවුන් සිනා සෙමින් දිව ගියේය. සමිත කරබාගෙන යලි පන්තිය වෙත පා නැඟීය.

"එයාගේ තාත්ත පාරෙ කුණු අදින එකලු රස්සාවට කරන්නෙ"

අසල සිටි යුවතියන්ගේ කතාවෙන් මදක් ඔහුගේ කන වැකින. කෝපයෙන් ඔවුන් දෙස රවා බැලූ ඔහු පංති කාමරයට ඇතිලු විය.

මෙවැනි සිදුවීම් සමිතට අරුමයක් නොවීය. නමුත් දිනෙන් දින අඩුවක් නොමැතිව ලැබෙන කටුක ඔච්චම් කිරීම් ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් තිබුනේය.

ඉගෙනීමට අසාවක් හා දක්ෂතාවයක් දැක්වූ ඔහුට පාසැල නීරස තැනක් බවට පත් කිරීමට මේ සමච්චලයන් හේතු වී තිබිණ. ගුරුවරුන්ගෙන් පවා අඩු සැලකිලි ලැබීම ඔහුව තවත් අධෛර්‍යයට පත් කලේය.

එදින තත්වය තවත් බරපතල වූවේ වාර්ශික අධයාපන චාරිකාව සඳහා පංතිය කණඩායම් වලට බෙදීමේදීය.

"අපෝ කුණු සමිතව නම් අපේ ගෲප් එකට ගන්න එපා" 

පංතියේ කටකාරයෙක් හඬ නගා පැවසූ වේ තවත් කිහිප දෙනෙක්ව සිනහවට හවුල් කර ගනිමිනි. වාර විභාග වලදී වැඩි ලකුණු ලබා ගැනීම පිළිබඳව සමිත සමඟ ඇති ඊර්ශ්‍යාව බොහෝ දෙනෙක් පිරිමසා ගත්තේ මේ ආකාරයෙනි.


"ඇයි මොකද උඹ රවන්නෙ? පලයන් යන්න කුණු සමිතයා" 

කෝපයෙන් රවා බලමින් සිටි සමිතට තල්ලුවක් දමමින් ඔහු යලි පැවසීය. ඉන්පසු ඇරඹියේ ගුටි කෙලියකි.

සිතේ සිර කරගෙන සිටි තරහ පිට කරන්නටත් එක්කම සමිත කටකාරයාට පහර පිට පහර එල්ල කර නැගිට ගත් සැණින් පොත් බෑගයද ගෙන පාසැලෙන් පිට විය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


වේලාසණින් ගෙදර පැමිණි සමිත දුටු කාන්තිට පුතුගේ වෙනස වැටහින.

"මොකද පුතේ අද කලින්ම? ඇදුමත් හොඳටම කිලිටු කර ගෙන. මොකද කාත් එක්ක හරි රණ්ඩුවක්වත් ඇල්ලුවද?"

සමිතගේ කේන්තිය හා දුක හැඬුමකට හැරුනේ එවිටය.

"මට ඉස්කෝලෙ යන්න බෑ අම්මේ, ලමයි විහිලු කරනවා! කුණු සමිතයා කියනවා"
"තාත්තට වෙන කරන්න රස්සාවක් තිබුනේම නැද්ද"

හැඬුම්බරව කියාගෙන ගිය සමිත මවගේ ප්‍රතිචාරය ඇසීමටද නොනැවතී වත්ත පහල සුවිසල් අඹ ගහ යට සකසා තිබූ බංකුව වෙත ගියේ, මතක ඇති කාලයේ සිට ඔහුගේ සිත නිවන ස්ථානය වූවේ එය බැවිනි.

"ඕවා ගණන් ගන්න එපා පුතේ, මෙන්න මේ බත් ටික කාල යන්න ඇවිත්. දවල්ට කෑවෙත් නෑනෙ"

කෑ ගැසූ කාන්ති, සමිත ආපසු හැරෙන බවක් නොදුටු නිසා සුසුමක් හෙලා ගෙට ගියාය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

මඳ වේලාවකින් ගෙදර පැමිනි සිරිල් දෑකීමෙන් අතීත ආවර්ජනාවක යෙදෙමින් සිටි කාන්ති දැහැනින් මිදුනි.

"ඔයත් අද කලින් ආවද? අන්න පුතණ්ඩියත් අද රණ්ඩුවක් එහෙම අල්ලලා කලින්ම ගෙදර ආවේ"

"අපේ පුතා? ඒ මොන එහෙකටද?"

"වෙන මොකක්ද ඉතින් හැමදාම කියන එක තමයි, ලමයි විහිලු කරනවයි  කියන්නෙ ඔයාගේ රස්සාව ගැන කියල"

කුස්සියේ දොර වෙත පැමිණි සිරිල්ට ඈත අඹ ගස යට බංකුවට වී ගැඹුරු කල්පනාවකට වැටී සිටි පුතු දැකිය හැකි විය. 

සිරිල් උලුඅස්සට හේත්තුවක් දමාගෙන දිගු සුසුමක් හෙලීය.


සිරිල්ගේ පියා සේවය කලේද නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේය. නීතියෙන් බේරෙන්නට මෙන් වසර කිහිපයක් පාසැල් ගිය සිරිල් යන්තම් ලමා විය ඉක්මෙන්නටත් මත්තෙන් පියාගේ රැකියාවට හවුල් වූවේ අඟහිඟකම ලමා වියට තහන්චි දැමූ හෙයිනි.
නමුත් සිය රැකියාවට සමාජයෙන් ලැබෙන ප්‍රථිචාර දැනෙන්නට වූවේ සිය දිවියේ හිරිමල් යෞවනය අනෙක් අයට මෙන් විඳීමට බාධා ඇති වන විටය.

ඔහුට තමාට සමාජයේ ඇති වලංගු භාවයේ අඩුලුහුඬුකම් තදින් දැනෙන්නට වූවේ කාන්ති හා ආදරයෙන් බැදුනු පසුවය. අසීරුවෙන් වුවද කාන්තිගේ සිත දිනා ගත්තද සිරිල්ගේ මනුස්සකමවත් යහපත් ගතිගුණවත් කාන්තිගේ දෙමව්පියන්ට වටහා ගැනීමට ඔවුන්ගේ විවාහයෙන් වසර කිහිපයක් යනතුරුම නොහැකි විය.

නගරසභාවේ රැකියාවට අමතරව රාත්‍රියේ සිකියුරිටි රැකියාවක්ද කල සිරිල් සුරා සූදුවෙන් තොර වූවෙක් බැවින් රටට ණය නොවී තුන් වේල කා පවුලේ කටයුතු අඩුවක් නැතුව ගෙන යෑමට සමත් වූවෙක් වූවේ උගත් කම කෙසේ වෙතත් වැඩිමනක් දෙනෙකුට නොමැති සමාන්‍යය බුද්ධිය ඇත්තෙකු වූ බැවිනි.

නමුත් සිය කුණු ට්‍රැක්ටරයේ රැකියාව නිසා සිත් තැවුලට පත් වූ අවස්ථා නම් දුලබ නොවීය. මගුලකට මරණ ගෙදරකට ගියත්, පන්සලේ ගමේ පොදු කටයුත්තකට ගියත් කවුරුත් තමා දෙස බලන්නේ "ආ මේ අර කුණු ට්‍රැක්ටරේ සිරිල්" යන බැල්මෙන්ය. පන්සලේ හාමුදුරුවන් පැන්ෂන් ගිය ප්‍රින්සිපල් මහත්තයා වැනි සැබෑ මනුස්සකම හඳුනන කිහිප දෙනෙක් පමණක් තමා දෙස මධයස්ත ලෙස බලා හිතවත්ව කතා බස් කරන බව සිරිල්ට දැනී තිබුනකි. 

තමා කෙසේ වෙතත් මෙවැනි කාරණා මේ නොදරුව කොහොම ඉවසන්නද.

සමිත දෙස බලාගෙනම කල්පනාවෙ සිටි සිරිල් ඒ දෙසට පා නැගීය. කලබලයක් නැතිව සමිත සිටි බංකුවෙන්ම හිඳ ගත්තේය.


"පුතාට යාලුවො විහිළු කරනවලු නේද?"

පියා සෙමෙන් යොමු කල ප්‍රශ්නයට සමිත නිහඬවම සිටියේ තමාට විඳින්නට වූ අපහාසයන්ට වැරදිකරුවා පියාය යන තරහ නිසාමය.

"ඔය කියන ඒවට තරහ ගන්න එපා. පුතාගෙ තාත්තා හොරෙක්වත් වංචාකාරයෙක්වත් නෙවෙයිනේ. අනික බලන්න මම කරන රස්සාවෙන් කොච්චර සෙවයක් වෙනවද. මම ඒ රස්සාව කරන නිසයි පුතාට විහිලු කරන හැමෝම දෙනා ලස්සනට පිරිසිදුවට ඉන්නෙ. මම ඒ දේ නොකෙරුවොත් එයාලගෙ කුණු ගොඩ ගැහිල එයාල තමයි ගඳ ගහන්න ගන්නෙ."

පියාගේ කතාවේද ඇත්තක් තිබේ යැයි සමිතට සිතින.

"පුතාගේ සීය කලෙත් ඔය රස්සාවමනෙ, එයා මට ඉගැන්නුවෙත් ඒ රස්සාවම කරන්න ඉතින් වෙන දෙයක් ඉගෙන ගත්තෙ නැති හින්ද මට ඒ රස්සාවම කරන්න වුනා. මගෙ පුතා ඉගෙන ගන්න හපනනෙ. පුතා හොඳට ඉගෙන ගත්ත කාලේක අපි හැමෝටම ආඩම්බර වෙන්න පුලුවන් ලොකු මහත්තයෙක් වෙන්න පුලුවන්. ඒත් පුතේ ඒ මහත්තැන් කමට වඩා සතුටු වෙන්න පුලුවන් හොර බොරුවක් නැතුව තමන්ගේ රස්සාවට ආදරෙන් ඒක් කරන එකෙන්. හරියට රස්සාව කරන ඕනැම කෙනෙක්ට ඒ දේ ගැන ආඩම්බර වෙන්න පුලුවන්"

පුතුගේ කරවටා අතක් දමා ගනිමින් සිරිල් පැවසීය.

සමිත්ට තමාගේ කෝපය ගැන ලැජ්ජා සිතිණ.
"ඇත්ත තමා එයාලයි මෝඩයෝ"

සමිත එසේ සිතමින් පියාට තුරුල් විය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


වසර තිහක පමණ කාලයක පසු දිරා පත් වෙමින් තිබුනද අඹ ගසේ ප්‍රතාපවත් බවේ නම් කිසිම අඩුවක් නැතැයි සමිතට සිතුනි. බංකුව නම් අලුත්වැඩියා වී තිබේ. 

ගෙවුණු කාල වකවනුව තුල කෙතරම් දේ සිදු වීද! සමහර දේ ගැන පැහැදිලි මතකයක් නොතිබුණද වසර ගණනාවකට පෙර මේ බංකුවේදී තමාට පියා කියූ දේවල් නම් හොඳින් මතක තිබිණ. ඒ වදන් තමාට මෙතරම් බලපාවි යැයි එදින ඔහුගේ ලපටි සිතට නොවැටහින. නමුත් එය තම සිතේ නොමැකෙන සේ කාවැදුන බව ඔහු ගෙවුනු ජීවිතය පුරාවටම වටහා ගත්තේය.

අද තමා දෙපයින් සිට ගත්තෙකි, එදා තමාට සමච්චල් කල සමහරෙක් අද තමන්ට කට පුරා "සර්" කියයි. එදා තම පියාට බැල්මක කරුණාවක් නොදැක්වූ අය අද දුටු තැන හිස නමා ආචාර කරයි. 

එ සැමදේටම වඩා සමිත් මනුශ්‍යත්වයෙන් පිරිපුන් මිනිසෙකු විය. නමුත් ඔහු ආඩම්බර වන්නේ ඒ කිසිදෙයක් ගැන නොවීය, තම ගමනට මාර්ගෝපදේශකයා වූ සිය පියා ගැනය.

පුතුට වාරු වී බංකුව දෙස බලා සිටි සිරිල්ට අතීතය යලි මතක් විය.  ඔහුටද දැනුනේද ඊට නොදෙවෙනි අඩම්බරයකි. ඒ දහසක් බාධක මැද මනුශ්‍යත්වය පිරි හදවතක් ඇති සමාජයට මෙහෙයක් කල හැකි පුතෙකු තැනීමේ ආඩම්බරයයි.



39 comments:

  1. හිතට ලොකු බරක් දැනුනා. හදවතට දැනෙන්න ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා.

      Delete
  2. ඇත්ත කතාවක්. අද අපේ සමාජය බෙදිලා තියෙන්නේ කිසිම හරයක් නැති පදනම් මත. මනුස්සකම හඳුනන ලෝකෙක අවංක හිතින් කරන හැම රස්සාවක් ම ගෞරවාන්විත යි නේද? ලස්සණට ලියලා තියෙනවා, ගිමන් අයියේ. මම නං හිතන්නේ සල්ලිවලින් ළං කර ගන්න බැරි හුඟක් දේවල් අධ්‍යාපනේ අපිට අරගෙන එනවා. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ධාරා!
      රැකියාවක ගෞරවාන්විත විදිහට කරන්න හුරුවෙන්නේත් නිවරැදි අධ්‍යාපනයෙන්ම තමයි.

      Delete
  3. සිරා කතාවක්..... මට හරි අමුත්තක් දැනුනා කියවන් යද්දී..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුදු මහත්තයා!
      ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!

      Delete
  4. සිරාම සටහනක් හදවත පතුළට ම වදින්න ලියලාතියනවා... කොතරම් කළත් තාමත් අපේ සමාජය මේ විදියම තමයි.. පාසල් වල මේ දේවල් අදටත් සිදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලීන්!
      සමාජයේ ආකල්ප වෙනස් කිරීම තමයි විසඳුම, ඒකම තමයි කරන්න අමාරුත්

      Delete
  5. ඔය විදිහෙ රැකියා කරන අය දිහා අවඥාවෙන් බලන අයට අමතකයි ඒ අය නොහිටියොත් තමන්ට නහයක් තියාගෙන ගෙදර ඉන්නවත්, පාරක යන්නවත් ලබෙන්නෙ නැති බව. පරිසරය පිරිසිදුව තියෙනකොට "ෂා ලස්සනයි" කියන අයට අමතකයි, වටපිටාව එහෙම ලස්සනට තියාගන්න මහන්සි වෙන අය ගැන.

    සමාජයේ තියෙන ගැටලුවක් දිහා බොහොම මානුෂීය විදිහට හිතන්න පොළඹවන ලස්සන කතාවක් ගිමන් :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත චාම්ස්. ඒත් කීයෙන් කී දෙනාද ඒ අය දිහා මානුශික විදිහට බලන්නෙ.
      ගොඩක් ස්තූතියි අදහසට!

      Delete
  6. අපූරු සටහනක් ගිම්..දිගටම ලියන්න..

    ReplyDelete
  7. අද සමාජයට ගැලපෙන නිර්මාණයක් නේද ??
    ඇත්තටම වටින කතාවක්..

    ReplyDelete
  8. hithata thadin danuna. Hamotama aapassa harila balanna dewal bohomai

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිත්තරී, ගොඩක් ස්තූතියි!
      ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට.

      Delete
  9. සමාජය දිහා මානුෂීයව දැකපු කෙනෙක් ගිමන් අයියේ ඔයා.............හැමදාමත් ඉදිරියටත් රසවත් කථාවක් හිතට අමුත්තකුත් නොදැනුනාම නෙවෙයි. අර්තවත් හිතන්න දෙයක් ගන්න දෙයක් එක්කාසු වුණ අපූරු නිර්මාණයක්.............

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිත්තමී!
      සමාජය ගැන කතා කිරීමෙන් තමයි නිවරැදි විය යුතු තැන් හොඳින් පෙන්නෙ.

      Delete
  10. හරිම සංවේදි බං...

    උබ දන්නවද අපෙ අයියගෙ පොඩි එකා ලොකු උනාම මොනාද කරන්නෙ ඇහුවම කුණු ටැක්ටරයක ඩ්‍රැයිවර් කෙනෙක් වෙනව කිව්වා. ඉංග්ලිෂ් මීඩියම් ඉගෙන ගන්න කොල්ලා කෝමද කුනු ඩ්‍රැයිවර් කෙනෙක් වුනාම :))

    ඌ ආසයි බං ට්‍රැක්ටර් වලට..

    ජය !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෑම්!
      ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට.
      :D ඔහොම තමා දැන් හැදෙන පොඩි එවුන්. හැබැයි ලොකු වෙද්දි ඕවා මතක තියෙයිද

      Delete
  11. //වසර තිහක පමණ කාලයක පසු දිරා පත් වෙමින් තිබුනද අඹ ගසේ ප්‍රතාපවත් බවේ නම් කිසිම අඩුවක් නැතැයි සිරිල්ට සිතුනි. බංකුව නම් අලුත්වැඩියා වී තිබේ.//

    මෙතන "සිරිල්ද" ? "සමිතද ?"

    හොරකම් මැරකම් කරලා මිනී මරනවානම් තමයි ලජ්ජා වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. හපොයි ඇත්ත නේන්නම් එතන වෙනස් වෙන්න ඕනෑ. දැන්ම හදන්නම්. ගොඩක් ස්තූතියි පෙන්නුවාට මල්ලි!

      Delete
  12. ඔය කුණු අදින එකාට හිනා වෙන එකත්, මේ කතාවේම විදියට ටයි එක දාගෙන රස්සාව කරන එකාට සර් කියලා කොන්ද නවන්න සැදී පැහැදී ඉන්න එකයි අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික ලක්ෂනයක්.

    තුප්පහි සංස්කෘතියක් තියෙන රටවල ඔය දෙන්නම වැඩට එන්නේ කාර් එකේ වගේම අගේට එකිනෙකාට ගුඩ් මෝනිං කියලා කතා කරලා දෙපැත්තට යනවා. කුණු අදින එකාටත් අර වගේම ආත්ම ගෞරවයක් තියෙනවා.

    දැන් ගිමන් මොකෝ අපේ පැත්තේ එන්නෙම නැත්තෙ, වර්ජනය කරලද? මම කිව්ව දේකට හිත රිදුනා වත්ද?

    ReplyDelete
    Replies
    1. අපේ සමාජයේ හොඳ ලක්ෂණ වගේම. ඔය වගේ මෝඩ ආකල්පත් ගොඩක් තියනවා. අනාගතයේදිවත් නිවරැදි වේවි කියලා හිතමු.
      අපෝ එහෙම මුකුත් නෑ අයියා. බ්ලොග් එකේ මුකුත් ලඟදි දැම්මෙ නෑ නෙද. අනිත් පෝස්ට් කියෙව්වා මුකුත් කියල එන්න නම් බැරි වුනා. පහු ගිය ටිකේ ගොඩක් අවිවේකී වුන නිසා ගොඩක් ඒවට කොමෙන්ට් කරන්න බැරි වුනා.
      දැන් ඉතින් විවේක කාලය අවසන් වීගෙනනෙ එන්නෙ.

      Delete
    2. >> බ්ලොග් එකේ මුකුත් ලඟදි දැම්මෙ නෑ නෙද.<<
      අප්‍රේල් මාසෙම මගේ ඩෙනිමේ පෝස්ට් නවයක් දාලා තියෙනවෝ. මම දැන් ගැනලා බැලුවා. :)

      Delete
    3. අහ් මම ඉතින් නොවරදවා අදහස් ලියන්නෙ HeyDude බ්ලොග් එකටනේ.
      ( කම්මැලිකමට අඩුවෙන් පෝස්ට් දාන බ්ලොග් එකම අල්ලගෙන නෙද :D ) ඩෙනිමේ පෝස්ට් තමයි හොරෙන්ම කියෙව්වා කිව්වෙ.

      Delete
  13. සමාජයේ යහපත වෙනුවෙන් සේවාවක් කරන හැමෝමව අගය කරන්න ඕනේ. මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙන්න ඕනේ ඒ මිනිස්සුන්ව අගය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒකයි විය යුතු දේ. ගොඩක් ස්තූතියි හසිත.

      Delete
  14. //ඒ දහසක් බාධක මැද මනුශ්‍යත්වය පිරි හදවතක් ඇති සමාජයට මෙහෙයක් කල හැකි පුතෙකු තැනීමේ ආඩම්බරයයි.//

    මේක වැදුනා ඉහ මොලේටම :(


    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැනෙන්න ඕනෙත් ඒකම තමයි රජෝ!
      ගොඩක් ස්තූතියි!

      Delete
  15. සංවේදී කතාවක් ලසනට ගලපලා ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිශාන්!

      Delete
  16. මිනිස්සුන්ගේ සිතුවිළි වෙනස් වෙන්න ඕන අයියේ.. ඒත් නොවෙන එකම දේත් එකම තමයි..

    ReplyDelete
  17. ඊයෙ පෙරේදා මේකට කමෙන්ටුවක් දාන්න හිටියත් කාලය හරස් වුනා. ඉතින් හරිම සංවේදී සටහනක් ගිමන්. මම හිතන්නේ මේ අපි වෙනස් වියයුතු කාලයයි. මේ කතාවේ ආදර්ශයන් ගොඩාක් තියෙනවා. කෙනෙක් ගේ රැකියාවෙන් කෙනෙක් මනින්න බෑ. අපේ කුණු අදින අය ගැන අපේ තාත්තා නිතරම කියන්නෙ , ඒ අයම මේ දේ කරනවා ඇරෙන්න අපිට කරන්න බැහැනෙ, ඒ නිසා ඒ අයට සලකන්න කියලයි. අපි අපේ ට්‍රැක්ටරේ ඉන්නා හතර දෙනාටම අවුරුද්දට පොඩි සංතෝසමක් දෙනවා. ඒ අතර එක සැරයක් මම බතික් සරම් අරන් දුන්නා. ඒ පාර හරිම සතුටුයි. අනෙක් කාරනය අපි අපේ දෙමාපියන්ව අමතක කරන්න නරකයි අපි කොච්චර උසස තලයකට ආවත්. මට ගිය සතියේ මගේ නෑනා සමඟ කාලෙකින් පිළිසදරක යෙදෙන්න ලැබුනා. ඇය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්‍ය වරියක් නිසා මට කාලෙකින් තමයි එවැනි අවස්ථාවක් ලැබෙන්නෙ. ඇය මට කී දෙයක් මම මෙහි සටහන් කරන්නේ හරිම සතුටින්. චාන්දී " මම මගේ මුල්ම දේශනයේ දී මම එතනට එන දරුවන්ට කියන්නේ අද මම මෙතැන ඉන්නේ බොහෝ දෙනෙක්ගේ මඟ පෙන්වීම නිසායි. නමුත් මගෙ ජීවිතේ දෙන්නෙක් හරිම විශේෂයි. ඒ මාගේ අම්මයි , තාත්තයි. ඒ දෙන්නා නැත්තන් මම අද මෙතැන නෑ. ඒ දෙන්නා මා වෙනුවෙන් කරපු කැපකිරීම් අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඔය දරුවනුත් කොයිතරම් ඉහල තලවලට ගියත් ඒ දෙමාපියන් අමතක කරන්න එපා කියල මම මගෙ අම්මගෙයි තාත්තාගෙයි පිතූරයක් සමඟ ස්තූතියි කියල දමලා තමයි දේශනය ඉවර කරන්නේ" කියල. මගේ නෙතටත් කඳුලක් එක්කලා මේ කියමන. මමත් මගෙ දරුවන්ට කියනවා නිතරම ආච්චියි , සීයයි නැත්නම් මම අද මේ තත්වේ නෑ කියලා. අපේ තාත්තා, මට ඒ දේ නිතරම කීවා. මගෙ ආච්චී මහරඟම පොලේ ලැවරියා විකුනලා තමයි මේ සියල්ලම ගොඩනැඟුවේ කියලා. ලැජ්ජා වෙන්න දෙයක් නෑ. අපි දියුණු වුනේ එහෙමයි දුව කියලා. කොයිතරම් අව්‍යාජද ඒ වදන්.
    ඔබ වැනි දරුවන් මේ දේවල් ගැන හිතන එකත් අනෙක් අය දැනුවත් කරන එක ගැනත් හරිම සතුටක්. මේවාගේ සමාජයක් හැදුන දාට අපේ රට සුරපුරයක් වේවි. ඔබට ජයම පතනවා ඉදිරි අනාගතයට.

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ඔබට, ඉතා දිග අදහස් දැක්වීමක්.
      මගේ බලාපොරොත්තුවත් එයයි. යම් මාතෘකාවක් ගැන සංවාදයට ලක් වෙන තරමටයි එය ගැන හැඟීම වැඩි වෙන්නෙ. ඉහත කියල මහාචාර්‍යවරිය වගේ අය ගොඩක් දුබලයි අද කාලෙ. අනාගතයේදීවත් සමාජය නිවරැදි මගට යොමු වේවායි ප්‍රාර්ථනා කරමු!

      Delete
  18. කියවල ඉවර වෙද්දි මට හරි අමුතු දෙයක් දැනුන. මොකද මම තාත්තගෙන් ඇත්ව යින්න නිසා.බොහොම ස්තුතියි ලස්සනට ලියල තියනව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි! ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!
      යම් හේතුවක් නිසා තාත්තාගෙන් ඈත් වෙලා ජීවත් වුනත් හිතේ තියන ආදරය මේ අදහසෙන් පේනවා.

      Delete
  19. ගොඩ කලකින් ගොඩ වැදුනේ මල්ලී.... ඇත්තටම වටිනා ආදර්ශමත් කතාවක්. කෙනෙක් කිසි දිනක තමන්ගේ සමාජ තත්ව ය නිසා ලැජ්ජා විය යුතු නෑ ...මේ තත්වය නැති වෙන්න තව බොහෝ කල් යාවි මයෙ හිතේ...

    ReplyDelete