කලින් ලිපියෙන්......
නදීශා..! බණ්ඩාර..! කාන්ති..! මේ කවුද? මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?
මේ අය ගැන කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.
කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..?
නදීශා - පවුලෙ එකම දරුවා මුරණ්ඩු ළමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච ළමය,තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්‍රයකුත් නැහැ, තනිව සිනාසේ, ඇයටම පමණක් පෙනෙන පෙම්වතෙක් සිටී, ඇයගේ ලෝකය ඔහුයි...
බණ්ඩාර - යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම කියවයි, අසීමිතව බිරිඳව සැක කරයි, කටහඬවල් ඔහුට නියෝග දේ, ඔහු එම කටහඬවල් විශ්වාසද කරයි...
කාන්ති - අවිවාහකය, වයස හතලිහද ඉක්මවා ඇත, සැහෙන කලක සිට අසීමිත දේව ඇදහීමක් කරයි, ලඟකදී දෙවි කෙනෙක් ආරූඪ වී ඇත, දෙවියන් වරින් වර පෙනෙයි, ඇයට දැන් විවිධ බල ඇත, වැසි වැස්සවිය හැක, මුදල් මැවිය හැක, නැති වූ දේවල් ගැන කිවිය හැක....
ඉතින් මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?
මුකුත් නෙවෙයි නොදැනුවත් කම නිසා භින්නෝන්මාදය (schizophrenia) නම් මානසික රෝගයෙන් පෙලෙමින් එය උග්‍ර අවස්ථාවට එන තෙක් නිසි ප්‍රතිකාර වලට යොමු නොවූ අයය.
දැනට හඳුනාගෙන ඇති මානසික රෝග අතුරෙන් දරුණුතම මානසික රෝගී තත්වය ලෙස මෙම භින්නෝන්මාදය හඳුන්වන්න පුලුවන්. මේ පිලිබඳව සිදුකර ඇති පර්යේෂණ (Torrey,1987) වලට අනුව ලෝක ජනගහනයෙන් සෑම 100 දෙනෙක්ගෙන්ම එක් අයෙක් මෙම රෝගයෙන් පෙලෙන බවට සඳහන් වෙනවා.
මෙහි නම වන schizophrenia ග්‍රීක ව්‍යවහාරයට අනුව බෙදුණු (schizo) මනස (phrene) යන අර්ථය තමා ගන්නෙ.
රෝගය හොඳින් තේරුම් ගැනීමටත් උපකාරයක් වන නිසා, මෙම රෝගය නිශ්චිතව හඳුනා ගැනීමට වෛද්‍යයවරු සුලබව භාවිතා කරන ප්‍රබල රෝග ලක්ෂණ කීපයක් සඳහන් කරන්නම්. (මූලාශ්‍රය ICD 10 )
1. සිතුවිලි වල සංකූලතා
මෙම රෝගීන් අතර සුලබව දක්නට ලැබෙන සිතුවිලි වල සංකූලතා කීපයක් මෙසේය
- සිතිවිලි නින්නාද දීම, එනම් තම සිතුවිලි නැවත නැවත ඇසෙන්නට ගැනීම.
- කවුරුන් හෝ සිතට බලෙන් සිතුවිලි ඇතුලත් කරන බව දැනීම.
- තම සිතෙහි ඇති සිතුවිලි වෙනත් කෙනෙක් බලෙන් ඇද ගන්නවා හෝ එවා දැන ගන්නවා යන හැඟීම.
- තමන් සිතන විට එම සිතුවිලි අවට සිටින අයටද ඇසෙන ලෙස විහිදෙනවා යන හැඟීම
2. මෝහය නැත්නම් මුලාව (Delusions)
මෙය සාමාන්යෙන් අපට ඇතිවන මුලාවන් හෝ මිත්‍යා විශ්වාසයන් නොවේ. කෙසේත්ම සමාන්‍ය නොවන, සිදුවිය නොහැකි අස්වාභාවික විශ්වාසයන්ය. උදා -
- තමාව, තම සිතුවිලි හෝ තම සිරුරේ අංගයන් වෙනත් අයෙකු හෝ බාහිර යන්ත්‍රයක් මගින් පාලනය කරනවාය යන විශ්වාසය (සමහර පුද්ගලයන් තමාව පිටසක්වල ජීවීන් විසින් හසුරවන බව නැතහොත් වෙනත් රටක රහස් ඔත්තු සේවයක් විසින් නිපදවූ අධිතාක්ශණික යන්ත්‍රයක් මගින් පාලනය කරන බව විශ්වාස කරයි )
- කවුරුන් හෝ තමාට හානි කරාවි යන සැකය - තම නිවැසියන්, ඥාතීන් හෝ අසල්වාසීන් තමාට හානි කරන්නට හෝ ජීවිතයට හානි කිරීමට උත්සාහ කරනවා යන සැකය. (කෑමට වස දමාවි යන සැකය, තමා ඝාතනයට එකතු වී කුමන්ත්රන කරනවා යන සැකය )
- අසාමාන්‍යය ඉරිසියාව - මෙය බොහෝ විට සිය බිරිඳ හෝ සැමියා වෙනත් අය සමඟ අයුතු සබඳතා පවත්වනවා යන සැකය.
- තමන්ට විශේෂ බලයන් ඇති බව විශ්වාස කිරීම - දේව වරම්, අත්භූත බලවේග මගින් කාලගුණය වෙනස් කිරීම හෝ ලෝකය වෙනස් කිරීමට හැකි බව
3. භ්‍රාන්තිය නැත හොත් ව්‍යාජ දර්ශන (Hallucinations)
මෙහිදී විවිද ශබ්ද ඇසීම හා දර්ශන පෙනීම සිදුවේ, සමහර විට විවිධ රසවල් දැනීම හෝ විවිද ගඳ සුවඳ දැනීමද සිදු විය හැක. මේ සියල්ල බාහිර බලපෑමක් නොමැතිව ඔවුන්ගේ හිස හෝ මනස තුලින්ම ඇතිවන එවා වේ.
- විවිධ ශබ්ද - යම් කටහඬක් තමාට අණ කරනවා ඇසීම, කටහඬවල් කීපයක් තමා ගැන කතා කරනවා ඇසීම, යම් කටහඬක් තමා කරන කරන දෙය හඬ නගා කියනවා ඇසීම.
- විවිධ දර්ශන - අන් අයට නොපෙනෙන පුද්ගලයන් පෙනීම, මකරුන් වැනි සතුන් පෙනීම.
4. කතාවේ සිදුවන එනස්කම්
- සමාන්‍ය අයට තෙරුම් ගත නොහැකි නව වචන යොදා ගනීම. (neologisms)
- හදිසියේම කතාව නවත්වමින් අස්වාභාවික ලෙස කතා කිරීම.(breaks)
- කතාව එක් මතෘකාවකින් තවත් මාතෘකාවකට ක්ශනිකව මාරු කිරීම. (මම කොලයක ලියනවා, මම ලියන පෑන හදල තියෙන්නෙ පෙරී සහ සමාගමෙහි නිපදවූවක්, ඒ සමාගම තියෙන්නෙ ලංඩන් නගරයේ. ලංඩන් තිබෙන්නේ එංගලන්තයේ. මම ඉස්කෝලෙ යන කාලෙ කැමතිම චිත්‍ර වලට....)
- තෙරුම් ගත නොහැකි කිසිදු ගැලපීමක් නැති දේවල් කියවීම
5. අස්වාභාවික හැසිරීම්
- දින හෝ සති ගණනාවක් නිශ්ශබ්දව සිටීම. (mutism)
- එකම ඉරියව්වෙන් බොහෝ වෙලාවක් සිටීම (පැය ගණනාවක් ) (posturing)
- සමාන්‍යයෙන් සිටීමට අපහසු ඉරියව් වලින් සිටීම.
- තමා ඉටි වලින් තැනූවෙක් සේ හිඳීම එනම් වෙනත් අයෙක් අත යම් ඉරියව්වක තැබුවොත් ඒ අයුරින්ම සිටීම.(waxy flexibility)
6. එදිනෙදා හැසිරීමේ සිදුවන වෙනස්කම්
- සමාජයෙන් ඈත් වී සමාජයට බිය වූවෙක් මෙන් ජීවත් වීම. (social withdrawal)
- කිසිම හැඟීම් ප්‍රකාශයක් නොමැති වීම.(blunting)
- තැනට නොගැලපෙන හැසිරීම් ඇති වීම.
- අසාමාන්‍ය නිශ්ශබ්දතාවය.
භින්නෝන්මාදය ඇත්තෙකු ලෙස ස්ථීර ලෙසම රෝග නිර්ණය කිරීම මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින්ම ඉතා කල්පනාකාරීව කල යුත්තක්. මක් නිසාද මෙහි අනෙක් සෑම මානසික රෝගයකම ඇති ලක්ෂණ අනතර්ගත වන රෝගයක් වන නිසා. එම රෝග නිර්ණයට වඩාත් උපකාරී වන්නේ ඉහත සඳහන් කල රෝග ලක්ෂණයි.
මීට අමතරව පහත ලක්ෂණද මෙම රෝගීන්ගේ දැකිය හැකි වනවා.
- පිරිසිදුව සිටීම අඩු වීම.
- සමාජ සම්මතයන් නොතකා අසභ්‍ය ලෙස හැසිරීම.
- කලබලකාරී බව, කෑකෝ ගැසීම
- තනිව සිනාසීම, කතා කිරීම
- තෙරුම් ගත නොහැකි වචන එකතුවක් පමණක් කියවීම
- එකවරම සිනාසීම හෝ හැඬීම, තැනට නොගැලපෙන හැඟීම් ප්‍රකාශය
- අවධානය එක් තැනක රඳවා සිටීමේ අපහසුව.
මෙම රෝගය උග්‍ර තත්වයට පත් විමේ ඉතා දරුණු ප්‍රති විපාකයක් වන්නේ මෙම රෝගීන් සියදිවි නසාගැනීමට පෙළඹීම. ( භින්නෝන්මාද රෝගීන්ගෙන් 15%ක් සියදිවි නසාගැනීමට පෙළඹේ )
ඉහත වෙනස්කම් නිසා රාජකාරී කටයුතු අවුල් වීම, රැකියාවෙන් පිටුවහල් කිරීම වැනි දේ වලින් මොවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරීම කල් යත්ම සිදුවේ. ඒ සමඟ පවුලේ අසමඟිය, සමාජයෙන් කොන් වීම වැනි තත්වයන් සමඟ මොවුන් වඩාත් නරක තත්වයකට ඉක්මණින්ම පත්වේ.
දැන් අපි බලමු භින්නෝන්මාදය ඇති වීමට බලපාන හේතු.
1. ජානමය බලපෑම
සෑම රෝගයක මෙන්ම ජානමය බලපෑමක් මෙහිදීද ප්රබලව දක්නට ලැබේ. නමුත් මෙහිදී විවාදාත්මක තර්කයක් වනුයේ පවුලේ අයෙකුට මෙම රෝගය ඇති විට එයින් ඇතිවන මානසික පීඩනය හා සමාජයෙන් ඇතිවන පීඩනය නිසා පවුලේ කීප දෙනෙකුට මෙම රෝගය ඇති වීමට බලපාන බවයි.
2.ගර්භණී අවධියේදී ඇතිවන අනතුරු හා රෝග නිසා.
ගර්භණී අවධියේ මවට සෑදෙන අසාදන (ඉන්ෆ්ලුවෙන්සා, සරම්ප, පෝලියෝ )
3. දීර්ඝ කාලීන මත්ද්‍රවය භාවිතය (විශේෂයෙන් ගංජා, කංසා වැනි මත්ද්‍රව්‍ය )
4. පවුල් පරිසරය
- දෙමව්පියන්ගේ අසමගිය, ආරවුල් ඇති පවුල් වල දරුවන්.
- කුඩා කල සිදුවන නොසලකා හැරීම්.
- මානසික අසහනය ඇතිවන පවුල් පරිසර
5. සමාජ තත්වය
ආර්ථික දුශ්කරතා නිසා ඇති වන මානසික පීඩනය
6. මොලයේ ඇතිවන රසායනික හා ක්‍රියාකාරිත්වයේ අක්‍රමිකතා
- මොලයේ ඇති ප්‍රධාන අන්තර්ස්නායු සන්නිවේදකයක් වන ඩෝපමින් (Dopamine) යන රසායනිකයට ස්නායු දක්වන සංවේදීතාවය අඩු වීම මෙයට බලපාන බව දැනට සොයාගෙන ඇති ප්‍රබල කරුණකි.
- එමෙන්ම මොලයේ ඇති කුටීර වර්ගයක (cerebral ventricles) සිදු වන විශාල වීම භින්නෝන්මාදයට බලපාන බවත් සඳහන් වේ.
භින්නෝන්මාදය ගැන සැලකිය යුතු දැනුමක් දැන් ඔබ හට ඇත.
දැන් ඔබ නගන පලමු ගැටලුව කුමක්ද! මේ රෝගයට ප්‍රතිකාර තිබේද යන්න.
ඔව්. බොහොමයක් රෝග වලදී මෙන්ම මුල් අවදියේ දීම වඩාත් සැලකිල්ලෙන් ප්‍රතිකාර කිරීමෙන් මොවුන් සාමාන්‍ය තත්වයට පත් කල හැක.
මොවුන්ගෙන්
- 25% කට රෝගය එක් වරක් පමණක් ඇතිවේ. ඉන් පසු ප්‍රතිකාර සමඟ සාමාන්‍ය තත්වයට පැමිණේ
- 25% කට රෝගය නැවත නැවත ඇති වුවද ප්‍රතිකාර නිවරැදිව කිරීමෙන් සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් ජීවත් වීමේ හැකියාව ඇත
- 25% කට රෝගය නැවත නැවත ඇතිවේ, තත්වය දරුණු තත්වයට පත්වීම් දැකිය හැකි වුවද ප්‍රතිකාර මඟින් පාලනය සිදු කෙරේ.
- 25% කට දිගින් දිගටම රෝගය දරුණු තත්වයට පත් වේ.
වඩාත් පැහැදිලි වීමට රෝගය සුව විමේ හැකියාව වැඩි වීමට හේතු වන සාධක ලැයිස්තුවක් ලෙස දක්වන්නම්
- රෝග ලක්ෂණ එකවරම ඇතිවී කෙටි කලක් පැවතුන අයෙක් වීම
- පෙර ජීවිතයේ මානසික රෝග තිබූ අයෙකු නොවීම
- සමාජයෙන් ඈත්වීමට උත්සාහ දරන අයෙකු නොවීම
- රෝගය පළමු වර ඇති වනවිට වයසින් වැඩි අයෙකු වීම
- මනා පෞර්ශයක් ඇති අයෙක් වීම
- පවුලේ හා සමාජයේ උදවු උපකාර හොඳින් ඇති අයෙකු වීම
- වෛද්‍ය උපදෙස් මනාව පිලිපදින අයෙක් වීම
රෝගය සුව විමේ හැකියාව අඩු වීමට හේතු වන සාධකද ලැයිස්තුවක් දැක්වන්නම්
- රෝග ලක්ෂණ දිගු කලක් පැවතීම
- පෙර මානසික රෝග තිබූ අයෙකු වීම
- සමාජයෙන් ඇත්වීමට උත්සාහ දරන අයෙකු වීම
- තරුණ අවධියේදීම රෝගය ඇති වීම
- දුර්වල හෝ අසාමාන්‍ය පෞර්ශයක් ඇත්තෙකු වීම
- පවුලෙන් හා සමාජයෙන් උදවු උපකාර නොලබන අයෙකු වීම
- අවිවාහක හෝ තම සහකරුවා මිය ගොස් සිටින අයෙකු වීම
ප්‍රතිකාර
1. ඖෂධමය ප්‍රතිකාර
පියවරෙන් පියවර රෝගයේ තීවුරතාවය අනුව වෙනස් කරමින් යන ලෙස ඖෂධමය ප්‍රතිකාරය සිදු වේ.
2. රෝගය ඉතා උත්සන්න වූ අයට ඉක්මන් පාලනයක් ලබා දීමට හා, ඖශධ දීම අපහසු අයට විද්‍යුත් කම්පන ප්‍රතිකාර (ECT) ලබා දේ
3. මානසික තත්වය නඟා සිටවීමට උපදෙශාත්මකව රෝගියා හා කතා කිරීමෙන් ප්‍රතිකාර කිරීම.
මෙහිදී
- රෝගියාගේ තත්වය ඔහුට හැකිතාක් දුරට තෙරුම් ගැන්වීම.
- අනතුරු දායක තත්ව වල රෝගියා ඇති දැයි තේරුම් ගැනීම හා ඒවා වැලක්වීමට උපදෙස් දීම.
- තමාගේ කටයුතු තනිවම කර ගැනීමට හුරු කිරීම.
- භාශාමය හැකියාව යථා තත්වයට ගෙන ඒම.
වැනි අරමුණු මූලික කර ගැනේ.
මෙහිදී රෝගියා නේවාසිකව හෝ ඔවුන් සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ආයතන (Nest, සහනය) වල ප්‍රථිකාර කිරීම සිදු වේ.
4. සාමාජීය සහය වැඩි කිරීම
මෙහිදී
- පවුලේ අය හා කතා කර ඔවුන්ව රෝගය පිලිබඳ දැනුවත් කිරීම.
- රෝගියා හා කටයුතු කල යුතු ආකාරය පිලිබඳ දැනුවත් කිරීම. (රෝගියාගේ මානසික පීඩනය අඩු වන ලෙස කටයුතු කිරීම, ආදරයෙන් කරුණවෙන් සැලකීම, රෝගියාට මුදල් පරිහරණයට දීමේදී සැලකිලිමත් වීම, තනිව දුර ගමන් වල යෙදීමට ඉඩ නොදීම )
- පවුලේ අයගේ මානසික තත්වය යහපත් අතට හැරවීම.
- රෝගියාගේ රැකියාව පිලිබඳ සොයා බලා එය නැවැත්වීමට හෝ රැකියාව වෙනස් කිරීමට උපදෙස් දීම (වගකීම් සහිත රැකියා රෝගය නරක අතට හැරීමට හෙතු විය හැකි අතර, සමාජයට හානි වීමටද ඉඩ ඇති බැවින්)
ඉහත සියලු ප්‍රතිකාර ක්‍රම සාර්ථකව සිදු කිරීමෙන් මෙම රෝගීන් සුව අතට ගෙන ඒමටත්, සම්පූර්ණ සුවය නොලැබූවත් රෝගය පාලනය කරගෙන සාමාන්‍ය දිවියක් ගෙන යාමට හෝ හැකියාව ලැබේ.
භින්නෝන්මාදය මුල් කොටගෙන තැනුනු චිත්‍රපට ගණනාවක් දැකිය හැකියි. ඒ අතරින් සෑම කෙනෙක්ම නැරඹිය යුතු වටිනා චිත්‍රපටයක් ලෙස 2001 වසර සඳහා හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුලුව ඇකඩමි සම්මාන 4ක් දිනා ගත් A Beautiful Mind දැක්විය හැක.
එහි දැක්වෙන්නෙ නොබෙල් ත්‍යාගලාභී ගණිතඥයෙක් වන ජෝන් නෑශ් ගේ සැබෑ ජීවිත කතාව. ඔහු භින්නෝන්මාදය නිසා විඳි ගැහැටවල් හා අවසානයේ ඔහු රෝගය ජය ගන්නා අකාරය ඉතා සංවේදීව ඉදිරිපත් කර තිබෙනවා.
මීට අමතරව ගරිල්ලා මාකටිං චිත්‍රපටයද භින්නෝන්මාදය මුල් කොට තැනූවක්.
ඉහත මා සඳහන් කල විස්තර වලට වඩා වැදගත්ම වන කරුණ සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ දැනුයි.
මානසික රෝගයක් යනු කායික රෝග මෙන්ම ඕනෑම කෙනෙකුට වැලදිය හැකි රෝගී තත්වයකි. ඒ සෑම රෝගයකටම කායික රෝග වලදී මෙන් සාර්ථක ප්‍රථිකාර ඇත. එම නිසා මානසික රෝගයක් යනු සැඟවිය යුතු හෝ ලැජ්ජාවට පත් වීමට හේතුවක් නොවේ මක් නිසාද අප නොදන්නවාට අප හැමෝටම එක් එක් කාල වලදී විවිධ මානසික ව්‍යාකූලතා ඇති වන බැවින්. ඒවා හෙම්බිරිස්සාවක් ඉබේ සුව වෙනවාක් මෙන් කෙටි කලකින් සුව වේ. නමුත් සමහරුන්ට එම හෙම්බිරිස්සා නිව්මෝනියාව තෙක් උග්‍ර වන්නාක් මෙන් මානසික රෝගද උග්‍ර වේ. එය ඔවුන්ගේ වරදක්ද? ඔවුන්ව කොන් කිරීමට සමච්චලයට පත් කිරීමට කාරණයක්ද? නැහැ
කරුණාකර තම හිතවතෙක්, පවුලේ අයෙක් මෙවැනි රෝගයකින් පෙලේ නම් නොපමාව සුදුසු මානසික වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න, නැත හොත් සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පතන්න. ඔහු නිවරැදි තැනට ඔබව යොමු කරාවි. කායික අසනීපයක් මෙන් නොව, මානසික රෝගයකදි රෝගියාටම එය වටහා ගැනීම අපහසුයි, එවිට ඔවුන් ඉතාමත් අසරණයි. ඔවුන්ට එවිට හිතවතුන්ගේ සහය අත්‍යාවශයයි.
කායික රෝගීනටද වඩා මොවුන්ට ආදරය කරුණාව සැලකිල්ල අත්‍යාවශ්‍යයයි. මෙම රෝග සුවකිරීමේ ආශ්චර්යාත්මක බලයක් එවායේ ගැබ් වෙනවා.
ඔබත් අද සිට මානසික රෝග ගැන සමාජයේ ඇති හණමිටි අදහස් වෙනස් කිරීමට උපකාර කරන්න. නොදැනුවත් කමින් නිසි ප්‍රතිකාර නොලබා නිරපරාදේ දුක් විඳින දහසක් අතරින් එක් අයෙකුටවත් යලි සාමන්‍ය ජීවිතයක සුව විඳීමට අත දෙන්න. ඔවුන්ව නිසි ප්‍රතිකාර ගැනීමට යොමු කරන්න. එය ඔබට ජීවිතය තිබෙන තුරු සිතා සතුටු විය හැකි මහඟු පුණ්‍යකර්මයක් වේවි!
මෑත කාලින මම දැකපු සවිස්තරාත්මක ලිපියක්.එහි සෑම පැතිකඩක්ම ස්පර්ශ වන පරිදි ලියා ඇත.ඉතාමත් හරවත්.මොකද මෙහි සඳහන් මානෂික රෝගයන්ට ගොදුරු විම වළක්වා ගැනිමට පුළුවන් තමන් තමන් ගැන සැළකිලිමත් උනොත් කියන එක පිළිබඳව දැනුවත් විමක් විමට හැකි පරිදි සටහන් ගතකොට ඇත.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගොඩක් ස්තූතියි ගයානි! හැකිනම් ලිපියේ කරුණු වලින් තව තවත් අය දැනුවත් කරන්න.
Deleteගිම් . ඊයක් එවලා තියෙනවා. ඒක බලන්න.
ReplyDeleteපිලිතුරැ ඊයක් එව්වා බලන්න!
Deleteබොහෝමත්ම ස්තුතියි :)
Deleteඉතාම වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි මහන්සියට! 95%කට කිට්ටුවෙන්න සාක්ෂරතාවයක් තියෙන උගත් ජනගහනයක් ඉන්න අපේ රටේ මානසික සෞඛ්‍යය ගැන තියෙන සමාජීය දුර්මත ඇත්තටම අවාසනාවක්. ඔනෑම කායිකව නිරෝගී පුද්ගලයෙක් ඔනෑම අවස්ථාවක මානසිකව රෝගී වෙන්න පුලුවන්. ඒත් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ බොහොම කිහිප දෙනයි. හේතුව එයාලා රෝගයකින් පෙලෙනවා කියලා එයාලම දන්නෙ නැති කම. අනෙක මානසික වෛද්‍යවරයෙක් ලඟින් ගියත් 'එයාට පිස්සු' කියන ලේබල් එක වැදෙන එක..
ReplyDeleteමානසික සෞඛ්‍ය ගැන කතිකාවතක් ඇති නොවෙන නිසාම බොහෝ දෙනෙක් මේවා ගැන නොදැනුවත්!
සම්පූර්ණ ඇත්ත සබිත්! මම ලිපිය පුරාවට කියන්න හදපු දේ සබිත් සාරාංශ කරල තියනවා. සමාජයේ මෙවැනි ආකල්ප වෙනස් වුවහොත් දුක් විඳින බොහොමයක් දෙනාට සහනයක් ලැබේවි. ස්තූතියි!
Deleteනියමයි ගිමන් අයියේ.. මේක ගොඩක් වටින ලිපියක්.
ReplyDeleteස්තූතියි වකා නංගි!
Deleteකලින් කතා ටිකත් කියෙව්වේ අද.. මට හිතුනා ගිමා කතා කරන්න හදන්නේ මේ ගැන තමයි කියලා..සිරාවටම මේ විස්තරය ගොඩක් වටිනවා ගිමා. මේ විෂයට මම ගොඩක් කැමතියි. මේවගේ කරුණු කාරනා දැන ගන්න.
ReplyDeleteස්තූතියි පැතුම්! වැඩි දෙනෙක් දැනුවත් වීම තමයි වැදගත් වෙන්නෙ.
Deleteschizophrenia ගැන සෙමිනා වලටත් අපිව සහභාගි කරවලා තියෙනවා ලංකාවෙදි. සමහර NGO තියෙනවා ලංකාවෙත් ක්‍රියාත්මක වන ඔය වෙනුවෙන්ම කැපවුනු.
ReplyDeleteඑතකොට ගිමන්, ඔය රෝග ලක්ෂණ, විශේෂයෙන්ම මානසික රෝග ලක්ෂණ ගැන කතා කරනකොට, අපි කාටත් හිතෙන පොදු දේවල් තමයි ඔය රෝග ලක්ෂන අඩු වැඩි වශයෙන් අපි කවුරුන් තුලත් තියෙන බව. ඔයා ඒක නෝට් කරලා ඇති. ඒ වගේම med student කෙනෙකුටත් නිතර හිතෙන දෙයක් ඕක මම දන්න විදියට.:D
එහෙම හරි දැනුවත් වීම් කෙරෙනවා නම් වටිනවා.
Deleteඇත්තටම අයියා කිව්වත් වගේ ඕවා ඉගෙන ගනිද්දි එහෙම හිතෙනවා :D. ඒ ඉතින් මනසේ ස්භාවයනෙ.
මෙඩ් ස්ටුඩන්ට් කෙනෙක්ට කවමදාවත් මේවා නොසිතේ නම් අන්න ඒක අසාමාන්‍ය නිසා පොඩ්ඩක් චෙක් කරන්නම වෙනවා. (ඊට පස්සේ එන ඉන්ටර්න් කාලේ යනු මෙය තීවෘම වන කාලයක්...)
Deleteහපොයි තොටිය අයියා එහෙම කියද්දිත් බය හිතෙනවා
Deleteසෑහෙන මහන්සි වෙලා ලිව්ව ලිපියක්.. බොහොම ස්තූතියි....
ReplyDeleteස්තූතියි සාතන්!
Deleteමට හිතුන ටික සබිත් කියලා... මේ ළඟදි අංගොඩ මානසික රෝහලේ නේවාසිකයන්ගේ පැත්තට ගිය වෙලාවක දැන ගත්ත විදියට 500ක විතර නේවාසිකාවන්ගෙන් ගෙදරින් කවුරුහරි බලන්න එන්නෙ 15 විතර පිරිසකගේ විතරලු.. ඉතිං හිතමුකෝ අපේ රටේ තාම ඔය ගැන තියෙන මානසිකත්වය... ඔය වගේ අයට කරුණාව, ආදරය කියන එක තමයි වැඩිපුරම ඕනේ.. නොලැබෙන්නෙත් ඒකමයි....
ReplyDeleteකොච්චර කිව්වත් අපේ මිනිස්සු මේ වගේ දේවල් ගනං ගන්නේ නෑ මුල්ම අවස්ථාවල... උපදේශනය කියන්නේ අරැමයක් තාමත්.. කවුන්සිලින් ඇරියොත් කාව හරි ඊළඟට වදින්නේ පිස්සු ලේබල් එක... ඊට පස්ෙස් කෙල්ලෙක්ට කසාදයක් බඳින්නවත් බෑ.. මේවා මේ එදිනෙදා දකින දේවල්.... උගත් මිනිස්සුත් මේ මං කිව්ව පිරිස අතර ඉන්නවා....
ඕක තමා ප්‍රශ්නේ හිරු! මානසික රෝගියෙකුට නොකල යුතු දේවල්ම තමයි අපෙ අය කරන්නෙ. ඒ වගේ ලබා දිය යුතු කිසි දෙයක් ලබ දෙන්නෙත් නැ. ඉතින් මානසික රෝගීන් තමන් ඉන්න තැනින් තවත් වැටෙනවා මිසක් සුවයක් ලබන්නෙ නෑ. ස්තූතියි වටිනා අදහසක් එකතු කලාට!
Deleteමේ ලිපිය ඉතාමත් වටිනවා ගිම්. මම හිතන්නෙ මානසීක පීඩණයකට අසු උන කෙනෙකුට මේ වගේ තත්වයක ඇති වෙන්නට පෙර සුදුසු වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න එක වටිනවා කියල. සාමාන්‍ය මානසීක පීඩාවන් ගණන් නොගෙන ඉන්න එක අවධාණයම් තත්වයක් කියලත් හිතුනා.
ReplyDeleteබොහෝම ස්තුතියි මේ වගේ ලිපියක් මගින් අපිව දැනුවත් කලාට..
ඔව් ලිහිණි, බොහෝ රෝගාබාධ වගේම මානසික රෝගත් සුලු දෙකින් ඇරඹිලා දරුණු තත්වයක එන්න පුලුවන්. මානසික පිඩනයත් මේ වගේ බොහොමයක් දෙනා සැලකිල්ලක් නොදක්වන දෙයක්. නමුත් එය අපව කායිකව මෙන්ම මනසිකව දිරාපත් කරන විසක්. ස්තූතියි අදහසට!
Deleteදැනුම ප්‍රයෝජනයට ගන්න, තවත් කාට හෝ එයින සහනයක් ලබා දෙන්න.
භිනොන්මාදය ගැන ලිපි කීපයක්ම බ්ලොග් අවකාශයේදි කියවලා තිබුනත් කොච්චර කීයෙව්වත් වැඩි නොවන මාතෘකාවක්..
ReplyDeleteමානසික රෝග ගැන තවත් ලියන්න පුළුවන් නම් හොඳයි ගිම්..මේ වගේ ලිපි වලන් අපේ ආකල්ප හැඩගස්වාගන්න ලොකු මෙහෙවරක් කරනවා..
ගොඩක් ස්තූතියි රූ!
Deleteමම දන්න දේවල් හැකි පමණින් බෙදා දෙන්න උත්සාහ කරනවා. ඉදිරියේදී තවත් මෙවැනි දෙවල් ගැන ලියන්නම්.
ගොඩක් වැදගත් ලිපියක් ගිම් ..
ReplyDeleteමාත් මේ ගැන ලියමින් ඉන්නේ ..පුළුවන්
වෙලාවක එන්න ...
හිස් බව ඇති වීම සහ එයට විසදුම් | කෙදිනක හෝ වැදගත් විය හැක , එනිසා කියවන්න! scenarios between loneliness
ගොඩක් ස්තූතියි සහන්!
Deleteමාත් වෙලාවක ඇවිත් යන්න එන්නම් ඒ පැත්තෙ.
එතකොට සාත්තර කාරයන්ට එහෙම හැදිල තියෙන්නෙ මේ රෝගයද ?
ReplyDeleteනැත්තං මේ හා සමාන වෙන රෝගයක්ද.
මං දන්න සාත්තර කියන දෙතුන් දෙනෙකුට නං මෙතන රෝග ලක්ෂණ වලිං බොහොමයක් තියෙනව.
අමුතු භාෂා කියවීම, ඉන්න අපහසු ඉරියව් වලිං සිටීම, ක්ෂනිකව කතා කර මාතෘකාව වෙනස් කිරීම වගේ.
අවාසනාවට ඒගොල්ලන්ගෙ ගෙදර උන්දැල හිතං ඉන්නෙ දේවවරමක් කියල මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න හිතන්නෙවත් නෑ
ගොඩක් වෙලාවට ඔයා සාස්තර කියන අය කරන්නෙ රඟපෑමක්නේ, තව විදිහකින් බැලුවොත් ඒක ඒ අයගේ රැකියාව. ඉතින් එයාල හිතලම විවිද මවාපෑම් අමුතු දේවල් කරනවා. ඒවා ඉතින් මානසික රෝගයක් නෙවෙයි. හැබැයි සමහරු මානසික රෝගය හැදුනහම වටේ ඉන්න අය එයාව සාස්තර කාරයෙක් කර ගන්නවා මෙයයි නරක.
Deleteගොඩක් වෙලාවට දේව වරම් තියනවා කියන එක මෙම රෝගයේ ලක්ශනයක්. හැබැයි කලින් කිව්වා වගේ රැකියවා සඳහා එසේ රඟපාන අයත් ඉන්නවා ඒ අයගෙ නම් කිසිම අබාධයක් නෑ.
ගොඩක් වෙලාවට ආරුඩයෙන් සාස්තර කියන අයනම් Trans and possession disorder කියන මායා රෝග ඝනයට වැටෙන රෝගයෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම භින්නෝන්මාද රෝගයෙන් පෙලෙන අයටත් මගේ බලයක් තියනවා කියන හැගීම සහ විවිධ අසාමාන්‍ය සංවේදන නිසා ඒ විදියට හැසිරෙන්න පුළුවන්.
Deleteස්තූතියි ප්‍රදීප් දැනුවත් කිරීමට! Trans and possession disorder ගැන නම් එතරම් දැනුමක් නැහැ, පොඩ්ඩක් කියවල බලන්න ඕනෑ. විවිධාකාර ප්රතිරූප වලින් මතුවන මෙම රෝගය පෙන්නුම් කෙරෙන තවත් එක් ආකාරයක් තමයි ඕක.
Deleteහොඳ ලිපියක්
ReplyDeleteගොඩක් ස්තූතියි ඔබට!
Delete+++++++++++++++++++++++
ReplyDeleteකියන්න දෙයක් නැ නියමෙටම තියෙනව
දිගටම කරන් යන්න
ගොඩක් ස්තූතියි මලිත් දිරිගැන්වීමට!
Deleteමේ වගේ ලිපියක ඇති වටිනාකම කියල නිම කරන්න බෑ ගිමන්. ගොඩක් අය මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්නෙ නැත්තෙ එහෙම ගියොත් දකින අය තමන්ට පිස්සු කියල හිතයි කියන බිය නිසා. අනිත් කාරණේ සමහරු තමන්ට එහෙම මානසික රෝගීතත්වයක් තියෙනව කියලවත් දන්නෙ නැති නිසා. මේ වගේ ලිපිවලින් කෙරෙන දැනුවත් කිරීම් ගොඩක් වටින්නෙ මේ රෝග ගැන තොරතුරු සමාජගත කරන්න එයින් ලැබෙන සහය නිසයි.
ReplyDeleteහැකි නම් තවත් මේ වගේ මනෝ විද්‍යාව සම්බන්ධ ලිපි පල කරන්න ගිමන්. මේ දැනුම ඕනම කෙනෙක්ට ජීවිතේ කවදා හරි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්...
ගොඩක් ස්තූතියි චාම්ස්!
Deleteමගෙත් බලාපොරොත්තුව ඒකම තමයි චාම්ස්. මානසික රෝග ගැන අපෙ රටේ තියෙන්නේ ගොඩක්ම වැරදි ආකල්ප වගේම ගොඩක් අඩු දැනුමක්. දියුණු වන ලෝකයත් සමඟ, ඉහල යන මානසික පීඩනය පාලනයට ඉඳල හිටලාවත් මානසික උපදේශනයක් හැමෝටම වගේ අවශ්‍ය වෙනවා. එසේ කිරිම අපගේ හැකියාවන් දියුණු වීමට වගේම කායික නිරෝගී බව වැඩි වීමටද හේතු වෙනවා. ඒත් අපේ රටේ එසේ උපදෙශන වලට යොමු නොවන තරම්. ඉතින් මේ පිලිබඳ ආකල්පමය වෙනසක් අවශ්‍යමයි. හැකි පමණ මේ පිලිබඳ දැනුවත් කිරීමයි අප කලයුත්තේ.
මගේ කමෙන්ට් එක ස්පෑම් වෙලාද බලන්න ගිමන්.
ReplyDeleteස්පෑම් ලෝඩ් වෙන්නෙ නැහැනෙ අයියා. මේල් එකේ නම් තිබ්බා. ඒක මෙතන දාන්නම්.
DeleteDude has left a new comment on your post "මනස වනසන භින්නෝන්මාදය (schizophrenia)":
Deleteschizophrenia ගැන සෙමිනා වලටත් අපිව සහභාගි කරවලා තියෙනවා ලංකාවෙදි. සමහර NGO තියෙනවා ලංකාවෙත් ක්‍රියාත්මක වන ඔය වෙනුවෙන්ම කැපවුනු.
එතකොට ගිමන්, ඔය රෝග ලක්ෂණ, විශේෂයෙන්ම මානසික රෝග ලක්ෂණ ගැන කතා කරනකොට, අපි කාටත් හිතෙන පොදු දේවල් තමයි ඔය රෝග ලක්ෂන අඩු වැඩි වශයෙන් අපි කවුරුන් තුලත් තියෙන බව. ඔයා ඒක නෝට් කරලා ඇති. ඒ වගේම med student කෙනෙකුටත් නිතර හිතෙන දෙයක් ඕක මම දන්න විදියට.:D
එහෙම හරි දැනුවත් වීම් කෙරෙනවා නම් වටිනවා.
Deleteඇත්තටම අයියා කිව්වත් වගේ ඕවා ඉගෙන ගනිද්දි එහෙම හිතෙනවා :D. ඒ ඉතින් මනසේ ස්භාවයනෙ.
හරිම වැදගත් ලිපියක්... මේ වගේ කරුණු ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න එක වටිනව...
ReplyDeleteගොඩාක් ස්තූතියි තරුරසී!
Deleteපුලුවන් තරම් සමාජය දැනුවත් කිරීම තමා වැදගත්.
වැදගත් ලිපියක් දෙපාරක් කියවන්න ඔනේ. හ්ම්ම්....
ReplyDeleteගොඩාක් ස්තූතියි මදාරා!
Deleteආයෙත් කියවල බලන්නකො එහෙනම්.
මෙහෙම මිනිස්සුන්ට දේවාරූඪ ඇවිල්ලා කියලා සල්ලි ගරන අවස්ථාත් නැතුවාම නෙමේ
ReplyDeleteහපොයි ඔව් හසිත, එයාලව හොයන් එන අයට වඩා හොඳ නිරෝගී මනසක් ඒ වැඩ කරන අයට තියෙනවා!
Deleteතුන්වෙනි කතාව ගැන නම් කියන්න දෙවල් වගේම හිතන්න දෙවල් ගොඩක් තියෙනවා. තුන් වෙනි කාතවත් මේ රොගෙට ඇතුලත් වෙනවා කියලා අදයි දැනගත්තේ. ස්තුතියි.
ReplyDeleteගොඩක් අය නොදකින දෙයක්. හැබැයි කල්පනාවෙන් ඒ මානසික රෝගයක්ද නැද්ද කියන නිගමනයට එන්න ඕනෑ. එකයි මෙම රෝගය නිර්ණය කරන්න මානසික රෝග විශේෂඥයෙක්ම අවශ්‍ය වෙන්නෙ.
Deleteකියවන්න හිතෙන තාලෙට ගලපලා ලියල තියෙනවා. නියමයි!
ReplyDeleteඔන්න එහෙනම් මං ගානෙ schizophrenia film list එකක්...
Black swan
Shutter island
The fisher king
Pi
Through a glass darkly
The innocents
The snake pit
Angels of the universe
Benny & Joon
Shine
බාගත්තොත් මටත් දෙන්න ඕනෙ ඕං... :D
ආ මෙන්න තව තියෙනවා..
DeleteMemoirs of My Nervous Illness (2006)
Images (1972)
Videodrome (1983)
Santa Sangre (1989)
Nightbreed (1990)
Drop Dead Fred (1991)
Benny & Joon (1993)
Angel Baby (1995)
Clean, Shaven (1995)
Conspiracy Theory (1997)
Pi (1998)
Julien Donkey-Boy (1999)
The Messenger: The Story of Joan of Arc (1999)
Donnie Darko (2001)
K-PAX (2001)
Igby Goes Down (2002)
Spider (2002)
Identity (2003)
The Butterfly Effect (2004)
Keane (2004)
Spider Forest (2004)
Shabd (2005)
15 Park Avenue (2005)
Stateside (2005)[1]
Danika (2006)
Reprise (2006)
I'm a Cyborg, But That's OK (2006)
Mr. Brooks (2007)
My Name Is Alan and I Paint Pictures (2007)
Savage Grace (2007)
The Soloist (2008)
Mirrors (2008)
Karthik Calling Karthik (2010)
Sucker Punch (2011)
Of Two Minds (2012)
Woh Lamhe(2006)
:D :D
:D ඔය තියෙන්නෙ නියම ලිස්ට් එකක්. හැබැයි ඔය ඔක්කොම නම් බාන්න බැරි වෙයි. හොඳම ඒවා ටිකක් බලල ගන්න ඕනෙ, බෑවොත් දෙන්නම්කො.
Deleteබුදු අම්මෝ... මාර ලිස්ට් එකක් නෙව.. බලපු චිත්‍රපටත් අතලොස්සක් ඒ අතර තියනවා. ඒත් ගොඩාක් ඒවා නොබලපුවා.. ගිමන් මල්ලි දැන් ක්ෂනික ටොරන්ට් ක්‍රමේකුත් කියලා දුන්න් එකේ බලන්නම වටිනවා.
Deleteඅහ් අයිය කිව්වත් වගේ ඔන්න ඒ ක්‍රමෙන් වැඩක් ගන්න වෙලාවක් :)
Deleteසුබපැතුම් යාළුවා. අදමයි මේ පැත්තේ ආවේ මම වැඩකරන විෂය ක්ෂේත්රයට අදාල මාතෘකාවක් නිසා. දිගටම ලියන්න. මේ වගේ දේවල් ගැන අවබෝධය ලබා දෙන එක ගොඩක් වටිනවා. ජය...!
ReplyDeleteස්තූතියි ප්‍රදීප්! ගොඩක් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා! මෙවැනි රෝග පිලිබඳ මට වඩා පරිපූර්ණ දැනුමක් ඔබට තිබෙන නිසා මෙහි අඩු පාඩුවක් ඇතිනම් පෙන්වා දීම ගොඩක් වටිනවා. ඔබේ බ්ලොගය කියවා බැලුවා, ඉතාමත් වටිනා ලිපි ගණනාවක් කියවන්න ලැබුනා. විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.
Deleteවචන වල නිරවද්‍යතාවය (අක්ෂර වින්‍යාශය) ගැනනම් ඒ තරම් කල්පනා කරලා නැතිබව පේනවා. ඔබට අතපසු වුන දෙයක් තමයි භින්නෝන්මාද රෝගීන්ගෙන් 15%ක් සියදිවි නසාගන්නවා කියන කාරණය. අනිත් වැදගත් දේ තමයි මෙවැනි රෝගීන්ට නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙලක් තිබීම අත්‍යවශ්‍ය බව. නමුත් ඔබ මේ මාතෘකාව ගැන කතා කිරීමත්, අදාල නිවැරදි කරුණු ඉදිරිපත් කිරීමත් බෙහෙවින් අගය කරනවා. ජය...!
Deleteගොඩක්ම ස්තූතියි ප්‍රදීප්, අගය කිරීමකට වඩා වටින්නෙ වැරැද්දක් නිවරැදි කිරීම. මම නැවත කියවා බලා වචන නිවරැදි කරන්න උත්සාහ කරන්නම්. සියදිවි නසා ගැනීමේ අවදානම ඇත්තෙන්ම ඇතුලත් කල යුතුම වැදගත්ම කරුණක්. එයත් ඇතුලත් කරන්නම්.
Deleteනැවතත් ගොඩක්ම ස්තූතියි!
වටින ලිපියක් මල්ලි.. සෑහෙන මහන්සිවෙලා තියන හැඩයි.මටත් හිතෙන්නේ තවමත් සමාජයේ අය ගැන මේ සම්බන්ධව තිබෙන දැනුවත්බව අඩුයි. ඒ හින්දාමකට්ටඩි ගුරුකම් පස්සෙ යන්න යොමුවෙලා තරුණ ජීවිත අනාගතයම අඳුරු වුන වෙලාවල් දැකලා තියෙනවා.ඒ නිසාම මේ දැනුවත්කිරීම වටිනවා. මමත් ටික කාලෙකට කලින් මේ ගැන වෙනත් විදියකින් ලිපියක් ලිව්වා
ReplyDeletehttp://sonduru-nimnaya.blogspot.com/2012/06/blog-post_15.html
http://sonduru-nimnaya.blogspot.com/2012/06/blog-post_29.html
ස්තූතියි අයියා! මේ පිළිබඳ කොයි තරම් දැනුවත් කලත් මදි වගේ. එතරම් මෙවා ගැන සමාජයේ දැනුම අඩුයි. අයියාගේ ලිපි දෙකම කියෙව්වා, හරිම රසවත්. මෙම රෝගය ගැන අවබෝධය වැඩි කර ගන්න පුලුවන්.
Deleteමෙ ලිපිය මට කියවන්න ආසයි.
Deleteහොදම post එකක්
ReplyDeleteගොඩාක් ස්තූතියි! ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!
Deleteබොහොම වැදගත් සටහනක් ගිමන්. මම මේ ටික ඔයා ලියනකල් බලා හිටියා. මගේ සොහොයුරියකට මෙය වැළදී තියෙනවා. මුලින් ඈව මට තේරුම් ගන්න බැරි උනා. අද ඈ සමඟ සෙනෙහසින් වෙසෙනවා. මේ සටහන මට හරිම වැදගත්. ඔබට බොහොම පින්!. ............. ගොඩාක් ලියන්න දේ තිබුනත් අද වෙලාව හරස් වෙලා. පසුව එන්නම්.
ReplyDeleteගොඩාක් ස්තූතියි චන්දි!
Deleteආයෙත් ඇවිත් අක්කාගේ කතාව ඔබට කියන්නෙ වෙන කෙනෙකුට හෝ ප්‍රයෝජනයක් වෙවි කියායි. ඈ කුඩාකල ඉතමත්ම දක්ෂ දැරියක්, ලංකාවෙන්ම පළමුවැන්නාට අපොස සාමාන්‍ය පෙල හා අපොස උසස් පෙල සමත්වූ අයෙක්. නමුත් අද ඈ මේ රෝගීතත්වයෙන් පීඩා විඳිනවා. ඒ සඳහා දෙමාපියන්ගේ පීඩනය හා විවාහයේදී ලැබෙන සහකරුවාගේ හැසිරීම යන දෙකම බලපා ඇතිබව මගේ හැඟීමයි. ඇගේ මනස මේ ආකාරයට විකෘති වීමට තවත් හේතුවක් තියෙනවා, ඈට සිටින්නේ ඔටිසම් නැමති තත්වයෙන් පෙලෙන දියණියක්. ඈ දැන් වයස විසිහයක දියණියක්. මේ හැම කරුණක්ම ඈට බලපාන බවයි මගේ හැඟීම. අපට කල හැකිදේ බොහොම සීමා සහිතයි. නිවසේ පරිසරය හොඳ නැති නිසා වැඩි බලපෑමක් අපිට කරන්න බැහැ . කරුණාවන්ත සැමියෙකුගේ ආදරය රැකවරණය ඈට ලැබුනා නම් මේ තත්වය වෙනස් වෙන්න තිබුනා. නමුත් ඈ අසරණයි මේ වෙලාවෙ.සමහර වෙලාවට බෙහෙත් වෙලාවට නොගැනීම නිසා හෝ අතපසු කිරීම නිසා උග්‍ර වෙනවා. දරුවෙන් ගේ ආරක්ෂාවක් වත් ඈට තිබුනානම් හොඳයි. එයත් ලැබෙන්නෙ නෑ. මේ අයට වඩා වටින්නේ ආරක්ෂාව ආදරය කරුණාව සෙනෙහස නේද? ඖෂධ හා සමගාමීව මේවා ඇතුලත් උනාම ඉක්මනින් මේ තත්වය සමතය කර ගන්න පුළුවනි නේද?
ReplyDeleteඉතා අවාසනාවන්ත තත්වයක්, චන්දි ගොඩක් පැහැදිලිව ඇගේ විස්තරය ලියල තියනවා. ඇයට මෙම රෝගය ඇති වීමටත් එය හොඳ අතට නොහැරීමටත් හේතු ඉතා පැහැදිලිව දැකිය හැකියි. ඔබ සඳහන් කර ඇති ආකාරයට ඉගෙනීමට ඉතා දක්ශ කෙනෙක් එවැනි අය වඩ වඩාත් ඉගෙනුම් කටයුතු වලට වෙහෙස වන නිසා මාන්සික පීඩනයට ලක් වීමේ ඉඩ ප්රස්ථා වැඩියි.
Deleteඒ පීඩනයට ඔබ දැක්වූ පරිදිම දෙමව්පියන්ගේ බලපෑම හා අසාර්ථක විවාහ දිවිය ඉතා නරක ලෙස බලපානවා. එවැනි වෙලාවක බොහෝ විට සිසිලසකට ලැබෙන්නේ සිය දරුවන් වෙතින් ලබන සෙනෙහස හා සතුට, මැයට එයිනුත් ලැබී තිබෙන්නේ පීඩනයක්.
චන්දි ඇය ඉන්නේ ගොඩක් අවධානම් තත්වයක, මා ඉහත සඳහන් කලා මෙම රෝගයේ සුවවීමට බලපාන ලක්ෂණ, ඒවායින් මැයට ඇත්තේ රෝගය නරක අතට හැරීමට රුකුල් දෙන එවා. ඉතින් තාමත් ප්‍රමාද නෑ. ඇයව වගකීමෙන් හා සැලකිල්ලෙන් රැක බලා ගත හැකි අයෙක් වෙතට යොමු කල යුතුයි. යලි වෛද්‍යවරයා වෙත ගෙන ගොස් එකදිගට නිවරැදිව ඖෂධ ලබා දෙන්න.
ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඇයට ආදර කරුණාව හා සිතේ සතුට ලබා දෙන්න. මේ සියල්ල සර්ථකව සිදු කල හොත් ඉතා ඉක්මණින් ඇය සුව අතට හැරේවි! එසේ ඉක්මණින්ම වේවායි මම ප්‍රාර්ථනා කරනවා!
බොහොම පින් පුතා මේ පිළිතුරට. ඈ ගැන මටත් ඇත්තේ හරිම කනගාටුවක්. මට කලහැකි දේ අල්පයි. මගේ නිවසේ ඇයට පහසුව ඉන්නත් ඇයට ආදරය කරුණාව දෙන්නත් අපිට පුලුවන්, නමුත් ඇගේ ස්වාමියා අකමැතියි, අනෙක ඇගේ දියණිය බලා කියා ගන්න කෙනෙක් නෑ. එනිසා එය අපහසුයි. ඈත් සමඟ දියණිය එක්ක එන්න විදිහක් නෑ. මේ ප්‍රශ්ණ නිසා මාත් හරිම කනගාටුවෙන් ඉන්නෙ. ඔබේ වටිනා කාලයෙන් මට පිළිතුරක් ලබා දීම අගයනවා. ඔබේ ඉදිරි ජීවිතය මේ සත්කාරයේ හේතුවෙන්ම වාසනාවන්ත වේවා!
Deleteනැවතත් ස්තූතියි චන්දි! ගැටළුව ගැන නම් කණගාටුයි. පවුලේ අයවත් එකතු වී විසඳන්න උත්සාහයක් දරන්න. ඇගේ සැමියා සමඟ සන්සුන්ව වගකිව යුතු අයෙක්ට කතා කරන්න කියන්න. ඔහුත් යම් සංකූලතාවකින් පෙලෙනවා වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඉක්මනින් යහපත් තත්වයක් උදා වේවායි නැවතත් පතමි.
Deleteහොද ළිපියක් බොහොම ස්තුතියි
ReplyDeleteස්තූතියි!
Deleteme ledeta lankawe inna hodama doctor kawde..man danna uncle kenek innawa.
ReplyDeleteloku help ekak,mata details kiyanna..
naththam mata contact ekak SMS karanna 0712499540(Gayan)
මත් මෙ අද දැනගත්තෙ මට schizophrenia ලෙඩෙ තියනවා කියලා. ඉතිම් මන් ඉන්ටර්නෙට් එකෙ හොයද්දි තමයි මට ඔයගෙ අඩවිය හම්බ උනේ. කියන්න තින්නෙ එක දෙයයි!............
ReplyDelete.....ගොඩක් වටින ලිපියක් මෙක. ස්තුතී [SD සංජය]