Sunday, September 16, 2012

හුස්ම පොද උදුරන ඇදුම රෝගය (Asthma)



නිවාඩු දිනයක් වූ බැවින් සුමනා උදේම නිවස පිරිසිදු කිරීමට පටන් ගත්තාය.

"නැගිටිනවා නැගිටිනවා, අවුරුදු දහ අටක් වෙලත් තාම පස්සට අව්ව වැටෙනකල් නිදි"

යැයි පවසමින් ඇය දියණියගේ කාමරයේ මකුලුදැල් කඩමින් දොරරෙදි ගසා දමන්නට විය.

"මොකක්ද අම්ම වදේ නිවාඩු දවසක වත් ටිකක් දවල් එනකල් නිදා ගන්න දෙන්නෙ නැහැනේ"

සිරුරේ මැලි කඩා නැගිටිමින් සිතාරා පැවසීය.
ඉන්පසු කිවිසුම් කිහිපයක් පිට කල ඇය

"මොකද මේ උදේම දූවිලි අවුස්සගෙන" යැයි අසාගෙනම මුහුණ සේදීමට කාමරයෙන් එලියට ගියාය. 

කිවිසුම හා ඇති වූ මද කැස්ස දිගටම පැවතුණි.
මද වේලාවකින් හුස්ම ගැනීම අපහසු වනු දැනෙන් සිතාරා කාමරයට පැමිණියේ ඉන්හේලරය සෙවීමටය.
දියනිය අපහසුවෙන් හුස්ම ගන්නා ආකාරය දුටු සුමනා බියට පත් විය.

"මොකද දුවේ? හතියට එන්න වගේද?"
ඉක්මනට ඉන්හේලර් එක උරන්න"

මාස තුනක් පමණ අවශ්‍යය නොවූ බැවින් ඇදුමට ගන්න ඖෂධ ගැනීමද නවතා මාසයක් පමණ විය.

"දූවිලි ඇවිස්සුන හින්ද වෙන්න ඇති"

ඉන්හේලරය කිහිප විටක් ඉරුවද හුස්ම ගැනීම තවත් අපහසු වනු සිතාරාට දැනින. ඉන්හේලරයද මදක් පරණ වූ එකකි.

"අනේ.. අමෙමේ... ඇය යමක් පැවසීමට උත්සාහ දැරුවද කතා කර ගත නොහැකි විය.

"දුවේ දුවේ! අනේ දෙයියනේ කෙල්ලට අමාරුයි වගේ!"

ඇය හනික අසල්වැසි නිවැසියනට කතා කර ඔවුන්ගේ වාහනයෙන් සිතාරාව ලඟම පිහිටි වෛද්‍යය මධ්යස්ථානය වෙත රැගෙන ගියාය.
ඖෂධ අඩංගු කල ඔක්ෂිජන් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් හා වෛද්‍ය්යවරයා ක්ශණිකව නහර ගත කල ඖෂධ නිසා ඇයගේ ජීවිතට තිබූ අනතුරදායක බව ඉවත් විය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

ඉහතින් සඳහන් කලේ ඇදුම රෝගියෙකුට ඉතා දරුණු ලෙස රෝගය උත්සන්න වූ අවස්ථාවකි .

ඇදුම රෝගය(Asthma) යනු ඉතා සුලබ ආසාත්මිකතාව නිසා ඇති වන රෝගී තත්වයකි. මෙයද මීට කලින් ඉදිරිපත් කල සොරයිසිස් රෝගය මෙන්ම සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්දතියේ ක්‍රියාකාරීත්වයේ අතුරුඵලයක් ලෙස ඇති වන්නකි.

මෙය ඇති වන ආකාරය විස්තර කල හොත්..

ආසාත්මිකතාවයට හේතු වන හේතුකාරකය (උදා - දුවිලි, මල්වල රේනු, සුරතල් සතුන්ගේ රෝම ) නිසා අපගේ ශ්වසන මාර්ගයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්දතිය උත්තේජනය වී ප්‍රතිදේහ (antibodies) නිපදවීම සිදු වේ. සමහර අයෙකුගේ මෙම ක්‍රියාවලිය අධික ලෙස සිදු වේ. එම නිසා ප්‍රති දේහ අධික ලෙස නිපද වෙන අතර නැවත වරක් ආසාත්මිකතාවයට හේතු වූ හේතුකාරකයට නිරාවරණය වූ විට ඉහත සඳහන් කල ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ප්‍රචන්ඩ ලෙස ක්‍රියාත්මක වේ. මෙවිට එම ප්‍රතිදේහ අනු වල බලපෑම නිසා ශ්වසන මාර්ගයේ ඇති මාංශ පේෂි හැකිලීමට ලක් වීමෙන් ශ්වසන මාර්ගය කුඩා වේ. ඊට අමතරව ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වී එයින්ද වායු ගමනාගමනය අවහිර කරයි. හුස්ම ගැනීමට අපහසු බව ඇති වන්නේ මෙවිටය. දිගින් දිගටම මෙම තත්වය පැවතිය හොත් වායු ගමනාගමනය නතර වන තරමට ශ්වසන මාර්ගය හැකිලී වැසී යමට පවා හැකිය.

මෙය තවත් සරලව පැහැදිලි කල හොත් ඉහත සඳහන් කල ආසාත්මික කාරක සතුරන් නම්, ඔවුන් සිරුරට ඇතුල්වත්ම එම සතුරන් හඳුනා ගෙන ඔවුන්ව විනාශ කිරීමට විශේෂයෙන් පුහුණු කල හමුදාවක් සිරුරෙන් නිපදවයි ඔවුන් ප්‍රතිදේහය. සතුරන් සිරුරෙන් ඉවත් වුවද ඔවුන් පිලිබඳ මතකය හා නිපදවන ලද හමුදාව සිරුරේ ඉතිරි වේ.
නැවත වරක් සතුරන් සිරුරට ඇතුලු වීමකදී පෙර ඉතිරි හමුදාවද නව නිපදවන හමුදාවද දරුණු ලෙස සතුරන්ට එරෙහිව ක්‍රියා කරයි මෙම යුද්දයේදී සිරුරේ නිපදවෙන ද්‍රව්‍ය මඟින් ශ්වසන මාර්ගය කුඩා වීම හා අවහිර වීම සිදු වේ

අපි බලමු ඇදුම රෝගය හා සම්බන්ධ රෝග ලක්ශන තවත් පැහැදිලිව.

ප්‍රධානම ලක්ශන වන්නේ

  • වරින් වර ඇතිවන හුස්ම ගැනීමේ අපහහසුව
  • හතිය
  • කැස්ස
  • අධික ශ්ලේෂ්මල ස්‍රාවය
  • ශබ්දයක් සහිතව අසීරු හුස්ම ගැනීම
  • උර කුහරය විශාලනය වීම. (දීර්ඝ කාලයක් ඇදුම රෝගයෙන් පෙලෙන්නන්)


රෝගය උත්සන්න අවස්ථා වලදී


  • වාක්‍යයක් අවසන් කිරීමට නොහැකි තරම් හුස්ම ගැනීම අපහසු වීම.
  • හෘද ස්පන්දන වේගය (නාඩි ) වැඩි වීම.


ඉතා අසාධ්‍යය විට (ජීවිතයට හානි වන මට්ටමට )


  • ආශවාස ප්‍රශ්වාස කිරීම නොපෙනෙන තරමට අවම වීම.
  • සිරුරේ යම් යම් ස්ථාන නිල් පැහැවීම (ඇඟිලි, තොල්)
  • හෘද ස්පන්දන වේගය අඩු වීම.
  • රෝගියා මලානික වීම හා සිහි මද බවට පත් වීම.


දැන් රෝගය ගැන යම් දැනීමක් තියෙනවනේ ඔයාලට. මී ලඟට අපි බලමු ඇදුම රෝගය ඇති වීමට නැත්නම් රෝගයෙන් පෙලෙන අයෙකුට එය නැවත මතු වීම උත්තේජනය කිරීමට බලපාන හේතු කාරක මොනවාද කියල.


  • ආසාත්මික කාරක - (දුහුවිලි, මල් රේනු, සුරතල් සතුන්ගේ රෝම )
  • සීතල වාතය
  • අධික ලෙස ව‍යායාම කිරීම (ඇදුම රෝගයෙකුට ව්‍යයාම නුසුදුසු යැයි වැරදි වැටහීමක් ඇති කර නොගන්න ක්ශණිකව කය වෙහෙසවන ව්‍යායාම පමනක් සුදුසු නොවේ එවැනි ව්‍යායාමයක හෝ ක්‍රීඩාවක යෙදීමට අවශ්‍යය අවස්ථාවක් වේ නම් ඊට පෙර වෛද්‍යයවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්න. )
  • උද්වේගකර හැඟීම්
  • ආසාදන තත්වයන්.
  • සමහර ඖෂධ (aspirin, NSAIDs, beta-blockers)


ජීවිතය අවදානම් තත්වයකට ඇද දැමීමට තරම් ඉතා ක්ශණිකව උත්සන්න විය හැකි රෝග තත්වයක් බැවින් වරින් වර ඇති වන හුස්ම ගැනීමේ අපහසුවක් නැත්නම් හතිය තත්වයක් ඇත්නම් වෛද්‍යයවරයෙකු හමුව පරීක්ශා කර ගැනීම ඉතා වැදගත්ය. 

කුඩා දරුවන්ගේ හා තරුණ අයගේ මෙම තත්වය බොහෝ දුරට ඇදුම රෝගය වන මුත් වැඩිමහලු අයට වෙනත් ශ්වසන රෝග වර්ග කිහිපයක් පිලිබඳ සලකා බැලිය යුතු බැවින් නිවරැදි පරීක්ශාවකින් රෝග නිර්ණයට පැමිණිය යුතු වේ.

රෝග ඉතිහාසය විමසීමෙන් හා පරීක්ෂාවන් කීපයකට පසු රෝගය නිර්ණය කල හැකිය. ඉන්පසු රෝගය පවතින මට්ටම නිර්ණය කර එයට අනුව ඖෂධ නියම කරනු ලැබේ.
නිවරැදිව වෛද්‍යය උපදෙස් පිලිපැදිය යුතුවන අතර නියම කරන බෙහෙත් නියම මාත්‍රාවට ගත යුතු වේ. වෛද්‍යයවරයා හමු වීමට නියමිත දිනට නොවරදවා පැමිණ ඖෂධ හා ඒවායේ මාත්‍රා වෙනස් කර ගත යුතුවේ. වෛද්‍යය වරයා අනුමත කරන තෙක් ඖෂධ ගැනීම නැවැත්විය නොහැක.

තවත් දැනගත යුතු වැදගත්ම දෙයක් වන්නේ...

ඉන්හේලර් භාවිතය

බොහෝවිට ඇදුම රෝගීන්ට ඉන්හේලර් වර්ග දෙකක් නියම කරනු ලැබේ. වෛද්‍යයවරයාගේ තීරණය අනුව යම් කාලයක් එක දිගට එය පාවිච්චියට සිදු වනු ඇත.
කරල් ඇතුලත් කරන (Dry powder inhaler) හා ඖෂධීය වායුවක් ඇතුලත් වන (Metered-dose inhaler) ලෙස ඉන්හේලර් වර්ග දෙකක් ඇත.

 (Dry powder inhaler) 

 (Metered-dose inhaler) 

ඉතා නිවරැදිව ඉන්හේලරයක් පාවිච්චි කරන අන්දම වෛද්‍යයවරයාගෙන් අසා දැනගත යුතු අතර වෛද්‍යයවරයා ඉදිරියේදීම ඉන්හේලරය උරන අන්දම වරක් නිරූපනය කර ක්‍රමය නිවරැදි බව තහවුරු කරගත යුතුමය.

ඉන්හේලරය භාවිතයෙන් පසු කට සෝදා ගැනීම පුරුද්දක් කර ගන්න. ඒ පෙනහලු වලට යායුතු ඖෂධ උදරයට යාමට ඉඩ හැරීම අතුරු විපාක ගෙන දිය හැකි බැවිනි.

ඉන්හේලරය හා එයට සම්බන්ධ කරන අනෙකුත් ආම්පන්නද පිරිසිදු කරන අන්දමද නිවරැදිව අසා දැන ගත යුතුය. ( මෙහිදී සබන් වතුරෙන් හා සාමාන්‍ය වතුරෙන් සෝදා ගන්න. එම උපකරණ වල ඖෂධ හා ගැටෙන ඇතුල් පෘශ්ඨය කිසි විටෙක රෙදි කැබැල්ලකින් හෝ අතින් හෝ පිරිමැද සේදීම නොකල යුතුය. එමෙන්ම එම ආම්පන්න අව්වේ තබා වේලා ගැනීමෙන් වලකින්න. මද පවනේ වේලා ගැනීම සුදුසුය.)

එලෙසම දැනගත යුතු තවත් ඉතා වැදගත් කරුණක් වේ. ඉන්හේලරයක් (කරල් ඇතුලත් කරන ඒවා නොවේ එබීමෙන් ඖෂධ ලබා ගන්න ඉන්හේලර් ) එබිය හැකි වාර ගණනක් පවතී (100ක් හෝ 200ක් ලෙස ) එම වාර ගණන අවසන් වූ පසු ඉන්හේලරය එබූ විට වාශ්ප එලියට පැමිණියද එහි ඖෂධ අඩංගු නොවේ.
ලිපිය ආරම්භයේ පැවසූ රෝගියාට ඉන්හේලරය භාවිතයෙන් සුව නොවුවේ මේ හේතුවෙනි.

ඔබ ඉන්හේලරයක් පාවිච්චි කරන්නේ නම්, එය මිලට ගත් දිනය කැලැන්ඩරයක හෝ දින පොතක සටහන් කරන්න. දිනපතා පවිච්චි කරන්නේ නම් එය එබිය හැකි වාර ගණන අවසන් වන දිනය ගණන් බලා කලින්ම ඉන්හේලරයක් මිලදී ගන්න. මක් නිසාද එය ඇදුම රෝගියකුගේ ගැලවුම්කරුවා වන බැවිනි.

දිනපතා ඉන්හේලරය භාවිතා නොකරන්නේ නම් මිලදී ගත් දිනයේ සිට එය ඔබන වාරයක් පාසා එය සටහන් කර තබා ගෙන මතක තබා ගන්න.
ඉන්හේලර් භාවිතයට ඇබ්බැහි වීමක් සිදු වනවා යන දුර්මත වලට නොරැවටෙන්න.


අවසාන වශයෙන් ඇදුම රෝගයෙන් නිදහස් වීමට අනුගමනය කලයුතු හුරු පුරුදු කිහිපයක් කෙටියෙන් දැන ගනිමු.

1. නිවස ඇතුලත හා විශේෂයෙන්ම නිදන කාමරය දුහුවිලි අවම වන ලෙස තබා ගන්න.

2. අවම වශයෙන් සතියකට දෙවරක් වත් කොට්ට උර ඇඳ ඇතිරිලි සෝදා තද අව්වුවේ වේලා ගන්න.

3. නිවස ඇතුලත පිරිසිදු කිරීමේදී දුවිලි නොඇවිස්සෙන ලෙස තෙත රෙදි පාවිච්චියෙන් සිදු කිරීම වඩාත් සුදුසුය. අතු ගෑමට වඩා සාර්ථකව තෙත් කරන ලද රෙදි කඩකින් බිම පිස දැමීම (මොප් කිරීම ) මඟින් වඩාත් හොඳින් දුහුවිලි ඉවත් කල හැක.

4. සුරතල් සතුන් නිවස තුල ඇති කිරීම අඩු කරන්න (විශේෂයෙන්ම ඔවුන් නිදන කාමරයට ඇතුලු වීම වලකන්න )

5. රෝම ගැලවී යන හෝ දුහුවිලි රඳන විසිතුරු සතුන් (ටෙඩියන්) නිඳන ඇඳ මත තැබීම වලකන්න.

6. දුම් පානය අතිශය අහිතකර වන අතර. කිසිසේත්ම ඇදුම රෝගියෙකු සිටින නිවසක් තුල වෙන අයෙකුටවත් දුම් පානයට ඉඩ නොදෙන්න.

7. දර ලිපක් භාවිතයෙන් ඉවුම් පිහුම් කරන්නේ නම් එම දුම නිවසට පැමිණීම වලකන්න.

8. මදුරු දඟර වෙනුවට මදුරු දැල් භාවිතා කරන්න.

9. දුහුවිලි සහිත නිතර රථ වාහන ගමන් ගන්නා මාර්ගයකට ඉතා ආසන්නව නිවස පිහිටා ඇති නම් දුහුවිලි නිවසට පැමිනීම වලකින ලෙස ඝන තිර රෙදි යොදන්න. 

10. කැස්ස හෙම්බිරිස්සාව වැනි ශ්වසන ආඅසාදන වලදී  ඉක්මන් වෛද්‍යය ප්‍රතිකාර වලට යොමු වී මුල් අවස්ථාවේදීම එම රෝග පාලනය කිරීම සිදු කරන්න.

මෙය ඉතා දීරඝ වශයෙන් සාක්ච්ඡාවට ලක් කල යුතු 
රෝගී තත්වයකි. හැකි පමණින් දැනගත යුතුම වැදගත් කරුණු බොහොමයක් අඩංගු කිරීමට උත්සාහ ගත්තෙමි. ඉන් ඔබට යම් උපකාරයක් පහසුවක් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. 
ඔබට සුවබර හෙටක්!

38 comments:

  1. මටත් තියෙනවා හුස්ම් ගැනීමේ අපහසු වෙන රෝගයක්.. ඩොක්ට නම් කිව්වේ ඇදුම නෙවෙයි කියලා.. ඒත් ඉන්හේලර් එකක් දීලා තියෙනවා.හොඳ ලිපියක් සහෝ.. ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Red Riding!
      ඇදුම නොවන හුස්ම ගැනීමේ අපහසුතා වලදී ගොඩක් වෙලාවට ඉන්හේලර් පාවිච්චියට ලබා දෙනවා. එවැනි අය එක දිගට පාවිච්චි කිරීමට අවශ්‍ය නැහැ. ඒත් ඉන්හේලරයේ කල් ඉකුත් වීම ගැන ඉහත සඳහන් කලා වගේ සැලැකිලිමත් වෙන්න ඕනෙ.

      Delete
  2. මාත් හදිසි අවස්ථා වල cybitol 200 පාවිච්චි කරනවා.....

    ReplyDelete
    Replies
    1. වෙළඳ නාමයක් වෙන්න ඕනෙ සඳහන් කරල තියෙන්නෙ. කුමන වර්ගයේ වුනත් කලිකුත් වීම ගැන සැලකිලිමත් වෙන්න.
      ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට! සාදරයෙන් පිලිගන්නවා, ආයෙත් ඇවිත් යන්න එන්න

      Delete
  3. මේ තොරතුරු හරිම වැදගත් ගිමන්.බොහොම ස්තූතියි මේ විස්තර අපිත් එක්ක බෙදාගන්නවට....

    ReplyDelete
  4. අපේ සමාජය දැනුවත් විය යුතු වැදගත් කරුණු රැසක් ...මෙන්න ඔය තත්ත්වය ගැන මගේ දුවට දැනුන දේ ..

    http://dinithimithili.blogspot.ca/

    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට නිශාන්ත!
      "සොඳුරු සුව අසපුව" කියන්නෙ මම බ්ලොග් අඩවියකට කොයිතරම් සේවයක් කරන්න පුලුවන්ද කියන එක වටහා ගත්ත බ්ලොග් අඩවිය. ඒ වගේම මම බොහෝ කලක ඉඳන් යන එන බ්ලොග් අඩවියක්.
      දුව ගොඩක් අපූරුවට එයාට Asthma attack එක දැනුන විදිහ විස්තර කරල තියෙනව.
      ඔබ ඒ වෙනුවෙන් ලියපු ලිපියත් ගොඩක් වැදගත්. මේ ලිපිය කියවන්න එන අය එතනටත් යා යුතුයි කියලයි මට හිතෙන්නෙ.

      http://www.nursinglk.com/2011/09/59.html

      ගිමන්හලට ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔබව. හැකි වෙලාවක ඇවිත් යන්න එන්න!

      Delete
  5. බොහොම ස්තූතියි මේ තොරතුරු හරිම වැදගත්

    ReplyDelete
  6. අන්තිමට කිව්ව කරුණු ටික නම් කාට කාටත් වැදගත් :)

    ReplyDelete
  7. වැදගත් ලිපියක් අපි හැමෝටම ....
    ස්තුතී!!!

    ReplyDelete
  8. ස්තුතියි ගිමන් ඔක්කොටම ඉස්සෙල්ලා.

    මම ඉස්කෝලෙ ඉන්න හන්දා වැඩිය ලොකු කමෙන්ට් එකක් ගහන්න බෑ, නමුත් මොකුත් නොකියත් බෑ.
    මට ඉස්සෙල්ලම මේ ශ්වසන ආබාධය හැදුනෙ, දුශ්කර සේවයට පිං සිද්ධ වෙන්න. අර තොටියා යන දූවිලි පිරිච්ච පාරවල යන දූවිලි පිරිච්ච වාහන වගේ ඒවයෙ මට යන්න සිද්ධ වුනා.
    ගිමන්ට පොඩ්ඩක් මිස් වෙච්ච එකක් මම කියන්නම්. ඉන්හේලර් වර්ග දෙක Dry Powder Inhaler සහ Meterd Dose Inhaler ( pressurised liquid with propellant) වලට අමතරව ඔය දෙවර්ගයම බීටමෙතසෝන් කියන ස්ටෙරොයිඩ් එක අඩංගු දුඹුරු පාට වර්ගයත්, සැල්බියුටමෝල් අඩංගු ලා නිල් වර්ගයත් වශයෙන් දෙකකට බෙදෙනවා. මුල් එකෙන් attack එකක් එන එක වලක්වන අතර, දෙවෙනි එකෙන් attack එකක් පැමිනි විට bronchial tubes විස්තාරනය කරලා හුස්ම ගැනීම පහසු කරනවා.

    මම මේ රිෆරන්ස් බල බල නෙවෙයි නිකම්ම මතකින් කොටන නිසා වැරදි ඇත්නම් සමාවෙන්න ගිමන්, නැතිනම් හදන්න.

    ඊ ලඟට මේ ගැන තියෙන සමාජ ආකල්ප බොහොම පහත්. විශේෂයෙන්ම ලාංකීය සමාජෙ ඇදුම රෝගියා කන්ඩෙම් කරන ගතියක් තියෙනවා. ප්‍රසිද්ධ ස්ථානයක ඉන්හේලරය උරන්න අපි මැලි වෙන්නෙ අන්න ඒක නිසයි. බටහිර ආකල්පය මීට වඩා හුඟක් ඉහලයි. හරියට චුවිංගම් එකක් කටේ දාගන්න කෙනෙක් ගානටයි අනිත් අය සලකන්නෙ. ෆාමසියෙන් කොන්ඩම් එකක් ගන්න තියෙන අපහසුතාවයම ඉන්හේලර් එකක් ගන්න කෙනාට විඳින්න සමාජය විසින් සලසනවා. අන්න ඒකයි අම්මලා කියන්නෙ අපේ බබාට වීස් එක කියලා ඇදුම නොකියා. තමාගෙ එකාට වීස් එකත් අල්ලපු ගෙදර එකාට ඇදුමත් ඇති බව සලකන්න.

    අපෝ ඌ ඇදුම කාරයනෙ කියලා වපර ඇහින් බලන්නෙ. ගිමන්ලට, තොටියලට, සිඳූලට, අනිත් කොණට, සහ මම නොදන්න අනිත් වෛද්‍ය වෘතියන්ට යමක් කරන්න පුලුවන් අවස්තාවක් මේක. මේ ආකල්ප වලට විරුද්ධව සට්න් වැදීම.

    අනිත් දේ කියන්න ගියොත් මම නයි අරිනව කියලා හිතන්න පුලුවන්. නමුත් ආකල්පයට විරුද්ධ සටන මමම පටං ගන්න ඕන් කියනවා. ඇදුම තියෙන කෙනෙක් ගෙදරක අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕනෙ දෙයක් තමයි vacuum cleaner එකක්. ඒ ගදරට ඒක සුඛෝපබෝගී Hආණ්ඩයක් නෙවෙයි. අනික ඒකක් ඔය හිතන තරම් ගනනුත් නෑ. අනික මම වැක්යූම් ක්ලීනර් එක පාවිච්චි කරන්නෙත් අර ඔක්සිපියුරා මාස්ක් එක දාගෙන ඊට උඩින් ටීෂර්ට් එකකුත් ඔතාගෙන. ඒ වෙලාවට එන එකාත් බයවෙලා ආපහු දුවන්න පුලුවන්.

    අනින දූවිලි පිහින්න ඕනෙ තෙතෙ රෙදි කෑල්ලකින් වතුර බාල්දියක ඔබ ඔබ.

    අන්තිම වශයෙන් එකෙකුට ආස්මිකතාවක් තියෙන දේ අනිකාටත් එහෙමයි කියලා නීතියක් නෑ, ඒ නිසා තක්කාලි නොකා ඉන්න එක ගොං කමක්. කාලා තමන්ට අගුනද කියලා බලලා අතහරින්න පුලුවන්.

    තව තියෙනවා, නමුත් මම යන්න ඕනෙ පන්තියකට. සී යූ කිව්වා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මටම හිනා මම පටන් ගත්තෙ වැඩිය දිග කමෙන්ට් එකක් ගහන්න බෑ කියලනෙ, මේක ගිමන්ගෙ පෝස්ට් එකට ටියෛ කොට! හික් හික්!!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. Dude අය්යා කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. මම හිතුව අමතක වෙලා වත්ද කියල :)

      ඇත්තටම මට මග ඇරුන වැදගත් දේවල් ගොඩක් කියල. ගොඩාක් ස්තූතියි.
      මේ විදිහට හැමෝම තම දැනුම එකතු කලහම ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
      ඉන්හේලර් සම්බන්ධව asthma relievers and preventers යන ප්‍රතිකාර දෙක තමයි අයියා පැහැදිලි කරලා දීල තියෙන්නෙ.
      ඇත්තටම රෝගයට වඩා දරුණු සමාජයේ මෝඩ ආකල්ප තමයි. ඇදුම සම්බන්ධයෙන් නම් දැන් ගොඩක් දුරට ආකල්ප නිවරැදි වී ගෙන යන බවක් පේනව. ඒත් තව දුරටත් සමාජය දැනුවත් වෙන්න ඕනෙ.

      ඔව් vacuum cleaner භාවිතය හොඳ පිරිසිදු කිරීමේ ක්‍රමයක්.
      මෙහිදී කෑම ගැන කියනවා නම් එක් එක් අයට විවිද වර්ගයේ කෑම ආසාත්මිකතා ඇති කල හැකියි. අයියා කිව්වා වගේ එය තමාම පරෙස්සමට හඳුනා ගත යුතුයි.

      කාර්‍යයබහුලව සිටියදීත් දීර්ග අදහස් දැකිවීමක් කලාට ගොඩක් ස්තූතියි

      Delete
    3. //කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. මම හිතුව අමතක වෙලා වත්ද කියල :)//

      මම සොරයිසිස් එක කියෙව්වා. ශාපය නම් දැක්කෙ නෑ ඇත්තෙන්ම. ඒක විතරයි මිස් වුනේ ගිමන්. ඒකත් අද කියවන්න ඕනෙ.

      මම ඔය ප්‍රශ්නෙ ගිමන්ගෙන් අහන්න හිටියෙ. මම හිතිවෙ හෙන බිසි ඇති කියලා, නැතිනම් තොටියට වගෙ කම්මැලි කමක් ගහලා වත්ද කියලා. :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    4. ඇත්තම කියනවා නම් ටිකක් බිසී ටිකක් කම්මැලියි, දෙකම එකතු වෙලා බ්ලොග් එක ලියන අඩු වෙනවා. :)

      Delete
  9. මමත් ඉන්හේලරය ගන්න කෙනෙක් . දුවිලි වගේම කඳු නැගීම වගේ මහන්සි දැනෙන ව්‍යායාම වලදී තමයි මට වැඩිවෙන්නේ . නිසි උපදෙස් සහ ඉන්හේලර තමයි විසඳුම . පිහිනීම හොඳයි නේද .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිසි උපදෙස් එක්ක නිවරැදි ඉන්හේලර් භාවිතය තමා ගොඩක්ම වැදගත්.
      ඇත්තෙන්ම ඔව් පිහිනීම ඇදුම රෝගයෙන් පෙලෙන අයට ගොඩක් හොඳ ක්‍රීඩාවක් මෙන්ම ව්‍යායාම ක්‍රමයක්.
      ස්තූතියි ගිමන්හලට ගොඩ වැදුනට බින්දි! ආදරෙන් පිලිගන්නවා, ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  10. ගොඩක් වටිනවා. ජය! :)

    ReplyDelete
  11. මේවගේ වටිනා ලිපි ලියන එකට ඔබට බොහොම ස්තුතියි සහෝ.
    මම මේ ගැන වැඩි යමක් දැනගෙන හිටියේ නැහැ.ඔබට ස්තුතියි නැවතත්..
    ජය!

    ReplyDelete
  12. මෙන්න නියම ලිපියක්. ඇදුම වලක්වාගන්න හැටි කියපු එක තමයි වැදගත්ම.

    හිනා යන කතාවක් කියන්න්නද?

    අපේ යාලුවෙක් හිටියා. එයා ට හැමදාම පීනස. ඒත් කවදාවත් ඇදුම නම් ඇවිත් නෑ.

    අන්තිම අවුරුද්දෙ දවසක් රෑ එයා අපේ තව යාලුවො දෙන්නෙක් එක්ක ප්‍රසන්ටේෂන් එකක් හද හද ඉඳලා තිබුණා අපේ ස්‍ටුඩන්ට්ස් රූම් එකේ ඉඳන්. මතකද අර 2010 විතර ආව සීතල දවස් ටික? නුවර එලිය වගේ සීත වුණේ කොළඹ?

    ඉතින් මෙයාට ටික වෙලාවකින් තද කැස්ස්ක් ඇවිත්. කතා කර ගන්නත් බෑ. හොඳටම අමාරු වෙලා. අනේ ඉතින් එතන හිටිය අපේ අවසාන වසර වෛද්‍ය ශිෂ්‍යාවො දෙන්නා යාලුවාට වතුර උණු කරලා බොන්න දීලා කැස්ස අඩු කරන්න.

    ඒත් හරි ගියෙ නැති තැන එයාට කියල "ඔයා එහෙනම් බෝඩිමට ගිහින් නිදා ගන්න.... අපි දෙන්න මේක හදන්නම් කියල"
    යාලුවා බෝඩිමට ගිහින්. එහෙ යද්දිත් කැස්ස ලු. එයාව දැක්ක විතරයි බෝඩිමේ අක්ක එයාට කියල "අනේ මල්ලි, ඔයාට හොඳටම ඇදුම, ඉක්මනට වාට්‍ටුවට යන්න" කියල. බෝඩිමේ අක්ක රස්සවාවක් වත් නොකරන කෙනෙක්.
    යාලුවා ආපහු වෝඩ් එකට ඇවිත්. බලද්දි, එයාට acute severe asthma

    ReplyDelete
    Replies
    1. :o හපොයි!
      රෝග ලක්ශණ දැකල අත්දැකීම තමා ගොඩක් වැදගත් නේද?
      මාත් සායනික පුහුණු වලට යන්න ගත්ත කාලෙ සාමාන්‍ය අය දන්න දේවලුත් අදුන ගන්න බැරි උන වෙලාවල් තිබ්බා. කාලයක් දැකල අත්දැකීම් ලැබෙනකොට තමා යමක් කමක් තේරෙන්න ගත්තෙ. (ඒවා ඉතින් ජීවිත කාලෙ පුරාවටම ලැබෙන දැනුමනෙ නේද?

      Delete
  13. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගිම්..
    අන්තිමට දාලා තියන ලැයිස්තුව නම් හරිම වැදගත්..මේ වගේ ලිපි සීයක් තිබුනත් පාඩු නෑ බ්ලොග් අවකාශයේ...

    ReplyDelete
  14. අපේ තාත්තටත් ටිකක් මේ ඇදුම ගතිය තියෙනවා.. එයත් ඉන්හේලර් එකක් පාවිච්චි කරනවා..

    ගොඩක් වටින විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්!
      එහෙනම් ඉන්හේලර් ගැන තාත්තට කියල දෙන්න පුලුවන් නේද දැන්.

      Delete
  15. ගොඩක් වටිනා ලිපියක්, මටත් හතිය හැදුනා 2000 අවුරුද්දේදි රිය අනතුරකට ලක්වි පාදයේ ශල්‍යකර්මයක් කිරිමෙන් (ඇන සවිකිරිම) පසු ඇතිවු අතුරු ආබාදයක් නිසා හතිය සැදුනා. ( සිහි නැති කිරිමට යොදන ක්ලොර ෆොම් ආසාත්මික විමෙන් - මෙය කලාතුරකින් සමහර අය සිහි නැතිකිරිමෙදි සිදුවන බව වෛදවරයා පැවසුවා) පසුව මට අවුරුදු දෙකක් යනතුරු ඉන්හෙලරයක් බාවිතා කිරිමට උපදෙස් දුන්නා. අවු 2ට පසුව ඉන්හෙලරය නැවත්වුවා, මට මෙවනතුරු හතිය හැදුනෙ නැහැ, මිට පසු මා හට ශල්‍යකර්මයක් කිරිමට පෙර සෑම විටම වෛදවරුන්ට ක්ලොර ෆොම් ආසත්මිකවන බව දැනුවත් කරන්න කිව්වා.ඉන් පසු මගෙ දෙවන ශල්‍යකර්මය (2001 වර්ශයේදි) කරන විටදි හිරිවට්ටවා ඇන ඉවත් කලා.

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් කෙනෙක්ට නිර්වින්දන වලට ආසාත්මිකතා පෙන්වන්න පුලුවන්. ඒ ගැන දැනගෙන සිටීම වැදගත්. එතකොට ගැටලුවක් අපහසුවක් සිදු නොවන විදිහට සැත්කම් සූදානම් කරන්න පුලුවන්.

      ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට. ආදරෙන් පිලිගන්නවා!
      විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  16. ammoo matath podikale tibba oya lede...katawathma me wage ledaknam hadenna epa....aiya godaak hodata lipiya liyapa thiyanawa....වැදගත් ලිපියක්

    ReplyDelete
  17. ගොඩක් වටින විස්තරයක්..

    ReplyDelete
  18. ස්තුතියි. වැදගත් විස්තරයක්.

    ReplyDelete
  19. ස්තුතියි. වැදගත් විස්තරයක්.

    ReplyDelete