Friday, August 3, 2012

නොදත් කලාව....!


මුදුන් වූ ප්‍රචණ්ඩ හිරු රාජයාට බියෙන් සෙවනැල්ලද යටි පතුලට පෑගෙන්නට තරම් සැඟවී ගොසින් යැයි චාමරට සිතේ. ඉහින් කණින් වැක්කෙරෙන දහඩිය පිස දැමීමෙන් ලේන්සුව වතුරේ ඔබා ගත් කල මෙන් දහඩියෙන් පෙඟී ගොස්ය.


සෙවනක් පේන තෙක් මානයේවත් නැත. කෙසේ හෝ ප්‍රධාන බස් නැවතුමටම ගොස් නතර වීමට සිතා ගෙන චාමර යලි ගමන ඇරඹීය. සරසවියෙන් පිටවී වසර දෙකකටත් කිට්ටුය. අවසන් විභාගයෙන් ප්‍රථම පංතියේ උපාධියකට උරුමකම් කීමට හැකි වූ චාමර තමාට කෙදිනකවත් මෙසේ පාරේ රස්තියාදු වීමට සිදු වේවි යැයි සිතුවේ නැත.


"රටේ වැරැද්ද! උගතුන්ට තැනක් නෑ" චාමර සිය සිතේ ඇති වූ කෝපය දුරු කරගන්නට මෙන් තමාටම කියා ගත්තේය.


"බ්‍රාස්....!" තමා අසලින්ම එකවර නැවතුන කාරයේ තිරින්ග හඬින් චාමර තිගැස්සුණි. රියදුරු අසුනේ අව් කන්ණාඩියක් දමා ගෙන සිටි පුද්ගලයාව එකවර හඳුනා ගැනීමට චාමරට අපහසු විය. 


තිලක් අව්කණ්ණාඩිය අතට ගෙන ඉදිරි දොර විවෘත කරන අතරම
"මොකද අදුනන්න බැරිද?"


"අප්පට සිරි මේ කඩියනේ! චාමර කෑ ගැසුවේය "මූට නම් ජයයි වගේ" සිතුවේ සියුම් ඊර්ශ්‍යාවක් මුසු වූ හැඟීමෙන් යුතුවය.


"නැගපන් බං බලා ඉන්නෙ නැතුව"


"කොහොමද බං මේ කට්ට අව්වෙ පයින් යන්නෙ උඹව වාශ්ප වෙලා තියෙයි තව ටිකක් දුර ගියා නම්" තිලක් පැවසුවේ චාමරව හොඳින් පිරික්සන බැල්මක් හෙලන අතරය.
"උඹ කැම්පස් එකේදි හිටියැයින් බාගයක් වෙලානෙ"


තිලක් චාමර සමඟ විශ්ව විද්‍යාලයේ එකම වසරේ උගත් අයෙකි. ඉගෙනීමට එතරම් දක්ෂකම් නොදැක්වූ තිලක් බොහෝ විට විභාග ගොඩ දා ගනු ලැබුවේ චාමර වැනි දක්ශ සිසුන්ගෙන් බරපතල දේශන සරලව අසා ඉගෙනීමෙනි. නමුත් කරන සෑම වැඩක්ම කඩිනමින් කිරීම පුරුද්දක් කර ගත් ඔහු ඇවිද්දේ පවා කඩිනමිනි. මේ නිසා ඔහුට කඩියා යැයි අනවර්ථ නාමයක් ලැබී තිබිණි. ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් වලට නොපැකිල සහභාගී වූවෙක් වූ ඔහු කතාවටද රුසියෙක් විය. ඕනෑම අයෙකුට නෑ බෑ නොකියා උපකාර කිරීමට පෙළඹෙන්නෙක් බැවින් ඔහු විශ්ව විද්‍යාලයේ කාගෙත් සිත් ගත්තෙක් විය.


"අවුරුදු දෙකකට විතර පස්සෙ නේද හම්බුනේ, යමු මොනව හරි කාල බීල ටිකක් කතා කරන්න"
තිලක් විමසුවේ රථය ටවුම දෙසට හරවමිනි.


"උඹ මේ කොහෙ යන ගමන්ද?"


"ඉන්ටව් එකකට ගියා බං, වැඩක් වෙන එකක් නෑ අද කාලේ ඔක්කොම පන්දම් වලටනේ"
චාමර පැවසුවේ කාරයේ කුඩා ලොකරයේ තිබූ නවීන පන්නයේ දුරකතනය දෙස බලමිනි.


"ඒක නම් එහෙම තමයි බං, ඒත් හැමතැනම එහෙම නැහැ" යැයි කියමින් තිලක් අවන්හලක් අසල කාරය නැවතීය.


"යමු මට නම් හොඳටම තිබහයි"


"මොනවද කන්නේ?" තිලක් විමසුවේ වේටර් කෙනෙකුට අතින් සංඥා කරමිනි.


"කන්න බෑ, මට නම් මොනව හරි බොන්න තිබ්බා නම් ඇති"


"අපිට ෆලූඩා දෙකක් ගේන්න" තිලක් ලඟට පැමිනි වේටර්ට පැවසීය.


"උඹට නම් ජොබ් එකක් සෙට් වෙලා වගේ" චාමර ඇසුවේ සිය කුතුහලය නිසාමය.


"අහ් ඔව් මචන් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනව"


"එච්චර ඉක්මනට උඹ කොහොමද ජොබ් එකක් සෙට් කර ගත්තෙ? අදුරන තැනක්ද? චාමරගේ කුතුහලය තවත් උත්සන්න විය.


"නෑ බං ඉන්ටෙර්විව් එකකින් තමා තෝර ගත්තෙ. බාගයක් රජයේ බාගයක් ප්‍රයිවට් තැනක්. වැඩ නම් ටිකක් වැඩියි. දැන්නම් පුරුදු හින්ද අවුලක් නෑ.


චාමරට තිලක්ගේ කතාව ගැන විශ්වාසයක් නොවීය." යන්තම් ෆයිනල් පාස් කරගෙන කොහොමද පන්දමක් නැතුව ඉන්ටව් පාස් වෙන්නෙ! මූ මටත් කොලේ වහනව"


"ඒක නෙවෙයි උඹට තාම ජොබ් එකක් නෑ කිව්වහම පුදුමයිනෙ. මම නම් හිතුවෙ උඹ මෙලහකට ජොබ් එකක් හොයාගේන ඊ ලඟ උපාධියට ලෑස්ති වෙනව ඇති කියල, උඹ කොහොමත් දක්ශයනෙ"


තිලක් අවංකව පැවසූ වදන් චාමරට ඇසුනේ තමාට සමච්චලයට පැවසූවාක් මෙනි.
"අද කාලෙ උගතුන්ට තැනක් නෑ බං, ඉන්ටව් කීයකට කියල ගියාද" චාමර පැවසූවේ කලකිරුනු හඬිනි.


වේටර් විසින් ගෙන ආ ෆ්ලූඩා පානය කරන අතර තිලක් මඳ කල්පනාවකට වැටින. චාමර පලමු වසරේ සිට ඔහුගේ සමීප මිතුරෙකි. ඉගෙනීමට දක්ශයෙක් වුවද බාහිර ලෝකය සමඟ ගැටීමේ අඩුවක් තිලක් ඒ දිනවල සිටම දුටුවේය. චාමර සෑම විටම සිතුවේ ජීවිතය ජය ගැනීමට අධ්‍යාපනය පමණක්ම සෑහෙන බවකි. නමුත් බාහිර ලෝකයේ ප්‍රයෝගිකත්වය හා සන්නිවේදන කුසලතාද යමක් ජය ගැනීමේ දක්ශතාවයද කෙතරම් ප්‍රබල දැයි තිලක් දැන ඇදින ගෙන තිබුනේ අත්දැකීමෙනි. ඔහුට සිය මිතුරා පිලිබඳ අනුකම්පා සිතුනි.


"මචං චාමර, මම ඉතිං උඹ තරම් බ්‍රයිටෙක් නොවුන බව ඇත්ත ඒත් ඉන්ටවිව් එකක් ගොඩ යන එකත් එක්තරා විදිහක කලාවක්"


චාමර සමච්චල් හිනාවක් මුවඟට නගාගෙන "එහෙනම් උඹ එහෙම කලාවකුත් ඉගෙන ගෙන වගේ, හරි හරි කියපන්කෝ බලන්න උඹේ ඔය කලාව"


චාමරගේ උඬඟු සහගත පිලිතුරු ගැන තිලක්ට අමනාපයක් ඇති නොවූයේ චාමරගේ මානසිකත්වය ඔහු වටහාගේන් සිටි බැවිනි.


"එහෙනම් පොඩ්ඩක් අහපන්කෝ"
ඔක්කොටම කලින් හොඳ බයෝ ඩේට එකක්, CV එකක් හදා ගන්න ඕන, නිකම්ම නම ගම වයස ලිපිනය විභාග ප්‍රතිඵල දාල ලැයිස්තුවක් වගේ එකක් දෙනවට වැඩිය ටිකක් ලස්සනට ඕක හදන්න ඕන බං.


නියමිත සැකිල්ලක් ආයතනයෙන් දීල නැත්නම් තමන්ගේ පොඩි ෆොටෝ එකක් දාල, ඊළඟට ලස්සනට පෞද්ගලික විස්තර, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරී සුදුසුකම් බාහිර ක්‍රියාකාරකම් මේ විදිහට වෙන් වෙන් කරල ටිකක් බලන කෙනාගෙ හිත යන විදිහට සුදුසුකම් ලියන්න ඕන. මම ඊ මේල් කරන්නම්කො හොඳ example එකක්.

ඊලඟට පොඩ්ඩක් ඉංග්‍රීසි හදා ගන්න ඕන. උඹ දන්නවනේ මට උඹට තරම් වත් ඉංග්‍රීසි වචනයක් කතා කර ගන්න බෑ කියල ඒ කාලෙ. මම කැම්ප්ස් අවුට් වුන ගමන් කලේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න එක. හැබැයි ඔය තැන් තැන් වල පංති ගියෙ නම් නෑ. තනියම පොඩ්ඩක් පුරුදු වුනා. මහලොකු දේවල් නෙවේ, එදිනෙදා වැඩ වලට ඕන වෙන දේවල්, සමාන්‍ය ඉන්ටවිව් එකක කතා වෙන දේවල්, වෙලාවෙ හැටියට සුබපතන්න, තමන්ගේ බලාපොරොත්තු කෙටියෙන් විස්තර කරන්න, අධ්‍යාපන සුදුසුකම් ටිකක් විස්තර කරන්න, ඔන්න ඔය වගේ දේවල්.


ඉන්ටවිව් එකේදි අහයි කියල හිතන දේවල් ටිකක් ලැයිස්තු කරගෙන අපෙ පැත්තෙ තරමක් ඉංග්‍රීසි දන්න කියන කෙනෙක් අල්ලගෙන අහගෙන පොතක ලියා ගත්ත. ඊට පස්සෙ ඉන්ටෙර්ව් එකට ගියා කියල හිතා ගෙන පුටු ටිකක් ඉස්සරහින් තියල හිතින් මවා ගෙන කතා කලා. දවස් තුනක් හතරක් කරද්දි නිකම්ම කටට හුරු වුනා.


ඊට පස්සෙ ඉතිං කතා කරන විදිහ ටිකක් හැඩ ගස්සල ගත්ත ශබ්ද කරන විදිහ එහෙම.
උඹ ඉතිං විහිලුවකට ගන්න එපා, හිනා වෙන විදිහ ඉඳන් කණ්නාඩිය ඉස්සරහ ඉඳන් පුරුදු වුනා.

ඔතන තනිකරම රඟ පෑමක් තමා තියෙන්නෙ බං. කෙටියෙන්ම කියනවා නම් තව කෙනෙක්ගෙ හිත ගන්න කරන රඟ පෑමක්, රඟ පාන්න දක්ශ වුන තරමට දිණුම්.
ඊලඟට බලපන් උඹේ ඇදුම. දෙවෙනි බොත්තමේ නූලක් ඇදිල, කොලර් එකේ පැත්තක් ඇඹරිලා හරියට අයන් කරලත් නෑ. කලිසමේ පොඩි පැල්ලමක්.


අපි නොහිතුවට ඉන්ටවිව් කරන්න එන අය ඕව හරියට බලනවා. දාස් ගනන් වල ඇඳුම් ඕන නෑ අදින ඇඳුම පිලිවෙලට අඳින්න. එක ඉරක් නැති වෙන්න මැදල ගානට නැවුම් පාරවල් තිබ්බානම් පරන ඇඳුමක් වුනත් පිලිවෙලයිනෙ. අනෙක චාම් පාටක් තෝර ගන්න ඕන අනවශ්‍යය මෝස්තර නැතුව. සපත්තු දිලිසෙන්න පොලිශ් කරල තියා ගන්න ඕන.


මම ඉන්ටෙර්විව් ගිය දවසෙ ඔරලෝසුව මල්ලිගෙන්, සපත්තු දෙකයි බෙල්ට් එකයි අල්ලපු ගෙද එකාගෙන්. කොහොම හරි වැඩේ හරියට කර ගත්ත ඒකනෙ වටින්නෙ බං.


උදේ හොඳට රැවුල කපල නාල එහෙම ප්‍රෙශ් පිට යන්න ඕන. බලපන් උඹෙ පැත්තක රැවුල් කොට ටිකකුත් පේනවා. ඔහොම අඩු පාඩු දැක්කහම මොනතරම් කෙනෙක්ගෙ සුදුසුකම් තිබ්බත් තෝර ගන්න හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්.
ඊලඟට ඉන්ටෙර්විව් එකට යන තැන ගැන හොයල බලන්න ඕනා. මොකද අපි එතන ගිහින් කතා කරන අතරෙ එයාල ගැන යමක් ඇහුවොත් උත්තර දුන්න හැකි. ඒ වගේම එයාල බලාපොරොත්තු වෙන දැනුම අපිට අනුමාන කරල ලෑස්ති වුන හැකි.


ඔන්න ඉන්ටවිව් එකට පැය බාගයක්වත් කලින් යන්න බලන්න. වෙලාවට වැඩ කරන එක ඕන කෙනෙක් අගය කරනවනේ


අදාල කාමරේට යන්න කලින් හොඳ හුස්මක් අරගෙන මූනට විනීත හිනාවක් අරගෙන තමයි ඇතුලට යන්න ඕන, වහපු දොරක් නම් පොඩි තට්ටුවක් දාල එහෙම. උඹ දන්නවනෙ ඔය පොඩි පොඩි මැනර්ස්.


කොන්ද කෙලින් තියා ගෙන මේසෙ ලඟට යන්න. මතක තියා ගනින් උඹ ඇවිදගෙන එන විදිහටම සමහරු උඹව මනිනවා. මම කලින් කිව්වා වගේ ටිකක් පුරුදු වෙලා යන එකේ වරදක් නෑ. කොටින්ම කිව්වොත් උඹ කරන හැම චලනයකින්ම උඹේ පෞර්ෂය මනිනව. ඒකෙන් උඹෙන් ප්‍රශ්න අහන්න කලින්ම මූ නම් හොඳයි කියල හිතා ගන්න පුලුවන්.
එයාල සුබ පතන්න කලින් උඹ වෙලාවට ගැලපෙන විදිහට හොඳට හිනා වෙලා කියන්න ඕන.


ඊට පස්සෙ ඉඳගෙන කතා කරද්දි වුනත් ලාවට විනීත හිනාවක් තියාගෙන ප්‍රසන්න විදිහට කතා කරන්න. හොඳට මතක තියා ගන්න කෙලින් බලල හොඳට ඇහෙන්න කතා කරන්න. පෞර්ශය මනින තවත් හොඳම ක්‍රමයක් තමා කට හඬ. හොඳ පුහුණුවක් වටිනවා කියල තේරෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට තමයි. එතකොට දාඩිය පෙරන්නෙ නැතිව සැහැල්ලුවෙන් කතා කල හැකි.


හැම තිස්සෙම ධනාත්මකව කතා කරන්න පුරුදු වෙන්න. ඒක ඕනම කෙනෙක් සතුටු කරන දෙයක්. ඉවර වෙලා අතට අත දෙන එක ඉඳන් හොඳ පාලනයකින් ශක්තිමත් විදිහට කරන්න ඕන.


ඉන්ටෙර්විව් වල පන්දම් වලට තැනක් තියන බව ඇත්ත ඒත් ඔතන ටිකක් මොලයකුත් තියන වුන් ගොඩක් වෙලාවට ඉන්නවා. ඉතිං එහෙම කෙනෙක්ට මූව නොගෙන ඉන්න එක අපරාධයක් කියල හිතුනොත් පන්දම් නැතත් ඉන්ටෙර්විව් එක පාස් වෙන්න පුලුවන්!"


දීර්ඝ දේශනය අසා සිටි චාමරට හැබෑවටම එය කලාවක් නොවේදැයි සිතින.


"උඹ නම් මාර පොරක් බං, මම මෙච්චර ඉන්ටව් වලට ගියා ඔච්චර දේවල් හිතුවෙ නැහැනේ, මම හිතුවේ සහතික මිටිය අරන් ගිහින් පෙන්නල අහන ඒවට පුලුවන් විදිහට උත්තර දුන්නහම ඇති කියල" "තෑන්ක්ස් මචන්"චාමර තිලක්ට ස්තූති කලේ හදවතින්මය


අධ්‍යාපනික සුදුසුකම් කෙසේ වෙතත් ජීවන සුදුසුකම් අතින් නම් තිලක් තමාට වඩා බොහෝ දුර ගොස් ඇති අයෙක් යැයි චාමරට සිතුනි.


45 comments:

  1. මේක ගොඩක් අයට විධි කිපයකින්ම වැදගත් වෙනවා සහෝ..
    1)ඉන්ටවිව් යන අයට වටිනවා.
    2)මොනා උනත් කාටවත් ඉරිසියා කරන්න හොඳ නැහැ.අවසානේ අපිටම ඔවුන් උපකාර කරන අවස්ථා තියනවා.

    ඔබේ පෝස්ටුව සාර්ථකයි!
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු!
      අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දකට හෝ සමාජ ආකල්ප වල වැරැද්දක් නිසා ගොඩක් අය හිතන්නෙ පොත් වල දැනුම, විභාග ඉහලින් සමත් වීම, උපාධියක් තිබීම රැකියාවක් ලබා ගන්න ප්‍රමාණවත් කියල. ඒ සිතුවිල්ලෙන් සම්මුඛ පරීක්ෂණ වලට ගිහින් අසමත් වුනහම කොයි තරම් හිත් තැව්ලට පත් වෙනවද, අධෛර්යමත් වෙනවද! අපරාදෙ තමන් අමාරුවෙන් ඉගෙනගත් දේටත් සාප කරනව.
      ඒත රැකියාවකට වඩාත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම, සන්නිවේදන කුසලතා, භාශා දැනුම, පෞර්ෂත්වය, දරා ගැනීමේ හැකියාව. ඉතිං සම්මුඛ පරික්ශනයකදි මනින්නෙ ඒ දේවල්. මේදේ නොදන්න අය දැනගෙන දැනගෙනත් නොදන්නවා වගේ කම්මැලි කමට ඉන්න අය තමන්ගෙ ආකල්ප වෙනස් කරගෙන ජීවිතේ සාර්ථකත්වයට දොර විවර කර ගනීවි කියන එක තමා බලාපොරොත්තුව.

      Delete
  2. ගොඩක් වැදගත් ලිපියක් යාළුවා..

    ReplyDelete
  3. ඔක්කොම කරුණු එකක් නෑරම හිතට දැනෙන්න, ලස්සනට ලියලා තියෙනවා.

    ජයවේවා!

    ReplyDelete
  4. පැහැදිළිවම වටිනව මචෝ ඈ..............

    ReplyDelete
  5. කතාවෙන් කතාවෙන් කියන්න ඕනේ ටික උපරිමට කියලා තියෙනවා :)

    ReplyDelete
  6. හොඳ ලිපියක්! සති කීපයකට කලින් අහන්න පුලුවන් ටිකක් විකාර ප්‍රශ්න වගයකුත් මං පෝස්ට් එකක් විදිහට දැම්ම!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබිත!
      මටත් මතකයි එහෙම ලිපියක්. ලින්ක් එක හොයල දාන්න ඕනෙ.

      Delete
  7. මේක නම් ගිමන් වටිනා අත්පොතක් . හොඳ තෑග්ගක් අපි කාටත්. මේ මිනිහෙකුට එක වේලක් බඩගිනි නිවාගන්න දීපු මාලුවෙක් නෙවෙයි. ජීවිතකාලෙට බඩගිනි නිවාගන්න මාලුවෙක් අල්ලගන්න හැටි කියා දීමක්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Dude!
      ගොඩක් කාලෙකට කලින් උසස් පෙලට ඉගෙන ගන්න කාලේ භෞතික විද්‍යා ගුරුතුමා දුන්න වටිනා උපදේශයක් තමා මතක් කරල දුන්නෙ.

      Delete
  8. වැදගත් කරැණු ලස්සනට සරලව කියලා තියෙනවා කියවන්න හිත ඇදිලා යන විදියට :)

    ReplyDelete
  9. ගිමන් අනර්ඝ ලිපියක් .කතාවෙන් කතාවෙන් කියන්න ඕනේ දේ නියමෙට ලියලා .මාත් නිතරම හිතන දෙයක් ගොඩක් ෆ්‍රෙශ් ග්‍රැජුවෙට්ස්ලා අතර ඔය තියෙන ප්‍රයිවට් සෙක්ටර් එකට ජොයින් වෙන්න පන්දම අල්ලන කනෙක්ශන්, තියෙන්න ඕනේ කියන ෆ්‍රස්ට්‍රෙටින්ග් කතාව .ඇත්තම කිව්වොත් ඒ තැන් වල බලන්නේ වැඩ ලෝකෙදී මුසු තව අය එක්ක මුහු වෙලා වැඩ කරන්න පුලුවන් විදිය .නමුත් හොඳ රෙකමන්ඩේශන් එකක් වැදගත් . සමහර ආයතන රස්සාව දෙන්න කලින් වෙනම දිග ෆෝර්ම එකක් යවලා රෙෆ්‍රිලගෙන් රෙකමෙන්ඩේශන් ගන්නවා ඒ පුද්ගලය ගැන .

    තව දෙයක් මම කියන්න කැමතියි .ෆ්‍රෙෂ් ග්‍රැජුවෙට්ස්ලා ටිකක් "කට්ට" කන්න අකමැතියි ,එහෙම අයට මුල්ම එක්පීරියන්ස් අඩු නිසා අධ්‍යාපන සුදුසුකම් , අපර්ස් තිබුණත් මුලින් ලැබෙන්නේ ඇසිස්ටන්ට් පෝස්ට් , ජුනියර් පෝස්ට් ට්‍රේනි පෝස්ට් අවුරුද්දක් දෙකක් ,ගොඩක් කම්පැනි මේ කාලේ එයාලා ඔබ්සවු කරනවා ආයතනයට සුදුසු අයද නැද්ද කියලා .ඒ ප්‍රවිවට් සෙක්ටර් එකේ හැටි .ඔය කට්ට අවුරුදු 2 මහන්සිවෙලා වැඩ කරලා පැන්නුවොත් ඉන් එහාට සාමානය වචන වලින් කීවොත් ගේමක් නෑ . ඒ වගෙම ප්‍රයිවට් සෙක්ටර් එකේ සෙල්ෆ් සර්විස් නෙ .පොටෝකොපි ගහන්න , ලියුම් ලියන්න , ටයිප් කරන්න , රිපෝර්ට් ලියන්න අමුතුවෙන් වෙනම අතට පයට සේවකයො නෑ , ඉතින් ගොඩක් වැඩ කරන්න වෙනවා .නමුත් ෆ්‍රෙශ් ග්‍රජුවෙට්ස්ලා අකමැතිත් ඔයදේවලට .නම ගිය ආයතනයක දෙවසරක කට්ටකින් පසුව තව හොඳ තැනක සැප පහසුකම් තියෙන තනතුරකට යන එක අමාරු නෑ . ඒත් උපාධියම විතරක් නෙවේ ලෝකේ එක්ක ගණු දෙනු කරන කොමන් සෙන්ස් එහෙමත් ඕනේ .අන්තිමට කැමතියි කාලෙකට කලින් අපේ ඉන්ටර්න්ශිප් ප්‍රොග්‍රැම් එකකට ඇවිත් ලංකාවෙ හිටිය විද්වතෙක් කිව්ව කතාවක්මතක් කරන්න .මෙන්න මෙහෙම

    "දැන් ඔය ලමයි ඊයේ පෙරේදා කැම්පස් එකේ වතුර ටැංකියක් උඩ නැගිලා සෙනෙට් එකෙන් දුන්නු තීරණේකට විරෝධය පාලා කීප දෙනෙක් වස බොනවා කියලත් තර්ජනේ කරානේ . හිතමු තව අවුරුද්දකින් පුද්ගලික අංසේ රස්සාවට ගිහින් ඩිරෙක්ටර් බෝර්ඩ් එක දෙන තීරණෙකටත් ඔහොම කරන්නද කල්පනාව කියලා ? "

    ඕක තමයි ලොකේ එක්ක ජීවත්වෙන කොමන් සෙන්ස් .ලොක්කට වුනත් චැලෙන්ජ් එක දෙන්න logical විදියක් තීනවා .ඒක දතයුතුමයි :)

    ReplyDelete
    Replies
    1. අහ් TG කාලෙකින් ඇවිත් ගොඩක් වටිනා අදහස් ගොන්නක් කියල තියෙන්නෙ!
      ඇත්තටම මට ලියන්න බැරි වුන වැදගත් කරුණක් TG කියල තියෙන්නෙ. උපාධිය ගත්ත ගමන් ඒ එන උජාරුවට පොඩි පඩියට වැඩ කරන්න පොඩි අකමැත්තක් එනවා. ඒත් රාජකාරි සුදුසුකම් ගන්න නම් පඩි නැතුවම හරි කාලයක් වැඩ කලත් පාඩුවක් නැහැ. මොකද TG කිව්ව වගේ ඒ කෙටි කාලීන කට්ට නොකෑවොත් කීයටවත් ඉකමණින් හොඳ ජොබ් එකක් අල්ල ගන්න බැරි වෙනව.
      ස්තූතියි TG!

      Delete
    2. අත්දැකීම් වලින් කීවේ ගිමන් .මෙතැන්ට ගිහින් බලන්න හිනාත් යාවි .

      http://www.ahasgawwa-tmg.blogspot.com/2011/12/blog-post.html

      Delete
    3. නියමයි TG! TG ගෙ ලිවීමේ හැකියාව ගැන පුදුම හිතුනා!
      ගොඩක් කාලෙකින් මෙච්චර ආසාවෙන් පෝස්ට් එකක් කියෙව්වෙ.
      ඒ එක්කම campus ජීවිතේ ආයෙත් හිතින් වින්දා!
      පාඩම් කරන්න වෙලාව නෑ වැඩ වැඩියි කියල චෝදනා කරන අයට හොඳ පාඩමක් TG ගෙ ලිපිය!

      Delete
  10. ගිමන්, ඔහොම හෙන ෆෝවර්ඩ් බුවෙක් ඉන්නවා මම දන්න. රස්සාවල් මාරු කරන්නෙ ඇඳුම් මාරු කරනවා වගෙ. බුවා මගෙ යාලුවෙක් වගේම ටියුෂන් ගෝලයෙක් ඉස්සර. මේකා ගැන මම බ්ලොග් එකක් ලියන්න හිතාගෙන හිටියෙ තියෙන ධන ලක්ෂන ගැන. නමුත් මේ පාර මම හදිසියෙ ලංකාවට ගිහින් එන්න ගිය වෙලාවෙ දැන ගත්තා ඔක්කොම කනපිට ගහලා කියලා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම ෆෝවර්ඩ් ගතිය වැඩි වෙලා වැරදි පාරක යන්න ඇති මනුස්සයා!

      Delete
    2. හරියට හරි. ඒක තමයි වෙලා තියෙන්නෙ.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  11. ගොඩාක් වැදගත් පොස්ට් එකක්. කොච්චර සුදුසුකම් තිබුනාත් ඉන්ටවිව් ෆේල් වෙන අය ගොඩාක් ඉන්නවා මෙන්න මේ සුදුසු කම් නැති නිසා.

    ReplyDelete
  12. නියමම


    යි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. ඉන්ටර්විව් යන අයට වැදගත් ලිපියක් ...

    ReplyDelete
  14. කතන්දරයක් කියල හිතාගෙන කියවන්න පටන් ගත්තෙ. පුංචි පාඩමක්නෙ. :D
    පෞද්ගලික අංශයෙ රැකියාව කරන අය හුඟක්විට කියනවා විශ්වවිද්‍යාලෙ ගිහින් ආව උපාධිධාරීනුත් වෙනත් බාහිර සුදුසුකම් මත ආව අයත් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් කියලා හැසිරීමෙන් සහ ආකල්පවලින්. විශ්වවිද්‍යාලය මොකක්ද කියලත් හුඟක්විට කියන්න පුළුවන් ගතිගුණවලින්. නමුත් කරන්න ඉන්න රැකියාවට ඒ දේවල්ම නුසුදුසුකම් වෙන්න ඉඩ ඇති බව සමහරවිට අපි කල්පනා නොකරනවා වෙන්න පුළුවන්. ඉගෙනුමට දෙන අවධානය අනෙක් දේවලටත් තියෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නලිනි!
      උපාධිධාරියෝ කියල ඔලුව උදුම්මවා ගත්තොත් නම් දියුණු වෙන්න අමාරුයි. මොකද දැනුමෙන් සම්පූර්ණයි කියල හිතා ගත්තහම අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න නැහැනෙ. තමාගෙ මතයම හරිය කියල හිතන එකෙන් සාමුහිකව රැකියාවට අදාල කටයුතු කිරීම අපහසු වෙනවා.
      ස්තූතියි අදහසට නලිනි!

      Delete
  15. ස්තුතියි ගිම්..වැදගත් දේවල් ටිකක් අපූරුවට කියලා දුන්නට..
    ඔය නොදත් කලාවේ මූලික රහස ආකල්පයයි..නිවැරදි ආකල්පය තියේ නම් මේ කලාව ප්‍රගුණ කරන්න අමාරු නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රූ හොඳ ධනාත්මක ආකල්ප තිබීමයි වැදගත්!
      ස්තූතියි!

      Delete
  16. හොද විස්තරයක්.... කාටත් වැදගත් වේවි...

    ReplyDelete
  17. එක හුස්මට කියවන් ආව..නියම ලිපියක්.

    ReplyDelete
  18. වැදගත් ලිපියක් ...ස්තුතියි

    ReplyDelete
  19. වටින ලිපියක් ගිමන් අයියේ....අර්ථවත්...

    ReplyDelete
  20. ඔන්න මාත් ආව මේ පැත්තට :)
    ලස්සන කතාවක් එක්ක හැමෝටම වැදගත් වෙන විස්තරයකුත් තියෙන ඉතාමත්ම සාර්ථක ලිපියක්....දිගටම ලියන්න සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්! ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා! ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  21. කතාව සහතික ඇත්ත..මනුස්සයෙක් මනින්නේ එයාගේ ආකල්ප වලින්...තව කෙනෙකුව පාගාගෙන , හරියනකොට ලගින් හිටපු අයව ඈත් කරන සමාජයක මේ වගේ යාළුවො වාසනාවක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නංගී, ස්තූතියි ඔයාටත්!

      Delete