Tuesday, December 15, 2015

දුස්සාධ්‍ය රෝග වලින් බේරීමේ මග


දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා.
බැලුවෙ නැති අයට  මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්
අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)

අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු 

පළමු පියවර - දුම්පානය නැවැත්වීම.

කිසිම පුද්ගලයෙක් කිසිම හේතුවකට දුම්පානය කිරීම අනුමත කරන්න බැහැ. මොකද ඒකෙන් තමන්ටද එම දුම අඝ්‍රාණය කරන්නන්ටද මරණය කැඳවීමට හේතු විය හැකි නිසා. මෙයට සිගරැට්, බීඩි වල විතරක් නෙවෙයි ඕනෑම දුම්කොල අඩංගු නිෂ්පාදනයක් ඇතුලත්, උදා: බාබුල්, සාරවිට, බුලත් විට,....

ඇයි අපි දුම්පානයෙන් වැලකිය යුත්තේ?

ලෝකයේ සිදුවන වැඩිහිටි මරණ 1/10 ක් දුම්කොළ නිසා තමයි සිදු වෙන්නෙ. 
2006 වසරේ දී දුම්කොළ නිසා සිදු වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව ලක්ෂ 54 කි.  එනම් සෑම තත්පර 6.5 කට එක මරණයකි. 
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට වන මරණ සංඛ්‍යාව 20 000 පමණ වෙනවා. (දිනකට මරණ 55 - 60) 


දුම්කොල දුමෙහි අධික ලෙස කාබන් මොනොක්සයිඩ් අඩංගු වෙනවා. මෙම කාබන් මොනොක්සයිඩ් අපගේ රුධියේ ඇති ඔක්ශිජන් රැගෙන යාමට ඇති හැකියාව අඩපණ කරනවා. මෙවිට ඇතිවෙන ඔක්ශිජන් හිඟය නිසා හදවත, පෙනහලු, මොලය, වකුගඩු ඇතුලුව බොහොමයක් අපේ අවයව වල ක්‍රියාකාරීතවය වගේම ජීව කාලයද අඩු වෙනවා.
මේ නිසා දුම්කොළ භාවිතා කරන අයට හෘදයාබාධ, අධිරුධිර පීඩනය, නහරගත ලේ කැටිති, මොලය අභ්‍යන්තර ලේ ගැලීම් හෝ ලේ නහර අවහිර වීම් වැනි රෝග තත්ව ඇති වීමේ හැකියාව ඉතා වැඩියි.

මේ කිව්වෙ සිගරැට් වල අන්තර් ගත එක සංඝටකයක් විතරයි. පහලින් පොඩි ලැයිස්තුවක් විදිහට අනෙක් සංඝටක ටික දාන්නම්. 

නිකොටින් - මකුණු මර්දන රසායනික ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනේ
තාර (Tar)- හැමෝම දන්නවානෙ පාරවල් හදන්න ගන්නෙ
ඩී.ඩී. ටී - කෘමිනාශක 
සයනයිඩ් - මාරාන්තික විසකි
ආසනික් - මි නාශක රසායනික ද්‍රව්‍ය
ෆෝමැල්ඩිහයිඩ් - මෘතදේහ කල් තබා ගැනීම.
සල්ෆියුරික් ඇසිඩ් - වාහන බැටරි වලට යෙදීම
කැඩ්නියම් - බැටරි තැනීමට යොදා ගැනේ.
ඇසිටෝන් - නිය ආලේපන ඉවත් කරන ද්‍රව්‍ය වල අඩංගු වේ. 

ලෝකෙ තියෙන විස වර්ග සියල්ල එකතු කරල පොඩි කූරකට සාන්ද්‍ර කරල දෙන දෙයක් තමයි සිගරැට් කියන්නෙ. 


•2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත මගින් පහත සඳහන් නීති පනවා තිබෙනවා.  
– අවුරුදු 21 ට අඩු තැනැත්තන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සපුරා    තහනම්‍ වේ. 
– පොදු ස්ථානයන්හි දුම්බීම තහනම්. 
– දුම්කොළ ප්‍රචාරණය තහනම්. 
– විවිධ උත්සව සඳහා දුම්කොළ කර්මාන්තයෙන් අනුග්‍රහ ලැබීම තහනම්. 

ඉහත නීති උල්ලංඝනය වනා ඕනෑම අවස්ථාවක එයට විරුද්ධව කටයුතු කිරීමේ අයිතියක් ඇති අතර එය අපේ වගකීමක්ද වෙනවා. මක්නිසාද කිවහොත්, ද්විතීය දුම්කොළ දුමාරය  මුලු සමාජයටම මාරාන්තික වන බැවිනි. ද්විතීය දුම්කොළ දුමාරය යනු අප්‍රධාන ප්‍රවාහ දුමාරය හෙවත් දල්වන ලද සිගරට් එකකින් නිකුත්වන දුමාරයි.  

දුම්කොළ දුමාරයට නිරාවරණය වීම නිසා ගැබිනි මව්වරු විසින් බිහිකරනු ලබන දරුවන්ට 
• උපත් බර අඩු වීම. 
• දීර්ඝ කාලීන ස්වසන රෝග වලට හේතුවීම 
• මල දරු උපත් ඇති වීම.  
සිදුවිය හැක.

එමෙන්ම බිළිදුන් , ළදරුවන් , ළමුන් දුම්කොළ දුමාරයට නිරාවරණය වීම නිසා 
  - හදිසි ළදරු මරණ 
  - දරුණු ස්වසන ආසාදන 
  - කර්ණ ආසාදන 
  - ඇදුම රෝග උග්‍ර වීම 
  - පෙනහලුවල වර්ධනය අඩාල වීම 
  - පිළිකා 
 යන තත්ව ඇති වෙන්න පුලුවන්

යම් අයෙකු දුම් බීම නවතා දමන මොහොතේ පටන් ඔහුගේ/ඇයගේ සිරුර යළි යථාතත්වයට පත් වීම ආරම්භ වෙනවා,
දුම්බීම නවතා වසරක් ගත වන විට රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැලදිමේ අවදානම දුම්බොන අයෙකුට වඩා 50% අඩු වෙනවා.

දෙවන පියවර - මත්පැන් පානය නැවැත්වීම 

මේ පිළිබඳව අද සමාජයේ කෙතරම් කතා බහට ලක් වුවත් මෙහි බරපතල බව කිසිවෙකු අවබෝධ කර ගන්නා බවක් දකින්න බැහැ.
ඍජුවම මත්පැන් නිසා ඇති වන රෝග තත්ව කිහිපයක් 
  • අධිරුධිර පීඩනය 
  • මත්පැන් නිසා ඇතිවන ස්මරණ ශක්තිය අඩපණ වීම (Alcohol Dementia)
  • අක්මාව ක්‍රියා විරහිත වීම (Liver Failure)
  • අක්මාව ආශ්‍රිත පිළිකා
  • ලිංගික බෙලහීනත්වය හා මදසරු බව (Impotence & sub fertility)

මත්පැනෙහි ආදීනව අපි කලින් ලිපියක සවිස්තරාත්මකව කතා කලා. පහල යොමුවෙන් ඒම ලිපිය සොයා ගන්න පුලුවන් වේවි.

මත්පැනෙහි හපන්කම්......!


මත්පැන් නිසා පවුල් ජීවිතය ඉරිතලා යන ආකාරයත් පහත කතාවෙන් තේරුම් ගන්න පුලුවන්.

(නො)දුටු සතුට


ඉතිං කෙටියෙන් කිව්වොත් බෝ නොවන රෝග වලින් වැලකීමට මත්පැන් වලින් තොර වීම අනිවාර්ය වෙනවා.

දුම්බීම හා මත්පැන් ගැන කවුරු කුමන තර්ක ගොඩනැහුවත් සියලුදෙනාම මේ දෙකම ගොඩක් අහිතකර පුරුදු කියන එක හොඳාකාරව දන්නා දෙයක්.
අවශ්‍ය වෙන්නෙ ඍජු තීරණයක් පමණයි. 
මේ පුරුදු දෙක අත හැරියොත් මොනවද අපට ලැබෙන්නෙ?

  • නිරෝගී බව සමඟ වැඩි ආයු කාලයක්.
  • පවුලේ සාමාජිකයන් හා ඇති එකතුව ආදරය වැඩි වීම.
  • අවම ඔබට මසකට 5000කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ.
  • සමාජය තුල ඔබ පිළිබඳව ගෞරවයක් පිළිගැනීමක් ඇති වේ.


හිතල බලන්න අපි සෑමදා වෙහෙසෙන්නෙ ඔය ඉහල සඳහන් කල දේවල් දිනා ගන්න නේද? ඉතින් ඇයි අපිම අපේ ජීවිත විනාශ කර ගන්නෙ?

19 comments:

  1. කොච්චර හේතු තිබ්බත් වැඩක් නෑ... බොන එකා බොනව.... මං නං කෙලින්ම කියනව අපිට දුං පොවන්නෙ නැතුව කොහෙට හරි ගිහින් ඇති වෙනකං බීලා මැරෙන්න කියල.. මොකද ඔය දුං පානයෙ ආදීනව නොදැන නෙවෙයිනෙ බොන්නෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෞශි!
      කියනකොට කියනකොට එකෙක් හරි හැදෙයිනෙ කියල හිතෙනව.

      හා නැද්ද අටම්?

      Delete
  2. අපේ සහයෝගයට සීයට සීයක්....... අනික් උන් මොනවා කිව්වත් උඹ හරි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු!
      සමාගම් වල යෝධ ප්‍රචාරක උපායමාර්ග වලට මෙහෙම හරි විරෝධයක් තියෙන්න ඕනැ,

      Delete
  3. ගිමන් කාලෙකින් ඇවිත් ..ලියල තියෙන්නෙත් වැදගත් පෝස්ටුවක් :) බලෙන් ජිවිතේ විනාශ කරගන්න ඕනනම්, ඉක්මනින් මැරෙන්න කෙසේ වෙතත් විඳවල මැරෙන්න කාට හරි ඕනනම් ඉතින් බීවට කමක් නැහැ ..අපි කොච්චර කිවත් හැදෙන්නේ නැති මිනිස්සු ඉන්නවනෙ.අපරාදේ ඉතින් ඒ මිනිස්සුන්ට ආදීනව තෙරෙද්දී කල් වැඩි අර ගිමන් මුලින් දාල තියන පින්තුර දෙක තුනක් දැක්කම ඇති මිනිස්සුන්ට තේරෙන්න ...අනේ මන්ද අයි මේ දේවල් දැන දැනත් තාමත් මිනිස්සු බොන්නේ කියල :/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි!
      කාලෙකින් ලියන්න වෙලාවක් ලැබුණේ.
      අපිට නොපෙනුනාට මේ පුරුදු වලින් ඈත් කරවනවාට වඩා ඒවාට යොමුකරව ගන්න තියෙන සියුම් උපක්‍රම වැඩියි. පුලුවන් තරම් අපි ආදරේ කරන අයව වත් බේර ගන්න උත්සාහ කරන්න ඕනෙ.

      Delete
  4. දුම් පානයට මාත් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලි. මේ විරුද්ධත්වය හැමෝටම හොඳක් වෙන්න උදව් වෙන දෙයක්.

      Delete
  5. දුම් පානය ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. එත් මත් පැන් ගැන නම් මන් හිතන්නේ ලංකාවේ තිබෙන්නේ තලේබාන් ආකල්පයක්. දවසේ වැඩ ඉවර වෙලා මත් පැන් වීදුරු කිහිපයක් (වැටෙන තුරු නොවේ) පානය කරන ජාතින් කීපයක් සමගම මම වැඩ කර තිබෙනවා. පවුලේ අය රාත්‍රී කම මේසයේ එකට මත්පැන් තොලගාන ජාතීනුත් ඒ අතර වෙනවා. අපේ රටේ විසේශ්ත්වය වෙන්නේ කාන්තාවන් මත් පැන් පානය නොකලත් පිරිමි වැටෙන තුරුම මත් පානය කිරීම. මෙහේතුවෙන් ඇතිවන ගැටීම ඔබේ කලින් ලිපියේ සදහන් වෙන්නේ. මෙයට සංස්කෘතික ගැටුමට නම් ඉතින් පිළිතුර අද්‍යාපනය හා අවබෝධය පමණයි. අනික සෞක්‍යය. දැනුවත් මත්පැන් පානය කරන්නන් බොහෝවිට අහාර අනුබහවයෙන් පසුයි කරන්නේ. එත් අපි කුසගින්නේ පානය කරලා වැඩි වෙරි පරමනයක් ගන්නයි හදන්නේ. අන්තිමට වෙරි වැඩි වුනාම නොකාම දොයි. මේවත් සෞක්‍ය ගැටළු මතු කරනවා ඒ වගේම ඔවුන් නිතර වැනි එන්සයිම අනුපාතයන් නිරීක්ෂණය කරනවා. අපි රෝගයක් එන තුරුම නිමක් නැතුව් බොනවා. රැකියාවන් ඇදුම් පැළදුම් සහ ජීවිත රටාව බටහිර කරණය වෙනකොට, මිනිස්සු වෙනස් වීම සාමාන්‍යයි. ලංකාවේ ඇත්තටම කරන්නේ මත් පැන් වලින් ලොකු බදු ගහල සල්ලි එකතු කර ගන්න එක. කවුරුවත් ගුණාත්මක භාවය ගැන කතා කරනේ නැහැ. නමුත් මත්පැන් පානයට වැඩිය අපේ මත්පැන් වල ගුණාත්මක බව ඉතා පහල මට්ටමක තිබීම තමයි බොහෝ රෝගවලට නම් හේතුව. බොහෝ විට බාර් හිමියන් මත්පැන් වලට කසිප්පු මිශ්‍ර කරනවා. ඒවායේ තඹ වැනි විෂ ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒවගේම අල්ඩිහයිඩ ප්‍රමාණයත් වැඩියි. සමහර විට වැඩි ප්‍රමාණයක් මීතයිල් මද්‍යසාර අඩංගු වෙන්නත් පුළුවන්. මන් නම් හිතන්නේ මත්පැන් වලට බදු ගහල භාවිතය අඩු කිරීමෙන් බලාපොරොත්තු වෙනවට වැඩිය ගුණාත්මක භාවය ඉහල දැමීමෙන් සෞක්‍ය ප්‍රශ්න අඩු කිරීම පහසුයි. ඒවගේම පොල් තල් කිතුල් වැනි අපට අවේනික මද්‍යසාර ඉහල පරමිතියකින් නිපදවනවා නම් ප්‍රංශ වයින් ස්කොට් විස්කි වගේ හොද වෙළද පොලක් ලෝකයේ නිර්මාණය කරගත හැකි අවස්ථාවක් ලෝකේ තවමත් තිබෙනවා. පොල් නොමැති රටවල මිනිස්සු පොල් වලින් කරන නිෂ්පාදන වලට බොහොම මනාපයි, ඔබේ කලින් ලිපිය ගැන- මද්‍යසාර අම්ලයක් ලෙස හැසිරෙන අවස්ථා සාපේක්ෂව ඉතාම අඩුයි. සාමාන්යෙන් එතිල් වැනි ප්‍රථමික මද්‍යසාර ජලීය ද්‍රවනයන් බොහෝ විට භාශ්මිකයි. නමුත් මද්‍යසාර අමශයික යුෂ ස්රාවයේ ආම්ලික තව වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි! ගොඩක් විස්තර එකතු කරල තියෙනවා.
      ගොඩක් මගේ ලිපි වලට එකතු කර ගන්නේ වෛද්‍ය පීඨයේදී භවිතා කල පොත් පත් වල විස්තර හා නූතන පර්යේෂණ වාර්තා වල සමහර කරුණු. මේ පොත්පත් බොහොමය ක්ම මත්පැන් සමාජගත වූ යුරෝපීය රටවලින් ලියැවුනු පොත්. එම පොත්වල සඳහන් වන්නේද මම ඉහත සඳහන් කල රෝග වලට මුල මත්පැන් බවයි.
      කෙසේ නමුත් පැහැදිලි වෛද්‍ය උපදේශය වෙන්නෙ මත්පැන් වලින් තොර වෙන්න කියන එක. මොකද මත්පැන් වලින් වැලකීමෙන් හොඳක් මිසක් නරකක් නොවන නිසා.

      Delete
  6. මත්පැන් වලින් වැළකීම නරක දෙයක් නොවෙයි. එය ඉතාම හොද දෙයක්. එත් වලකින්නම කියන වෛද්‍ය උපදේශය පැහැදිලිව ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ විශේෂිත තත්වයන් අනුව. ලංකික වෛද්‍ය වරුන්ගේ පවා ඇල්කොහොල් ගැන තිබෙන්නේ තරමක තලේබාන් ආකල්පයක් මිසක් විවුර්ත එකක් නොවේ. ඒ වගේම ඇල්කොහොල් ප්‍රිය කරන සමහර රටවල සමහර පුද්ගලයන් තමන්ගේ සිරුරේ ඇල්කොහොල් ජීරණය සඳහා අවශ්‍යවන ප්‍රධාන එන්සයිම් ක්රිකාරීතාවය පවා පරීක්ෂා කරගන්නවා. වසරකට වරක්වත් SGOT/SGPT පරීක්ෂා කරගනන්ව. මම හිතවා ඔබ වෛද්‍ය පීඨයකට සම්බන්ධ නම් ඔබට මගින් මේ ජර්නලයන්ට පහසුවෙන් ඇතුළු විය හැකිය කියා.

    http://www.journals.elsevier.com/alcohol/ (ISSN: 0741-8329)

    http://www.niaaa.nih.gov/publications/journals-and-reports/alcohol-research

    Alcoholism: Clinical and Experimental Research (Online ISSN: 1530-0277)

    A good material to read -from Department of Pathology, Thomas Jefferson University, Philadelphia, Pennsylvania and this already got two citations in the same journal and Addiction journal DOI: 10.1111/acer.12585

    මේ කරුණු ඔබට දක්වන්නේ ඔබේ නුතන පර්යේෂණ පත්‍රිකා කියවන වෛද්‍ය වෘත්තිකයෙකු නිසා මේවා දන ගැනීමට ඔබ කැමති යයි සිත මිසක්, මත්පැන් පානය නොකරන අයෙකුට එය කිරීමට දිරිගැන්වීමට නොවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම වැදගත් පර්යේෂණ වාර් තා ගණනාවක් තියෙනවා. ගොඩක් ස්තූතියි.

      නමුත් ඉතා සරලව බැලුවහොත් මත්ද්‍රව්‍ය ප්‍රමාණ කිරා මැන බලමින් තම සිරුරේ එන්සයිම මට්ටම් නිරතුරු පරීක්ෂා කරමින් මත්පැන් භාවිතා කිරීමට වඩා එයින් වැලකී සිටීමෙන් ලැබෙන ප්‍රතිලාභ වැඩියි නේද?

      Delete
  7. මම හිතන්නේ මම එවූ DOI 10.1111/acer.12585 එක සබඳි ලිපිය ඔබ තවම කියෙව්වේ නැහැ වගේ. DOI: 10.1111/acer.12585

    ඔන්න ඔබේ පහසුවට වෙබ් සබ්න්දිය එව්වුවා.

    http://onlinelibrary.wiley.com/doi/10.1111/acer.12585/full

    E. Rubin, To Drink or Not to Drink: That Is the Question, Clinical and Experimental Research Volume 38, Issue 12, pages 2889–2892, December 2014.

    සරලව බැලීමත්, අසමබරව බැලීමත් කියන්නේ එකම දේ නොවෙයි මන් නම් හිතන්නේ. ඔබේ සරලව නොදකින ගොඩක් හේතු මෙහි දැක්වෙනවා.

    මීට වඩා මේගැන කරුණු දක්වන්න මම කැමති නැහැ. මොකද වෛද්‍යවිද්‍යාත්මක දැනුමක් නැති කෙනෙක් මේ කරුණු වැරදියට වටහාගෙන මත්පැන් වලට යොමු විය හැකි නිසා. ඔබ කැමති නම් පමණක් මත පන් ගැන නුතන විද්‍යා පර්යේශන කියවා බලන්න. ඔබට ජර්නලයන්ට ඇතුලත් විය නොහැකි නම් වෛද්‍ය පීටයේ HINARI විවුර්ත අන්තරජාල ගිණුම බවිත කල හැකි වේවි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අසමබර වෙලා හරි කවුරුන් හෝ මත්පැනින් වැලකෙන්න තීරණය කලොත් ඒකෙ ලාබය කාටද? ඒ මිදෙන කෙනාටම නේද? ඔබ කියල තියෙනවා වගේ මේ කතාබහෙන් කවුරුන් හෝ නොමග ගියොත් ඒක අපරාධයක්. අවම හානියක් සහිතව මත්පැන් පානය කරන්න පුලුවන්ද කියන එක පහත විද්යුත් ලිපිනය හරහා කතා කරමු.
      gimanhalablog@gmail.com

      මත්පැන් අපට අත්‍යවශ්‍ය දෙයක්ද? නෑ නේද? ඉතිං ඒකෙන් වලකින එක නරකද?

      Delete
    2. මම හිතන්නේ ඔබ තවමත් Prof. Rubinගේ පර්යේෂණ පත්‍රිකාව කියවා නැහැ. ඔබ කියෙව්වාට පසු ඔබ කැමති නම් අපි ඒ ගැන සංවාද කරමු. ඇත්තටම දැනට මීට ලැබී ඇති සයිටෙෂන් පවා ලැබී ඇත්තේ ඔවුන් පෙන්වාදෙන කරුණු නිසා. ඔබ එය කියවීමට පවා අකමැති කෙනෙකු නම් ඔබ සමග කතා කිරීමන් පලක් තිබෙනවාද යන්න අවිශ්වාසයි. ඔබ එය කියවන්න කැමති වුවත් ඔබට එය ලබාගත නොහැකි නම් මා ඔබට එම ලිපිය එවන්නම්. එසේ නොවේ නම් මට ඔබ සමග වාද කිරීමට වුවමනාවක් නැහැ. මේ දිනවල මම මේ සම්බන්ධයෙන් සන්නිවේදන පර්යේෂණ පත්‍රිකාවක් (communication) පිළියෙළ කරමින් පවතිනවා. මා බලාපොරොත්තු වෙනවා එය ඉක්මනින් පල කරගත් හැකි වේවි කියා. සාර්ථක වුවහොට් මම ඔබට පිටපතක් එවන්නම් . ඔබේ බ්ලොග් අඩවියේ බොහෝ හොද කරුණු පලවෙනවා. මම ඔබේ සේවය අගය කරනවා. එමෙන්ම මම කැමතියි ඔබ ගැස්ට්‍රයිටිස් රෝගය තිබෙන අයෙකුට බර අඩු කරගන්නා ආකාරය පැහැදිලි කරනවා නම්. ශුන්‍ය ශක්ති ප්‍රමාණයක් ඇති ආහාර (zero energy foods) ලංකාවේ නොමැති නිසා මෙය තවම ඔවුනට විශාල අභියෝගයක් යයි මම සිතනවා.ඔබට ජය සහ නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා.

      Delete
    3. ස්තූතියි! දැනුම කියන්නෙ කෙතරම් ලැබුවත් ඇති නොවන දෙයක්. ඔබේ සංවාදයට මා ඉතා කැමතියි. ඉහත විද්යුත් ලිපිනය හරහා මා අමතාවි යැයි මා බලාපොරොත්තු වෙනවා.

      "ගැස්ට්‍රයිටිස් රෝගය තිබෙන අයෙකුට බර අඩු කරගන්නා ආකාරය"
      ඉහත යෝජනාව වටිනවා. ඉඩ ඇති විට මා ඒ පිලිබඳ ලිපියක් ලියන්නම්.
      හැකි නම් ඔබ ලඟ මීට අදාල ඇති නවතම තොරතුරු ලබා දෙන්න.

      Delete