Tuesday, March 8, 2016

හොර ඇඟට ලෙඩ ගොඩයි



අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ හතර වෙනි පියවර ගැන තමයි මේ කතා කරන්න යන්නෙ.

ඔක්කෝටම කලින් අපි අපේ එදිනෙදා ජීවිතෙන් එක දවසක් ගම්මු. 
උදේ නැගිටිනව, මූණ කට හෝදගෙන ලෑස්ති වෙලා උදේට කාල හෝ නැතිව වැඩට/ඉස්කෝලෙට/ටියුශන් එකට යනව දවල් කෑමට ඉන්න තැනින් නැගිටල ගිහින් කාල ආයෙත් ඉඳ ගන්නවා.
හවසට ගෙදර ඇවිත් ඇඟපත හෝදගෙන තේකක් එහෙම බීල ටීවී එක ලඟ වාඩි වෙනවා නැත්නම් පාඩම් කරන්න මේසෙන් ඉඳ ගන්නව රෑට කාල නිදා ගන්නවා. හැමෝගෙම නැතත් ගොඩක් අයට තියෙන්නෙ මීට සමාන කම් කියන දින චර්‍යාවක් නේද,

කල්පනා කරල බලන්න ඔහොම ගෙවෙන දවසෙ එක පැය භාගයක් අපේ ඇඟට දාඩිය දාන තරමට මහන්සියක් වෙනවද කියල (අව්වට දාඩිය දාන එක නැතුව) නෑ නේද? ඒ කියන්නෙ අපි හොඳ ඉතුරුම් කාරයො. මොනවද ? අපි කන කෑම වලින් වැඩි ප්‍රමාණයක් අපි පිච්චෙන්න නොදී අපේ ඇඟ ඇතුලෙම තැන් තැන් වල තැම්පත් කර ගන්නවා. වැඩි හරියක් තෙල් විදිහට අපේ සමට ඇතුලතින් ගොඩ ගැහෙනවා. හැබැයි මේ තැම්පතු කවදාවත් හෙල්ලෙන්නෙ නෑ දවස ගානෙ වැඩි වැඩියෙන් ගොඩ ගැහෙනවා විතරයි. ඕනම දෙයක් ඕනැවට වැඩි වෙද්දි කරදරයිනේ. ඉතින් මේ තෙල් තට්ටු මුලින් සිරුරේ හැඩය විනාශ කරල ඊට පස්සෙ මුලු සිරුරෙම සෞඛ්‍යයමත් බව විනාශ කරනවා.


පහුගිය අවුරුදු 50ක කාලෙ තුල අපේ ජීවිත ගොඩක් වෙනස් වුනා, තාක්ෂණයේ දියුණුවත් එක්ක. ඒ වෙනසත් එක්ක ඇඟ වෙහෙසන ප්‍රමාණය අඩු වුනා, ඒ එක්කම පුටුවකට වෙලා ගත කරන කාලය වැඩි වුනා. ඉතින් ඉස්සර ස්භාවිකවම ලැබුණු වයායාම අද හිතල කරන්න වෙලා තියෙනවා.

ගොඩක් අය නිදහසට කියන දෙයක් තමයි වයායාම කරන්න වෙලාවක් නෑ කියන එක.
වෙනම වෙලාවක් දාගෙන වයායාම කරන්නෙ මොකටද? අපි එදිනෙදා වැඩ විදිහට කොච්චර දේවල් කරනවද ඒ දෙවල් වයායාම විදිහට යොදා ගන්න පුලුවන්.

කොහොමද එහෙම කරන්නෙ?

කෙටියෙන් කිව්වොත් ඇඟට හොදට දාඩිය දාන්න පැය බාගයක් වෙහෙසෙන්න.

උදා :-
01. හවස වැඩ ඉවර වෙලා ගෙදර එනකොට කිලෝමීටර් එකක් වත් දුරින් බස් එකෙන් බැහැල ඉතුරි ටික පයින් එන්න.
02. වැඩ කරන තැන පඩි පෙලි තියෙනවා නම් ලිෆ්ට් එක පාවිච්චි නොකර පුලුවන් තරම් පඩි පෙළ පාවිච්චි කරන්න.
03. ඇවිදින ටික දුරක් හරි වේගයෙන් ඇවිදින්න. 
04. හවසට වෙලාවක් තියෙනවා නම් පැය භාගයක් දරුවෙක් / පවුලේ කෙනෙක් එක්ක බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න.
05. පොඩියට හරි ගෙවතු වගාවක් කරන්න. මල් ටිකක් වවන්න. ගෙදර පිරිසිදු කිරීමක් කරන්න.

මේ කිව්වෙ දවසට පැය බාගයක් වෙන් කරන්න බෑ කියලම කියන අයට. එහෙම නැත්නම් ව්‍යායාම උපකරණයක් භාවිතා කිරීම. එවැනි උපකරණ තියෙන ආයතනයකට (ජිම් එකකට) යෑම, උනත් කරන්න පුලුවන්.

මේ කිව්වෙ අපි එදිනෙදා කන දේවල් වලින් වන මේද තැම්පත් වීම් වලක්වා ගන්න. එතකොට දැනට තැම්පත් වෙලා තියෙන මේද?

ඒ සඳහා සතියකට දින කීපයක් වත් පහතා දේවල් වල යෙදෙනවා නම් හොඳයි

1. පිහිණීම
2. බයිසිකල් පැදීම
3. සෙමෙන් දිවීම.


මේවයින් එදිනෙදා ආහාර තැම්පතු වැය කිරීමට අමතරව අනවශ්‍ය මේදය වැය කර ගන්න පුලුවන්.

මීට අමතරව සතියකට දින දෙකක්වත් ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, එල්ලෙ, ටෙනිස්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවක යෙදෙන එක ගොඩක් වටිනවා. එවැනි දේකින් කයට ව්‍යායාමයකට අමතරව මානසික ආතතිය අඩු වීමද සිදු වෙනවා.  නිවරැදිව කරනවා නම් යෝග වයායාම ගොඩක් වැදගත්.

මේ දේවල් කරන අතර පහත කියවෙන දේවල් වලට ගත කරන කාලය අඩු කරන්න ඕනෙ.

1. පරිගනක ක්‍රීඩා/ සමාජ ජාල  වැනි දේවල් සඳහා ගත කරන කාලය.
2.රූපවාහිනී නැරඹීමට ගත කරන කාලය.

දැන් අපි බලමු මෙහෙම සිරුර වෙහෙසවන එකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල.

1. දියවැඩියාව, අධිරුධිර පිඩනය හා හෘදරෝග වැලඳීමට ඇති අවදානම අවම වීම.
2. වයායාම සෑම විටම හෘදයේ කාර්යක්ෂමතාව වැඩි කරවනවා.
3. කායික ක්‍රියාකාරීත්වය මානසික සෞඛ්‍යය යහපත් කරන අතර මානසික ආතතිය අඩු කරනවා.
4. නොකඩවා මෙලෙස වයායාම වල යෙදෙන අය වයස්ගත වන විටද අන් අයට වඩා වැඩි කාලයක් ශක්තිමත් සිරුරකට උරුමකම් කීමට හැකි වෙනවා.
5. උසට ගැලපෙන බර පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. 
6. ව්‍යායාම අස්ථි හා මස්පිඩු ශක්තිමත් කරන අතර සන්ධි වල නම්‍යශීලී බව වැඩි කරනවා.
7. ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වලින් අස්ථි ආරක්ෂා කරනවා. 

දැන් නිවාඩු පාඩුව හිතල බලන්න අපි කොයි තරම් අඩුවෙන්ද සිරුර වෙහෙසවන්නෙ කියල. ඔහේ ගෙවෙන දිනචර්‍යාව ටිකක් වෙනස් කරල පොඩ්ඩක් එලියට පහලියට බැහැල අපි දැන් කතා කල ව්‍යායාමයක් හරි ක්‍රීඩාවක් කලොත් කොයි තරම් ජීවිතේ වෙනසක් ඇති වෙයිද කියල. සත පහක් වත් වියදම් වෙන්නෙ නැහැනෙ. හැබැයි මිල කරන්න බැරි තරම් ලාබයක් නම් ලැබැයි ඒ නිරෝගීකම!

29 comments:

  1. කිව්වත් වගේ එදිනෙදා වැඩ ව්‍යයාම විදිහට යොදා ගන්න පුළුවන් නේද... බොහොම වටින ලිපියක්...

    ReplyDelete
    Replies
    1. දවසක් දෙකක් හිතල කලහම නිකම්ම හුරු වෙනවා !

      Delete
  2. මේ වන විටත් හැකි පමණ ඔය ටික තේරුම් අරං ජීවත් වෙනවා. ඇත්තට ම මේක ප්‍රොය්ජනවත්... උදේ කෑම අපි ගන්නේ හදිස්සියට සහ හරිම පොඩ්ඩක්. එ්ත් ඒක ප්‍රමාණවත් ව අරගෙන දහවල් ආහාර කෙසේ වෙතත් විශේෂයෙන් ම රාත්‍රී ආහාර අඩු කරන්නට හැකිනං වටිනවා. ඒක ඇගට ලොකු පහසුවක්. රාත්‍රී ආහාරය සුලු දෙයක් නං තවත් හොදයි.

    අනික තමා ව්‍යායාම ආරම්භ කිරීමට පෙර ඇගේ පාදයන්, අත්, බෙල්ල ආදී ස්ථානයන් ටිකක් ඇදෙන පරිදි ව්‍යායාම කොට ආරම්භ කිරීම වැදගත්. ඒ වගේ ම ව්‍යායාම අවසන් කිරීමෙන් පසුවද ඇදෙන පරිදි ව්‍යායාම කිහිපයක් කිරීම වැදගත්. ඒක මාංශපේෂීන්ට පහසුවක් සහ රෝග ඇතිවීම වළක්වාවි...

    ReplyDelete
    Replies
    1. ඇගේ පාද ඇද්දොත් ගුටිගන්න වෙයි. ඇඟේ පාද වෙන්න ඇති.

      Delete
    2. ක්‍රමානුකූලව ව්‍යායාම කරන අයට වටින උපදෙස් ටිකක්!

      @ඉයන් - ඉදලා ඉදලා දකින දේවල්. හැබැයි ඇත්ත!

      Delete
  3. එතකොට අඩේ මං හැමදාම සයිකල් පදින හිංදද මේ කටුස්ස වගේ කැහුට්ට වගේ ඉන්නෙ
    සැක් ඉතරක් හෙට ඉදං මාත් බස්සෙකේ යන්න ඕන ටිකක් මහත් වෙයිද කියල වත් බලන්න
    හැක්

    වටින විස්තර ටිකක් වැදගත් පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. එතකොට අඩේ මං හැමදාම සයිකල් පදින හිංදද මේ කටුස්ස වගේ කැහුට්ට වගේ ඉන්නෙ lol

      Delete
    2. මහත් වුනා වගේ නෙවෙයි මහත බස්ස ගන්න ගියාම වැඩේ ටිකක් අමාරුයි!

      Delete
    3. ඉයන්-
      ඒ කටුස්සා කිවුවේ මට නෙමෙයි.ඇත්තම කටුස්සාට....

      මයියා-
      කෝට්ටේ ඉන්නවා දොස්තර සේරසිංහ කියලා කෙනෙක්.ගිහින් බෙහෙත් ගනින්.සෙනග පෝලිමේ මහත්වෙන්න බෙහෙත් ගන්න.මට මාස 2 ඉදන් එතනින් බෙහෙත්ගන්නේ.

      Delete
  4. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  5. දැ‘ නං අඩි දහයක් ගියත් හති

    ReplyDelete
    Replies
    1. ඕකනේ හැමදාම කියන්නේ. කෝ කොච්චර කිව්වත් අහන්නෙ නෑ නොවැ!

      Delete
    2. තව බීහං සිගරට්. මලකුත් ඇදලා මස්කට් කාලා ගහපං වැඩී සීනි ප්ලේන්ටියකුත්. කිව්වා නාහන ගුරු...

      Delete
    3. ඔය තියෙන්නෙ! අල්ලං ගිහින් ඕව මුකුත් නැති තැනක දාල තියමුද සතියක් දෙකක්

      Delete
  6. ඉතා හොද කාලීන ලිපියක්.

    //උදා :-
    01. හවස වැඩ ඉවර වෙලා ගෙදර එනකොට කිලෝමීටර් එකක් වත් දුරින් බස් එකෙන් බැහැල ඉතුරි ටික පයින් එන්න.//

    හැරෙන්නට අනික් හැමදේටම වගේ එකගයි.

    අධික ඩීසල් දුම, වායු දුෂණය කුඩා අංශු (PM2.5) ඝනත්වය වැඩි (නිදහස් චතුරශ්‍රය, කොළඹ විශ්විද්යාලීය ක්‍රීඩා පිටිය, නුවර වැව රවුම වගේ තැන්වල) පයින් ඇවිද්දොත් නම් මහත අඩු වීම කොහොම වුනත් ස්වසන රෝගයක් හෝ පිළිකා රෝගයක් ඉක්මන් කරගැනීමක් වෙන්න පුළුවන්. මෙම දුෂක ජීව සමාචයක (bio accumulation) වීම සාන්ද්‍රණය (c) මෙන්ම ආශ්වාස කරන වාතය පරිමාව (v) සහ නිරාවරණ සංගුණකය (Q) මත රදාපවතිනවා. දුෂිත වාතාශ්‍රයක ව්‍යායාම කිරීමේදී අපි වැඩි දුෂිත වායු පරිමාවක් ආශ්වාස කරනවා. ඒවගේම නිරාවරණ සංගුණකයත් ව්‍යායාම කිරීමේදී වැඩි වෙනවා ලේ ගමනාගමන වේගය වැඩි වීම නිසා. එනිසාවෙන්ම පෙනහළුවලට ඇතුල් වෙන විෂ වායුමය සංයෝග වගේම PM2.5 කුඩා අංශු ශරීරය පුර පැතිර යාමේ වේගය වැඩිවෙනවා.

    මහපාරේ හෝ තදාසන්න ප්‍රදේශ වල ව්‍යායාම කරනවා නම් පයින් යනවා නම් වඩාත් සුදසු වෙන්නේ උදේ කාලය.

    කොළඹ AQI අගයන් නම් විශ්වාස කරන්නත් බැරි තරම් විහිලු සහගත නිසා තම තම නැණ පමණින් අපි ආරක්ෂා වෙන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන දේත් ඇත්ත. දූෂිත පරිසරයක ඉන්න අයට වෙනස් විදිහක ව්‍යායාම ක්‍රම හොයා ගන්න පුලුවන්. ගෙදරදොරේ වැඩ වලින්ම

      Delete
    2. එහෙම කිව්වම මතක් වුනේ ගිමන්!!

      මේක කුණුහරුපයක් විදියට නම් නෙවෙයි කියන්නේ!!!
      විවාහකයන්ට නම් ඔවුන්ගේ ශ්රුංගාර දිවියත් දෙදෙනාටම වින්දනාත්මක හොද ව්‍යායාමයක් කර ගත හැකි බව බටහිර වෛද්‍යවරු උපදෙස් දෙනවා. උදේට විනාඩි 20 ව්‍යායාම වෙනුවට එහෙම කිරීමත් සාර්ථකයි කියා ඔවුන් උපදෙස් දෙනවා සමහරවිට. මේක කුණුහරුපයක් විදියට නම් නෙවෙයි කිව්වේ.

      ලංකාවේ නම් මෙහෙම කතාවක් වැඩිය අහල නැති නිසා, ලංකාවේ වෛද්‍යවරුන්ගේ මේ ගැන අදහසත් දැනගන්න කැමතියි.

      Delete
    3. ඔබ කියන යෝජනාවේ කිසිම වරදක් නැහැ. දෙපාර්ශවයේම කැමැත්ත තියෙනවා නම් හොඳ යෝජනාවක්!

      Delete
    4. I go jogging in the public stadium here. Unfortunately it is next to the garbage dump. Some days they set fire to the garbage. When the wind is blowing from that direction, I give up jogging and come home.

      Delete
  7. කොහෙද අපේ අම්මටයි තාත්තටය කොච්චර කියනවද මාත් එක්ක බැඩ්මින්ටන් ගහන්න එන්න කියල.. වැඩ වැඩ කියල හැමදාම මඟ අරිනව.අලි පැටව් දෙන්නා වගේ මහතයි දැන්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැන්වත් කොහොම හරි දෙන්නවම කැමති කරව ගන්න!

      Delete
  8. මමනම් දවසට විනාඩි 45ක් විතර ව්‍යායාම කරනවා.

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි! බෑ බෑ කියන හැමෝටම හොඳ ආදර්ශයක්!

      Delete
  9. මහන්සිනම් වෙනවා.ඒත් ඇඟ වෙහසනවාද කියන එක තමයි ප්‍රශ්නේ....

    ReplyDelete
    Replies
    1. හොඳට දාඩිය දානවා කියන්නෙ ගොඩක් වෙලාවට ඇඟ වෙහෙසන බවට සාක්ෂියක්!

      Delete
  10. හෙට ඉඳන් ට්‍රයි කරන්න ඕන.. ඒත් හෙටත් ඉතින් හිතෙන්නෙ හෙට ඉඳන් කරනවා කියල තමයි..

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් බැරි! බාලගිරි දෝශය!

      Delete