Thursday, August 30, 2012

තවත් එක් රෑ සමනලියක්....!


ඇඳ විට්ටමට කොට්ටය තබා උදාසීන කමින් යුතුව සිවිලිම දෙස බලා සිටි නිම්නාට සිවිලිමේ කොනක ඇති මකුලුදැලක පැටලී දඟලන සමනලයෙකු ඇස ගැටින. නේක වර්ණයෙන් හැඩ වූ සමනලයාට අත් වන්නට යන ඉරණම ගැන ඇයට ශෝකයක් ඇති විය.


සමනලයා දඟලන වාරයක් පාසා තව තවත් දැලෙහි පැටලේ. නිම්නා ඇඳෙන් බැස අසල තිබූ කොස්ස ගෙන සමනලයාව මුදා හැරියාය. මිදුන සැනින් පියඹා ගිය සමනලයා ඊට නුදුරින් තිබූ තවත් මකුලුදැලක පැටලින.


සුසුමක් හෙලා යලි කොස්ස අතට ගත් ඇයට දුරකතනය නාද වෙනු ඇසින.


"හෙලෝ"


"කෙල්ලෙ කොහෙද ඉන්නෙ?


"ෆ්ලැට් එකේ ඉන්නෙ මැඩම්, ඇයි මොකක් හරි වැඩක්ද"


"අනේ ඔව් කෙල්ලෙ, ඉක්මනට හොටෙල් එකට ආව හැකිද?
අලුත් කස්ටමර් කෙනෙක් ඉන්නවා, කොල්ලෙක්, සෑහෙන ගානක් ගලවන්ගන්න පුලුවන් වෙයි. දැනටම පැයකට 5ක් දෙන්න කැමති උනා. ටිකක් මහන්සි උනොත් හොඳ ටිප් එකක් ගන්න පුලුවන් වෙයි"


"හරි මැඩම් මම තව පැය බාගෙකින් හොටෙල් එකට එන්නම්"


"එහෙනම් කෙල්ලෙ ඉක්මනට එන්න, 12 රූම් එක මම බුක් කලා"


ඇමතුම විසන්දි කල නිම්නා හනිකට නාන කාමරය වෙත ගියාය


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


ත්‍රීවිලයට මුදල් ගෙවූ නිම්නා හනිකට හෝටලයට ඇතුලු විය. යා යුතුව ඇත්තේ ඇයට හුරු පුරුදු කාමරයකටය. අලුත් පාරිභෝගිකයා අත දිග හැර වියදම් කරන්නෙකු වේවායි සිතමින් ඇය කාමරයට ලඟා විය. 


එයට ඇතුලු වී හනිකට කොට දුහුල් ඇඳුමකට මාරු වූවේ පාරිභෝගිකයාව වඩාත් ආකර්ශනය කර ගැනීමේ අදහසිනි.


"හෙලෝ මැඩම්, මම රූම් එකෙ ඉන්නෙ, කස්ටමර්ව එවන්න"


"හරි මම කස්ටමර්ව එවන්නම්"


ඉන්පසු සුවඳ විලවුන් මදක් ගතට හලා ගත් නිම්නා ඇඳෙහි වාඩි විය. පැය කාලකින් පමණ දොරට තට්ටු කරන හඬ ඇසින.


"කමිං" 


සුපුරුදු රාගික මදහස මුවට නගා ගත් නිම්නා ලාලිත්වයෙන් යුතුව පැවසීය.
එ සැණින් දොර හැර පැමණි තරුණයා දුටු නිම්නා පළමුව පුදුමයටත් එසැනින් බියටත් පත් විය. 


"නුවන්!!!"


සිය ගණන් පිරිමින් ඉදිරියේ චකිතයකින් දොරව සලු පිලි මුදා හැර ඇති ඇය, ඇඳෙහි තිබුණු පොරවනයක් ගෙන දුහුල් කෙටි ඇදිමින් පමනක් වැසුනු සිය ගත වසා ගැනිමීනට උත්සාහ කලේ අතීතයේ තමාට ලැබුණු ඔවදන් යලි ඇසුනාක් මෙන් දැනුණු හෙයිනි.  


තාමත් දොර අසල සිටි නුවන්ද ඇය දෙස බලා සිටියේ විස්මයටත් කේන්තියටත් වඩා පිලිකුල් සහගත බැල්මකිනි.


"නිම්නා! එහෙනම් මෙතනින් තමා ඔයාගෙ ගමන කෙලවර වුනේ?"


නුවන්ගෙ ඒ වදන දෙදෙනාවම වසර හත අටක් පැරණි අතීතයක් වෙත ගෙන ගියය.
බොහෝ කලකට පෙර නුවන් හා තමාගේ අවසන් හමුවේදී නුවන් පැවසූ වදන් නිම්නාට සිහි විය


"එහෙනම් මේකයි ඔයාගේ අන්තිම තීරණේ? මොඩ්ලින් වෙනුවෙන් මාව වුනත් අත ඇරල දාන්න ඔයාට පුලුවන්?


"තේරුමක් නැතුව නිකන් කෑ ගහන්න එපා නුවන්, මම මැව්ව ලස්සන ජීවිතේට යන්න වාසනාව ලඟටම ඇවිල්ල තියෙන වෙලාවෙ ඇයි ඔයා ඒකට බාධා කරන්නෙ? ඔව් මම මේ ගමන යන්වාමයි. පොඩ්ඩක් අලුත් විදිහට හිතන්න බලන්න" 


හදිසියේ හමුවූ සන්දර්ශක කළමණාකරුගේ වදන් වලින් මුලා වී සිහින ලෝකයක ජීවත් වෙමින් තමා එදින පැවසූ වචනයක් පාසා නිම්නාට මතක තිබිණ.


"හරි නිම්නා එහෙනම් මමනෙ බාධාව. මම අයින් වෙන්නම්. ඒත් නිම්නා ඔයා විනාශ වෙනවා මම කොහොමද බලා ඉන්නෙ? ඔයාව ලොකු මුලාවක් දාල තියෙන්නෙ. පොඩ්ඩක් ආයෙත් හිතල බලන්න. කරන දෙයක් පරෙස්සමෙන්. මම යනවා"


සති ගණනාවක ගැටුම සමඟම වසරක පමණ ප්‍රේමයද නිමා කරමින් යන්නට ගිය නුවන් යලි නිම්නාට මුණ ගැසුනේ දෙදෙනාම නොසිතූ ලෙසය.


තමා බියවූ අකාරයෙන්ම නිම්නා සිය දිවිය අදුරටම ගෙන ගොස් තිබීම නුවන්ට දැඩි ශෝකයක් දනවන්නක් විය.

 

පොරෝනය තුරුල් කරගෙන හැඬුම්බරව මුහුන බිමට යොමා ගෙන සිටි නිම්නා දුටු නුවන්ට අතීතයේ කෙටි ඇදුම් ගැන තමා වියේචනය කල විට ඇය හැසිරුනේ මෙලෙස බව මැවී පෙණින.


"මම ඔයාට තේරුම් කරන්න ගොඩක් උත්සාහ කලා නිම්නා" නුවන් පැවසූවේ ඇය ගැන අති වූ අනුකම්පාවෙනි.


"ඔව් ඔයා හරි නුවන්, මම රැවටුනා ඔයා ඒ දවස් වල කියපු දේවල් තේරුම් ගන්න බැරි තරමට මම මුලා වෙලා හිටියේ"


"ඒත් ඇයි ඔයා මෙහෙම තැනකට එන්න තරම් පහත් තත්ත්වෙකට වැටුනේ නුවන්? මම හිතුව ඔයා හොඳ කෙනෙක් බැඳල ලස්සනට ජීවත් වෙනව කියල" නිම්නා කුතුහලයෙන් යුතුව ඇසීය.


මද සිනහවක් නගා ගත් නුවන් 


"ඔව් මම ඒ විදිහට තමයි ජීවත් වෙන්නෙ. මම දැන් දරුවො දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්"


ඒ වදනින් නිම්නා තවත් පුදුමයට පත් විය. එමෙන්ම නුවන් ගැන අප්‍රසාදයක් ඇති විය.
නුවන් ඇය දෙස බලාගෙනම දුරකතන ඇමතුමක් ගත්තේය.


"සර්, වැඩේ අසාර්ථකයි. කෙල්ල ආවෙ නෑ"


"ඔව් සර්, අතරමැදියව කොටු කර ගන්න පුලුවන්"


"හරි සර්, ඊලඟ පාර කෙල්ලව කොහොම හරි අල්ල ගමු"
නුවන්ගේ දුරකතන සංවාදයෙන් සිදු වී ඇති දෙය නිම්නාට අවබෝධ විය. ඇයට හැඬුනේ ඉබේටමය.


"අනේ ඔයාට ගොඩක් පිං නුවන්, ගෙදරින් මේ ගැන මුකුත්ම දන්නෙ නෑ"


"ඔව් ඒ මිනිස්සු පපුව පැලිල මැරෙයි තමන්ගෙ දුව කරන රාජකාරිය දැන ගත්තහම. නිම්නා ඔයාගේ මේ ගමන දැන වත් නතර කලේ නැත්නම් ඔයාට අන්තිමට අයිති වෙන්නෙ පොලිස් කූඩුවයි නින්දාවයි තමයි" 


මෙසේ පවසා නුවන් කාමරයෙන් පිට වූයේ කෙන්තිය හා දුකත් ඇතිවය. මද දුරක් ගිය ඔහුගේ ගමනේ සැර බාල විය. අපසු හැරී කාමර වෙත ආ ඔහුට දැක ගත හැකි වුයේ තවමත් ඇඳේ වැටී හඬමින් සිටි නිම්නාය.


"මේ නම්බර් එකට කතා කරන්න, මගේ හොඳ යාලුවෙක්, ලඟදි බදුල්ලෙ ෆාමසියක් පටන් ගත්තා. මම විස්තරේ කියල තියන්නම්. හැබැයි මේ ජීවිතේ සම්පූර්ණයෙන් අමතක කරන්න ඕනෙ. යාලුවා උදවු කරයි. මීට වඩා මට කරන්න දෙයක් නැහැ නිම්නා, හොඳින් ජීවත් වෙන්න බලන්න. තාමත් ඔයාට අවස්ථාව තියනවා"


දුරකථන අංකය ලියූ කොල කැබැල්ල නිම්නාගේ අතේ මිට මොලවා කරුණාවෙන් ඇගේ හිස අතගෑ නුවන් කාමරයෙන් පිට වූයේ ඇය යහමඟට යොමුවේවා යන ප්‍රාර්ථනය කරමිනි.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


මලාණික වූ මුහුණින් හා ගතින් යුතුව නිම්නා යලි සිය මහල් නිවාසයේ කමරය වෙත පැමිණියාය.
එලෙසින්ම ඇඳට වැටුනු ඇය අතීතය හා ගෙවුණු දිනය ගැන යලි යලිත් මෙනෙහි කරන්නට විය.


සිහින පසු පස හඹා ගොස් නිකරුනේ නාස්ති වූ සිය ජීවිතය ගැන ඇයට මහත් වරදකාරී හැගුමක් ඇති විය.
ඒ සමඟම අහම්බෙන් ඇයට උදෑසන දුටු සමනලයා සිහි විය. අවසන් වරට දුටු තැන සමනලයාව දැකිය නොහැක, කාමරය පුරා නෙත් විහිදුවද දැක ගත නොහැකි විය.


"ජනේලයෙන් එලියට යන්න ඇති"
ඇයට යම් සහනයක් දැනින


සුසුමක් හෙලා නැගී සිටි ඈ අත් බෑගය හැර නුවන් දුන් දුරකතන අංකය ලියූ කොල කැබැල්ල අතට ගත්තාය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~  

( කතාව ලියන්න අදහස ඇති වුනේ මේ දිනවල ප්‍රසිද්ධ නව පරපුරේ ගීතයකට තැනුන වීඩියෝවක අවසන් රූප රාමුවේ අන්තර්ගත  කර තිබූ වැදගත් පණිවිඩයක් නිසා )


මෙන්න මේක තමා වීඩියෝව


 

එහි අවසානයට සඳහන් වෙන්නේ....

There are approximately over 50 000 trapped in this illegal trade 

which could manifest itself in all walks of life in Sri Lanka. 

Poverty and lack of education are two major reasons for the 

trapped to be compelled into this line of work.

Be aware! Once you fall down this dark hole, crawling back up can be quite difficult!

"We say that slavery has vanished from europiean civilization, but this is not 

true. slvary still exists, but now it applies only to women and its name is 

prostitution."

                                                                       ~Victor Hugo~


Wednesday, August 22, 2012

හිසරද අතර ප්‍රමුඛයා - ඉරුවාරදය (Migraine)


මදක් ප්‍රමාද වී අවදි වූ කුමුදු ඇස් විවර කල සැණින් ඇස ගැටුණ හිරු එළිය ඇයට ඇති කලේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇඟට දැනුන අම්‍රාණික බව හා හිසේ බර ගතිය ඇය සිතුවේ ප්‍රමාද වී නිදා ගැනීම නිසා ඇති වූවක් ලෙසය. ඇය යලි දෙනෙත් පියා ගත්තාය.


ඇසේ වම් පසින් ආලෝක ලපයක් ඇයට යාන්තමට පෙනෙන්නට විය. ඇය සිතුවේ එය එකවරම හිරු එළිය දැකීම නිසා ඇති වූවක් කියාය. නමුත් දෙනෙත් පියාගෙන සිටියද අලෝක ලපය වඩාත් තීව්‍ර වෙමින් ඇසේ වම් පස පැලමදියම් වී සිටී. දඟරාකාරව ස්පන්දනය වෙමින් තිබෙන එම ආලෝකය කුමුදුට අප්‍රසන්න විය.


එම අප්‍රසන්න කම නිසාම හිසේ වම්පස රිඳුම් දීමට පටන් ගත්තේය. ඇය යලිත් තදින් දෙනෙත් පියා ගෙන නිදා ගැනීමට උත්සාහ කලමුත් දඟරාකාර ආලෝක ස්ප්න්දය ඇයව නින්දට වැටීම වලක්වයි.


දැන් එන්න එන්නම හිසරදය වැඩි වේ. ඊට අමතරව උදරයද ඇයට නොදැනෙන අප්‍රසන්න බවක් ඇති කර ඔක්කාරය ගෙන දේ.


"වමනෙ කලොත් හරි යයි" ඇය ඇඳෙන් බැස නාන කාමරය වෙත වැනි වැනී ගමන් කලාය.
බලෙන් වමනය කිරීමට උත්සාහ කලද එය සාර්ථක නොවීය.


ඇය යලිත් ඇඳට පැමිණියාය. ඉර එළිය ඇයට කෝපය ගෙන දේ. ඇය ජනෙල් තිර රෙදි දිග හැර කාමරය අඳුරු කර ගත්තාය. වේදනා නාශක පෙත්තක් ගෙන යලි නිදා ගැනීමට උත්සාහ ගත්තාය, නමුත් නින්ද පැමිණෙන බවක් නැත. 


මඳ වේලාවකින් යමෙක් දොරට තට්ටු කරන්නට විය. ඇය කන්දෙකද වසා ගෙන මුහුන කොට්ටයේ ඔබා ගත්තාය. දොර හැරගෙන පැමිණියේ බෝඩිමේ අසල්වැසි කාමරයේ මිතුරිය තනූජාය.


"මොකද බං මේ ඉර මුදුන් වෙනකල් නිදි! නගිටපං නැගිටපං" 

තනූජා කුමුදුට පහරක් ගසා ඇඳේ පසකින් හිඳ ගත්තාය.


හදිස්සියේම දොර හැරීමෙන් පැමිණි ආලෝකයෙන් හා තනූජාගේ කියවිල්ලෙන් කුමුදුගේ හිසරදය අලුත් කලේය. ඒ සමඟම ඇයට කෝපයක් ඇති විය.


"අනේ තනූ මට පාඩුවෙ ඉන්න දීපන්කෝ, මොන කරදරයක්ද මංද" 
ඇය කොට්ටයට මුහුණ තද කර ගනිමින් පැවසීය.
තනූජා ඉන් පුදුමයට පත් විය


"මොකද කුමුදු අසනීපයක්වත්ද?"


"ඔව් තනූ උදේ නැගිට්ට වෙලේ ඉදන් මේ ඔලුවෙ කැක්කුමක් හැදිල, නින්ද යන්නෙත් නෑ, වමනෙට එනව වගේ, එපා වෙනවා"


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


ඉහත සඳහන් කලේ ඉරුවාරදය(Migraine) නම් සුලබව දක්නට ලැබෙන හිසරද වර්ගය පලමු වරට අත්දකින අයෙකු පිලිබඳ උදාහරණයකි.


හිසරදය යනු අප සියලු දෙනාම වාගේ බොහෝ විට අත් දැක ඇති සුලබ අපහසුතාවයකි. මෙය බොහෝ විට වෙනත් රෝගී තත්වයක රෝග ලක්ශණයක් ලෙස ඇති වේ. එමෙන්ම අධික වෙහෙස, නිදි වර්ජිත බව, සමහර ඖෂධ වර්ග වල අතුරු ඵල ලෙස හා මානසික පීඩනය වැනි හේතු නිසාද ඇති විය හැකිය.


මෙම විවිධාකාර හිසරදයන් අතර නිතර නිතර දීර්ඝ කාලයක් ඇති වන හිසරද වර්ගද වේ. මේවායින් සුලභ වර්ගය වන්නේ ඉරුවාරදයයි.
මෙය කාන්තාවන් අතර බහුලව දැකිය හැකි අතර ඕනැම වයසක අයෙකුට වැලඳිය හැක (අවුරුදු 10 - 45 අතර වැඩි වශයෙන් )

මෙම ඉරුවාරදය ඇති වීමට හේතු තවමත් හරියාකාරව සොයා ගෙන නැත. නමුත් මොළ්යේ අභ්‍යන්තරයේ මෙන්ම හිස් කබලේ ඇති රුධිර නාල වල සිදුවන වෙනස් කම් (හැකිලීම හා ප්‍රසාරණය ) වීම් මෙයට හේතු වේ යැයි සැක කෙරේ. එමෙන්ම මොළයේ ඇති රසායන ද්‍රව්‍යය (Histamine, Serotonin, Nor adrenaline ) වල සංකූලතාද මෙයට හේතු වන බවට සැක කරයි.


අපි බලමු මෙම ඉරුවාරදයේ රෝග ලක්ශණ මොනවාද කියල. මෙය වරින් වර ඇතිවන හිසරදයකි. එම වැළඳීම් දෙකක් අතර කාලය රෝගියගෙන් රෝගියාට වෙනස් වේ. සමහර අයෙකුට වසරකට වරක් වැළඳිය හැක, සමහරෙකුට සතියකට කිහිප වරක් වැළඳිය හැක.


මෙම හිසරදය අවස්ථා 3කට බෙදා දැක්විය හැක.


1. හිසරදය වැළඳීමට මද වේලාවකට පෙර  (විනාඩි 30කට පමණ පෙර )


- ඇස් පෙනීමේ වෙනසක් ඇති වීම (පෙනීම අඩු වීම, එක් ඇසක පෙනීම තාවකාලිකව නැතිව යාම )


- ඇසේ එක් පසකින් දීප්තිමත් විවිධ හැඩ තල වල එළි පෙනීම ( දඟරාකාර ස්ප්න්ද ලෙස දීප්තිමත් එළි පෙනීම, ඇස් වසා ගත්තද එම එළි පෙනීම සිදු වේ)


- සිරුරේ එක් පසක් හිරි වැටීම හෝ දුර්වල බවක් ඇති වීම.


2. හිසරදය පවතින කාල සීමාව


ඉහත සඳහන් කල අනතුරු ඇඟවීමේ ලක්ශණ (Aura) වලින් මද වේලාවකට පසු (විනාඩි 15-30) තද බල ලෙස හිසරදය හට ගනී. මෙය බොහෝ විට හිසේ එක් පසකින් ඇති වන්නකි.

මෙම හිසරදය සමඟ,


- සිරුරේ අප්‍රාණික බව
- ඔක්කාරය හා වමනය
- අහාර අරුචිය
- ආලෝකය දෙස බැලීම අප්‍රසන්න වීම
- ශබ්දයන්ට ඇති අප්‍රසන්න බව
- ක්ෂනික කෝපය ඇති වීම

වැනි ලක්ෂන ඇති වේ.


හිසරදය පැය කීපයක සිට දිනයක් දක්වා වුවද පැවතිය හැක.


3. හිසරදයට පසු කාලය

පැය කීපයකට පසු හිසරදය අවසන් වුවද රෝගියා තවත් පැය කීපයක් නිදා ගැනීමට පෙළඹේ. ශරීරයේ අප්‍රාණික බව පැය කීපයක් පවතී.


ඉරුවාරදය ඇති වීමට බලපාන සාධක කිහිපයක් දැකිය හැක. 

මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වේ.


  • තද හිරු එළියට නිරාවරණය වීම හෝ ඒ දෙස බැලීම
  • මානසික පීඩනය
  • නිදි වර්ජිත බව
  • සමහර ආහාර වර්ග (උදා - චොකලට්) නමුත් එය රෝගියා ගෙන් රෝගියාට වෙනස් විය හැක. 
  • කාන්තාවන්ගේ මාසික වීම.


ඉරුවාරදය යනු වඩාත් අප්‍රසන්න හිසරදයකි. මෙය සම්පූර්ණයෙන්ම සුව කල නොහැක. නමුත් නිවරැදිව වෛද්‍යය උපදෙස් පිළිපැදීමෙන් එය නැවත ඇති වීම අවම කල හැක. එමෙන්ම එය වැලඳුන විට ඇති වන අපහසු තාවය අවම කර ගත හැක.


ප්‍රතිකාර


හිසරදය ඇති වීමට හේතු වන සාධක පලිබඳ කල්පනාකාරීව සිට ඒවා හඳුනා ගෙන එම සාධක වැලකීම වඩාත් සාර්ථකය. (උදා - තද හිරු එළියට නිරාවරනය වීමෙන් වැලකීම )

සම්පූර්නයෙන්ම සුව කල නොහැකි වුවද, මෙයට ප්‍රතිකාර ක්‍රම 2 ක් ඇත.


1. හිසරදය ඇති වූ විට ඇති වන අපහසුතා වැලකීම
මෙයට වමනය හා ඔක්කාරය අඩු කිරීමට හා හිසරදය අඩු කිරීමට සුදුසු වේදනා නාශකයක් ලබා දෙනු ඇත.


2. ඉරුවාරදය ඇති වීම වැලකීමට ප්‍රතිකාර


මේ යටතේ ලබා දෙන ඖෂධ යම් කාලයක් ගැනීමේදී ඉරුවාරදය නැවත ඇති වීමට ඇති හැකියාව අඩු කරණු ලැබේ.


සැලකිය යුතුයි - දිගු කලක් වරින් වර ඇතිවන හිසරදය නොසලකා හැරීම භයානක විය හැක. මක් නිසාද එය වෙනත් රෝගී තත්වයක එකම රෝග ලක්ශණය විය හැකි බැවිණි. එම නිසා දිගු කලක් වරින් වර ඇතිවන හිසරද තත්වයක් තිබේ නම්. වහාම වෛද්‍යවරයෙක් හමුව අදාල පරීක්ශාවන් සිදු කර ගන්න.


Wednesday, August 15, 2012

අඳුරු පාශාණය....!



පැයක් පමණ එකම ඉරියව්වෙන් සිටි නිසා කකුලක් හිරි වැටී ඇත. නමුත් දුරදක්නයෙන් ඇස ඉවතට ගැනීමට ධනුශ්කට හිත ඉඩ නොදේ.


මාස ගණනක් පුරාවට තමා නිශ්ඵල ව්‍යායාමයක යෙදී සිටිනවා වත්දෝ වත් දැයි වැනි සිතුවිල්ලක් දැන් දැන් ඔහුගේ හිතේ එබිකම් කරන්නට පටන් ගෙන ඇත. ඔහුට සිය සඟයාගේ වදන්ද විටෙන් විට සිතට නැගෙයි.


"උඹෙත් මනස්ගාතනෙ, සම්මතයෙන් පිට කල්පනා කරනව කියල ඔහොම මෝඩ වැඩ කරල ඇති පලේ මොකක්ද? බලපන්කො අන්තිමට නිකන් කාලෙ කෑමක් විතරක් නෙවෙයිද වෙන්නෙ කියල"


නැවත නැවත සිහිවන තේමියගේ වදන් ඔහුව තවත් අධෛ‍යමත් කරයි. 


"නෑ මම හරි, අඳුරෙ තමයි වැඩිමනක් රහස් හැංගිලා තියෙන්නෙ" ධනුශ්ක හිස ගස්සා හිතට සවියක් ගෙන යලි දුරදක්නයට ඇස යොමු කර ගත්තේය.     


           ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

ධනුශ්ක හා තේමිය පාසැල් මිතුරන්ය, පාසැල් සමයේ තිබූ තරකා විද්‍යාව පිලිබඳ ආශාව පාසැල් විය නිමා වුවද ඔවුන්ගෙන් තුරන් නොවීය. ධනුශ්ක පාරම්පරිකව සුවිසල් වතු යායක හා දේපලක උරුමක්කාරයෙක් වූ බැවින් පාසැල් දිවියෙන් පසු සිය කාලය සම්පූර්ණ්යෙන්ම තාරක විද්‍යාව වෙනුවෙන් කැප කලේය. තේමිය රැකියාවකට යොමුවුවද හැකි හැම විටම සිය මිතුරා හා එක්ව කටයුතු කලේය.


ජාතික තලයේ සෑම තාරක විද්‍යයා සම්මන්ත්‍රනයකටම වගේ සහභාගී වීමෙන්ද ජාත්‍යන්තර මට්ටමේ තාරක විද්‍යා සංගම් බොහොමයකින් ලබා සිටි දැනුම නිසාද මොවුන් දෙදෙනා නිල නොවන මට්ටමේ දක්ශ තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් ලෙස හැදින්වීමේ කිසිම වරදක් නොවීය

ධනුශ්ක විශාල මුදලක් වැය කර අති ප්‍රභල දුරදක්නයක් තනා ගත්තේය. නමුත් ඔහු අහස නිරීක්ෂනයට තෝරා ගත් කෝනය ඔහුගේ මිතුරාගේ දැඩි අප්‍රසාදයට ලක් විය.
ඒ ඔහු තෝරා ගනු ලැබුවේ අහසේ අදුරුම පෙදෙස යැයි පැවසූ පෙදෙසකි.


ඕනෑම තරකා විද්‍යාඥයෙක් උත්සාහ ගනුයේ අපරිමිත තරකා අඩංගු අහසේ වැඩි වශයෙන් තාරකා ඇති පෙදෙසක් සිය ගවේශනයට යොදා ගැනීමටය. නව යමක් සොයා ගැනීමේ සම්භාවිතාවයක් ඇත්තේ එවිටය.


මෙම සම්ප්‍රධායෙන් පිට පැන්න ධනුශ්කට තිබුනේ අමුතුම අදහසකි.
එනම් වැඩිමනක් රහස් වසා ගෙන ඇත්තේ අඳුර බවය.
සාමාන්‍ය සම්ප්‍රදායන් මෙන්ම මිතුරාගේ අදහස්ද නොතකා ඔහු මාස කීපයකට පෙර ආරම්භ කල ගවේශනය නොකඩවා කරගෙන ගියේය.


          ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


තවත් පැයක පමණ වෙහෙසකාරී නිරීක්ශණ කාලයක් හමාර කරමින් ධනුශ්ක සුසුමක් හෙලීය. සිය ගවේශන කලාපය නිරීක්ශන මානයෙන් ඉවත්ව යාමට ආසන්නය.


"අදත් වැඩක් නෑ වගේ"


දවසේ අවසන් වරට යලි දුරේක්ශයට ඇස තබා ගනිමින් ඔහු සිතීය.

ඇස ඉවතට ගන්න සිතනවාත් සමගින් අහම්බෙන් ඇස ගැටුන දෙයින් ඔහු තිගැස්සින.


ධනුශ්ක යලි හොදින් දුර දක්නයේ කාච සුසර කර අහසට නෙත් හෙලීය. වැරදීමක් නැත.
පෘතුවිය දෙසට ඇදී එන ග්‍රහකයකි. නමුත් අසාමන්‍යතා කිහිපයක් ඔහුට ක්ෂණිකව අවබෝධ විය. එනම් එය පෘතුවිය දෙසට ඇදී එන්නේ අසාමාන්‍ය තරමේ වේගයෙනි. අනෙක නම් එය අසාමාන්‍ය ලෙස අදුරුය. 


ඔහු බලා සිටියදීම එය පෘතුවි වායුගෝලයට ඇතුලු වුවද සාමාන්‍යයෙන් වන පරිදි එය ගිනියම් වීමක් සිදු නොවීය.

එම නිරීක්ශණයෙන් ඔහු උද්දාමයට පත් විය. බොහෝ කුඩා ග්‍රහක වායු ගෝලයෙදී දැවී යයි. නමුත් මෙම ග්‍රහකය අනිවාර්යෙන් පෘතුවියට නිරුපද්දිතව පැමිණෙනු ඇත.

ධනුශ්ක ක්ශණිකව දුරදක්නයට සම්බන්ධ කර තිබූ අධි තාක්ශණික මෙවලම් අධාරයෙන් ග්‍රහකය ගැටීමට හැකි පෙදෙස සොයා බැලීය. එම උපකරණ වලට අනුව එය ඇද වැටෙන්නට ඇත්තේ සිංහරාජ වන මැදටය.

"ශෙහ් ඒකෙත් හැටි දැන් ඉතින් ඕක හොයනවා කියන්නෙ පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනවා වගේනෙ"


එවෙලේම ඔහු සිය මිතුරාට ඇමතීය. ඉන්පසු සවිස්තරාත්මකව තමා දුටු දෙය පැවසීය.


"මචං හොයා ගත්තොත් නම් වටිනවා තමයි, එත් ඕක කොහෙන් කියල හොයන්නද? සමහර විට හම්බ නොවෙන්නත් ඉඩ තියෙනව. ඔන්න ඕක අල්ලලා දාමු"

තේමියගේ කතාව ධනුශ්ක කෝප ගැන්වීය.


"උඹට පිස්සුද මෙච්චර කල් කට්ට කාල අතටම ආව අවස්තාව එහෙම අත ඇරල දැම්ම හැකිද. මම හෙටම හොයන්න පටන් ගන්නවා"


"හරි හරි මචං, හොයමුකෝ එහෙනම් මාත් සති අන්තෙට එන්නම් හෙල්ප් එකට"
සිය මිතුරාගේ තීරණ ස්ථීර බව දන්නා තේමිය පැවසීය.


එයින් අරම්භ කල ග්‍රහකය සෙවීම මාසයක් පුරාවට කෙරිණ. ධනුශ්ක සිංහරාජ වනාන්තරය අසල කුඩා නිවසක් කුලියට ගෙන ජීවත් විය. තේමියද සති අන්ත වල ඔහුගේ සහයට පැමිනියේය.


ධනුශ්ක ලකුනු කර ගත් පෙදෙස පිරික්සා අවසන් කිරීමට ආසන්න විය. ඔහු බෙහෙවින් ශෝකයට පත් වී සිටියේ අතටම පැමිණි වාසනාව ගිලිහී ගියා වත්දෝ යැයි සිතාය.


එක් දීප්තිමත් උදෑසනක, තමා මෙතෙක් දවස් මග හැර තිබූ යාමට දුශ්කර පෙදෙසකට පිය නැගීමට ධනුශ්ක ආරම්භ කලේය. 

මදක් දුර ගමන් කරන විට ඔහුට ප්‍රබල ලෙස තාමට නොතේරෙන අමුතු හැඟීමක් දැනෙන්න්ට විය. අවට පරිසරය පවා වෙනස් වී ඇති බවක් ඔහුට දැනේ.


"කට්ට තනියෙම කැලේ රිංගන්න අරගෙන මගේ මොලේ නරක් වෙලාද මන්දා"
සිතේ ඇති වූ අමුතු බව සැඟවීමට මෙන් ඔහු සිතීය.

එන්න එන්නම ගස් කොලන් පවා වෙනස් වේ. 


"හ්ම්ම් සිංහරාජේ පරණම ගස් කොලන් තියෙන්නෙ මේ හරියෙ වෙන්න ඇති"


අසාමාන්‍යව දැවැන්තව වැඩුණු වනස්පතීන් හා ඒවාට නොදෙවෙනිව එවා වටා එතුනු ලියවැල් පිරික්සමින් ඔහු සිතීය.

එන්න එන්නම අදුරු බව වැඩි වේ, ඊට අමතරව අවට පැතිර ඇති මුග්ධ නිහඬ බව දනුශ්කට අමුත්තක් විය. 


අවසානයේ ඔහු කුඩා එලිමහනකට පැමිණින. කවාකාර එලිමහන් පෙදෙසක් වූ එහි මැද කුඩා ආවාටයකි. එය දුටු ධනුශ්ක ප්‍රීතියෙන් පිනා ගියේය.
එම ආවාටය ඔහුගේ සෙවීම අවසාන බවට සලකුණකි. කුතුහලයෙන් හා ගැහෙන හදින් යුතුව ඔහු ආවාටයේ පල්ලම බසින්නට විය. දුහුවිලි නැගෙන තරමට ඔත්පල වී තිබූ එම භූමිය දැවැන්ත පිහිටි කලු ගලක් බව ධනුශ්කට වැටහින. එය දුවිලි බවට පත් වූයේ කෙසේදැයි සිතමින් ඔහු ආවටයේ මධ්‍යයට ලඟා විය. 


දැඩි කලු ගල මදක් ඛාදනය කරමින් ඒ තුලට ගිලා බැස, එහි වූයේ ලෝකඩ පැහැති ආසන්න ගෝලකාර හැඩැති පාෂාණයකි. එහි මුදුනත කැඩී ගොස්ය. කැඩී ගොස් ඇති තැනින් පාෂාණයේ අභ්යන්තර කුහරයක් ඇති බව පෙනෙයි. එතැන දන ගසා ගෙන සුපරික්ෂා කාරීව කුහරය දෙස බැලූ ධනුශ්කට එය කුහරයක් නොවන බවක වැටහින. 


ඔහු විදුලි පන්දම ගෙන විවරය වෙත එල්ල කලේය. විදුලි එලිය එතුලට යන මුත් අදුරු බව වෙනසක් නොවීය. ධනුශ්ක හෙතුව අනුමාන කලේය, විදුලි පන්දමේ ආලෝකය නැවත නොපැමිණියේ එම අලෝකය සම්පූර්ණ්යෙන් පාශාණය තුලට අවශෝශණැය වූ බැවිණි. එසැණින් ධනුශකගේ සිහියට නැගුනේ කාලයක සිට පවතින කලු කුහර පිලිබඳ මතයයි.


"එතකොට මේක කලු කුහරයක්ද?"


තවත් විනාඩි කිහිපයක් පාශාණය හොදින් නිරීක්ශණය කල ධනුශ්ක එය පිළිබඳ යම් තාක් දුරට අවබෝධයක් ලබා ගත්තේය. 


එහි අභ්යන්තරය කලු එනම් අදුරු පැහැති අමුද්‍රව්‍යකින් පිරී පවතී. එම ද්‍රව්‍යය වට කරමින් ලෝකඩ වැනි තද ආවරණයක් ඇත. පාපන්දු බෝලයක් තරම් වුවද එය බරින් නම් කිලෝ දහයක් පමණ ඇතැයි ධනුශ්ක අනුමාන කලේය. 

සියලු ආම්පන්න එතැන අතහැර දැමූ ඔහු පාශාණය බෑගයේ දමා ගෙන සිය නිවසා බලා පිටත් විය.


ආපසු සිංහරාජය අසල පිහිටි තාවකලික නිවහනට පැමිණි ඔහු පාශානය යකඩ අසුරනයක තබා තේමියට ඇමතුමක් ගැනීමට උත්සාහ කලේය. දුරකතනය දෝශ සහිත බවක් පෙන්වයි. 


"අම්මෝ පුදුම මහන්සියක්, පොඩි නින්දක් දාල අයෙත් කතා කරල බලනවා"

දැඩි වෙහෙස නිසාම ඔහු එසැණිනි නින්දට වැටින.


පසු දින උදෑසනම ධනුශ්ක අවදි විය අවදි විය. ගතට දැනෙන්නට වූවේ පුදුමාකාර වෙහෙසකර බවකි. ඇටකටු සියල්ල තලා කුඩු කර දැම්මාක් මෙනි. අසීරුවෙන් දෙඇස් විවර කලද කිසිවක් හරි හැටි නොපෙනේ. මද වේලාවක් යන විට පෙනුම යන්තමින් පැහැදිලි විය. 


එහෙත් ඔහු දුටු දෙයින් ඔහුට කෑගැස්සින. ඔහු සිටියේ ගරා වැටෙමින් යන අදුරු කුටියකය. බිත්ති අවපැහැ වී අදුරු ගැන්වී ඇත. නමුත් යම් සුපුරුදු බවක් ඔහුට දැනෙන්නට විය.


"මොනවා!!! මේ මගෙ කාමරේම තමයි. ඒත් මොකද මේ වෙලා තියෙන්නෙ!"


ඔහු වහා ඇදෙන් නැගී සිටීමට උත්සාහ කලේය. නමුත් ඉන් සිදු වූවේ වාරු නැති ගත ඇදෙන් පෙරලී බිමට වැටීම පමණි.
බිමට අත ගසා නැගී සිටීමට වෙර දරන අතර ඔහුට සිය දෙ අත් ඇස ගැටින. කෘෂවී, නහර පෑදී රැලී වැටී තිබූ දෙ අත් දුටු ඔහු මහත් සේ බියට පත් විය.


"මොනවා මම නාකි වෙලා??!!

"ඒ කියන්නෙ මම අවුරුදු පනහක් විතර නිදා ගෙන ඉදලද?


ඔහු විවෘතව තිබූ කවුලුවෙන් ඉවත බැලීය. කවුලුවට මදක් නුදුරින් තිබූ කුඩා පේර පැලය එලෙසමය. ඔහු යලිත් පැටලින.


"මොකද මේ වෙලා තියෙන්නෙ"


හදිසියේම යමක් ඔහුගේ හිතට නැගින.


" දෙයියනේ!!!"


"පාශාණය!! ඒක අවශෝෂණය කරන්නෙ ආලෝකය විතරක් නෙවෙයි!!!

"කාලයත් අවශෝෂණය කරනවා!!"


ඔහු අසීරුවෙන් බඩගාගෙන මෙන් පාශාණය තිබූ යකඩ පෙට්ටියට අසලට ගියේය. මල නොකණ තද වානයෙන් තනා තිබූ පෙට්ටිය දිරා ගොසින. පාශානය මදක් පොලවට ගිලා බැස ඇත.


"එහෙනම් මේක ගිලා බහින්නෙ නැතුව එතැන තිබිල තියෙන්නෙ කලු ගල නිසා, දැවැන්ත කලු ගල දුහුවිලි වූවේ කෙසේදැයි ධනුශ්කට වැටහින"


"මෙතනින් එලියට පැන ගන්න ඕනෑ" ගතට වාරු ගෙන දොර අසලට බඩ ගෑවද දොරේ යතුර ගැනීමට නැගිට ගැනීමට වාරු නැත.   


          ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


එයින් දින හතරකට පසු සති අන්තයේ තේමිය දනුශ්කට සහය වීමේ බලපොරොත්තුවෙන් කැලෑබද නිවස වෙත ලඟා විය.
නමුත් ඔහුට නිවස සොයා ගැනීමට අසීරුය. 


නිවරැදි මාර්ගයේ පැමිණි බවට ඔහුට හොදටම විශ්වාසය. කලින් මේ හරියෙ කැලෑවක් තිබ්බෙ නැහැනෙ. ඔහු කෙසේ හෝ නිවස තිබූ තැන සොයා ගත්තේය.

සිය දෙනෙත් අදහා ගත නොහැකි ලෙස නිවස ගරාවැටී ඇත. 


නිවසේ සුන්බුන් අතර ඇවිද ගිය තේමියට හදිස්සියේ දුටු දෙයින් විශ්මයටත් බියටත් පත් විය. ඒ ඇට සැකිල්ලකි.

තිගැස්මෙන් යුතුව ඒ දෙස බලාගෙනම ආපස්සට පියවර තැබූ තේමියට එක වරම තමා ඇද වැටෙන බවක් දැණින. යමක් සිතා ගැනීමටත් පෙර ඔහු පොලවේ තිබූ කුහරයකට ඇද වැටී නොපෙනී ගියේය.


ඉන් වසර ගණනකට පසු ධනුශ්කගේ හා තේමියගේ නම් තවත් අතුරුදන් වූ තරුණයන් දෙදෙනෙකු ලෙස පොලිස් වාර්තාවනට එක් විය. 


Thursday, August 9, 2012

මනුදම් රකින්නෝ....!


අව් රැසින් දිලිසෙන ගේට්ටු රාජයා දවහවල උනුසුම තවත් වැඩි කරන්නේ යැයි විමලදාසට සිතේ. අතින් මුහුනෙන් බේරෙන දහඩිය පිස දැමූ ඔහු යලි ගේට්ටුවට තට්ටු කලේය.


එවර නම් සාර්ථකය. කවුරුන් හෝ ගේට්ටුව අසලට පැමිනේ.
ගේට්ටුවේ කුඩා දොරටුව විවර කරගෙන පැමිනි මැදිවියේ ගැහැණිය,


"කවුරු හම්බ වෙන්නද" ඇසුවේ හිසේ සිට පාදාන්තය දක්වා නොරුස්සනා සුලු බැල්මක් හෙලමිනි.
නංගිල ගෙදර වැඩට අලුත් කෙනෙක් අරන් වගේ.


"මම සුසිල නෝනගේ අයියා, කෝ ගෙදර කවුරුවත් නැද්ද?"
මෙහෙකාරිය එය පිලිගත් බවක් නොපෙනින.


"පොඩ්ඩක් ඔහොම හිටිය නම් මම නෝනගෙන් අහල එන්නම්. මොකක්ද මුන්නැහැගෙ නම කිව්වෙ?"


"විමලදාස අයිය ඇවිත් කියන්නකො එහෙනම්"


විමලදාස කීවේ තමාගේම නැගනිය හමු වීමට ඇති අමාරුවක් යැයි සිතමිනි.


මදකින් මෙහෙකාරියටත් පෙර දුවමින් එන සුසිලා පෙණින.
"අයියා ගොඩක් වෙලා මෙතන හිටියද, මේ ලුසි නෝනා ලඟදිනෙ වැඩට ආවෙ වැඩිය විස්තර 
දන්නෙ නෑ ඒ හින්ද"


මෙහෙකාරිය අසල සිට බයාදු සිනහවක් පෑවාය. ඒ " කවුද ඉතිං මෙහෙම ගොඩයෙක් නෑයෙක් කියල හිතන්නෙ" යැයි සිතමිනි.


"යං අයියේ ගෙට, ලුසි නෝන මේ බෑග් එක ගන්න" සුසිලා මෙහෙකාරියට අණ කලාය.


"ඕනෙ නෑ නංගි මෙච්චර දුර ගෙනාව එකේ ඉතුරු ටික මොකක්ද?"
අයියගෙ හිත රිදිල වත්ද විමලදාසගේ වදන කිරා මනිමින් සුසිලා සිතීය.


"අයියා එනව කියල ලියුමක් වත් එවන්න එපැයි, එහෙනම් සුමනෙට කියනවනෙ ස්ටේශන් එකට එන්න කියල"


"ඇයි සුසිලො මම එව්ව ලියුම් කරදහිය හම්බුනේ නැද්ද?"


"අහ් නෑනෙ අයියෙ" සුසිලා පැවසුවේ මදක් කල්පනාවට වැටෙමිනි. 


සැමියා තමාගේ නැදෑයින් නොරුස්සයි. ගමට යාම මෙන්ම ගමෙන් කවුරුන් හෝ පැමිනීම ඔහුට මහත් හිසරදයකි. සමහර විට ලියුම සුමනෙ විසිකරල දාන්න ඇති සුසුමක් හෙලමින් නිගමනයකට පැමිනියේය.


"එහෙනම් අයියා නාගෙන ඇදුම් මාරු කරගෙන එන්න කෑම කන්න"


"අදම යන්න තිබ්බ නම් හොඳයි නංගියෙ" විමලදාස පැවසුවේ හැකි ඉක්මනින් කොලඹ රටින් පිට වීමට ඇති ආසව නිසාමය.


"පිස්සුද අයියේ! දැන් පිටත් උනත් මොනරාගලට යද්දි රෑ වෙයි. එතනින් එහාට යන්නෙ කොහොමද. අද ඉදල හෙට උදේම යන්න. අනෙක සුමනෙව මුන ගැහෙන්නත් පුලුවන්නෙ එතකොට."


"එක නේන්නම් අමාරුම කාරිය" විමලදාස සිතීය


"හොඳා එහෙනම් මම මූන කට ටිකක් හෝද ගෙන එන්නම්"


  --------------------------


"මම හිතුව මිනිහ එනව කියනකොටම කීයක් හරි ගසා කන්න වෙන්න ඇති කියලා"


සුමනසිරිගෙ කටුක වදන් සුසිලාව තදින් රිද්දුවේය. 


"අයිය එහෙම නෑ සුමනේ, වෙන කරන්න දෙයක් නැති හින්දයි එන්න ඇත්තෙ. අනෙක මමමනෙ කිව්වෙ අම්මට ඉකමනට ඔපරේශන් එක කරන්න ඕනෙ කියල"


"ඔයාටත් කට පියන් ඉන්න බැහැනෙ සුසිලා" සුමනසිරිගේ හඬ එවර කෝපයෙන් පිරී ඇතැයි සුසිලාට සිතේ.


වසරකට පමණ පෙර ගමේ ගිය වෙලේ අම්මා සිය මූණ කට අතා ගාමින් තමාව පවා අඳුන ගැනීමට බැරි තරමට ඇස් පෙනීම දුර්වල බව පැවසූ හැටි සුසිලාට මැවී පෙණින. හැකි ඉක්මණින් හොඳ අක්ශි වෛද්‍යවරයෙකුට අම්මාව පෙන්වන ලෙස අයියාට කිව්වේ එවෙලේය.
මවට පෙනීම ලබා ගැනීමට කාචයක් බද්ධ කල යුතු බවත් හොඳ කාචයක මිල විසි දහසක් පමන වන බවත් අයියා පසුව දන්වා එවීය. තමා එම මුදල දෙන බවට සුසිලා පොරොන්දු වුවේ සුමනසිරිගෙන්ද නොඅසාය.


"ආ මෙතන පන්දාහක් ඇති, ඕක දීල යවන්න" සුමනසිරි මේසය උඩට දාහෙ කොල කීපය විසි කලේ දමා ගසන්නක් මෙනි.


සුසිලාට හැමදාමත් දැනෙන අසරණ බව යලිත් තදින් දැනෙන්නට විය.
ගුරුවරියක්ව සිටි සුසිලා ඉන් ඉවත් වූවේ සුමනසිරිගේ කීමටය. ඒත් සමඟම ඇය සිතුවේ සිය සැමියා හා දරුවන් වෙනුවෙන් සම්පූර්ණ කාලය වෙන් කිරීම වඩාත් සුදුසු බවය.
නමුත් යම් යම් අවශ්‍යතාවයන්ට සුමනසිරිගෙන් මුදල් ඉල්ලීමද එවිට සුමනසිරිගෙන් අසන්නට ලැබෙන අවමන් සහගත වදන් නිසාත් තමන් කර ගත්තේ මෝඩ කමක් යැයි ඇයට බොහේ විට සිතින.


කෙසේ හෝ තමා ලඟ යන්තම් ඉතිරි කරගෙන තිබූ මුදලක් එකතු කර අවශ්‍ය සම්පූර්ණ මුදල සිය සොහොයුරා අත තැබීමට සුසිල සමත් විය.


"අනේ මන්ද මම මේ නංගි කිව්ව නිසා ආව මිසක්ක, සුමනසිරි මෙහෙම හිතන බවක් දන්නවා නම් මම මේ ගමන කීයටවත් එන්නෙ නෑ සුසිලො"


අයියාගේ කතාවට දෙනෙතට යලි කඳුලු පුරවා එන සෙයක් සුසිලාට දැනින. පෙර දින රාත්‍රියේ සුමනසිරි සිය අප්‍රසාදය අයියා ඉදිරිපිටම පිට කල ආකාරය සුසිලාට සුමනසිරි ගැන පිලිකුලක් දනවන්නක් විය.
ඔහුගේ වදන් වලින් කිහිපයක් තවමත් සුසිලාගේ හිතේ රැඳී තිබේ.


"ඔය කැලේ ඉදන් කොලඹ එන එකත් ලේසි නැහැනේ, අනෙක මගෙ තත්වෙටත් මදි කමක් මෙහෙම අපේ ගෙදර යන්න එන්න ගත්තහම. සල්ලි ඕනෙ වෙන වෙලාවට දන්වල එවන්න බැරියැ එතකොට කීයක් හරි එව්න්නම්"


සුමනසිරි මෙතරම් නිවට අයෙක් වේවි යැයි සුසිලා නොසිතීය.


"මම යන්නම් නංගි, පුලුවන් වෙලාවක අම්මව බලල යන්න එන්න. අම්ම හැමදාමත් කියවන්නෙ උඹ ගැනම තමා"


සුසිලා සියා සොහොයුරාගේ දෙපා නැමදුවේ කඳුලු පිරි නෙතිනි.


"සුමනෙගෙ කතා වලට හිත රිදුන නම් සමාවෙන්න අයියෙ, ඉස්සර වගේ නෙවෙයි එයා ගොඩක් වෙනස් වෙලා දැන්"


"හා හා ඕවා මම එච්චර හිතට ගත්තෙ නෑ, නංගි ඕකට හිත නරක් කර ගන්න ඕනෙ නෑ. සමගියෙන් සමාදානෙන් ඉන්න වාද කරන්න යන්නෙ නැතුව"
මම යන්නම් එහෙනම්!"

පියා මිය ගිය පසු මවවත් බලා කියා ගෙන තමාට හැකි උපරිමයෙන් ඉගැන්වීමට ඔහු ගත් වෙර වීරිය වයසට වඩා දිරා ගිය කය දෙස බැලූ විට වැටහේ. තම යුතුකම් ඉටු කිරීමට ජීවිතයම කැප කල ඔහුට විවාහ දිවියකට යාමද අතපසු විය. සුසිලා සිය සොහොයුරා ගේට්ටුවෙන් පිට වන තුරුම බලා සිටියේ සැහැල්ලු නොවූ සිතිනි.


----------------------


"සුසිලා මම මේ කොහෙද ඉන්නෙ?"


සති දෙකකට පමණ පසු සුමනසිරිට පියවි සිහිය ලැබී ඇතැයි සුසිලාට වැටහිණ.  වසරකට පමණ පෙර සුමනසිරිගේ වකුගඩු නරක් වෙමින් පවතින බව සොයා ගත්තේ එහෙන් මෙහෙන් පහල වූ රෝග ලක්ෂන සමඟය. මුරන්ඩු කමට නිසි ප්‍රතිකාරයක් නොගත් ඔහු හදිසියේම සිහි විකල් වන තරමට අසාධ‍ය ලෙස ඔත්පල විය. 


වෛද්‍යය නිගමනය වූයේ වකුගඩු දෙකම අක්‍රීය වීමට යන බැවින් ජීවිතය බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කල යුතු බවය. නමුත් දුර්ලභ ලේ වර්ගයකට උරුම කම් කිවූ ඔහුට වකුගඩුවක් සොයා ගත නොහැකි විය. 


සියලු බලාපොරොත්තු අත හැර සිටි මොහොතක සුසිලාගේ පිහිටට අවේ ඇයගේ ආදරණීය සොහොයුරාය. දෛවයේ සරදමකට මෙන් ඔහු සුමනසිරිට වකුගඩුව ලබා දීමට සෑම අතින්ම ගැලපුනේය. දෙවරක්ම නොසිතා ඔහු එයට කැමති වූවේ අතීතය සහමුලින්ම වලදැමූ අයෙක් මෙනි.


"තාම ඉස්පිරිතාලෙ ඉන්නෙ සුමනෙ, පහු ගිය සති දෙකේම ඔයාට හරියට සිහිය තිබුනේ නෑ"


නැගිටින්නට හැදූ සුමනසිරිට සිය උදර දෙසින් වේදනාවක් දැනින. එවිට එදෙස බැලූ ඔහුට පැත්තක් වැසෙන්නම දැමූ ප්ලාස්ටරය පෙනින. 


"මේ මොකද මේ?"


"ඔයාට ලොකු ඔපරේශන් එකක් කලා සුමනෙ, ඔයාට වකුගඩුවක් බද්ධ කරන්න උනා ඔයාගෙ ජීවිතේ බේර ගන්න"


තමාගේ රුධිර වර්ගයේ ඇති දුර්ලභ භාවය සුමනසිරි දනී. මෙතරම් කෙටි කලකින් ගැලපෙන වකුගඩුවක් සොයා ගැනීම අතිශය අසීරු බව ඔහු දැන සිටියේය.


" මෙච්චර ඉක්මනට වකුගඩුවක් හොයා ගත්තෙ කොහොමද?"


දෙවිවරු වගේ මිනිස්සු තාමත් ඉන්න නිසා තාමත් හාස්කම් සිද්ද වෙනව සුමනෙ"


"ඔයාට වකුගඩුව දුන්නෙ අපේ අයියා"


මුව අයාගෙන සුසිලා දෙස බලාගෙනම යලි ඇඳට හේත්තු වූ සුමනසිරිගේ හිතේ පහල වන සිතුවිලි අනුමාන කිරීමට සුසිලා උත්සාහ නොකලාය.


Friday, August 3, 2012

නොදත් කලාව....!


මුදුන් වූ ප්‍රචණ්ඩ හිරු රාජයාට බියෙන් සෙවනැල්ලද යටි පතුලට පෑගෙන්නට තරම් සැඟවී ගොසින් යැයි චාමරට සිතේ. ඉහින් කණින් වැක්කෙරෙන දහඩිය පිස දැමීමෙන් ලේන්සුව වතුරේ ඔබා ගත් කල මෙන් දහඩියෙන් පෙඟී ගොස්ය.


සෙවනක් පේන තෙක් මානයේවත් නැත. කෙසේ හෝ ප්‍රධාන බස් නැවතුමටම ගොස් නතර වීමට සිතා ගෙන චාමර යලි ගමන ඇරඹීය. සරසවියෙන් පිටවී වසර දෙකකටත් කිට්ටුය. අවසන් විභාගයෙන් ප්‍රථම පංතියේ උපාධියකට උරුමකම් කීමට හැකි වූ චාමර තමාට කෙදිනකවත් මෙසේ පාරේ රස්තියාදු වීමට සිදු වේවි යැයි සිතුවේ නැත.


"රටේ වැරැද්ද! උගතුන්ට තැනක් නෑ" චාමර සිය සිතේ ඇති වූ කෝපය දුරු කරගන්නට මෙන් තමාටම කියා ගත්තේය.


"බ්‍රාස්....!" තමා අසලින්ම එකවර නැවතුන කාරයේ තිරින්ග හඬින් චාමර තිගැස්සුණි. රියදුරු අසුනේ අව් කන්ණාඩියක් දමා ගෙන සිටි පුද්ගලයාව එකවර හඳුනා ගැනීමට චාමරට අපහසු විය. 


තිලක් අව්කණ්ණාඩිය අතට ගෙන ඉදිරි දොර විවෘත කරන අතරම
"මොකද අදුනන්න බැරිද?"


"අප්පට සිරි මේ කඩියනේ! චාමර කෑ ගැසුවේය "මූට නම් ජයයි වගේ" සිතුවේ සියුම් ඊර්ශ්‍යාවක් මුසු වූ හැඟීමෙන් යුතුවය.


"නැගපන් බං බලා ඉන්නෙ නැතුව"


"කොහොමද බං මේ කට්ට අව්වෙ පයින් යන්නෙ උඹව වාශ්ප වෙලා තියෙයි තව ටිකක් දුර ගියා නම්" තිලක් පැවසුවේ චාමරව හොඳින් පිරික්සන බැල්මක් හෙලන අතරය.
"උඹ කැම්පස් එකේදි හිටියැයින් බාගයක් වෙලානෙ"


තිලක් චාමර සමඟ විශ්ව විද්‍යාලයේ එකම වසරේ උගත් අයෙකි. ඉගෙනීමට එතරම් දක්ෂකම් නොදැක්වූ තිලක් බොහෝ විට විභාග ගොඩ දා ගනු ලැබුවේ චාමර වැනි දක්ශ සිසුන්ගෙන් බරපතල දේශන සරලව අසා ඉගෙනීමෙනි. නමුත් කරන සෑම වැඩක්ම කඩිනමින් කිරීම පුරුද්දක් කර ගත් ඔහු ඇවිද්දේ පවා කඩිනමිනි. මේ නිසා ඔහුට කඩියා යැයි අනවර්ථ නාමයක් ලැබී තිබිණි. ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් වලට නොපැකිල සහභාගී වූවෙක් වූ ඔහු කතාවටද රුසියෙක් විය. ඕනෑම අයෙකුට නෑ බෑ නොකියා උපකාර කිරීමට පෙළඹෙන්නෙක් බැවින් ඔහු විශ්ව විද්‍යාලයේ කාගෙත් සිත් ගත්තෙක් විය.


"අවුරුදු දෙකකට විතර පස්සෙ නේද හම්බුනේ, යමු මොනව හරි කාල බීල ටිකක් කතා කරන්න"
තිලක් විමසුවේ රථය ටවුම දෙසට හරවමිනි.


"උඹ මේ කොහෙ යන ගමන්ද?"


"ඉන්ටව් එකකට ගියා බං, වැඩක් වෙන එකක් නෑ අද කාලේ ඔක්කොම පන්දම් වලටනේ"
චාමර පැවසුවේ කාරයේ කුඩා ලොකරයේ තිබූ නවීන පන්නයේ දුරකතනය දෙස බලමිනි.


"ඒක නම් එහෙම තමයි බං, ඒත් හැමතැනම එහෙම නැහැ" යැයි කියමින් තිලක් අවන්හලක් අසල කාරය නැවතීය.


"යමු මට නම් හොඳටම තිබහයි"


"මොනවද කන්නේ?" තිලක් විමසුවේ වේටර් කෙනෙකුට අතින් සංඥා කරමිනි.


"කන්න බෑ, මට නම් මොනව හරි බොන්න තිබ්බා නම් ඇති"


"අපිට ෆලූඩා දෙකක් ගේන්න" තිලක් ලඟට පැමිනි වේටර්ට පැවසීය.


"උඹට නම් ජොබ් එකක් සෙට් වෙලා වගේ" චාමර ඇසුවේ සිය කුතුහලය නිසාමය.


"අහ් ඔව් මචන් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනව"


"එච්චර ඉක්මනට උඹ කොහොමද ජොබ් එකක් සෙට් කර ගත්තෙ? අදුරන තැනක්ද? චාමරගේ කුතුහලය තවත් උත්සන්න විය.


"නෑ බං ඉන්ටෙර්විව් එකකින් තමා තෝර ගත්තෙ. බාගයක් රජයේ බාගයක් ප්‍රයිවට් තැනක්. වැඩ නම් ටිකක් වැඩියි. දැන්නම් පුරුදු හින්ද අවුලක් නෑ.


චාමරට තිලක්ගේ කතාව ගැන විශ්වාසයක් නොවීය." යන්තම් ෆයිනල් පාස් කරගෙන කොහොමද පන්දමක් නැතුව ඉන්ටව් පාස් වෙන්නෙ! මූ මටත් කොලේ වහනව"


"ඒක නෙවෙයි උඹට තාම ජොබ් එකක් නෑ කිව්වහම පුදුමයිනෙ. මම නම් හිතුවෙ උඹ මෙලහකට ජොබ් එකක් හොයාගේන ඊ ලඟ උපාධියට ලෑස්ති වෙනව ඇති කියල, උඹ කොහොමත් දක්ශයනෙ"


තිලක් අවංකව පැවසූ වදන් චාමරට ඇසුනේ තමාට සමච්චලයට පැවසූවාක් මෙනි.
"අද කාලෙ උගතුන්ට තැනක් නෑ බං, ඉන්ටව් කීයකට කියල ගියාද" චාමර පැවසූවේ කලකිරුනු හඬිනි.


වේටර් විසින් ගෙන ආ ෆ්ලූඩා පානය කරන අතර තිලක් මඳ කල්පනාවකට වැටින. චාමර පලමු වසරේ සිට ඔහුගේ සමීප මිතුරෙකි. ඉගෙනීමට දක්ශයෙක් වුවද බාහිර ලෝකය සමඟ ගැටීමේ අඩුවක් තිලක් ඒ දිනවල සිටම දුටුවේය. චාමර සෑම විටම සිතුවේ ජීවිතය ජය ගැනීමට අධ්‍යාපනය පමණක්ම සෑහෙන බවකි. නමුත් බාහිර ලෝකයේ ප්‍රයෝගිකත්වය හා සන්නිවේදන කුසලතාද යමක් ජය ගැනීමේ දක්ශතාවයද කෙතරම් ප්‍රබල දැයි තිලක් දැන ඇදින ගෙන තිබුනේ අත්දැකීමෙනි. ඔහුට සිය මිතුරා පිලිබඳ අනුකම්පා සිතුනි.


"මචං චාමර, මම ඉතිං උඹ තරම් බ්‍රයිටෙක් නොවුන බව ඇත්ත ඒත් ඉන්ටවිව් එකක් ගොඩ යන එකත් එක්තරා විදිහක කලාවක්"


චාමර සමච්චල් හිනාවක් මුවඟට නගාගෙන "එහෙනම් උඹ එහෙම කලාවකුත් ඉගෙන ගෙන වගේ, හරි හරි කියපන්කෝ බලන්න උඹේ ඔය කලාව"


චාමරගේ උඬඟු සහගත පිලිතුරු ගැන තිලක්ට අමනාපයක් ඇති නොවූයේ චාමරගේ මානසිකත්වය ඔහු වටහාගේන් සිටි බැවිනි.


"එහෙනම් පොඩ්ඩක් අහපන්කෝ"
ඔක්කොටම කලින් හොඳ බයෝ ඩේට එකක්, CV එකක් හදා ගන්න ඕන, නිකම්ම නම ගම වයස ලිපිනය විභාග ප්‍රතිඵල දාල ලැයිස්තුවක් වගේ එකක් දෙනවට වැඩිය ටිකක් ලස්සනට ඕක හදන්න ඕන බං.


නියමිත සැකිල්ලක් ආයතනයෙන් දීල නැත්නම් තමන්ගේ පොඩි ෆොටෝ එකක් දාල, ඊළඟට ලස්සනට පෞද්ගලික විස්තර, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරී සුදුසුකම් බාහිර ක්‍රියාකාරකම් මේ විදිහට වෙන් වෙන් කරල ටිකක් බලන කෙනාගෙ හිත යන විදිහට සුදුසුකම් ලියන්න ඕන. මම ඊ මේල් කරන්නම්කො හොඳ example එකක්.

ඊලඟට පොඩ්ඩක් ඉංග්‍රීසි හදා ගන්න ඕන. උඹ දන්නවනේ මට උඹට තරම් වත් ඉංග්‍රීසි වචනයක් කතා කර ගන්න බෑ කියල ඒ කාලෙ. මම කැම්ප්ස් අවුට් වුන ගමන් කලේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න එක. හැබැයි ඔය තැන් තැන් වල පංති ගියෙ නම් නෑ. තනියම පොඩ්ඩක් පුරුදු වුනා. මහලොකු දේවල් නෙවේ, එදිනෙදා වැඩ වලට ඕන වෙන දේවල්, සමාන්‍ය ඉන්ටවිව් එකක කතා වෙන දේවල්, වෙලාවෙ හැටියට සුබපතන්න, තමන්ගේ බලාපොරොත්තු කෙටියෙන් විස්තර කරන්න, අධ්‍යාපන සුදුසුකම් ටිකක් විස්තර කරන්න, ඔන්න ඔය වගේ දේවල්.


ඉන්ටවිව් එකේදි අහයි කියල හිතන දේවල් ටිකක් ලැයිස්තු කරගෙන අපෙ පැත්තෙ තරමක් ඉංග්‍රීසි දන්න කියන කෙනෙක් අල්ලගෙන අහගෙන පොතක ලියා ගත්ත. ඊට පස්සෙ ඉන්ටෙර්ව් එකට ගියා කියල හිතා ගෙන පුටු ටිකක් ඉස්සරහින් තියල හිතින් මවා ගෙන කතා කලා. දවස් තුනක් හතරක් කරද්දි නිකම්ම කටට හුරු වුනා.


ඊට පස්සෙ ඉතිං කතා කරන විදිහ ටිකක් හැඩ ගස්සල ගත්ත ශබ්ද කරන විදිහ එහෙම.
උඹ ඉතිං විහිලුවකට ගන්න එපා, හිනා වෙන විදිහ ඉඳන් කණ්නාඩිය ඉස්සරහ ඉඳන් පුරුදු වුනා.

ඔතන තනිකරම රඟ පෑමක් තමා තියෙන්නෙ බං. කෙටියෙන්ම කියනවා නම් තව කෙනෙක්ගෙ හිත ගන්න කරන රඟ පෑමක්, රඟ පාන්න දක්ශ වුන තරමට දිණුම්.
ඊලඟට බලපන් උඹේ ඇදුම. දෙවෙනි බොත්තමේ නූලක් ඇදිල, කොලර් එකේ පැත්තක් ඇඹරිලා හරියට අයන් කරලත් නෑ. කලිසමේ පොඩි පැල්ලමක්.


අපි නොහිතුවට ඉන්ටවිව් කරන්න එන අය ඕව හරියට බලනවා. දාස් ගනන් වල ඇඳුම් ඕන නෑ අදින ඇඳුම පිලිවෙලට අඳින්න. එක ඉරක් නැති වෙන්න මැදල ගානට නැවුම් පාරවල් තිබ්බානම් පරන ඇඳුමක් වුනත් පිලිවෙලයිනෙ. අනෙක චාම් පාටක් තෝර ගන්න ඕන අනවශ්‍යය මෝස්තර නැතුව. සපත්තු දිලිසෙන්න පොලිශ් කරල තියා ගන්න ඕන.


මම ඉන්ටෙර්විව් ගිය දවසෙ ඔරලෝසුව මල්ලිගෙන්, සපත්තු දෙකයි බෙල්ට් එකයි අල්ලපු ගෙද එකාගෙන්. කොහොම හරි වැඩේ හරියට කර ගත්ත ඒකනෙ වටින්නෙ බං.


උදේ හොඳට රැවුල කපල නාල එහෙම ප්‍රෙශ් පිට යන්න ඕන. බලපන් උඹෙ පැත්තක රැවුල් කොට ටිකකුත් පේනවා. ඔහොම අඩු පාඩු දැක්කහම මොනතරම් කෙනෙක්ගෙ සුදුසුකම් තිබ්බත් තෝර ගන්න හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්.
ඊලඟට ඉන්ටෙර්විව් එකට යන තැන ගැන හොයල බලන්න ඕනා. මොකද අපි එතන ගිහින් කතා කරන අතරෙ එයාල ගැන යමක් ඇහුවොත් උත්තර දුන්න හැකි. ඒ වගේම එයාල බලාපොරොත්තු වෙන දැනුම අපිට අනුමාන කරල ලෑස්ති වුන හැකි.


ඔන්න ඉන්ටවිව් එකට පැය බාගයක්වත් කලින් යන්න බලන්න. වෙලාවට වැඩ කරන එක ඕන කෙනෙක් අගය කරනවනේ


අදාල කාමරේට යන්න කලින් හොඳ හුස්මක් අරගෙන මූනට විනීත හිනාවක් අරගෙන තමයි ඇතුලට යන්න ඕන, වහපු දොරක් නම් පොඩි තට්ටුවක් දාල එහෙම. උඹ දන්නවනෙ ඔය පොඩි පොඩි මැනර්ස්.


කොන්ද කෙලින් තියා ගෙන මේසෙ ලඟට යන්න. මතක තියා ගනින් උඹ ඇවිදගෙන එන විදිහටම සමහරු උඹව මනිනවා. මම කලින් කිව්වා වගේ ටිකක් පුරුදු වෙලා යන එකේ වරදක් නෑ. කොටින්ම කිව්වොත් උඹ කරන හැම චලනයකින්ම උඹේ පෞර්ෂය මනිනව. ඒකෙන් උඹෙන් ප්‍රශ්න අහන්න කලින්ම මූ නම් හොඳයි කියල හිතා ගන්න පුලුවන්.
එයාල සුබ පතන්න කලින් උඹ වෙලාවට ගැලපෙන විදිහට හොඳට හිනා වෙලා කියන්න ඕන.


ඊට පස්සෙ ඉඳගෙන කතා කරද්දි වුනත් ලාවට විනීත හිනාවක් තියාගෙන ප්‍රසන්න විදිහට කතා කරන්න. හොඳට මතක තියා ගන්න කෙලින් බලල හොඳට ඇහෙන්න කතා කරන්න. පෞර්ශය මනින තවත් හොඳම ක්‍රමයක් තමා කට හඬ. හොඳ පුහුණුවක් වටිනවා කියල තේරෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට තමයි. එතකොට දාඩිය පෙරන්නෙ නැතිව සැහැල්ලුවෙන් කතා කල හැකි.


හැම තිස්සෙම ධනාත්මකව කතා කරන්න පුරුදු වෙන්න. ඒක ඕනම කෙනෙක් සතුටු කරන දෙයක්. ඉවර වෙලා අතට අත දෙන එක ඉඳන් හොඳ පාලනයකින් ශක්තිමත් විදිහට කරන්න ඕන.


ඉන්ටෙර්විව් වල පන්දම් වලට තැනක් තියන බව ඇත්ත ඒත් ඔතන ටිකක් මොලයකුත් තියන වුන් ගොඩක් වෙලාවට ඉන්නවා. ඉතිං එහෙම කෙනෙක්ට මූව නොගෙන ඉන්න එක අපරාධයක් කියල හිතුනොත් පන්දම් නැතත් ඉන්ටෙර්විව් එක පාස් වෙන්න පුලුවන්!"


දීර්ඝ දේශනය අසා සිටි චාමරට හැබෑවටම එය කලාවක් නොවේදැයි සිතින.


"උඹ නම් මාර පොරක් බං, මම මෙච්චර ඉන්ටව් වලට ගියා ඔච්චර දේවල් හිතුවෙ නැහැනේ, මම හිතුවේ සහතික මිටිය අරන් ගිහින් පෙන්නල අහන ඒවට පුලුවන් විදිහට උත්තර දුන්නහම ඇති කියල" "තෑන්ක්ස් මචන්"චාමර තිලක්ට ස්තූති කලේ හදවතින්මය


අධ්‍යාපනික සුදුසුකම් කෙසේ වෙතත් ජීවන සුදුසුකම් අතින් නම් තිලක් තමාට වඩා බොහෝ දුර ගොස් ඇති අයෙක් යැයි චාමරට සිතුනි.