Saturday, November 10, 2012

සමුදීම....!



කන් බිහිරි කරවන තරමේ යෝධ යන්ත්‍රයේ ගෝසාව නිසා ජානක වැඩ සීමාවෙන් පිටත සිට කියූ කිසිවක් සුමාල්ට නෑසින.
ඔහු යන්ත්‍රය නවතා ජානක දෙස බැලීය.

"මචං ගමෙන් කෝල් එකක් ආවා. පොඩි නරක ආරංචියක්"

ජානක එය පැවසූ අයුරින් සුමාල්ගේ හද ගැස්ම මදක් වැඩි විය. ඔහුගේ තීව්‍ර බැල්ම දුටු ජානක

"කලබල වෙන්න එපා, ඊයේ රෑ කුසුම් නැන්දා එල්ලිලා මැරිලලු"

නෑ!! දෙයියනේ! ඒ අහවල් පිස්සුවකටද? සුමාල් ක්ශණිකව ඇතිවූ දහසකුත් සිතුවිලි අතරින් කීපයක් පැවසීය.

"උදේ ශ්‍රියා නංගි බලනකොට දැකල තියෙන්නෙ"

"අපොයි! අනේ මචං මම දැම්ම යන්න ඕනේ. ලොක්කට විස්තරේ කියල නිවාඩුවක් දාපන්"

"ඒවා හරි බන් ලොක්ක විස්තරේ දන්නවා, උඹ කලබල නොවී සිහි කල්පනාවෙන් යමන්. පොඩි දුරකුත් නෙවෙයිනෙ දැන්ම ගියොත් රෑ වෙද්දි යා ගත්ත හැකි, මම මේ වැඩ ටික ඉවර කරල උදේම එන්නම්"

සුමාල් එසැණින් බෝඩිම බලා පිටත් වූයේ හැකි ඉක්මණින් ගමන ඇරඹීමේ අරමුණිනි.

ගමන පුරාවට ඔහුට සිය කුඩා කාලයේ සුන්දරම මතකයන් එකින් එක සිහියට නැගෙන්නට විය. කුඩා කල සිට සිය නිවසටත් වඩා ඔහුගේ කාලය ගෙවුනේ කුසුම් නැන්දාගේ නිවසේය.

මවට නොදෙවෙනි ආදරයක් දැක්වූ කුසුම් නැන්දා තමාට සිය දරුවෙකුට මෙන් තමාට කැවූ පෙවූ නැහැවූ හැටි සිහිවන විට නිරායාසයෙන් දෙනෙතෙතට නැගෙන කඳුලු සඟවා ගන්නට සුමාල් බෑගයේ හිස තබා ගත්තේය.

කුඩා උන් කල සහෝදරියක් මෙන් එකට හැදුනු කුසුම් නැන්දාගේ දියණිය ශ්‍රියා හා සුමාල් අතරේ වෙනස් හැඟීමක් ඇති වන්නට වූයේ දෙදෙනාටම රහසේය. එය වැඩිහිටියන්ගේ ඇස් වලට හසු වීමට වැඩි කලක් ගත නොවීය. සුමාල්ගේ දෙමාපියන්ගේ මාන්නක්කාර උඬගුකම් නිසා අවසානයේ සිදු වූයේ කුසුම් නැන්දලාගේ නිවස සුමාල්ට තහනම් අඩවියක් වීම හා නෑදෑයින් විරසක වීමය. ඒ සමඟම මාමාගේ අකල් මරණයෙන් අසරණව සිටි නැන්දා තවත් තනිවිය.

ඒ හිත් අමනාපයෙන්ම මීට වසර දෙකකට පෙර කොළඹ ෆැක්ට්‍රියක රස්සාවට පැමිණියේ සිය පවුලේ පුහු මාන්නයට එරෙහි වීමක් ලෙසය.
කාර‍ය්‍ය බහුල වීමත් සමඟ ඉබේම ගම හා දුරස් බවක් ඇතිවී පරණ සිදුවීම් මතකයෙන් මදක් දුරස් විය.

නමුත් මේ සිඳු වී ඇති වින්නහිය කුමක්ද, සුමාල්ගේ සිතේ විවිධාකාරී සිතුවිලි මැවී බිඳී යයි.

යන්තම් රාත්‍රී එකොලහ පමණ වන විට සුමාල් ගම වෙත සේන්දු විය. සිය නිවසටත් නොයා කෙලින්ම කුසුම් නැන්දාගේ නිවසට යාමට ඔහු තීරණය කලේය. ඊට හැතැප්ම දෙකක් පමණ රබර් කට්ටිය මැදින් දුශ්කර ගමනකි. යාන්තමට සිරිපොදක් තිබුනද එය ගනනකට  නොගෙන බස් පාරෙන් රබර් වත්ත වෙත හැරෙනවාත් සමඟම ඇසුනු සුපුරුදු හඬකින් සුමාල් නතර විය.

"අයියේ ඒ පැත්තෙ නේද යන්නෙ?"

තමා වෙත එන ශ්‍රියා නංගී දුටු විට සුමාල්ට විශ්මය මුසු සතුටක් දැනින.
වසර දෙකට ඇය වැඩුනු පිරිපුන් තරුණියක් වී ඇත.

"නංගී! මොකද මෙච්චර රෑ වෙලා තනියම!? තෙමුනද? කොන්ඩෙන් වතුරත් බේරෙනවා."

මේ පොඩි හිරිපොදට ඇය එතරම් තෙමුනේ කෙසේදැයි සිතමින් සුමාල් ඇසීය.

"ඔව් අයියේ වැස්සට පොඩ්ඩක් තෙමුනා; අයියා එන ගමන්මද?

"ඔව් නංගා දැන ගත්ත ගමන්මයි මම එහෙන් පිටත් වුනේ. මට නම් හිතා ගන්න බෑ මොකද මේ උනේ කියල. ඇයි නැන්ද මෙහෙම දෙයක් කර ගත්තෙ!

"ජීවිතෙ හැටි තමයි අයියෙ, අම්ම නිදහස් උනා"

ඇයගේ සන්සුන් වදන් සුමාල්ට අමුත්තක් දැනවීය. ඇගේ මුහුන හැඟීම් විරහිතය. දුක්බර බවක් දකින්නට නැත.

"මට තෙරුනේ නෑ"

"අයියා නොදන්න ගොඩක් දේවල් උනා. අයියලාගෙ අම්මලා අමනාප උනාට පස්සෙ අපිට ගොඩක් අමාරුකම් ආවා. අපේ ගෙදරයි ඉඩමයි තාත්තාගේ අසනීපෙට බේත් කරන්න උකස් කරල තිබ්බෙ. ඒක මාස හයකට කලින් මුදලාලිට සින්න වුනා. ඊට පස්සෙ මුදලාලි අමුතු යෝජනවක් ගෙනාව. මාව කඩේ වැඩට නතර කරන්න කියල. 
අයියා දන්නවනෙ මුදලාලිගේ තිරිසන් වැඩ. අම්ම කැමති උනේ නෑ. එන්න එන්නම මුදලාලිගේ කරදර වැඩි උනා. ඇදුනුම්කම් වලින් රබර් කට්ටියෙ අම්මගෙ රස්සාවත් නැති කලා. පහු ගිය ටිකේ අපිට කන්න දෙයක්වත් තිබුනේ නෑ.
අම්ම ඔහේ කල්පනා කරන්න ගත්ත. එහෙම ඉඳල තමා ඔය දේ කර ගත්තෙ"

ඇගේ කතාව අසා සිටි සුමාල්ට පපුවේ යමක් හිර වූ සෙයක් දැනින. දෙවියනේ කොයිතරම් දුක් කන්දරාවක් විඳින්නට ඇද්ද! මේ සියල්ලට තමාත් වරදකරුවෙක් නොවේදැයි සුමාල්ට සිතින.

කතාවෙන් කතාවෙන් රබර් වත්ත අවසන් වී කුසුම් නැන්දාගේ නිවස ලං විය. 
ඈතින් නිවස අසල පන්දම් දල්වාගෙන විශාල පිරිසක් රැස්ව සිටිනු සුමාල්ට දැකිය හැකි විය. 

"පුදුම සෙනගක් ඇවිල්ලනෙ මල ගෙදරට!"

"ඒක තමා අයියෙ, අයිය ඔහොම්ම ගෙට යන්නකො එහෙනම්"

"හරි නංගි" සුමාල් ජනකාය දෙසම නෙත් දල්වාගෙන පවසමින් ඉදිරියට පා නැගීය.

එතැනට ඔහු ලන් වන විට කසු කුසු ගගා සිටි පිරිස නිශ්ෂබ්ද වී ඔහු දෙස බැලුවේ සානුකම්පිත ලෙසය. 
වැඩි පිරිසක් ගේ දොරකඩම යමක් වට කරගෙන නරඹයි. සුමාල්ද එතැනට එබෙන්නට යත්ම කොහේදෝ සිට පැමිණි සුමාල්ගේ මව ඔහු බදාගෙන හඬන්නට විය.

"බලන්න පුතේ වෙලා තියන විනාසෙ... උදේ හොඳට හිටපු කෙල්ලනෙ. කවුද හිතුවෙ එක ගෙයි මරණ දෙකක් වෙයි කියල!"

සුමාල්ට ඒ විලාපය මහත් ගැටලුවක් විය
ඔහු හනිකට සෙනග තල්ලු කර එබී බැලීය.

ශ්‍රියා නංගී දොරකඩ පැදුරක වැතිර සිටී. සිරුරම දියෙන් තෙතබා වී ඇත.

සුමල්ට සිහි විකල් වූ සේ දැනින

"මොකක්ද දෙයියනේ මෙතන වෙලා තියෙන්නෙ! ඇයි මේ නංගි මෙතන නිදි, කවුරු හරි කියපල්ලකෝ!

ගමේ වැඩිහිටියෙකු වූ බන්ඩාරේ මාමා පැමිණ, සුමාල්ව අල්ලා ගත්තේය.

"කලබල වෙන්න එපා පුතේ, දවල් ශ්‍රියා කෙල්ල ගඟට පැනල පහල ගමේ කොල්ලො වගයක් දැකල ගොඩ අරන්.  එතකොටත් මැරිල පැය ගානක්. දැන් ටිකකට කලින් තමයි මෙතනට ගෙනාවෙ."

සුමාල්ට ඔහු කියූ දෙය නොතේරුනාක් මෙන් රබර් වත්ත දෙස හැරී බැලීය. යන්තමට නොපෙනී යන ඡායාවක් වැනි යමක් ඔහුට ඈතින් දැකිය හැකි විය.

දහසක් සිතුවිලි එක වර සිතට නැගීමෙන්දෝ සුමාල්ට සිය දෑස් නිලංකාර වී යන බවක් දැනින.