Friday, July 27, 2012

ඔබෙන් ලද ජීවිතය....!


"පුතා!! දොර අරින්න! මොකද මේ වෙලා තියෙන්නෙ!"


වික්‍රමට දැඩි බියක් ඇති විය. මෙතුවක් කාලයට සිතිජ මෙසේ හැසිරී නැත. 

සිතිජ වික්‍රමගේ එකම පුතණුවන්ය. බිරිඳගේ මරණනින් පසු වික්‍රමට ජීවිතයේ සතුට හා බලාපොරොත්තුව වූවේ සිතිජය. සිය මවගේද උදවු ඇතිව සිතිජට පියෙක් මෙන්ම මවක් වීමටද වික්‍රමට හැකි වූවේ සිතිජ වෙත වික්‍රමගේ වූ අපරිමිත පිය සෙනෙහස නිසාමය.


නවය වසරේ ඉගෙනුම ලැබූ සිතිජ හැම මොහොතක්ම සතුටින් ගත කල කීකරු දරුවෙක් විය. ඔහු කිසි විටක වික්‍රමගේ වචනයට පිටින් යමක් නොකලේ බියට වඩා සිය පියාට ඇති ලැදි කම නිසාම යැයි කිව හැක.


පාසැල ඇරී ගෙදර පැමිනි සිතිජ කාමරයේ දොර වසා ගත් ගමන්මය. පැයක් ගත වූ පසුවත් කාමරයෙන් එලියට නොපැමිණි නිසා වික්‍රමගේ මව වික්‍රමට ඒ බව පැවසූවේ කල හැකි යමක් සිතා ගත නොහැකි වූ බැවිණි.

එසැනින් හදිසි නිවාඩුවක් දැමූ වික්‍රම ගෙදර පැමිණියේ බිය කුතුහලය රැදුනු සිතිණි.


"පුතා හොඳ ළමය වගේ දොර අරින්නකෝ"

වික්‍රම දොරට ගසමින් කෑ ගැසුවේය.


"හරි එහෙනම් මම දොර කඩනව"


බැරිම තැන වික්‍රම හඬ නගා පැවසීය.


එසේ පවසා මද වේලාවකින් දොරේ අගුල විවෘත වන හඬ ඇසින. සැනසුම් සුසුමක් හෙලූ වික්‍රම සෙමෙන් දොර හැර කාමරයට ඇතුලු වූවේය.
සිතිජ ඇඳේ බිත්තිය දෙසට හැරී නිදා සිටී.


"මොකද පුතේ ප්‍රශ්නේ?"


"ඔයා හොඳටම මාව බය කලානේ, ආච්චි අම්මත් බය වෙලා"


මෙසේ අසමින් වික්‍රම සිතිජව උරහිසින් හෙමිහිට හැරවීය. දැස ඉදිමී රතු වන තුරු හඬා සිටි සිතිජගේ මුහුන දැකීමෙන් වික්‍රම විස්මයටත් පත් විය.


"පුතා සිතිජ, මොකද මේ ඔයා හොඳටම අඬල?
අද මොකද උනේ? හරි හෙමින් සැරේ කියන්න බලන්න"


ගැටලුව කුමක් වුවත් දරුවාව කලබලයට පත් නොකල යුතු යැයි වික්‍රම සිතුවේය.


"තාත්තෙ අම්මා මැරුණේ මම හින්දද?" 


කඳුලු අතරින් සිතිජ ඇසූ ප්‍රශ්ණයෙන් වික්‍රම පසුබා ගියේ වසර ගණනාවක් දුක් විඳ යටපත් කල මතක රැසක් අකුණු ගසමින් එකවර මතකයට නැඟීමෙනි.


වසර 15කට පෙර සිය ජීවිතයේ අත්විඳි අමිහිරිතම අත්දැකීම තමා මියෙන තුරු අමතක කිරීමට නොහැකි බව වික්‍රම වටහා ගෙන සිටියේය.
ඒ දිනය වික්‍රමට අද මෙන් මතක තිබිණි, දස මසක් පුරාවට සුජානිත් ඔහුත් හීන මැවූ දිනයයි, සුජානිට ප්‍රසූත වේදනා දැනෙන්නට වූ සැනින් වික්‍රම ඇයව රෝහලට ගෙන ගියේ බිය සතුට ඇතුලු හැඟීම් රැසක් අතරිනි.

ඇයව ප්‍රසූතාගාරයට අතුලු කල පසු ගෙවුනු පැය කිහිපය ඔහු ගෙවූවේ ඉතා අපහසුවෙනි. ඒ කොයි මොහොතක හෝ සුජානි සිඟිති දියනියක හෝ පුත් රුවනක් සමඟ එයින් එලියට එනු දැකීමේ බලාපොරොත්තුවෙනි. පැය ගණනාවකට පසු හෙදියක් පැමිණ පුතෙක් ඉපදුනු සුභ ආරංචිය දැනුම් දුන්නේ හදිසි රුධිර වහනයක් නිසා සුජානිව ශල්‍යාගරයට ගෙන ගිය බවට කල බිය සහගත ආරංචියද සමඟය. 


ඉන් පැය භාගයකට පමණ පසු වික්‍රමට ඇසුණු දෙය ඔහුගේ සිහි විකල් කරන්නක් විය ඒ සුජානි වැලැක්විය නොහැකි වූ දරුණු රුධිර වහනයක් නිසා මෙලොව හැරගිය බව ඇසීමෙනි!


ඒ මොහොතේ දැණුනු කම්පනය වික්‍රමට මේ මොහොතේ පවා දැනෙන්නාක්සේ විය.
දැඩි ආයාසයෙන් හැඟීම් යටපත් කරගත් වික්‍රම


"කවුද පුතේ ඔය විකාර කතාව කිව්වෙ"


"පංතියේ ළමයි එයාල කිවුව මම ඉපදුන නිසාලු අම්මට මැරෙන්න උනේ"


සිතිජ විදින වේදනාව ඔහුගේ හඬින් වික්‍රමට වැටහේ. නොතේරෙන කමට වුවද සිතිජගේ පාසැල් මිතුරන් කර ඇත්තේ බරපතල වරදක් බව වික්‍රමට පසක් විය. කෙසේ හෝ සිතිජට මෙය තේරුම් කල යුතුය.


"මොන බොරුද! එහෙම දෙයක් නෙවෙයි පුතේ, පුතා ඉපදෙනකොට අම්ම හොඳට හිටිය. එයා ඔයාව දැකල ගොඩාක් සතුටු වුනා"


සිතිජ ඇස් ලොකු කරගෙන අසා සිටී. වික්‍රමගේ වදනින් ඔහුගේ වේදනාව මදක් හෝ සුව වන්නට ඇත.


"ඔයා දන්නවද පුතේ, පුතාව ඉපදෙන්න ඉන්නකොට අම්මා හැම මොහොතක්ම ගත කලේ ඔයා ගැන හිත හිතා, මාත් එක්ක කියෙවුවෙම ඔයා ගැන, පුතා ටික ටික ලොකු වෙද්දි අඩිය තියල ඇවිද්දෙත් හරිම කල්පනාවෙන් ඒ පුතාට අපහසුවක් දැනෙයි කියන බයට. ඒ කාලෙ පුතාගේ අම්මා හිටියෙ පුදුම සතුටකින්, ඉතිං ඒ මාස දහය පුරාවට එයා ඔයාට කරපු ආදරේ ඔයාගෙ ජීවිත කාලෙ පුරාවට ඔයත් එක්ක තියෙනවා"


"ඉතිං පුතේ, ඔයත් ඒ වගේම අම්මට ආදරේ කරන්න ඕනේ. පුතා හොඳට ඉගෙනගන්න එකයි අම්මගෙ ලොකුම හීනෙ උනේ. ඔයාට දුකක් ප්‍රශ්නයක් ආපු ඕනෙ වෙලාවක අම්ම ඔයාගෙ ලඟ ඉන්නවා කියල හිතා ගන්න, එතකොට ඔයාගෙ හිත ඇතුලෙන්ම අම්මගේ ආදරේ ඔයාට දැනේවි"


කවදත් හැඟීම්බර දරුවෙකු වූ සිතිජට සිය පියාගේ වදන් සිතට සහනයක් ගෙන ආවේය. 


"එතකොට එයාල කියල තියෙන්නෙ බොරු නේද" අසමින් සිතිජ පියාට තුරුල් විය.


"ඔව් පුතේ එයාල ඔයාව තරහ ගස්සන්න කියන්න ඇත්තෙ, ආයෙ ඔහොම දේවල් කිව්වට ගණන් ගන්න එපා"


කෙසේ හෝ සිතිජව සාමාන්‍ය තත්වයට ගෙන ඒමට වික්‍රම සමත් විය


වසර ගණනාවකට පසු තවත් එක් සුපුරුදු නිදිවර්ජිත රාත්‍රියක් වික්‍රමට හිමි විය, ඒ අතීත මතක නින්දට වඩා ප්‍රබල වූ හෙයිනි. නමුත් උදෑසන යලිත් දැක්මට හැකි වූ සිතිජගේ සිනහ පිරි මුහුණ වික්‍රමගේ දුක යටපත් කරවන්නක් විය.


----------------------------------

ජීවිතයෙන් ජීවිතය තිළිණ කර
ජීවිතයට සමු දුන්නේ ඇයි ඔබ
මවු සෙනෙහස තුරුලේ හිනැහෙන්නට
කළ පින් මදි ඇති කියා හැඟේ මට
මිතුරු මිතුරියන් පවසන මව් ගුණ
අසා මවන්නෙමි දැක නැති ඔබෙ මුව


ආදරයේ උල්පත අම්මාලු
කිරි සුවඳට මල් සුවඳ මැකේ ලු
ආදර වදනින් තැවුල් නිවාලූ
ඒ හඬ මට කිසිදා නෑසෙයි ලු


අහසින් තරුවක සෙනෙහස මුසුකොට
ගෙනවිත් දුන්නා සිහිනෙන් නුඹ මට
අම්මේ ඔබෙ උනුහුම විඳගන්නට
නැති විට දිවියම සිහිනෙකි පුතුහට....


Tuesday, July 24, 2012

මිතුරේ......


"උඹට විකාරද සහන්? උඹ මොනවා කියනවද කියල මට හිතා ගන්න බෑ! අනික මම කොහොමද උඹ කියන දේ කරන්නෙ? මම හැමදාමත් ජීවනීව දැක්කෙ මගෙම සහෝදරියක් විදිහට. බෑ මචං උඹ වෙන ඕනෙ දෙයක් ඉල්ලපං ඔය දේ මට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි"

සහන්ට සජීව ගෙන් ලැබුනේ බලපොරොත්තු වූ පිලිතුරමය. මිතුරාට පිටුපා සුසුමක් හෙලූ සහන්

"මම දන්නවා මචං. එත් උඹ දන්නවා මට මේ උදවුව්ව ඉල්ලන්න වෙන කෙනෙක් නැති බව"

උපතින් උරුම වුන අම්ම තාත්ත අයිය අක්කා ඇරුනහම මට වටිනා දේකට කියල ලැබිල තියෙන්නෙ ජීවනීගෙ ආදරෙයි උඹේ යාලුකමයි විතරයි!
මම මේක ගොඩක් හිතල ගත්ත තීරණයක් සජීව, උඹත් ඉස්සරහමනෙ ඩොක්ටර් විස්තරේ කිව්වෙ. මට තියෙන්නෙ මාස තුනයි. ලෝකෙ තියන හොඳම ප්‍රතිකාර ගත්තත් අවුරුද්දක් දෙකක් ඉඳී! මට එහෙමෙ වෙන්න ඕනෙ නෑ"

සජීවට පිටුපා සිටි සහන් යලි මිතුරා දෙසට හැරුනි,

"හය හතර නොතේරෙන එවුන් කාලෙ ඉදන් උඹ මම ගැන දන්නව, හ්ම්ම් අවුරුදු 20ක යාලු කමක්! උඹට මාව තේරුම් ගන්න බැරි වෙන්න බැහැ."

"උඹ දන්නව මම වෙනස් උනේ ජීවනී නිසා. කොලුකාර ජීවිතේට තිත තියලා බලාපොරොත්තුවක් වෙනුවෙන් දවල් රෑ නැතුව වැඩ කරනකොට කවදාවත් මට මහන්සියක් දැනුනෙ නෑ, මටම පුදුම හිතුනා තව කෙනෙකු වෙනුවෙන් ජීවත් වෙන කොට මහන්සි වෙනකොට අමුතු සතුටක් දැනෙන එක ගැන!'

"පුංචි කාලෙ ඉදන් අම්ම තාත්ත නැතුව, දාහක් වෙනස් කම් මැද කඳුලු වහ ගෙන හිනා වෙන්න පුරුදු වෙච්ච අහිංසක කෙල්ලෙකුට ජීවිතේ ලස්සන පෙන්නන්න මගෙ තිබ්බ අසාව මුලින්ම කිව්වෙ උඹට! කිසිම දේකින් අඩු පාඩුවක් නැති තමන්ගෙම ගෙදරක ඇනුම් බැනුම් වෙනුවට ආදරේ විතරක් පිරිච්ච ගෙදරක ජීවත් වෙන ජීවනීගෙ මූනේ ඇදෙන හිනාව දකින්න තිබ්බ ආසාව එදා මම උඹට කිව්ව"

"ඇයි උඹ මට ඕව කියන්නෙ? උඹ හිතන්නෙ මට මතක නෑ කියලද!
ජීවනීගේ ජීවිත කතාව අහගෙන ඉදල ආපු දවසෙ මම දැක්කෙ වෙනද හිටිය සහන් නෙවෙයි! බලා ගත්තු අත පැයක් විතර බලා ඉඳල අන්තිමට උඹ මන් දිහා බලල කිව්වෙ
"එයා දැනටම විඳවල තියෙනව හොඳටම වැඩියි කියල".

එදා ඉදන් උඹේ වුන වෙනස හැමෝටම ප්‍රශ්නයක් උනා, උඹ ටිකෙන් ටික පොත් ගුල්ලෙක් වගේ උනා, උඹ කෑමක් බීමක් හරි හමන් නින්දක් නැතුව ඉගෙන ගන්න මහන්සි වෙනව දකින කොට වෙලාවකට හිතුන උඹට පිස්සු හැදේවිද කියල. ඒත් මට තේරුනා උඹේ හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් උඹව ජීවත් කරවනව කියල. අන්තිමට උඹ දිනුවා, උඹ වයසට නොගැලපෙන වේගයෙන් ඉහලටම ගියා.

සහන්ගේ ඇස් කාන්තියෙන් දිලිසෙමින් තිබින.
"ඔව් මම දිනුවා, මගේ හිතේ තිබ්බෙ ලොකු හීනයක්! ජීවනී විඳවපු හැම තප්පරේකටම හිලවු වෙන්න සැප සතුට පිරිච්ච ලෝකෙක එයා ලඟින්, එයාගේ ආදරේ විඳ ගෙන මැරෙනකන්ම දවසින් දවස ගෙවන හැටි මම දහස් වාරයක් හිතෙන් දකින්න ඇති! හීනේ හැබෑ වෙන්න මොහොතක් තියෙද්දි දෛවය හරස් වුනා.

සහන් සජීවගේ දෑත් තදින් අල්ල ගත්තේය,
"මට මැරෙන්න බයක් නෑ. ඒත් මගේ හීනේ මැරෙන්න දෙන්න බෑ. ඒ හීනේ හැබෑ කරන්න පුලුවන් උඹට විතරයි!

සහන්ගේ දෙඇස් දෙස බලා සිටි සජීවට ඔහුගේ බලපොරොත්තුව හැබෑවක් බව වැටහින, මෙතෙක් කල් ඔහු ජීවත් වූවේද තමාගේ සතුට ජීවනීගේ සතුට කර ගනිමිනි, දෛවයේ සරදමකටදෝ අවාසනාවන්ත රෝගයකට ගොදුරු වූ ඔහු දැන් අයදින්නේ සිය එකම  බලාපොරොත්තුව  සිය ලඟම මිතුරා ලඟ සුරක්ෂිත කර සැහැල්ලුවෙන් මිය යාමේ වරමයි!

"මට මුකුත් හිතා ගන්න බෑ බන්, මට උඹව තේරෙනව. හොඳයි මම ජීවනීව බලා ගන්නම්! ඒත් ඒ හැමදෙයක්ම වෙන්නේ එයාගේ කැමැත්ත එයාගෙ තීරණ අනුව තමා"

සහන් මුහුනේ සහනදායී සිනහවක් මතුවිය!
"එයා මේ ගැන දන්නවා, මම එයාගෙන් පොරොන්දුවක් ගත්තා" "එයාට ටිකක් කල් දෙන්න විතරයි ඕනෙ, උඹ වගේම එයත් මගේ සතුට මොකක්ද කියන එක දන්නවා"

දිගු සුසුමක් හෙලා සැහැල්ලු වූ සහන්
"මචං... මගේ ඒ අහිංසක හීනේ උඹේ ඇස්දෙක වගේ බලා ගනින්!"
කන්දුලු අතරින් පවසමින් සජීවව වැලඳ ගත්තේය,
"ජාති ජාතිත් උඹ මගේම සහෝදරයෙක් වෙලා ඉපදෙන්න ඕනෙ"

"හ්ම්ම් මට දැන් හිතේ සැහැල්ලුවෙන් යන්න හදපු ගමන ගිය හැකි, ඉන්දියාවෙ විශේෂඥ වෛද‍යවරු කණ්ඩායමක් මගේ ලෙඩේට අලුත් ප්‍රතිකාරයක් හොයා ගෙන තියනවලු. එකෙ අත්හදා බැලීමකට මම කැමැත්තෙන් ඉදිරිපත් උනා"

"අහ් ඒක හොඳයි මචං උඹ ඔච්චර හිතුවට මට නම් හිතෙන්නෙ උඹට ඔය වගේ ට්‍රීට්මන්ට් එකකින් උදවු ගන්න පුලුවන් වෙයි!"

 "අපි බලමුකෝ මචන්"

එදින හමුවෙන් පසු දෙමිතුරන් නැවත හමු වූවේ නැත.
සහන් ඉන්දියාවට පිටත් වී තුන් මසකින් සජීව ඇතුලු සහන්ගේ හිතවතුනට දැන ගන්නට ලැබුනේ සහන් මිය ගොස් මසක් පමන වන බවත්, නීත්‍යාණුකූල නොවන පරීක්ෂනයකට සහභාගී වෙමින් සිටි නිසා සිරුර රහසිගතවම අවසන් කටයුතු සිදු කිරීමට සහන් ගිවිසුමකට කැමැත්ත පල කර සිටි බවය

---------------------------------

වසරකට පසු....

ශාන්තී ඉන්දියාවේ උතුරේ කොනක පිහිටි පෞද්ගලික රෝහලක හෙදියකි. මාස දෙකක් පුරාවට ඇයට පැවරී තිබූ රාජකාරිය වූවේ යන්ත්‍ර කිහිපයක සහයෙන් ජීවය රැඳවාගෙන සිටි 27 හැවිරිදි කෝටිපති ශ්‍රී ලාංකික තරුණයෙකු රැක බලා ගැනීමය.

මුලුමණින්ම අප්‍රාණික සිරුරෙන්ම ඔහුගේ අණසක ඉතිරිව තිබුනේ දෙඇසේ පමණි. යන්ත්‍ර වල සහය ඉවත් කල පමණින් ප්‍රාණය නිරුද්ධ වනමුත් එයට අවසර දිය හැක්කේ පවුලේ අයෙකුට පමණි. නිතර දෙවෙලේ ඔහු බැලීමට පැමිණෙන ඔහුගේ සොහොයුරා ඒ සඳහා අවසර නොදෙයි.

සැමදා තරුණයාගේ වැහැරී ගිය සිරුර පිරිසිදු කරන ශාන්තිට තරුණයා ගැන ඇත්තේ මහත් කුතුහලයකි. ඔහුගේ දෙඇස තුල ඇත්තේ කාන්තිමත් බලාපොරොත්තුවකි. ජීවිතය සතුට යන දේවල් බින්දුවටම ගිලිහී ගිය අයෙකුට තවදුරටත් බලාපොරොත්තුවක් ඉතිරිව තිබිය හැකිදැයි ශාන්ති විටෙක කල්පනා කලාය.

මිහිඳුමින් පිරුනු එක් උදෑසනක රෝගී තරුණයගේ සොහොයුරා කඩිමුඩියේ කාමරය වෙත පැමිණෙනු ශාන්ති දුටුවාය. තරුණයා ගැන ඇති කුතුහලය නිසාම කාමරයේ සිදු වන දෙය ඇය විමසිල්ලෙන් බලා සිටියාය. තරුණයාගේ සොහොයුරා අත කවරයක් විය. ඒ තුලින් ගත් යමක් ඔහු තරුණයාගේ දෙඇස් ඉදිරියෙන් අල්ලාගෙන සිටියේය. ඒ සමගම වෙනදා නොමැති සතුටකින් හා සැහැල්ලුවකින් තරුණයාගේ ඇස් පිරී ගියේ යැයි ශානිතිට සිතිණි.

ඉන් පසු සොහොයුරා තරුණයාව වැළඳ ගෙන වැලපෙන්නට විය, මඳ වේලාවක් එසේ සිට සොහොයුරා කාමරයෙන් පිටව ප්‍රධාන වෛද‍යවරයා සිටි කුටිය වෙත පිය නැගුවේ ඔහු අත තුබූ කවරය රෝහලේ තිබූ කසල බදුනකට අත හරිමිනි.

මද වේලාවකින් වෛද්‍යවරු කීපයක් පැමිණ තරුණයාගේ සහයට තිබූ යන්ත්‍ර සියල්ල ඔහුගෙන් ඉවත් කලෝය.
ඔවුන් පිටත් වූ පසු ශාන්තිගේ මිතුරු හේදියක් පැමිනියේ එම යන්ත්‍ර කාමරයෙන් ඉවත් කිරීමටය.

"යන්තම් අද නම් අවසරේ දීල, අනේ අප්පේ මාස ගානක් මොන තරම් නම් දුකක් වින්දද මේ මනුස්සයා! මොන එහෙකට මේ තරම් කල් බලා හිටියද මන්ද"
යැයි පවසමින් ඇය යන්ත්‍රයක් ගෙන කාමරයෙන් ඉවත් විය.

ශාන්ති හොරෙන්ම අසල තිබූ කසල බඳුනින් තරුණයාගේ සොහොයුරා විසි කල කවරය ඇහිඳ ගත්තේය.

කවරය තුල වූයේ ශ්‍රී ලාංකික ක්‍රමයට මගුල් ඇඳුමින් සැරසී සිටි තරුණ යුවලකගේ ඡායා රූපයකි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

( පහු ගිය දින වල පොඩි කැමැත්තක් ඇති වුන ගීතයක පද කීපයක් නිසා නිකමට ලියන්නට හිතුනු කතාවක් )

තරු වෙරළේ සඳවත සේ
සිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුලු පිසදා


මල් පිපිලා ඇසි මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුණා හිත් පතුලට මල් සුවඳක එබුනා
හොරෙන් ඇවිදින් පිනි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා


මගෙ ලඟ ඉඳන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගෙ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ....

පදවැල් ගොතා ඇත්තේ - ප්‍රියාල් වීරසිංහ

ගීතය යූ ටියුබය මගින් ඇසීමට - http://www.youtube.com/watch?v=kZXWsFN8LOU

MP3 ලෙස භාගත කරගැනීමට - 3.3Mb
                                             

Saturday, July 21, 2012

අමතක වීම රෝගයක්ද? (Dementia)


"පුතේ කවදටද කොලඹ යන්න හිතගෙන ඉන්නෙ?"


"ඇයි මම කිව්වෙ අම්මෙ 25 වෙනිදටනෙ


"අහ් එහෙමද මම බැලුවෙ මොනව හරි කෑම ටිකක් වත් හදල දෙන්න කියල යනකොට ගෙනි යන්න"


"ඕනෑ නෑ අම්මෙ"


පැය බාගයකට පසු.....

"අම්මේ මේ පාර කොලඹ ගියහම මාසෙකින් විතර තමා එන්න වෙන්නෙ"


"හැබෑද පුතේ, හ්ම්ම් කමක් නෑ වැඩ පාඩු වෙනවා නම් එහෙට මෙහෙට දුව දුවා ඉඳල බැහැනෙ.

"ඉතිං පුතේ කවදටද කොලඹ යන්න ඉන්නේ?


"අම්ම කීපාරක් දැන් ඕක ඇහුවද! මේදැන් ටිකකට කලිනුත් ඇහුවනේ!


"අනේ මන්ද පුතේ මට වෙලාවකට බඩු මුට්ටු තියපු තැනක් හොයා ගන්නත් අමතකයි, දැනි ඉතිං අපි වයසයිනෙ පුතේ මතකෙ දුර්වලයි"


ඉහත ඇති මවකගේ හා දරුවාගේ දෙබසින් ඔබට වැටහෙන්නේ කුමක්ද? එය වයසත් සමඟ සිදු වන සාමාන්‍ය දෙයක්ද? නිතර දේවේලේ සිදු විය හැකි අහඹු අමතක වීමක්ද?

නෑ මේ සාමාන්‍ය අමතක වීමක් නොවේ. මේ Dementia රෝගයේ මූලික ලක්ශනයි.


Dementia යනු සිහි කල්පනාවේ අඩුවීමක් නොමැතිව මතකය, එදිනෙදා ජීවිතයේ ගැටලු විසදීමේ හැකියාව, හුරු පුරුද්දට කරන කාර්‍යන් කිරීමේ හැකියාව, සාමන්‍ය හැසිරීම සිතමතා පාලනය කිරීමේ හැකියාව, හැඟීම් පාලනය හා හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව යන කාර්‍යයන් පාලනයට අදාල මොළයේ පාලන මධ්‍යස්ථානයන් ක්‍රමක්‍රමයෙන් අකර්ම්ණ්‍ය වී යාමය. මෙය නැවත යථා තත්වයට පත් කල නොහැකි රෝගී තත්වයකි. කල හැක්කෙ රෝගය උත්සන්න වීමේ වේගය පාලනය කිරීම පමණි.


මෙය බොහෝ විට වැලදෙන්නේ අවුරුදු 65 වඩා වැඩි අයටය. ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල අයට වැඩි අවධානමක් ඇති බව පර්යේශන මගින් සොයා ගෙන ඇත.


මෙම රෝගය ඇති වීමට හේතු මොනවාදැයි බැලුවහොත්,


1. මොළයේ ස්නායු සෛල මිය යාමට හේතු වන රෝගී තත්වයන්. උදා - Alzheimers රෝගය, Parkinsons රෝගය


2. මොළයේ රුධිර වාහිනී අවහිර වීම හා මොළයේ අභ‍යන්තරයේ සිදු වන ලේ ගැලීම්.


3. අධික මත්පැන් භාවිතය


4. පෝෂණ ඌනතා

උදා - Thiamine ඌනතාව, ෆෝලේට් ඌනතාවය


5. සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලි සිරුරට විරුද්ධව ක්‍රියා කරන යම් අවස්ථා (රෝගී තත්ව )

උදා - Systemic lupus reythematosus(SLE) , Multiple sclerosis , Neurosarcolidosis 


6. හිසට සිදුවන අනතුරු


7. සිරුරේ සිදුවන රසායනික සංකූලතා

උදා - තයිරොයිඩ් සංකූලතා, අක්මාව අකර්මණ‍ය වීම, පිටියුටරි හෝමෝනයේ ඌනතාවය, ඇඩ්‍රිනල් ග්‍රන්ථියේ අකාර්‍යක්ශමතාව, සිරුර තුල නයිට්‍රජනීය අපද්‍රව‍ය එකතු වීම(Uraemia)


8. මොළය තුල ඇති වන පිලිකා තත්ව


ඉහත සඳහන් ආකාරයේ කරුණු කාරණ නිසා ඇති වන මෙම රෝගය මොන වගේද, එය හදුනා ගන්නේ කොහොමද කියල අපි දැන් බලමු.

Dementia නිසා ඇති වන රෝග ලක්ශනයන් මෙසේය.


1. දුර්වල මතකය


රෝගයේ මූලික අවධියේදීම ඇති වන රෝග ලක්ශනයකි. මෙහිදී මූලිකවම සිදු වන්නේ නව තොරතුරු මතක තබා ගැනීමට නොහැකිව යාමයි.


උදා - යමෙක් පැවසූ දෙයක් සුලු වේලාවකින් අමතක වීම, තමා අහාර ගත් බව හෝ ස්නානය කල බව සුලු වේලාවකින් අමතක වීම. මෙහිදී අමතක වීම නිසා වරින් වර වෙඩි ආහර ප්‍රමාණයක් ගැනීමෙන් දියවැඩියාව වැනි රෝගී තත්ව උත්සන්න වීමද සිදි විය හැක.


අතීත මතක හොඳින් පවතී නමුත් රෝගයේ අවසන් අදියර වලදී එම මතකයන්ද මැකී යාම සිදු වේ.


රෝගයේ ක්‍රමයෙන් වර්ධනය වීමේදී නිවසේ තම බඩු බාහිරාදි සොය ගත නොහැකි වීම, ඒවා හදුනා ගත නොහැකි වීම, තම නිවස කාමරය හදුනා ගත නොහැකි වීම නිසා ඉබා ගතේ යාම හා ඉන් අනතුරු සිදු වීම වැනි තත්වයනට පත් වේ.


2. අලුත් යමක් ඉගෙනීම අසීරුය


3. හැසිරීමේ වෙනස් කම් සිදු වීම

- එකතැනක සන්සුන්ව සිටීම අපහසු වීම

- ලැජ්ජාව පිලිබඳ සන්වේදීතාව අඩු වීම (උදා - ඇදුම් හදිස්සියේ ප්‍රසිද්ධියේම උනා දැමීම )

- යමක් වෙත අවදානය යොමු කර ගෙන සිටීමේ අපහසුව

- සමාජය හා කටයුතු කිරීමේ අපහසුතා පෙන්වීම

- වෙනදා කල එදිනෙදා වැඩ කටයුතු, විනෝදාංශ වලට ඇති කැමැත්ත අඩු වී යාම.

- හැඟීම් විරහිත බව

- මංමුලා වූ අකාරයෙන් හැසිරීම, ඔහේ දෙඩවීමට පටන් ගැනීම


4. අලුත් තත්වයන්ට හැඩ ගැසීමට අපහසු වීම


5. තමාගේ එදිනෙදා කටයුතු සාමන්‍ය පරිදි කර ගැනීම නොහැකි ලෙස අතපසු වීම් සිදි වීම.


6. සමාජ සම්මත හැසිරීම, සිරිත් විරිත් නොසලකා හැරීම


7. එදිනෙද ක්‍රියාකාරකම් අඩපන වීම

- පිරිසිදු වීම්, නියමා කරයෙන් ඇදුම් ඇඳීමක් සිදු නොකිරීම

- ගෙදරදොරේ වැඩ කටයුතු අතපසු වීම

- මුදල් භාවිතය අපහසු වීම ( ගනන් කිරීම, ගණන් මතක තබා ගැනීම, අගයන් තීරණය කිරීම පැටලුම් සහිත වීම නිසා)

- ප්‍රවේශම් සහිත වීම පිලිබඳ අවබෝධය නොමැති වී යාම.


මෙය මොළයේ පුලුල් පරාසයක සිදු වන වෙනස් වීම් නිසා ඇති වන රෝගී තත්වයක් නිසා රෝග ලක්ශණද ඉහත පැවසූ අකාරයට විවිධාකාර වේ. එම නිසා එක් එක් රෝගියාට ඉහත කියූ රෝග ලක්ශ්ණ සියල්ල පෙන්නුම් නොකරයි. නමුත් රෝගය අවසන් අදියරයන්ට පැමිණෙන විට ඉහත සඳහන් සියලු ලක්ශන පෙන්නුම් කල හැක.


දැන් ඔබට මෙම රෝගියෙක් අනුමාන කිරීමේ හැකියාව තිබෙනවා. ඉතිං ඔබේ ආදරණීය දෙමවුපියෙක් හෝ නෑදෑයෙක් හෝ හිතවතෙක් මේ ආකාරයට අමතක වීමේ ලක්ශණ සුලුවෙන් හෝ පෙන්නුම් කරනවා නම් එය වයස නිසා හෝ සුලු දෙයක් යැයි නොසිතා වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. රෝගය ආරම්භක අවිධියේම හදුනා ගත හොත් අදාල ඖෂධ හා උපදෙස් පිළිපැදීමෙන් මනා ලෙස රෝගය පාලනය කර සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වේ. 


රෝගය තරමක් දුරට උත්සන්න වූ අයට හෝ අවසන් අදියරයන්ට පැමිණි අයටද එම රෝගය නිසා ඇති වන අපහසුතා මග හැරීමට ක්‍රමෝපායන්ද වෛද්‍යවරයා කියා දේවි එවායින් රෝගියාටද නිවැසියන්ටද මහත් පහසුවක් ලබා ගත හැක.


ජීවිතයේ විවේක ගැනීමට ඇති සැඳෑ සමය නන්නාදුනන්නෙක් සේ හෝ සිහිවිකල් වූවෙක් ලෙස ගත කරන්නෙක් බවට පත් වීමට ඔබේ අදරණීයන්ට ඉඩ නොතබන්න. 


Wednesday, July 18, 2012

අසිහිය....!


විටින් විටේ ඔරලෝසුව දෙස බලමින් සිටි සෝමපාල හරියටම සවස 3 වන විට සිය අසුනෙන් නැගිට කලිසම උස්සා ගෙන ප්‍රධානියාගේ කාමරය වෙත පා තැබීය.


අද පඩි දිනයයි. සෝමපාලට මාසයේ ඇති සතුටුම දිනයයි.


"අහ් එන්න එන්න සෝමපාල, පඩිය ගන්න නේද?
ප්‍රධානියාගේ බසට සෝමපාල කට පුරා හිනාවක් පැවේය.


"ඉඳ ගන්නවකෝ"
"සතුටු ආරංචියකුත් තියනවා, ලබන මාසේ ඉඳල තමුසෙට ප්‍රමෝශන් එකක් දෙන්න කියල. ට්‍රාන්ස්පෝට් සෙක්ශ්න එකට. පඩියත් හත් අට දාහක් විතර වැඩි වේවි.


සෝමපාලට අදහා ගත නොහැක


"අනේ ඇත්තද සර්" " ඒක නම් ලොකු දෙයක් තමා"


"මට පුලුවන් හොඳට එතැන වැඩ ටික බලා ගන්න"


"ඔව් සෝමපාල, ප්‍රමෝශන් ඉල්ලල දඟලන වුන්ට වැඩිය තමුසෙට සුදුසුකම් තියනව. දැන් කරන වැඩ ටිකත් හරියට කල නිසා තමා මේක දෙන්න හිතුවෙ"


සෝමපාල කතා බහ අතරම ලැබුණු පඩි පත පසුම්බියට ඔබා ගත්තේය.
"ගොඩක් ස්තූතියි සර්"


"හරි හරි, හොඳට අවංකව වැඩ ටික කරගෙන ගියොත් තව ඉහලට ගිය හැකි"


"එහෙනම් මම යන්නම් සර්"


සෝමපාල සතුටින් ඉපිලෙමින් නැවත සිය කාමරය වෙත පැමිණියේ පා වෙමින් මෙනි.සිය පුටුවට බර වූ ඔහුට සතුට කියා ගත නොහැකි සේ හැඟේ.


"මොකද සෝමපාල තනියම හිනා වෙනේ? ලොක්කා බෝනස් එකක්වත් දුන්නද?"
අල්ලපු මේසයේ හිටි කාන්ති අසයි.

"මාව ට්‍රන්ස්පෝට් සයිඩ් එකට දාලා"

එය ඇසූ බොහෝ දෙනෙක් ඊර්ශ්‍යාවෙන් පැලෙන්නට ඇති බව සෝමපාල දැන සිටියේය.
නමුත් සියලු දෙනා පැමිණ සෝමපාලට සුභ පැතූහ.


-----------------------


සෝමපාල ගෙදර යාමට බසයට නැඟුනේද උසස් වීමේ සතුටු සිතුවිලි අතර කිමිදෙමිනි.


"අංකල්ට ටිකට් ගන්නත් මතක නෑ වගේ අද!"


බසයේ කොන්දොස්තර කොලුවා පවසන තෙක් සෝමපාලට තමා ඉන්නේ බසයේ බවවත් නොදැනිනි.


"අහ් එකත් අමතක උනා නොවැ, පොඩ්ඩක් ඉන්න"


ටිකට් ගැනීම සඳහා මුදල් ගැනීමට පසු පස සාක්කුවට අත පෙවූ සෝමපාලට තරු පෙණින.
අනෙක් සාක්කු වලටද කලබලයෙන් අත දමා නැවතත් පසු පස සාක්කුව හොඳින් අත ගා බලා බෙරි කරගත් මුහුණෙන්


"හපොයි කවුරු හරි පොකට් එකට ගහල වගේ"

"අහ් එහෙනම් ඉතිං සොරි තමා අන්කල්. මේ දවස් වල පිට්පොකට් කාරයෝ වැහි වැහැල"
"පොඩ්ඩක් බලන්න බිම වත් වැටිලාද කියල"


සෝමපාල හා බසයේ සමහරක්ද බසයේ බිමට ඇස යොමු කලෝය.


"දැන් ඉතිං මොනව කරන්නද අංකල් සල්ලි ඕන නෑ ටිකට් එක තියා ගන්නකො"
යැයි පවසා සෝමපාලට තට්ටුවක් දමූ කොන්දොස්තර නැවත බසයේ දොර වෙත ගියේය.


"අපොයි දෙයියනේ මේ මොකද වුනේ. "ශෙහ් මාසෙ පඩියත් ඒකෙ" වෙනදට නම් පුරුද්දක් ලෙස පඩියෙන් වැඩි කොටසක් කමිසයේ අතුලත බිරිඳ මසා දී ඇති හොර සාක්කුවේ දමා ගනී. අද එයද අමතක විය.


සෝමපාලට ඉහින් කනින් දහඩිය දමයි,


"අද කොහොමද බඩු ලිස්ට් එක අරන් යන්නෙ, කොහොමද මාසෙ වියන්දම් ටික කර ගන්නෙ වෙනදාටත් ණය නොවී යන්තම් මාසය ගෙවා ගන්නේ අසීරුවෙනි. "පුතාලගෙ පංති ගාස්තු, බස් ගාස්තු. රංජනීට සාරියක් ගන්නත් ඕනෙ කියල තිබ්බ ලබන සතියෙ මඟුල් ගෙදර යන්න, හපොයි මඟුල් ගෙදර යන්නත් තියෙනවනෙ!
එකින් එක විය හියදම් සිහි වීමෙන් සෝමපාලගේ හිස යකාගේ කම්මල සේ විය.


"අංකල්ට අද බහින්නත් මතක නෑ වගේ"


බසින තැනට පැමිණ ඇති බව සෝමපාලට සිහි වූයේ කොන්දොස්තරගේ කෑ ගැසීමටය.


"මුලු සේසතම නැති වුනා නෙවෙයිනේ අංකල් මනෝ පර ගහන්නෙ නැතුව කල්පනාවෙන් ගෙදර යන්න"


කොන්දොස්තර කොලුවාගේ උපදේශයට සෝමපාලට ලැජ්ජාවක් දැනින. සෑමදාම හවස එකම බසයේ එන නිසා ඔහු සෝමපාලට හිතවත්ය.


දුර සිටම බර කල්පනාවේ එන සෝමපාල දුටු රංජනීට අමුත්තක් තේරිණි. අතේ ඇත්තේද වැඩට ගෙනියන බෑගය පමණි."අද පඩි දීල නෑ වගේ" ඇයට සිතිණි.


"හරි වැඩේනෙ රංජි අද මොකෙක් හරි පොකට් එකට ගහලනෙ බස් එකේදි"


'මේ... හදිස්සියට අද පඩියත් ඔක්කොම එකේ දා ගත්තේ"


එය ඇසූ රංජනීගේ දෙනෙත් විශාල විය
"මොකක්! අයියෝ දැන් ඉතිං කොහොමද මාසෙ ගෙවා ගන්නෙ"
මම කට කැඩෙනකල් කියල තියෙනවනෙ ඔයාට පඩිය ගත්ත ගමන් ඇතුලෙ සාකුවට දාගන්න කියල"


"කොහෙද මේ මනුස්සයට සිහියක් තියෙන එකක්යැ!"

"පඩිය අතට ගත්ත ගමන් යන්න ඇති අර බේබද්දො ටික එක්ක පාටි දාන්න"
රංජනීගේ නොනවතින අඬහැරය සෝමපාලගේ හිස තවත් රත් කලේය. කනස්සල්ලට අමතරව කේන්තියකුත් මෝරන්නට විය.


"කෑ නොගහ ඉන්නකො රංජි! මම දාපු පාටියක් නෑ, පඩිය ගත්ත ගමන් තමයි ගේදර ආවෙ"

"දැන් ඉතිං හිඟන්නො වගේ තමා මේ මාසෙ ඉන්න වෙන්නෙ" රංජනී හූල්ලයි.


රෑට හරියට කෑමක් වත් නොකා සෝමපාල නින්දට වැටින


----------------------


"චැහ් ප්‍රමෝශන් එක ගැන රංජිට කියන්නත් අමතක වුනානෙ ඊයෙ"


පසු දින රාජකාරියට යන අතර සෝමපාලට සිහි විය.


"බලන්නකෝ කාන්ති ඊයෙ බස් එකේදි මොකෙක් හරි මගෙ පොකට් එකට විදලනේ"
අසුනට බර වෙමින් සෝමපාල සිය දුක් ගැනවිල්ල දිග හැරීය.


"හප්පොච්චියේ! ඉයේ ගත්ත පඩියත් ඒකෙද?"
කාන්ති උවමනාවටත් වඩා දුක් වන ස්භාවයක් මවා ගනිමින් ඇසීය.


"ඒකනෙ කාන්ති, ඔය අසමත්ජාතියො එහෙම දවස් බලල තම වැඩේ දෙන්නෙ"
සෝමපාල තරහක් ආරූඪ් කර ගනිමින් පැවසීය.


"සෝමපාලට ප්‍රමෝශන් එක හම්බුන එකට ඇස්වහ කටවහ වැදිලද කොහෙද" කාන්ති පැවසිය.


"වෙන කාගෙද ඉතිං කියන කෙනාගෙම තමා ඉතිං" සෝමපාලට සිතින.


"දැන් ඉතින් මාසෙ ගෙවා ගන්න මොකක් හරි රෝලක් දා ගන්න වෙනව" යැයි මේසයේ ෆ්යිල ලාච්චුවේ අගුලට විවෘත කරමින් සෝමපාල පැවසුවේ සුසුමක් හෙලමිනි.


ලාච්චුව විවෘත කල සැනින් දුටු දෙයින් සෝමපාල උඩ වීසි විය


"දෙයියනේ පොකට් එක මේසෙ ලාච්චුවට දාල වහල ගිහින්නේ!"


සැණින් පසුම්බිය ගෙන පඩි පත සුරැකිව ඇති බව තහවුරු කර ගනු දුටු කාන්තිට සිනා පහල විය


"බලනකොට පොකට් කාරයා ලාච්චුව වගෙයි"


"ඒක නේන්නම්, හප්පා දැන් තමා ඇඟට පනක් ආවේ"


සෝමපාල පැවසුවේ ලය සැහැල්ලු වෙන්නට හොඳ හුස්මක් හෙලමිනි.
නැති වූ යමක් නැවත ලැබීමේ අමුතුම සතුටක් ඇතැයි සෝමපාලට සිතුනේ නැවත නම් මෙවැනි වරදක් වීමට ඉඩ නොතබන බවට අදිටන් කර ගන්නා අතරය.


Sunday, July 15, 2012

එදා මෙන්ම තවමත්....


හිරුට සඳුට නොකියාම හමා යන


කාල‍යේ මඳ පවනේ වෙලිලා..


එදා මෙන්ම තවමත් හිත අද්දර


හිනැහෙයි නුඹ ජීවිතය වෙලා..


සීතල දෙකොපුල් විඩා බර නුවන්


සිපගන්නෙමි සෙනෙහස අතුරා..


නොතැවෙන් සොඳුරිය අද මෙන් සැමදා


නුඹ හා එන්නෙමි සසර පුරා...


Thursday, July 12, 2012

වරදක බර.....!


ගාමිණී මේසය උඩ ඇති තේ කෝප්පය දෙස භාවනාවක් කරන්නාක් මෙන් බලා 

සිටී, මඳ වේලාවකට පෙර දුම් පිට කරමින් සිටි එය ඇල් වී ඇතැහි ඔහුට සිතුනි. දින 

ගණනක සිට කෑමට බීමට ප්‍රියක් ඇති නොවේ. හිතේ ඇති බර ශරීරයේ අංශුවක් 

පාසා පැතිර ඇතැයි ඔහුට සිතේ.


මේසය මත වූ දුරකථනයේ හඬට ඔහු තිගැස්සිනි.  එහි සටහන් වන අංකය වෙත 

එබී බැලූ ඔහු මදක් බලා සිට එය අතට ගත්තේ ගැහෙන සිතින් යුතුවය.


"හෙලෝ මචං"

ම්ම් මේ ගාමිණී අර ආරංචිය හරි"


ගාමිණීට එය ඇසුනද පිලිගැනීමට අකමැති නිසදෝ මුනිවත රැක්කේය.


"මම දන්නව උඹට මේක ලොකු ශොක් එකක්, 

උඹට ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනෙ නම් රෝයල් පැලස් එකේ කාර් පාක් 

එකට වරෙන් දැන්ම, සමහර විට අල්ල ගන්න පුලුවන් වෙයි"


"ok මචං. මම එන්නම්" ගාමිණී ගැහෙන හඬින් යුතුව කියා ඇමතුම විසන්දි 

කලේය.


තම හෘද ස්පන්දනය තමන්ටම දැනෙනවා යැයි ගාමිණීට සිතිණ.

"වෙන්න බෑ වෙන්න බෑ..! එක වගේ අය ඕනෑ තරම් ඉන්නවනේ"

"කෝකටත් ගිහින්ම බලනවා"

ගාමිණී කාරයේ යතුර ගෙන රථය වෙත පිය නැඟුවේ බීමතින් මෙනි.


මිනිත්තු දහයක් යාමටත් පෙර ගාමිණී "රෝයල් පැලස්" වෙත ලඟා විය. රථ ගාල 

අසල සිටි ජයන්ත, ගාමිණීගේ රථය අසලටම පැමිණියේ එය නැවැත්වීමත් 

සමඟය.

සිය ප්‍රාණ මිතුරාගේ සිත තුල ඇති වේදනාව ඔහුගේ දෙනෙත් තුලින් හඳුනා 

ගැනීමට ජයන්තට අපහසු නොවීය.


"අපොයි දෙයියනේ මූ මේක කොහොම ඉවසාවිද!"


"කොහෙද මචං?" ගාමිණී ගොත ගසමින් මෙන් ඇසුවේ සිය හැඟීම් දරා ගත 

නොහැකි බැවිනි.


"මම රූම් එක බලා ගත්ත,

ම්ම් මේ... ඒක බුක් කරල තියෙන්නෙ ප්‍රියාන්ගෙ නමට"


ඒ නම ඇසෙත්ම ගාමිණීට සිය අභිමානයද මුලුමනින්ම සිඳී ගොස් මුලු 

ආත්මයෙන්ම පරාජිතයෙකු වූ සේ දැනෙන්නට විය.


"මැනේජර් මම අඳුනන පොරක් ගාමිනී, අපට ඕනෙ නම් ඇතුලට උනත් ගිය 

හැකි"


"එපා ජයා මට කලබල කරන්න ඕනෙ නැහැ, ඒ එයාමද කියල බලා ගන්න තිබ්බා 

නම් ඇති"


" එහෙනම් වරෙන්කො යන්න, කාමරේ කෙලින්ම වගේ පොඩි බැල්කනියක් 

තියෙනවා. එතන හිටියොත් එලියට එනකොට බලා ගත්ත හැකි"


"එහෙම හොඳයි ජයා, අපි ඉන්න බවක් දැන ගන්න නොදී ටිකක් නොපෙනෙන්න 

ඉමු"


දෙදෙනාම විනාඩි පහලොවක් පමන බැලිකනියේ තිබූ හාන්සි පුටු දෙකක වාඩි වී 

සිටියේ හොරැහින් හෝටල් කාමරය දෙස නෙත් යොමා ගෙනය.

ගාමිණීට නම් එම විනාඩි පහලොව දැනුනේ ජීවිත කාලයක් මෙනි.


දොර විවෘත වන හඬ ඇසිණි. ගාමිණීට හදවත මෝලක් මෙන් ස්පන්දනය වේ. 

මදකින් දොරෙන් එලියට පැමිණි රුව දුටු විට ඔහුට හදවත නතර වූවා යැයි සිතින.

ජයන්ත බලා සිටියේ මිතුරාගේ මුහුණ දෙසය. ගාමිණීගේ මුහුණ සැනෙන් දුර්මුඛ 

වී දෙනෙත් රතු වී බොඳ වෙනු පෙණින. ජයන්ත මිතුරාගේ අත තදින් මිරිකා 

ගත්තේ ඔහුට යන්තම් හෝ දරා ගැනීමට ශක්තියක් වනු පිණිසය.


කාමරයෙන් එලියට පැමිණි උදාරි කොරිඩෝවෙන් නොපෙනී යනු බලා සිටි 

ගාමිනී දෙනෙත් යාන්තමට පිස දා ගති.

ඉන්පසු තමා දෙස අනුකම්පාවෙන් මෙන් බලා සිටි ජයන්තට මඳ සිනහවක් පෑමට 

අසාර්ථක උත්සාහයක් ගත්තේය.


"මට නම් තාම හිතා ගන්න බෑ මචං"

මම මේ ගැන නිකමටවත් උදාරිගේ අහන්න හිතුවෙ වත් නැත්තෙ එයා ගැන 

පොඩ්ඩක් වත් සැකයක් හිතුනෙ නැති හින්ද"


"පොඩ්ඩක් ඉඳපංකෝ" ගාමිණී දුරකථන ඇමතුමක් ගත්තේය.


"ආ මේ.. උදා මගේ ෆයිල් එකක් දාලා ඇවිත් ද කොහෙද ගෙදර, පොඩ්ඩක් මගේ 

මේසෙ උඩ බලනවද"


"අහ් මේ.. මේ.. මම පොඩ්ඩකට ටවුන් එකට ආව අනේ, මම මේ යන ගමන්, තව 

විනාඩි පහෙන් බලල කියන්නම්. ඒක නෙවෙයි මොකද ඔයාගේ කට හඬත් 

වෙනස් වෙලා අසනීපයක්වත්ද අය්යා?


"නෑ නෑ කමක් නෑ ඔයා අද ටව්මට යනවා කියල නිකමටවත් කිව්වෙ නැහැනෙ උදා, 

හදිස්සියක්වත්ද?


" නැ මේ..... ලෙටර් එකක් පෝස්ට් කරන්න තිබ්බ, ඔයාට දෙන්න අමතක 

උනානේ" ඔන්න දැන් ගෙදරට ලඟයි!


"හරි හරි හදිස්සියක් නෑ, මම ඇවිල්ලම බලන්නම්, පරෙස්සමට ගෙදර යන්න"


තවත් ඇයට බොරු කීමට නොපෙලඹවිය යුතු යැයි සිතා ගාමිණී දුරකථන ඇමතුම 

විසන්දි කලේය.


යලිත් ජයන්ත සමඟ රථ ගාල වෙත ඇවිද ආ ගාමිණී රථයට ගොඩවීමට දොර 

විවෘත කලේය.


"උඹ දැන් කොහෙද යන්න හදන්නේ? ඉඳපන් මම ගිහින් දාන්නම්, උඹ දැන් 

හොඳ සිහියෙනුත් නෙවෙයි ඉන්නේ"


"අහ් නෑ ජයා ඕනෙනෑ, මට එහෙම ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් තනියම ඉන්න ඕනෑ 

ටිකක් කල්පනා කරන්න" තෑන්ක්ස් මචං කරපු උදවුවට! මම පස්සෙ කතා 

කරන්නම්"

යැයි පවසා සැනින් රථයට නැග දොර වැසූ ගාමිණී වේගයෙන් රථය පාරට 

ගත්තේය.


"ශෙහ් මූ තනියම යැවුව එක වැරදී"

ජයන්ත පසුතැවිල්ලෙන් යුතුව සිතුවේ ඉතා වේගයෙන් යන රථය දෙස බලමිණි.


ගාමිණී රථය පැදවූයේ දෙනෙතින් කදුලු රූරා වැටෙන අතරය. පසුගිය වසර අටක් 

පුරාවට ජීවිතයේ පිරිසිදුම දෙය යැයි තමා විශ්වාස කල, තමාට කියා මේ 

ලෝකයේ තිබූ වටිනාම දෙය යැයි සිතූ, මේ මොහොත තෙක්ම තමා අසීමිතව 

ආදරය කල ඇය තමාට මෙසේ කලේ ඇයි දැයි ගාමිණීට සිතා ගත නොහැකි විය.

වසර හයක ආදර සමය පුරාවට සැකයක් දබරයක් ඇති කර නොගත් තමා හා 

උදාරීට මිතුරන් ඇමතූවේ යුගයේ ආදර්ශමත් පෙම් යුවල කියාය.


විවාහ වී ගෙවුන වසර දෙක තමාගේ ජීවිතයේ වසන්තය යැයි හැගිනි. පෙම්වතුන්ව සිටි 

සමයටත් වඩා තමා උදාරීට බැදුනේ විවාහයෙන් පසුවය. අනුලෝමීවද ප්‍රතිලෝමීවද 

කොතරම් සිතුවද, තමාගෙන් උදාරීට සිදු වූ අඩුවක් ගාමිණීට සිතා ගත නොහැකි 

විය. නිදි යහන පවා සෑම විටම දෙදෙනාටම සුන්දර අත්දැකීමක් විය. එකිනෙකා 

අතර තිබූ අවබෝධය නිසා සැම මොහොතකම දෙදෙනා හොදින් තෙරුම් 

ගැනීමට හේතු විය.


"ඇයි එයා එහෙම කලේ?"


ඒ කාමරය තුල කුමක් වෙන්නට ඇත්ද? 

ගාමිනීට එතනින් එහා යමක් සිතීමට නොහැකිසේ හැඟින, 

නෑ මොනදේ උනත් උදාරි නැති ලෝකයක් මට වැඩක් නැහැ! කතා කරල 

බේරුමක් කර ගන්නවා, 

මේක අත් වැරැද්දක් වෙන්න ඇති, මනුස්සයො උනහම වැරදි වෙන්නැත්තෙ කා 

අතින්ද" 

උදාරිට මට වඩා වටින කෙනෙක් නෑ, මම උදාරිවත් අරන් රට යනව" 

හිසේ හදේ ඇති ගින්න නිවීමට මෙන් සුසුමක් හෙලමින් ගාමිණී පියවි සිහියට 

එමින් පුරුද්දට වාගේ රථය අතුරු පාරෙන් ප්‍රධාන පාරට දැම්මේ වේග 

පාලනයකින් තොරවමය. තද හෝන් හඬත් සමඟ පැමිණි දැවැන්ත යමක් 

කෙලින්ම තම හිසේ වදිනු ගාමිණීට දැණිනි.


--------------------


බෝපත් සුලඟට සෙලවෙන්නේ පිංබර තාලයකට යැයි සැඳෑ හිරු රැස් වැටුන බෝ 

රුක දෙස බලා සිටි ලොකු මෑණියන්ට සිතිණි.


"ලොකු මෑණියො භාවනාවකද?"


දැහැණින් මිදුන ලොකු මැණියන් තමා අසලට එමින් සිටි, දින කීපයකට ඉහතදී 

දසසිල් වූ විනීතා පොඩි මෑණියන් පෙණින.


"ආ මේ විනීතා පොඩි මෑණියොනෙ, මම මේ බෝ කොල සෙලවෙන තාලෙ 

බලන් හිටිය


"හුලං පාර හමාගෙන යනකල් තාලයට එහාට මෙහාට වෙලා හිටපු තැනටම 

ඇවිත් තැන්පත් වෙනව. තමන්ගේ දැවටුනා කියල හුලං පොදක්වත් ඉතිරි කර 

ගන්නෙත් නෑ තමාගෙ වෙනසක් කර ගන්නෙත් නෑ."


"ලොකු මෑනියන්ටත් හිතෙන දේවල්" විනීත මෑණියන් තෙපලීය.


"ඉතිං පොඩි මෑණියො යමක් කියන්න හිතාගෙන වගෙයි ඇවිත් තියෙන්නෙ"


"එහෙමයි ලොකු මෑණියෝ, හිතේ බර තනියම දුරු කර ගන්න උත්සාහ කලාට 

සාර්ථක වෙන්නෙ නෑ! ලොකු මෑණියන්ට කියලවත් හිතට නිදහසක් ලබා ගන්න 

කියල හිතල ආවෙ"


"හ්ම්ම්.. හිතේ හිරවෙච්චි දෙයක් වගේ, උත්සාහයෙන් අමතක කරන්න බැරි නම් 

කල්‍යාන මිත්‍රයෙකුට කියල හිතට සැහැල්ලුවක් ගත්තට වරදක් නෑ! පුලුවන් 

විදිහකට උපදේශයක් දෙන්නම්කො, කියමුකො බලන්න කාරනාව"


ඒක ටිකක් දිග කතාවක් මෑණියො,


මම උසස් පෙලට ඉගෙන ගන්න කාලෙ මගෙ ළඟම යාලුවගෙ අයිය කෙනෙක් 

ප්‍රියාන් කියල, මම ගැන අදහසක් ඇති කරගෙන තිබුනා. නමුත් ඒ වෙනකොටත් 

මට පෙම්වතෙක් හිටියා.


ඒත් ඒ අයිය දිගින් දිගටම මගේ පස්සෙන් ඇවිත් කරදර කරන්න උනා. මගේ 

පෙම්වතා ගාමිණී ඔහු සමඟ හොඳින් කතා කරල මේක බේරුමක් කර ගත්තා. ඊට 

පස්සෙ ප්‍රියාන් එක වරක් මාව හමු වෙලා කිව්වා 

"මට ඔයාව ලැබෙන්නෙ නැතුව මේ ජීවිතෙන් වැඩක් නෑ, මම වෙන කෙනෙක් 

ගැන හිතන්නෙත් නෑ කියල"

මාව අමතක කරල මටත් වඩා හොඳ කෙනෙක් හොයා ගන්න කිව්වත් ඔහු ඒක 

හිතට ගත්තෙ නෑ මම හිතන්නෙ.


මේ ගැන ඒ දවස් වල ලොකු දුකක් තිබ්බ මම නිසා ජීවිතයක් නාස්ති වේවිද 

කියල. ඒත් ඉතිං ඒකට මම මොනවා කරන්නද කියල මම හිත හදා ගත්ත.

ඊට පස්සෙ මට ප්‍රියාන්ව ආයෙත් හමු වුනේ නැහැ. 


මම ගාමිණී එක්ක ගොඩක් සතුටින් ජීවත් වුනා. අවුරුදු හයක් පෙම්වතුන් විදිහට 

ඉඳල අම්මලා තාත්තලගෙ ආශීර්වාද මැද මීට අවුරුදු දෙක හමාරකට උඩදි 

ගාමිණීත් මාත් විවාහ වුනා. 


ඊට පස්සෙ ජීවිතේ මම හිතුවටත් වැඩිය සුන්දර වුනා.

ගාමිණී තරම් තමන්ගෙ බිරිඳට ආදරේ කරපු කෙනෙක් තවත් මේ ලෝකෙ ඉන්න 

නැතුව ඇති. ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් කාලය ගෙවුන.


ඔය අතරෙදි තමයි ප්‍රියාන්ගෙ නංගි, මගෙ යහලුවා මාව හොයාගෙන ආවේ. ඒ 

ඇවිත් ලොකු විස්තරයක් කිව්වා.

මෙච්චර කල් විදේශ ගත වෙලා හිටපු ප්‍රියාන් ආපහු ඇවිත්! මත්පැන්, මත්ද්‍රව‍ය 

වලට ඇබ්බැහි වෙලා හිටිය නිසාදෝ ඔහුට දරුණු රෝගයක් වැලඳිලා. නිවසට 

එන්නෙවත් රෝහලකට යන්නෙවත් නැතුව හෝටලේක නතර වෙලා ඉන්නව 

කියල එයා හඬ හඬාම මාත් එක්ක කිවුවා.


ඉතිං එයා මං ගාව වැඳ වැටුන ඇවිත් පොඩ්ඩක් කතා කරල ප්‍රියාන්ව රෝහලකට 

ගෙනියන්න කැමැත්ත අරන් දෙන්න කියල.


මගේ ජීවිතේ ගත්ත ලොකුම වැරදි තීරණේ මම ගත්තෙ මෙතනදි තමා 

මෑණියනේ!


සුලු වෙලාවකට නිසාත්, යන්නෙ යහලුවා සමඟ නිසාත් ගාමිණීට මේ හමුව ගැන 

කීමෙන් නිරපරාදේ යන්තමට හරි එයාගෙ හිත රිදේවි යැයි හිතුන නිසාත් 

ගාමිණීට නොකියාම ප්‍රියාන්ව මුණ ගැහෙන්න නැවතිලා හිටියයි කියපු 

හෝටලේට ගියා.


මාව දැකල ප්‍රියාන් ගොඩක් සතුටු වුනත් රෝහලකට යන්න කැමති වුනේ නැහැ. 

මට තවත් කරන්න දෙයක් නැති නිසා මම ඉක්මනින්ම ගෙදරට ආවා.


ඊට සතියකට පස්සෙ යාලුව නැවත මට දුරකථන ඇමතුමක් දුන්න. එයා ගොඩක් 

කලබල වෙලා හිටියේ. ප්‍රියාන්ට ගොඩක් අසාධ්‍ය බවත් මිය යන්න පෙර මාව 

දකින්න ඇවශ්‍ය යැයි පවසන බවත් කිව්වා.


මම පත් වුනේ ලොකු අපහසුතාවකට. එදා ගමන ගැනත් පසුතැවිලි වෙවී හිටිය 

මම ආයෙත් නම් එවැනි ගමන් නොයාමට හිතා ගෙන හිටියෙ.

ඒත් ප්‍රියාන්ට සිදු වූ දේට වැරදිකාරිය මමදෝ කියන පසුතැවීමක් කාලයක සිට 

හිතේ තිබුන දෙයක්.

ඉතිං ඔහුගේ අවසාන මොහොතේ හෝ හිත හදන්න පුලුවන් උනොත් එයින් 

හිතට සහනයක් ලැබේවි යැයි හිතිනා.


ඉතිං මම එදත් යලි ගාමිණීට නොදන්වා ප්‍රියාන් සිටි හෝටල් කාමරයට ගියා. ඒ 

වන විට ප්‍රියාන්ගේ නැගනියත් ප්‍රියාන් අසලම හිටියා.


මම බොහොම කරුණාවෙන් ප්‍රියාන්ට කතා කරල ඔහුගේ හිත සන්සුන් කලා. 

එතනින් මම පිට වෙලා ආවෙ හිතේ ලොකු සැහැල්ලුවකින්.


ඒත් ඒ සැහැල්ලුව පැයකට වඩා තිබුණෙ නෑ.

ඒ රෝහලෙන් ආපු ඇමතුමකින්, ඒ මගේ ආදරණීය සැමිය දරුණු රිය අනතුරකට 

ලක් වෙලා කියන ආරංචිය.


එතනින් එහාට සිදු වුන දේවල් මට සිහිකර ගන්නවත් බැරි තරම්.

මම ගාමිණී ගාවට යනකොටත් එයාට සිහිය තිබුන.  කතා කර ගන්න බැරි උනත් 

ඒ ඇස් දෙකේ තිබ්බෙ ප්‍රශ්ණාර්ථයක් හැබැයි හැමදාම වගේ මා දිහා බැලුව 

ආදරණීය බැල්මමයි. විනාඩි කීපයක් යන්න කලින් එයා මාව තනි කරල මේ 

ලෝකෙන් ගියා. 


ඒ එක්කම වගේ ගාමිණීගෙ ළඟම යාලුව ජයන්ත එතැනට ආවා.

ඇවිත් කිව්වෙ,


"උඹයි මේ මරණෙට වග කියන්න ඕනෙ! උඹ වගේ පවුකාර ගැනියෙක් එක්ක 

ඉන්න තරම් පව් කරල නැති නිසයි මේ අහිංසකය මේ ලෝකෙන් ගියේ"


මෙලෙස කැ ගහපු ජයන්ත මාව පිච්චිලා යන තරමට කේන්තියෙන් බලා ඉඳල 

යන්න ගියා. අයෙත් ඔහුව මට මුණ ගැහුනෙ නෑ ඒත් ඔහුගෙ බිරිඳ සිදු වුන දේ 

පසුව විස්තර ඇතුව මට පැවසුවා.


ඒ ඇහුව මම පිස්සියක් වුනා. දෙයියනේ මම ඒ කරපු සුලු නොසැලිකිලිමත් දේ, 

ජීවිතේටම ගාමිණීට නොදන්වා කරපු එකම හිතුවක්කාරකම නිසා මගේ මුලු 

ලෝකයම මට නැති වුනා. කෙනෙකුට ලබන්න පුලුවන් උපරිම ආදරේ සතුට 

විඳිමින් හිටිය මට කෙනෙකුට ජීවිතයේ විඳින්න පුලුවන් දරුණුම දුකත් 

පසුතැවීමත් උරුම උනා.


මාස තුනක් මානසික රෝහලක මාව නවත්වලා තිබිල තියෙනව. එහි හිටිය 

කරුණාවන්ත දොස්තරවරියකගේ ප්‍රතිකාර ආදරය උපදේස නිසා මම ආයෙත් 

පියවි ලෝකෙට ආව.


ඊට පස්සෙත් මම ජීවත් වුනේ දහස් වාරයක් හිතින් මැරි මැරී. සියදිවි නසා ගන්න 

හිතුනත් ඒකෙන් වෙන්නෙ තවත් පවු පිරීම විතරයි කියල හිතුන. එතකොට මට 

ඊලඟ ආත්ම භාවයෙකදිවත් ගාමිණී එක්ක සතුටින් ඉන්න වාසනාව නොලැබේවි 

යැයි හිතුනා.


අනතිමේදි ලොකු මැණියන්ට දන් පිලිගන්වන්න ආව දවසෙ තමයි මට වැටහුනේ 

මට මේ වේදනාව මදක් හෝ සුවපත් කර ගන්න තියන මග මෙයයි කියල.


ඔන්න ඕකයි මගේ කතාව මැණියනේ.


බොහෝ කලක සිට පුරුදු පුහුනු කිරීමෙන් ශක්තිමත් කර ගත් තම සිතද කම්පා 

කිරීමට විනීතා පොඩි මැණියන්ගේ කතාව සමත් වූ බව ලොකු මෑණියන්ට දැනින. 

නමුත් සැනෙන් සිහිය පිහිටවා ගෙන පොඩි මෑණියන් දෙස දයාවෙන් බැලුවාය.


"මට තේරෙනව දරුවෝ, ඔය දරුවා ඉතා අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීල 

තියෙනව. 

ගිහි ජීවිතේ සංකීර්ණයි බැඳීම් විවිධාකරයි දුක් සහිතයි. විවාහ ජීවිතයක සිටියදී 

විශ්වාසය කියන්නේ ඒ විවාහයේ කොදු නාරටිය. තම ස්වාමියාට බිරිඳට බිඳකවත් 

රහසක් කෙරෙන්න නරකයි!


"දැන් ඉතිං යට ගියාව සිහි කරල හිත තවත් වෙහෙසට පත් කරල පලක් නෑ. 

ජීවිතේ දුක් සහිත බව මෙනෙහි කරල හිත උසස් තත්වෙකට පත් කර ගන්න. 

එතකොට ඔය වේදනාව පහ වෙලා සැහැල්ලු වෙනව. පින් දහම් කරන්න සසර 

වසන තුරු යළිත් මෙවැනි අවාසනාවකට ගොදුරු නොවේවා කියල."


විනීතා මෑණියෝ ලොකු මෑණියන් අසල වැඳ වැටුනේ දෙනෙතේ තිබූ කඳුලු 

පොලවට වැටෙන්නට හරිමිනි.


"තෙරුවන් සරණයි!"


ලොකු මෑණියන්ගේ වදන් දෙසවනින් සිරුරට ඇතුලු වී සිතට සිසිලසක් ඇති 

කරන්නාක් මෙන් විනීතා මෑණියන්ට දැණින.


Monday, July 9, 2012

නිවාඩුව....!


බනිස් කන්න බෑ අම්මේ..! මට බත් ඕනෑ!


චමත්ගේ හැඬුම්බර හඬ ඔහු හැබෑවටම බඩගින්නේ පෙලේයැයි නයෝමිට 

හැඟවීය.


"ඉන්ටවල් එකටත් පාන් පෙති දෙකක් කාපු ගමන්නෙ" ඒත් දැන් ගෙදර ගිහින් 

එන්න වෙලාවකුත් නැහැ" නයෝමි අත් ඔරලෝසුව දෙස බලමින් සිතීය.


"දැන් ගෙදර ගිහින් එන්න වෙලාවකුත් නැහැනෙ පුතා. තව විනාඩි 10න් පංතිය 

පටන් ගන්නවනෙ හොඳ පුතා වගේ මේක කාල කිරි පැකට් එක බොන්නකෝ, 

පංතිය ඉවර වෙලා ගෙදර ගිය ගමන් මම ලොකු බත් පිගානක් බෙදල 

දෙන්නම්කෝ, දැන් ඉතින් මේක ඔක්කොම කන්නකෝ"


"අද මට පංති යන්න බෑ" චමත්ගේ මුහුණ තවමත් හැඬුම්බරය

අද --- කාටූන් එකේ අන්තිම කොටස"


ආ ඒකයි මේ! ඔය කාටූන් එක බැලුව වගේ නෙවෙයි ශිෂ්‍යත්වෙ ෆේල් උනොත් 

එහෙම. කාටූන් ඇති තරම් බලා ගන්න බැරියැ ශිෂ්‍යත්වෙ ඉවර වෙලා"


නොකා බැරි කමට මෙන් බනිස් කැබලි කටේ දමා ගන්නා චමත් දෙස නයෝමි 

නොඉවසිල්ලෙන් මෙන් බලා සිටියාය. එලකියුශන් පංතිය පැය 2කි. එය මඟ 

හැරීම සුදුසු නැත. ලබන සතියේ සිට අනුමාන ප්‍රශ්න පත්‍ර පංතියකට යැවීමටද 

සූදානම් කර ඇත. එවිට ශිෂ්‍යත්ව පංතිය හා ඉංග්‍රීසි පංතියට වේලාව යොදා 

ගැනීමට තවත් වෙහෙසක් දැරිය යුතුය. ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙදරටම පැමිණෙන 

නිසා එය රාත්‍රියේ හෝ යොදා ගත හැකිය"


"හරිද ඉක්මනට යමු දැනටමත් පරක්කු වෙලා, ඔන්න පංතියෙ නිදා වැටෙනව 

එහෙම නෙවෙයි!, එදත් ටීචර් මාත් එක්ක කියල බැන්න"


චමත් බෝනික්කෙක් ඇදී යන්නාක් මෙන් මවගේ අතේ එල්ලී ඇවිද යයි.


චමත්ව එලකියුශන් පංතියට දැමූ නයෝමි සුපුරුදු පරිදි එතැනට නුදුරින් පිහිටි සිය 

සහෝදරයාගේ නිවසට ගියේ පංතිය නිම වන තෙක් එහි රැදීමටය. සිය 

සොහොයුරාගේ බිරිඳ රුචිරා කතාවට දක්ශය, ඕනෑ නැති පම්පෝරි ගැසීම 

පමණක් නයෝමිට නොදිරවයි.


"අහ් නයෝමි, අද මොකද පරක්කු වෙලා රුචිරා දුර සිටම ඇසුවාය"


ඔව් රුචිරා කොහෙද මේ ලමයට කවාගන්න වෙලා ගියානෙ. 

කෝ පොඩි දෙන්න?


අද මියුසික් ක්ලාස්නෙ, ජගත් ඉස්කෝලෙන් කෙලින්ම ක්ලාස් එකට දාන්න 

ඇති"

අහ් ඒක නෙවෙයි මම අර පුඩින් එක හැදුවනේ! අයියෝ ඒක දෙසැරයක්ම 

වැරදුනානෙ, තුන්වෙනි පාර නම් නියමෙටම හැදුනා!

එන්නකෝ කෑල්ලක් කාල බලන්න"

දෙදෙනම ගෙට ඇතුලු විය.


---------------------------


නව කෑම වර්ග ගැන කතාබහෙන් පැය දෙක ගෙවෙනවා නයෝමිට දැනුනේ 

නැත. එම නිසා පංතිය අසලට පැමිණීමට මදක් ප්‍රමාද විය.

චමත් ගේට්ටුව අසල පුටුවක හිඳ බෑගයට හිස තබාගෙන නිදා වැටී ඇත.


"අයියෝ පුතේ ඔය ටිකට නින්දත් ගියාද! රුචිරා නැන්ද ඔයාට රස කෑමක් 

දුන්නනේ, ගෙදර ගිහින් බත් කාලම කමු"


ඉන්පසු නයෝමි චමත්වත් ඇදගෙන බස්නැවතුමට පැමිණියේ ඉඩකඩ ඇති 

බසයක් බලාපොරොත්තුවෙනි. එවෙලේම පැමිණි බසයේ අසුනක් අල්ලා 

ගැනීමට ඇයට හැකි විය. 


"අද මොනවද ඉගැන්නුවෙ පුතා?" 


"සින්දුවක්"


"එච්චරද? ගෙදර වැඩ බැලුවද?


"ඔව්"


වෙනදා මෙන් චමත්ගේ කියවිල්ල නැත. "උණක්වත් හැදීගෙන එනවද? හපොයි 

එහෙම උනොත් හෙට දාගත්ත පංති දෙකම අත ඇරෙනව" නයෝමි බිය විය.

නලලට අත තබා බැලුවද වෙනසක් නැත.


"ඔයාට බඩගිනිද පුතා?' රටකජු පැකට් එකක් අරන් දෙන්නද?"


"එපා" එයද තනි පිලිතුරකි


ජනේලය අසල සිටි චමත් අසීරුවෙන් ජනේලයේ යකඩ බට අතුරින් එබෙමින් 

යමක් දෙස බලා සිටී.


" මොනාද පුතා බලන්නේ?"


නයෝමිද වුවමනාවෙන් චමත් බලා සිටි දෙස බැලුවාය.

බස් නැවතුමට මදක් ඈතින් ඇති වෙල් යායේ කොලුගැටයන් තිදෙනෙක් 

සරුංගලයක් උඩ යැවීමට දඟලති. සරුංගලය සෙමෙන් සෙමෙන් අහසට නැගේ. 

එවිට කොලු ගැටයන් ටික උඩ පනිමින් කෑ ගසයි, ඒ දෙස බල සිටින චමත්ගේද 

මුවේ යාන්තම් සිනාවක් ඇදී ඇත.


ඒ සමඟම බසය ගමන ආරම්භ කලේය.

චමත් කුමක්දෝ බර කල්පනාවකය, නයෝමිට ඔහුගේ නිශ්ශබ්ද තාවය 

ගැටළුවකි.


"පුතාට නිදිමතද? මෙතනින් ඔලුව තියාන නිදා ගන්න"


චමත් කිසිත් නොදොඩාම නයෝමිගේ උකුලේ තිබූ බෑගය මත හිස තබාගෙන 

නිදා ගත්තේය. විනාඩි කීපයක් ගත වන විට ඔහු නින්දට වැටින.

නයෝමි ඔහුගේ හිස අත ගාමින් නින්ද ගොස් ඇති දැයි බැලීමට චමත්ගේ මුහුනට 

එබී බැලීය.

චමත්ට කටත් ඇරගෙන නින්ද ගොසිනය. ඒ හාම ඈ දුටුවේ ඔහුගේ ඇස් කෙවෙනි 

තුල දිලිසෙන කදුලු කැට දෙකකි"


දරුවා යම් හිත් තැවුලක සිටිනවායැයි ඇයට සිතින. "අද පංතිය දමා ගත්තේ 

සතියේ චමත්ට තිබූ එකම නිවාඩු දිනයේය. ශිෂ්‍යත්වයට මාස 6කි. එම නිසා පංති 

වාර ගණනද වැඩි කර ඇත. එලකියුශන් පංති නැවතුවහොත් දැනුම පුරුද්ද නැති වී 

ලමයා මොට විය හැකි යැයි රුචිරා කිහිප විටක් ඇය බිය ගන්වා තිබිනි. 


ඒ සමඟම ඇයට නොබෝ දිනකදී සිය සැමියා ගයන්ත කල අනතුරු ඇඟවීමක් 

සිහියට නැගින.

තමාගේ එක පිට එක නැගූ තර්ක බිඳ හෙලිය නොහැකි වීම හෝ වෙහෙසට පත් 

වීම නිසා හෝ ඔහු දෙබස නිමා කලේය.


"හරි ඔයාගෙ කතාව ඇත්ත පුතා හොඳට ඉගෙනගන්න ඕනෑ. ඉගෙන ගන්න එක 

තමා අද කාලෙ ඔලුව උස්සන්න පුලුවන් ලේසිම මග. ඒත් නයෝමි ඒ 

ඔක්කොටම කලින් දරුව නිරෝගීව සතුටින් ඉන්න ඕනෙ. ඔයාගෙ ඔය වැඩ 

පිලිවෙල දරුවට ලොකු බරක්. තාම වයස 9ක පොඩි එකෙක්නේ! ශිෂ්‍යත්වෙ 

නෙවෙයි වෙන මොකක් තිබ්බත් ඔය වයසට ටිකක් නිදහසේ දුවන්න පනින්න 

සෙල්ලම් කරන්න, හවසක නිවාඩු පාඩුව ඉන්න තියෙන්න ඕනෙ. එහෙම නැති 

උනොත් ඔය ලමය ලෙඩෙක් වෙයි, හිතුවක්කාර වෙයි. එහෙම දෙයක් උන දාට 

කියන්න එපා මම මේව නොකිව්වා කියල. හැමෝම කරනව කියල,  කරන්නන් 

වාලෙ කරල හරියන්නෙ නෑ දරුවා ගැනත් හිතල ඉගෙනීම ගැනත් හිතල මොලේ 

ඇතිව වැඩ කරන්න ඕනැ."


ඉතා කලාතුරකින් තමාට තදින් කතා කරන ඔහු පැවසූ දෙයෙහි සැබෑවටම 

අර්ථයක් ඇතැයි නයෝමිට දැන් සිතේ.


දරුවාට මෙම කාර්‍යබහුලත්වය ඉවසිය නොහැකියැයි ඇයට සිතින. 

හැමදාම හවසට අහල පහල පොඩි උන් ටික හා එකතුව ක්‍රිකට් ගැසීමට යාම 

තහනම් කලේ 5 වසරට සමත් වූ දින සිටය. ඉන්පසු මාසයක් දෙකක් සෙල්ලමට 

යාමට කන් කෙදිරි ගෑවද පංති වැඩි වූ විට එය විසදින. ඒ පංති ඇරී එන විට ලමයි 

පිරිසගේ සෙල්ලමද අවසන් වී තිබූ බැවිනි.


නයෝමි මෙසේ සිතිවිලි දාමයක පැටලී සිටියදී බසය නිවස අසල නැවතුමට ලඟා 

විය.


"පුතේ පුතේ නැගිටින්න" 

යන්තම් කෙඳිරියක් නැගූ චමත් යලිත් නිදා ගන්නට හරිබරි ගැසුනේය.


"මෙහෙමත් නිදිමතක්, හ්ම්ම් උදේ 5ට ඇහැරුන ගමන්නෙ" චමත්වත් වඩාගත් 

නයෝමි බසයෙන් බැස ගති.


-------------------------------


"ඔයාට මේ සෙනසුරාද ඉරිද නිවාඩුද? නයෝමිගේ හඬ නින්ද යාගෙන ආ 

ගයන්තට ඇසින.


"හ්ම්"


ගයන්ත දෙඇස් නොඇරම පිළිතුරු දිනි.


"එහෙනම් සෙනසුරාදට පුතත් එක්ක ගෝල්ෆෙස් ගිහින් හවස අපේ මහ ගෙදර 

පැත්තේ ගිහින් එමුද?"


නයෝමිගේ ඒ වදන් ඇසෙත්ම ගයන්තගේ නිදිමත පහ විය. විගස දෙනෙත් ඇර 

බැලුවේ හීනයක් නොවන බව තහවුරු කර ගන්නටය.


"එතකොට සෙනසුරාද ශිෂ්‍යත්ව පංතිය, හවස ඉංග්‍රීසි පංතිය?" ගයන්ත විමසුවේ 

නයෝමිගේ කටින් මෙවැනි අදහසක් පිටවීම ඇදහිය නොහැකි වූ බැවිනි.


මදක් නිශ්ශබ්දව සිටි නයෝමි

"මං බැලුවෙ පුතාට රෙස්ට් එකටත් එක්ක එහෙම කලොත් හොඳයි නේද කියල"

සෙමෙන් කීය.


ගයන්තට උපහසාත්මක සිනහවක් පහල විය. මාස ගණනක සිට දහසක් තර්ක 

විතර්ක යොදමින් තමා පැහැදිලි කිරීමට උතසාහ කල දෙය නයෝමි මේ හදිසියේ 

වටහා ගත්තේ කෙසේදැයි කිසිත් නොදොඩා ගයන්ත කල්පනා කලේය.


"කොහොම හරි කමක් නැ පොඩි එකාට දවස් දෙකක් හුස්ම ගන්න ලැබෙයිනේ" 

යැයි සිතමින් ගයන්ත නින්දට වැටින.