Friday, July 27, 2012

ඔබෙන් ලද ජීවිතය....!


"පුතා!! දොර අරින්න! මොකද මේ වෙලා තියෙන්නෙ!"


වික්‍රමට දැඩි බියක් ඇති විය. මෙතුවක් කාලයට සිතිජ මෙසේ හැසිරී නැත. 

සිතිජ වික්‍රමගේ එකම පුතණුවන්ය. බිරිඳගේ මරණනින් පසු වික්‍රමට ජීවිතයේ සතුට හා බලාපොරොත්තුව වූවේ සිතිජය. සිය මවගේද උදවු ඇතිව සිතිජට පියෙක් මෙන්ම මවක් වීමටද වික්‍රමට හැකි වූවේ සිතිජ වෙත වික්‍රමගේ වූ අපරිමිත පිය සෙනෙහස නිසාමය.


නවය වසරේ ඉගෙනුම ලැබූ සිතිජ හැම මොහොතක්ම සතුටින් ගත කල කීකරු දරුවෙක් විය. ඔහු කිසි විටක වික්‍රමගේ වචනයට පිටින් යමක් නොකලේ බියට වඩා සිය පියාට ඇති ලැදි කම නිසාම යැයි කිව හැක.


පාසැල ඇරී ගෙදර පැමිනි සිතිජ කාමරයේ දොර වසා ගත් ගමන්මය. පැයක් ගත වූ පසුවත් කාමරයෙන් එලියට නොපැමිණි නිසා වික්‍රමගේ මව වික්‍රමට ඒ බව පැවසූවේ කල හැකි යමක් සිතා ගත නොහැකි වූ බැවිණි.

එසැනින් හදිසි නිවාඩුවක් දැමූ වික්‍රම ගෙදර පැමිණියේ බිය කුතුහලය රැදුනු සිතිණි.


"පුතා හොඳ ළමය වගේ දොර අරින්නකෝ"

වික්‍රම දොරට ගසමින් කෑ ගැසුවේය.


"හරි එහෙනම් මම දොර කඩනව"


බැරිම තැන වික්‍රම හඬ නගා පැවසීය.


එසේ පවසා මද වේලාවකින් දොරේ අගුල විවෘත වන හඬ ඇසින. සැනසුම් සුසුමක් හෙලූ වික්‍රම සෙමෙන් දොර හැර කාමරයට ඇතුලු වූවේය.
සිතිජ ඇඳේ බිත්තිය දෙසට හැරී නිදා සිටී.


"මොකද පුතේ ප්‍රශ්නේ?"


"ඔයා හොඳටම මාව බය කලානේ, ආච්චි අම්මත් බය වෙලා"


මෙසේ අසමින් වික්‍රම සිතිජව උරහිසින් හෙමිහිට හැරවීය. දැස ඉදිමී රතු වන තුරු හඬා සිටි සිතිජගේ මුහුන දැකීමෙන් වික්‍රම විස්මයටත් පත් විය.


"පුතා සිතිජ, මොකද මේ ඔයා හොඳටම අඬල?
අද මොකද උනේ? හරි හෙමින් සැරේ කියන්න බලන්න"


ගැටලුව කුමක් වුවත් දරුවාව කලබලයට පත් නොකල යුතු යැයි වික්‍රම සිතුවේය.


"තාත්තෙ අම්මා මැරුණේ මම හින්දද?" 


කඳුලු අතරින් සිතිජ ඇසූ ප්‍රශ්ණයෙන් වික්‍රම පසුබා ගියේ වසර ගණනාවක් දුක් විඳ යටපත් කල මතක රැසක් අකුණු ගසමින් එකවර මතකයට නැඟීමෙනි.


වසර 15කට පෙර සිය ජීවිතයේ අත්විඳි අමිහිරිතම අත්දැකීම තමා මියෙන තුරු අමතක කිරීමට නොහැකි බව වික්‍රම වටහා ගෙන සිටියේය.
ඒ දිනය වික්‍රමට අද මෙන් මතක තිබිණි, දස මසක් පුරාවට සුජානිත් ඔහුත් හීන මැවූ දිනයයි, සුජානිට ප්‍රසූත වේදනා දැනෙන්නට වූ සැනින් වික්‍රම ඇයව රෝහලට ගෙන ගියේ බිය සතුට ඇතුලු හැඟීම් රැසක් අතරිනි.

ඇයව ප්‍රසූතාගාරයට අතුලු කල පසු ගෙවුනු පැය කිහිපය ඔහු ගෙවූවේ ඉතා අපහසුවෙනි. ඒ කොයි මොහොතක හෝ සුජානි සිඟිති දියනියක හෝ පුත් රුවනක් සමඟ එයින් එලියට එනු දැකීමේ බලාපොරොත්තුවෙනි. පැය ගණනාවකට පසු හෙදියක් පැමිණ පුතෙක් ඉපදුනු සුභ ආරංචිය දැනුම් දුන්නේ හදිසි රුධිර වහනයක් නිසා සුජානිව ශල්‍යාගරයට ගෙන ගිය බවට කල බිය සහගත ආරංචියද සමඟය. 


ඉන් පැය භාගයකට පමණ පසු වික්‍රමට ඇසුණු දෙය ඔහුගේ සිහි විකල් කරන්නක් විය ඒ සුජානි වැලැක්විය නොහැකි වූ දරුණු රුධිර වහනයක් නිසා මෙලොව හැරගිය බව ඇසීමෙනි!


ඒ මොහොතේ දැණුනු කම්පනය වික්‍රමට මේ මොහොතේ පවා දැනෙන්නාක්සේ විය.
දැඩි ආයාසයෙන් හැඟීම් යටපත් කරගත් වික්‍රම


"කවුද පුතේ ඔය විකාර කතාව කිව්වෙ"


"පංතියේ ළමයි එයාල කිවුව මම ඉපදුන නිසාලු අම්මට මැරෙන්න උනේ"


සිතිජ විදින වේදනාව ඔහුගේ හඬින් වික්‍රමට වැටහේ. නොතේරෙන කමට වුවද සිතිජගේ පාසැල් මිතුරන් කර ඇත්තේ බරපතල වරදක් බව වික්‍රමට පසක් විය. කෙසේ හෝ සිතිජට මෙය තේරුම් කල යුතුය.


"මොන බොරුද! එහෙම දෙයක් නෙවෙයි පුතේ, පුතා ඉපදෙනකොට අම්ම හොඳට හිටිය. එයා ඔයාව දැකල ගොඩාක් සතුටු වුනා"


සිතිජ ඇස් ලොකු කරගෙන අසා සිටී. වික්‍රමගේ වදනින් ඔහුගේ වේදනාව මදක් හෝ සුව වන්නට ඇත.


"ඔයා දන්නවද පුතේ, පුතාව ඉපදෙන්න ඉන්නකොට අම්මා හැම මොහොතක්ම ගත කලේ ඔයා ගැන හිත හිතා, මාත් එක්ක කියෙවුවෙම ඔයා ගැන, පුතා ටික ටික ලොකු වෙද්දි අඩිය තියල ඇවිද්දෙත් හරිම කල්පනාවෙන් ඒ පුතාට අපහසුවක් දැනෙයි කියන බයට. ඒ කාලෙ පුතාගේ අම්මා හිටියෙ පුදුම සතුටකින්, ඉතිං ඒ මාස දහය පුරාවට එයා ඔයාට කරපු ආදරේ ඔයාගෙ ජීවිත කාලෙ පුරාවට ඔයත් එක්ක තියෙනවා"


"ඉතිං පුතේ, ඔයත් ඒ වගේම අම්මට ආදරේ කරන්න ඕනේ. පුතා හොඳට ඉගෙනගන්න එකයි අම්මගෙ ලොකුම හීනෙ උනේ. ඔයාට දුකක් ප්‍රශ්නයක් ආපු ඕනෙ වෙලාවක අම්ම ඔයාගෙ ලඟ ඉන්නවා කියල හිතා ගන්න, එතකොට ඔයාගෙ හිත ඇතුලෙන්ම අම්මගේ ආදරේ ඔයාට දැනේවි"


කවදත් හැඟීම්බර දරුවෙකු වූ සිතිජට සිය පියාගේ වදන් සිතට සහනයක් ගෙන ආවේය. 


"එතකොට එයාල කියල තියෙන්නෙ බොරු නේද" අසමින් සිතිජ පියාට තුරුල් විය.


"ඔව් පුතේ එයාල ඔයාව තරහ ගස්සන්න කියන්න ඇත්තෙ, ආයෙ ඔහොම දේවල් කිව්වට ගණන් ගන්න එපා"


කෙසේ හෝ සිතිජව සාමාන්‍ය තත්වයට ගෙන ඒමට වික්‍රම සමත් විය


වසර ගණනාවකට පසු තවත් එක් සුපුරුදු නිදිවර්ජිත රාත්‍රියක් වික්‍රමට හිමි විය, ඒ අතීත මතක නින්දට වඩා ප්‍රබල වූ හෙයිනි. නමුත් උදෑසන යලිත් දැක්මට හැකි වූ සිතිජගේ සිනහ පිරි මුහුණ වික්‍රමගේ දුක යටපත් කරවන්නක් විය.


----------------------------------

ජීවිතයෙන් ජීවිතය තිළිණ කර
ජීවිතයට සමු දුන්නේ ඇයි ඔබ
මවු සෙනෙහස තුරුලේ හිනැහෙන්නට
කළ පින් මදි ඇති කියා හැඟේ මට
මිතුරු මිතුරියන් පවසන මව් ගුණ
අසා මවන්නෙමි දැක නැති ඔබෙ මුව


ආදරයේ උල්පත අම්මාලු
කිරි සුවඳට මල් සුවඳ මැකේ ලු
ආදර වදනින් තැවුල් නිවාලූ
ඒ හඬ මට කිසිදා නෑසෙයි ලු


අහසින් තරුවක සෙනෙහස මුසුකොට
ගෙනවිත් දුන්නා සිහිනෙන් නුඹ මට
අම්මේ ඔබෙ උනුහුම විඳගන්නට
නැති විට දිවියම සිහිනෙකි පුතුහට....


48 comments:

  1. හරිම සංවේදි ලිපියක් ගිමන්...

    ReplyDelete
  2. හරිම අපූරු ලියවිල්ලක්
    තාත්තලයි පුතාලයි අතර සම්බන්ධතාවය හරි සංකීර්ණයි
    ඒ අතරට මේ වාගේ සිදුවීම් ආහම...
    ඔබේ ප්‍රතිභාවට මගෙන් ආශිංශන

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිස්ස!
      ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා!

      Delete
  3. :( :( :( :( :( :( :(

    දුක හිතුන මට..

    ReplyDelete
    Replies
    1. :( ජීවිත වල ප්‍රශ්න ඔහොම තමා හිරූ

      Delete
  4. සිතිජට ඇතිවෙච්ච ප්‍රශ්නේ අද ලෝකේ මේ වෙනකොට කී දෙනෙක්ට ඇති වෙලා ඇත්ද ? එවන් දරුවන්ට එවැනි දුකක්, අම්ම නැති අඩුවක් දැනෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා. ගොඩක් සංවේදී කතාවක් මචං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්! අපි හැමෝගෙම ප්‍රාර්ථනාව වෙන්න ඕනෙ ඒක තමා. ඒ වගේම මෙහෙම දේවල් නොවේවා කියලත්!

      Delete
  5. ගොඩක් දුක හිතෙන කතාවක් ....

    ReplyDelete
    Replies
    1. හැබෑවට මෙවැනි ප්‍රශ්න තියන අයට කොච්චර දුකක් දැනෙනවා ඇත්ද!

      Delete
  6. සුදීක ලියපු එයාගේ දියණියගේ කතාවත් කියවලා බලන්න

    http://awidda-paya.blogspot.com/2012/07/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මල්ලි! මම ගොඩක් ආස කරන වර්ගයේ බ්ලොග් එකක්! හැබෑ ජීවිතේ මනඃකල්පිතයට වඩා දහස්වාරයක් සංවේදීයි නේද.

      Delete
  7. Replies
    1. ස්තූතියි ළිහිණි! ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා!

      Delete
  8. ලස්සනයි වගේම දුක හිතේන කතාවක්....

    ReplyDelete
  9. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. ඒ තරමටම කතාව හිතට දැනුනා..

    ReplyDelete
  10. ලස්සනට ලියලා තියෙනවා වෙනදා වගේම. :)
    ඕක හරිම සුලභ තත්වයක් සමාජයේ.
    බොහෝ විට ඔය අනිත් ලමයි කියන්නෙත් තමන්ගෙම අදහස් නෙවෙයි.
    තැන නොතැන නොබලා දෙමව්පියො හරි වැඩි හිටියො හරි කියපු දේ අහුලාගෙන.
    ඇත්තෙන්ම දරු ප්‍රසූතියකදී අම්මා මියගියොත් අර ලමයා අම්මා මරාගෙන ඉපදිච්ච කාලකන්නියා කියන සම්මානයෙන් පුද ලබනවා අපේ ගුණවත් සමාජේ.
    හරියට තරුණ වැන්දඹුව කියන්නෙ ඊසි කැච් එකක් කියලා හිතනවා වගේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dude!
      සම්පූර්ණ ඇත්ත, තව කෙනෙක්ගෙ හිත රිදෙයිද මම මේ කියන දේ හරිද කියන ටික හිතන්න තරම් හිතක් පපුවක් නැති මිනිස්සූ ඕනෙ තරම් අද සමාජයේ ඉන්නව. අනුන්ගෙ කරදරයක් තමන්ගෙ වාසියට හරෝගන්න බලන්න ඉන්ත අයත් අඩුවක් නැතුව ඉන්නව.

      Delete
  11. ඔබේ ලිවීම් රටාව ගැන කියන්න වචන නෑ ගිමන්...ඊලග මොහොතට ඇස් දෙක යවන්නෙ පුදුම වේගයකින්....නියමයි...හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා!
      ඔයාලගෙ අදහස් තමා හැමදාමත් ලියන්න ශක්තිය වෙන්නෙ!

      Delete
  12. ගොඩක් සංවේදී ලස්සන කතාවක් අයියේ..හැමදාම වගේ කතාව හිතන්නත් බැරි විදිහට ගලාගෙන ගියා..ලස්සනයි....

    ReplyDelete
  13. සංවේදී නිර්මාණයක්. පද වැලත් ලස්සනයි..

    ReplyDelete
  14. ලස්සනයි.සංවේදී කතාවක්

    ReplyDelete
  15. ලංකාවෙදි අපේ පංතියෙත් උන්න මගෙ යාලුවෙක් එයා ඉපදෙනකොට අම්ම නැති වෙලා..එයාට නම් අක්කල දෙන්නෙකුත් උන්න..ඒ තාත්ත ගෑනුලමයි 3 දෙනෙක් ව හදපු හැටි බලාගත්ත හැටි උගන්වපු විදිය......ඒ කාලෙ මට ඒ තරම් තේරුමක් දැනීමක් තිබ්බෙ නැහැ..ඒත් දැන් මතක් වෙද්දි හරිම පුදුම හිතෙනවා..
    ඔයා හැමදාමත් වගේ හිතට කතා කරන විදියට ලියල තියනවා...සුභ ගමන්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලී! අපිට නොපෙනී නොතේරී දුක් විඳින, ජීවිත කැප කරන අය කොයි තරම්නම් ඇද්ද!

      Delete
    2. මම වගේ.............................................!

      Delete
  16. මේ ලියලා තියෙන්නේ මගේ සත්‍ය ජීවිත කතාවමයි අයියේ. මට ඇඬුණා.

    ඔබේ විශිෂ්ඨ පරිකල්පන ශක්තියට සදා ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී/මල්ලී!
      මගෙ කතාවෙන් පරණ දුකක් අලුත් වුනානම් මට සමාවෙන්න! අම්ම ලඟ හිටියත් නැතත් ඒ ආදරේ හැමදාමත් අපි ලඟ තියෙනවා, ඒ නිසා දුක් වෙන්න එපා!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඔන්න ඔයාගෙ බ්ලොග් එක ලකුණු කර ගත්තා, ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්.
      ගිමන්හලට ගොඩක් ආදරෙන් නංගිවත් පිළිගන්නවා! විවේකි වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  17. anee godak duka hithuna aiyee....eth lassanata liyala tiyanawa

    ReplyDelete
  18. මව් පිය සෙනෙහසට නැත කිසිත් උපමා මෙලොව තුල..
    හැමදාමත් වගේ හිතන්නට දෙයක් ඉතිරි කල ලියමනක්..

    ලස්සනයි ගිම්..

    ReplyDelete
  19. සංවේදී ලියැවිල්ලක්... ඔබ ඉතා හොදට ලියලා තියෙනවා...

    ReplyDelete
  20. හරිම සංවේදී ලිපියක් ගිමන්.....

    ReplyDelete
  21. ‍චෝදනාවක් ---- ගිමන්හල ! හැබෑවටම ගිමන්හලක් කරන්න කියල ඉල්ලනව .... හිතට දුකක් දෙන තැනක් නෙවෙයි සතුට්න් හිනාවෙලා යන්න පුලුවං තැනක් කරන්න කියල වැදල ඉල්ලනව .මොකද මේක මම කියවන බ්ලොග් වලින් හිතට වදින දේවල් ලස්සනට ගලපන්න පුළුවං කෙනෙක් ලියන හොදම තත්වයේ තියෙන එකක් නිසා ..............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනෙල්ක!
      ඔයාගෙ චෝදනාව සාදාරණයි. ආයෙත් දුක හිතෙන දේවල් නිතර නොකියා ඉන්නම්.
      නමුත් ගිමන්හලට එන අය කලින් නොහිතපු දෙයක් හිතන්න සැලැස්විය යුතු නම් එය කල යුතුයි.
      ඒ මොනවා උනත් හිතේ සතුට තමා වැදගත්ම :)
      අපි එහෙම දේවල් වැඩිපුර කතා කරමු!

      Delete
    2. දුක හිතෙන දේවල් නිතර නොකිව්වත්, ජීවිතය ගැන කතාකිරීම නම් නවත්වන්න එපා.

      හිතට වදින්න දුකවත්, සතුටවත් කියලා වෙන් කරලා නෙවෙයි ...ජීවිතය ගැන ලියන්න

      ජය !

      Delete
    3. ස්තූතියි නංගි!
      ඔයාත් හරි දුක සතුට කියල සීමා නැතුව ලිවිය යුතු දේ ලියන්න ඕනෙ.

      Delete
    4. ස්තූතියි අයියේ උපදෙසට. ඔන්න මම හිස නවා පිලිගන්නවා.

      Delete