Sunday, September 29, 2013

උණ වලිප්පුව දරුණු රෝගී තත්වයක්ද? ( Febrile Convulsions )


නන්දාවතී උදෑසනම අවදි වූවේ සිය දියණියගේ අටමස් වියැති පුතුට බැඳි හාල් කැඳ පිළියෙල කිරීමටය.
ඒ පෙර දින රාත්‍රියේ දී දරුවාට හිස ගිණියම් වන්නට උණ ගැනී තිබූ බැවිනි.
මොහොතකින් ඇයට ගේ තුලින් දියණිය බෙරිහන් දෙනු ඇසිණි,

"අනේ අම්මේ ඉක්මණට එන්නකෝ පුතාට මොකක්ද වෙලා"

හණික ගෙය වෙත දිව ගිය නන්දාවතීට දැකිය හැකි වූවේ ඇස් උඩ තබා ගෙන ගැහෙමින් සිටින දරු සිඟිත්තාය. කලබල වූ ඇයද කෑගසන්නට විය.

ඒ හඬට නිවැසියන්ද, අහල පහල අයද සැනෙකින් එතැනට රොක් වන්නට විය.
නන්දාවතී දරුවා බදාගෙන හඬයි, දරුවාද දිගින් දිගටම ගැහෙමින් සිටී, කටෙන් වැගිරෙන කෙළ එකතු වී ගොර ගොර හඬක්ද නැගෙයි.

වට වී සිටින අය විවිධ මත පල කරන්නට විය.

"දරුවට උණ වලිප්පුවද කොහෙද!"

"ඉක්මනට කටට යකඩ හැන්දක් දාහල්ල දත කට පූට්ටු වෙන්න කලින්!"

"අතටත් යකඩයක් දුන්නා නම් ඉක්මනට ඕක නතර වෙයි!"

මෙවන් විවිධ ප්‍රතිකර්ම අතරින් ගැස්ම පැය භාගයක් පමන වන තෙක් පවතින්නට විය.

"කවුරු හරි ඉක්මනට ගිහින් වාහනයක් හොයාගෙන වරෙල්ලා"

නන්දාවතීගේත් දියණියගේත් විලාපය වැඩි වන්නට විය.

සුලු වේලාවකින් පැමිණි ත්‍රීරෝද රථයෙන් දරුවාව ලඟම තිබූ රෝහල වෙත රැගෙන යන ලදී.

වාට්ටුවට ගෙන එන විටත් ගැහෙමින් සිටි දරුවා ක්ෂණිකව වෛද්‍යය අවධානයට යොමු විය. මූලික පරීක්ෂා කිරීම් වලින් පසු ලබා දුන් ඖෂධ මගින් විනාඩි කිහිපයකින් දරුවාගේ ගැස්ම නතර විය.

නන්දාවතීට හුස්ම ටිකක් වැටුනේ ඉන්පසුවය

 ~ ~ ~ ~ ~ ~ * * * *  ~ ~ ~ ~ ~ ~

ඉහත සඳහන් සිදුවීමේන් පෙන්නුම් කලේ උණ වලිප්පුව සෑදුන දරුවෙකු පිළිබඳව හා එම දරුවාගේ දෙමව්පියන් ඥාතීන් එම අවස්ථාවේ ක්‍රියා කල අකාරයයි.

උණ වලිප්පුව ( Febrile Convulsions ) යනු උණ ඇති විට සමහර කුඩා දරුවන්ට ඇතිවන ගැස්මය (Fit). 

එය ඇති වන අකාරය සලකා බැලුවහොත්,

ශරීර උෂ්ණත්වය ඉහල යාම බොහෝ ආසාද වලදී සුලබව දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. සාමාන්‍යය ශරීර උෂ්ණත්වය වන 37 0c ට හැඩ ගැසී ඇති අප ශරීරයේ සෛලයන් උෂ්ණත්වය ඉහල ගිය විට විවිධ සංකූලතා පෙන්වීමට පටන් ගනී.

සම්පූර්ණ පරිනත බවට පත් නොවූ ළමා මොලයේ ස්නායු සෛලයන්ද උෂ්ණත්වයේ වෙනස්කම් වලට ඉතා සංවේදීය. එම නිසා එම සංකූලතාවල ලක්ශණයක් ලෙස සිරුරේ ඇති වන ගැස්ම (වලිප්පුව / fits) හඳුනා ගත හැක.

මාස 6 සිට අවුරුදු 5 දක්වා වයසැති දරුවන් හට උණ සමඟ ඇතිවන ගැස්ම උණ වලිප්පුව ලෙස හඳුන්වයි. මෙය වර්හ දෙකකට වෙන් කර දැක්විය හැක.

1. සරල උණ වලිප්පුව (Simple Febrile Convulsions)
2. සංකීර්ණ උණ වලිප්පුව. (Complex/Atypical Febrile Convulsions)

1. සරල උණ වලිප්පුව (Simple Febrile Convulsions)


මෙය අනතුරු දායක බව ඉතාමත් අල්ප එතරම් බියට පත් විය යුතු නැති තත්වයකි. මෙම සරල උණ වලිප්පුව හඳුනා ගත හැකි ලක්ෂණ මෙසේ දැක්විය හැක.

1. උණ සෑදී පළමු පැය 24 තුල ඇති වූවක් වීම.

2. ගැස්ම විනාඩි 15 කට වඩා අඩු වේලාවක් පැවතීම.

3. පැය 24ක් තුල ගැස්ම එක් වතාවක් පමණක් ඇති වීම.

2. සංකීර්ණ උණ වලිප්පුව (Complex/Atypical Febrile Convulsions)


ඉහත සඳහන් කල කරුණු 3 ඉක්මවා යන අවස්ථා මේ කොටසට අයත් වේ.

එනම්, උණ සෑදී පැය 24ක් ඉක්මවා ඇත් විට ගැස්ම ඇති වීම, ගැස්ම විනාඩි 15 කට වඩා වැඩි වේලාවක් පැවතිම හෝ පැය 24ක් තුල ගැස්ම එක් වතාවකට වඩා වැඩී වාර ගණනක් ඇති වීම, ගැස්ම සිරුරේ පැත්තක් පමණක් හෝ සිරුරේ එක් කොටසක (එක් අතක්, කකුලක් හෝ කට පැත්තට යාම ) පමණක් ඇති වීම.

මෙම ලක්ෂණ සහිතව ගැස්ම ඇති වූවේ නම් අනිවාර්‍යයෙන්ම දරුවා රෝහලක් වෙත රැගෙන යා යුතුමය.

මක් නිසාද ඉහත ලක්ෂණ ඇති විට මොලයට කිසියම් විශබීජයක් ඇතුලු වී ඇත්දැයි සොයා බැලිය යුතු බැවිනි.

කෙසේ වුවත් ඉහත සඳහන් ලක්ෂණ පෙන්නුම් කලද බොහෝ සංකීර්ණ උණ වලිප්පු තත්වයන්ද අවදානම් රහිත වර්ගයට අයත් වේ.

උණ වලිප්පුව ඇති වූ අවස්ථාවක ක්‍රියා කල යුත්තේ කෙසේද?

1. කලබල නොවන්න (Don't panic
දරුවෙකුට අසනීපයක් සෑදුන විට කලබලයට පත් වීම සාමාන්‍යය දෙයක්. නමුත්,ඉන් දරුවාට ඉක්මන් සුවයක් ලබා දීමට උදව්වක් වන්නේ නැහැ.
අවශ්‍යය වන්නේ කලබලයට පත් වී දරුවාව බදාගෙන සිටීම නොවෙයි. බුද්ධිමත්ව ඉක්මනින් ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමයි.

2. ගැස්ම ආරම්භ වූ වේලාව මතක තබා ගන්න.

3. දරුවාව ඇඳක් මත හෝ වෙනත් ආරක්ශා සහිත මතුපිටක් මත තබන්න, අනතුරු විය හැකි දෑ අසල ඇත්නම් ඒවා දරුවාගෙන් ඈත් කරන්න.

4. දරුවාව පැත්තකට හරවන්න (වම් ඇලයට හෝ දකුණු ඇලයට ). ගැස්ම ඇති විට මුඛයෙන් කෙල වැගිරීම සාමාන්‍යය දෙයකි. නමුත් මෙහි ඇති අනතුරුදායක් තත්වය වන්නේ එම කෙල ශ්වසන මාර්ගයට ඇතුල් වීමේ අවධානමයි. (ඉන් පෙනහලු ආසාදනයට පත් වීම සිදු විය හැක - Aspiration Pneumonia )  දරුවා ඇලයට හරවා මුඛයෙන් වැගිරෙන කෙල ඉවතට වැගිරෙන ඉරියව්වක තැබීමෙන් මෙම තත්වය වලක්වා ගත හැක.

5. කිසිම විටක දරුවාගේ අතට යකඩ හෝ වෙනත් කිසිඳු ද්‍රව්‍යයක් ලබා දෙන්න එපා.

6. කිසිම විටක ගැස්ම ඇති විට දරුවාගේ මුඛයට කිසිවක් ඇතුල් කරන්න එපා (මුඛයට යකඩ හැඳි හෝ ලී කැබලි තැබීම වැනි මිත්‍යා විශ්වාස අනුගමනය නොකරන්න. ඉන් මුඛයට හානි වීම, දත් කැඩී යාම වැනි අනතුරු සිදු විය හැක )

7. දරුවාගේ ඇඳුම් ඉවත් කරන්න.

8. දරුවාව තෙමන්න.
සාමාන්‍යය කාමර උෂ්ණත්වයේ ජලය මේ සඳහා පාවිච්චි කරන්න (ශරීර උෂ්ණත්වයට සමාන නම් වඩාත් සුදුසුයි ) රෙදි කැබැල්ලක් ආධාරයෙන් සිරුර හොඳින් තෙමන්න. දරුවාට කැස්ස හෝ හෙම්බිරිස්සාව ඇත්නම් පපුව හා පිට තෙමීමෙන් වලකින්න.

9. මිනිත්තු 10 කට වඩා ගැස්ම පැවතුන හොත් ලඟම ඇති රෝහල වෙත දරුවාව රැගෙන යන්න. එසේ රැගෙන යාමේදී දරුවා උඩු අතට වඩා ගෙන යාමෙන් වලකින්න. ඇලයට හැරවී සිටින ලෙස ආරක්ශිතව රැගෙන යන්න.

10. එක් වරක් උණ වලිප්පුව වැලඳුන දරුවෙකු නම් යළිත් ශරීර උශ්නත්වය ඉහල යන අවස්ථාවල උෂ්ණත්වය පාලනයට ඉක්මන්ව ක්‍රියා කරන්න.

  • උණ කටුවක් ගෙන උණ මනින ආකාරය ඉගෙන ගන්න.
  • නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් පැය 6කට වරක් ලබා දෙන්න.
  • ඇඟ තෙමීම මඟින් උෂ්ණත්වය අඩු කරන්න.


උණ වලිප්පුව යනු බියට පත් විය යුතු රෝගී තත්වයක් නොවේ. උණ වලිප්පුව ඇති වූ දරුවන්ගෙන් 99.9%කටම මොළයට හෝ අන් අවයව වලටද කිසිඳු ආබාධයක් ඇති නොවේ. කල යුතු හොඳම ප්‍රතිකර්මය, දරුවා පිලිබඳ අවධානයෙන් සිට යන්තම් උණ සෑදීගෙන එන විට උෂ්ණත්වය පාලනය කර නැවත නැවත උණ වලිප්පුව සෑදීම වලක්වා ගැනීමයි.


20 comments:

  1. අගේ ඇති කතාවක් , වටිනා දැනුවත් කිරීමක් , 

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් !

      Delete
  2. මේ තියෙන්නේ, අපි දැනන් උන්නේ මහවෙදනයි, මහේෂ් නිශාන්ත මහත්මයයි විතරයි වෙදකම්වලට. අදමයි ආවේ බොහොම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රතී!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. විවේක තියෙන වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  3. ඔබේ වෘත්තියට අදාළ දැනුම මේ අයුරින් පාඨකයා අතට පත් කිරීම මම ඉතාමත් අගය කරනවා...ලියන්න තව තවත් මෙවැනි වටිනා ලිපි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිරා!
      මේ දිනවල ගොඩක් අවිවේකී නමුත් ඉඩක් ලැබුන වේලාවක් යලිත් ලියන්නම්.

      Delete
  4. දැනුවත් කිරීම ගැන ස්තුතියි.

    දැක්ක කල්! ඉතිං කොහොමද ගිමන් ජීවිතේ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩූඩ් අයියා!
      වැඩ නම් ගොඩයි, පොඩි විවේකයක් ලැබුන වෙලාවක තමයි මේකත් ලිව්වෙ.
      ජීවිතේ ඉතින් වරදක් නැහැ, අවිවේකී නිසාද කොහෙද වෙලාව ඉක්මණට ගත වෙනවා වගෙයි දැනෙන්නෙ.

      Delete
  5. අපි කුඩා කාලේ අපේ ගම්වල අම්මලා හිතුවේ මේක යක්‍ෂ දෝෂයක් කියලයි. වෙන එකක් තියා වලිප්පුව කියන වචනය කියන්නෙවත් නෑ. උණ වැඩිවෙලා අර නරක ලෙඩේ ඇවිත් කියලයි කියන්නේ. ඒ මදිවට ලමයව ඔතනවා රෙදි ගොඩකින්. ඉස්පිරිතාලේ යනවා වෙනුවට කට්ටඩියන්ගේ ගොන්පාට් වලට ගිහින් සෑහෙන්න ළමයි මැරුණා. දැන්නම් සෞඛ්‍ය අධ්‍යාපනයට පින්සිද්දවෙන්න මේ වගේ අවස්ථා වලට සාර්ථකව මුහුණ දෙන්න අම්මලා 99% ක් ම දන්නවා.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත විචාරක! අද කාලයේ දෙමව්පියන් ගොඩක් දැනුවත්. ඒ නිසාම ගොඩක් රෝගීතත්ව බරපතල වීමට පෙර වලක්වා ගැනීමට හැකි වෙලා තියෙනවා.

      Delete
  6. Replies
    1. ගොඩක් ස්තූතියි!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. විවේක තියෙන වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  7. දැනුවත් කිරීම ගැන ස්තුතියි. ගිමන්ව දැක්ක කල්...කොහොමද internship එක ඉවරද දැන්?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චාම්ස්!
      ඒකනේ සෑහෙන කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උනා.
      සීමාවාසික කාලෙ නම් තාම ඉවර නෑ, පොඩි විවේකයක් ලැබුන වෙලාවක තමයි ලිව්වෙ.

      Delete
  8. වැදගත් ලිපියක්..හැමදාම වගේ දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි අයියේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේශ් මල්ලි!

      Delete
  9. වටිනම උපදෙස් ටිකක් සරලව කෙටියෙන් ලියලා. පොඩි රෙස්ට් එකක් හම්බවෙලා වගෙයි.. ඉන්ටර්න් ජීවිතේ කොහොමද මල්ලි?

    ReplyDelete
  10. කෝ අපේ දොස්තර මහත්තයා ??? :)

    ReplyDelete
  11. ගොඩාක් ප්‍රයෝජනවත් ලිපියක්. ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.

    ReplyDelete
  12. ගොඩාක් ප්‍රයෝජනවත් ලිපියක්. ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.

    ReplyDelete