Wednesday, June 1, 2016

කොලෙස්ටෙරෝල් වැඩි වෙලාද?


පෙශර්,  සීනි, හාට් ඇටෑක්, ..... මේ වචන සෙට් එක අතරේ නිතරම කියවෙන වචනයක් තමයි මේ කොලෙස්ටෙරෝල්. නිතර කිව්වට වැඩි දෙනෙක් මේ ගැන හොයල බල්න්නෙ නැහැ නේද?

මොනවද මේ කොලෙස්ටෙරෝල්?

කොලෙස්ටෙරෝල් කියන්නෙ අපේ සිරුරට අවශ්‍ය, අපේ සිරුර ගොඩනැගී තියෙන සෛල වල බිත්තියේ සංඝටක් වන ඉටි වගේ ද්‍රව්‍යයක්. මෙය නිපදවීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපේ සිරුර තුලම නිපදවීම, ඒ කියන්නේ අපේ අක්මාව සියල්ලක්ම වාගේ අපේ සිරුරට අවශ්‍ය කොලෙස්ටෙරෝල් නිපදවා රුධිරයට මුදා හරිනවා සිරුරේ අවශ්‍ය ස්ථාන වලට ලැබෙන පරිදි. ඒ වගේම අපි ගන්නා ආහාර වලිනුත් සිරුරට කොලෙස්ටෙරෝල් ලැබෙනවා, ඒ කියන්නෙ අපි කන සත්වමය ආහාර වලින්. ( උදා - මස් , සම්පූර්ණ යොදය සහිත කිරි) අපි වැඩි වශයෙන් සංතෘප්ත හා ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වැඩියෙන් ගන්න විට අක්මාව වැඩි වැඩියෙන් කොලෙස්ටෙරෝල් නිපදවීමට පටන් ගන්නවා. මෙවිට රුධිරයට එකතු වෙන කොලෙස්ටෙරෝල් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙන කොලෙස්ටෙරෝල් එකට බැඳී කැටිති සෑදේනවා ඒ කැටිති රුධිර නාල වල බිත්ති අතර බැඳී එම ස්ථාන රුධිරය ගමන් කිරීමට අපහසු වෙන විදිහට අවහිර කරනවා. මේ කැටිති රුධිර නාල වල බිත්තියෙන් කැඩී රුධිරය හා එක්ව රුධිර කැටි සාදනවා. එම කැටිති නිසා මොළයේ යම් රුධිර නාලයක් අවහිර වීමක් සිදුවුවහොත් එය ආඝාතය (Stoke) යන රෝග තත්වයට හේතු වෙනවා. ඒ වගේම හෘදයට රුධිරය සපයන රුධිර නාලයක් අවහිර වීමක් සිදුවුවහොත් එය හෘදයාබාධයක් ලෙස හැඳින්වෙනවා.

කොලෙස්ටෙරෝල් වර්ග දෙකක් තියෙනවා, හොඳ කොලෙස්ටෙරෝල් (HDL - High density Lipoprotein) හා නරක කොලෙස්ටෙරෝල් (LDL - Low density Lipoprotein) විදිහට. ඉහත සඳහන් කල රුධිර කැටි ඇති කරන්න උදව් කරන්නේ මේ නරක (LDL) කොලෙස්ටෙරෝල්. නරක කොලෙස්ටෙරෝල් (LDL) වලට රුධිර නාලිකා වලට ඇලිල රුධිර කැටි හදන්න  ඉඩ නොදී අපිව ආරක්ෂා කරන්නේ හොඳ (HDL) කොලෙස්ටෙරෝල්.

මීට අමතරව ට්ර්යිග්ලිසෙර්යිඩ් (Triglycerides) කියන ලිපිඩ වර්ගයත් ඉහල සාන්ද්‍රණයෙන් රුධිරයේ ඇති විට නරක කොලෙස්ටෙරෝල් එක්ක එකතු වෙලා  මේ රුධිර කැටිති හදන්න උදව් කරනවා. මේ ලිපිඩ වර්ගය වැඩියෙන් නිපදවීම සිදුවන්නේ පහත සඳහන් තත්වයන් වලදී.

- කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීමෙන් (ආහාරයේ සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් 60% වඩා කාබෝහයිඩ්‍රේට් වීම)
- තරබාරු බව
- දුම්පානය
- අධික මත්පැන් පානය
- ව්‍යායාම අඩු වීම 
- සමහර ජානමය රෝගී තත්ව


මොනවද මේ ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් (Trans Fatty acid)?

ස්වාභාවිකව සෑදෙන තෙල් වර්ග වන අසංතෘප්ත මේද (polyunsaturated oils) වල අඩංගු වන්නේ සිස් ෆැටි ඇසිඩ් (cis fatty acid) එළවළු තෙල් නිපදවීමේ ක්‍රියාවලියේදී (හඩ්‍රජනීකරණයේදී) මෙම සිස් ෆැටි ඇසිඩ් වල බන්ධන බිඳී හැඩය වෙනස් වී ට්‍රාන්ස් යන ස්වරූපයට පත් වෙනවා. බොහෝ විට මෙම ඝන මේද ස්වරූපය මේස මාගරින් (Table magarine)ලෙස හැඳින්වෙනවා.

 මෙම කියාවලියට අමතරව සෝයා තෙල්, සූරියකාන්ත ඇට තෙල්, හෝ ධාන්‍ය තෙල් අධි උෂ්ණත්වයට රත් වීමේදී නැත්නම් නැවත නැවත ගැඹුරු තෙලේ බැඳිමට ලක් කිරීමේදී ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් නිපදවීම සිදු වෙනවා.

ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් අහිතකර ඇයි?

ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් මගින් අපේ රුධිරයේ ඇති LDL (නරක කොලෙස්ටෙරෝල්) වැඩි කරන්න ක්‍රියා කරන අතර  HDL (හොඳ කොලෙස්ටෙරෝල්) අඩු කරන්නත් ක්‍රියා කරනවා. මේ තත්වය බොහොමයක් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වැළඳෙන්නට හේතු වෙනවා. (හෘදයාබාධ, ආඝාතය, ලේ කැටි ඇති වීම)

මෙම ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් අඩංගු වන ආහාර වර්ග මොනවාද?

- මාගරින් 
- බඳින ලද ආහාර 
- පේස්ට්‍රි 
- බිස්කට්
- කේක් 
- බේකරි නිෂ්පාදන

කොහොමද අපි මෙම ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් භාවිතය අවම කරන්නෙ

හැකිතරම් තෙල් භාවිතා කර සිදු කරන ආහාර පිසීම් අවම කිරීම.
ගැඹුරු තෙලේ බැඳීම් (Deep fry) සඳහා කිසිවිටක අසංතෘප්ත මේද (polyunsaturated oils) සහිත තෙල් වර්ග භාවිතා නොකිරීම  (උදා : එළවළු තෙල් හෝ සූරියකාන්ත තෙල් ) සාමාන්‍ය බැඳීම් වලදී වුවද තෙල් අධි උෂ්ණත්වයට රත් වීමේදී ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් නිපදවීම සිදු වෙන බව මතක තබා ගත යුතු වෙනවා. පොල්තෙල් ගැඹුරු බැදිම් වලට සුදුසු ලෙස හදුනා ගෙන තියෙනවා. නමුත් සෑම ගැඹුරු බැදීමකදීම ආහාරය හා තැවරී ඇති තෙල් හොදින් බේරීමට හැර ආහාරයට ගැනීමට හුරු වෙන්න ඕනෙ. 
සෑම විටම ලේබල් හොදින් පරීක්ෂා කර ග්‍රෑමයක් තුල ඇති ට්‍රාන්ස් ෆැට් ප්‍රතිශතය හඳුනා ගැනීම ( ග්‍රෑම් 1 කට ට්‍රාන්ස් ෆැට් 1% වඩා අන්තර්ගත වේ නම් එම ආහාර භාවිතයෙන් වැලකීම සුදුසුය)

මාගරින් භාවිතය අවශ්‍යම නම් හැකිතාක් දැඩි මාගරින් ( Hard stick) වලට වඩා මෘදු මාගරින් (soft margarine)භාවිතය හුරු වීම.

අධි ශරීර බර සහිත අය, රුධිර සංසරණ පද්ධතිය ආශිත රෝග ඇති හා රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇති අය හැකිතාක් තෙල් වලින් වැලකී ඉන්න පුරුදු වෙන්න ඕනෙ.

ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ අටවෙනි පියවර ගැන තමයි අපි මේ කතා කරල ඉවර වුනේ.

4 comments:

  1. ට්ර්යිග්ලිසෙර්යිඩ්????????? ට්‍රයිග්ලිසරයිඩ්

    බඳින ලද ආහාර????????????? විවාහක ආහාර?

    ආශිත??????????? ආශික්?

    ReplyDelete
  2. කටු පිල, තෙබු කොළ මැල්ලුම වගේ දේවල් සතියකට සැරයක්වත් කෑමට එක්කර ගන්න

    ReplyDelete
  3. අඩේ සිගරට් බීමත් කොලෙස්ටෙරෝල් වලට බල පානවද?
    හරිම අසාධාරනයි

    ReplyDelete
  4. //එළවළු තෙල් නිපදවීමේ ක්‍රියාවලියේදී (හඩ්‍රජනීකරණයේදී) මෙම සිස් ෆැටි ඇසිඩ් වල බන්ධන බිඳී හැඩය වෙනස් වී ට්‍රාන්ස් යන ස්වරූපයට පත් වෙනවා. බොහෝ විට මෙම ඝන මේද ස්වරූපය මේස මාගරින් (Table magarine)ලෙස හැඳින්වෙනවා.//

    ඔබේ සටහන ඉතා හොදයි.

    එක කරුණුක අපැහැදිලි බවක් පෙනුන නිසා ඒ ගැන කෙටි සටහනක් පහත ලියා තබනවා. කෙසේ වුවත් ඒ කරුණු ඔබේ සටහනේ බලාපොරොත්තු වෙන සෞක්‍ය ගැන දැනුවත් කිරීමේ පරමාර්ථයට එතරම් වැදගත් කමක් ඇත්තේ නැති නිසා ඒක කොහොමටවත් ගැටළුවක් නොවෙයි.
    -------------------------------------------------------------------
    මා දන්නා තරමින් නම් මාගරින් ලෙස හැදින්වෙන ඝන මේද සවරූපය සංතෘප්ත මේදය මිස ට්‍රාන්ස්-මේදය නොවෙයි.

    අසන්තෘප්ත සිස්-මේදය සංතෘප්ත කිරීමේ අදහසින් හයිඩ්රජනීකරන කිරීමේදී සමහර මේද අසන්තෘප්ත අණු ආංශිකව හයිඩ්රජනීකරනයට ලක්වෙන අතර ඒවා රසායනිකව ස්ථායි වන්නේ නැහැ. ඒ නිසා ඒවා නැවත අසන්තෘප්ත බවට පත්වෙනවා. අසන්තෘප්ත මේදයේ ජ්‍යාමිතික අවස්ථා දෙකක් තිබෙනවා, සිස් සහ ට්‍රාන්ස් යනුවෙන්. නමුත්, සිස් ජ්‍යාමිතියට වඩා ට්‍රාන්ස් ජ්‍යාමිතිය තාපගතික වශයෙන් ස්ථායි නිසා ආංශිකව හයිඩ්රජනීකරනයට ලක්වුණ මේදය නැවත අසන්තෘප්ත සිස්-මේදයම බවට පත්වෙනවා වෙනුවට අසන්තෘප්ත ට්‍රාන්ස්-මේදය බවට පත්වෙනවා. ට්‍රාන්ස් මේදය හයිඩ්රජනීකරණයෙදී ඇතිවෙන්නේ ඒවිදියට බවයි ක්ෂේස්ත්රයේ පිළිගැනීම.

    ට්‍රාන්ස්-මේදයේ ඇති සමහර වාණිජ වාසි නිසා සමාගම් ඒවා උවමනාවෙන්ම යොදාගන්න අවස්ථාත් තිබෙනවා. දැන් දැන් බොහෝ රටවල් මේ ට්‍රාන්ස්-මේදය අඩන්ගුවෙන ප්‍රමාණය ගැන රෙගුලාසි පනවමින් යන බවයි පෙන්නේ.

    ReplyDelete