Sunday, October 30, 2016

දීපාවලී සැමරුම



මාස 3කට පමණ පෙර බාහිර රෝගී අංශයේ රෝගීන් පිරී ඉතිරී ගිය එක් උදයක අවසන් රෝගියා ලෙස ඔහු මාහට පළමු වරට මුණගැසිණි. ඔහු නමින් අරුල්දාස්ය, 40 අවුරුදු වියැතිය.

"ඩොක්ටර්, ඉන්න බෑ ඔලුවෙ කැක්කුම. මම බොන බේත් හින්ද්ද දන්නෙ නෑ."

"මොනවටද බේත් බොන්නෙ?"

"ඩොක්ටර් මට මොලේ පිළිකාවක් තියෙනවනෙ. ඒකට ඔපරේශන් එකකුත් කලා. මහරගමත් හිටියා. දැන් බදුල්ල මහ ඉස්පිරිතාලෙ පිළිකා ක්ලිනික් එකෙන් මාසෙන් මාසෙට බේත් ගන්නවා."

"විනාඩියක කාලයක් තුල සිය ජීවිතයේ අමිහිරිම කාල පරිච්ඡේදය ඔහු මා වෙත ගොනු කර කියා සිටියේ එසේය."

තවමත් තරුණ පෙනුමැති ඔහු බැලු බැල්මට ප්‍රසන්න අහිංසක පෙනුමකින් යුක්තය,

"මොකක්ද රස්සාව කරන්නෙ? "

"මම බංගලාවක අප්පු වැඩේට හිටියෙ ඩොක්ටර්, මේ අසනීපෙ හැදුනට පස්සෙ රස්සාවක් කර ගන්න බැරි උනා."

"මොකද උනේ? "

"අසනීපෙ පටන් ගත්තෙ අවුරුදු 5කට කලින්  මුලින්ම ෆිට් එක හැදෙන්න ගත්තා, ටික ටික හැදෙන වාර ගාන වැඩි වෙන්න ගත්තා. එක දවසක් ෆිට් එක නතර උනේම නැහැ. ගෙදර අය මාව නුවරඑළියේ මහ ස්පිරිතාලෙට අරන් ගියා. 
එහෙන් නුවර යැව්වා. නුවර මහ ස්පිරිතාලෙදි සීටී ස්කෑන් එකක් කලා. ඒකෙන් තමා මොලේ ගෙඩියක් තියෙනවා කියල හොයා ගත්තෙ. ඊට පස්සෙ මාව කොළඹ මහ ඉස්පිරිතාලෙට යැව්වා. එහෙදි ඔපරේශන් එකක් කලා ඒකෙදි ගත්ත කෑල්ලක් පරීක්ෂා කරල තමයි කිව්වෙ පිළිකාවක් කියල, ඊට පස්සෙ මහරගමට යැව්වා. කරන්ට් එක ඇල්ලුවා, බේත් දුන්නා. "

"ගෙදර තව කවුද ඉන්නෙ?"

"අම්මයි, නෝනයි දරුවො තුන්දෙනයි. නෝනා තේ වත්තෙ වැඩ. දරුවො තුන්දෙනාම ඉගෙන ගන්නවා. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ ඩොක්ටර්,"
දරුවන්ට හරියකට කන්න දෙයක් හදල දෙන්නවත් විදිහක් නෑ. බදුල්ලෙ ගිහින් එන්න වියදම් උනාම වයිෆ් හම්බ කරන සල්ලි ඉවරයි.

"ආධාර මුකුත් ලැබෙන්නෙ නැද්ද?"

"ග්‍රාමසේවක මහත්තයා අධාරයක් හදල දුන්නා ඒකෙන් මාසෙට රු 700ක් ලැබෙනවා."

තවත් විස්තර අසන අතර ඔහු රැගෙනවිත් තිබූ සායන පොත්, රෝග වාර්තා, පර්යේෂණ වාර්තා, ස්කෑන් පරීක්ෂා වාර්තා පරීක්ෂා කර බැලුවෙමි. 
එම වාර්තා වලට අනුව ඔහුට මොළයේ ඉදිරි පෙදෙසේ ( frontal lobe) හටගෙන ඇති (fibrillary astrocytoma (WHO II) ) යන පිලිකා තත්වය හටගෙන ඇත.

එදින ප්‍රතිකාර කර පිටත් කල ඔහු නැවත හමු වුවේ මසකට පමණ පසුවය. එවර ඔහු පැමිණ සිටියේ සිය පෙනීම ක්‍රමයෙන් අඩුවන බව පවසමිනි.
පිළිකා තත්වය පිහිටි පෙදෙස පිළිබඳව සලකා බලන විට මෙවැනි ගැටලු ඇතිවීම බලාපොරොත්තු විය යුතුය. ඒ පිළිබඳව පැහැදිලි කිරීම ආරම්භ කරන විටම ඔහු පැවසූවේ එම තත්වයන් පිළිබඳව මීට පෙර පිළිකා පිළිබඳ වෛද්‍ය වරයෙකු මනාව පැහැදිලි කර ඇති බවය.

ඉන්පසු ඔහු මදක් සංවේදී විය.

"මට මොනව උනත් කමක් නෑ  ඩොක්ටර්, මගෙ දරුවන්ට මොකද වෙන්නෙ? දැනටත් වේල් තුන කන්නෙ හරිම අමාරුවෙන්. එයාල ආසකරන කෑමක් බීමක් මතක ඇති කාලෙකින් අරන් දීල නැහැ."
"දරුවො තුන් දෙනාම ඉගෙන ගන්න ආසයි. ඒත් කොහොමද ඒ වියදම් හොයල දෙන්නෙ? මම නිසා මගෙ නෝන විඳින කරදර වල කෙලවරක් නෑ. "

සිය රෝගී තත්වයේ අපහසුතාව අභිබවමින් ඔහුව පෙලන්නේ පියෙකුගේ දරු සෙනෙහසයි. ස්වාමියෙකු පියෙකු සතු යුතුකම් ඉටුකරගත නොහැකි වීමේ දුකයි.

එයින් සතියකට පමණ පසු ඔහුගේ තත්වය තවත් නරක අතට හැරිණි, අපස්මාර තත්වය නැවත ඇති වීම, හිසරදය හා නොනවතින වමනය යන කරුණු නිසා ඔහුට කිහිප වරක් බදුල්ල මහ රෝහලේ පිළිකා අංශයෙහි නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදු විය.

ඔහුව නිරතුරුව පරීක්ෂා කරන බදුල්ල රෝහලේ පිළිකා අංශයේ වෛද්‍යතුමෙකු මගින් දැන ගත් පරිදි ඔහුට අවශ්‍ය ශල්‍යකර්ම හා අවශ්‍ය කිරණමය ප්‍රතිකාර මේ වනවිට ලබා දී ඇති අතර, දැනට වෛද්‍යමය ප්‍රතිකාර ලෙස කල හැකි වන්නේ ගැස්ම (ෆිට් එක ) ඇති නොවීමට ඖෂධ ලබා දීම හා මාසිකව ඔහුව පිළිකා රෝග සායනයේදී පරීක්ෂා කිරීමය.

සතියකින් පමණ ආරංචියක් නොලැබුණු නිසාත්, ඔහුගේ නිවස පිහිටියේ වැඩි දුරකින් නොවුණු නිසාත් ඔහුව බැලීමට යාමට තීරණය කර ගතිමි. 

ජීවිතයේ පළමු වරට දීපාවලී සැමරීමට මා හට අවස්ථාවක් උදා වුවේ මේ අයුරිනි. නිවාඩු දිනයක් වූ බැවින් පවුලේ උදවියද සමඟ උදෑසනම ගමනට පිටත් විය. තෙමසක් වයසැති කුඩා පුතනුවන්ද ගමනට එක් වීම මා හට විශේෂ සතුටක් ගෙන දෙන්නක් විය.
හැකි පමණින් වියළි අහාර, කිරිපිටි හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ද, දරුවන් හට පොත්, පෑන්, රසකැවිලි පාර්සලයක් ද  සකසා ගත්තේ ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතා දැන සිටි බැවිනි.

නානුඔය නගරයේ සිට උඩරදැල්ල වතුයාය දෙසට ඇති පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් 6ක පමණ දුරකින් වංගි ඔය උඩ කොටස යන පෙදෙසෙහි ඔහුගේ නිවස පිහිටා තිබිණි.
කිලෝමීටර් 6ක් එතරම් දුරක් නොවේ යැයි සිතා ගමන ආරම්භ කලද එයට විනාඩි 45කට ආසන්න කාලයක් ගතවූවේ මාර්ගයේ තත්වයක් එතරම්ම අබිලි වූ බැවිනි. කෙතරම් අබලන් වුවද තේවතු මැදින් වැටී තිබූ ඒ මාවත වෙහෙසක් නම් නොගෙනාවේය.

දීපාවලී දිනය නිසා දකින දකින සෑම නිවසකම වාගේ දැකිය හැකි වූවේ නැවුම් ප්‍රීතිමත් බවකි. සෑම දෙනාම අලුත් වෛවර්ණ ඇඳුමෙන් පැළදුමෙන් සැරසී සිටිනි දැකිය හැකි විය. 

ග්‍රාමසේවක මහතාගෙන් අසාගත් මං සලකුණු ඔස්සේ අරුල්දාස් ගේ නිවසට ලඟා වන විට උදෑසන 10ට පමණ විය.

කලින් දින දැනුම් දුන් නිසාවෙන් නිවසියන් විමසිල්ලෙන් සිට පෙර මගට එනු දැකිය හැකි විය. 
වාහනයෙන් බැස කිහිප දෙනෙකුම එනු දුටු ඔවුන් විමතියට පත් වන්නට ඇත.

"අනේ ඔක්කොමල ඇවිත්, එන්න එන්න ඉඳ ගන්න."

බලාපොරොත්තු වූ ලෙසම කුඩා නිවසකි. ප්ලාස්ටික් පුටු කිහිපයක් ඉස්තෝප්පුවේ පිළියෙළ කර තිබිණි. 

"කෝ ඉතිං අරුල්දාස්?"

ඇතුලෙ ඩොක්ටර්,ඇඳෙන් බහින්නෙම නෑ ඔලුව කැරකෙනවා කකුල් පණ නෑ වගේ කියලා" 
"සර් ඇතුලට එනවද?"

ඉතා කුඩා සාලයක් වැනි කාමරයකට පසු පිහිටි කාමරයේ ඇඳ මත අරුල්දාස් දැකිය හැකි විය.
සති කිහිපයක් තුල ඔහු බෙහෙවින් වෙනස් වී ඇති හැඩය. ගිලී ගිය දෙඇස්, කෘෂ වී ගිය සිරුර ඔහු විඳින අපහසුතාව හොඳින් පෙන්නුම් කලේය.

මා දුටු සැනින් ඔහු විමතියට පත් වූවේය.

"ඩොක්ටර්! "
දෙඅත් එක් කරමින් ඔහු පැවසීය.

"කොහොමද අරුල්දාස්? "

"අනේ මන්දා සර් පහු ගිය මාස දෙකට ගොඩක් අමාරු වුනා, බදුල්ල ස්පිරිතාලෙ සතියක් විතර නතර වෙලත් හිටියා. සීටී පරීක්ෂණයකුත් කලා. "

විස්තර පවසන අතර ඔහු ඉදිරිපත් කල පර්යේෂණ වාර්තා වල පිළිකාවේ වර්ධනය වීමක් පිළිබඳ සාක්ෂි දැකිය නොහැකි විය.

"දැන් මොනවද අමාරු?"

හැමදාම හවස් වෙනකොට වමනෙ යන්න පටන් ගන්නවා ඩොකටර්, පාන්දර වෙනකල්ම නතර වෙන්නෙ නෑ. අන්තිමට ලේත් ගිහින් තමයි නතර වෙන්නෙ." කන්න කිසිම පිරියක් නෑ. 
පොඩ්ඩක් වත් හිටගෙන ඉන්න බෑ ඔලුව කැරකැවෙනවා, කකුල් වලංගු නෑ වගේ, ක්ලිනික් එකෙන් කිව්වා තව සී ටී එකක් කරල බලමු කියලා."

මොළයේ ඉදිරි මස්තිෂ්කයෙහි පිළිකාවක් හට ගත් විට මෙවෙනි අතුරු විපාක බලාපොරොත්තු විය යුතුය.  මා හැකි පමණ ඔහුට කරුණු පැහැදිලි කර දුනිමි.
එමෙන්ම මා හට වැටහී ගිය තවත් කරුණක් වූවේ ඔහු කායිකව මෙන්ම මානසිකවද දුර්වලව සිටින බවය. එයින් ඇතිවන මානසික පීඩනය කායික දුර්වලතා තවත් වැඩි කරයි.
රෝගය ගැනම සිතමින් සිටීම රෝගය පාලනයට සුදුසු නොවන බව ඔහුට පහදා දීමට මා හැකි පමණ උත්සාහ කලෙමි.

"කොහොමද ඩොක්ටර් හිතන්නෙ නැතුව ඉන්නෙ, ලොකු දුව දැන් 9 වසරෙ, දෙවෙනි දුව 7 වසරෙ පුතා 6 වසරෙ කොහොමද එයාලගෙ ඉගෙනීම් ගැන බලන්නෙ. මට බදුල්ලෙ යන්න එන්නත් ලොකු වියදමක් යනවා. "
"වයිෆ් වත්තෙ වැඩ කරල හම්බ වෙන පොඩි මුදලින් මේ ඔක්කොම වියදම් කරන්න ඕනෙ. මම නිකන්ම මෙහෙම ඇඳට වෙලා ඉන්නවා. ජීවිතෙත් එපා වෙනවා මේව හිතනකොට ඩොක්ට"

ඔහුගේ ගැටලු වලට ස්ථීර විසදුමක් සිතාගත නොහැකි වූ තැන කල හැකිවූ එක දෙය වූවේ ඔහුව දිරි ගැන්වීම පමණකි.

පැයක පමණ කාලයකට  පසු අපි අරුල්දාස්ට සමු දුන්නේ හැකි අයුරින් ඔවුනට යළිත් උපකාර කිරීමේ අදිටන ඇතිවය.

යමක් දීමෙන් ලැබෙන සතුට, සැනසුම වෙන කිසිම දෙයකින් විඳිමට නොහැකි බව යළිත් වරක් මා හට ප්‍රත්‍යක්ෂ විය. වසර ගණනක සිට දුක් කරදර විදින ඔවුන් හට යම්තාක් දුරකට හෝ අස්වැසිල්ලක් සතුටක් මෝදු වූ දීපාවලී දිනක් උදා කිරීමට හැකි වූවා යැයි සිතේ.
නමුත් ඔවුන්ගේ අනාගතය කෙසේ වේවිද? සිය දරුවනට සුරක්ෂිත අනාගතයක් උදාකිරීම සෑම පියෙකුගේම අභිලාෂය වේ. එය ඉටුකර ගැනීමට නොහැකි වූ කල සෙනෙහෙබර පියෙකුට ඇතිවන හැඟීම් කෙතරම් දුක්බරද.

කිසිවෙකුට හෝ  මොවුනට සුලුවෙන් හෝ උපකාරයක් විය හැකි නම් එය ඔවුනට මහාමෙරක් වැනි උදව්වක් වනු නොඅනුමානය.

ඉතිං අවැසි අයට පහත දුරකතන අංක මගින් තොරතුරු ලබා ගත හැක.

වෛද්‍ය කසුන් එරංග -  0769126166
නානුඔය ග්‍රාමනිලධාරි මහතා - 0726264344
අරුල්දාස් මහතා - 0525711070



15 comments:

  1. සංවේදී ලිපියක්. එදින ඔවුන්ට දීපවාලිය අමතක නොවන එකක් වෙන්න ඇති. ඔබ තුමාගේ ක්‍රියාව අගෙයි. ඔහු වෙනුවෙන් මේ දරන උත්සාහය සාර්ථක වේවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ස්තූතියි ඔබේ අදහසටත් දිරි ගැන්වීමටත්.

      Delete
  2. ඔබ වැනි උත්තමයින් මේ සමාජයට ආදර්ශයක්. ඔබතුමා තෙරැවන් සරණයි

    ReplyDelete
  3. සුරක්ෂිත අනාගතයක් නැති, පෞද්ගලික අංශයේ අනියම් රැකියාවල යෙදෙන බොහොමයක් දෙනාගේ ජීවිත, මෙවැනි අවස්ථා වලදී දැඩි අවදානම් සහගත තත්වයට පත්වෙනවා.

    ඔවුන් විවාහවූ කාලයේ සිට, ඉතිරිකිරීම කෙරෙහි යොමුවන ප්‍රමාණය බොහොම අඩුයි. මෙවනි අයට, සෞඛ්‍ය රක්ෂණයක් යනු සිහිනයක් පමණයි. මොවුන්ට, ඉතා විශාල ලෙස මගපෙන්වීම අවශ්‍යයි.

    ඔබේ සද්කාර්යය සාර්ථක වේවා කියා පතනවා.

    අපි බොහොමයක් වැරදියට ලියන වචනයක් ඔබත් ලියා තිබෙනවා.

    දීපවාලි නෙවෙයි නිවැරදි වචනය දීපාවලී = පහන් වැල, පහන් පෙළ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක. ඒ වැරැද්ද මාත් කරලා.

      Delete
    2. වැරැද්ද නිවරැදි කිරීමට උපකාරී වුනාට බොහොමයක් ස්තූතියි විචාරක. වචන සියල්ල නිවරැදි කලා.
      ඇත්තෙන්ම මෙය දුක්ඛිත තත්වයක්. මම හිතන්නෙ ලංකාවෙ බොහොමයක් පිරිසකට රැකියාව හා බැදුණු එවැනි අනාගත සුරක්ෂිත ක්‍රමයක් නැහැ. ඉදිරියටවත් එවැනි ක්‍රම ඇති වෙනවානම් ගොඩක් වටිනවා.
      ස්තූතියි නැවතත්.

      Delete
  4. හුඟක් හොද වැඩක් අයියේ. මිනිස්සු අසනීපයක් උනාම තමයි ගොඩක්ම අසරණ වෙන්නේ.

    ReplyDelete
  5. සංවේදි ලිපියක්.. ඔබේ කෙනෙකුගේ දුකකදි උදව් කිරිමේ සිතුවිල්ල අගය කරන අතරම මේ විදිහේ තව කී දෙනෙක් ඇතිද..

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ස්තූතියි දිරි ගැන්වීමට.

      Delete
  6. බොහොම ස්තූතියි මල්ලි... දීමෙන් උදව් කිරීමෙන් ලැබෙන ප්‍රීතිය අන් කිසිවකට සම කරන්න බෑ... ඔබේ කරුණාවට දයාවට මෙන්න මල් මිටක් !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කා!
      අක්කා කරන දේවල් වල හැටියට මේක මොකක්ද.

      Delete