Sunday, April 7, 2013

නොනිමි සෙනෙහස



ශීලා අතුගෑම නවත්වා කඩුල්ල වෙත නෙත යොමු කලේ මඳක් වෙහෙස නිවෙන තෙක්ය, අසල්වැසි නිවසේ කුමාරි කඩිමුඩියේ පාසැල වෙත දුවයි. ඇය ගුරුවරියකි.

"අද නම් හොඳටම පරක්කු වුනා අක්කෙ"

"ඒක තමයි මාත් බැලුවේ, ටිකක් අඩිය ඉක්මන් කලා නම් හරි"

කුමාරි සිනාවක් පාමින් ශීලා පසු කලාය. ශීලාගේ නෙත ගියේ ඇය ඇඳ සිටි සාරිය වෙතයි.

"අලුත් එකක් වගේ"

එහි වර්ණය හා කුඩා මල් මෝස්තරය ඇගේ සිත් ගත්තේය.

"තව ටිකක් තද පාට වුනා නම් තවත් හොඳයි. දාහක්වත් වෙන්න ඇති" 
ඇය සුසුමක් පිට කර යලි මිදුල අතු ගෑම පටන් ගත්තාය.

ලබන මාසයේ යෙදී ඇති මංගල උත්සවයක් සඳහා සාරියක් ගැනීමට ශීලා මාස ගණනක සිට පෙරුම් පුරන්නීය. වසර ගණනකින් ඇය සාරියක් මිලට ගෙන නැත. රැකියාවකට නොයන බැවින් පැරණි සාරි කිහිපය ඇය පරෙස්සමෙන් පාවිච්චි කලාය.

ඇගේ සැමියා වූ වරුණ රාජ්‍ය සමාගමක ලිපිකරුවෙකි. පවුලේ සියලු කටයුතු කෙරුනේ ඔහුගේ පඩිපතිනි. ශීලාගේ සකසුරුවම්කමින් හා වරුණගේ මහන්සියෙන් යන්තම් වේල පිරිමහගෙන, තමාගේම නිවසක සිහිනය සැබෑ කර ගැනීමට කීයක් හෝ ඉතිරි කරගන්නට ඔවුන් වෑයම් කලෝය.

ඇඳුම් ආයිත්තම් වලට ඇලුම් කරන්නියක් වුවද ඒවා යටපත් කොට ගෙන සිටීමට ශීලා බොහෝ විට වෙර දැරීය. සාරියේ කල්පනාවෙන් මිදුලා අතුගා හමාර කල ශීලා නිවස වෙත යමින් සිතා ගත්තේ අද සවස ටවුමට ගිය විට සාරියක් බැලීමට යායුතු බවය.

අල්මාරිය හැර ඇඳුම් අතර සඟවා තිබූ මුදල් පසුම්බිය ගෙන යලිත් මුදල ගණන් කර බැලුවාය.

"නමසීයයි, අරය දීල ගිය තුන්සීයත් එක්ක එක්දාස් දෙසීයයි. මේ ගානට හොඳ එකක් හොයා ගන්න පුලුවන් වෙයි"

අද සාරියක් ගන්නවා යන හැඟීම ඇගේ සිත පුරවා දැමීය. ඒ උද්යෝගයෙන් නිවසේ වැඩ කටයුතු වෙනදාටත් කලින් හමාර කලාය.

ඇගේ දැහැන බිඳුනේ ජනිඳුගේ පැමිණීමෙනි.

"අහ් අද මොකද කලින්ම ඇවිත්? තාම එකටවත් නෑ නේද"

"අයියෝ අම්ම නම් මොන සිහියෙන් ඉන්නවද මන්දා! අද නිවාඩු දෙන දවසනෙ"

ශීලාට එය මතකයට ආවේ එවිටය.

"ඔව් නේන්නම්, හා හා එහෙනම් ගන්න බලන්න රිපෝර්ට් එක"

ජනිඳු කියූ සැනින් එය රැගෙන එන උජාරුව දුටු ශීලාට ප්‍රතිඵල සිතා ගත හැකිවිය.

"ෂා! මේ පාර එක වෙලානේ" ඇයට දැනුනේ පුදුම සතුටකි.

ජනිඳු සෙල්ලමට බර වුවද කවදාවත් ඉගෙනුම් වැඩ මඟ හරින්නෙකු නොවීය.

ප්‍රගති වාර්තාවේ වූ අනෙකුත් ලකුණුද ඇය පිරික්සා බැලුවේ ආඩම්බරයෙනි.

"ඔන්න අර කිව්ව එක අරන් ඕනේ!"

ජනිඳු මවගේ මුහුණ පිරික්සමින් ඇසුවේය.

ජනිඳු වසර මුල සිටම ක්‍රිකට් පිත්තක් ඉල්ලන බව ඇයට මතක් වූවේ එවිටය.

"අම්මේ ඉසුරු නියම බැට් එකක් අරන්, ඒකෙන් නියමෙට ගැහුව හැකි ලෑලි වලින් කැපුව ඒව වගේ නෙවෙයි. මටත් එකක් අරන් දෙන්නකෝ"

"අපෝ ක්‍රිකට් ගහල හරියනවද, ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අඩු වුනොත් එහෙම ගස්සන්නම්කො ක්‍රිකට්"

"හා එහෙනම් ටර්ම් ටෙස්ට් එකේ පලවෙනිය වුනොත් මට බැට් එකක් අරන් දෙනවද?"

"හ්ම්ම් එහෙම උනොත් අරන් දෙන්නම්කො"

ශීලාට මසකට දෙකකට පෙර සිය පුතුට දුන් පොරොන්දුව මතක් විය.
ඇය හුස්මක් හෙලා ජනිඳුගේ හිස අත ගෑවාය.

"හා හා අරන් දෙන්නම්කෝ, දැන් ගිහින් නාගෙන එන්න, බත් බෙදල දෙන්න"

ජනිඳු මිටින් හැරි කුරුල්ලෙකු මෙන් දිව ගියේ හද පිරි සතුටිනි.



~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


"පුතා මම ටවුමට ගිහින් එන්නම් ඉක්මනට, කොහෙවත් යන්න එපා, ගෙට වෙලාම ඉන්න හොඳද?

පැය කාලකින් පමණ ටවුමට පැමිණි ශීලා කඩිනමින් නිවසට අවශ්‍යය බඩුමුට්ටු ගෙන හමාර කරද්දීම අහම්බෙන් මෙන් ක්‍රීඩා උපකරණ අලෙවි කරන වෙළඳසැලක් ඇස ගැටින.

"අර බැට් එක කීයක් වෙනවද?"

"575ක් වෙනව මිස්"

"අපෝ එච්චර ගානක් වෙනවද!"

"525කට දෙන්නම් මිස්"

ශීලා කල්පනාවට වැටුනානය. ක්‍රිකට් පිත්ත ගත හොත් සාරියක් ගැනීමට නොහැකි වේ. "හොඳ සාරියක් තියෙනවද කියල බලල එනවා, හොඳ එකක් නැති වුනොත් බැට් එක ගන්නවා"

"මම ටිකක් බලල එන්නම්කො"

"මිස්ට හින්ද 500ට දෙන්නම්"

ඇය එයට පිළිතුරක් නොපවසා කඩයෙන් එලියට බැස්සාය. ඒ අසලම වූවේ ඇඳුම් කඩයයි.

එය තුලට ඇතුල් වූ සිට බැලු බැලු අත වූවේ සිත් පැහැර ගන්නා ඇඳුම් ආයිත්තම්ය. ඒවා අතපත ගාමින් ඇය සාරි තිබූ කොටස වෙත ඇදුනාය. 

වෙළඳ සහායිකාව මේසය පුරා විසිරවූ සාරි ගොඩ අතර ඇය අතරමං විය. ඉතා මිල අධික සාරි අතගා බැලුවේ ඉමහත් ආසාවෙනි. මිලට ගත හැකි වටිනාකමින් යුතු සාරි ගොඩ පෙරලමින් සිටින අතර ඇයට දුටු සැනින් එක් සාරියකට සිත ගියාය.

"මේක කීයක් වෙනවද"

"එක්දාස් දෙසිය පනහක් වෙනව මිස්"

හිතූ තරම් මිල වන්නේද නැත, හෙඩ් පීස් එකද ඇය පුදුම කරන තරමට සිත් ගත්තේය. සිතට සරිලන අයුරේ සාරියක් ලැබීමේ සතුට මුලු හිත පුරාම දිව යන්නට විය. සාරිය ඇඟේ දවටා අසල තිබූ කණ්නාඩියෙන් බැලුවාය.

"ෂා මට නියෙමෙට මැච් වෙනවා " ඇය තවත් හැරි හැරී බැලුවාය.

කන්නාඩිය තුලින් සිය රුව දකිද්දී ඇයට එකවර සිය පුතු මතකයට නැගින.

"මේක ගත්තොත් පුතාට බැට් එක ගන්න වෙන්නෙ නෑ, මොකද කරන්නෙ"

"අම්මේ එහෙනම් එනකොට බැට් එකක් ගේන්න හොඳේ, අර මම කිව්ව විදිහෙ එකක්, මතකයි නේද?" තමා නිවසින් එන විට ජනිඳු කියූ අයුරු ඇයට මතක් විය.

"ආයෙ ලබන මාසෙ වෙනකල් නම් රුපියල් පන්සීයක් හොය ගන්න වෙන්නෙ නෑ, පව් නිවාඩු කාලෙටනෙ සෙල්ලම් කරන්න බැට් එක ඕනැ වෙන්නෙ"

වෙළඳ සහකාරිය දැනටමත් සාරිය පාර්සල් කරයි.

"මේ මම පස්සෙ දවසක එන්නම්"

"ඇයි මිස් සාරිය ගන්නෙ නෙද්ද?, මේක ඉක්මණට යයි, අපරාදේ මිස්ට හොඳට මැච් වෙනවා, මේ ගානට ආයෙ මෙහෙම එකක් හොයන්න වෙන්නෙ නෑ"

වෙළඳ සහායිකාවගේ වදන් ඇයට මහත් ලෝබකමක් හා ශෝකයක් ඇති කලද, යලිත් වරක් සාරිය ආසාවෙන් අතගා බලා සිට ආපසු එන්නට හැරුනාය.



~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


ශීලා ඈත එන අයුරු ජනේලයෙන් බලා සිටි ජනිඳු, දොර හැර පිම්මේ පෙර මගට දුව අවේය.

"අරක ගෙනාවද?" 

ජනිඳුගේ ඇස් සතුටු දායක පිළිතුරක් බලාපොරොත්තුවෙන් දිලිසේ.

ශීලා සිනාසී

"හ්ම්ම් මෙන්න ඔයාගෙ තෑග්ග" 

බඩු අතරින් ක්‍රිකට් පිත්ත ජනිදුට දුන්නාය.

ඇස් ලොකු කර ගනිමින් දෑතින්ම එය ගත් ජනිඳු එවෙලේම එය කඩා බැලුවාය.

"ෂා, මරුනේ මම ආසම කරපු විදිහෙ එකක්! නියමායි!"

ජනිඳු සතුටින් කෑ ගසන්නට විය.

එය දුටු ශීලාටද සිනා නැගුණ. කයේ ගමන් මහන්සිය මෙන්ම සිතේ වූ කණස්සල්ලද හිරු දුටු පිණිමෙන් අතුරුදන් වී ගියේ ඇයටත් නොදැනීමය.

"හා හා ඕකත් උස්සන් ක්‍රිකට් ගහන්න යන්න කලින් එන්න, පොඩි කෑමක් ගෙනාවා"

"නියමයිනේ කෝ!" අසමින් ජනිඳු මව පිටුපසින් දිව ගියායේය.



~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


"ඉතින් එච්චර හොඳ සාරියක් තිබිලත් ඇයි ඔයා ගත්තෙ නැත්තෙ" 

වරුණ විමසිලිමත්ව ශීලාගේ මුහුණ දෙස බලමින් ඇසුවාය.

"හොඳයි නම් තමා අනේ ඒත් කමක් නෑ, පුතා බැට් එකක් ඉල්ලන්නෙ මාස ගානක ඉඳන්. පව්නෙ නිවාඩු කාලේ සෙල්ලම් කරන්නෙ නැතෑ. අම්මෝ ගෙනත් තියනව දැක්කහම තිබුන සතුට! සාරිය නම් මොකද්ද, වෙඩිම් එකට අක්කගෙන් එකක් ඉල්ල ගත්ත හැකි"

එසේ පවසමින් ඇය ජනිඳුගේ කාමරයේ දොර රෙද්ද මෑත් කර බැලුවාය.
ජනිඳු බැට් එකත් තුරුල් කරගෙනම නින්දට වැටී ඇත, නමුත් මුවේ මඳ සිනහවකි. 
ඒ සිනහව දුටු ඇයට ලය පුරා හිරියක් වට්ටමින් ආදරය මුසු සතුටක් දැනෙන්නට විය. 

ශීලා ආදරයෙන් පුතු දෙස බලා සිටින අයුරු වරුණ බලා සිටියේය. සිය බිරිඳ ගැන අනුකම්පාවක්ද ඒ සමඟම මහත් ආදරයක්ද දැනෙන්නට විය. 

ඔහුද නැගිට ඇය අසලට ගියේය. 

"ඒක නෙවෙයි, අද සිල්වා මගෙන් අරන් තිබ්බ ණයක් ආපහු දුන්නනෙ, මටත් ඒක අමතක වෙලා තිබ්බෙ. එතන පන්සීයක් තියනවා හෙට උදේම ගිහින් අර සාරිය අරන් එන්න"

ඔහු බලාපොරොත්තු වූ අයුරින්ම පුදුමය මිශ්‍ර සිහින් සිනා පොදකින් ඇගේ මුහුණ සැරසුණි.




~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 




කිරට හඬන මගේ ලේ කිරි බවට හැරූ
පුතේ නුඹයි මුලු සසරෙම පෙරුම් පිරූ


වස්තුව නුඹයි මට වටිනා මැණික බඳූ
අම්මා මමයි ඔය කිරි කැටි ලොවේ මතූ


සිනා දකින විට සුරතල් මුවින් මැවූ
අන් සැපතක් කොහිද නුඹ හැර මෙමං සතූ


දිවි ඇති තුරාවට ස්නේහය ඔබයි වැදූ
රැකගමි පුතුනි කැපකර හැමදෙයම සතූ....


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 




33 comments:

  1. නියමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. අම්ම කෙනෙක්ගෙ ආදරය කවමදාවත් අඩු වෙන්නෙ නෑ. වැඩි වෙනව මිසක්.. ඒ ආදරය වෙන කාගෙන්වත් ලබා ගන්නත් බෑ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් සම්පූර්ණ ඇත්ත. ස්තූතියි අදහසට!

      Delete
  3. ලස්සන කතාවක් කියෙව්වෙ නෑ කිව්වට මම හිතුවෙ නෑ මෙච්චර ලස්සන කතාවක් ලියාවි කියලා..කාලෙකින් ගිම්ගේ ලස්සන කතාවක් කියෙව්වෙ..

    අම්මලා තාත්තලගේ කැපකිරීම ගැන කියන්න වචන නෑ..

    ReplyDelete
    Replies
    1. රූ කිව්වහම හිතුනා ඊළඟට පොඩි කතාවක් ලියන්න ඕනෑ කියල. ස්තූතියි!

      Delete
  4. Replies
    1. ස්තූතියි ටික්කා!
      කොහොම හරි අන්තිමට ඔක්කොම හොඳින් ඉවර වුනානෙ.

      Delete
  5. අම්මා නුඹයි උපදින හැම බවයේ පැතූ...
    ලස්සන සංවේදි ආදරණිය සටහනක්...

    ReplyDelete
  6. ගිමනා නම් තාම තනිකඩයා නිසා අත් දැකීම් නැතුව ඇති. නමුත් අපි ඕවගේ වැඩ කරලා තියෙනවා අනන්ත.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මට මතක හැටියට Dude අයියා ඔය වගේ අත්දැකීම් ගැන ලියලත් තියෙනවා නේද. හැම දෙමව්පියෙක්ම වගේ තමන්ගේ දරුවන් වෙනුවෙන් නොකරන කැප කිරීමක් නෑ

      Delete
  7. දෙමාපියන් එහෙම තමා ගිමෝ.... හොදයි ලස්සනයි.

    ReplyDelete
  8. මමත් ඔය විදිහටම අම්මගේ ආදරේ ලබන්න තරම් වාසනාවන්තයි..

    කතාව කියවනකොට අනේ වරුණ අලුත් සාරියක් ගන්න කීයක් හරි අම්මට දෙනවා නම් කියලා හිත හිත ඉන්නකොට තමයි වරුණ ඒ යෝජනාව කලේ...

    ReplyDelete
    Replies
    1. අම්මලා කියන්නෙ ඔහොම තමයි නේද. අවසානය එහෙම ඉවර කලොත් හොඳයි කියල හිතුනා.

      Delete
  9. අම්මලා ඉතින් ඔහොම කැප කිරීමක් නොකරොත් තමයි පුදුම :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත Rikko. ස්තූතියි අදහසට!

      Delete
  10. කෑමක් කන්න ගියත් අම්මා කන්නෙ නැතුව ඒ ටිකත් අපිට කන්න තියනවනෙ..ඒ අම්මලගේ හැටි. ඒ නොනිම් සෙනෙහසේ තියෙන අපූර්වත්වය ඔයාගෙ කථාවෙන් ලස්සනට කියවෙනව ගිමන්. අනේ ශීලාට ඒ සාරිය කොහොම හරි ගන්න ලැබෙනවනම් හොඳයි කියල අපිටත් හිතෙන විදිහට ඔයා මේ කථාව ලියල තියෙනව....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චාම්ස්!

      Delete
  11. ලස්සණ කතාවක්, හිත ගියා. අද තමයි පළවෙනි වතාවට ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා ගියේ, :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ධාරා!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා, ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  12. ඔයාගෙ කෙටි කථා ඉතින් හැමදාමත් ලස්සනයිනේ................අදත් වෙනසක් නෑ එහෙම්මමයි........

    සමාවෙන්න ඕනි ඔයාගේ පොස්ට් එකේ කමෙන්ට් එකක් විදියට මගේ ප්‍රශ්නයක් යොමු කරනවට සමාව භාජනේට දාල උදව් කරන්නකෝ............

    මාර වැඩේ මගේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිත්තමී!

      ඔයාගෙ ගැටලුව නම් හරියට තේරුනේ නෑනෙ. ඒ කියන්නෙ උපන්දින පෝස්ට් එකට පස්සෙ අලුත් පෝස්ට් එකක් දැම්මද? උපන්දින පෝස්ට් එක නම් මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා තිබ්බා. තව ටිකක් විස්තර කියල ඊ ලිපියක් එවන්න. අපි කොහොම හරි විසදුමක් හොයමු.

      Delete
  13. අම්මගේ ආදරේ තරම් ආදරයක් තවත් නෑ ගිමන් අයියේ.. ලස්සනයි කතාව

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේශ් මල්ලි, ගොඩක් ස්තූතියි අදහසට!

      Delete
  14. එහෙම තමයි අම්මලා..........
    මේ ලෝකේ කොහේ හෙවුවත් අම්මා වගේ උතුම් කෙනෙක්වනම් හොයාගන්න ලැබෙන එකක් නැහැ .

    ReplyDelete
    Replies
    1. හරියටම හරි!
      සිහින ෂා ගොඩක් කාලෙකින් දැක්කෙ.

      Delete
  15. හරිම සංවේදී. අම්මා කෙනෙක්ගෙ ආදරේ ලස්සනට එලියට අරගෙන තියනව.

    ReplyDelete