Sunday, March 8, 2015

දිරියක වරුණ



"උසස් පෙල ප්‍රතිඵල අද අන්තර්ජාලයට" 

දවල් ප්‍රවෘත්ති අසමින් සිටි රංබණ්ඩාගේ දැහැන බිදින.

"මේ.. ඇහුනද විභාග ප්‍රතිඵල දාලය කියන්නෙ, ලොකු කොලුව ගියාද බලන්න"

"හ්ම්ම්..." බිරිඳගෙන් ලැබුන ප්‍රතිචාරය එපමණය.

"මොකද මේ පාරත් මදිද?" රංබණ්ඩා ඇසුවේ බිඳුණු හඬිනි.

"විභාගෙ නම් පාස්ලු, විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදිය කියන්නෙ."

"එහෙමද?"

රංබණ්ඩා යලි කල්පනාවට වැටිණ. වෙහෙස මාන්සි වි පාඩම් වැඩ කල ලොකු පුතා කෙරෙහි ඔහු වැඩි බලාපොරොත්තු තබා සිටියේය. ඒ නිසාම ඉගෙනුම් වැඩ ටියුශන් පොත් පත් සඳහා අවශ්‍ය මුදල් හදල් සැපයූවේ දෙවරක් විමසීමෙන් තොරවමය. තෙවරක්ම විභාගයට පෙනී සිටියද විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට තරම් ලකුණු ලැබීමට සෑම වරකම අසමත් විය.

"දැන් ඉස්සර වගේ නෙවෙයි, තරඟෙ වැඩියි." රංබණ්ඩා සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත්තේය.

"කෝ දැන් කොලුවා?" 

"ඔන්න කාමරේට වුනා,, හිත එච්චර හරි නෑ වගේ"

"හ්ම්ම්..."

රංබණ්ඩා ලොකු පුතාගෙ කාමරය වෙත සෙමෙන් පිය නැගුවේය. උගුර කාරමින් කාමරයට ඇතුල් වූවේ පුතාගේ මුහුණේ ඉරියව් පිරිකසන අතරය.

"අප්පච්චි!"

රංගන ඇඳෙන් නැගී සිටියේ දෙගිඩියාවෙන් යුතුවය. පියා කාමරයට පැමිණෙන්නේ කලාතුරකිනි. අනිවාර්යයෙන්ම කේන්තියෙන් වන්නට ඕනෑ, ඔහු අනුමාන කලේය.

"දැන් මොකද කරන්න හිතාන ඉන්නෙ?"

රංගන කීමට දෙයක් හිතට නොනැගේ

"අනේ මන්ද අප්පච්චි"

"මම බැලුවේ පහල දිය කඩිත්ත ගාව ඉඩම නිකම්ම කැලේ වැදිල ගිහින් මොනව හරි හිටෝල දැම්මොත් හොඳයි කියල, හෙට දිහාට අප්පුවත් කතා කරගෙන ඒ පැත්තෙ යන්න ඉන්නෙ, වැඩක් නැත්නම් ඒ පැත්තෙ ආවනං"

රංගනට එය දැනුනේ නෝක්කාඩුවක් මෙනි. "මෙච්ච්ර ඉගෙනගෙන ගොවිතැන් කරන්න?!" යැයි හිතට නැගුණද මුනිවත රැක්කේ යමක් පැවසීමට යාම වෙලාවට නොගැලපෙන බැවිනි.

ලොකු පුතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන හැටියක් නොමැති බව රංබණ්ඩාට මුහුණෙන් පෙනේ. නමුත් යලිත් කිසිවක් නොවිමසා කාමරයෙන් පිටත් විය.

රංගන සිටියේ සිතුවිලි සමඟ පොරබදමිනි. වසරක් තුනක් පුරාවට ගත් උත්සාහය, මව්පියන් කල වියදම්, අනාගතය මෙවැනි දහසක් සිතුවිලි අතර ඔහු අතරමං වි සිටි අතරදී පැමිණි පියා පැවසූ දෙයින් සිතේ කෙන්තියක් ඇති කලද පියාගෙ සන්සුන් ප්‍රතිචාරය ගැන ඔහුට විමතියක්ද ඇති විය. සිය මාන්නය බැහැර කර බලන කල පියාගේ අදහස අසාධාරණ නොවේ. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සියලු වියදම් යුතුකම් පියා නොපිරිහෙලා ඉටුකලේ ගොවිතැනෙනි. අත්දැකීම් හා සිහිබුද්ධියෙන් යුතුව ගොවිතැන් කල ඔහුට අලාභයක් සිදු වූවේ ඉතාමත් කලාතුරකිනි.

"නිකන් කාලෙ කනවට වඩා ඒකත් හොඳයි තමා"


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

උදෑසනම රංබණ්ඩා මිදුලට බැස්සේ වෙනදා පුරුද්දටය.

"අප්පච්චි දැන්ම ඉඩමට යන්නද?"

ලොකුපුතාගෙ හඬින් රංබණ්ඩා විමතියට පත් විය. "කොලුව එහෙනම් මගෙ කීම ගැන හිතල. " රංබණ්ඩාට සියුම් සතුටක් දැනේ.

"අහ් ඔව්.. අව්ව තද වෙන්න කලියෙන් වැඩ පටන් ගන්න එක හොදයි."

"එහෙනම් යං අප්පච්චි "

"මම හිතුවෙ එන්නෙ නැතිවෙයි කියල., එහෙමනං ගබඩා කාමරෙන් කැත්තයි උදලු දෙකයි ගෙනාව නං"

නිවසට මීටර් දෙතුන් සියයක දුරින් පිහිටි ඉඩම රංබණ්ඩා ඉතිරි කර ගත් මුදලින් වසරකට පමණ පෙර මිලදී ගත්තකි. අක්කරයකට මදක් වැඩි ඉඩම සාරවත් පසින් යුක්තය, අසල පිහිටි දිය කඩිත්ත දැඩි ඉඩෝර සමයක වුවද සිඳී නොයන්නක් බව ගම්මු පවසති. ඉඩමට පැමිණි රංගනට දැනුනේ අමුතුම ප්‍රබෝදයකි. වසර ගණනක් පොත් පත් අතර සිරවී සිටි ඔහුට ගහක් කොලක් දෙස බැලීමද අමතකව ගිය සෙයකි.

මද බෑවුමක් සහිතව පිහිටා තිබූ ඉඩම කුඩා වනරොදක් වන තරමට වල් බිහිවී තිබිණි.පියාගේ ගොවිතැන් කටයුතු වලට උදව් වන අප්පුවාද පියාද සමඟ කරට කර වැඩ කල රංගනට විභාගය නිසා සිතේ ඇතිව තිබූ කණස්සල්ල සෙමෙන් තුනී වී ගියේය. සෙමෙන් කල එලි වී එන ඉඩම දකින විට සිතේ අමුතුම උනන්දුවක් ඇති වේ. සවස් වන විට මුලු ඉඩමම එළිපෙහෙලි කර ගැනීමට තිදෙනාට හැකි විය. 

දින තුනක් යාමට මත්තෙන්  බෝංචි, දඹල, අමු මිරිස් , බටු වෙන වෙනම පාත්ති දැමීය. ඉඩමේ කොනක හෑරූ වලක් තුල ගොම පොහොර හා ඉඩම එලි කිරීමේදී ගොඩ ගැසූ වල්පැල අඩංගු කසලද එක් කර වගාවට අවශ්‍ය පොහොර සාදා ගන්න අයුරු රංගන පියාගෙන් ඉගෙන ගත්තේය. පොත්පත් තුලින් කොම්පෝස්ට් පොහොර තැනීම ලෙස ඉගෙන ගත්තේ මෙයම බව ඔහුට සිහි විය. 

භූමිතෙල් යොදන පොම්පයෙන් දිය කඩිත්තේ සිට වගාවට පහසුවෙන් වතුර දැමිය හැක. දිනෙන් දින දලු දමා වැඩෙන පැල දකින විට රංගනට කිව නොහැකි සතුටකි. සති කීපයක සිට ගෙදර ලිපෙන් එකතු කල අළු ලපටි පැල මත විසුරුවා හැරීමෙන් කෘමීන්ගෙන් ආරක්ෂාකර ගත හැකි බව රංගනට දැක ගත හැකි විය. සති දෙකෙන් දෙකට නැගෙන වල්පැල ගලවා පැලෑටි වලට නිදහස ලබා දෙනු ලැබේ. පියාගේ උපදෙස් පරිදි නියමිත මාත්‍රාවෙන් අවශ්‍ය විටමින් වර්ග යෙදීමද දිරාගිය ගොලු බෙලි කටු බිත්තර කටු කුඩු කර දැමීම රංගන අතින් සිදු විය එවා වගාවට අනගි අහාරයක් බව සිග්‍රයෙන් වැඩෙන පැල හොදින් සාක්ෂි දෙන්නට විය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

මාස තුනක පමණ වෙහෙසීමට පසු පළමු අස්වැන්න නෙලීමට කාලය උදාවිය. ඒ රංගන සිය ජීවිතයේ වැඩියෙන්ම සතුටට පත් වූ කාලයකි.
සිය දෑතින් උස් මහත් වූ බෝග වලින් හටගත් නැවුම් එළවළු දකින විට සිත සතුටින් ඉපිලී යයි. 

ප්‍රවේශමෙන් අස්වැන්න නෙලන අයුරුද රංගනට කියා දුන්නේ පියාය. තැලීම් අවම වන ලෙස ඒවා ඇසිරීම වැදගත්ම කටයුත්තයි. ඒ සඳහා වෙනමම ඇති ප්ලාස්ටික් ඇසුරුම්වල පරඬැල් යොදා ප්‍රවේශමෙන් ඇසුරූ එළවළු තැලීම් වලට ලක්වීමේ අවදානම අවමය. එලෙස නැවුම්ව පවතින එළවළු විකිණීම එතරම් අසීරු කරැණක් නොවීය. ඒ රංගනගේ පියා වසර ගණනක සිට රැකගත් විශ්වාසය නිසාම ඔහුගේ අස්වනු වැඩි මිලකට මිලදී ගැනීමට ඕනෑම අවස්ථාවක සූදනම්ව සිටි ව්‍යාපාරිකන් රැසක් සිටි බැවිනි. පළමු අස්වැන්නෙන්ම වියදම අත්හැරිය විට රැපියල් හැටදහසක පමණ ලාභයක් ඇත. එය සම්පූර්ණයෙන්ම රංගනගේ අතට ලැබිණි. 

"තමුන්ගෙ මහන්සිය නොවැ" රංබණ්ඩා එය රංගනගේ අතේ තබමින් පැවසීය.

"මට එපා අප්පච්චි, ගෙදර වියදමට තියාගන්න"

"ගෙදර වියදම කාරි නෑ, එහෙමනම් මේක පුතාගෙ පොතට දාන්නම්, මේකෙන් ඕනෙ කරන මොනවහරි තියෙනවා නම් ගන්න." මුදලින් දස දහසක් රංගන අත තැබීය.

පියා ගෙදරට පිටත් වූ පසු රංගන වගා බිමේ තනි විය. සිතට ඇත්තේ කිව නොහැකි තරමේ සතුටකි. දැන් තමාටම කියා මුදලක් උපයා ගැනීමට හැකිය යන ස්වයංඅභිමානය සිතට නැගේ. බෝංචි , අමුමිරිස් මාස දෙකක් පමණ යන තුරු පලදරයි. සතියකට වරක් එහි පලදාව ලබා ගත හැක. 

පියා පැවසූ පරිදි කෘෂි උපදේශක මහතා ගෙන් උපදෙස් ගැනීමෙන් තවත් ක්‍රමානුකූලව ඊළඟ වගාව කල හැක. වඩාත් සරු බීජ, කොම්පෝස්ට් පොහොර හා දියර තැනීම, අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක් ගැනීම වැනි ක්‍රම මගින් ආදායම දෙගුණ තෙගුණ කර ගත හැක. රංගනට පියාගේ උපදෙස් සිහියට නැගේ.

"පුතේ, මම ගොවිතැන පටන් ගත්තෙ ගැටය කාලෙ, ඉගෙන ගත්තෙ තාත්තගෙ පස්සෙන් ගිහින්., නොදන්න කමට අස්වනු කීයක් පාඩු වුනාද! ඒත් උනන්දුව හන්දම පොළොවත් එක්ක ගනු දෙනු කරන හැටි ටිකෙන් ටික ඉගෙන ගත්තා. අද කාලෙ රට ලෝකෙ දියුණුයි. ඕනෙම දෙයක් ඉගෙන ගන්න ඕනෙ තරම ක්‍රම තියෙනවා, ඕනෙ උනන්දුව විතරයි. 
උඹලාගෙ වයසෙ කී දාහක් නිකරුනේ නාස්ති වෙනවද කාලෙ කකා. උන්ගෙ වැරැද්දක්ම කියන්න බෑ. ඔය වයසට මොනවා තේරෙනවද, වැඩිහිටියො දැන ගන්න ඕනෙ උන්ව හරි පාරට දාන්න. පුතාට තේරෙනව නේද අතේ මඩ ටිකක් ගෑවුනාට ඇඟපත ටිකක් වෙහෙසුනාට ගොවිතැන 
කියන්නෙ කාටවත් ගැති නැති රස්සාවක්. හැබැයි කොයිදේටත් වගේ මේකටත් උනන්දු දැනුම් තේරුම් ඇති කම තියෙන්න ඕනෙ. වවන්න කලින් හිතන්න ඕනෙ විකුණන්නෙ කොහොමද කාටද කියන එක. ටිකක් 
රටේ හොටේ ගැවසිලා ඇදුනුම්කම් ඇති කර ගත්තාම ගැණුම්කාරයො පස්සෙන් වැටිලා ඉල්ලන ගානට දීල දාන්න වෙන්නෙ නෑ,
අනෙක වගා කර්මාන්තය කරනවා නම් ඒ ගැන දැනුම් තේරුම් ඇති කර ගන්න ඕනෙ, බිස්නස් කාරයො නොවුනට ව්‍යාපාර බුද්ධියත් තියෙන්න ඕනෙ. නැත්නම් සමහර වෙළෙන්දන්ට රැවටෙන්න වෙනවා.
පුතාල ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක යන වියදම් අදායම් සටහන් කර ගන්න. එතකොට සල්ලි නාස්ති වෙන්නෙ නෑ. කීය කීය හරි ඉතුරු කරන්න හොඳ ගානක් එකතු උනහම වගාව වැඩි දියුණු කරගන්න පුලුවන්."

පියාගෙ වදන් රංගනට උද්යෝගජනකය. රංගන හිඳ සිටි තැනින් පස් අහුරක් දෑතට ගෙන බැලීය. 

"දිලිසුනේ නැති උනාට රත්තරං වගේ තමයි"

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

ක්‍රමයෙන් ප්‍රමාණයෙන් පැතිරුණු වගාබිම සමඟ කාර්යබහුල වූ රංගනගට වසරක් පහක් ගෙවී ගිය වගක් නොදැණුනේය. ඒ වසර පහ තුල සිය ජීවිතයේ සිදු වූ වෙනසකම් ගැන නැවත ආවර්ජනය කරන විට රංගනට දැනුනේ ආඩම්බරයකි. වසර දෙක තුල කුඩා ලොරියක් මිලදී ගත් පසු සිය අස්වැන්න කෙලින්ම වෙළෙඳපොල වෙත ගෙන යාමට හැකි එයින් ලැබෙන් ලාභය සමඟ සිය ව්‍යාපාරික දැනුම උපයෝගී කරගෙන තවත් අක්කර 2ක වගා බිමක් මිලදී ගැනීමට හැකි විය. සේවකයන් කිහිප දෙනෙකුම සිටියද වගා බිමේ සෑම වගාවක්ම කෙරෙන්නේ රංගනගේ සැලකිල්ල යටතේය. 
ලැබෙන මුදලට වඩා තවමත් රංගන තවමත් සතුටු වන්නේ සිය ගොවි බිමේ හට ගන්නා අස්වැන්න දැකීමෙනි.

කෙතරම් දියුණුක් ලැබුවද රංගන තවමත් උපදෙස් පැතුවේ සිය පියාගෙන්මය. ඒ නිවරැදි මොහොතේ නිවරැදි වදනින් සිය මාන්නය දුරු කර දිවිය සරු කර ගන්නට මග පහදා දුන්නේ ඔහු බැවිනි. 
ඒ නොවන්නට තමා කුමන තත්වයක සිටීදැයි රංගනට සිතා ගත නොහැකිය.


12 comments:

  1. ගොඩක් දෙනා හිතන්නෙ කැම්පස් යන්න බැරි උනොත් එතනින් එහාට කරන්න දෙයක් නෑ කියල. ඒත් ඇත්තටම උනන්දුව තියෙනව නම් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ගොවිතැන වගේ දෙයක් දැන් කාලෙ තරුණ පරපුර කරන්න යොමු වෙනවා අඩුයි. ඒත් ඒවගේ කාටවත් යටත් නැති රස්සාවක් කරන එකේ ලොකු වාසියක් තියෙනවා

    කතාව ඔයා ලස්සනට ලියල ගිමන්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්! ගොඩක් අය හිතනවා ඇති මේව කියන්න නම් ලේසි කරන්න තමා බැරි කියල. ඒත් මම මේ කතාවට එකතු කරල තියෙන්නෙ මම දැකපු දේවල්, ඒ වගේම අත්හදා බලපු දේවල්. හරියට මොලේ ඇතුව කරනවා නම් දියුණු වෙන්න හොඳම ඒ වගේම ගෞරවණීය ක්‍රමයක්.

      Delete
  2. අපූරුයි සහෝ.... කතාවකින් කියන්න ඕන දේ ලෝබ කමක් නැතිවම කියල තියේ ඒ විතරක්යැ කතාවෙ ගලායාමට හානියක් නොවෙන්න දෙන්න ඕන ආදර්ශය වුණත් අපූරුවට ඔබ්බවල තියේ... මේ මොඩල් එකේ ඒ කියන්නෙ ආදර්ශමත් කතාවල තියෙන කෘතිම ගතිය හුගක් දුරට මේකෙ අඩුයි...
    ඇත්තටම අපූරු නිමැවුමක්
    ජයෙන් ජයම වේවා...

    අවන්හලෙන් ගිමන්හල ට....
    හිහි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්! පණිවිඩය සමාජ කරන්න තමයි උපරිම උත්සාහය ගත්තෙ.
      අවන්හල පැත්තෙත් ගොඩවැදිල යන්න එන්නම්.

      Delete
  3. සුන්දර කතාවක්..

    ReplyDelete
  4. ලස්සනයි,

    තමන් හිටවපු පැළයක් සරුවට වැවිල ඵලදරනව දකින එක තමයි ගොවියෙක් තමන්ගෙ දාඩිය මහන්සියට ලබන තෑග්ග...

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ගොඩ වැදුනට,

      Delete
  5. ආදර්ශයක් දෙන්න ලියපු එකක් වුනත් ඒ ආදර්ශේ කතාවට බලෙන් ඔබ්බවන්නේ නැතුව ලස්සනට එකතුකරලා තියනවා.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කොමෙන්ටුවට ඒ වගේම මේ පැත්තෙ ගොඩවැදුනට!

      Delete
  6. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
  7. මටත් වවන්න හිතුනානේ මේක කියවලා...!

    ReplyDelete