Tuesday, March 26, 2013

දැවෙන ජීවිත



ශීලා කෝ මෙතන තිබ්බ කොළපාට ෆ්යිල් එක? අනෙ අම්මප මේ ගෙදර කිසි දෙයක් පිලිවෙලට තියා ගන්න බැහැනෙ!"

මොකද අනේ කෑ ගහන්නෙ! මේ හොද්ද ලිපෙන් බාල මම ඇවිත් හොයල දෙන්නම්, ඔයා ලෑස්ති වෙන්නකො" ශීලා කුස්සියේ සිටම කෑ ගැසුවාය. සෑමදාම උදෑසනට ජයතිස්සගේ මේ කලබලය දැන් ඇයට පුරුදුය.

"මේ තියෙන්නෙ අනේ, ඔයාම ඒක තව ෆයිල් එකක් ඇතුලට දාල වහලා"

"හරි හරි ඔන්න ඔය ෆයිල් ඔක්කොම බෑග් එකට දාන්න, ඊයෙ රෑ එක වෙනකල් කරලත් වැඩ ටික ඉවර කර ගන්න බැරි උනානේ. කොහෙද ඔයාගෙයි ළමයින්ගෙයි කරච්චලේ අස්සෙ වැඩක් කර ගන්නෙ"

ශීලාට වඩාත්ම කේන්ති යන්නේ බොහෝ විට ජයතිස්සගේ මුවුන් පිටවන ඔන්න ඔය දෙබසටයි. නමුත් ඔහු සැබෑවටම වෙහෙසෙන අයුරු දකින බැවින් ඇය ඉවසා සිටී. කාර්යාලයේ වැඩ ගෙදරට උස්සන් එනවාට ඇය කවදත් අකමැතිය.

"මොකද ඔය? අයියෝ ඕක හොඳටම පොඩි වෙලානේ!" ඔන්න ඕක ගලෝල දෙන්න මම ඉක්මනට අයන් කරල දෙන්න"

"දැන් වෙලාවක් නෑ කෝච්චියට පැය කාලයි! කෝ ඔන්න ඔය බෑග් එක ගේන්න"

"කටක් දෙකක්වත් කාල යන්නකො, ඔයා ගිහින් මුකුත් කන්නේත් නැහැනේ" 

"ගිහින් මොනව හරි කන්නම්" පවසමින් ශීලා සූදානම් කර තැබූ උදෑසන බේත් වේල කටට හලා ගත්තේය.

"එහෙනම් මම යනවා"

"පරෙස්සමට කෝච්චි වලට දුවද්දි"

ජයතිස්ස දුම් රියපලට පැමිණියේ ඇවිදිනවාට වඩා දුවනවාක් වැනි ගමනින්ය. විනාඩියක් පමණ ඔහු පපුව අත ගාමින් බිත්තියකට පිටදී සිටියේ පපුවේ හතිය අඩු වන තෙක්ය.

පොරකා දුම් රියට නැගි ඔහු යන්තම් අසුනක් අල්ලා ඉඳ ගත්තේය. සුසුමක් හෙලා සුපුරුදු පරිදි කල්පනාවට වැටින. වසර ගණනාවක සිට මෙම දුම් රියේම යන එන අයෙක් වුවද උදෑසන සුබපැතුමකට එහා ගිය කතා බහකට තරම් මිතුරු සමාගමක් ඔහුට නොසිටියේය. ඔහුගේ හිස පිරී තිබුනේ රාජකාරි වැඩ වලිනි. කවුරුන් කතා කලත් මුවින් පිට වූවේ එකම අදෝනාවය. එම නිසාමදෝ කිසිවෙකුත් ඔහුගේ කල්පනා ලෝකයට බාධා කලේ නැත.

සැබවින්ම ඔහුට කල්පනා කිරීමට බොහෝදේ තිබුනේය.
වැඩි වශයෙන් රාජකාරි වැඩද, සුලු වශයෙන් පවුලේ ප්‍රශ්නය.
එන්න එන්නම ණය බර වැඩිවේ, දරුවන්ගේ ඕනෑ එපා කම් ටිකෙන් ටික වැඩි වේ, කීයක් හෝ ඉතිරි කර ගන්නට ඕනෑ යැයි සිතුනද වන්නේ එහි අනිත් පැත්තය. 
දිනෙන් දින අලුතෙන් එකතු වන රෝගයන් නිසා තමා එන්න එන්නම දුර්වල වන සෙයක් දැනේ. සියල්ලටම මුල හිතේ ඇති කරදර නොවේදැයි විටෙක සිතේ.

මෙසේ කෙලවරක් නැතුව කල්පනා කරන විට කවුරු නැතත් ලඟින් සිටින හිසරදය ඔහු සොයා ඒ. ඉන්පසු සිදු වන්නේ නින්දට වැටීමය.

නින්ද අතරින් අවට සිටින අය විටින් විට ඔහුව මාතෘකා කොටගෙන පවසන වදනක් දෙකක් කන වැකෙන අවස්ථාද ඇත.

"බලපංකො අදත් අන්කල්ට ඇදුම් අයන් කරන්න අමතක වෙලා වගේ"
"මොකද බන් පොර හැමදාම කෝච්චියෙ නිදියන්නෙ, රෑට හොඳට වැඩ වෙන්න ඇති"
"පව් අනේ, එ මනුස්සය දවසින් දවස දිරල යනවා, මොනවා හරි ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක් වෙන්න ඇති"
"අනේ මන්ද මම නම් කවදාවත් දැකල නෑ හිනාවෙලා වචනයක් කතා කරනවා"
 ඒ අසල සිටි තරුණ තරුණියන් පිරිසකගේ කසුකුසුවකි. 

සුපුරුදු පරිදි කොටුවෙන් බසින කිසිවෙකුගේ ඇනීමකින් ජයතිස්ස අවදි විය.

යන්තම් රතු ඉර වැදීමට පෙර අත්සන තබා සිය වැඩ කුටියට රිංගා ගත්තේය. 
ජයතිස්සට ලෝකයේ ඇති අප්‍රසන්නම ස්ථානය මෙම කාමරයයි. බැලු බැලු අත ඇත්තේ ලිපිගොනු, ෆයිල්, ලිපි ලේකනය. 

"හප්පා මේ වැඩ කවදා ඉවරයක් වෙයිද, මොන කරුමයක් ගෙවනවද මන්දා මම නම්"

පියන් විසින් උදේම ගෙනත් තබන වතුර වීදුරුව තාමත් නැත.

මේසය මත වූ සීනුවේ හැඬ වූවේ හිතේ කේන්තිය එයට පවරමින්ය.
ඒ සමඟම පියන් කොලුවා දිව ආවේ වතුර වීදුරුවද රැගෙනය.

"මොනවද මනුස්සයො, හැමදාම මම කියනවා නේද උදේම වතුර එකක් ගෙනත් තියන්න කියල" 

සිය හිතේ පීඩනය එසේ හෝ පිට කරන්න ලැබීම පහසුවක් යැයි ජයතිස්සට සිතිණ.

"අහ් ඒක නෙවෙයි, මාව හම්බ වෙන්න එන අයට දහය වෙනකල් ඉන්න කියන්න! තේරුනාද? මට හොඳටම වැඩ ඒව ඉවර කරන්න ඕනෑ, 
හා යනවා"

"හරි සර්"

සුසුමක් හෙලා බෑගය ගෙන ෆයිල් ටික දිග හැර ගත්තේ සුපුරුදු පරිදි හිසරදයට ගන්නා වේදනා නාශකයක් ගිල දමමිනි.

වැඩිමනක් ලිපිගොනු කලබලයට නිම කිරීම නිසා නැවත පිලියෙල කිරීමට වූ එවාය. ජයතිස්සට එපාම කල කාර්යය වූවේද එයයි.

"චැහ් එක පාරෙන්ම හරියට කරල දැම්මා නම් මෙහෙම වදයක් නෑ"
"දැන් ඉතින් මේව රවුම් කර කර ඉන්න වෙලාවක් නෑ, මේ පාරත් යන්තම් ගහල දානවා"

ලිපිගොනු අතර ගිලී සිටි ඔහු පියවි ලොවට ආවේ සිරිතුංග කාමරයට පැමිණීමෙනි.
සිරිතුංග කාර්යයාලයේ ජයතිස්සට සිටි ලඟම මිතුරාය, එකම මිතුරා කිව්වත් වරදක් නැත. සම වයසේ පසූ වූවන් වීමද එකම තනතුරේ රාජකාරී කරන්නන් වීමද ඔවුන් අතර තිබූ එකම සමාන කම විය.

"ජයේ අදත් කෑම පැයෙත් වැඩද?"

ජයතිස්ස ඔරලෝසුව දෙස බැලුවේ එවිටය,

"හප්පා එකටත් ලඟයි, වෙලාව යනවා තෙරුනෙත් නෑ. බඩගින්නකුත් නෑ සිරි"

"ජයේ මොනව කරන්නත් කාල බීල ඉන්න ඕනෑ"

"ඒක තමා, එක්කොත් කාලම එනවා" ජයතිස්ස ලිපිගොනුව පසෙකට කරමින් පැවසීය.

ජයතිස්සට විටෙක සිරිතුංග ගැන ඉරිසියා සිතේ, "මට තියන වැඩමයි තියෙන්නෙත් මේ මනුස්සයා කොහොම මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නවද මන්දා, වාසනාව තමා"

යන්තම් කටක් දෙකක් කා යලි කාමරයට පැමිණියේ කරමින් සිටි කාර්යයේ සිහියෙන්මය.

ඉඳ ගන්නවාත් සමඟම පියන් කොලුවා පැමිණියේය.

"සර්, උදේ ඉඳන් දෙන්නෙක් ඇවිත් පර්මිට් එකක් ගන්න ලිපි වගයක් හදාගන්න"

"මොන වදයක්ද මන්දා, අදත් මේ වැඩේ කර ගන්න වෙන්නෙ නෑ, හා එන්න කියනවකො"

ජයතිස්සගේ මුහුණ රකුස් වෙස් ගත්තේ ඉබේටමය.

සිනා වීගෙන පැමිණි මැදි වියේ යුවල වෙත සිනහවක් පැමට තරම් කරුණාවක් ජයතිස්සගේ සිතේ පහල නොවීය.

"මට අද හොඳටම වැඩ, ඉක්මනට කෙරෙන්න ඕනෑ කාරනේ කිව්වා නම්" ජයතිස්ස පැවසුවේ කරමින් සිටි කාර්යය නොනවත්වාමය.

සර් මේකයි, ලබන මාසේ ඉඳන් අපි පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල,අපි කරන්න හිතන් ඉන්නෙ මෙහෙමයි........
....
....
.. 
"සර්, සර්"

ජයතිස්ස සම්පූර්ණයෙන්ම සිටියේ ලියමින් සිටි ලිපිය ගැන අවධානයෙනි.

"සර් අපි කියපු මුකුත් අහන් හිටියෙ නැහැනෙ" කාන්තාව පැවසුවේ නොරුස්සනා ස්වරයෙනි.

"ඇයි මොකද මොකද? මට රාජකාරි කරන හැටි උගන්වන්නද හදන්නෙ? ඔය ඔක්කොම හෑලි අහන් ඉන්න වෙලාවක් නෑ මට!"

පැමිණි යුවල එකිනෙකාගේ මුහුණු බලමින් ඉඟියක් පෑවේය.

"මිස්ටර් ජයතිස්ස, අපි එච් ආර් ඩිපාර්ට්මන්ට් එකෙන් තමුන් ගැන චෝදනා කීපයක් ලැබිල තිබ්බ මෙතනට වැඩ කර ගන්න ආපු අයගෙන්. හෙඩ් ඔෆිස් එකෙන් අපිව එව්වෙ මේ ගැන හොයල බලන්න. බොහොම වැරදියි මිස්ටර් ගණුදෙණු කරුවන් එක්ක කටයුතු කරන විදිහ, අපිට මේ ගැන වාර්ථා කරන්න වෙනවා"

ජයතිස්සට ඉහින් කණින් දහඩිය බේරෙනු දැනෙන්නට විය.


~ ~ ~ ~ ~ ~ ~ **** ~ ~ ~ ~ ~ ~ ~


නිවුණු ජීවිත සමඟින් යලිත් ලඟදීම දිනක හමු වෙමු....!

26 comments:

  1. සැබෑ ජිවිතය මැනවින් ස්පර්ශ කර අැත.

    ReplyDelete
  2. මට මතක් උනේ සෙත්සිරි පායේ ආර් ඩී එකට අනුයුක්තව රැකියාව කරන එක්තරා පුද්ගලයෙක්ව... සම්පූර්ණයෙන්ම මේ චරිතයමයි...

    මේ නොරිස්සුමට..ඉක්මන් කේන්තියට, වැඩ පිළිවෙලක් නැති එකට හේතුවක් ඇති නේද ගිම් ?

    ReplyDelete
    Replies
    1. ඔව් ළිහිණි හේතුවක් තියෙනවා, මේක අපි හැමෝටම අඩු වැඩියෙන් තියෙන ගැටළුවක්. සමහරු මේක අදුනගෙන හදා ගන්නවා. සමහරු දැනීමක් නොමැති කම නිසා දිගින් දිගටම දුක් විඳිනවා. තව කොටසක් ඉදිරියෙන් එන නිසා ඒකෙදිම වැඩි විස්තර කතා කරමු.

      Delete
  3. මේ තරම් පීඩනයකින් ඉන්නකොට නැති ලෙඩත් හැදෙයි. ජීවිතේම රස්සාව කරගත්ත අයට පවුලෙ අයත් එක්ක යාලුවො නෑදෑයෝ එක්ක ගෙවන්න කාලයක් ඇත්තෙම නැති තරම්. තමන්ට ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල කියල කියන එක මේ අයට තේරුම් යනකොට පරක්කු වැඩියි.
    හැමදෙයක්ම පිළිවෙලට, සමබරව කරගෙන යන්න පුරුදු උනානම් මේ තත්වය ගොඩක් දුරට අඩු කරගන්න පුලුවන් කියල හිතෙනව...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි චාම්ස්, නමුත් මේ තත්වෙට හිතාමත වැටෙන්නෙ නෑ. තමන්ගේ දුර්වලතා නිසා පොඩියට ජීවිතේ අවුල් කර ගන්න අය ඒක විශම චක්‍රයක් කරගෙන දිගින් දිගටම තත්වය නරක් කර ගන්නවා. මීට සබැඳි ඊලඟ කොටසත් බලන්නකො.

      Delete
  4. මම හිතා හිටියේ ගිමන් කතාව කියලා මේ මිනිහට තියෙන ලෙඩේ මොකක් විය හැකිද කියලා අපෙන් අහයි කියල. පොරට තියෙන්නෙ ගිනිපුක් අමාරුව. ඔය වගේ අය තමයි ඔෆීස් වල ඉන්න වැඩි දෙනා.

    ReplyDelete
    Replies
    1. අහ් නෑ Dude අයියා, මේක නම් ලෙඩක් ගැන නෙවෙයි. හැබැයි අයියාගේ නිගමනයෙත් වැරැද්දක් නෑ. ඔය අමාරුව හැදෙන්නත් හේතුවක් තියෙනවා. අපි හැමෝටම වටින කියන කාරණයක්. මේ කතාවෙ ඉතුරු බාගෙත් ලියලම ඉන්නම්කො ඉතුරු ටික කතා කරන්න.

      Delete
  5. පිළිවෙලකට වැඩක් කරගන්න බැරි කම තමා ඉතින්.
    අපිට තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවත් අපිම තමා ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පිළිවෙලට වැඩ නොකිරීම ජීවිතය නීරස වීමේ විශම චක්‍රයේ ආරම්භයයි!

      Delete
  6. අප්පෝ මෙහෙමත් පිස්සු මනුස්සයෙක්...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කොහෙද මේ මනුස්සයට වැරදුනේ බට්ටියෝ!

      Delete
  7. ඔය වගේ කෙනෙක් මාත් ආශ්‍රය කරලා තියෙනවා.. එයාට නම් තිබ්බේ අනවශ්‍ය කලබලයක්... හැම වැඩේම පටලෝගෙන අවුල් කරගත්තා... එයා හරි ලොකු වැදගත් රාජකාරියක් කරන කෙනෙක් කියලා පෙන්නන්න තමයි මුලින් උත්සාහ කළේ... පස්සේ ඒක එයාටම වදයක් උනා... කරන වැඩේ පිළිවෙලකට කරන්න බැරි කමත් ඒකට එකතු උනා... අන්තිමට ලොකුකම් පෙන්නන්න ගිහින් හැමතැනම ප්‍රශ්න හදාගත්තා... ඔක්කොම පටලෝගෙන... ගෙදර වැඩයි, රාජකාරි වැඩයි... එකම හොඳේ එයාට හොඳ යාලුවෝ කීප දෙනෙක් හිටිය එක... මේ ගැන කතා කරලා තේරුම් කරන්න පුළුවන් උන නිසා එයාගේ ප්‍රශ්නේ හරි ගියා...

    ReplyDelete
    Replies
    1. මේ කියල තියන දේවල් අපි ගොඩාක් දෙනෙක් ගාව තියන වැරැදි වල ඉලිප්පීමක් හිරු. හැබැයි අපි ගොඩක් වෙලාවට ටිකක් කල්පනා කරල බලල හැමදේම සමබර කර ගන්නවා. සමහරුන්ට ඔයා කිව්වා වගේ උදව් අවශ්‍ය වෙනවා ජීවිතේ සමබර කර ගන්න. හිරු ඊලඟ කොටස ගැන ඉඟියක් දීලා වගෙයි. ඒකත් ඉක්මනට දාන්නම්කො

      Delete
  8. අපි ගොඩක් දවසකින් කතා කලේවත් නැතුව මම ගැන ලිව්වද ගිමන් අයියේ......මේ දවස් වල මම් මෙහෙමයි.මට මේ ජීවිතෙත් එපා වෙලා අයියේ. දවසෙ වැඩ ටික ඕෆ් එක කීය වුනත් ඉවර කරලමයි මම යන්නේ ඒත් ගලකදි ඉදලා වැඩ හිරවෙලා ඔළුවත් රිදෙනවා මතක් වෙද්දි, හැබැයි අපිළිවෙලනම් නෙමෙයි වැඩ වැඩි කම................

    සිත්තමී කෙල්ල........

    ReplyDelete
    Replies
    1. පේනව නේද වචනත් මාරු වෙලා ටයිප් වෙලා තියෙන්නේ....වැඩ ටිකක් අමතක කරන්න මේ පැත්තට ආවෙ....

      Delete
    2. සිත්තමී නංගි ගොඩක් කාලෙකින් තමයි දැක්කෙ. කාර්‍ය්බහුල් වෙලා ඇති කියල අනුමාන කලා. ඇත්තටම මේ දවස් වල තියන කලබලේ ටයිප් කරල තියන විදිහෙන් පෙනව. වැඩ වැඩි වුනාට කල්පනාවෙන් වැඩ කරන්න. හිත ටිකක් සැහැල්ලු කර ගන්න මේ පැත්තෙත් ඇවිත් යන්න.

      Delete
  9. අදත් වෙනද වගේම අපුරු කතාවක්.. අනවශ්‍ය කලබලයක් තියෙද්දි ඔහොම දේවල් වෙන්න පුලුවන් බලාගෙන යද්දි..

    ReplyDelete
  10. මේ වගේ අය ගොඩාක් තැන්වල ඉන්නවා. මූණේ හිනා පොදක් නෑ. වැඩේ කරගන්න ගියාම මුලු ආයතනයම එපා වෙනවා. සමහරු හිතන්නේ ඒක මහ ලොකු රාජකාරියක් කියලා. හැමෝම කරන්නේ එකම වැඩේනෙ. පැය අට කළමණාකරණය නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත චන්දි! හිනා වෙන්න ගානක් යනවා කියලයි සමහරු හිතන් ඉන්නේ. කොහොම වුනත් ජීවිතේ නිසි පාලනයක් නොමැති වීමයි හැම දේම අවුල් වෙන්න හේතුව.

      Delete
  11. ගිමා අයියගේ නිර්මානාත්මක හැකියාව එන්න එන්නම දියුණු වෙන වග පේනවා, මම චරිතයට ස්වයංක්‍රීයව ආරුඨ වුනා, දක්ෂ ලියන්නේක්ගේ සාර්ථකත්වය රඳාපවතින්නේ අන්න එතන. සුභ පැතුම්. ඊගාව කොටසත් කියවල කතාව ගැන අදහසක් කියන්නම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පැතුම් මල්ලි!
      හිතේ ඇඳෙන දේවල් සැහැල්ලුවෙන් වචන කරන එක තමා කරන්න උත්සාහ කරන්නෙ, ඒවා හිතට දැනෙන අයුරින් ලියවිලා තියෙනවා කිව්වහම ගොඩක් සතුටුයි.

      Delete
  12. වැඩට යට වුණු මනුස්සයෙක් :(

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, වැඩට යට වෙලා ජීවිතේම දුකක් කර ගත්ත තවත් එක් අපේ කලේ මනුස්සයෙක්!

      Delete
  13. ීඉතිරි කෑල්ලත් කියවල බලමු.

    ReplyDelete