Saturday, February 28, 2015

ඔයාටත් හෙම්බිරිස්සාවද ( Common Cold )



දින කීපයකින් දැකිය නොහැකි වූ සිය මිතුරාව බැලීමට නිමල් රන්ජන්ගේ නිවස බලා පිටත් විය.

"මොකෝ රන්ජන් පාඩම් කරන්න ආවෙ නැත්තෙ?"

"කියල වැඩක් නෑ මචෝ මේ හෙම්බිරිස්සාවක් හැදිල මට එපා වෙලා ඉන්නෙ, දැන් සතියක් විතර."

"ඔව් මට මතකයි උඹ මැච් එක ගහන්න එනකොටත් හොටු බේර බේරනෙ හිටියෙ."

ඔව් බං ඊට පස්සෙ දවසෙ ගිනි ගන්න උණ ගත්තනෙ., ඒ මදිවට අම්බානකට ගුටි කාල වගේ මුලු අස්ථි පංජරේම රිදෙන්න ගත්තනෙ."

"සිරාවට .... යකෝ කියන්න එපැයි.. බේත් ගන්න ගියෙ නැද්ද්?

"ගියා බං, මුලින් ගිය තැන පෙනඩෝලුයි පිරිටනුයි තව මොනාද පෙති වර්ගෙකුයි දුන්න. මට එපා උනා ඕව බීල හරියනවැ. මම ඊට පස්සෙ අර .... ගාවට ගියා පොර නම් අපරාදෙ කියන්න බෑ කරල් වර්ග දෙකකුයි රෝස පාට පෙති වගේකුයි දුන්න."

හරි හරි දැන් ඉතිං උඹට අඩුයිද?"


"උණ නම් බැහැල ගියා, ඒ උනාට බෙහෙත් සැරටද මන්දා බඩ දැවිල්ලක් හැදුනා, ඒ මදිවට හොඳටම කැස්ස බං, ෆාමසියෙන් සිරප් වර්ග දෙකක්ම ගෙනත් බිව්ව තාම අඩුවක් නෑ., ඇඟට පණත් නෑ වගේ,"

"හම්මා උඹේ කාමරේ ගඳ, දවස් කීයකින් නෑවෙ නැද්ද්?"

උඹට කියන්න සති දෙකකින් විතර නෑ, කොහෙද මේ කැස්ස ඉවරයක් නෑනෙ"

"අනේ මන්ද උඹ ලෙඩේ දෙක කරගෙන වගේ."


~ ~ ~ ~ ~ ~ ~ * ~ ~ ~ ~ ~ ~ ~ * ~ ~ ~ ~ ~ ~ ~


මේ කාලෙ ලෙඩ රෝග නම් අනන්තයි අප්‍රමාණයි නේද. මේ අනන්ත අප්‍රමාණ ලෙඩ රෝග අතරින් ලොකු කුඩා ගැහැණු පිරිමි බේදයක් නැතුව කොයි කාටත් වද දෙන කරදර කාරී රෝගී තත්ත්වයක් තමා මේ හෙම්බිරිස්සාව එහෙමත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ. මේ ලිපිය කියවන ඔයාට කී පාරක් හෙම්බිරිස්සාව හැදිලා තියෙනවද? ගණන් කර ගන්නත් බැරි තරම් නේද.

සාමාන්‍යයෙන් එක් අයෙක්ට වසරකට දෙවතාවක් වත් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙනවා. කුඩා දරුවෙකුට නම් වසරකට හය වරක් පමණ මෙය වැලඳීමට පුලුවන්. අපි බලමු මේ සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ මොකක්ද කියල. 

මෙහි ප්‍රධාන හේතු කාරකයා වෙන්නෙ වයිරස් වර්ග. එකිනෙකට වෙනස් වයිරස් වර්ග  200ක පමණ ප්‍රමාණයක් අපට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කිරීමට සම්මාදම් වෙනවා කියල සොයාගෙන තියෙනවා. එයිනුත් නායකයා වන්නෙ රයිනො (Rhino virus) වයිරස්  නම් වයිරස් කාණ්ඩය.

මෙම වයිරස සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලෙන රෝගියෙකුගේ ශ්වසන පද්ධතියේ ස්‍රාවය තුල ලක්ෂ සංඛ්‍යාවක් එක් රැස් වී පවතිනවා. රෝගියා කිවිසිම් හරින විට එම වයිරස ස්‍රාවයන් සමඟ පරිසරයට මුදා හැරෙන්වා. මෙම වයිරසයන් වලට පරිසරය තුල යම් කාලයක් ජීවී තත්වයේ පසුවෙන්න පුලුවන් (පැය 18ක් වැනි කාලයක්). මෙම කාලය තුල එම වයිරස වෙනත් අයෙකුගේ ශ්වසන පද්ධතියක් තුලට ඇතුල් වූ පසු ක්ෂණිකව ප්‍රජනය ආරම්භ කර පැය 18ක් වැනි කාලයකදී රෝග ලක්ෂණය ඇති කරනවා. 

අපි ගොඩක් වෙලාවට කිවිසුම යැවීම උගුරේ කැසීමක් ඇති බව දැනෙන්නට වීම සොටු දියර ගැලීම ආරම්භ වෙන්නෙ මේ අවදියේදි. ඉන්පසු සොටු දියර ගැලීම වැඩි වීමත් සමඟ නාසය අවහිර වීම, සමහර විට කන් අගුල් වැටීම (කන් ඇසීම අඩු බවක් දැනීම), ඇඟපත රිදීම, හිසරදය, තෙහෙට්ටුව, කැස්ස, කලාතුරකින් උණ ඇති වීමටද පුලුවන (බොහෝ විට කුඩා දරුවනට). මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ වයිරසය පැරදවීමට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සිදු කරන සටනේ ප්‍රතිඵලයක් ලෙසය.


ආසදනයට හේතු වන වයිරස් වර්ගය, රෝගියාගේ ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිකරණ හැකියාව), රෝගියගේ පෝෂණ තත්වය, රෝගියා වෙහෙසී සිටීද යන්න වැනි හේතු කාරක ගණනාවක් රෝගය සුව වීමට යන කාලය තීරණය වීමට බලපායි. සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකදී මූලික රෝග ලක්ෂණයන් පහව යන මුත් අතැම් අයට  සති  තුනක් පමණ කාලයක් වුවද පැවතිය හැක. වඩාත් වැඩි කාලයක් පවතින්නේ කැස්සයි. එය සතියක සිට මාස දෙකක පමණ කාලයක් දක්වා කරදර කරනවා.

අපට ඒ හැටි හානියක් නොවන රෝගයක් වුවත් මෙය ඉතා කරදරකාරීය. මේ නිසාම අපි විවිධාකාර දේවල් එම අපහසු තත්ත්වයන් මිදීමට පාවිච්චි කරන්න පෙලඹෙනවා. 
විවිධ බාම් වර්ග, ආයුර්වේද බීම වර්ග, පෙති වර්ග... නමුත් ඔබ දැනගත යුතු කාරණාවක් වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමට ඖෂධ නොමැති බව. එය සිරුරේ ප්‍රතිශක්තිකරණය මගින්ම සුව විය යුතු වේ.
ඉහළ සඳහන් කල ප්‍රතිකාර හෝ වෛද්‍යවරයෙකු ඔබට ලබාදෙන ඖෂධ වලින් සිදු වන්නේ රෝග ලක්ෂණ වලින් ඇති වන අපහසුතා අඩු කිරීමයි. 


නමුත් රෝගය පිළිබඳව අවබෝධයකින් යුතුව පහත උපදෙස් පිළිපැදිමෙන් මෙම රෝගය නිසා ඇති වෙන අපහසුතා බොහොමයක් අඩු කර ගන්න පුලුවන් වේවි,

පළමුව රෝගයෙන් වැලකීම.

පාසලට, පන්තියට, වැඩට එහෙමත් නැත්නම් ගමනක් ගොස් පැමිණි විගස හොඳින් පිරිසිදු වීම මගින් ඔබේ සිරුර මතුපිට තැවරී සිටින වයිරස ඔබේ අතින්ම නාසයට හෝ කටට ඇතුල් වීමෙන් වලකිනවා. නිතර දෑත් සෝදා පිරිසිදුව සිටීමද වැදගත් වෙනවා.

රෝගයේ මුල් අවදිය.

* කිවිසිම් යාම, උගුර කැසීම, තෙහෙට්ටුව, මෙවා සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික ලකුණු. මෙම කාලයේදී ඇඟ වෙහෙසකරවන ක්‍රියාකාරකම් වලින් වැලකීමෙන් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇති වන අපහසුතා බොහොමයක් අවම කර ගන්න පුලුවන් වගේම රෝගය පවතින කාලයද අඩු වෙනවා. මේ කාලයේදි තමයි වෛරසය සිරුර තුල වැඩීම හා සංඛ්‍යාවෙන් වැඩි වීම සිදු වන්නේ. අප සිරුර වෙහෙසවා දුර්වල කිරීම ඔවුන්ගෙ  වර්ධනය වේගවත් වීමට හේතු වෙනවා.

* ලුණු මිශ්‍ර උණුසුම් වතුරින් උගුර සේදීම. මෙයින්ද මූලික අවධියේ සිටින වෛරසය විනාශ වී යාම සිදු වෙනවා. 

* හැකි තරම් උණු වතුරම බීමට ගන්න ඒ වගේම සීතල බීම වර්ග නොගැනීම, වායු සමීකරණ භාවිතා නොකිරීම වගේ දේවල් ගොඩක් වැදගත් මොකද සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වෙන වෛරස වඩාත් කැමැති සිසිල් තත්වයන්ට. එවිට ඔවුන් වඩාත් සතුටින් වැඩෙනවා.

දින දෙකක් තුනක් ගත වූ පසු.

* අපි වෛද්‍යවරයෙකු හමු වන්නේ මේ අවධියේ දී. වෛද්‍යවරයාගෙ උපදෙස් නිවරැදිව පිළිපදින්න. ඒ වගේම ඖෂධ පිළිබඳවද විශ්වාසය තබන්න. බොහෝ දෙනෙක් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාදෙන ඖෂධ දෙස බලන්නෙ අඩු තක්සේරුවකින්, 
මම මේ ගැන උදාහරණයක් දෙන්නම්

වෛද්‍යවරයෙකු හමු වී ලබාදුන් ඖෂධ දැක බොහෝ අය මෙසේ පවසනවා.
"මට මෙච්චර අමාරුයි, ඒ උනාට දීල තියෙන්නෙ මොනවද පෙනඩෝලුයි , පිරිටනුයි, C විටමිනුයි, තව කරලකුයි." වෙන කෙනෙක් ගාවට යන්න ඕනෙ හොඳ බේතක් ගන්න."
මෙය වැරදි අදහසක් ඉහත ඖෂධ මිලෙන් අඩු සැවොම දන්නා ඖෂධ වුවත් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා හොඳම ඖෂධ වන්නේද එවායි.

*පැරසිටමෝල් (බොහෝ දෙනෙක් පැනඩෝල් යන වෙලඳ නාමය භාවිතා කරයි) - සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වඩාත්ම සුදුසු හානිකර බව හා අතුරු අබාධ අවම ඖෂධයකි. වෛද්‍ය උපදෙස් පරිදි පැය 6 කට හෝ 8 කට වරක් ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන අපහසුතා රැසක් දුරු කරනු ලැබේ.

*ක්ලෝ(ර්)ෆිනමයින් (Chlorpheniramine) (බොහෝ දෙනෙක් පිරිටන් යන වෙලඳ නාමය භාවිතා කරයි) - කුඩා දරුවාගේ සිට වැඩිමහලු අයට පවා කිසිම හානියක් නොමැතිව භාවිතා කල හැකි වීම මෙහි විශේෂතවයයි, එහි එති එකම අතුරුඵලය නිදිමත බවක් ඇති වීමයි. සෙම්ප්‍රතිශ්‍යාවට අවශ්‍ය වන්නේද එයයි. දිගු සුවදායි නින්දක් මගින් වෛරස හා සටන් වැදීමට සිරුරට සම්පූර්ණ සහයෝගය මෙයින් සැපයේ. නමුත් මෙම ඖෂධය ගැනීමෙන් පසු වාහන පැදවීම, ගමන් බිමන් වල යෙදීම, කල්පනාකාරීව කල යුතු වැඩ වල නිරතවීමෙන් වැලකිය යුතුය.

* ප්‍රතිජීවක (Antibiotics)
සෙම්ප්‍රතිශ්‍යාව සුව වීම සඳහා ප්‍රතිජීවක වල කිසිඳු අවශ්‍යතාවක් නැහැ. නමුත් වෛද්‍යවරු ප්‍රතිජීවක ලබා දෙන්නේ දෙවන බැක්ටීරියා ආසාදනයකින් වැලකීමට යොදන උපක්‍රමයක් ලෙසයි.


සතියකට පමණ පසු..

බොහෝ දෙනෙක්ට මෙම කාලය වනවිට ඉතිරිව ඇති රෝග ලක්ෂණය වන්නේ කැස්සයි. හැමෝම දැන ගත යුතු කරුණක් වන්නේ කැස්ස සතියක සිට සති 8ක් දක්වා පැවතිය හැකි බවය. 
ඉහත සඳහන් කල පරිදි රෝගය හටගන්නා වකවානුව තුල සිරුර දුර්වලව පැවතීම රෝග ලක්ෂණ කල් පැවතිමට හේතු වෙනවා.

කැස්සට අමතරව දින 3කට වඩා උණ පවතින්නේ නම් කල්පනා කාරී විය යුතුයි. එය බෝහෝ විට වයිරස් මගින් අඩපණ කල පටක තුල වර්ධනය වන බැක්ටීරියාවක් (Secondary Bacterial Infection) නිසා විය හැක. එය නොසලකා හැරීම භයානක තත්වයකට ඉඩ හැරීමක් වන්න පුලුවන්. මොකද එම බැක්ටීරියා ස්වසන පද්ධතියේ පහලට ගමන් කර පෙනහලු තුලට ඇතුල් වී එහි සියුම් පටක විනාශ කිරිම හා සියුම් නාල අවහිර කිරීම සිදු කරයි. මෙය නියුමෝනියව ලෙස හදුන් වනවා.

ඒ වගේම සති දෙකකට වඩා පවතින කැස්ස සමඟ ලේ බිඳු පිට වීම ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැක.

එම නිසා දින තුනකට වඩා උණ පවතින විට හෝ කැස්ස සමඟ ලේ බිඳු නිකුත් වන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වීම වැදගත්.

සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමෙන් පසු උණ තත්වය පහවී දින 3ක් ගත වූ පසු ස්නානය කිරීමද වැදගත්. එය කැස්ස පවතින කාල සීම අඩු වීමට හේතු වන අතර. සිරුර මතුපිට ඇති බැක්ටීරියා ගහනය අඩු වීමෙන් දෙවන බැක්ටීරියා ආසදනයක් ඇති වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩු කරනවා. කැස්ස පවතින තුරු  ස්නානය අහිතකරය යන්න අපි අතරේ පවතින වැරදි මතයක්. වැදගත් වෙන්නේ උණ කියන රෝග ලක්ෂණය.

මෙන්න මේ විදිහට කියවෙන හෙම්බිරිස්සාව ගැන කතාවේ සරාංශයක් ගත්තොත්.

1. ඉක්මනට හොඳ වෙන්න හොඳට විවේක ගන්න.
2.බොන දේවල් වැඩි වැඩියෙන් ගන්න, උණුවෙන්ම බොන්න.
3. පොඩි පොඩි බේත් ගැන වැඩි විශ්වාසයක් තියන්න.
4.ටික දවසක් යනකල් කැස්ස ගැන කලබල නොවී උණ බැහැල දවස් තුනෙන් හොඳට නාගන්න.
5. දවස් තුනට වඩා උණ තියෙනවා නම්, කහින් වෙලාවට ලේ එනවා නම් ඩොක්ටර් මුණගැහෙන්න වෙලාව හරි.

ඔබට සෞඛ්‍යයමත් දිවියක්!  


Tuesday, February 24, 2015

සිහින දේශය



2027ක් වූ ජනවාරි 21ක්  වූ අද දින ශ්‍රීලංකා මධ්‍යම පාලක කමිටුවේ පළමු නියමුවා වන මා සිය ධූරයෙන් විශ්‍රාම ගැනිමට සැරසෙමි. දෙවරක්ම මධ්‍යම පාලක කමිටුව මගින් මා මෙම තනතුරට තෝරා ගැනීම පිලිබඳ අද මම අතිශයින් සතුටට පත් වෙමි . මක් නිසාද ශ්‍රීලංකාව ලෝකයේ ප්‍රබලතම රටක් බවට පත් වූ අමරනීය දශකයක එහි නියමුවා වීමට ලැබීම නිසාය.

අප රටේ අනාගත පරපුරට අප ආ ගමන් මග පිළිබඳව ඉගෙනීමටත්, අප රට තව තවත් ඉදිරියට ගෙන යාමට රුකුලක් වන ලෙස මෙම කෙටි සටහන තැබීමට බලාපොරොත්තු වෙමි.

ලෝකයේ රටවල් අතරින් ඉතා  දීර්ඝ මෙන්ම අභිමානවත් ඉතිහාසයකට උරුම කම් කියන අප රට කඩින් කඩ එල්ල වූ විජාතික ආක්‍රමණයන් නිසා වරෙක පසුගාමී වුවද, ජාතියකට ඉතා දුර්ලභව පිහිටන බුද්ධිය හා අපරිමිත ධෛර්යය නිසා ඒ සියලු බාධා මැඩ පවත්වාගෙන ඉදිරියට යාමට සමත් විය . 


දහ නම වන ශතවර්ෂය අග භාගයේ ඇති වූ තරුණ විප්ලවයන් හා  ඊලාම් යුධ සමය නිසා අප රට දරුණු ලෙස ආර්ථික හා සමාජීය වශයෙන් පිරිහිමට ලක්විය. අයාලේ ගිය පාලන තන්ත්‍රය හා නීතිය හමුවේ රටේ ඉදිරි ගමන මන්දගාමී විය. බුද්ධිමතුන් පරයා මුදල හා බලය රටේ ගමන් මග තීරණය කරන්නට විය. රටේ ජනයාගේ ආධ්‍යාත්මික පෝෂණයේ මුල් පද්ධතිය වූ ආගම් කැබලි කර දුර්මත රෝපණය කර ආගම් කෙරෙහි වූ විශ්වාසය තුනී කල බැවින් ජනයා ආගම් වෙතින් දුරස් වන්නට විය. මෙලෙස චක්‍රාකාරීව රට විනාශය වෙත ලඟා වන සමයක එහි බරපතල කම වටහා ගැනීමට අප රට වැසියන්ට හැකි වූයේ ශ්‍රීලාංකිකයන්ටම ආවේණික වූ සහජ බුද්ධිය නිසාමදැයි මා හට අදටත් විමතියක් පවතී. 

අනතුරක් හමුවේ සියලු මතබේද බැහැර කර එක්ව කටයුතු කිරීමේ අපූර්ව සංස්කෘතික ගුණාංග නිසාම ප්‍රධාන නායකත්වයක් නොමැතිව වුවද රටේ සෑම පෙදෙසින්ම ඉස්මතු වූවේ රට මෙහෙය වීමට බුද්ධිමතුන් මුල් විය යුතු බවය.ඇදහිය නොහැකි ලෙස පැමිණි ජන බලයක් මගින් රටේ පාලන තන්ත්‍රයේ දැවැන්ත වෙනසක් විය. එහි ප්‍රථම අදියර වූයේ රටේ සෑම අංශයකම වූ බුද්ධිමතුන් එක් කර මධ්‍යම පාලක කමිටුවක් පිහිටුවීමය. පැවති රජය නාමිකව පවතින අතර මෙම මධ්‍යම පාලක කමිටුව මගින් රටේ සියලු අංශය ආවරණය වන පරිදි  දැවැන්ත යාන්ත්‍රනයක් සැලසුම් විය. 

දිවයිනේ සිටි සියලුම මහාචාර්යවරු, ආර්ථික සමාජීය හා දේශපාලන විශේෂඥන්, විද්‍යාඥයන් මාස තුනක් පුරාවට දිවයිනේ විශ්වවිද්‍යාලයන් වලට එක් රැස් වී මෙම යාන්ත්‍රනය සකස් කිරීමට යෙදින. එහි පලමු අදියර ලෙස එම සැලැස්ම සවිස්තරාත්මකව රටේ ජනතාව වෙත ඉදිරිපත් කර ජනමත විචාරයක් පැවැත්වීය. එවකට සිටි පාලකයන් මවිතයට පත් කරමින්  සියයට අසූවකට අධික ජන කැමැත්තක් මගින් එම යාන්තරනය සම්මත විය. 
ඉන්පසු බිහිවූවේ ඉහත සඳහන් වූ පරිදි මධ්‍යම පාලක කමිටුවකට පූර්ණ බලතල හිමි පාලන ක්‍රමයකි. 

ඉතා සූක්ෂම පාලන ක්‍රම ඇතුලත් දේශපාලන ක්‍රමයක් බල ගැන්වීමට එයින් හැකි  විය. ඒ යටතේ ජනතා නියෝජිතයෙකු වීමට පිලිගත් උපාධියක් තිබීම මෙන්ම. අවුරුදු පහක විශේෂ පාඨමාලා මාලවක් අවසන පවතවනු ලබන ඉතා අසීරු පරීක්ෂණයක් සමත් වීම අනිවාර්ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම පාලන කමිටුවේ ජනතා නියෝජිතයන් වීම සඳහා ඡන්දයට ඉදිරිපත් වන සියලු දෙනා සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාමාන්‍ය දැනුම, ආගම, සංස්කෘතිය, භාෂාව පිලිබඳ පූර්ණ දැනුමට අමතරව ජනහද දිනා සිටීමද අත්‍යවශ්‍ය විය.මෙම ක්‍රමය නිසා පාලන බලයට පැමිණියේ රටේ උන්නතියට සේවය කිරීමේ අභිලාෂය ඇති අයෙක් පමණකි.

ඉතා දුර්වල තත්වයේ පැවති රාජ්‍ය භාණ්ඩාගාරය නගා සිටුවීම ඊළඟ කාර්යය විය. සකසුරුවම් වියදම් පාලන ක්‍රමයක් මගින් වියදම් සූකශමව සිදු කෙරිණි. එය මනා විනිවිද බාවයකින් යුක්ත විය එනම් සෑම රුපියලක්ම ඵලදායීව වියදම් වූ බවට සවිස්තරාත්මක වියදම් විස්තරයක් සෑම වැය කිරීමකටම ලබා ගෙන එය මාසික රාජ්‍ය ප්‍රකාශයක් ලෙස ජනතාවට ඉදිරිපත් කිරීම සිදු විය. මේ නිසා මෙන්ම කඩ්නම් වංචා දූෂණ වැටලීමේ කාර්යාංශය නිසා රාජ්‍ය මුදල් අපතේ යාම වලකාලීමට අමතරව රාජ්‍ය අංශය වඩාත් විනය ගරුක මෙන්ම කාර්යක්ෂම කිරීමට හැකි විය.

වසා දමා තිබූ කර්මාන්තශාලා රාශියක් ප්‍රතිසංස්කරණය සිදු විය. සියලුම විශ්වවිද්‍යාලයයන්හි ඉංජිනේරු හා තාක්ෂණ පිඨ එක්ව එම කර්මාන්තශාලා නවීන තාක්ෂණයෙන්  සන්නද්ධ කර ලොව දැවැන්ත නිෂ්පාදනවල රැසකට අභියෝග වන නිපැයුම් නිපදවීමට සමත් විය. එම නිෂ්පාදන අතරින් පරිගණක හා මෝටර් රථ නිපැයුම් අතින් ලොව ප්‍රබල ස්ථානයක් ගැනිමට අපගේ නිෂ්පාදනයන් වලට හැකි විය.  එම නිපැයුම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය රට තුලින්ම සපයා ගත් අතර ක්‍රමවත් කසල ප්‍රතිචක්‍රිකරණය මගින්ද බහුතර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විය. එයින් රට තුල කසල පාලනය පිළිබඳව ගැටලුවටද ඉබේම විසඳුම් ලැබිණි.

දෙවෙනි ආර්ථික සැලැස්ම වූවේ කෘෂිකාර්මික සංවර්ධනයයි. විද්‍යානුකූල ක්‍රම උපයෝගී කොටගෙන නියමිත අස්වැන්නට වඩා සිව් ගුණයක අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමෝපායක් හඳුන්වා දුන් අතර සෑම ගොවි බිමක්ම නිර්දේශිත කෘෂි විශේෂඥයන්ගේ නිරන්තර නිරීක්ෂණයට ලක් විය. එයින් කෘමිනාශක වල්නාශක අවම ලෙස යෙදුනු වඩාත් සෞඛ්‍යයමත් නැවුම් එළවළු පලතුරු නිපදවිය හැකි වූ අතර එවායේ ගුණාත්මක බව නිසා විදේශයන්ගේ පවා අප නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් හිමි විය.

ඉහත කාර්මික ප්‍රබෝධයට රුකුලක් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් විය. නව අධ්‍යාපන ක්‍රමය යටතේ සෑම දරුවෙකුටම මූලික අධ්‍යාපනය අනිවාර්යය වූ අතර ඉන් අනතුරුව දරුවන් ඔවුනට සුදුසු යොමු කිරීම සෑම පාසලකම සිටි පුහුණුව ලත් මණ්ඩලයක් මගින් සිදු විය. රට පුරා ඒ ඒ අංශයන්ට විශේෂිත වූ පුහුණු ආයතන ඉදි කල අතර සාර්ථකව පාඨමාලා නිම කරන සෑම සිසුවෙකුම නියමිත රැකියාව සඳහා අනුගත කරනු ලැබිණි. මින් රටේ ශ්‍රමය නාස්ති නොවී ඉන් උපරිම ඵල ලබා ගත් හැකි විය.

සංවර්ධන දශකයේ මැද භාගය  වන විට අප රටට සවර්ණමය යුගය උදා කරමින් අපරට සතුව තිබූ තෙල් ආකර කැනීම් අවසාන විය. එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ශ්‍රීලාංකික වූ බැවින් එහි ලාභය සම්පූර්ණයෙන්ම අපට අයති විය. එම මුදල් වඩාත් ස්ථානෝචිත ලෙස යෙදවීමට මධ්‍යම පාලක කමිටුව ක්‍රියා කල බැවින් වසරක් ඇතුලත අප රට සංවර්ධිත රටවල් අතර ප්‍රමුඛස්ථානයකට පැමිණියේය.

මධ්‍යම පාලක කමිටුවෙන් නිර්මාණය කල ආධ්‍යාත්මික සංවර්ධන සැලැස්ම මගින් රටේ ජනතාව වඩාත් බුද්ධිමත් ලෙස සිය ජීවන රටා වෙනස් කරගත්තෝය. සෑම රට වැසියෙකුම ආර්ථික අතින් යහමත් තත්වයට පත් වූ බැවින් රටේ දූෂණ අපරාධ අවම විය. ජනතාවගේ සෞඛ්‍යයක තත්ත්වය දියුණු වීමත් සමඟ සියලු සේවා හා නිෂ්පාදන ක්‍රියාවලියන් තව තවත් කාර්යක්ෂම විය. 

රටේ ආගමික නායකයන් එක්ව සියලු මතබේදාත්මක ගැටලු නිරාකරණය කර ගත් අතර ඉන් පසු ඒ ඒ ආගම් විසින් රටේ තිබූ විකෘතිය ආගමික මත නිවැරැදි කිරීම හා ආගම් භාවිතයෙන් මුදල් උපයන ස්ථානයන් නවතා දැමීමට කටයුතු කලෝය. මින් ජනයා තුල ආගම් පිළිබඳව යලි විශ්වාසනීයතවය ගොඩනැගුණි. එය රට තුල ආධ්‍යාත්මික හා සංස්කෘතික පැවැත්ම ශක්තිමත් විය. 

මේ අවධිය වන විට අප රට නොනවතින සංවර්ධනයකට අවතීර්ණ වී සිටියේය. ලොව ප්‍රබලයින්ගේ කෙනෙහිලි කම් ඇති වන්නට වූයේ මේ අවධියේදීය. මධ්‍යම පාලක කමිටුවේ දූර දර්ශී දැක්මට නුදුරු අනාගතයේ සිදු විය හැකි බහු ජාතික ආක්‍රමණයක කුමන්ත්‍රණ හසු කර ගත හැකි විය. ඒ මධ්‍යම පාලක කමිටු පාලනය ආරම්භදීම බිහි කල බුද්ධි අංශය නිසාය. ලොව පුරා ජාලයක් ලෙස විහිදුවා නිර්මාණය කල එම නිරීක්ෂණ ජාලය මගින් ලොව ප්‍රබල රටවල් සියල්ලම වාගේ ආවරණය විය. එම බුද්ධි අංශය මගින් කල්තබා කරන ලද  අනතුරු ඇඟවීම් අනුව රටට දියුණු ආරක්ෂක ක්‍රමයක් අවශ්‍ය විය. එයට විසදුමක් ලෙස විද්‍යුත් හා  චුම්බක බල පිළිබඳව කරනු ලැබූ කඩිනම් පර්යේෂණ මාලාවක් මගින් අතිප්‍රබල අවි අකර්මණ්‍ය කිරීමේ ආරක්ෂක ක්‍රමයක් සොයා ගැනීමට අප විද්‍යාඥයන්ට හැකි විය. 

ඔබ කවුරුත් දන්නා පරිදි 2025 වසරේ එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේදි එකදු ජීවිත හානියක් නොමැතිව පැය 24ක් යාමටද ප්‍රථම යුද්ධය ජය ගැනීමට හැකි විය. න්‍යෂ්ටික අවි වලින් පවා සන්නද්ධ වූ දරුණු ත්‍රස්ත හමුදාවක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමට අපට හැකි වීමෙන් මුලු ලෝකයටම ආශ්චර්යයක් විය. අප රට පැමිණ සිටි ප්‍රබල තත්වය වඩාත් හොඳින් ලොවම හඳුනා ගත්තේ එයින් පසුවය.

අද දින ඔබ අත්විඳීන මෙම ප්‍රතාපවත් සුන්දර දේශය ගොඩනැගුනේ දශකයක් පුරාවට අප ජාතිය එක් පවුලක් මෙන් එකට බැඳි එකාමෙන් කටයුතු කිරීමෙනි. කිසිවෙකුටත් අප දේශය යටපත් කල නොහැකි වීමේ ශක්තියේ රහසත් එයම විය. කිසිවෙකුටත ගැත් නොවූ, ණය නොවූ, කිසිඳු දේකට බියක් නොමැතිව ජීවත් විය හැකි රටක් දැන් ඔබ සතුය. එය රැක ගැනීමේ වගකීම නව පරම්පරාව වන ඔබට භාරය.


Saturday, February 21, 2015

(නො)දුටු සතුට


“ඉක්මන් කරන්නකො සුජා දැන් වෑන් එක ඇවිල්ලත් ඇති.”

අසංකගේ නොඉවසිල්ල සුජාතාට සිනහ පහල කරයි.

“පොඩි  එකෙක් වගේනෙ , මෙයාට තියන හදිස්සිය පුතාගෙ කෑම එක කවාගන්න කල් පොඩ්ඩක් ඉන්න”  

අසංක හා සුජාතා  විනෝද චාරිකාවක යෙදෙන්නේ වසර දෙකකින් පමණය. නොපෙන්වා සිටියමුත් අසංකටත් වඩා එහි ආසාව ඇත්තේ සුජාතාටය. පුතුගේ වැඩ සඳහාම කාලය ගත කරමින් එකාකාරී දිවියක් ගත කරමින් සිටි ඇයට මෙම විනෝද චාරිකාව ඉඩෝර සමයක වැටුන වරුසාවක් මෙන් විය. වැඩිමනක්ම අසංක සමඟ මෙවැනි ගමනක යෙදීමේ ආසාවත්ය. 

“හරී, මගෙ හොඳ පුතු පැටියා අද ඔක්කොම කෑවා”, 
“අසංක බෑග් දෙකම ගත්ත නේද?, මේ … මම ලස්සනයි නේද මේ කිට් එකට?

සුජාතා ඇසුවේ නිරූපිකාවක් මෙන් රවුමක් කැරකීමෙන් පසුවය.

“ආයෙත් අහල කත්‍රිනා  කයිෆ් වගේ!” අසංක පැවසූවේ ඇගේ සුන්දරත්වය විඳිමින්ය”

සැබවින්ම සුජාතා සුන්දර යුවතියක්  විය. පාසැල් වියේදී දුටු ඒ ලස්සන දිනෙන් දින වැඩි වූවා වෙනවා යැයි අසංකට සිතේ. 

“අනිත් එවුන්ට ඉරිසියා හිතෙයිද දන්නෑ මට මෙච්චර ලස්සන නෝන කෙනෙක් ඉන්නවා දැක්කහම” 

“යන්න අනේ විහිලු නොකර” සුජාතා පැවසූවේ සිත යටින් ආඩම්බර වෙමිනි.

අසංක හා සුජාතා සේවය කලේ එකම ආයතනයකය. වසර අවසානයේ විනෝද චාරිකාවක් යෑමට ආයතනයේ සැවොම ලක ලැස්ති වූවේ මාසයක පමණ සිටය. 

“අපෝ මොකක්ද බන් පැය භාගයක්ම පරක්කුයි!”

“ එහෙම තමා බන් පවුල් කාරයො උනහම , මොකෝ උඹලාට වගේ ඩෙනිමයි ටී එකයි දාගෙන ඔන්න මම ගියෝ කියල එන්න බෑනෙ දැන් “ අසංක පැවසූවේ සිනාමුසු මුහුණින්ය.

“ඒකත් ඇත්ත තමා උඹට එහෙනම් සමාව දෙනවා, ඒත් කෝ මේ නලින්දයා? ඌත් පවුල් වෙලාද දන්නෑ අපිටත් හොරෙන්” තව අයෙක් පැවසූවේ වෑන් රථයේ සියලු දෙනාටම සිනා පහල කරවමින්ය.

“ඔය එන්නේ කියනකොටම, ශුවර් එකටම නින්ද යන්න ඇති, වැඩට ඇවිල්ලත් දවසෙන් භාගයක් නිදියන එකානෙ.”

විනෝදයෙන් හා උද්යෝගයෙන් මෙසේ ආරම්භ වූ විනෝද චාරිකාව නොනවතින ගීත, සිනා හඬ මැදින් උඩරට වෙත ලඟා විය.



නුවර ආසන්නයේ දී උදාසන ආහාරය ගෙන කෙලින්ම හග්ගල උද්යානය බලා පිටත් වූවේ පලමු නැරඹුම් ස්ථානය ලෙස එය තෝරා ගෙනය.
පුතුව තුරුල් කරගෙන අසංකගේ උණුසුමේ රැඳෙමින් මඟ දෙපස පසුවන සුන්දරත්වය නරඹමින් යන සුජාතාට දැනුනේ කියා නිම කල නොහැකි සතුටකි. ඔහුගේ උරහිසෙහි හිස රඳවාගෙන එය වඩ වඩාත් විඳීමට සුජාතා උත්සුක විය. 
අතර මඟදී හමු වූ සිසිල් දිය අහරක් නිසා පිරිසගේ තීරණය වෙනස් විය.

“බලපන්කො මරු වතුර ටික, මේකෙන් නාන්නෙ නැතුව ගියොත් නම් මුලු ට්‍රිප් එකෙන්ම වැඩක් නෑ!”

“එහෙනම් නාන අය නාන්න , අපි දවල්ට මෙතන ඉදන් කාල යමු”

එම යෝජනාව එකමතිකව ස්ථිර විය.
පැයක් පමණ දිය කෙලියෙන් පසු සියල්ල ගොඩට ආවේ ඉවසිය නොහැකි බඩගින්න නිසාමය.

“එහෙනම් කට්ටිය කෑම ලෑස්ති කරන්නකො අපි පොඩ්ඩක් මේ දිය පාරෙ ලස්සන බලල එන්නම්.” වෑන් එකෙන් සිය බෑගය ගනිමින් නලින්ද පැවසූවේ කුමක්ද යන්න ඉවෙන් මෙන් සුජාතාට වැටහිණ. 

“ඔයත් යනවද ?” සුජාතා අසංකගෙන් විමසූවේ ආයාචනාත්මක බැල්මක් සහිතවය.

“නැත්නම් කිසි ගතියක් නෑනෙ සුජා!, මම ඉක්මනට එන්නම්.

“හ්ම්ම් එහෙනං ඉක්මනටම එන්න හොඳේ “

“ඒයි ඇයි උඹලා එන්නෙ නැද්ද?” නලින්ද කෑගැසුවේ ඔහු හා එක් වූවේ තිදෙනෙක් පමනක් බැවිනි.

“අපි ඕවට නෑනෙ, ඉහල උසාවියෙන් අවසර නෑ , අද බෑ වගේ!” නලින්දට පිලිතුරු කීපයක් ලැබිණි.

“අපෝ උඹලා නම්, ඔන්න අපි ගියා පස්සෙ ආරාධනා කලේ නෑ කියන්න එහෙම එපා”

ඉතිරි පිරිස අතින් ලහි ලහියේ දවල් කෑම පිළිවෙළ විය. හිඳෙන්නට උයා තිබූ පොලොස් ව්යංජනය තෙම්පරාදු කල පරිප්පු, සීනි සම්බෝලය, හා මාලු ඇඹුල් තියල් සුවඳ දැනෙන කල කාගෙත් කටට කෙල උනන්නට විය.

“එහෙනම් කමු නේද නිවෙන්න කලින්, කෝ මෙයාලට කී පාරක්  නම් කෝල් කලාද දැන් එනව දැන් එනව කියනවා”

“උන් ටික එන්න තව පැයක් වත් යයි., අපි කමු”

සුජාතා නොසන්සුන්ය, ඉවසිය නොහැකි තරම් බඩගිනිය.

“අසංක අනේ එන්නකො , ඔය මදෑ , මට බඩගිනියි හොඳටම දැන්,”

“හරි හරි සුජා දැන් එනවා, ඔයා කන්න.”

“සුජාතා එයාල එද්දි තව පරක්කු වෙයි, ඔයත් එන්න කන්න.” දම්මි පැවසූවේ සිය සැමියා කෑම ගෙන අවසන් වූ  පිඟානේම තමටත් කෑම බෙදා ගැනීමට යන අතරය.

“මම තව ටිකක් බලල එන්නම් දම්මි” සුජාතා පැවසූවේ බඩගින්න පරයමින් සිතේ ඇගී ආ හිස් හැඟුමින් යුතුවය.

“බබාටත් බඩගිනි ඇති දැන්” දම්මි පැවසීය.


අසංක ඇතුලු පිරිස පැමිනියේ සුජාතා පුතාට කවා අවසන් වන විටමය.
පරිසරයේ සීතල නිසා කෑම සියල්ල ඇල් වී හමාරය.
සුජාතා මුවින් නොබැන අසංකට කෑම බෙදාදී තමාත් බෙදා ගත්තාය. තිබූ බඩගින්න කොහේ ගියාදැයි ඇයට සිතේ.

ප්‍රමාද වූ පිරිසට අවලාද නගමින් යලි ගමන ආරම්භක විය.
සිසිල් දිය නෑමෙන් ලැබූ සැහැල්ලුව නිසාදෝ සුජාතාට තද නිදි මතක් දැනේ, ඇය සෙමෙන් අසංකට බර විය. වංගු සහිත මාර්ගයේ අපහසුව හා අසංක වෙතින් හමන මත්පැන් ගඳ සුජාතා වෙත ඔක්කාරය ඇති කරවයි. ඇය අකමැත්තෙන් වුවද අනෙක් පස වූ වෑන් රථයේ ජනේලයට හිස තබා ගත්තාය.

නුවරඑළියට ලඟා වන විට සවස පහත් පසුව තිබූ බැවින් හග්ගල යෑම අතහැර නවාතැන්පලට යාමට යෝජනා විය. 

නුවරඑලියට නුදුරුව පිහිටි මනරම් පෙදෙසක පිහිටා තිබූ නවාතැන්පොල වඩාත් නිදහස් හා නිස්කලංක ස්ථානයක් විය. බැස යන හිරුගේ ලා කහ පැහැති හිරු රැස් වැටීමෙන් ඉදිරිපසින් වූ තේ වගාවෙන් වැසුණු කඳුවැටිය අපූරයි දසුනක් මවයි.

පිරිස ඇඟපත සෝදාගෙන අවට සිරි නරඹන්නට විය. සුජාතාගේ සිතේ පැවති කනස්සල්ලද පරිසරයේ මිහිරියාව සමග තුනී වී ගියේය. කෙමෙන් රෑ බෝ වත්ම සීතලද වැඩි වන්නට ගත්තෙන් සැවොම නවාතැන්පල තුලට එකතු වූවේ රෑ කෑම පිළියෙල කිරීමටය. 

“අපේ කුක්ලගෙ හපන්කම් බලන්නත් එක්ක මෙන්න මේක හොඳට රෝස් කරල දෙන්න”
නලින්ද කුස්සියට එබිකම් කර පැවසීය.

“මරුනෙ, රෑ කෑමට රෝස් චිකන් ද?” දම්මි ඔහුගේ අභිලාෂය නොදන්නවා මෙන් ඇසුවේ ස්සමච්චලයට මෙනි.

“පිස්සු කතා අරන්න එපා ඔන්න ඕක රෝස් කරල මෙහෙට දෙන්න”

රෑ කෑම පිළියෙළ කිරීමෙන් පසු යෝජනාව වූවේ ගීයෙන් ගීය පැදුරු පාටියක් දැමීමටය.

“අන්න මැක්සා අයිඩියා එකක්, ඔයාල පටන් ගන්න අපි සිංදු වතුර ටිකක් දාගෙන එන්නම්”

අසංක පැවසූවේ සුජාතා දෙස හොරැහින් බලමිනි. සුජාතා රවාගෙනම ඉවත බලා ගත්තාය.
ගීයෙන් ගීය තරගකාරීව ජයටම කෙරීගෙන යයි, ජය පැරදුම කෙසේ වෙතත් එකිනෙකාගේ ගායන හැකියාවන් නම් හොඳින් ප්රදර්ශනය වන්නට විය. එයිනුත් කැපී පෙනුනේ සුජාතාගේ කටහඬය. අඩුපාඩුවට වූවේ යුග ගායනයට අසංක නොමැති වීමය. දම්මි නිරූපා ජයනි සියලු දෙනා සිය සැමියන් උණුසුමේ රැඳෙමින් හිදිනු දකින සුජාතාට සියුම් දුකක් දැනේ. ඇය සෙමෙන් පුතුගේ හිස සිඹ ගත්තේ එය මග අරින්නට වෙර දරමිනි.

“මොකක්ද මේ , අපි නැතුව කවුද යකෝ සින්දු කියන්නෙ ආ?”

තරමක් පදම් වැඩි වී සිටි නලින්ද කෑගසමින් පැමිනියේය. අසංක ඇතුළු අනෙක් අයටද කෙලීන් ඇවිදීම මදක් අපහසුව ඇති හැඩක් පෙනෙන්නට විය.

“හරි ඔන්න එහෙනම් මම පටන් ගන්නවා , හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ කලේ කලේ …..”

“අන්න එල,ඔන්න ඕවනෙ සින්දු” වැනෙමින් සිටි අසංකද එතනින් හිඳ ගත්තේය.

 ඉන්පසු ආරම්භ වූවේ කොමඩි සංදර්ශනයක්ය. මද වේලාවකින් එය අසභ්ය තත්වයට හැරෙන්නට වූ බැවින් එකා දෙන්නා ඉවත්ව ගියේ රෑ කෑම ගැනීමේ අදහසත් ඇතිවය. 



රාත්රිය අධික ලෙස සීතල වන්නට විය. සුජාතා පුතු තුරුල් කරගෙන අසංකගෙන් ඉවතට හැරී නින්දට වැටුනේ කේන්තියට වඩා මත්පැන් ගඳ ඉවසීමට අපහසු වූ බැවින්ය

”අම්මෝ ඔලු පැලෙන්න වගේ රිදෙනවා, සීතලට වෙන්න ඇති ” මැසිවිලි නගමින් උදෑසන අවදි වූ  අසංක හිරි ඇර ඇඳේ වාඩි විය.

සුජාතාගේන් ප්‍රතිචාරයක් නැත. 

“මොකෝ බුම්මගෙන, කෝ බලන්න මේ පැත්ත” අසංක සුජාතාව හරවා ගත්තාය. 



“මොකද මේ කඳුළු පුරෝගෙන” අසංක ඇසුවේ හේතුව නොදන්නවාට නොවේ.

“ඇයි ඔයා මේ ට්‍රිප් එක ආවෙ අසංක, ඔයාට යාලුවො ටිකත් එක්ක ගෙදර හිටිය නම් ඕන තරමක් බීල හොඳ ජොලියෙ ඉන්න  තිබ්බනෙ” සුජාතා පැවසූවේ නෝක්කඩු ස්වරයෙනි.

“හරි හරි බබා, ඔන්න ප්‍රොමිස් අද මම ඔයා කියන විදිහටම ඉන්නවා” අසංක පැවසූවේ සුජාතාට ඇත්තටම සිත රිදී ඇති බව දැනුනු බැවිනි. 

“බලමුකො කොච්ච්ර වෙලා පොරොන්දුව රකීද කියල.” සුජාතා මද සිනාවක් පා පැවසීය.


එදින පලමු නැවතුම වූවේ අඹේවෙල ගොවිපලය. එයින් පසු හෝර්ටන්තැන්න නැරඹීමට යෝජනා විය.
  අඹේවෙල සිට හෝර්ටන්තැන්න බලා යන අතරතුර තිබූ තැබෑරුමක් අසල වෑනය නතර කල නලින්ද 

“කිලෝමීටර් 7ක් 8ක් ඇවිදින්න තියෙනවනෙ ඊට කලින් අපිත් හීනියට පැට්රල් ටිකක් ගහ ගන්න එපැයි.” පවසමින් බැස ගත්තේය.

“ඒයි අසංකයා බැහැපන් , ඇයි උඹ එන්නෙ නැද්ද.”

“ඔලුව රිදෙනවා බන් උඹලා ගිහින් වරෙන්” අසංක පවසන විට සුජාතාට පුදුම සිතින. 

හෝර්ටන්තැන්නේ ඇතුල් වීම අසල වාහනය නැවතූ පිරිස නැරඹුම් පා ගමන ආරම්භ කිරීමට සූදානම් විය.

“අපි මේ ටික ඉවර කරලම එන්නම්” අවසන් අසුනේ සිටි නලින්ද පැවසීය.

පුතාව වඩා ගත්  අසංක අසලින් ගමන් ගත් සුජාතාට ඇත්තේ කිව නොහැකි සතුටකි. වෙනම රටක් දැයි සිතෙන තරමට පරිසරය ලස්සනය. අනෙක් අයගේ විහිලු තහලු අසමින් විනෝදයෙන් ගමනේ යෙදෙන අසංකට අමුතු මිහිරක් දැනේ. පුතුද අසංකගේ අතේ සිටින්නට වඩාත් කැමැතිය. අතේ සිටම සිනාසෙමින් උඩ පනින්නේ සතුට පිට කිරීමටය.  සුජාතාගේ සතුටද ඇයගේ සෑම ඉරියව්වකින්ම ඉස්මතු වේ යැයි අසංකට සිතේ. 



අසංක මෙතෙක් සිටියේ මිතුරන් හා මත්පැන් ටිකක් තොලගා ගැනීමට නොහැකි වීම ගැන කණගාටුවෙන් යුතුවය. නමුත් දැන් එය මගහැරීමෙන් ලැබෙන දේවල් බොහෝම යැයි ඔහුට සිතේ. පුංචි ලෝකාන්තය අසල හිඳ අවට බලමින් හොඳ හුස්මක් ගත් අසංකට තමා නිදහස්ව ඇති බවක් දැනිණි. තමා හා ගමනේ යෙදෙන අනෙක් මිතුරන් දෙස බලන විට හා ඔවුන් විදින විනෝදය දකින විට තමා සිරවී සිටියේ කෙතරම් මිරිඟුවකදැයි අසංකට සිතේ.

කිලෝමීටර් 9ක් පමණ ඇවිද්ද මුත් කිසිවෙකුට විඩාවක් ඇති බවක් දැකිය නොහැකි විය.
පැය තුනක් පමණ වෙනම රටක සිටියාක් මෙනි.

“මෙන්න මුන් ටික වෑන් එකේ නිදි!”

“අහ් උඹල ගිහිල්ලත් ආවද, අපිට කම්මැලි හිතුන. අනික ඔය කැලෑවෙ මොනව කියල බලන්නද. අඩෝ අසංක උඹ හිටියෙ නෑනෙ, අපි පට්ට ෆන් එකක් ගත්තා.” නලින්ද නැවතුමක් නැතුව කියවයි.

“හැබෑට! ෆන් එක වැඩි වෙලාද මෙතන වමනෙ දාල තියෙන්නෙ, දැන් ඉතින් වෑන් එක හෝදන්න වෙනවා ඔක්කොටම කලින්” රේනුකා පැවසූවේ කේන්තියෙන් යුතුවය.

තමාද සතුට යැයි සිතා සිටියේ මේ අප්රසන්න ජීවිතයදැයි අසංකට දැන් සිතේ.

ආපසු එන ගමන පුරාවට සුජාතාට ඉමහත් සතුටක් ගෙන දෙන්නක් විය. මග පසු වන බොහෝ දේ පෙන්වමින් අසංක දොඩමළු විය. 

“සුජා ඊයෙ දවස ගැන මට අපරාදෙ කියල හිතෙනවා, ඔයාටයි තෑන්ක්ස් කරන්න ඕනෙ මට ඇත්තටම ට්රිප් එක එන්ජෝයි කරන්න පාර පෙන්නුවට .”

සුජාතා කිසිත් නොකියා අසංකගේ උරහිසකට බර වූවේ ඔහුගේ අතක් සුරතින් ගනිමිනි. පුතු අසංකගේ උකුලේ හිඳ නොනවත්වා ගීයක් වරද වරදා ගයන්නට දඟලයි. ඒ ඇසූ ස්ජාතා හා අසංක දෙදෙනාටම එකවර සිනා පහල විය. අසංක ඇය වටා අතක් යවා තවත් තමා වෙත ලං කර ගත්තාය.

මීට වඩා තවත් සතුටක් තිබේද අසංකට සිතිනි.