Sunday, June 17, 2012

තවත් එක් කතාවක්....!


තොර තෝංචියක් නැතිව මොරදෙන දුරකථනයේ නදට අස්විද අවදි වූවේ ඒ දෙස 

නොරිස්සුම් බැල්මක් හෙලා ගෙනමය.

" ධනුකයා...! අද දවසත් ඉවරයි වගේ" සිතමින් දුරකථනය අතට ගත්තේය.


මොකද බං නිවාඩු දවසේ වත් දෙයියනේ කියල ටිකක් නිවිහැනහිල්ලෙ නිදා ගන්න 

දියන්කො"


ඇස්විදට තරහ ගොස් ඇති වගක් ධනුකට වැටහින.


"සොරි මචං, බොස් කතා කලා. ලබන සතියෙ අනිවාර්‍යයෙන් රිපෝට් එක භාර 

දෙන්නලු,

තව ඩේටා ටිකක් මදි නේද? අද ට්‍රයි එකක් දෙම්මොත් හවස් වෙද්දි තව තුන හතරක් 

වත් එකතු කර ගත්ත හැකි.

උඹට පුලුවන් නම් "සැඳෑ සෙවණ" කවර් කරපන්කෝ. මම අනිත් තැන් දෙක 

බලන්නම්"


ධනුකගේ සන්සුන් ආයාචනය අස්විදට සිය කෝපය ගැන මද ලැජ්ජාවක් ඇති 

කරවීය.

"ඒකත් එහෙමද. හ්ම්... ඕකේ ඕකේ මචන් එහෙම කරමුකෝ එහෙනම්"

යැයි පවසමින් ඇමතුම විසන්ධි කල අස්විදට නිවාඩු දවස රාජකාරියට කැප කිරීමට 

තවමත් හිත හදාගත නොහැක. නොකරත් බැරිය.

"ඔන්න ඔහෙ ඉක්මනට ඉවරයක් කරල දාල එනව... යැයි සිතා ගනිමින් අසීරුවෙන් 

ඇදෙන් බැස ගති.


     --------------------------------

යතුරු පැදිය සිටවූ අස්විද හෙල්මටුව එහි පටලා ලිපිගොනුවද ගෙන "සැඳෑ සුවයේ" 

කාර්‍යයාලය වෙත පා නැගුවේ ඇහැට කනට පේන ලිපිකරිනියක් වත් සිටීවායි පතමිනි. 


එය අද නම් ඉටු නොවන පැතුමක් යැයි හැගුනේ කර්‍යයලයා ක්ෂණිකව පිරික්සීමෙන් 

පසුවය. වැඩි කතා නැතුවම, පැමිනි කාරණය පවසා අවශ්‍යය අවසරය ලබා ගත් 

අස්විද සැඳෑ සුවයේ විවේක ගන්නා මව්වරු පියවරු සිටි විවේකාගර වෙත පිය 

නැගුවේ මදක් අලස සිතින් යුතුවය.


ගෙවත්තේ පිහිටි විශාල කොහොඹ ගසක් යට පොතක් කියවමින් සිටි වයස 

හැත්තෑවක් පමණ යැයි සිතිය හැකි අම්මා කෙනෙකු අස්විදට ඇස ගැසිණ. ඇයගේ 

මුහුණේ වූ ශාන්ත පෙනුම නිසා වෙන්දෝ පළමු කතා බහට ඇයව තෝරා ගැනිමට 

අස්විදට සිතුනි.


සිනාවක් මුවඟට නගා ගෙනම ඇය වෙත කිට්ටු වූ අස්විද

"අම්මා බරටම පොත කියවනව වගේ, 

බාධා කරන එක හරිද මන්දා " යැයි විමසීය


ඈත අලස ගමනින් පැමිනි තරුණයා තමා වෙතට පැමිණි වගක් නන්දාවතීට 

වැටහුනේ ඔහුගේ කටහඬ ඇසුනායින් පසුවය. සිය පුතුට සමාන උස මහතින් පාටින් 

යුතු වූ ඔහුගේ දැක්ම නන්දාවතීට සතුට දනවන්නක් විය.


"කම්මැලිකම යන්න බණ පොතක් කියෙව්ව" 

පුතා මෙහෙ නැවතිල ඉන්න කාව හරි මුන ගැහෙන්න හොයන ගමන්ද? නම කියන්න 

මම දන්න කෙනෙක් නම් මුන ගස්සන්න පුලුවන්"


"නෑ අම්මේ මම සමාජ සෙවා ආයතනයකින් කරන පොඩි සමීක්ශණයකට තොරතුරු 

එකතු කරනවා, ඉතිං අපිට පැවරිලා තියෙන්නෙ මේ වගේ ආයතනවලට ඇවිත්, 

මෙහෙ නැවතිලා ඉන්න අම්මලා තාත්තලා එක්ක කතා කරල අවශ්‍යය තොරතුරු 

ටිකක් රැස් කරන එක"

අම්මගෙ අකමැත්තක් නැත්නම් විස්තර ටිකක් කිව්ව හැකිද?


ඉතා සංවරව කතා කරන තරුණයා ගැන නන්දාවතීට අහිතක් නොසිතිනි.

"ඕක මහ දෙයක්ද දරුවෝ, කැමති දෙයක් අහන්න මම පුලුවන් විදිහට කියන්නම්"


මෙලෙස ආරම්භ කල සංවාදය ඉතා සුහදව කෙරීගෙන යන අතර අස්විද අවශ්‍යය 

තොරතුරු සම්පූර්ණ කර ගත්තේය. අවසානයට ඇත්තේ අමාරුම කොටසයි. අස්විද 

කවදත් අවසන් පැනයට කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් රාජකාරිය සම්පූර්ණ කල 

යුතුය.


"මේක ඇහුවට අහිතක් හිතන්න එපා අම්මෙ. අම්ම මෙතනට එන්න හිතුනේ 

මොකද?"


අස්විද බලපොරොත්තු වූ පරිදිම ඇගේ සිනාවේ ප්‍රභාව අඩුවී මුහුණට බැරෑරුම් 

පෙනුමක් ඇති විය. 

"අම්ම කියන්න අකමැති නම් නොකිව්වත් කමක් නෑ අම්මේ"


යලි සිහින් සිනහවක් පෑ නන්දාවතී

"පුතාගෙ රජකාරියට නොවැ, අකමැත්තක් නෑ, මම කියන්නම්"


ඉන් පසු ඇය සෙමෙන් ඇගේ අතීතය අස්විදට ගොනු කර දීමට ගත් උත්සාහය 

මෙසේය


"මම ඉස්සර ගෙදර පොඩියට මැහුම් වැඩපලක් කරගෙන ගියා, තව ළඟපාත 

දැරිවියකුත් උදවු කරගෙන. මගෙ මහත්තය වැඩ කලේ ආදයම් බදු 

දෙපර්තමේන්තුවෙ.

අපිට හිටියේ එක පුතයි. මුදල් හදල් වලින් අඩුපාඩුවක් තිබුනෙත් නෑ. අපි තුන්දෙනා 

ඉතිං බොහොම සතුටින් ඒ දවස් වල ජීවත් වුනේ.


පුතා හරිම කීකරුයි, අපිට ලැදියි, අහිංසකයි. ඉගෙනීමෙන් මහ හපන්කම් 

නොපෙන්නුවට උසස් පෙල සම්මාන එක්ක සමත් වුනා. 

හැබැයි විශ්ව විද්‍යයාලෙ යන්න ලකුණු මදි වුනා. මහත්තයගේ ඇදුනුම්කමට පුතාට 

බැංකුවක රැකියාවක් හම්බුනා.

අවුරුදු කීපයකින් බැංකු විභාග කීපයක් සම්පූර්ණ කරල ඉක්මනින්ම උසස් වීම් වලට 

යන්න පුතාට පුලුවන් උනා.


මම මැහුම් වැඩ අහ ඇරල දැම්ම පුතාගෙ බල කිරීමටම. ඒ කාලේ හරිම සැහැල්ලුයි, 

සති අන්තෙට හරි නිවඩු දවස් වලට හරි අපි තුන්දෙනා විනෝද චාරිකා යනව, 

වන්දනා ගමන් යනවා හරිම සතුටින් කාලෙ ගත වුනේ.


ඒ දිනවල ඇය ගත කල සෞභාග්‍යවත් ජීවිතය අස්විදට ඇයගේ ඇස් වල කාන්තිය 

වැඩි වූ ආකාරයෙන් සිතා ගත හැකි විය.


" කොහොමහරි පුතාට වයස විසි හතක් විතර වෙනකොට අපි දන්න කියන කපු 

මහත්තයෙකුට කියල පුතාට විවාහයක් කරල දෙන්න ගැලපෙන ගෑණු දරුවෙක් 

හොයන්න ගත්ත. වැඩි දවසක් නොගිහින් ආපු යෝජනාවකට අනුව පුතාගෙ විවාහය 

සිද්ධ වුනා.

ඒ ළමයා ගුරුවරියක්, හොඳ පවුලක එකම ගැනු දරුව.

ලේලිගෙ කියන්න වරදක් තිබ්බෙ නැහැ. සාමයෙන් සතුටෙන් පවුලේ කෙනෙක් 

වගේම ජීවත් වුනා.


පුතගෙ විවාහෙන් අවුරුද්දකට විතර පස්සෙ මහත්තය පපුවෙ අමාරුවක් හැදිල 

හදිස්සියෙම අන්ත්‍රා වුනා.


ඒ එක්කම වගේ තමා පුතාගෙ පළවෙනි දරුවා ඉපදුනේ. හරිම හුරතල් කොලු පැටියා. 

මා එක්කමයි හැදුනෙ වැඩුනේ. පුතයි ලේලියි වැඩට යන නිසා. තව අවුරුදු දෙකකින් 

මිනිබිරියකුත් එකතු වුනා. දරුවො දෙන්නවම කවල පොවල උස් මහත් කලේ මම 

තමයි.


ඔය අතරේ පුතාට අදහසක් ආවා කොළඹට කිට්ටුව ඉඩමක් අරන් ගෙයක් හදන්න. 

මම හිතන්නෙ ලේලිගෙත් අසාවක් තිබුන ඒකට. දෙන්නම එකතු කර ගත්ත සේරම 

වියදම් කරල ඉඩම අරගෙන ගෙයි වැඩ පටන් ගත්ත. සල්ලි මදි වෙලා වැඩ කරන 

තැනට, බැංකු වලට ඒ මදිවට පොලී කරයින්ගෙනුත් නය ගන්න වුණා.


ඇයි පුතේ කොළඹට කිට්ටුව ඉඩමක් අරන් තට්ටු දෙකට ගෙයක් හදනව කිව්වහම 

සුලු වියදමක්ද!

පොලී ගෙවා ගන්න බැරි වෙනකොට මහ ගෙදරයි ඉඩමයි විකුනලා බාගෙට හදා 

ගත්ත කොළඹ ගෙට ආවෙ මගෙ මනාපයක් අහන්නෙත් නැතුවම.


ණය බරින් මිදෙන්න නම් ඒ අතට ආපු සල්ලි මදි වුනා මයෙ හිතේ. පුතා රෑ කරුවල 

වැටෙනකල් ඕ ටී කරන්න පටන් ගත්තා, ලේලිත් ටියුශන් පංති වගයක් පටන් ගත්තා. 

දරුවෝ දෙන්න මම බලා ගත්ත නිසා එයාලට නිදහස තිබ්බ. දරුවෝ සල්ලි 

හොයන්න දුක් විදිනව බලා ඉන්න බැරි කමට මහත්තයගෙ පැන්ශන් එක පුතාගෙ 

නමට හැරෙව්ව. මට ඉතිං සල්ලි මොකටද.


මුනුබුරයි මිනිබිරියයි කොහොම හරි ඉස්කෝලෙ යන වයසට ආව විතරයි ඒ දෙන්නව 

බෝඩිං ඉස්කෝල දෙකක නැවැත්තුව. ඉගෙන ගන්නනෙ කියල මාත් හිත හදා ගත්ත.


ඔන්න ඔය කාලෙම තමා පුතේ මට මේ කරුම ලෙඩේ හැදුනේ ආතරයිටිස්ද මොකද්ද 

කියල තමයි දොස්තර මහත්තය කිව්වෙ.

අන්තිමට දණිස් දෙක නවා ගන්න බැරි මට්ටමටම ආව. ගොඩ වෙද කම් කලා මිසක් 

පුතාලට කරදර කරන්න හිතුනෙ නෑ. අන්තිමට ඉස්පිරිතාලෙ ගිහින් දනිස් දෙකේ 

එක්ස් රේ ගත්ත. ඒක බලල වාට්ටුවේ දොස්තර මහත්තය කිව්ව අම්මෙ දනිස් දෙකම 

දාන්න වෙනව කියල, ඒත් හෘද වස්තුව දුර්වල නිසා ඔපරේශන් කරන එක අවදානම් 

කිව්ව.


අන්තිමට මට ඇවිද ගන්න බැරි ගානටම අමාරු උනා.

ගෙයි ණය බරෙන් නිදහස් වෙන්න සල්ලි මත්තෙම නැහෙන්න වුන හන්දද මන්ද 

පුතගෙත් ඒ හැටි කරුණාවක් ඉතිරි වෙලා තිබ්බෙ නෑ, එහෙන් දරුවන්ගෙ බෝඩිං 

ගාස්තු, බැංකු පොලී, ණය පොලී. අනෙක කොලඹ රටේ හැමදේම සල්ලි වලට නෙ ඒ 

මදිවට ගිනි ගනන්. මගේ සාත්තුවට කෙනෙක් හොයා ගන්නවා තියා ගෙදර කන 

බොන එකත් කලේ හිඟන්නො ගානට.


ඔය කාලෙ පුතේ මට හිතුන පුතාලට බරක් නොවී ජීවත් වෙන්න ක්‍රමයක් 

නොතිබුනොත් පුතාට රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් අවලාද අහන්න වෙයි නේද 

කියල. මගෙ පරන යාලුවෙක්ගෙ දරුවෙක් තමයි මේ තැන ගැන කිව්වෙ.

පුතාට මේ ගැන කිව්වහම කල්පනා කලා මිසක් මුකුත් කිව්වෙ නැහැ, යන්න එපා 

කිව්වෙත් නැහැ. හිත ටිකක් රිදුනත් මට හිතුන පුතත් මේ වෙලාවෙ අසරණයිනෙ 

කියල.

ඉතිං අන්තිමට මෙතනට අවා.


දැන් නම් වරදක් කියන්න නෑ පුතේ රත්තරන් දුවල පුතාල මෙතන උදව්වට ඉන්නෙ, 

හරිම කරුණවන්තයි. කිසිම අඩු පාඩුවක් නෑ. සතියකට දවසක් දොස්තර නෝන 

කෙනෙක් ළඟටම ඇවිත් සුව දුක් බලල ඕනෑ කරන බේත් හේත් දීල යනව. රෝද 

පුටුව පාවිච්චි කලාට හැරමිටිය ගහගෙන ටික දුරක් යා ගන්න පුලුවන් දැන් මට. ඉතිං 

පොතක් පතක් කියෝගෙන නිස්කලංකෙ ඉන්නව.


කතාවේ අරුමයක් නැතත් අස්විදගේ සිතේ යමක් සිරවී ඇත්තාක් මෙන් දැනේ.

"ඉතිං අම්මෙ පුතා නිතර එනවද අම්මව බලලා යන්න?" 


"අපොයි ඔව් පුතේ මාසෙකට සැරයක් නම් නොවරදවා එනව. පහු ගිය සිංහල 

අවුරුද්දට පවුල පිටින්ම අවා, හප්පේ කොලු පැටියයි කෙලි පොඩ්ඩයි දැන් ලොකුයි 

ආසාවේ බෑ දැක්කහම"


ඇසුනු දෙය ඇදහීමට අකමැති වූවාක් මෙන්, අලුත් අවුරුදු දිනයත් ඇය ගත කලේ 

මෙහිදැහි ඇසීමට ගිය අස්විද එය එසැනින් ගිල ගත්තේ එසේ අසා ඇය රිදවිමට තරම් 

තමා මෝඩයෙකු නොවිය යුතු බව හැඟී යාමෙනි.


සන්සුන්ව කතාව කියමින් සිටි නන්දාවතීගේ දෙඇස් බොඳ වූ සෙයක් දැකිය හැක. 

එය වටහා ගත් ඇය යන්තම් දෙඇස් පිස දමා ගෙන,


"කාල බීල නිස්කලංකව ජීවත් වුනත් තනිකම උහුලන්න බැරි වෙලාවනුත් තියනව 

පුතේ,

පුතා අර දරු පැටව් දෙන්න දකින්න නැති උනහම හිතට ටිකක් වේදනයි!"


"මහත්තය අන්ත්‍රා වෙලා ගිය මාසෙ දහ වෙනිදාට අවුරුදු පහලොවක් උනා. පුතාට 

කරදර නිසා අමතක වෙන්න ඇති මං හිතන්නෙ.

මම ඉතිං මෙහෙ උදව්වට එන දරුවෙකුට කියල හදා ගත්ත ලස්සන මල් වට්ටියක් අර 

පේන බෝධිය ගාව තියන බුදු ගෙට ගිහින් පූජා කරල, බෝධිය වටේට පහන් පත්තු 

කරල බුදුන් වැඳල මහත්තයට පිං අනුමෝදන් කලා."


ඇය දෙස ඇසිපිය නොහෙලා බලා ගෙන කතාව අසා සිටි අස්විද සිය දෙනෙත් 

ලිපිගොනුව දෙස යොමුකර ගත්තේ සිය දෙනෙත් වල ඇතිවූ තෙතමනය වසන් කර 

ගන්නට මෙනි.


ඒ සමඟම තමා දෙසට කවුරුන් හෝ පැමිණෙන බවක් දැනින.


"අද අම්මට කතාවට යාලුවෙක් මුණ ගැහිල තියෙන්නෙ. බර කතාවක් නේද?

දවල් කෑම වෙලාව හරි නේද අම්මේ, යමුද කැම ශාලාව පැත්තට?"


කරුණාබර සිනහවකින් සැරසී ගත් යුවතියක් පැමිණ් දහවල් කෑම මතක් කරන 

තෙක්ම කාලය පිලිබඳ හැඟීමක් අස්විදට නොවීය.


"හපොයි දොලහත් පහු වෙලා නේද? ගොඩක් ස්තූතියි අම්මේ විස්තර කිව්වට" 

අස්විද පැවසූවේ වඩාත් ලෙන්ගතු වූ ස්වරයකිනි.


මාත් ස්තූති කරන්න ඕනෙ පුතේ, මටත් ගොඩක් සතුටුයි පුතා එක්ක කතා කරන්න 

ලැබිච්ච එකට, මගෙ හිතටත් සැහැල්ලුයි පුතා එක්ක කතා කලාට පස්සෙ"


පිටත්ව යාමට පෙර අස්විද නන්දාවතීගේ දෙපා නැමදුවේ තම මවට වදින්නාක් මෙන් 

භක්තියෙනි. ඉන්පසු  උදව්වට පැමිනි යුවතියගේ ආධාරයෙන් නන්දාවතී සෙමෙන් 

ගොඩනැගිල්ල වෙත ඇවිද යන ආකාරය නැවත හැරී බලා සිටි අස්විද දිගු සුසුමක් 

හෙලා ලය සැහැල්ලු කර ගත්තේය.


රාජකාරිය සම්පූර්ණ කිරීමට හවසත් පැමිණිය යුතු වෙයි. නමුත් අස්විදට ඒ ගැන පෙර 

පැවිති නොරිස්සුමක් නොවීය. ඒ වෙනුවට සිතේ තේරුම් ගත නොහැකි බරක් ඇති 

වූවක් මෙන් හැඟේ. එදිනෙදා නීතර දෙවෙලේ අහන්න ලැබෙන තවත් එක කතාවකට 

තමා සංවේදී වූවා වැඩි යයි සිතමින් හිත සැහැල්ලු කරගත් අස්විද හෙල්මටය අතට 

ගත්තේ ඊළඟ සති අන්තයේවත් ගෙදර ගිහින් එන්න යන්න ඕනෑ යැයි අහන්බෙන් 

මෙන් සිතට කඩා වැදි සිතුවිල්ලක් හදට තුරුල් කර ගනිමිනි.


8 comments:

  1. ම්හ්... ඇත්ත කතාවක්ද කියලා හිතට ඇවිත් එක අහන්න ගිහින් මට හිතුනා එක අහන්න දෙයක් නෙමේද කියලත්..මේක කතාවක් උනත් ඇත්ත ලෝකේ මේ දේවල් වෙන එක අරුමයක් නෙමේ... අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කොච්චර කැපවිම් කරනවද..එත් අන්තිමේ එයාලට හම්බවෙන තැග්ග මේකද කියලා හිතෙන කොට ..දරුවෝ අසරණ වෙන අවස්තා එනවා එත් එක අම්මා තාත්තාට ත් කියලා හිත නිදහස් කරගෙන සිත නිස්කලංකේ කතා කරා නම් සමහරවිට ඔය හිතේ ප්‍රශ්න ණය නැතිව් එන්න තිබ්බා එ අම්මගේ ආශිර්වාදයට...

    මේ වගේ අපුරු කත ගේන්න අයියේ..ඔයා කතව ගොනු කරන විදිය හරි පැහැදිහිලියි..කියවන් යන්න පුලුවන් ආසවෙන්.. මේ පෝස්ට් එකෙන් ගන්න කොච්චර දේවල් අපිටම තියෙනවද..මම නම් ප්‍රර්තනා කරන්නේ ජිවිතේ මට මොන ප්‍රශ්නේ ආවත් මගේ ලඟ මගේ අම්මා තාත්තා මගේ ලඟ ඉන්නම ඔනි කියලයි..නැති වෙලෙත් බැරි වෙලෙත් ..දුක සතුට මේ හැමවෙලේම ..

    ReplyDelete
    Replies
    1. මේ චරිත වලට අයිතිකාරයො ඕනෑ තරම් අපි අතරේ ජීවත් වෙනවා ඇති නේද නිම්ශා නංගි! ඉතිං සත්‍ය කතාවක් නෙවෙයිම කියන්නත් බැහැ. හැබැයි ඇත්ත මීට වඩා ගොඩක් තිත්ත වෙන්නත් පුලුවන්.
      හැමදාම කියනවා වගේ එන්න එන්නම කාර්යය බහුල වෙන සමාජ ක්‍රමයක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන අපිට දරාගැනීමේ ශක්තිය, සිහි බුද්ධිය රඳවා ගැනීම ගොඩක් වැදගත්. නැතිනම් කාර්යයබහුලත්වය එක්ක අත්වැල් බැඳන් එන මානසික පීඩනය නිසා අපි කාටත් නොදැනෙන තරම් සෙමෙන්, බිඳෙන් බිඳ අපේ මනුස්සකම දිය වෙලා යන්න පුලුවන්!
      හැමදාමත් වගේ ඔයාගෙ අදහස් මට ලොකු ශක්තියක්! ස්තූතියි නිම්ශා නංගි!

      Delete
  2. ඒකාකාරී කතාවලට කොටුවෙලා ඉන්න අපිට මේ වගේ කතා තමයි ඕනේ ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි රොබින් ගිමන්හලට ඇවිත් අදහස් දැක්වුවාට!
      ගිමන්හලට ආදරයෙන් පිලිගන්නවා!
      වෙනස් ආරෙට ලියන්න ගත්තත් කියවන්න කැමැති අය ඉදිවිදෝ කියල සැකයක් නොතිබුනා නෙවෙයි. ඔබේ මේ ප්‍රතිචාරය ඒ සැක බය දුරු කරගෙන දිගටම ලියන්න ලැබුණු ශක්තියක්.
      අයෙත් විවේකයක් ලැබුනු වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න!

      Delete
  3. ඔයා හිතලා ලිවුවා වෙන්න ඇති. ඒත් මේ ගොඩාක් මේ වගේ මහළු නිවාස වල ඉන්න අයගෙ පොදු කතාව. මේ මහළු නිවාස වෙන රට වලට හරියනවා ඇති. ඒත් අපේ රටට හරි යන්නෙ නෑ.ඒත් කොහොම වුණත් දවසින් දවස ඒවා හැදෙනව

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිඳූ,

      'කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම!
      කොළොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට!'

      තාමත් සිද්ද වෙන්නෙ ඔයදේම තමයි නේද?

      Delete
  4. දෙමාපියන් එහෙම තමයි.. ඒ උනත් ලමයි විදියට දෙමාපියන් ගැන මීට වඩා හිතන්න ඕනේ...අද ගොඩක් තැන් වල වෙන්නෙ ඔහොම තමයි..ඒදේ තේරෙන්නෙ එයාලත් වයසට ගිහින් එයාලට එයාලගෙ වැඩ කරගන්න බැරි උන දවසටයි..ඒ උනාට එදාට පරක්කු වෙලා වැඩියි...
    හරිම සංවේදි කථාවක් අදයි මේ පැත්තට ආවේ හැමදාම එන්නම් ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිෂ්!
      ඔයාවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා...
      ඇත්ත දෙමව්පියන්ගේ ආදරය තේරුම් ගන්න ප්‍රමාද වෙන්න නරකයි, මොකද ඒ ප්‍රමාදය කිසිදාක නිවරැදි කර ගන්න බැරි පසුතැවිල්ලක් වෙන්න පුළුවන් නිසා.
      නිදහස් වෙලාවලට ආයෙත් ගිමන්හලට ගොඩවැදිල යන්න එන්න!

      Delete