Sunday, March 22, 2015

සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program)



බර වැඩි වීම නැත්නම් තරබාරු බව පිළිබඳව ලිපි තුනක් ඔයාල දැන් කියවල තියෙනව. කියෙව්වෙ නැති අයට පහල දක්වල තියෙන යොමුවෙන් ගිහින් බලන්න පුළුවන්  

ඔයාලට දැන් තේරෙනවා හෙමින් හෙමින් ඇඟට පතට නොදැනී අපි නුසුදුසු ආහාර රටාවකට හුරු වෙලා කියල.
දැන් ඉතින් කොහොමින් හරි බර වැඩි වෙලානෙ, මේ බර අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද?

තියෙනවා. ඒක ගැන තමයි අද ලිපියෙ ලියවෙන්නෙ.
හරිම පහසුයි. දවස් හතක් මම මේ කියන පිළිවෙළට කෑම ගන්න. එච්චරයි. විශේෂ ව්‍යායාම, ඖෂධ, මේදය අඩු කරන බීම වර්ග ඕනෙ වෙන්නෙ නෑ.
හැබැයි අවංක වෙන්න ඕනෙ. වැඩේට කලින් බර මැන ගන්න. ඉනේ වටප්‍රමාණය හරියට මැන ගන්න. හොඳයි එහෙනම් පටන්ගමු.

මෙම බර පාලනය කිරීමේ වැඩසටහන සකස් කරගෙන තියෙන්නෙ ජෙනරල් මෝටර්ස් (General Motors) නම් ඇමෙරිකානු රථවාහන නිපදවන සමාගමක සේවක පිරිස විසින් 1985 දි . මෙය Johns Hopkins Research Center යන පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක් කර අනුමැතිය ලබා දී තිබෙනවා. මෙහි ඇති සාර්ථකත්වය නිසා මෙය ලෝකය පුරාම බොහෝ දෙනා අනුගමනය කරනවා. භාවිතා කල අයගේ අත්දැකීම් අනුව මේ මගින් සතියක් තුල බර කිලෝ 4.5ත් 7.5ත් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් අඩු වෙනවා.

මේ සතිය තුල තමාගෙ පුරුදු ආහාර රටාව සම්පූර්ණයෙන් අමතක කරන්න ඕනෙ. කියල තියෙන කෑම වලට අමතරව එක ටොපියක්, ප්ලේන්ටියක් අඩුම ගානෙ රටකජු ඇටයක්වත් කන්න බෑ. 
සතියේ සෑම දවසකම වතුර වීදුරු 10 බැගින් බොන්න ඕනෙ. (ඊට වැඩි වුනත් කිසි වරදක් නෑ. හැබැයි අඩු වෙන්න නම් බෑ)
උදේට දවල්ට හවසට කිරි, ප්ලේන්ටි පලතුරු යුෂ බීම හෝ වෙන කිසිම බීමක් බැ, නියමිත දේවල් වලට අමතරව.

පළවෙනි දවස - පලතුරු (කෙසෙල් තහනම්)

මුලු දවසටම කන්න පුලුවන් පලතුරු විතරමයි හැබැයි කෙසෙල් තහනම්. කොමඩු වැඩි පුර කනවා නම් ගොඩක් හොඳයි. තමන්ට කැමති තරමක් කන්න පුලුවන්. ප්‍රධාන වේලවල් 3 අතරට වුනත් කන්න පුලුවන්. සැලඩ් එකක් හදා ගත්තත් කමක් නෑ. හැබෑ සීනි රස කාරක මුකුත් දාන්න බෑ. අනිවාර්යයෙන් වතුර වීදුරු 10ක් බොන්න ඕනෙ. වෙන කිසිම බීමක් බොන්න බෑ අඩුම ගානෙ පලතුරු යුෂ එකක්වත්. මේ ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් ඕනෙ නෑ. ව්‍යායාම කලත් අවුලක් නොකලත් වරදක් නෑ.

දෙවෙනි දවස - එළවළු (අල, බතල, බීට් රූට් තහනම්)

මුලු දවසටම කන්න පුලුවන් එළවළු විතරමයි හැබැයි  අල,බතල , බීට් රූට් තහනම්. හැබැයි ඔන්න ඕනෙම නම් උදේට එකම එක ලොකු අලගෙඩියක් කෑමට එකතු කර ගත්තට කමක් නෑ. එළවළු තම්බල හරි සුප් එකක් හදල හරි ගත්තට වරදක් නෑ. කලින් කිව්ව වගේ වතුර වීදුරු 10යි.

තුන්වෙනි දවස - පලතුරු සහ එළවළු (කෙසෙල්, අල, බතල, බීට් තහනම්)

ඔන්න මේ දවසෙ පලතුරු එළවළු ඕනෙ තරම් කන්න පුලුවන්. හැබැයි කෙසෙල්, අල, බතල, බීට් තහනම්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

හතරවෙනි දවස - කෙසෙල් හා කිරි 

මේ දවසේ උදේට කිරි වීදුරුවයි කෙසෙල් 2යි (ඕනෑම කෙසෙල් වර්ගයක්) , දවල්ටත් කිරි වීදුරුවයි කෙසෙල් 2යි, රෑටත් කිරි වීදුරුවයි කෙසෙල් 2යි. කෑම වේලවල් අතර ඕනැම නම් කෙසෙල් ගෙඩිය ගානෙ කෑවට කමක් නෑ. එතකොට දවසටම උපරිම කෙසෙල් ගෙඩි 8ක් පුලුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

පස්වෙනි දවස - මස්, මාලු හෝ සෝයා මිට් සමග තක්කාලි

දවසටම පුලුවන් මස්  හෝ මාලු විතරයි. ( මුල් ලිපියේ beef ලෙස  සඳහන් වුනත් තෙල් අඩු කුකුල් මස් වැනි දෙයක් වඩාත් සුදුසුයි) කැමති මාලු වර්ගයක් පුලුවන්. මස් මාලු නොකන අයට සෝයා මීට් සුදුසුයි. තමන් කැමති විදිහකට සකසා ගන්න පුලුවන්. හැබැයි අනිවාර්යයෙන් දවස තුල තක්කාලි ගෙඩි 5ක් කෑමට ගත යුතුමයි. වතුර වීදුරු 10ක්  අනිවාර්යයි. මේ වන විට ඔබේ සිරුරේ මේදය බිඳ වටී ඇත ඒව ඉවත් වීමට නියමිත ප්‍රමාණයට වඩා වතුර බොන්න පුලුවන් නම් හොඳයි.

හයවෙනි දවස - එළවළු හා මස් 

මේ දවසේදී කෑමට එළවළු හා මස් යොදා ගන්න පුලුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

හත්වෙනි දවස - රතු(නිවුඩු) බත්, එළවළු හා පලතුරු.

ඔන්න අද තමයි දවස් හයකට පස්සෙ ඔබ බත් කෑමට ගන්නෙ. ඔබ වෙනදා කෑමට ගන්නා සාමාන්‍ය කෑම වේලවල් 3ක් ගන්න පුලුවන්.හැබැයි ගන්න පුලුවන් නිවුඩු හාල් බත්, එළවළු හා පලතුරු පමණයි. වතුර වීදුරු 10 අනිවාර්යයි.

මේ සතිය ඇතුලත ව්‍යායාම අවශ්‍ය නෑ කිව්වත් කරන්න පුලුවන් ලැබෙන ප්‍රතිඵලයක් ඒකෙන් වඩාත් හොඳ එකක් වේවි.

ඔන්න අපේ වැඩසටහන අවසානයි. දැන් බර කිරල බලන්න. අඩුම කිලෝ 5ක් වත් අඩු වෙනවා කියන එක සහතික වෙන්න පුලුවන්.

මේ සතිය තුල ලොකු බත් එකක් කෑමේ අවශ්‍යතාව කියන එක නැති වෙනවා. ඒ පුරුද්ද දිගටම තියා ගන්න. අනෙක දවසට වතුර වීදුරු 10ක් බොන එක. 
කැමති අය මේ දින හතේ වැඩසටහන මාසෙකට දෙකකට වරක් වත් කලාට වරදක් නෑ. හොදටම තේරෙයි කොච්ච්ර ව්‍යායාම කලත් නොසෙල්වී තිබුන තෙල් තට්ටු (ටයර් කියලත් කියනවනෙ) ටිකෙන් ටික ඉවත් වෙන හැටි.

මේ ක්‍රමයෙන් අඩු වෙන බර නැවතත් වැඩි නොවෙන්න තමන්ගෙ ආහාර පුරුදු වෙනස් කර ගන්න. කලින් ලිපි තුනේ සඳහන් කල දේවල් මතකයේ තියා ගන්න. රූපවාහිනියේ, පත්තරවල, මග තොටේදි තෙල් බේරෙන රස වෑහෙන පාට පාට කෑම දකිනකොට, අපි දන්න කියන ප්‍රසිද්ධ පුද්ගලයො නළු නිළියන් උජාරුවට බීම වර්ග කෑම කන දැන්වීම් දකිනකොට අපි නම් අහුවෙයි කියල හිතන්න පුරුදු වෙන්න.

අත්හදා බලන අය තමන්ගෙ සාර්ථකත්වය එහෙම නැත්නම් අඩු කර ගත්ත බර ප්‍රමාණය සඳහන් කරනවා නම් මේ ක්‍රමය භාවිතා කරන්න බලාපොරොත්තු වෙන අයට හොඳ තල්ලුවක් වේවි.

මෙන්න අත්හදා බැලූ අයගේ අත්දැකීම්
"ඔමාගේ හීන- ApurviMarch 28, 2015 at 3:11 AM
ජයග්‍රාහි 6 වෙනි දවස.. ඔයාට ගොඩක් ස්තුති ,, කවදාවත් හොල්ලන්න බැරිවෙයි කියලා හිතපු මගේ බර අඩුකරගන්න උදව් කරාට.. අවුරුදු 2ක් තිස්සේ කිසිම පළතුරක් එළවළුවක් හරියට කෑවේ නැහැ, ඇපල්, දොඩම් ගස් වල වැටී වැටී යද්දී එකක් කඩන් කෑවේ නෑ,, චීසුයි , සොසේජුයි එක එක කඩෙන් ගෙනත් හදන් කන කෑම වර්ගයි විතරයි කෑවේ.. වතුර බිවුවෙත් දවසටම වීදුරුවක් හෝ දෙකක්,,බිම ජාති,,, සීනි හැඳි 2,3ක් එක්ක තේ කෝපී.. දවසට චොක්ලට් ග්රෑම් 100 ට වඩා කෑවා.... ඒත් මේ දවස් හයේදී එක සීනි ඇටයක් ,, තෙල් ටිකක්,,,, කෘතීම කෑමක් කෑවේ නෑ.. පලතුරු කන්න ආසයි දැන්.. සීනි රස අවශ්‍යතාව නැහැ දැන්,,, ඒ වගේම එක්සයිස් කරන්න වෙලාව තියෙනවා... මන් හිතන්නේ මේ ඩයට් ප්ලෑන් එක දවස් 7 න් ඉවර වුණාට ඒක මුළු ජිවිත කාලෙටම වැදගත්,,, ඒ වගේම මට ආයෙම දවස් 7 ගානේ කරන්න ඕනේ කියලා හිතෙන්නෙත් නෑ කන්න ඕනේ ක්‍රමය සහ කෑම වල ගුණ අගුණ තනියම අදුන ගන්න දැන් මට පුළුවන්,,, .. ඔයාට ගොඩක් ස්තුති ... නිරෝගිසුවය ලැබේවා ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ( මගේ බර කිලෝ 5 ක් සහ ඉන අගල් 2 කට වැඩියෙන් අඩු වුණා )"

මගේ අත්දැකීමත්  සඳහන් කරන්නම්.

පළවෙනි දවස 

උදේට, දවල්ට, රෑට - ලොකු ( කිලෝ) පේර කාලයි, පැපොල් ගෙඩි කාලයි (ග්‍රෑම් 300ක් විතර) කොමඩු ගෙඩි කාලයි. අන්නාසි පෙති දෙකයි.
ප්‍රධාන වේල් අතරට කොමඩු කෑල්ලක් , ගස්ලබු කෑල්ලක්.

දෙවෙනි දවස 

උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් දමා සාදා ගත් සුප් 

තුන්වන දවස 

උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් දමා සාදා ගත් සුප් 
ඒ අතරට පැපොල්, අන්නාසි, ඇපල්, කොමඩු 

හතරවැනි දවස

උදේට, දවල්ට, රෑට - කිරි වීදුරුවයි (මිලි ලීටර් 230) ඇම්බුන් කෙසෙල් ගෙඩි 2යි 
අතර මැද එක කෙසෙල් ගෙඩියක් (ඔක්කොම කෙසෙල් ගෙඩි 7යි )

පස්වෙනි දවස 

උදේට, දවල්ට, රෑට - චිකන් කෑලි 3ක් (ග්‍රෑම් 200ක් විතර ගම්මිරිස් හා ලුණු එකතුකර වතුර ස්වල්පයක්ද දමා හොදින් තම්බාගැනීමෙන් හා ලුනු හා ගම්මිරිස් තවරා අවන් එකේ දමා රෝස් කර ගැනීමෙන්) හා තක්කාලි ගෙඩි 2ක් අමුවෙන්. 
(දවසටම චිකන් ග්‍රෑම් 600ක් විතර + තක්කාලි ගෙඩි 6ක් )

හයවැනි දවස 

උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් හා චිකන් ග්‍රෑම් 150ක් (දවසටම ග්‍රෑම් 500ක්) එකතුව සෑදූ සුප්

හත්වැනි දවස

උදේට, දවල්ට, රෑට - නිවුඩු බත් පීරිසියක් , ලීක්ස් හා මාලු මිරිස් පොල්කිරි අඩුවෙන් යෙදූ වෑංජන හා මුකුනුවැන්න මැල්ලුම
අහාර වේල් අතරට පැපොල් යුෂ වීදුරුවක් 

සෑම දිනකම වතුර ලීටර 2.3ක් (වීදුරු 10ක්)


දින 7 අවසානයේ බර කිලෝ 6කින් අඩු වී තිබුණා.

එහෙනම් ලිපි 4කින් සමන්විත වුනු තරබාරුවට එරෙහි සටන මෙයින් අවසානයි. ඔයාල හැමදෙනාටම සුවබර සතුටින් පිරුණු දිවියක්!


Thursday, March 19, 2015

නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda)


ගියවර ලිපි දෙකෙන් අපි කතා කලේ සිරුරේ බර වැඩි විමට හේතු, එහි භයානකත්වය හා වර්තමානයේ බහුතරයක් තරබාරු බවින් පෙලීමට සැබැ වගකිවයුත්තන් කවුද කියන එක. පහතින් එම ලිපි වෙත යොමු වෙන්න පුලුවන්.

මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?


කෙලින්ම අපි ගියවර නැවැත්වූ තැනින් කතාව පටන් ගමු.

2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 යන ලියවිල්ලක් එලි දක්වනවා. එහි ඉතා පැහැදිලිව ඔවුන් සඳහන් කරනවා තරබාරු බවට හා පරිවෘත්තිය සින්ඩ්‍රෝමික (පළමු ලිපියේ විස්තර කර ඇත) තත්වයට බලපාන ප්‍රධානතම සාධකය සීනි බව. ඔවුන් නිර්දේශ කරනවා පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 10% කට වඩා නොවැඩි විය යුතු බව. මෙම ලියවිල්ලත් එක්ක ආහාර සමාගම් වලට යලිත් තදින්ම පහර වදිනවා. ඇමෙරිකානු ආර්ථිකයේ බහුතරය වන මෙම සමගම් වල බලපෑම නිසා මෙම ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම නවතාලීමට ඇමෙරිකානු රජයට සිදු වෙනවා. මෙහිදී ඇමෙරිකානු රජය ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනතුරු හඟවනවා ඉහත ලියවිල්ල ප්‍රකාශයට පත් කලහොත් ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය ( WHO) වෙත ලබා දෙන ආධාර මුදලින් මිලියන 406ක් නවතා දමන බවට. මේ බලපෑමත් එක්ක ලෝක සෞඛ්‍යය සංවිධානය ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනවා.

ජනතාව වෙත ලැබෙන පණිවිඩය වෙන්නෙ පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 25%ක් බව. මෙය සත්‍ය අනුමත ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්. බලන්න මුදල් හමුවේ ලෝකයේම ජනතාව රෝගින් බවට පත් වීමේ අඩිතාලම වැටී ඇති අකාරය.

ඊලඟට ඔබව තරමක් කේන්තියට පත් කරවන කරුණක් කියන්නම්. බොහොමයක් ජීවිත රක්ෂණ සමාගම් (Health Insurance) සිය මුදල් යොදවන්නේ ආහාර නිපැයුම් සමාගම් වල කොටස් මිලදී ගැනීමට. මොකක්ද රහස? මොකද ඔවුන් දන්නවා අයහපත් ආහාර පුරුදු පවතින තරමට ජනතාව රෝගීන් වන බව. රෝගීන් ශල්‍යකර්ම බහුල වෙන තරමට ජීවිත රක්ෂණ මිලදී ගැනීමට පෙළඹෙන ප්‍රමාණයත් වැඩියි.

හොඳයි අපි බලමු දැන් අපේ ජීවන රටාව. 
අපි බහුතරයක් ගොඩක් කාර්යබහුලයි. උදේ 6 වෙද්දි වැඩට පිටත් වෙන්න ඕනෙ, දරුවො පාසැල් වලට පිටත් කරන්න ඕනෙ. එළවළු තෝරන්න කපන්න සෝදන්න, පලා ඇහිදින්න කෝ අපිට වෙලාවක්. 

අපි පොඩිම සාමාජිකයාගෙන් පටන් ගම්මු. 
වයස මාස 9යි. අම්මට වැඩට යන්නත් ඕනෙ පොඩි එකාගෙ බඩ පුරෝල යන්නත් ඕනෙ නැත්නම් හිතට හරි නෑනෙ. එළවළු තම්බල පොඩි කරල කෑම හදන්න ටිකක් වෙලා යනවා, අනෙක ඒක කවා ගන්නත් අමාරුයිනෙ. ඊට වඩා කොච්චර ලේසිද නෙස්ටම් පැකට් එකෙන් ටිකක් අරන් කෝප්පෙට දාල හොදට සීනි පිටි දාල දිය කරල දුන්නහම අනේ තනියම හරි පොඩි එකා ඔක්කොම හිනා වෙවී කාල දානව. අම්මට කොච්චර සතුටුද? 

දවල්ට ඉතින් බබා බලා ගන්න කෙනත් ඒ ටිකම තමයි කරන්නෙ. මොකද නෝන ගෙදර එන වෙලාවට බඩ ඇකිලිලා දරුව අඬඅඬා හිටියොත් රස්සාව ඉවරයිනෙ. ඔන්න රෑට නම් සමහර අම්මලා දරුවගෙ ආහාරවල ගුණාත්මක බව රැක ගන්න කියල එළවළු කෑමක් හදල කවන්න හදනව. අනේ අර උදෙයි දවලුයි සිනී ගුලි වගේ රහට රහේ කෑම කාපු මම කොහොමද මේව කන්නෙ කියල හිතල බබා අර එළවළු කෑම එක කටක් උගුරෙන් පහලට යවන්නෙ නෑ. ඉතින් අන්තිමට නෙස්ටම් ගුලියකින්ම බඩ පුරෝල නිදි කරෝනව. 
ඉතින් මෙහෙම හැදෙන දරුවන් කවදාවත් එළවළු වල රසයට කැමති වෙන්නෙ නෑ. අවුරුදු 4ක් 5ක් වෙනකොට මේ දරුව කන්නෙම නෑ එළවළුවක් මැල්ලුමක් කටේ තියන්නෙ නෑ. ඉල්ලන්නෙම ෆ්රයිඩ් රයිස්, ක්ෂණික නූඩ්ල්ස්, කොත්තු, බනිස්, බටර් ගාල පාන්, ඉතින් දරුව බඩගින්නෙ තියන්න බැරි කමට ඕව ඔක්කොම ගෙනත් දෙනවා. අපරාදෙ කියන්න බෑ දරුව බෝල ගෙඩිය වගේ හැදෙනවා. වෙලාවකට ආඩම්බරත් හිතෙනවා, අපෙ දරුවො හොදට උස්මහත් වෙලා හැදෙනවා කියල. 

ඔන්න වයස 16ක් විතට වෙද්දි තමා ඊලඟ ගැටලුව එන්නෙ. 
"අම්මෙ මට හැමෝම බතලය කියනවා" 
ඔන්න චෝදනා හැමදාම. ගෑනු ළමයෙක් නම් ඔන්න ඔය කාලෙට තමයි ගොඩක් ඇඟේ හැඩය ගැන උනන්දු වෙන්නෙ. දැන් තමයි ප්‍රශ්නෙ කොහොම හරි බර අඩු කරගන්න ඕනෙ. ඔන්න අම්ම කියනවා පුතේ පිටි කෑම සීනි කන්න හොඳ නෑ මේ එළවළු කන්න මේ මුංඇට කඩල කන්න. කියලා. අනේ අර ඉපදුන දවසෙ ඉඳල එළවළුවක් කටේ තියන්න අකමැති ළමයා කොහොමද එළවළු කන්නෙ. කොහොමද. ඔන්න බැරි තැන කියනව ව්‍යායාම කරන්න කියල. අර ළමය එක වේලකට කන දේවල් වලට හරියන්න දවසම ව්‍යායාම කලත් මදි. අන්තිමට මේ ළමය කලකිරීමට පත්වෙනවා. අවුරුදු 30ක් වෙනකොට ඔන්න පෙශර්, දියවැඩියාව. 

මොකක්ද අපි තේරුම් ගත යුත්තේ?

දෙමව්පියන් සෑම දෙයක්ම කරන්නෙ දරුවන්ගෙ යහපත වෙනුවෙන්. ඉතින් මුල් අවුරුදු 3ක් 4ක් වෙනකල් වත් දරුවගෙ කෑම ගැන සැලකිලිමත් වෙන්න. දරුවගෙ දිව පැණි රසට, තෙල් රසට, ලුණු රසට හුරු වෙන්නෙ කලින් එළවළු සහිත බත් කෑම වල රසට හුරු කරවන්න. ඒකෙන් ඔයාලගෙ දරුවට ජීවිත කාලය පුරාවටම නිරෝගීකම අයෝජනය කලා වෙනවා.

ගොඩක් අය හිතනවා මම කොච්චර තෙල් කෑවත් සීනි කෑවත් මම කෙට්ටුයිනෙ. ඉතින් මට ඕනෙ දෙයක් ඕනෙම තරම් කන්න පුලුවන කියල.නමුත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ සිරුර අභ්‍යන්තරයේ පවා අධික ලෙස මේදය තැම්පත් වෙන බව. ඇමෙරිකානු සමීක්ෂණ වලට අනුව කෙට්ටු පුද්ගලයින්ගෙන් 40% පමණ තරබාරු අයට සමානව පරිවෘත්තිය සින්ඩ්‍රෝමික තත්වයට පත් වීමේ අවදානම පවතින බව. ඉතින් කෙට්ටුයි කියල අපිට ඕනෙ තරම් ඕනෙම දෙයක් කන්න පුලුවන් කියල හිතන්න එපා. ඔයාල නොදැන සිරුර තුල අහිතකර මේදය ගොඩ ගැහෙනවා.

මීට අවුරුදු 40කට පමණ පෙර දුම්පානය වරදක් කියල කවුරුවත් හිතුවෙ නෑ. කවුරුත් හිතුවෙ එය සතුට දනවන සමාජය තුල කැපී පෙනීමට හේතුවන පුරුද්දක් කියල. අපි කවුරුත් දන්නවා ඒ කාලයේ සිටම ලෝක ආර්ථිකයේ දැවැන්තයො වුනේ දුම්කොල සමාගම්. දුම්බීම නිසා ජීවිතය අපායක් වන තරමට රෝග වැලඳෙන බවට පර්යේෂණවලින් සොයා ගනිද්දී දුම්කොල සමාගම් සිය මුදල් බලෙන් ඒ සියල්ල සඟවන්න කටයුතු කලා. නමුත් වැඩි කල් ඔවුන්ට එය කරන්න ලැබුනේ නැහැ. බලන්න අද සිගරට් පැකැට්ටුවේ පවා එහි අවදානම සඳහන් කරන්න වෙලා. දුම්බීම සම්බන්ධ මාධ්‍ය දැන්වීම් තහනම් වෙලා. 

ඔබ විශ්වාස කලත් නැතත් මේ සුපිරි ආහාර හා සිසිල් බීම යන දෙක සම්බන්ධ සමාගමුත් හැසිරෙන්නෙ මේ ආකාරයෙන්මයි. සමහර විට ඉදිරි අනාගතයේදී මෙම අහාරය/බීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි කියන ලේබලයක් ඒවි. 

නමුත් එතෙක් මෙයට රැවටෙන අයගේ ජිවිතය අවධානමේ.

ඔන්න මගේ කතාව මෙයයි. 

සාරාංශය කිව්වොත්, 
1. සිසිල් බීම අත්හරින්න, දරුවන් එයින් බේරා ගන්න. (විකල්පය - නැවුම් පලතුරු යුෂ හෝ තැඹිලි ගෙඩියක්)

2.සකස් කරන ලද ආහාර වලින් ඔබ හා පවුල බේරා ගන්න. (විකල්ප - නැවුම් එළවළු සහිත කෑම වේලවක්-ඇයි අපි මේ සුපිරි ක්ෂණික/සැකසූ ආහාර වලටම වහ වැටිල ඉන්නෙ. අපේ රටේ තරම් එකිනෙකට වෙනස් රස සහිත කිසිම අගුණයක් නැති ආහාර වෙන කිසිම රටක නැතුව ඇති.)

3.බර ගැන දුක් වෙන කෙනෙක්ද? සතියක් සීනි හා තෙල් වලින් තොර වෙන්න - පැහැදිලි වෙනස ඔබම දැක ගන්න (අවසන් ලිපිය ඒ කියන්නෙ ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න )

අවසානයේ මම කරන බලවත් ඉල්ලීම වෙන්නෙ පහත ඉදිරිපත් කෙරෙන වාර්තාමය චිත්‍රපට නරඹන ලෙස. හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. එහි තියෙන්නෙ මා ඉහත සඳහන් කල කතාවයි. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. ඇත්ත ඔබ දකීවි. තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි.

චිත්‍රපටයේ නම - ෆෙඩ් අප් ( Fed Up) - "ඇති වෙලා".
නිෂ්පාදනය - Stephanie Soechtig

[බයිස්කෝප් (biscope.lk) හෝ  zoom.lk වැනි වෙබ් අඩවියෙක සිංහල උපසිරසි සකසන කෙනෙක් ඉන්නවා නම් මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරල ඉහත වෙබ් අඩවියක් මගින් ලංකාවෙ අයට ලබා දෙන්න. හැමදාටම නිරෝගී වෙන්න ඒ පින ඇති වේවි.]

ඔන්න මම කල ඉල්ලීමට පිළිතුරු ලැබිලා තියෙනවා.
අපි හැමෝම වගේ දන්න බයිස්කෝප් (Biscope.lk)වෙබ් අඩවියේ රොයිලි ප්‍රනාන්දුසහෝදරයා (සිංහල සබ් දාල ෆිල්ම් බලන අය නම්  මෙයාව හොඳට දන්නවා නේද) ඔන්න ගොඩක් මහන්සි වෙලා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ටොරන්ට් එකකුත් හදල තියෙනවා චිත්‍රපටය අපිට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට.
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රොයිලි සහෝදරයට මේ කරපු උතුම් කාර්යය වෙනුවෙන්.

පහත ලින්ක් එකෙන් ඔයාලට බයිස්කෝප් අඩවියේ "Fed up" චිත්‍රපටය ලබා දෙන පිටුවට යන්න පුලුවන්.


මෙතනින් චිත්‍රපටය බලන්න.

Fed.Up.2014 from Twinning Media BV on Vimeo.

ඊලඟට පල කරන මෙම ලිපි පෙලේ අවසාන ලිපියෙන් ඔබේ දෛනික ජීවිතයට කිසිම බාධාවක් නැතුව, විශේෂ ව්‍යායාම වැඩසටහන් නැතුව සතියකින් බර අඩු කර ගන්න පුලුවන් ක්‍රමයක් බලාපොරොත්තු වෙන්න.

Wednesday, March 18, 2015

මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?



පසුගිය ලිපිය ඔයාල කියවන්න ඇති කියල හිතනවා. කියවපු නැති අය මෙතනින් ගිහින් බලන්න.

මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)


දැන් ඔයාල දන්නවා  අනවශ්‍ය විදිහට බර වැඩි වීම නැත්නම් තරබාරුකම අපේ නිරෝගී දිවියේ අවසානය බව. ඉහත ලිපිය දකින්න කලින් වුනත් ඔයාල හැමෝම මහත, නැත්නම් බර වැඩි වීම නරකයි කියල දැනගෙන හිටියා. 

ඉතින් එහෙම දැන දැනත් බර වැඩි වුනේ කොහොමද? දැන් ඔයාල කියයි අනේ මන්ද මම ඒ හැටි කන්නෙත් නෑ කොහොම බර වැඩි වෙනවද කියල හිතාගන්න බෑ කියල. තවත් කෙනෙක් කියයි මම නිතරම ව්‍යායාම කරනවා ඒත් බර අඩු වෙන්නෙ නෑ, බඩ අඩු වෙන්නෙ නෑ, තෙල් තට්ටු අයින් වෙන්නෙ නෑ. කොහේ හෝ වරදක් තියෙන්න ඕනෙ නේද!

අපි මේ වරද කරන්න පටන් අරන් තියෙන්නෙ අද ඊයෙ නෙවෙයි, මීට වසර 50කට විතර කලින්. මිනිසා තරබාරු සත්වයෙක් හැටියට පරිණාමය වෙන්න ගත්තෙ මෑත කාලයක ඉදන්. දැන් තරබාරු කම අපේ ජාන වල පටිගත වෙන තරමට අපිට බද්ධ වෙලා. 

ඒ වරද සිදුවුනේ කොහොමද කියන එක අද ලිපියෙන් බලමු.

කතාව පටන් ගන්නෙ 1950 ගනන් වල ඉඳන්, මේ කාලයේ තමයි මුලුන්ම මේ තරබාරු කම ගැන ලෝකයේ උනන්දුවක් ඇති වුනේ. මේ උනන්දුවට හේතුව වුනේ තරබාරු කම පිළිබඳව ඇමෙරිකානු විශේෂඥයෙකු වන වෛද්‍ය  ජීන් මයෙර් ( Dr.Jean Mayer) කරන ලද සොයා ගැනීමක් සමඟ.


ඔහු මීයන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දුන්නා ව්‍යායාම අඩුකම බර වැඩි වීමට ඍජුවම බලපාන බව. ඔහුගේ මේ සොයා ගැනීම ලෝකයේ ශරීර සුවතා පුනරුදයක් (Fitness revolution) ඇති කිරීමට හේතු වුනා. ව්‍යායාම වැඩසටහන් රූපවාහිනිය ආක්‍රමණය කරන්නට වූ අතර ශරීර සුවතා ආයතන සීග්‍රයෙන් ලොව පුරා ප්‍රචලිත වෙන්නට වුනා. මේ සමඟ 1980වසරත් 2000ත් අතරදී ඇමෙරිකා එක්සත් ජනපදය තුල ශරීර සුවතා ආයතන වල සාමාජික ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වෙනවා.
මේ කාලය තුලදීම තරබාරු බවට පත්වෙන ප්‍රමාණයත් දෙගුණයක් බවට පත් වෙනවා. ඒ අනුව සෑම ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් තරබාරු අය බවට පත් වෙනවා.

මේක පුදුම වැඩක්නෙ! ව්‍යායාම කිරීමට මෙතරම් උද්යෝගයක් ඇති වුනු කාලෙක තමයි තරබාරුකම සිග්‍රයෙන් වැඩි වෙන්නෙ.! සංඛ්‍යාලේඛන ඇමෙරිකාවෙන් ඉදිරිපත් උනත් ලෝකය පුරාම සොයා බැලූ විට සිදු වෙලා තියෙන්නෙ එකම දේ. 
කොහොමද මෙහෙම උනේ! 

අද වන විට බොහොමයක් දියුණු රටවල ප්‍රධානතම සෞඛ්‍යය ගැටලුව බවට පත් වෙලා තියෙන්නෙ තරබාරු කම. මේ පිළිබඳව දේශපාලකයන් ඇතුලු වග කිය යුත්තන් හැමදෙනෙක්ටම තියෙන්නෙ එකම පිළිතුරක් 

"කනවා නම් ඒ තරමට ව්‍යායාම කල යුතුයි, එහෙම නොවන එකයි එකම වරද ". මුලු ලෝකයම මුලාවට පත් කල ආකල්පය වුනේ මෙයයි.

"කන තරමට ව්‍යායාම කරන්න" ???

වඩාත් සවිස්තරාත්මකව කිව්වොත් අපි කන ආහාර වල අඩංගු ශක්තිය ( calories) තමයි මේදය විදිහට තැම්පත් වෙන්නෙ. අපි ව්‍යායාම කරන විට ශක්තිය (කැලරි) වැය වෙනවා. ඉතින් අපි කෑම බීම විදිහට සිරුරට ගන්න කැලරි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ව්‍යායාම වලින් දහනය කලොත් අපි මහත් වෙන්නෙ නෑ. හරිම සරලයි නේද!

ඒත් ඒක කියන තරම් සරල නෑ. එය සිහිනයක්. කොටින්ම කිව්වොත් අපි දිනපතා ආහාරයට ගන්න ශක්ති ප්‍රමාණය ව්‍යායාම වලින් ඉවත් කරන්න බෑ.පුදුම වෙන්න එපා. පහත උදාහරණ බලන්න.

  • කෝක් (කොකාකෝලා,පෙප්සි) අවුන්ස 20ක් (590 ml) ක කැලරි දහනය කිරීමට පැයකුත් විනාඩි 15ක් බයිසිකල් පැදිය යුතු වෙනවා.
  • කුකී එකක් (අපි දන්න පරිදි ක්‍රීම් බිස්කට් එකක් උදාහරණයකට ගම්මු)  කැලරි දහනය කරන්න විනාඩි 20ක් ඇවිදින්න වෙනවා.


ඉතින් හිතන්න අපි කන බොන දේවල් සියල්ල දහනය කරන්න දවසම ව්‍යායාම කලත් ඇති වෙයිද?

ඊලඟට අපි ගන්නා ආහාරයේ ස්වභාවය අනුවත් මේදය ගොඩ ගැසීමේ ප්‍රමාණය තීරණය වෙනවා.

උදාහරණයක් ගත්තොත්, අපි කිසියම් පලතුරක් ආහාරයට ගන්නවා කියල හිතමු. එහි ගොඩක් වෙලාවට තන්තු නැත්නම් කෙඳි ස්වභාවයක් තියෙනවා. ඒ කෙඳි නිසා ආමාශයට හෝ බඩවැල් වලට ඉක්මනින් ශක්තිය අවශෝෂණය කර ගන්නෙ බෑ. ඉතින් ඒ වගේ කෑමකදී හෙමින් තමයි ලේ වල සීනි ප්‍රමාණයේ වැඩි වීමක් වෙන්නෙ ඒ වැඩි වන ශක්තිය දහනය වීමට ලක් වෙනවා වගේම මේදය බවට හැරීමක් සිදු වන්නේ නැති තරම්.

ඊලඟට බලමු අපි පැණි බීම (soft drink) එකක් බොනවා. මෙහිදී ආමාශයට හෝ බඩවැල් වලට කරන්න කාර්යයක් නෑ, එහි ඇති කැලරි ක්ෂණිකව සිරුරට අවශෝෂණය වෙනවා. එහිදී අපේ අක්මාවට පණිවිඩයක් යනවා ඔන්න සිරුරට ලොකු කැලරි ලෝඩ් එකක් ලැබුනා කියල. එතකොට අක්මාව ලේ වල සිනි මට්ටම අඩු වෙන තෙක්ම ඉහත කැලරි යොදාගෙන මේදය නිපදවනවා.

ඉතින් ඉහත වර්ග දෙකෙන්ම එකම කැලරි ප්‍රමාණයක් ලැබුනත් පලතුරට වඩා ඉතා අධික මේද ප්‍රමාණයක් පැණි බීම මගින් නිපද වෙනවා.

එතකොට මේ "කැමති තරම් කාල හොඳට ව්‍යායාම කලොත් ඇති" කියල ප්‍රචාරය වුනේ කොහොමද? කන කෑම එකේ ස්වභාවය අනුව මේදය තැන්පත් වීම වැඩි වෙනවා කියන එක ප්‍රචාරය නොවුනේ/නොවන්නේ ඇයි?

මොකද මේ සියල්ල පාලනය සිදු වන්නේ ලෝකයේ ප්‍රබල ආහාර හා බීම නිෂ්පාදනය කරන සමාගම් කීපයකින් වීම. ලෝකයේ බොහොමයක් පර්යේෂණ වලට හා එම පර්යේෂණ සිදු කරන විශ්වවිද්‍යාලයන්ට අවශ්‍ය මූල්‍යාධාර ලබා දෙන්නෙ මෙම ආහාර හා බීම නිපදවන සමාගම්. ඉතින් එසේ කරන ඔවුන් පර්යේෂණවලින් හෙලි කරගන්න දේවල් සිය වාසිය සඳහා විකෘති කරනු ලබනවා.

මෑතකදී කරන ලද පර්යේෂණයක ප්‍රතිපලය ලෙස සඳහන් කර ඇත්තේ සිසිල් බීම හා තරබාරු බව අතර කිසිඳු සබඳතාවක් නොමැති බවයි, හොදින් සොයා බැලූ විට එම පර්යේෂණය සඳහා මුදල් යොදවා තිබෙන්නේ කොකාකෝලා සමාගම විසිනි. 

එමෙන්ම  සුප්‍රකට ඇමෙරිකානු වෛද්‍ය එකතුවක් වන American Academy of Family Physicians කොකාකෝලා සමාගම සමඟ අත්වැල් බැඳ ගන්නා විට එහි වෛද්‍යවරුන් 20ක් එම සංගමයෙන් ඉවත් වුනා, එහිදී ඔවුන් කියා සිටියේ "අපගේ දරුවන්ගේ සෞඛ්‍යය අනතුරේ හෙලන නිෂ්පාදනයන් ප්‍රචාරණය කරන සමාගමක් සමඟ මහජන සෞඛ්‍යය පිළිබඳව යහපත් ප්‍රචාරණයක් කරන්නේ කොහොමද" කියාය.

1977 දී ඇමෙරිකාවේ දී එළිදැක්වූ මැක්ගවර්න් වාර්තාව (1977 Dietary Goals for the United States) මගින් තරබාරු බව පෝෂණය හා සම්බන්ධ සෞඛ්‍යය ගැටලු අතර අංක එක වන බවත්, එයින් වැලකීමට තෙල් අධික ආහාර අවම කලයුතු බවත් පෙන්වා දෙන ලදී. මෙයින් පසු ආහාර නිපදවන සමාගම් ආහාර වලට ආහාර වල අඩංගු මේද ප්‍රතිශතය අඩු කිරීමට සිදු විය. එයින් වුනේ ආහාර වල ඇබ්බැහි කර ගන්නා සුලු රසය ඉවත් වීමයි. එයින් පසු ඔවුන් කලේ ආහාර වලට වැඩි වැඩියෙන් සීනි එකතු කිරීමයි.

සීනි

සීනි යනු පැහැදිලි වස වර්ගයකි. වෙනස එය ක්‍රියා කරන්නේ සෙමෙන් වීමයි. සීනි නියමිත මාත්‍රාව ඉක්මවූ පසු අක්මාවට විශකාරකයක් ( hepato-toxic) ලෙස ක්‍රියා කරනවා.  සීනි ( sucrose) අමාශයේ සිට අවශෝෂනය කරගෙන අක්මාවට යවනවා. එහිදී අග්න්‍යාසයේ සිට එවන ඉන්සියුලින් හෝමෝනය උදව් කරගෙන මේදය නිපදවීම සිදු කරනවා. මෙහිදී අග්න්‍යාසයෙන් නිපදවෙන අධික ඉන්සියුලින් ප්‍රමානය මගින් මොළයට බඩ පිරී ඇති බවට යැවෙන පණිවිඩය නවත්වනවා. එවිට මොළය තේරුම් ගන්නෙ අප බඩගින්නේ සිටින බවයි. මෙවිට සිදු වන්නෙ අපට වෙහෙස දැනීම, ශක්තියක් නැති බව දැනීම හා නිතර බඩගිනි දැනීම මෙවිට අපි තව තවත් කෑමට පටන් ගන්නවා. සීනි අධික කෑම වැඩි පුර කෑමට ගැනීමේ රහස එයයි. 
එමෙන්ම සීනි වල ඇබ්බැහි වීමේ ගුණාංගයක්ද අඩංගු වෙනවා.

කොකේන් නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහි කල මීයන් 43කට සිනි දිය කල වතුර හා කොකේන් දිය කල වතුර දින 15ක් ලබා දී ඔවුන් වඩාත් තොරා ගන්නේ කුමන වතුර දැයි පර්යේෂණයක් සිදු කර තිබෙනවා, එහිදී මීයන් 40ක්ම තෝරාගෙන තිබෙන්නේ සීනි දියකල වතුර. මින් පෙනී යනවා සීනි කෙතරම් අපව ඇබ්බැහි කර ගන්නවාද කියල.

ඉතින් ආහාර නිපදවන සමාගම් මෙම ගුණාංගය හොඳින්ම ප්‍රයෝජනයට ගන්නවා. ඔවුන් ඉලක්ක කරන්නෙ දරුවන්, එවිට ඔවුන් ජීවිත කාලය පුරාවටම සීනි රසයෙන් ඈත් වෙන්නෙ නැති නිසා. බලන්න අද නගරබද පෙදෙසක ටිකක් ඇවිදල අපිව කෑමට යොමු කරන දර්ශන කොච්චර තියෙනවද? සුපිරි වෙළෙඳසලක රාක්ක අතර ගමන් කරනකොට කීයක් නම් චොකලට්, බිස්කට්, ක්ෂණික ආහාර, බිම වර්ග දකිනවද, එවිට ගොඩක් අය ඒවත් තමන්ගෙ මල්ලට එකතු කර ගන්න පෙළඹෙනවා.

ලෝකයේ වැඩිම අදායම් උපයන මෙම දැවැන්ත අහාර නිපදවීමේ සමාගම් සිය නිෂ්පාදන අලෙවිය බින්දුවට හෙලිය හැකි මත හෝ පර්යේෂණ වාර්තා සමාජයට යාමට කිසි සේත්ම ඉඩ දෙන්නෙ නැහැ. 

වර්තමානයේ මෙම ආහාර සමාගම් වලට දරුණු පහරක් වූවේ මිචෙල් ඔබාමා (ඇමෙරිකානු ජනපති ආර්‍යාව ) ආරම්භ කල  "lets move" කඳවුර. 

මෙහිදී ඇය දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියා දරුවන් සීනි, ලුණු රසැති ආහාර වලින් මුදා ගන්නා ලෙස, මෙහිදීද මුදල් ආධාර දෙන මුවාවෙන් ඇයගේ ව්‍යාපෘතියට ලංවූ ආහාර සමාගම් (පෙප්සි, කොකාකෝලා, ක්‍රාෆ්ට්, මාර්ස්,....) ඇයගේ සටන් පාඨ වෙනස් කලා. 
"කැලරි අඩුවන ලෙස ප්‍රතිනිර්මාණය කල ආහාර ගමු, ව්‍යායාම කරමු" 
ලෙස. 
මුදල් වල බලයෙන් යලිත් ඊලඟ පරම්පරාවවත් තරබාරු බවින් මුදා ගැනීමේ වෑයමක් යටපත් වුනා.

දැන් ඔයාල හිතනවා ඇති ඔච්චර වැල්වටාරම් නොකියා සිසිල් බීම බොන්න එපා කඩ කෑම, සීනි තෙල් අධික කෑම කන්න එපා එළවළු පලතුරු කන්න කිව්ව නම් හරිනේ කියල.

ඔව්, ඒත් එහෙම කිව්වට අපිට කරන්න පුලුවන්ද? බැහැ මොකද අපි ඒ ජීවන රටාවට හුරු කරවලා. බලන්න අද ආහාර, බීම වර්ග ප්‍රචාරණය කරන්න කොයි තරම් දේවල් කරනවද? වර්ණවත් ලේබල්, ප්‍රසිද්ධ පුද්ගලයින්, කුඩා දරුවන් ආදරය කරන කාටූන් චරිත. බලන්න රූපවාහිනියේ රසවත්ව පෙන්නුම් කරන ආහාර පිළිබඳ වෙළඳ දැන්වීම්. බොහෝ විට ඒව දකින විට දරුවන් මෙන්ම වැඩිහිටියන් පවා "අපි හෙට අරක කමු, සති අන්තයට අහවල් තැනින් කමු" කියන තත්වයට පත්වෙනවා. අපේ අහාර රටාව මේ විදිහට දවසෙන් දවස වෙනස් වෙනවා, කාගේ උවමනාවටද? ආහාර සමාගම් වල පෙළඹවීමට. 

මොකක්ද ප්‍රතිඵලය, අද දවස වෙනකොට මාස හයක ළදරුවන් පවා තරබාරු බවෙන් පෙලෙන්නට පටන් අරන්.
1980 වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුල එකදු දරුවෙකු වත් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් ( Type 2 Diabetic) පෙළෙන බවට වාර්තා වුනේ නෑ. නමුත් 2010 වන විට දරුවන් 57 600ක් !

ලිපිය දිග වැඩියි වගේ නේද! ඊලඟ ලිපියෙන් හමුවෙමු ඇත්තටම අපි කල යුත්තේ කුමක්ද යන්න කතා කරන්න. - නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda)


Sunday, March 15, 2015

මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)



අද කතා කරන්න යන්නෙ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ගැන. සමහරු නම් මේ ගැන ගොඩක් කරදර වෙනවා, විවිධ දේ කරනවා ශරීර බර අඩු කර ගන්න. තවත් අය මේ ගැන සතේකට මායිම් කරන්නෙ නෑ. කොහොම වෙතත් මේ බර වැඩි වීම එහෙමත් නැත්නම් තරබාරු බව (Obesity) කියන්නෙ ඔබේ නිරෝගී බව නුදුරේදිම අවසන් වන බවයි. හැබැයි උවමනාව තියෙන කෙනෙක්ට මේ තත්වයෙන් මිදෙන්න කිසිම බධාවක් නෑ. මේ ලිපිය ඇතුලුව ලිපි 3කින් ඔයාලට ස්ථූලත්වය, එහි විපාක, සමාජ බලපෑම හා මෙයින් මිදීමේ ක්‍රමවේදයක් සවිස්තරාත්මකව දැන ගන්න පුලුවන් වේවි.

මුලින්ම බලමු මේ ස්ථූලත්වය කියන්නෙ මොකක්ද කියල. 
අපේ සිරුරේ ගොඩක් තැන් මේදය (තවත් විදිහකට කිව්වොත් තෙල්) තැම්පත් වෙන්න හැඩ ගැහිල තියෙනව. ගොඩක් දෙනෙක් දන්න විදිහට වැඩිපුරම මේදය තැම්පත් වෙන්නෙ අපේ සමේ. හැබැයි නොපෙනුනාට සිරුර ඇතුලෙත් අවයව තුල මේදය තැම්පත් වෙනවා. මෙහෙම මේදය තැම්පත් වෙන්නෙ ශක්ති ගබඩාවක් විදිහට. අපට රෝගයක් වැළඳිලා කන්න බොන්න බැරිව ඉන්න වෙලාවට මෙන්න මේ ගබඩාවෙන් තමයි සිරුරට ඕනෙ ශක්තිය නිපදවන්න අමුද්‍රව්‍ය ලබා ගන්නෙ. (ඒකනෙ ලෙඩ හැදුනහම සමහරු කෙට්ටු වෙලා ඇදිල යන්නෙ). ඒ වගේම සිරුර සීතලෙන් ආරක්ෂා කරගන්න වගේම තැලීම් පොඩිවීම් වලින් යම්තාක් දුරකට ආරක්ෂා වෙන්නත් මේ මේද තට්ටුව උපකාරී වෙනවා. 

හැබැයි අපේ සිරුරට ව්‍යායාම අඩු වෙලා ඒ එක්කම සීනි තෙල් අධික කෑම ගැනීම වැඩි වෙනකොට මේද ගබඩාවට එකතු වන මේද ප්‍රමාණය වැඩි වෙනවා. මෙහෙම අනවශ්‍ය විදිහට මේදය ගොඩ ගැසීමට නිසා සිරුරේ නිරෝගී බවට අවධානමක් ඇති විම තමයි ස්ථූලත්වය කියල කියන්නෙ. 

කොහොමද අපි දැන ගන්නෙ අපේ බර අනවශ්‍ය තරමට වැඩි වෙලාද කියලා? 
මුකුත් ඕනෙ නෑ, 

යාලුවො "මචං උඹේ බඩ එනවා වගේ කන එක ටිකක් අඩු කරන්න වෙයි" කියනකොට, කලින් ඇඳපු ඇදුම් අදින්න බැරුව යනකොට, ඔන්න බර ටිකක් අඩු කර ගන්න වෙනවා කියන එක දැනෙනවා. හැබැයි ඒ වෙනකොට යථා තත්වෙට එන්න ටිකක් අපහසු තරමට බර වැඩි වෙලා. බාහිරට පේන තරමට මහත වැඩි වෙන්න කලින් මේ ගැන දැන ගන්නෙ කොහොමද? 
ඒකට තමයි "ශරීර ස්කන්ධ දර්ශකය" ( BMI) තියෙන්නෙ.

ශරීර ස්කන්ධ දර්ශකය ( BMI- Body Mass Index)

මේ ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. සිරුරේ උසට ගැලපෙන බර තියෙනවද කියන එකයි මේ දර්ශකයෙන් මනින්නෙ. සිරුරේ මේද ප්‍රතිශතයට මේ අගය ගොඩක් දුරට සමාන වෙනව. 
[සිරුරේ මේද ප්‍රතිශතයට හදුනාගන්න]
picture from - http://cdn.builtlean.com/wp-content/uploads/2012/09/body-fat-percentage-men-1.jpg

දැන් හැමෝම ලෑස්ති වෙන්න ඔයාලගෙ ශරීර ස්කන්ධ දර්ශකය දැනගන්න. මුලින්ම කොහේන් හරි ඔයාලගෙ බර මැන ගන්න කිලෝග්‍රෑම් ( Kg) වලින්.  ඊලඟට හරියට උස මැන ගන්න මීටර් ( m) වලින් . දැන් බර උසේ වර්ගයෙන් බෙදන්න.

උදා :  කිලෝ 60ක් බර, මීටර් 1.56ක් (සෙන්ටිමීටර් 156ක්) උස අයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය මනිමු.

ශරීර ස්කන්ධ දර්ශකය   =       බර (kg)
                          උස  x උස  (m2)

=         60      
  1.56 x 1.56

=      24.65 kg/m2

දැන් හැමෝම තම තමන්ගෙ ශරීර ස්කන්ධ දර්ශකය දන්නවනෙ.

මේ අගය 18.5 ට අඩු නම් ඔබේ බර අඩුයි ( Undernourished)). මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. (වෙනම ලිපියකින් මේ ගැන කතා කරමු)
18.5ත් 23ත් අතරෙ තියෙනවා නම් තියෙන්න ඕනෙ නියම බර තියෙනවා.
23ත් 30ත් අතරේ නම් බර වැඩියි. ආහාර පාලනයෙන්, ව්‍යායාම මගින් බර අඩු කර ගන්න ඕනෙ.
30ට වැඩි නම් ඔබ තරබාරුයි. වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා.

ඉනේ වට ප්‍රමාණය (Waist Circumference) කියන එකත් ගොඩක් වැදගත්. මෙය පිරිමි සඳහා සෙන්ටිමිටර් 90ට (අඟල් 36) හා කාන්තාවන් සඳහා සෙන්ටිමිටර් 80ට (අඟල් 32) වැඩි වීම අවදානම්.

තවත් පොඩි වැඩක් කරන්න. දැන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් හොඳට සිරුරේ හැඩය බලා ගන්න. එහෙම බලල තෝරන්න පහල දක්වල තියෙන රූප වලින් වැඩියෙන්ම ගැලපෙන්නෙ කොයි වර්ගයටද කියල.

 කෙසඟ (Ectomorph)
ශරීර ස්කන්ධ දර්ශකය අඩු අගයක් ගනී. අවශ්‍ය බරට වඩ අඩු අගයක් තිබෙන අයය. 

 සාමාන්‍ය (Mesomorph)
ශරීර ස්කන්ධ දර්ශකය නියමිත අගය පරාසය තුල ඇත. 

 තරබාරු (Ectomorph)
ශරීර ස්කන්ධ දර්ශකය ඉහල අගයක් ගනී. සම තුලින් සිරුර එල්ල වැටෙන බවක් දැකිය හැක.(උදරය හා ඉන දෙපස)

දැන් බලමු මෙහෙම බර වැඩි වෙන්න හේතු මොනවද කියල.

1.  ව්‍යායාම අඩු වීම.

  දිනපතා ව්‍යායාම නොකිරීම නෙවෙයි මෙයින් අදහස් කරන්නෙ. අපේ එදිනෙදා වැඩ කටයුතු වලින් සිරුර වෙහෙස වීම අඩු වීම. ඒකට ගොඩක් හේතු වෙලා තියෙන්නෙ අපේ සැප පහසු ජීවන රටාව. ඒ කියන්නෙ අපි දැන් රෙදි සෝදන්නෙ වොශින් මැශින් එකේ, පිටි කොටන්නෙ පොල් මිරිකන්නෙ බ්ලෙන්ඩර් එකේ, මීටර් 200ක දුරක් යන්නත් වාහනයක් ඕනෙ. විවේක කාලයෙන් වැඩි හරියක් ඉන්නෙ පරිගණකය හරි රූපවාහිනිය ඉස්සරහ. ඉතින් අපේ මේද ගබඩාවෙන් පොඩ්ඩක්වත් වැය වෙන්නෙ නෑ.

2. අයහපත් ආහාර රටාව.

  කෙටියෙන් කිව්වොත් කට පරෙස්සම් කර ගන්න බැරි කම. අද කාලෙ අපි ගොඩක් වෙලාවට කන්නෙ ක්ෂණික ආහාර, නූඩ්ල්ස්, ෆ්රයිඩ් රයිස්, සොසේජස්, තෙල් දැමූ කෑම. සිසිල් බීම. 
සති අන්තයට හෝ අඩුම ගානෙ සතියකට දවසක් වත්  මැක්ඩොනල්ඩ්,  KFC, පීසා හට් ඇතුලු සුපිරි අවන්හල් වලට යන නගරබද අය කී දෙනෙක් ඉන්නවද? (ප්‍රසිද්ධ නම් සහිත සුපිරි අවන්හල් ඇතුලු මහා පරිමාණ ආහාර සකසන සමාගම් වසර 50ක පමණ කාලයක් තිස්සේ ලෝකය පුරාම ජනතාවට කල/කරන හානිය ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්)
නගරයෙන් පිට පලාත් වල උනත් ෆ්රයිඩ් රයිස්, කොත්තු නූල්ඩ්ස් වලට පුරුදු වුන අය කීදෙනෙක් ඉන්නවද? 
කොළ පැහැති එළවළු හා පලා වර්ග තියෙන කෑම දිනපතා කන්නෙ කීයෙන් කී දෙනාද?

3. ජාන වල බලපෑම.

ගොඩක් වෙලාවට පාරම්පරිකව එන බර වැඩි වීමත් දකින්න පුලුවන්. සිරුරේ මේද තැම්පත් කිරීම වැඩි කරවන ජාන නිසා මේ තත්වය ඇති වෙනවා.

4. මානසික තත්වය.

මානසික ආතතිය (depression)  වැනි තත්ව වලදීද සිරුරේ බර වැඩි වන අවස්ථා දකින්න පුලුවන්.

5. සිරුරේ හෝමෝන වල සංකූලතා.

අන්තරාසර්ග  පද්ධතියේ  ( Endocrine system) සිදු වන වෙනස්කම් නිසාද සිරුරේ මේදය පාලනයට අවශ්‍ය හෝමෝන ( Insulin, Glucagon) වල අඩු වැඩි කම් නිසාද සිරුරේ බර පාලනය අක්‍රමවත් වෙනවා.

6.  ඖෂධ

සමහර ඖෂධ වල අතුරුපල ලෙසද සිරුරේ බර වැඩි විම සිදු විය හැකියි. ( මානසික රෝග සඳහා ලබාදෙන සමහර ඖෂධ -  Atypical Antipsychotics)

අපි දැන් බලමු මෙහෙම බර වැඩීම නැත්නම් මේදය අනවශ්‍ය විදිහට තැම්පත් වීමෙන් ඇති වන අතුරු විපාක මොනවද, එහි ඇති භයානක බව මොකක්ද කියන එක.


1.  පරිවෘත්තිය සිංඩ්‍රෝමීය තත්වය ( Metabolic syndrome)

 මෙය බොහොමයක් දෙනා වයස්ගත වන විට ගොදුරු වන තත්වයක්. නමුත් දැන් දැන් මෙම තත්වය මැදිවියේ මුල් කාලයේදී පවා යම් අයට වැළඳෙන අවස්ථාවන් දැකිය හැකියි. මෙය රෝගී තත්ව 4ක එකතුවක්.
1. අධිරුධිර පීඩනය.  (High Blood pressure)
2. දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetic Mellitus)
3. රුධිරයේ කොලෙස්ටෙරෝල් සංයුතිය ඉහල යාම. (high blood               cholesterol level)
4.රුධිරයේ අහිතකර මේද සංඝටක ප්‍රමාණය ඉහල යාම. (high                     triglyceride level)
මේ සදහන් කරපු රෝග සියල්ල ඔයාල ගොඩක් අය දන්නවා. කෙටියෙන් කිව්වොත් කෙනෙකුගේ සිරුරේ පරිහානිය පටන් ගන්නෙ මේ රෝග 4ත් එක්ක. මේ රෝග හතරේම ආරම්භකයා වෙන්නෙ ගොඩක් වෙලාවට තරබාරුකම.

2. දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetic Mellitus)

ඔබ තරබාරු අයෙක්ද? වයස 35ට වැඩිද? හැකි ඉක්මණින් රුධිරගත සිනි ප්‍රමාණය මැනීමේ පරීක්ෂාවක් කර ගන්න. මක්නිසාද ඔබ දිය වැඩියාවෙන් පෙළෙන අයෙකු වීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. (පිරිමි 60% ට වැඩි, ගැහැණු 70%ටවැඩි වැඩි)

3. ආතරයිටිස් ( Osteoarthritis)

තවත් ජීවිතය එපා කරවන තරමේ රෝගී තත්වයක්. මෙහිදී ඇති වන හන්දිපත් වල වේදනාව තුරන් කිරීම ඉතා අපහසුය. රෝගය නිසා පීඩා විදින අය එය හොදින් දන්නවා. කොහොමද තරබාරු අයට මෙය වැලඳෙන්නෙ?  අපේ සිරුරේ සම්පූර්ණ බර දරාගෙන ඉන්නෙ අපේ අස්ථි පද්ධතිය. ඉතින් එයට දරා ගන්න බැරි තරම් බරක් පැටවීම මගින් සන්දි ගෙවී යාම වගේම එම සන්දි දුර්වල වීම සිදු වෙනවා.

4. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග. ( Cardiovasculer Diseases)

සිරුරේ මේද සෛල ප්‍රමාණය වැඩි වීමත් සමග රුධිරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය ඉහල යාම, රුධිර පීඩනය වැඩි වීම, හෘදයාබාධ ඇති විය හැකි සම්බාවිතාව වැඩි වීම, රුධිර කැටිති මගින් ශිරා පද්ධතිය අවහිර වීම (Deep vein thrombosis) වැනි රුධිර සංසරණ පද්ධතිය හා සම්බන්ධ සියලුම දරුණු රෝග තත්ව තරබාරු බව නිසා සිරුරට උරුම වෙනවා.

5. මානසික තත්වය පිරිහිම.

බොහෝ විට සමාජයෙන් ලැබෙන විවේචන, පෙනුම විකෘති විම, අපහසුතා වැනි දහසක් ගැටලු නිසා විශාදිය ( Depression)  වැනි රෝග තත්ත්වයන් වලට පහසුවෙන් ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා.

මීට අමතරව ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, කාන්තාවන්ගේ දරුවන් පිලිසිඳ ගැනීමේ හැකියාව අඩුකරන රෝගී තත්ව ඇති වීම (polycystic ovarian syndrome), මද සරු බව, ගර්භණී සමයේ ගැටලු ඇති වීම, වැනි කාන්තාවන්ට ආවේණික ගැටලු රැසක් ඇති කරනවා.

තවද දෙඅතේ ඇඟිලි හිරි වැටීමද සිරුර අනවශ්‍ය ලෙස මහත් වීම හා බැදුණු රෝගී තත්වයක්. ඒ වගේම පිළිකා වැළඳීමේ හැකියාවත් සිරුරේ මේදය වැඩි වීම නිසා ඉහල යනවා.

දැන් ඔයාලට පේනවා නේද අපි දන්නා කියන බොහොමයක් රෝගී තත්ව සිරුරේ බර වැඩි වීමත් එක්ක අපිට ලංවෙන ආකාරය. 
ඔව්. ඔයාල කියයි අප් ඉතිං බර අඩු කර ගන්න ගොඩක් උත්සාහ කරනවනෙ කියලා. ඇත්තටම උත්සාහ කරනවද? අපේ බර වැඩි උනේ කාගේ වැරැද්දකින්ද? ලෝකයේ බහුතරයක් සංවර්ධිත රටවල් වගේ දැන් දැන් සංවර්ධනය වෙමින් පවතින රටවල අයත් මේ තරබාරු බව කියන විනාශයට ඇදල දැම්මෙ කවුද? මේවට උත්තරත් එක්ක අපි ඊළඟ ලිපියෙන් හමුවෙමු!- මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?


Wednesday, March 11, 2015

මිනිත්තු දහය


වලාකුළු දෙකක් අතරින් රිංගා ගත් සැඳෑ හිරු රැස් කදම්බයක් අහසේ සිට කඳු හිස මතට අපූරු ආලෝක ස්ථම්භයක් තනා ඇත.

"අර බලන්නකො දේශාන්, මීදුම අස්සෙන් කන්දට ඉර එලිය වැටිල තියෙන ලස්සන"

මහීමා පොඩි එකෙකු මෙන් කෑගසයි. කොළඹ පරිසරයෙන් මිදී පිටිසර සෞම්‍ය සුන්දරත්වය දකින ඇයට දැනෙන සතුට ඉහිලුම් නොදෙන තරම්‍ ය. 

"ඔයා තාම නියම ලස්සන දැක්කෙ නෑ" දේශාන් ආඩම්බර සිනහවක් මුව රඳවාගෙන පවසයි.

"මොනාද අනේ!! දැන්වත් කියන්නකො කොහාටද යන්නෙ කියලා, මම හිතුවෙ නුවරඑළියේ තැනක් කියලා" 
මහීමා මැසිවිලි නගයි.

මහීමා හා දේශාන් විවාහ වී දින තුනකි. විවාහ උත්සව කටයුතු හමාර වී නිදහසේ දින කීපයක් ගත කල යුතුයැයි යෝජනා කලේ දේශාන්‍ ය. ඒ අනුව දේශාන් නවාතැන තෝරාගත් අතර එය මහීමාට හෙලි නොකලේ ඇයව පුදුම කරවන බවට පවසමිනි.
ඔවුන් ගමන් ගත්තේ නුවරඑළිය බදුල්ල මාර්ගයේ බදුල්ල දෙසටය. නුවරඑළියේ සිට හැතැප්ම 30 ක පමණ දුරක් ගිය පසු අතුරු පාරකට හැරිණි. තේ වතු මැදින් වැටී තිබූ එම පටු මාවත මහීමා වෙත වෙනම ලෝකයක් තැනීය. බැලු බැලු අත තිබූනේ තේ වතු වලින් වැසී ගිය කඳුය. සවස හයට ට පමණ වූ බැවින්, හිරු එළිය පවා සෞම්‍ය බවකින් යුක්ත විය.

"පොඩ්ඩක් බැහැල යමුකො දේශාන්"

"දැන් කරුවල වැටෙන්නත් ලඟයිනෙ බබා, මීදුම ආවොත් ඩ්ර්යිව් කරන්න අමාරුයි."

"අනේ චූට්ටකට"

"හරි හරි, ඔන්න නැවැත්තුවා"

මහීමා කාරයෙන් එලියට පැන්නේ මිටින් හල කුරුල්ලෙකු මෙනි. අසල තිබූ තේ වත්තට පැන එහි මුදුන තෙක් දිව ගියේ දේශාන්වත් ඇදගෙනය.

"මාර ලස්සනයි නේද අනේ, ඒත් එක ගෙයක් වත් පේන නෑනෙ"

"තේ වතු මැද්දෙ ගෙවල් කොහෙද හලෝ" දේශාන් පැවසූවේ මහීමාට ටොක්කක් අනිමිනි.

"සිරි නැරඹුවා ඇති නේද දැන්, අර ඉරත් බැහැල යනවා. යමුද " දේශාන් නොවිසිලිමත්‍ විය.

"තව දුරද දේශාන්, " කාරයට නගින අතර මහිමා විමසීය.

"නෑ, දැන් ලඟටම ඇවිත්."

එසේ කීවද පැය භාගයක පමණ දුරක් යනවිට මාර්ගය අවසන් විය . ඉන්පසු තිබුනේ වල් බිහි වූ වැලි පාරකි.

"මොකක්ද දේශාන් අපි කැලේකටද යන්නෙ? බලන්නකො පාරෙ හැටි" මහීමා මැසිවිලි නගන්නට විය.

"ඔන්න තියෙනව අපි නවතින තැන" දේශාන් පැවසූවේ කාරය නතර කරමිනි.

"කෝ අනේ කොහෙද ගෙයක්" අඩ අදුරේ වටපිට බලමින් මහීමා විමසුවේ විමතියෙනි.

"අර තියෙන්නෙ?" දේශාන් ඉහලට ඇගිල්ල දිගු කලේය.

"හානේ, " කීවාක් මෙන් මහීමා පුදුමයට පත් විය. 
එය කුඩා කන්දක් මත පිහිටි සුවිසල් නිවසකි. එතැන් සිට නිවස වෙත යාමට තිබුණේ කන්ද වටා සර්පිලාකාරව නිමවූ ගල් පඩිපෙළකි.

"කෝ අනේ ලයිට් එලියක්වත් නෑනෙ" දේශාන්ගේ අතේ එල්ලී පඩිපෙල නඟින මහීමා පැවසීය.

"මෙච්ච්ර දුර කොහෙන්ද බබා ලයිට්" 

"එතකොට?" 

"රජ කාලෙ වගේ තමා ඉන්න තියෙන්නෙ, එතකොටනෙ රොමෑන්ටික් වෙන්නෙ" මහීමාව හිනස්සවමින් දේශාන් පැවසීය.

කතාවෙන් කතාවෙන් දෙදෙනා නිවස වෙත ලඟා විය. වසර සියයකට වඩා පැරණි බවක් පෙන්නුවද එය හොඳ තත්වයේ විය. ඉදිරියේ වූ දැවැන්ත දොර හා එයටම ගැලපෙන විශාල යතුරු තහඩු පෞරාණික බව තවත් වැඩි කරයි.

"පුංචි බේබි එන්න පරක්කු උනේ මොකද? හානෙ සීදේවි නෝනෙක්නෙ, එන්න එන්න ඇතුලට හීතලත් ඇතිනෙ"
වයසක යුවලක් ඔවුන් පිළිගත්තේ මහීමාව තවත් විමතියට පත් කරමින්ය.

වයසක කාන්තාව පිළිබඳව නම් මහීමාට එතරම් ප්‍රිය මනාප බවක් ඇති නොවීය. මහීමා දෙසම ගිලින්නට මෙන් බලා සිටි ඇය කෙරෙහි මහීමට ඇති වූවේ අප්‍රසන්න හැඟීමකි.

"ඔයාට කියන්න බැරි වුනානෙ, මේ අපේ ගෙයක්. සීයට අයිති වෙලා තිබ්බෙ, ඉඳල හිටල තමා දැන්නම් මේ පැත්තෙ එන්නෙ, මේ පබ්ලිසුයි එයාගෙ නෝනයි තමයි මේවා බලාකියා ගන්නෙ."
මහිමාට මෙය ඇදහිය නොහැක.

"බේබිලාට උඩ කාමරේ ලෑස්ති කලා"

"යං චේන්ජ් කර ගත්තහම ඔයාගෙ මහන්සිය ඇරෙයි."

"බේබි වතුර උණු කරල නාන කාමරෙන් තිබ්බා, කෑම රත් කරල තියෙන්නෙ, එහෙනම් අපි ගිහින් එන්නම්."

"හා හොඳයි පබ්ලිස්, උදේම එනවනෙ" 

"ඔව් ඔව් බේබි, යන්නම් නෝනා" පබ්ලිස් ගේ බිරිඳ මහීමා දෙස අමුතු බැල්මක් හැලමින් පැවසීය.

"දේශාන්, අපි දෙන්න කොහොමද මෙච්චර ලොකු ගේක තනියම ඉන්නෙ" මහිමා අවට බලන අතර විමසීය.

"ඉතිං හොදයිනෙ, කොච්චර නිදහස්ද" දේශාන් පැවසූවේ ඇයව තමා වෙත ඇද තුරුලු අර ගනිමිනි.

"මම එහෙනම් වොශ් එකක් දාගෙන එන්නම්, ඔයා ගෙයි ලස්සන බලන්නකො." 

"හ්ම්ම් , ඉක්මනට එන්න හොඳේ" මහීම පැවසූවේ චකිතයකින් යුතුවය.

දේශාන් නිකම ගිය පසු මහීමා අවට නරඹන්නට විය. සාලය මැද පිහිටි සුවිසල් උදුනට ගිනි දමා තිබුනෙන් හාත්පස හොදින් ආලෝකමවත් විය. දුර්ලභ දැවයෙන් නිමවා තිබූ ගෘහභාණ්ඩ නිසා නිවස සැබෑවට පැරණි රජ මැදුරක් මෙන් දිස් විය. බිත්ති මත රාමුකරන ලද රූප ගණනාවක් විය. 


ඔවුන් දේශාන්ගේ මුතුන් මිත්තන් වන්නට ඇතැයි මහීමා අනුමාන කලාය. ඔවුන්ගේ මුහුණු වල තිබූ රෞද්‍ර පෙනුම දේශාන්ටත් යන්තම් ගෑවී ඇතැයි ඇයට සිතිණි. නිවසේ තැනින් තැන දල්වා තිබූ ලන්තෑරුම් වලින් අඳුර නිවසේ කොන් වලට පලවා හැරියේය. එහි තිබූ දැඩි නිහැඩියාව නිසා මහිමාට අමුතුම මුස්පේන්තු බවක් හැඟෙන්නට විය. ඇය සාලයෙන් ඉවත් වී තරප්පුව නැග ඉහල මාලයේ වූ නිදන කාමරය වෙත පිය නැගීය. 

තරප්පු පෙල මැද ලන්තෑරුම නිවී ගොස්‍ ය. හිතේ හෝදිසියෙන් ඉහල නගින මහීමාගේ වම් ගෙලට හදිසියේම උණුසුම් සුළඟක් වැදුනාක් මෙන් දැනින. එය සුළඟකට වඩා කවුරුන් හෝ හෙලූ හුස්මක් මෙනි. මහීමා ගැහෙන හදින් යුතුව තරප්පුව ඉහලට දිව ගියේ දෙතුන් පලක ඇද වැටෙමිනි. කාමරයට පැමිණ දොර වසාගෙන හති අරින්නට විය.

"මම බොරුවට බය වෙලා, හිත තමා මේ ඔක්කොම කරන්නෙ"

ඇය ඇඳට ගොඩවිය. එය වචනයේ පරිසමාප්තියෙන්ම සැපපහසුය. පිරිසිදු සුසිනිදු ඇඳ ඇතිරිලි හා කොහෙන්දෝ හමා එන මල් සුවදැති සිසිල් සුලඟ දෙඇස් නිදි බර කරයි.

ඇය මුහුණලා සිටියේ කාමරයෙන් පිටත කොරිඩෝවට ඇතුල් විය හැකි දොර වෙතය. වැඩි ප්‍රමාණයක් වීදුරු යොදා නිමවා තිබූ එහි දොරරෙදි සුලඟට එහා මෙහා වීමේදී සඳ එලියෙන් බැබලෙන මුලු වතුයායම පෙනෙයි.
එදෙස වශීකෘත වී බලාසිටි මහීමාට කිසිවෙකු කොරිඩෝවේ එක් පසක සිට අනෙක් පසට ඇවිද යනවා මෙන් දැකිය හැකි විය. 

"දේශාන් වොශ් දාගෙන ඇවිත් මට කිව්වෙවත් නෑ"

මහීමා ඇදෙන් බැස කොරිඩෝවේ දොර හැර සඳලුතලයට ඇතුළු වූවාය. කාමරයට පමණක් සීමා වන්නට තනා තිබූ සඳලුතලයේ කිසිවෙක් දැකිය නොහැක. මහීමා යලිත් තැති ගත්තාය.
ඇය ක්ෂණිකව යළි කාමරයට ඇතුළු විය. දේශාන් සොයා යාමට කාමරයෙන් පිටවීමට දොර හරිනවාත් සමඟම ඇයට දැකිය හැකි වූවේ දොර අසල සිටගෙන සිටගෙන සිටින ඉටිපන්දමක් අතින් ගත් වයස්ගත කාන්තාවකි. මහීමා කෑ ගසා පස්සට පැන්නාය.

"දුව දුව ! ඇයි මේ.. මම දේශාන්ගෙ දුරින් ආච්චි වෙන කෙනෙක්, ඇයි මේ බය වෙලා. අන්න පල්ලෙහා ඔක්කොමල බලාගෙන ඉන්නවා ඔයාල දෙන්න කෑමට එනකල්. පුතා ඇඟ හෝදගෙන එයි. එතකල් අපි කෑම ගමු. දුවට බඩගිනිත් ඇතිනෙ?"

මහීමාට කිසිවක් තේරුම් ගත නොහැක. "මේකත් දේශාන්ගෙ පුදුම කිරිල්ලෙ කොටසක්ද කොහෙද"

ඇය කාන්තාව පසු පස යලි පහත මාලයට යන්නට විය.
"දේශාන් හරිම නරකයි, ආච්චිල ගැන වචනයක්වත් කිව්වෙ නැහැනෙ"

කාන්තාවගෙන් ප්‍රතිචාරයක් නොමැත. "කන් ඇහෙනවත් අඩුද මන්දා" මහීමා සිතුවාය.

පහල මාලයේ වූ විශාල කෑම මේසයක් වෙත ඇය ලඟා වූවාය. "හප්පේ මේ කවුද?" ඇය සිනාසෙමින් විමතියෙන් ඇසුවාය.
ඇය ඉදිරියේ වූ කෑම මේසයේ රදල පිරිසක් හිඳගෙන සිටිනු ඇයට දැකිය හැකි විය. ඔවුන්ගේ ප්‍රතාපවත් පෙනුම, ඇඳුම් ඇයව වසර සියයක් පමණ අතීතයට ගෙන ගියාක් මෙනි.

මහීමාව කැඳවාගෙන පැමිණි කාන්තාව අතක් දිගු කර හිස් අසුනක් පෙන්වීය.

මහිමා එහි අසුන් ගත්තාය.

"හරි එහෙනම් කමු, අපි හොදට කන බොන උදවිය, එහෙනම් හොදට බෙදාගෙන බඩපිරෙන්න කන්න ඕනෙ"
එතැන සිටි මූලිකයායැයි සිතිය හැකි තැනැත්තා මහීමාට පැවසීය.

"දේශාන් එනකල් ඉමුද"
මහීමා පැවසුවද පිරිස කෑම ආරම්භ කර අවසානය. ඇය වෙතද කෑම බදුන් පිරිනැමෙන්නට විය.

මහීමා වෙත ලැබුණ සෑම කෑම බදුනකම වූවේ විවිධාකාර ක්‍රමයට උයන ලද මස් වර්ගය. එහි සුවඳ ඇයගේ බඩගින්න වැඩි කලේය.
"මොනවද මේ මස් වර්ග, ගොඩක් මස් ජාති මට ඇලර්ජික්" 

කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැත. සියල්ලන්ගෙ මුහුණු වල දැකිය හැකි වූවේ ගුප්ත සමච්චල් සහගත සිනාවක් පමණකි.

"මෙයාලගෙ ලොකුකම" සිතමින් මහීමා බදුනේ වූ මස් කැබලි එහා මෙහා කලාය. දුටු දෙයි ඇයට හීන් දාඩිය දැම්මාය. 
මේ මිනිස් ඇඟිලි නොවේද?!
ඇය අප්පිරියාවෙන් ඉන් එකක් ගෙන බැලීය. එහි මුද්දක්ද ඇත. 

"දෙයියනේ... මේ.. මේ.. මේක දේශාන්ගෙ මුද්දනෙ..! 
මහීමා මේසයෙන් ඉවතට පැන යටි ගිරියෙන් කෑගසන්නට විය.



 ~ ~ ~ ~ ~ ~ ~  ~ ~ ~ ~ ~ ~ ~  
"මහී මහී දෙයියනේ ඕක නවත්තන්න"
මහීම පියවි සිහියට පැමිණියේ දේශාන්ගේ හඬ ඇසීමෙනි.

"දෙශාන්... , ඔයා .. ඔයා හොදින් නේද?, එයාල ඔයාට මොකද කලේ?" මහීමා දේශාන්ගේ ඇඟේ එල්ලී පිස්සියක් මෙන් කියවන්නට විය. දහඩියෙන් පෙඟී තෙත්වී ගිය ඇදුමින් යුතුව ඇඳ මත සිටින ඇය දුටු දේශාන්ට සිනා පහලවේ.

"එයාල? කවුද? අයියෝ බබා ඔයා හොඳවයින් හීනයක් දැකල වගේ?"

"හීනයක්? මහීමා වටපිට බැලුවාය. ඇත්තටම ඇය සිටින්නේ ඉහල මාලයේ ඇඳ මතය.
"එතකොට මම දැක්කෙ හීනයක්ද? මහිමා සවිස්තරාත්මකව ඇගේ සිහිනය දේශාන්ට විස්තර කලාය.

"මම වොශ් දාල එන්න ගිය විනාඩි දහයට ඔයා ඔච්චර දිග හීනයක් දැක්කද?" දේශාන් තවමත් සිනාසෙයි.

නමුත් මහීමා තවමත් යථා තත්වයට පැමිණ සිටියේ නැත.
 "අනේ දේශාන් අපි වෙන කොහේ හරි නතර වෙමු. මට නම් මෙහෙ ඉන්න බැහැ"  ඇය හඩා වැටෙන ස්වරයෙන් පැවසීය.

"හ්ම්ම් බලමුකො" 
දේශාන් පැවසුවේ ජනේලයෙන් ඔබ්බට වූ මීදුම් අඳුරෙන් වැසුණු තේ වත්ත දෙස ගුප්ත බැල්මක් හෙලමිනි.