Thursday, February 14, 2013

මිතුරු පෙම



සෙමෙන් සෙමෙන් විවර කල දෙනෙතට අයුබෝවන් කී උදෑසන සෞම්‍ය හිරු එළිය සහන්ට ඇති කලේ ප්‍රමෝදයකි. 

"හප්පා එලාම් සද්දයක් නැතිව නැගිට්ටහම තියන සනීපෙ"

අතපය දිග හැරි සහන් ජනේලය දෙස හැරී යලි ගුලි වූවේ කල්පනාවකට වැටෙමිනි.

ඊයේ දින ලියූ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයෙන් උසස් පෙළ විභාගය හමාර විය. ඒ සමඟම අතිශය අවිවේකී වසර දෙකක නිමාවද ලැබුවේ සිතට ඉගිලී යන තරමේ නිදහසක් මෝදු කරවමිනි.

විභාගය නිම වීමේ සහැල්ලුව තවත් මෙනෙහි කරන අතරම ඔහුගේ සිතුවිලි තුලට ගොඩ බැස්සේ සයුරිය. සහන් ඇයව අමතන්නට පුරුදුව සිටියේ "සයූ" කියාය. සයූ සහන්ගේ සම වයසේ මිතුරියකි. අසල්වැසියන් අතර සම වයසේ සිටියේ ඔවුන් දෙදෙන පමණක් බැවින් කුඩා කල සිටම ගජ යහළුවන්ය. පාසැල් ගියේ, පන්ති ගියේ පාඩම් කලේ එකටමය. 

තමා සයූ ගැන මිතුරු කමකට වඩා යමක් බලාපොරොත්තු වන බව දැනෙනෙන්ට වූවේ සාමන්‍ය පෙලට සූදානම් වන අවදියේ දීය. 
සාමාන්‍ය පෙලට දෙදෙනා එකතුව පාඩම් කරන අතරේදී ඇයට හොරෙන් ඇගේ සුන්දරත්වය විඳි අයුරු සහන් සිහි කරන්නට විය. 
ඇගේ සිනහව, යාන්තමට වල ගැසෙන දෙකම්මුල්, තද කලු පැහැ දීප්තිමත් ඇස්, නිතරම මුහුණට වැටෙන අකීකරු කෙස් කැරැල්ල මේ සියල්ලට ඒ දිනවල තමා ඇලුම් කල හැටි මතක් වන්නේ අද ඊයේ මෙනි. 

"මොකෝ මේ මගෙ මූනේ තොරණක් වත් තියද ඔච්චර බලන් කල්පනා කරන්නෙ?"

දිනක් සයූ ඇසූ සැනින් තමා ලජ්ජාවට පත් වූ සැටි සිහි වී යලි සිනා නැගින.

දැඩි ලෙස විනීත හා ඉගෙනුමට ලැදි අයෙකු වූ සහන් තම හැඟීම් සයුරිගෙන් සැඟවූවේ තම අදහස තමාගේ හා ඇයගේ ඉගෙනුමට බාධාවක් වේයැයි සැකයෙනි. දින ගණනක් සිතුවිලි සමඟ පොර බැඳ අවසානයේ උසස් පෙළ නිම කරන තෙක් ඉවසා සිටීමට ඔහු තීරණය කලේය.

ඉන්පසු සහන්ගේ සිතේ රජ කල එකම සිහිනය වූවේ ඇයව තමාගේ කර ගැනීමය. සිතින් පමණක් පෙම් කිරීමේ දුක මෙන්ම රසද හොඳ හැටි විඳීමට ගෙවුනු වසර දෙකේදී ඔහුට හැකි විය.

"හ්ම්ම් අද තමයි දවස"

යලිත් අත පයෙ හිරි අරිමින් නැගී සිටින අතර සහන් සිතීය.

"ආ ඉලන්දාරිය නැගිටල තියෙන්නෙ, මාත් සද්ද බද්දයක් කලේ නෑ ඇහැරේවි කියල. කොච්චර කාලෙකට පස්සෙද හරියකට නිදා ගත්තෙ"

කුස්සිය දෙසට එන සහන් දුටු සහන්ගේ මව පැවසීය.

"අම්මේ මම සයූලගෙ දිහා ගිහින් එන්නම්"
ඔහුගේ සිතේ තාමත් වැඩ කරන්නේ එකම සිතුවිල්ලය.

සහන්ගේ මවට සිනා පහල විය.

"ඔව් ඉතින් කොහොමත් වැඩි හරියක් හිටියෙත් එහෙනෙ, සයූලගෙ අම්මට කිව්ව කියන්න හෙට හවස බෝධි පූජාවක් තියනව සයූත් එක්ක එන්න කිව්ව කියල"


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

ගෙදරදී තදියම තිබුනාට, සයූගේ නිවසට ලං වන විට හද ගැස්ම වැඩි වෙන්නට විය. මෙතෙක් කල් ලඟම මිතුරා ලෙස ඇසුරු කල තමා මෙවෙනි යෝජනාවක් කල විට ඇය කුමක් සිතාවිද. 

"නෑ නෑ සයූ මම ගැන හොඳට දන්නවනෙ, එයා අකමැති වෙන්නෙ නෑ"

ඈත සිටම සයූ මිදුලේ සිටිනු සහන්ට දැකිය හැකි විය.
ඇය වෙනදාටත් වඩා ලස්සනැයැයි ඔහුට දුටු සැණින් සිතුණි.

"දෙවියනේ අද දවස ඉවර වෙද්දි මේ කෙල්ල මගේ වේවි නේද" සහන්ගේ හද ගැස්ම තවත් වේගවත් වූවේ ඒ සිතුවිල්ලේ ගැබ් වූ සතුටත් සමඟය.

"මට නිකමට හිතුන සහන් උදේ එයිවත්ද කියල"

සිනාසෙන දෑසින් යුතුව සයුරි පැවසීය.

"අම්මෝ දැනෙන නිදහස නේද සහන්, පහු ගිය දවස් ටික මතක් වෙද්දිත් මට පිස්සු වගේ"

" ඒක තමා, කමක් නෑ මහන්සි උන නිසානේ අවුලක් නැතිව ඔක්කොම පේපර් ටික ලියා ගන්න පුලුවන් වුනේ"

"අපෝ ඔව් සහන්, ඔයාගේ සපෝර්ට් එක නැත්නම් මම පේපර් තුනම ඇන ගන්නව ශුවර් එකටම" සයුරි පැවසූවේ අවංකවමය.

"ආ මේ සහන් පුතානේ, යන්තම් ඒ යුද්දෙත් ඉවරයි නේද?" මගෙ ඔලුවටත් ලොකු බරක් වෙලා තිබ්බෙ, දැන් ඉතින් නිදහස්" සයුරිගේ මව පැවසීය. ඇය කවදත් සහන්ට සැලකුවේ සිය පුතෙකුට මෙනි.

"මොකද ඉතිං තාම එලියෙ, අව්වත් සැරයි. ගෙට එන්න පුතේ" මම බොන්න මුකුත් හදාගෙන එන්නම්.

අඩ පැයක් පමණ වල් පල් කියවූ පසු සහන් මඳක් නොසන්සුන් විය.
"කොහොමද මාතෘකාවට එන්නෙ, එක පාරට මුකුත් කියන්නත් බැහැනෙ"

"අහ් මේ සහන් ඔයාට පොඩි බඩ්ඩක් කියන්න තියේ" සයුරි එකවරම පැවසීය.

"ඔන්න ඔයාගෙන් ලොකු හෙල්ප් එකක් ඕනෑ, මට මේක වෙන කියන්න කෙනෙකුත් නෑ අනේ."

'හරි හරි ඉස්සෙල්ල කියන්නකො බලන්න"

"සහන්, ඔයා දන්නවද මේධගෙ අයියා?"

"කවුද?..!'

"ඇයි අනේ අර සෙන්ට්‍රල් එකට ගියේ...! චන්දිමාල් අයියා, දැන් 
නම් කැම්පස්"

"අහ් චන්දිමාල් අයියා, එහෙම කියන්න එපැයි. දන්නවා දන්නවා"

"ඉහි ඉහි ඔන්න කාටවත් කියන්න බෑ හැබැයි හරිද!!"

"හරි හරි ඉතින් කියන්නකො ඇඹරෙන්නෙ නැතුව" එසේ පැවසුවද සහන්ගේ සිත නොසන්සුන්ය.

"මේ එයා ටික කාලෙකට කලින් මේධා අතේ මට කැමතියි කියල එවල තිබ්බනෙ"

"නෑ..! ඉතිං?..!

"ඒ අයියා හොඳ පාටයි, මටත් කැමැත්තක් තිබ්බ. ඒත් ඒ ලෙවල් ඇනෙයි කියල බයට මම කැමති නෑ කියල යැව්ව"

"අහ් ඒක හොඳයි!" සහන්ගේ ගිනිවදිමින් තිබූ සිතට අයිසි කැටයක් දම්මාක් මෙන් දැනින.

"ඉන්නකො ඉතිං, ඊයෙ හවස චන්දිමාල් අයියා ඉස්කෝලෙ ගාවට ආවනේ, විභාගෙ කොහොමද ඇහුවා? ටිකක් විස්තර කතා කර කර හිටියා, ඊට පස්සෙ ඇහුවා එයා තාම බලාගෙන ඉන්නවා. උත්තරේ වෙනසක් නද්ද කියලා, අය්යෝ මට මොනා උනාදා මන්ද හලෝ, මම හිනා වෙලා බැලුව. එයා දැන ගත්ත කැමතියි කියලා, ඒ එක්කම බස් එක ආවා. මම නැගල ආවා"

අවසන් විස්තරය අසා සිටි සහන්ට මුලු ලෝකයම කඩා වැටෙන සෙයක් දැනෙන්නට විය. යමක් පවසන්නට උත්සාහ කලද වචන පිට නොවේ. සයුරිට සිය වියවුල සැඟ වීමට ඉබේම බිම බැලිණ.

"ඔක්කොම කරගෙන තමා මට කියන්නෙ නේද?" යන්තම් වචන ගැට ගසා ගෙන බිඳුනු හඬින් සහන් පැවසීය.

"ඉතිං සහන් ඊයෙ කියන්න වෙලාවක් තිබ්බෙ නැහැනෙ අනේ, එක නෙවෙයි. එයා ගැන පොඩ්ඩක් හොයල බලන්නකො සහන්, ඔයා අදුනන අය නැද්ද එයාගෙ කැම්පස් එකේ"

"දැන් ඉතිං මොනව හොයලා බලන්නද, බැඳ ගත්ත බෙරේ ගහන එකයි තියෙන්නෙ" තම හඬ සැර වූවා වැඩි දැයි සහන්ට පසුතැවිල්ලක් ඇති විය.

"මොකද මේ තරහ ගිහින් වගේ? ඇයි එයා හොඳ කෙනෙක් නෙවෙයිද සහන්?"

දුරකථනය ඔබ ඔබ සිටි සහන් හදිසියේ එය කන තබා ගත්තේ හදිසි ඇමතුමක් පැමිණි බව හඟවමිනි.

"අහ් එහෙමද, හරි හරි මම ඉක්මනට එන්නම්"

"සයූ පොඩි හදිස්සියක්, මම පස්සෙ වෙලාවක එන්නම්. අම්මට ගියා කියන්න"

"හ් හා, ඇයි සහන් මොකද්ද හදිස්සිය"

ඒ අසන විටද සහන් පාරට බැස අවසානය.

"සුදු දූ..!, කෝ සහන් පුතා?"

ඒ හා පැමිණි සයුරිගේ මව ඇසීය

"අනේ මන්ද අම්මෙ හදිස්සියක් කියල ඔන්න මේ දැන් ගියා"

"අර මොකද! වෙනදට වැඳල කියල යන ලමයා, ඇහුවෙ නැද්ද මොකද්ද කාරනේ කියල?"

"ඇහුවා අම්මෙ ඒකට උත්තර දෙන්නවත් නැවතුනේ නෑ"

මෙසේ කී සයුරි කාමරයට වැදිනි,

ඇඳට පැන කොට්ටය බදා ගත්තේ මෙතෙක් සිර කර ගෙන සිටි සිතේ දුක කොට්ටයට මුදා හැරීමටය.
සිදු වූ දෙය ඇයට හොඳින් වැටහින. මෙය බොහෝ කලක සිට බලාපොරොත්තු වූවකි.

කුඩා කල සිටම හොඳම මිතුරා මෙන්ම, පවුලේ එකම දරුවා වූ තමාගේ සොහොයුරා යන තැන් දෙකම පිරවූවේ සහන්ය. සිය දෙමවුපියන්ට මෙන්ම ඇය සහන්ටද ආදරය කලාය. නමුත් ඇයට කිසි විටක එය සහන් පෙම්වතා කර ගැනීමේ ආදරයක් නොවීය. ඇගේ සිහින කුමරාගේ තැන අරක් ගැනීමට සමත් වී සිටියේ චන්දිමාල්ය, සිය මිතුරියගේ වැඩිමහල් සහෝදරයා වූ ඔහු දුටු දිනම සයුරිට අමුත්තක් දැනින. සසර පුරුද්දට මෙන් චන්දිමාල්ටද සයුරි ගැන කැමැත්තක් ඇති වී තිබින.

සාමාන්‍යය පෙල ආරම්භයේ සිට සහන්ගේ අමුත්තක් ඇති බව සයුරිට දැනෙන්නට විය. වෙනදාට වඩා සහන් තමා දෙස බල බවත්, වෙනදාටත් වඩා තමා ගැන සැලකිලිමත් වන බවත් ඇයට වැටහින. වීමට යන දෙය තේරීමෙන් ඇයට ඇති වූවේ බියකි.

ඒ සිය හොඳම මිතුරා, සොහොයුරා තමාගෙන් දුරස් වේයයි යන බියය. විටෙක චන්දිමාල් ගැන පැවසීමට සිතුනද, නමුත් ඉන්පසු සහන් තමාගෙන් දුරස් වේවි යන බියද, සහන්ගෙන් ලැබෙන සියුම් සෙනෙහසට ඇති ලෝබ කමද ඇයව වැලැක්වීය.

මේ සිතුවිලි අතර ඊයේ දින සිදුවීමද සයුරිගේ සිතට නැගින, ඇය පැවසූවේ බොරුවක් නොවේ. විභාගය අවසන් කර පාසැලෙන් එලියට එනවාත් සමඟම ඇයට චන්දිමාල් මුණ ගැසින. 

වසර දෙකකට පමණ පෙර ඔහුගෙ යෝජනාව තමා ප්‍රතික්ශේප කලේ  ඉගෙනුම් කටයුතු වලට බාදා වේවි යන බිය නිසා බව චන්දිමාල් වටහා ගෙන සිටියේය. නැවත යොමු කල යෝජනාවට තමාගෙන් ලැබුනු මදහසෙහි පිලිතුර වුවමනාවටත් වඩා ගැබ්ව තිබෙන්නට ඇති බව චන්දිමාල්ගේ තුතිබර සිනහව සයුරිට දැන්වීය.

"කමක් නෑ සහන් මාව තේරුම් ගනීවි, එයාට බෑ මාත් එක්ක තරහ වෙන්න" අවසානයේ සයුරි එසේ සිතා සිත සැහැල්ලු කර ගත්තාය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

සහන්ට තමා නිවසට පැමිනි අයුරක් සිහි කල්පනාවේ නොවීය. තමා මෙතරම් අවාසනාවන්ත වූයේ මන්ද යන ප්‍රශ්ණයෙන් සිත පිරී තිබිණ. කාමරයේ දොර වසාගත් ඔහු ඇන්දට වැටින. සිදු වූ දෙය පිලිගැනීමට තවම සිත සූදානම් නැත.
දහසක් මතක සටහන් අතරෙන් සිතට නැගෙන්නේම සයුරිවය. කයට වේදනාව ඉවසිය නොහැකි වන කල සිහි නැති වන්නාක් මෙන් වේදනාව වැඩි වන සිත හිරිවැට්ටීමට සහන් නින්දට වැටින.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

දින දෙකක් පුරාවට සහන් දැකිය නොහැකි විය, ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත කර ඇත.

"දෙයියනේ සහන් කරදරක් වත් කර ගත්තද"

සයුරිට කිහිප වතාවක් සිතිණ. 

තෝන්තු වූ සිතින් සයුරි කාමරයට පැමිණියේය.
ඒ හාම ඇයගේ දුරකතනය නද දෙන්නට විය.

"සහන්...!!!"

ඇය හනික පිලිතුරු දිණි.

" හෙලෝ සයූ, යාලුවෙක්ට පොඩි කරදරයක් වෙලා එහෙ යන්න වුනානෙ. ඔයාට කියන්නත් බැරි උනා.
අහ් එදා ඔයගෙ කතාවට මුකුත් කියන්නත් බැරි උනානෙ මේ කලබලේ නිසා, චන්දිමාල් අයියා හොඳ කොල්ල, මාත් අදුනනව ටිකක්. මම අදුනන අයිය කෙනෙක් ඉන්නව එයාගේ කැම්පස් එකෙ. එයත් කිව්ව එහෙම්මම, මම අද හවස් වෙලා ඔය පැත්තෙ එන්නම්කො තව ටිකක් විස්තර කතා කරන්න!, එහෙනම් තිබ්බා! බුදුසරණයි...!"

"බුදුසරණයි! " සයුරි සිහින් හඬින් පවසීය. 

ඇයට මෙය අදහා ගත නොහැක. 
"එයා මාව තෙරුම් ගත්තා"

මෙවැනි මිතුරෙක් ලැබීමට තරම් තමා වසනාවන්ත වීමේ සතුට සයුරි සැහැල්ලු සිතින් විඳින්නට විය.