Tuesday, July 28, 2015

අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)



මේ දිනවල පවතින වයිරස් සෙම්ප්‍රතිශ්‍යා රෝගී රැල්ල නිසා බාහිර රෝගී අංශය තරමක් දුරට ඒකාකාරීය.
එම ඒකාකාරීත්වය බිඳිමින් රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත ඇතුලු වූවේ බැලු බැල්මට රෝගී බවක් නොපෙනෙන මැදිවියේ අයෙකි.
වයස හතලිහක් පමණ වෙතැයි සිතුවද මෙවර මාගේ අනුමානය මදක් වැරදී තිබණි. බාහිර රෝගී තුන්ඩුවේ සඳහන් වූවේ වයස 36ක් ලෙසය.

"ඩොක්ටර් ටික දවසක ඉඳන් ඇඟට කිසිම ෆිට් එකක් නැහැනෙ, හිටපු ගමන් ඔලුව බර ගතියකුත් එනවා, වෙලාවකට හොඳටම දාඩිය දානවා."

වයස් සීමාවට තරමක් ආගන්තුක වුවද, ඔහුගේ රෝග ලක්ෂණ විස්තරයේ වුවේ නිදන්ගත රෝගයක ලකුණුය.

"ටික දවසක් කිව්වෙ?" 

"ඇත්තටම මාසයක් දෙකක් විතර වෙනවා, මුලින් එච්චර ගණන් ගත්තෙ නෑ, ඒත් දැන් ටිකක් වැඩියි වගේ"

අද කාලේ ලෙඩක් ගැනවත් හිතන්න වෙලාවක් නොමැති බව ඒ වචන කීපයෙන්ම තේරෙනවා.

ගොඩක් කල් තියෙන කැස්සක්, උණ ගතියක්, කෑම අරුචියක් වගේ දේවල් එහෙම තියෙද ..... ... අත්‍යවශ්‍ය විමසීම් කීපයක් කලද වෙනත් විශේෂ පැමිණිල්ලක් නොමැත.

සිගරැට් එහෙම?

"සිගරැට් නම් දවසට තුනක්වත් පෙවෙනවා ඩොක්ටර්!"
රස්සාවෙ හැටියට ඉතින් නිතර බිස්නස් පාටි වැටෙනවා එතකොට ඉතින් බියර් ටිකක් පෙවෙනවා"

සුපුරුදු නිදහසට කරුණු සමඟ ඔහු ඇත්තම පැවසීය. ඔහුගේ රෝගී තත්වය ගැන ඉඟි ගණනාවක් පැහැදිලිව දැකිය හැක.

"අපි පොඩ්ඩක් පෙශර් එක බලමුද?

අනුමානය නිවරැදිය, ඔහුගේ රුධිර පීඩනය 150/100 Hgmm වේ.

"බරත් පොඩ්ඩක් බලමු."

"කිලෝ 74ක්,

උස?

අඩි 5යි අඟල් 5යි ඒ කියන්නෙ මීටර් 1.63ක් විතර, ඔහුගේ ශරීර ස්කන්ධ දර්ශකය 28 ක්. තරබාරු කියන ගොඩට වැටෙන්න ලඟයි.

බර ටිකක් වැඩියි නේද?

"ඔව් ඩොක්ටර්, ගොඩක් වෙලාවට පිටින්නෙ කන්නේ, තෙල් කැවෙනවා වැඩියි. ජිම් එකකට යන්න කියල ඉන්නෙ."

වරදක් කියන්න බැහැ අපි ගොඩක් දෙනෙක් ඇගේ බර මහත වැඩි වුන දවසේ ඉඳන් හිතාගෙන ඉන්නෙ ඔහොමනේ, බාල ගිරි දෝෂය වගේ තමයි.
හැබැයි අපේ ඇඟ නම් එච්චර කල් ඔරොත්තු දෙන්නේ නැහැ.

පෙනී යන ආකාරයට මොහුට අධි රුධිර පීඩනය පවතී. ශරීර ස්කන්ධ දර්ශකයද ඉහල අගයක් වන බැවින් මෙම රෝග වල නිවුන් සහෝදරයන් වන දියවැඩියාව හා 
රුධිරගත මේද ප්‍රතිශතය ඉහල යාමද තිබීමට ඇති හැකියාව ඉහලය.

"පෙශර් එක නම් වැඩියි, ලේවල සීනි , කොලෙස්ටෙරෝල් ප්‍රමාණ බලන්නත් වෙනවා."

මේ දවස් වල නම් ගොඩක් බිසී ඩොක්ටර්, මම ලබන සතියෙ වගේ බලාගෙන එන්නම් දැනට බෙහෙත් මොනවා හරි දෙන්න"

කුමක් පවසම්දැයි සිතා ගත නොහැකිව මදක් නිහඬව සිටියෙමි.


"මෙහෙමයි, ඔය කියන අමාරුකම් එක්ක, බරත් වැඩි කෙනෙක්, පෙශර් එක මේ තරම් තියෙද්දි පුලුවන් ඉක්මනින් මේ ටෙස්ට් ටික කර ගන්නවා නම් හොඳයි.
මම නම් කියන්නෙ හෙටම ටෙස්ට් ටික කරල පෙන්වන්න. කොහොමත් දවසක් ඇර දවසක් වත් පෙශර් එක බලාගෙන ලකුණු කර ගන්න ඕනෑ."

අඩු වයසකදී රුධිර පීඩනය ඉහල යාම වැඩි අවදානයක් දිය යුතු තත්වයක් බැවින්ද ඔහු මෙය නොසලකා හැරීමට ඉඩවැඩි බවක් හැඟී ගිය නිසා. රෝගි තත්වය මදක් බරපතල ලෙස විස්තර කර උපදෙස් දීමට සිදුවිය.

~  ~  ~  ~  ~  ~  


ඔන්න තවත් ලිපි කීපයක් ඔස්සේ කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අද පටන් ගන්න යන්නෙ. 

"බෝ නොවන රෝග" 

මොනවද මේ? හරිම සරලයි.

තවත් කෙනෙක්ගෙන්, එහෙම නැත්නම් බාහිර පරිසරයෙන් සිරුරට ඇතුළු වන රෝග කාරකයක් හේතුවෙන් හට නොගන්නා රෝග.
තවත් විදිහකින් කිව්වොත් අපේ සිරුර තුලම හට ගන්නා රෝග. මේවා නිදන්ගත රෝග නැත්නම් දුස්සාධ්‍ය රෝග ලෙසත් හදුන්වන්නත් පුලුවන්.

වැඩි දෙනෙක් මේ ගැන දන්නේ නැති වුනත්, අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි බරක් පැටවෙන්නෙ මේ බෝ නොවන රෝග වර්ගයට අයත් රෝග සඳහා,


බෝවෙන රෝග මර්දනය මගින් මාතෘ හා ළමා සෞඛ්‍යය දියුණු කිරීම මගින් සහ එන්නත් කිරීම  යන ක්‍රියාමාර්ග මගින් වැළැක්විය හැකි  රෝග පාලනය කිරීම පිළිබඳව විශාල ප්‍රගතියක් නිදහසෙන් පසු ලංකාව ලබා ගෙන තියෙනවා. නමුත් වර්තමානයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව වෙලා තියෙන්නෙ බෝවෙන රෝග අභිභවා බෝ නොවන නිට්ටාවට සුවකළ නොහැකි (නිදන්ගත) රෝග ඉස්මතු වීමයි. මේ නිසා සෞඛ්‍යය සඳහා වන සම්පත් බෝනොවන රෝග ප්‍රතිකාර සඳහා වැඩි වශයෙන් යොදවන්න සිදු වෙලා තියෙනවා.
නාගරීකරණය,  ජීවන රටා වෙනස්වීම වසංගතයක් සේ ඇතිවී තිබෙන මේ විශාල විපර්යාසයට ප්‍රධාන හේතු කාරක වශයෙන් දක්වන්න පුලුවන්.

2001 දී ලංකාවේ සිදු වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් 71% බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන් සිදු වීඇති අතර, අනතුරු හේතුවෙන් 18% ක් ද, බෝවෙන රෝග සහ මාතෘ හා පූර්ව ප්‍රසූති හේතූන් නිසා 11% ක් ද සිදුවී ඇත. 1991-2001 කාලය සඳහා වයස් ආකාරයට ප්‍රමිතිකරණය කළ දත්ත අනුව බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන්, ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව බොහෝ සංවර්ධිත රටවලට වඩා 20% - 30% ප්‍රමාණයකින් වැඩි ය (වයස්ගතවීම් පිළිබඳ ලෝක බැංකු අධ්‍යයනය, 2008)

මේ බොහොමයක් රෝග අපි හොඳින්ම දන්නවා. ඒවායින් කිහිපයක් කිව්වොත්, 

  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • රුධිරගත මේද ප්‍රතිශතය ඉහල යාම 
  • ඇදුම
  • කිරීටක හෘදරෝග
  • මස්තිෂ්ක වාහිනී රෝග



මේවායින් ප්‍රධානතම රෝග තුනක් ගැන මීට ඉහත අපි සවිස්තරාත්මකව කතා කලා. පහල යොමුවෙන් ඒ ලිපි කියවන්න පුලුවන්
1. දියවැඩියාව - සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක්
2. කිරීටක හෘදරෝග - ගිලන් හදවතට අත්වැලක්
3. ඇදුම - හුස්ම පොද උදුරන ඇදුම රෝගය (Asthma)


අද මම කියන්න යන්නෙ මේ  සඳහන් කල බෝ නොවන රෝග හදා ගන්නෙ නැතුව ඉන්න අපි මොකක්ද කරන්න ඕනෙ කියන එක.
ඒකට මම උදව් කර ගන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වලා දීල තියෙන යහපත් ජීවන රටාවක් ඇති කරලීම සඳහා වන මග පෙන්වීමක් (Lifestyle Modification Guide for Primary Health Workers) යන උපදෙස් මාලාව.

මෙම රෝග වලට බලපාන සාධක කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

1. වෙනස් කල නොහැකි සාධකය

  • වයස 
  • ස්ත්‍රී/පුරුෂ භාවය 
  • ජාතිය 
  • පවුල් ඉතිහාසය 
  • ජාන පසුබිම 


2. වෙනස් කළ හැකි සාධක 

  • වැරදි ආහාර රටාව 
  • අඩු ශාරීරික ක්‍රියාකාරී බව 
  • දුම්බීම 
  • අධික ශරීර බර/ස්ථුලතාවය 
  • මානසික ආතතිය 
  • මත්පැන් පානය 



වෙනස් කල හැකි සාධක දිහා බලනවිට පේනවා නේද ඒ ඔක්කොම වගේ අපේ නරක පුරුදු නිසා ඇති වුන දේවල් කියල.
ඉතින් මෙන්න මේ වැරදි පුරුදු අත්හරින අතරම බෝ නොවන රෝග වලින් බේරෙන්නෙ කොහොමද කියන එක පියවර 11 කින් අපි කතා කරමු.
  
ඒ පියවර 11 වෙන්නේ 


  1. දුම්පානය නැවැත්වීම.
  2. මත්පැන් පානය නැවැත්වීම 
  3. නියමිත ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීම.
  4. දිනපතා සිරුරට හොඳින් ව්‍යායාම ලබාදීම
  5. වැඩි වශයෙන් එළවළු හා පලතුරු ආහාරයට ගැනීම. ( Five servings per day)
  6. දිනකට ආහාර වලට එකතු කරන ලුණු ප්‍රමාණය දිනකට තේ හැන්දක් දක්වා අඩු කිරීම.
  7. සීනි භාවිතය හැකි තරම් අඩු කිරීම.
  8. මේදය අඩංගු ආහාර ගැනීම හැකිතාක් අඩු කිරීම.
  9. මානසික සෞඛ්‍යය හැකිතාක් නිරෝගීව තබා ගැනීම.
  10. ඔබගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව මනා අවබෝදයක් තබා ගැනීම.
  11. ඔබට ලබා දෙන ප්‍රතිකාර හා උපදෙස් නිවැරැදිව පිළිපැදීම.



මෙම පියවර 11 නිවරැදිව පිළිපැදීම මගින් බෝනොවන රෝග වලින් වැලකීමට වැඩි හැකියාවක් ලැබෙනවා.
මේ එක් එක් පියවරයන් පිළිබඳව අපි ඊළඟ ලිපි වලින් වඩාත් විස්තරාත්මකව කතා කරමු.

10 comments:

  1. හරිම වැදගත් ලිපියක් ගිමන් පුතා. අද අපිත් මේවායින් පීඩා විඳිනවා. ගොඩාක් පින්. අදත් මෙය මම අනෙක් අයටත් බලන්න දානවා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දි!
      මේ ලිපි පෙලේ ඊලඟ ලිපියෙන් ඉක්මනට හමු වෙමු.

      Delete
  2. ගිමන්. ඔය serving එකක් කියන එක අපිට තේරුම් ගනන් පුලුවන් හැට්යට කියන්නකෝ අර ඔයා වතුර වීදුරුවක් කියන්නේ ඇත්තෙන්ම මිලි මීටර් කීයක්ද කියලා කලින් පෝස්ට් එකක පැහැදිලි කලා වගේ.
    ඕක කෑම ඇසුරුම්වල නිතරම දකින්න තියෙන වචනයක්

    ReplyDelete
    Replies
    1. කියනවා කියනවා!
      මේ පටන් ගැන්ම විතරයි ඩූඩ් අයියා.
      අන්තිමට කියල තියෙන පියවර 11 ගැන වෙන වෙනම විස්තර ඇතුව කතා කරමු ඉස්සරහට.

      Delete
  3. වැදගත් කතාවක් ඒත් අනේ මංද... අපේ අයව බය කරන්න ටිකක් ආරළු බූරළු දාල කියන්න ඕන
    ඒත් එහෙම කියල ඒ යකා වෙන ඩොකෙක් ගාවට ගියොත් එහෙම ඒ ඩොක් කියනව අනේ ඕව බොරු කතා කියල එතකොට අරූ අරව තබේකට ගනං ගන්නෑ
    ඕව ඔක්කම බලන්න එපැයි
    උසට හරියන බර හොයන්නෙ කෝමැයි ගිමන්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අපේ කට්ටිය හැමදේම කරන්නෙ අන්තිම මොහොතෙ.
      උසට හරියන බර ගැනත් ඉස්සරහට කතා කරනවා. එතකල් කෙටියෙන් කිව්වොත්.
      තියෙන්න ඕනෙ වැඩිම ශරීර ස්කන්ධ දර්ශකය 25 කියල ගත්තොත්. 25 වැඩි කරන්න ඕනෙ උසේ (මීටර් වලින්) වර්ගයෙන්. එතකොට ලැබෙන අගයට බර අඩු කර ගන්න.

      Delete
  4. බොහොම වැදගත් ලිපියක් ගිමන්... ලෙඩක් හැදෙන්න කලින් ඒ ගැන දැනුවත් වෙලා වලක්වගන්න එකනේ වැදගත්...

    ReplyDelete
  5. බොහොම වැදගත් ලිපි පෙලක්.
    අපි ඉතින් දැනගෙනම ගිහින් වලේ වැටෙන එකනේ කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම මුල ආශාවයි, ටිකක් මොලේ පාවිච්චි කලොත් ගොඩක් ලෙඩ රෝග වලින් බේරෙන්න පුලුවන්.

      Delete