Friday, May 15, 2015

තෘප්තිය


තව බොහෝ දුර යා යුතුය ....

සියලු අංගෝපාංගයන්ගෙන් යුක්ත මොන්ටෙරෝ රථය පැදවීම කිසිඳු වෙහෙසකර කටයුත්තක් නොවුනද නිරන්තර සිත රැඳී අතෘප්තිකර බව ඔහුව වෙහෙසකරවයි. ඇස් දෙඅත් දෙපා වාහනය හොදින් හැසුරුවද සිත නම් එක් තැනක නොවීය, එය අතීතය අවුස්සමින් හේතූන් සොයයි.

යන්තම් කරඳඩු උස් මහත් වූ වයසේ සිට ඔහුව පෙලුවේ මේ අතෘප්තිකර බවමය. ඉන් මිදීමට ඔහු නොකල දෙයක් නැත, මුලින්ඔහු සිතුවේ තමාට ඇත්තේ මුදල් ඉපයිමේ ආසාව කියාය. නොයෙක් අකාරයේ ව්‍යාපාර කරමින් මුදල් එක් රැස් කලද සිත තෘප්තියට පත් නොවිනි.
කෝටි ගණනක් වැය කරමින් රජ මැදුරක් වැනි නිවසක් තැනීය, දකින දකින ගෘහභාණ්ඩ ගෙනැවිත් එය පිරවීය ඒවායින් සැපහසුව ලැබුනද සිතට තෘප්තියක් නම් නොලැබිණ.තමාට ඇත්තේ තනිකම පාලුව යැයි සිතූ ඔහු සිය සිතැඟි පරිදි රූ සපුවෙන් යුතු යුවතියක් විවාහ කර ගත්තේය. දිවියට සවියක් සමඟ හවුල් කරුවෙකු ලැබුනද සිත තෘප්තිමත් නොවීය. නොකෑ කෑමක් නැත, කෙතරම් රසවත් ආහාර ගත්තද සිතේ අඩුවක් පවතී. 
අවසානයේ ඔහු දේශ දේශාන්තරයේ යෙදෙන්නට විය. ලොව වටා යමින් විවිධ දේ අහන්නට දකින්නට වුවද සිතට නම් සම්පූර්ණ සුවයක් නොදැනින.

අවසානයේ ඔහු යලි සිය රටට පැමිණියේය. තම නිවස වෙත යන ගමනේ ඔහු කල්පනා කලේ තමාට මගහැරුනේ කුමක්ද යන්නය.

කෙමෙන් නගර බද පෙදෙස පසු කරමින් එන අතර මග ඔහු සිතු විලි වලින් මිදී ගියේ කිසිවෙකු වාහනයට පනින්නට මෙන් පාරට එනු දැකීමෙනි. ඇය, වයස අසූවක පමණ වියපත් කාන්තාවකි. වාහනය දෙසට අතේ ඇති යමක් පෙන්වයි. ඔහු වාහනය නැවතූවේ කේන්තියෙන්ද යුක්තවය.

"මැරෙන්න හදනවද?"

"මහත්තයෝ ගොටුකොල මිටියක් ගන්න, හවස ගලෝපුවා!"

දහවලේ සිට ගිණි අව්වේ පිච්චෙමින් සිට ඇති බව ඇගේ කලු පැහැගැන්වුනු මුහුණ සාක්ෂි දේ, ඇටකටු පෑදුණු සිරුර ගිලීගිය දෙනෙත් හා දෙකොපුල් ඇයගේ දුෂ්කර ජීවිතයේ මං සලකුණු වැනිය. මදක් ඇරුණු මුවින් යුතුව ඇය ඔහු දෙස බලා සිටින්නේ ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද යන්නය. රාත්‍රී ආහාරය තීරණය වන්නේ ඒ මතය.

පාර අයිනේ එලා ඇති ගෝනි කඩමාල්ලක් මත ගොටුකොළ මිටි හත අටක් දැකිය හැක. 

"කීයද එකක්?

"රුපියල් 25යි මහත්තයෝ, හරි ගුණයි මේව.. දෙන්නද මිටියක්? 
ඇගේ දෑස දීප්තියෙන් බබලයි.

"හම්ම්... අර ඔක්කොම දෙන්න."

"ඔක්කෝම? ඉන්න මහත්තයෝ මම වතුර ටිකකුත් ඉහලම අහුරල දෙන්නම්. "

ලැබෙන්නට යන වාසිය ගැන සතුටටදෝ වයසට නොමැති තරමේ කඩිනමින් ඇය ගොටුකොළ මිටි ටික කවරයට අඩුක් කලාය.

"මිටි දහයටම රුපියල් දෙසීයක් දෙන්නකො මහත්තයෝ" 

"එහෙමද?  මෙන්න..."

ඔහු දික් කල සල්ලි කොලය අතට ගෙන බැලූ ඇයගේ ඇස් විශාල විය.

"අනේ මහත්තයො, පන්දාහක් මාරු නැහැනෙ" පවසමින් බැලූ ඇයට දැකිය හැකි වූයේ ඈත පිටත් වන ඔහුගේ රථයයි.

"අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනැ මෙහෙම උත්තමයන්ට" සිතමින් ඈ මුදල් නෝට්ටුව ගුලි කර ගත්තාය.

~ ~ ~ ~ ~ ~ ~ ~ 
උදෑසන අවදි වූ ඔහුට දැනුනේ කවදාවත් නැති සැහැල්ලුවකි, ඊටත් වඩා පුදුමාකාර සතුටකි. ඊයෙ රාත්‍රිය තරම් හොදින් නින්ද ගිය සතුටක් ඔහුට මත නැත.
පෙරදිනයේ නින්දට යන තුරුත් ඔහු කල්පනා කලේ ඔහුට හමු වූ වයසක කත තමාට ලැබුණු මුදලින් කුමක් කරණු ඇතිද කියාය. ඇය කුස පිරෙන්න ආහාර ගන්නා අයුරු ඔහුට මැවී පෙනිණි.
සිය නිවැසියන්ට තෑගි බෝග ගෙනයන අයුරු ඒවා බෙදා දී ඔවුන්ගේ සතුට දකින විට ඇයගේ මුහුණේ ඇඳෙන සිනහව ඔහු මවා ගත්තේය. ඔහු නින්දට වැටුනේ මෙවැනි සිතුවිලි අතරය.

ජීවිත කාලය පුරාවට සෙවූ දෙය ඔහුට හමු වී ඇත. කවදාවත් නොමැති අයුරින් සිත සතුටින් පිරී ඇත, තෘප්තිමත් වී ඇත. ඒ සතුට තව තවත් වැඩියෙන් ලබා ගන්නා ආකාරය බව ඔහු දැන් හොඳාකාරව දනී.

 ` ` ` ` ` ` ` ` 

මුහුණු පොතෙන් හමු වූ අපූරු වීඩියෝවක්, ගොඩක් අය නම් දැකල  ඇති. කමක් නෑ තව එක පාරක් බලන්න.


20 comments:

  1. Replies
    1. හැබෑවක් කර ගන්න බැරි කමකුත් නෑ

      Delete
  2. උඩ ඉඳල කියෝගෙන එද්දිම මට ඔය වීඩියෝ එක මතක් උනා.. සිහිනයක් වගේ උනත් හැබෑ කතාවක්..

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝව දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ

      Delete
  3. අපූරු වීඩීයෝවක් වගේම හොද කතාවක්..

    ReplyDelete
  4. මේ කතාව වගේම වීඩියෝව දැක්කේත් මේ දැන්. ඔබට ගොඩක් සතුතියි ගිමන්හල ගිමන් නිවන්නට පැන් පොදක් දුන්නාට

    ReplyDelete
  5. කොනකුට කරන උදව්ව වියදමක් නොව අයෝජනයකි!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත ! ස්තූතියි!

      Delete
  6. ඉතාම හොඳ වීඩියෝවක් දැකීමෙන් බිහිවුනු ඒ වගේම හොඳ නිර්මාණයක්...

    ReplyDelete
  7. හිතන්න ගොඩක් දේවල් අරගෙන ආපු වීඩියෝවක්.. ස්තූතියි..

    ReplyDelete
  8. මේ සතුට අපි අප්‍රිකාවෙ දී අත්වින්දා පුතා. අපේ මහත්තයාගෙ උපන් දිනයට අපි ඒ අය කන බඩ ඉරිඟු පිටි බෑග් 29 ක් අරන් දුප්පත්ම අ‍යට බෙදා දුන්නා. එදා ඒ ආව අයට අදහා ගන්න බැරි උනා මේ බෑග් දුන්නාම . මොකද ඒ බෑගයක් මුළු මාසෙම එයාලට කන්න පුළුවන්. එක් වයසක තාත්තෙක් බිම දණ ගහල දෙවියන් යැද මහත්තයාගෙ අත් දෙක ඉම්බා. මේ දර්ශණය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වාගෙම පුතාලා තුන්දෙනෙකුට හා දුවකට කැප කරු මා පියන් උනා. ඒ හා සමාන කුසල් වලින් අපේ හිත් සතුටින් පිරෙව්වා. ඒ අතරින් මා හැබෑම වාසනාවන්තියක්. මේ දකින සැවොම කුසල් වඩත්වා. http://chandigesithuviliuyana.blogspot.com/2011/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔන්න අදනෙ දන්නෙ චන්දි ලියනවා කියලා. ගොඩක් ලිපි කියෙව්වා. අත්දැකීම් ඒ විදිහට ලියල තියෙන එක ගොඩක් වටිනවා.

      Delete
  9. "දුප්පතුන් නැති ලෝකය" මතක් වුණා.
    අනුන් වෙනුවෙන් කරන යහපත් දෙයක්, හිතේ කැමැත්තෙන් කරද්දි, දෙපාර්ශ්වයටම ලැබෙන්නෙ ලොකු මානසික තෘප්තියක්.

    ReplyDelete
  10. හිත හොඳින් දෙන දෙයක ආශිර්වාද එමටයි ! වටිනා ආදර්ශයක්...

    ReplyDelete