Tuesday, July 3, 2012

එකම දේ නැවත නැවත කරවන ග්‍රස්ථිය (Obsessive Compulsive Disorder)


"චා දොර වහන්න බැරි වුනාද මන්ද" කාරයට නැගි සුගත්ට සිතින. හණික කාරයෙන් බැස ගත් ඔහු ඉදිරි දොරටුවේ හැඬලය දෙතුන් වරක් කරකවා දොර තල්ලු කර, දොර වැසී ඇති බව තහවුරු කර ගත්තේය. "අයන් එක ගැලෙව්වද මතකත් නැහැ"

ඔරලෝසුව දෙස බලා නැවත නිවසට ඇතුලු වූ ඔහු විදුලි ස්තිරික්කය විදුලියෙන් විසන්ධි කර ඇති බව තහවුරු කරගෙන නැවත ඉදිරි දොර වසා කිහිප වරක් එය පරීක්ෂා කර දොර වැසී ඇති බව තහවුරු කර ගෙන සුසුමක් හෙලා කාරයට ගොඩ විය!


මොකද ඔබට හිතෙන්නේ සුගත් ගැන? ඉක්මණින් සුලු දෙයක් පවා අමතක වෙන කෙනෙක්ද? නොසැලිකිලිමත් කෙනෙක්ද? නැත්නම් ඕනවටත් වඩා පරෙස්සම් වන කෙනෙක්ද?

නැහැ! මේ ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවයේ ලක්ෂණ කීපයකි. 


අහ්! එහෙනම් ඉතිං පිස්සෙක්ද?! මෙසේ සිතීම සමාජයේ ඇති තවත් මෝඩ ආකල්පයකි.


අපට වැලදෙන කායික රෝග තරමටම මානසික රෝගද සුලබය. ගැටළුවකට ඇත්තේ මානසික රෝග කායික රෝග මෙන් බොහෝ දෙනා හදුනා නොගැනීමයි. බොහොමයක් මනසේ ඇති වන සංකූලතා කැස්ස හෙම්බිරිස්සාව මෙන් ඇති වී නැති වී යයි. නමුත් සමහර හෙම්බිරිස්සා තත්වයන් නියුමෝනියාව දක්වා නරක් වන්නා සේ මානසික රෝගද දරුණු තත්වයට පත් විය හැක.


දැන් අපි බලමු මෙම ග්‍රස්ථිය කියන්නේ කුමක්ද කියල.

මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණය වන්නේ. සිතට අසහනය දෙන සුලු සිතුවිලි, ආවේග හෝ රූප එක දිගටම සිතට ඒමය. මෙය සිතා වලක්වා ගැනීමටද නොහැකිය. බොහෝ විට රෝගියාට මෙය කරදයක් වේ. එම නිසා මානසික පීඩනයට ලක්වීමද එම සිතුවිලි අප්‍රසන්න බවට පත් වීමද සිදු වේ.


මෙම සිතුවිලි වර්ග කීපයකි.


1. එක දිගටම ඇති වන සිතුවිලි. (obsessional thoughts)

- ඉහත සඳහන් කල අකාරයට වේ.


2. එකම ක්‍රියාව කිහිප වරක් කිරීමට පොලඹවන සිතුවිලි. (obsessional rituals)


මෙය තේරුමක් නැතිව හෝ තේරුමක් ආරූඪ කර ගනිමින් සිදු කරන ක්‍රියාවන්ය.

උදා :-

- ඇවිදීමේදී යම් ස්ථාන අනිවාර්‍ය්යෙන්ම පසුකර යාමට උත්සාහ කිරීම.

- මේසය උඩ හෝ කාමරයේ ඇති භාණ්ඩ සිතට ඇතිවන තුරු නියමිත තැන් වල පිලිවෙලට තැබීම.( කිහිප වරක් එකම භාණඩය ඉතාමත් නිවරැදිව නියම තැන තැබීමට උත්සාහ කිරීමා


3. විවාදාත්මක සිතුවිලි (obsessional doubts / compulsions)


දවසේ කරන ක්‍රියාකරකම් ගැන සැකයක් ඇති වීම, එම ක්‍රියාව කිහිප වරක් කිරීමෙන් සැකය සංතෘප්ත කර ගැනීමට උත්සාහ දැරීම.


උදා :-

- දොරක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම.

- කරාමයක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම.

- විශබීජ ඇතැහි සිතමින් බොහෝ වේලා වරින් වර අත් සේදීම.


4. ආවේගත්මක සිතුවිලි (obsessional impulses)


යම් යම් ආවේගශීලී (දරුණු හෝ ලැජ්ජා සහගත ) ක්‍රියාවන් කිරීමට මහත් අසාවක් ඇති වීම.


උදා :-

- ගමන් කරමින් තිබෙන රථයකින් පැනීමට සිතීම.

- කුඩා දරුවෙකුට පහර දීමට සිතීම

- පාලනය කර ගත නොහැකි ලෙස අසභ්‍ය සිතුවිලි සිතට ඒම.

(මෙවැන් සිතිවිලි ඇති වුවද ක්‍රියාවට නොනගයි, එම සිතුවිලි ගැන ලැජ්ජා සහගත හා අප්‍රසන්න බවක් ඇති වීම පමණක් සිදු වේ.)


5. බිය සහගත සිතුවිලි (obsessional phobias and anxiety)


මනස අපහසුතාවයට පත් කරන ඉහත සඳහන් ආකාරයේ සිතුවිලි පිළිබඳ බිය ඇති වීම. එම නිසා එවැනි සිතුවිලි ඇති වන අවස්තා මඟ හැරීම.



ඉහත සඳහන් සිතුවිලි ඇති වීමට අමතරව තවත් මේ හා බැඳුනු ලක්ෂණ දැකිය හැක. මෙම ග්‍රස්ථියෙන් පෙලෙන්නන් බොහෝ විට දවසේ බොහෝ දේවල් යම් පිලිවෙත් පෙලක් ලෙස සිදු කිරීම හා එම පිලිවෙල වෙනස් කල හොත් තමාට හානියක් සිදු වේ යැයි සිතීම.


තමා තමාටම නියම කරගත් බොහෝ නීති රීති හා වැලකීම් අනුගමනය කිරීම.


පරිපූර්නත්වය පිළිබඳ අධික ලෙස සැලකිලිමත් වීම, එනම් යම් වැඩක් නිම කිරීමට අනවශ්‍යය ලෙස බොහෝ වේලාවක් වැය කිරීම. එම වැඩෙහි අවසානය පිළිබඳව නොසෑහීමට පත් වීම.


තමාගේ අදහස් පමණක් නිවරැදි යැයි සිතීම, අන් අයගේ උපදෙස් පිළිගැනීමට අකමැත්තක් දැක්වීම. මුරණ්ඩු ගති ලක්ෂන තිබීම. අනෙක් අයද තමාගේ අදහස් අනුගමනය කල යුතු යැයි සිතීම.


ආගමික කටයුතු වල යෙදීමට බොහෝ වේලාවක් ගත විම. එහි පිලිවෙත් ඉතා පරීක්ෂාකාරීව පිලිවෙලකට සිදු කිරීමට උත්සාහ ගැනීම. මෙහිදී ආගමික භක්තියට වඩා එම පිළිවෙත් වැරදීමෙන් තමට නරකක් හෝ හානියක් වේ යයි බිය ඇති වීම.


මෙලෙස දවසේ බොහෝ කටයුතු යම් සැකැස්මක් අනුව කිරීමට පෙළඹීම. යම් කටයුත්තක් කරන විට පිලිවෙල පිලිබඳ සෑහීමකට පත් නොවූ විට නැවත නැවත මුල සිට කිරීමට පෙළඹීම. වාර ගණනාවක් කිරීමෙන් විඩාවට හා කේන්තියට පත් වීමද සිදු වේ.


කිසිම තේරුමක් නැති කාර්‍ය්යන් පුරුදු ලෙස කිරීමට පුරුදු වී සිටීම.

උදා :- 

නිවසේ සිට පාසලට හෝ රාජකාරී ස්ථානයට යන විට, 

- යම් යම් ස්ථාන අනිවාර්‍ය්යෙන් පසු කිරීම.

- යම් ස්ථාන ලකුණු දෙස බලමින් යාම 

- එකම නාම පුවරුවක් පුරුද්දක් ලෙස කියව යාම

- හිස පීරූ පසු පනාව සෑම විටම එකම ස්ථානයක ඉතා නිවරැදිව තැබීමට උත්සාහ දැරීම.


යම් ක්‍රියාවක් වාර ගණන් කරමින් සිදු කිරීම. වාර ගණන වැරදුනු විට නැවත නැවත කිරීම.


මෙම සංකූලතාවය ඇති වීමට මොළයේ basal ganglia යන පෙදෙසේ ඇති වන යම් වෙනස්කම් බලපාන බවටත්. ස්නායු සෛල වල ඇති serotonin නම් රසායනිකයේ අසමතුලිත තාවයන්ගේ බලපැමක් මෙයට ඇති බවද, රෝගය වැලදීමට ජාන ගත බලපෑමක් ඇති බවද තවද සමහරක් බැක්ටීරියා (streptococcus) අසාදනයන්ගේ අතුරුපලයක් ලෙස මෙය හට ගත හැකි බවද මෙම රෝගය ඇති වීමට හේතු සොයා බැලීමේදී හමුවන කරුණුය. මෙම කරුණු තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.


දැන් ඔබට මෙම ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවය පිළිබඳ යම් වැටහීමක් ඇති යැයි සිතමි.


මෙම මානසික ගැටළුකාරී තත්වය පහසුවෙන් සාමාන්‍ය තත්වයට පත් කල හැක අවශ්‍යය වන්නේ තමාට ඇති ගැටළුව හරියාකාරව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමය. එවිට බොහෝ විට ඖෂධ භාවිතයෙන් තොරව වුවද මෙය සාමාන්‍යය තත්වයට පත්කර ගත හැකිය.


මේ සඳහා ඕනෑම සාමන්‍ය වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කරන්න. ඔහු අවශ්‍යය පරිදි තවදුරත් උපදෙස් ලබා දී නිසි වෛද්‍යයවරයෙකුට හෝ උපදේශකවරයෙකු වෙත යොමු කරනු ඇත.


ඉතා සරල මානසික අභ්‍යාස වලින් මෙම තත්වය ඉතා පහසුවෙන් සුව කරගත හැක. කලාතුරකින් ඖෂධ වල සහයද ලබා ගැනීමට සිදු වේ.

තම නිවසේ සමාජිකයින්ගේද සහය ගැනීමෙන් තවත් පහසුවෙන් මෙම තත්වය සුවකර ගතහැක., ඒ සඳහා ඔබගේ වෛද්‍යයවරයා හෝ උපදේශකවරයා උපදෙස් දෙනු ඇත.


66% කටත් වැඩි පිරිසකට නිවරැදි උපදෙස් පිළිපැදීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී සාමාන්‍යය තත්වයට පත් වීමට හැකි වේ. අනෙක් අයටද මදක් පසු වී වුවද නිවරැදි ප්‍රතිකාර ක්‍රම මඟින් සාමාන්‍යය තත්වයට පත් විය හැක.


මෙම තත්වය ඇති අය ඉන් ඉතා පීඩාවට පත් වේ. මානසික පීඩනය, කලකිරීමට පත් වීම, අධික ලෙස කාලය නාස්ති වීම, නිතර කේන්තියට පත් වීම වැනි දුෂ්කරතා වලට ලක් වේ. එම නිසා මේ පිළිබඳ සැකයක් ඇත්නම් වෛද‍යයවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට වඩාත් පහසු සැහැල්ලු දිවියක් ලඟා කර ගත හැකි වනු ඇත.


මේ සමඟම දිය යුතු ඉතා වැදගත් පණිවිඩයක්ද ඇත! එනම් මානසික රෝග යනු අනිසි ලෙස බිය විය යුතුවත්, සුව කල නොහැකි රෝගවත්, කීමට ලැජ්ජා විය යුතුවත් රෝග වර්ගයක්වත් නොවේ. ඒවාද සාමන්‍ය කායික රෝග මෙන් ඇති වී නැති වී යන, සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය වන තත්වයන්ය. එම නිසා මානසික රෝග පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස හා වැරදි ආකල්ප දුරු කිරීමට ඔබත් සහාය වන්න. ඉන් සුව කලහැකි බොහෝ මානසික රෝගී තත්වයන් ගෙන් පීඩා විදින අහිංසක ජීවිත ගණනාවක් නිවරැදි ප්‍රතිකාරයන්ට යොමුව සුවය ලබා යලිත් නිරෝගී මනසින් යුතුව සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබනු ඇත!


32 comments:

  1. එහෙම කරන අයත් ඉන්නවා නේද ...එකම දේ දහ පාරක් විතර..එතකොට දෙයක් අරන් එක අමතක වෙලා වෙන තැනක තියෙන එක එහෙම ..එක අමතක විම එහෙමත් එකට ආදාලද...

    අර අන්තිමේ කිව්වා වගේ එ අයට උදව් දිලා එ තත්වේ මඟ හරින්න මිසක් තවත් එ අයව අපහසුතාවයට ලක් කරන එක නම් හරි වැරදියි.

    ReplyDelete
    Replies
    1. අද නම් නංගා සුපුරුදු විදිහට 1ටම ඇවිත්,
      ගත්ත දෙයක් ගත්ත තැනින් නොතියන එක නම් මේක නෙවෙයි ඒ නොසැලකිල්ල නිසා අමතක වීම නේද.

      Delete
  2. මේ ලිපියට වැදගත් ,වැදගත්,වැදගත් කියලා දහ දොළොස් පාරක් කිව්වත් මදි මොකද ඇත්තටම මේක අතිශය වැදගත් නිසා..ඇත්තටම මගෙත් යාළුවො කිහිප දෙනෙක්ටම මේ දේ වෙලා තියනවා..මට නම් හම්බුන ඒ හැමෝම වගේ අවුරුදු 15 - 18 වගේ අතර කාලේ තමයි මේ සිදුවීම් වලට භාජනය වෙලා තියෙන්නෙ .. මම දන් නැහැ වයසත් එක්ක කොයිතරම් දුරට මේක සම්බන්ධද කියලා..මට මේක මගෙ බ්ලොග් එකෙත් දාන්න හිතෙනවා ඇත්තමයි ..ඉදිරියටත් මේවගේ හොද ලිපි බලාපොරොත්තු වෙනවා ඔබෙන්!

    ReplyDelete
    Replies
    1. සතූතියි හිරුහිමාවී!
      ඔයා කිව්වත් වගේ ඔනැම වසක කෙනෙක්ට මේ ගැටළුව ඇති වෙන්න පුලුවන් වුනත් අවුරුදු 15ත් 25ත් අතර අයට මෙය ඇති වීමේ වැඩි නැඹුරුවක් තිබෙන බව සොයා ගෙන තියෙනව. ඔයත් කැමතිනම් බ්ලොග් එකේ දාන්න. වැඩි දෙනෙක් දැනුවත් වීමනෙ වෙන්න ඕනෙ.
      තවත් මෙවැනි රෝගයන් කිහිපයක් ගැන ලියන්න අදහස් කරගෙන ඉන්නවා. වෙලාව ලැබෙන හැටියට බලමු.
      ආයෙත් විවේක වෙලාවට ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න.

      Delete
  3. මාත් ඉතින් ... දහ පාරක් විතර කමෙන්ට් කරන්නත් හදලා .. එක පාරක විතරක් කරනවා ඔන්න...
    ජයවේවා ...

    ReplyDelete
    Replies
    1. හප්පේ කුමාරයත් ගිමන්හලට ඇවිත්! ඔයාවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා.
      කොහොම හරි කොමෙන්ට් එක දැම්මනේ. ඒ හින්ද අවුලක් නෑ :)
      ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න!

      Delete
  4. බොහොම වැදගත් ලිපියක්!ඔය කියන obessive thoughts වල සරල අවස්ථාවකින් මාත් කාලයක්ම පීඩා වින්දා! තාමත් ටිකක් තියනවා! ඇත්තටම අපි බොහෝ දෙනෙක් මානසිකව නිරෝගී අය නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න එක වැදගත්!

    ReplyDelete
    Replies
    1. ඔබවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා සබිත්!
      ගැටලුවක් තිබෙන බව හදුනාගෙන එය මඟ හරවා ගන්න කටයුතු කලා නම් මෙහිත් සෙමප්‍රතිශ්‍යාවකට වඩා දෙයක් නැහැ. වැදගත්ම දේ තමාට මෙවැනි ගැටලුවක් තිබෙන බව හදුනා ගැනීමයි.
      ඔබ කිව්වත් අපි හැමෝටම විවිධාකාර මානසික සංකූලතා ඇති වෙනව. බොහෝ වේලාවට ඒවා බැරෑරුම් තත්වයකට පත් නොවී ඉබේම නැති වෙලා යනවා.
      අයෙත් ගිමන්හලට ගොඩවෙලා යන්න එන්න.

      Delete
  5. වටිනා ලිපියක්. මම අදයි දෙනගත්තේ මටත් මේ සමාන ගති ලක්ෂණ තියෙන බව. නරකද මේකට මුලිකව කරන්නන පුළුවන් සරල ප්‍රතිකාර ටිකකුත් සදහන් කලොත්.

    ReplyDelete
    Replies
    1. සතූතියි ප්‍රදීප්! සාදරයෙන් පිලිගන්නවා ගිමන්හලට!
      ඔය පහතින් තියන Dude ගෙ කොමෙන්ටුවේ තියෙනවා වගේ අසනීපයක් ගැන කිව්වහම අපිටත් ඒක තියනවා තියනවා වගේ සිතීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා වෛද්‍යවරයෙක් එක්ක කතා කරල තමන්ට තිබෙන ගැටළුවට උපදෙසක් ගැනීම තමා වඩා සුදුසු. මොකද මෙයට ලබා දෙන සිතුවිලි කල්දැමීම(Thought postpond), සිතුවිලි හුරුකරවීම(thought habituation), සිතුවිලි නැවැත්වීම(thought stoping), නිරාවරණය මගින් ප්‍රතිචාරය වැලැක්වීම(exposure and response prevention) වැනි මානසික ව්‍යායාම තිබෙනවා. නමුත් මේ සියල්ල ඔබට කරදරකාරී වන සිතුවිලි වල සභාවය අනුව සැලසුම් කලයුතු වනවා. ඉතිං ඒ සඳහා ඔබ සමග සාකච්ජා කල යුතුයි. වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුත්තේ එම නිසයි. නමුත් වැඩි විස්තර සහිතව E mail එකක් gimanhalablog@gmail.com වෙත එවන්න. හැකි පමණින් උපකාර කරන්න උත්සාහ කරන්නම්.
      නැවතත් ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න!

      Delete
  6. ගිමන්, ලෙඩක් ගැන කියෙව්වාම මටත් මේ ලෙඩේ තියෙනවනෙ කියලා හිතෙන එක කොයි කාටත් වෙන දෙයක් මම හිතන්නෙ. ඔය දොර වැහිලද කියලා බලන එක නම් මමත් කරනවා. එහෙම කරලත් එක දවසක් දොර ඇරලා දාලා වැඩට ගිහින් ආවා. ඊට පස්සෙ තවත් සැලකිලිමත්. අනික පරිසරයත් මේකට බලපාන්න පුලුවන්. අනික අතීත අත්දැකීමක්. මම නම් මේ පුරුද්ද හොඳ දෙයක් හැටියට භාර අරන් ඉන්නෙ. මොකද ඕකෙන් හොඳක් මිසක වරදක් වෙන්න බැරි නිසා.
    ගිමන්ට නම් නම මෙහෙම ලියන්න පුලුවන්නෙ.
    Dr Gimannivannaa M. B. B. S.
    (අඩෝ ඌට පුලුවන්නම් මට මොකෝ බැරි!)
    එතකොට මට පුලුවන් මගෙ නම මෙහෙම ලියන්න
    Henryblogwalker O.C.D., I. B. S.
    :D
    henryblogwalker the Dude
    .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත Dude ලෙඩක් ගැන කිව්වහම ඒක අපිටත් තියනව වගේ සිතීම සාමාන්‍ය දෙයක්. Dude ට නම් තියෙන්නෙ සාමාන්‍ය සුපරික්ෂාකාරි වීමක්! ඒක නම් ගැටළුවක් නෙවෙයිනේ. ඔන්න හතර පස් සැරයක් මේ දැන් වහල ආපු දොර මගට ගිහින් ආපහු ඇවිත් බලනවා නම් ආන්න ඒකයි ගැටළුව! IBS හපොයි අකුරු දාගන්න නෙවෙයි බේතක් හේතක් අරගෙන හොඳ කරගන්න එපැයි dude!

      Delete
    2. ගිමන් කලබල වුනානෙ මට වඩා. ඒක එහෙම දරුණු නෑ. ඩොකාත් මට කිව්වෙ අයියෝ ඕක මටත් තියෙනවානෙ කියලා. අනික මේකත් මේ ගනක් යමන්න ඉස්සෙල්ලා දෙතුන් වතාවක් ටොයිලට් ගිහිල්ලා ශුවර් කරගන්න එක. මම හිතන්නෙ මේක පිටිපස්සෙ තියෙන්නෙ මගකදි ටොයිලට් යන්න වුනාම ලැබිලා තියෙන අමිහිරි පෙර අත්දැකීම් මත පදනම් වුනු අනිසි (සමහර වෙලාවට නිසි :)) බියක් කියලයි. ඒ හැර වෙනත් ආබාධයක් නෑ. හැබැයි අර දොර ලොක් කරලද කියලා බලනවා වගෙ ඕකෙන් මට කිසි පාඩුවක් වෙලා නෑ, හොඳක් මිසක.
      henryblogwalker the Dude

      Delete
    3. ඕකත් එක එක අයට එක එක විදිහට බලපානවනේ, Dude ගේ රැකියාවත් එක්ක එච්චර වදයක් නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න ඕනෙ නැහැ. ගොඩක් කරදරකාරි විදිහට තියනව නම් ඉබේ හොඳ වෙනකල් ඉඳල බැහැනෙ.

      Delete
  7. මටත් ඉදලා හිටලා ඔය ලෙඩේ හැදෙනවා. ගෙදර දොර ලොක් කරලා මගට ආවාට පස්සේ ගෙදර දොර ලොක් කලාද කියලා ෂුවර් නැතිවෙනවා. ඒක නිසා ආයිත් ඇවිත් බලනවා. එහෙම ආපු එක දවසක ගේ ලොක් කරලා තිබුනේ නැහැ. අනික් දවසේ ගේ ලොක් කරලා යතුර යතුරු කටේම තියලා ඇවිත් :D

    ReplyDelete
    Replies
    1. මීට උඩින් තියන Dude ගේ කොමෙන්ටුවට දුන්න උත්තරේට සමාන දෙයක් තමයි හසිතටක් කියන්න වෙන්නෙ. ලෙඩක් ගැන කිව්වහම ඒක අපිටත් තියනව වගේ සිතීම සාමාන්‍ය දෙයක්. හසිතට තියෙන්නෙත් සාමාන්‍ය සුපරික්ෂාකාරි වීමක්! ඒක ගැටළුවක් නෙවෙයි. ඔන්න හතර පස් සැරයක් මේ දැන් වහල ආපු දොර මගට ගිහින් ආපහු ඇවිත් බලනවා නම් ඒ බලල යන අතරෙදිත් ආයෙත් හැරිල ඇවිත් බලන්න හිතෙනවා නම් ආන්න ඒකයි ගැටළුව!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ගිමන් දන්නවද අයිසෙක් ඇසිමොව් ව? එයා පුරුදු වෙලා හිටිය පාරෙ යනකොට මග දිගටම තියන ලයිට් කණුවකට තට්‍ටුවක් දාගෙන එන්න. ඒක පුරුද්දක් විදියට එයා කරගෙන ගියා.
    ඔන්න එක දවසක් මොකද්ද ලොකූ ගැටලුවක් කල්පනා කර කර එයා ආවා.(ලොකු උගත්තුනෙ, කල්පනා කරන්න දේවල්ද නැත්තෙ) ඉතින් කොහොම හරි ලයිට් කණුවක් මග ඇරුණා. ගෙදර ආවාම තමයි මතක් වුණේ ඒ ලයිට් කණුවට තට්‍ටු කළේ නෑ කියල.
    ඉතින්, දන්නවද මොකද වුණේ? ඉක්මනට පාර දිගේ ගිය ඔහු ඒ ලයිට් කණුවට තට්‍ටු කරල ගෙදර ඇවිත් සැනසුම් සුසුමක් හෙලුව.
    (මේ කතාව තිබුඑන් පරණ readers digest එකක. ඒ කාලෙ දැනගෙන නොහිටියාට OCD ගැන, දැන් හිතෙනව එයාටත් ඒක තිබුණද කියල)

    ගිමන්, උපරිමට ගිය රෝගීන් කීප දෙනෙක්ව මතක් වෙනවා මට. අපි හිතනවටත් වඩා ඔවුන් පුදුම විදියට විඳවනව මෙයින්, විශේෂයෙන්ම obsessional thoughts නිසා.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සිඳූ, අයිසෙක් ඇසිමොව්ගෙ කතාව මාත් අහල තියෙනව, ඒ කියන විදිහට නියමෙටම OCD වල ලක්ෂණ වලට ගැලපෙනවා නේද!
      ඔව් සිඳූ දරුණු විදිහට OCD වලට ලක් වුන අය පුදුම විදිහට දුක් විඳිනවා. ඒ අය පිලිවෙලින් දරුණු දොම්නසට පත් වීම (Severe depression) එතනින් සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීම දක්වා යන්න පුලුවන්.
      මෙහෙම කෙනෙක් ගැන මතකයම තමයි මටත් මේ ලිපිය ලියන්න හේතු වුනේ.

      Delete
    2. ඒ අයිසෙක් ඇසිමොව්ද? මට මතක තිබ්බෙ වෙන ප්‍රසිද්ධ ලේභකයෙක් හරි විද්‍යාඥයෙක් කෙනෙක් වගෙ. ස්තුතියි සිඳු.
      henryblogwalker the Dude

      Delete
  10. සෑහෙන වැදගත් තොරතුරු ටිකක්.. හිටපු ගමන් මටත් ඔය දෙයක් කලාට ඒක හරියටම කලාද කියලා ශුවර් නැති ගතියනම් එනවා.. විශේෂයෙන් ගෙදර දොර... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්, ඒ හිතෙන එක නම් සාමාන්‍ය දෙයක්. කොහොමත් වැඩි පරෙස්සමට ඒ සැලකිල්ල තියෙන්න ඕනෙ.

      Delete
  11. බොහොම වැදගත් ලිපියක්!ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහින දෙව්දූ!

      Delete
  12. හිටී ගමන් ඔය දොරවල් වහුවද කියලා ශුවර් නැති කේස් ඒක මටත් වෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් මේ කියන තත්වය නෙවෙයි රොබින්, ඔය කියන ගැටළුව අපි කාටත් සාමාන්‍යයෙන් ඇති වන සැකයක්නෙ. හැබැයි හැමදාම දවසට හතර පස් සැරයක් එහෙම හිතෙනවා නම් ඒක ගැන පියවරක් ගන්න වෙනවා!

      Delete
  13. ඇත්තටම ගොඩක් වටින විස්තර ටිකක්..එහෙම අය අපි අතර ඉන්නව නම් ඒ අයට උදව් වෙන එකනම් ලොකු පිනක් අයියේ....

    අද මම මේ පැත්තේ අන්තිමයා වෙලා නේද අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා!
      ඒකට මොකද! අන්තිමයාට හරි මේ පැත්තෙ ආපු එක තමා වටින්නෙ!

      Delete
  14. Thank you very much Giman for posting this article... a very important and well organized one. keep it up!

    ReplyDelete
    Replies
    1. Thanks lawrence and welcome to ගිමන්හල! Come back again when you are free!

      Delete
  15. ඔය ලෙඩේ එක එක මට්ටම් තියෙනවනෙ. සමහර අය පුදුමාකාර විදිහට පීඩා විඳිනව. මම දැක්ක youtube වීඩියෝ එකක් එහෙම අය ගැන. මටනං මාර දුක හිතුන

    ReplyDelete