Monday, June 11, 2012

ජීවිතය සොයා යාම....!


පංසලේ පිරිත් හඬ වටපිටාවේ රජකරමින් තිබූ මූසල නිහඩියාව පිංබර කමකින් පුරවන තුරු තමා මෙතෙක් ගැලී සිටි සිතුවිලි දාමයෙන් මිදෙන්නට අමාලිට නොහැකි විය. සුසුමක් හෙලා කොට්ටයෙන් හිස ගලවාගත් ඇය උන ලෙඩෙකු මෙන් ඇඳෙහි වාඩි වූයේ හිතේ වූ ඔත්පල බව ගතටද බෝ වූවාක් මෙනි.

ජනේලයෙන් ගෙබිමට පතිත වූ අවසන් සැඳෑ හිරු රැස දෙස අනිමිසලෝචනය කරමින් අමාලි නැවතත් සිතුවිලි සයුරේ ගිලිණි.

දින තුනකට පෙර සුමිත් පැවසූ වදන් තවමත් ඇගේ හද කණිමින් සිත තුලට කිදා බසියි.


"මම මොනව කරන්නද අමා?

අම්මලට ඉන්නෙ මම විතරයි එයාල කියන දේට පිටින් ගිහින් අම්මලට දුකක් දෙන්න මට බෑ"


ඒ වදන් ඇසෙන විටම සිය දෙනෙතට කඳුලු පුරවා ආවේ දුකටද, තරහටද, ආත්මානුකම්පාවටදැයි අමාලිට නිශ්චය කර ගත නොහෙකි විය! තේරුම් ගිය එකම දෙය නම් තමා වෙත තිබූ එකම සතුටද අහිමි වී යන බව පමනි.


"එයාල දැන් වයසයි, ලෙඩ ගානෙ, ජීවිතේ අන්තිම කාලෙ එයාලට දුකක් දෙන්න මට බැහැ අමා...

පහු ගිය අවුරුදු හතර තිස්සෙම මම ඔයාට කොයිතරම් නම් කිව්වද අඩුම ගානෙ ඒ ලෙවල්ස් හොඳට කරගෙන කැම්පස් යන්න කියල.

එතකොට ඒක තුරුම්පුවට තියලවත් මට අම්මලව කැමති කරව ගන්න ට්‍රයි කරන්න තිබුන, කොහෙද ඔයාට උවමනාවක් තිබ්බේ නැහැනෙ.!

තව දුරටත් බලපොරොත්තුවක් නැතුව අපි ආශ්‍රය කරල වැඩක් නැහැ අමා, අපි මේක නවත්වමු."


අවුරුද්දක පමන සිට දුම් පිට කරමින් තිබූ ගිනි කන්ද පුපුරා ගියේ අමා සැක කල අයුරින්මය. සිව්වසරක් පුරා ජීවිතය හීන වලින් පිරවූ ඔහු, විශ්වවිද්‍යාලට ගොස් වසරක් ගත වෙන්නටත් පෙර ටිකින් ටික වෙනස් වූ අකාරය දකින විට තම ප්‍රථම පෙම සතුටින් නම් කෙලවර නොවන බව අමාලිට හොඳින්ම දැනී තිබිනි. අවසානය එලෙසින්ම නිම විය. සුමිත් හා බැඳුනු මිහිරි මතකයන් මෙතරම් තමාට දුකක්  ගෙන ඒවි යැයි ඇය කෙදිනකවත් බලපොරොත්තු නොවූවාය.


දෙවන වරත් උසස් පෙල විභාගයෙන් අසමත් වීමත් සමඟම ඇයට අනාගතයේ අස්ථීර බව තදින්ම දැනෙන්නක් විය. කර්‍ර‍ය්‍යාල සහායකයෙකු වූ සිය පියා මාස දෙකකට උඩදී ඇති වූ හෘදයාබාධයකට පසු තවමත් ලෙඩ ඇඳේය. වෛද්‍යවරු පවසන පරිදි ඉක්මණින්ම ශල්‍යකර්මයක් කල යුතුය. මව උදේ සිට රෑ වනතුරු මැසිම පාගා මසා ගන්නා ඇදුම් කෑලි විකිනීමෙන් ලබන සොච්චම පියාගේ බෙහෙත් වලටම දිය වී යයි.

මෙවර සාමන්‍ය පෙලට සැරසෙන මල්ලී තමාට වඩා පවුල ගැන සිතනවා නොවේදැයි අමාලිට සිතෙයි. ඔහු ඉගෙනීමට දක්ශයෙක් වූවේ උපන් හැකියාවටත් වඩා වෙහෙස මහන්සි වී ඉගෙනීමෙනි. විනාඩියකුදු අපතේ නොයවා ඉගෙනුමට වෙහෙසවෙන ඔහු එහි ප්‍රතිඵලයද නොඅඩුව ලබනුයේ මව් පියන්ගේ හා සෑම විශය භාර ගුරුවරයෙකුගේම ආදරයෙනි.


මෙලෙස හිස ඇරුන අතේ දිව ගිය අමාලිගේ සිතුවිලි නැවතත් සුමිත්ගේ වදන් අසල නතර වෙයි. තමාට ඉගෙනීමට උවමනාවක් නොවූ බව සම්පූර්ණ අසත්‍යක් බව ඇය හොඳාකාරවම දනී. උවමනාවෙන් පාඩම් කටයුතු කලද කුඩා කල සිටම අධ්‍යාපනයෙන් දස්කම් පෑමට ඈ එතරම් හපනියක් නොවූවාය. උසස් පෙලට පාඩම් කරන අතරතුර සුමිත් පිළිබඳ සිතුවිලි ඇයගේ සිත පොතෙන් මුදවා ඈතට ගෙනයාම වැලකීමට ඇය ගත් උත්සාහය නම් සුලුපටු වූවක් නොවීය. වරද යෞවනයේ සුන්දර ප්‍රථම ප්‍රේමය දමනයට තරම් ඇයගේ හිත බලවත් නොවීම පමනි.


කෙසේ හෝ තමා දැන් සියලු දේ අහිමි කරගත් හිගන්නියක් බවට පත් වී ඇතැයි සිතන විට ඇයට නෙත් කඳුලු වලින් බොඳවීම වලක්වා ගත නොහැක්කකි. අම්මගෙන් නම් කදුලු වසන් කල යුතුමය. ඒ සුමිත් සම්බන්දව කිසිවක් නිවසට ආරංචි නොවූ බැවින් ඒය එසේම වැලලී යාමට ඉඩ දිය යුතු බැවිනි.


අමාලි යලිත් දිගු සුසුමක් හෙලා සැහැල්ලු වීමට උත්සාහ දැරුවේ හිස ඇදුම්කවන දුක්බර සිතුවිලි වලින් හෙම්බත් වී සිටි හෙයිනි.


පසුදා උදෑසනම අවදි වූ අමාලි, නිල්මිණිගේ නිවස බලා පිටත් වුනේ සිය දිවියේ ඔනෑම දෙයක් බෙදාහදා ගන්නට ඇයට සිටි හොඳම මිතුරිය නිල්මිණි වූ බැවිනි. කුඩා කල සිටම සෙවනැල්ලක් මෙන් ලඟින් සිටි නිල්මිණි, අමාලිට සහෝදරියක්, කල්‍යාන මිතුරියක් මෙන්ම ජීවිතය බුද්ධියෙන් දැකීමට සමත් අනගි උපදේශිකාවක්ද වූවාය. සුමිත් ගැන ඇය කියූ නපුරු අනාවැකි වලට බොහෝවිට නිල්මිණි හා හිත යටින් අමනාප වුවද, තම මිතුරියගේ දැක්ම හුදෙක් හිතලුවක් පමනක්ම නොවන වගද අමාලිට නොවැටහුනා නොවීය. තමා අද විඳවන්නේ එම උපදෙස් සැහැල්ලු කොට ගැනීමේ විපාකයන් බව අමාලිට පසක් වී හමාරය.


උදෑසනම මැල්වුනු මුහුනින් යුතුව එන මිතුරිය දුටු නිල්මිණිට දුක, අනුකම්පාව මුසු කේන්තියක් ඇති විය. එක් වරක් හෝ තමාගේ වචනයකට සවන් දුන්නා නම් මැයට කෙතරම් සාර්ථක ජීවිතයක් උදා කර ගන්න තිබුනාද...

අතීතය පසුතැවීමේ කුටියක් නොව ජීවිතය උගන්වන පාඨශාලාවක් බව දන්නා නිල්මිණි කෙසේ හෝ සිය මිතුරියගේ සිත සවිමත් කිරීමට අදිටන් කර ගත්තාය.


"හප්පේ යන්තම් අපිව මතක් වෙලා තියෙන්නෙ, මොකද බන් දවස් ගානක් තිස්සෙ හැංගිලා හිටියේ, ෆෝන් එකත් වැඩ නෑ, මම හිතන් හිටියෙ අද හෙටම උඹලගෙ ගෙවල් පැත්තෙ ඇවිත් යන්න කියල"


නිල්මිණිගෙ සුපුරුදු සැහැල්ලු වදන් හා සිනහව අමාලිටද බෝ වූවාක් මෙන් දැනිනි. යන්තම් සිනහවක් මුවඟට නගා ගත් අමාලි

"හිත හිතා හිටියෙ!, එන්න එපැයි උන්නද මැරිලද බලන්න"


කටහඬේ දුර්වල ස්වරයන් ඇසෙත්ම සිය මිතුරිය  සිතින් ගතින් දෙකෙන්ම ඔත්පලව සිටින බව වටහා ගන්නට නිල්මිණිට අපහසු නොවීය.


"මොකද බන් මේ ඇදිල ගිහින්? හත් දවසකින් කාල නෑ වගේ!

"වරෙන් වරෙන් ගෙට, මොනව හරි කාලා බීලම හෙමිහිට කථා කරමුකෝ"


සිය මිතුරියගේ ඇසුර, ලෙන්ගතු වදන් අමාලිගේ හිතට කවදත් සිසිලක් එක් කරන්නකි. ඒ සැබෑ මිතුදමේ බලයයි. සිතේ සියලු බර නිල්මිණිට කීමෙන්වත් සැහැල්ලුවක් ලබන බලපොරොත්තුවෙන් අමාලි නිල්මිණිගෙ අතගෙන ගෙට ඇතුලුවිය.


හවස් වන තුරුම නිල්මිණි සමඟ සංවාදයේ යෙදී සිටි අමාලි සිය නිවසට ඒමට පිටත් වූයේ නිල්මිණිගෙ වදන් නැවතත් මෙනෙහි කරමිනි.


"ගිය දේ ගියා, ඒ මත්තෙ හිත හිතා ඉදල ජීවිතේ ඉතුරු ටිකත් කාලකන්නි වෙන්නද උවමනාව? බලන්න ගෙදර අනිත් අය පවුල වෙනුවෙන් වෙන මහන්සිය, උඹට වඩා අවුරුදු ගානක් බාල මල්ලි වෙන මහන්සිය. ඔය මනස්ගාත අමතක කරල ඉස්සරහට කරන දෙයක් ගෙන හිතන්න."

ඊලඟ පාරවත් හිතට අරන් විභාගෙ කරන්න, මම  උදවු කරන්නම්.

ආ.. තව එකක් අපේ අක්ක වැඩ කරන තැන කම්පියුටර් ග්‍රැෆික් වැඩ වලට කෙනෙක් හොයනව, උඹ ඉස්කෝලෙදි ඒ වැඩ වලට කවදත් දක්ශයනෙ, ඒ දැනීමෙන් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක ගිහින් බලන්න. කල් දදා ඉන්න එහෙම බැහැ ඔන්න මම අක්කට කියනව උඹ හෙටම එනව කිව්ව කියල! හරිද?


ලෙන්ගතුවූත් ශක්තිමත්වූත් නිල්මිණිගේ වදන් අමාලිගෙ හිතට නව ජීවයක් පොවන්නට සමත් විය. නිවසට ගිය පසුවද නැවත නැවතත් සිතන විට ජීවිතය දෙනදේ භාර ගන්නට බලා නොසිට ජීවිතය සොයා යා යුතු බවට නිල්මිණි පැවසූ දේ කෙතරම් සත්‍යයක් දැයි ඇයට සිතිනි. සිතේ ඇති ජීවය පහව යන්නට පෙර හෙටම නිල්මිණිගේ අක්කා මුනගැසීමට යාමට අදිටන් කර ගත්තාය. එතරම් දුරක නොවන බැවින් මවගේද අකමැත්තක් පල නොවිනි.


නිල්මිණි පැවසූ පරිදිම එම රැකියාව ඇගේ සිත් ගන්නක් විය, ඒ කවදත් අමාලි චිත්‍ර කලාවට ඇල්මක් දැක්වූ හෙයිනි. පරිඝනකයට එතරම් කැමැත්තක් නොමැති වුවද එහි කලා මෘදුකාංග භාවිතයෙන් නිර්මාණ කිරීමට අමාලි  පාසැල් වියේ සිට දක්ශකම් පෑවාය.


අමාලි සේවය ආරම්භ කල දැන්වීම් නිර්මානය කරන ආයතනයේ අමාලිගේ පලමු නිර්මානය ආයතන ප්‍රධනියා හමුවට අනුමැතිය සඳහා යොමු කෙරින. සුලු වෙලාවකින් අමාලිට ආයතන ප්‍රධනියා හමු වීමට යාමට විධානයක් ලැබින. තම නිර්මාණයේ අඩුපාඩුවක්වත්දෝ සිතමින් අමාලි ආයතන ප්‍රධනියා වෙත පැමිණියාය.


"මිස් අමාලි මේක කොහෙන් හරි කොපි කලාද නැත්නම් කාට හරි කියල හදා ගත්ත එකක්ද?

ආයතන ප්‍රධානියාගේ පැනයෙන් අමාලි තිගැස්සුනි


" නෑ සර් මම ම තමයි ඩිසයින් කලේ "


අමාලිගෙ හඬ අවංක බව ඔහුට සිතින.


" ඔය ලමයට හොඳ ටැලන්ට් එකක් තියන බව පේනව. ආයතනය යටතේ අමාලිව පාඨමාලාවකට යවන්න කටයුතු කල හැකි. ඒකෙ වටිනාකම රුපියල් ලක්ශයක් වෙනව ඒ නිසා අමාලිට ආයතනය සමඟ ගිවිසුමකට එන්න වෙනවා, අවුරුදු දෙකක් අනිවාර්‍යයෙන් ආයතනයේ වැඩ කරන බවට. කැමතිද? "


ජීවිතය ජය ගැනීමට විවර වූ මාවත පිලිගැනීමට අමාලි මොහොතක්වත් පැකිලුනේ නැත.


" බොහොම හොඳයි උනන්දුවෙන් වැඩ කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, මූලික මාසික ගෙවීම පහලොස් දාහයි, පඨමාලාව සම්පූර්ණ කලහම, ඒ කියන්නෙ මාස තුනකින් ගාන දෙගුන වේවි. ඊට අමතරව සම්පූර්ණ කරන වයාපෘති වලට අමතර කොමිස් ලැබෙනව. අදට අත්තිකරම් මුදලක් ලැබේවි. හොඳයි වැඩ කර ගෙන යන්න. "


" බොහෝම ස්තූතියි සර් "


අමාලි නැවත තම මේසය වෙත පැමිණියේ හද පිරි සතුටිනි.


ඇයට උදයේ දුටු මවගේ මලානික වූ මුහුණ සිහි විය, උදයේ වැඩට ඒමට පිටත් වන විට මව රුපියල් සියයක් හා බෙහෙත් තුන්ඩුවක් මිට මොලවා,


 " දුවේ තාත්තගෙ බෙහෙත් ගේන්න ඕනෙ. සල්ලි නම් මදි වෙයි. එක වර්ගෙකින් වත් ටිකක් අරන් එන්න බලන්න, හෙටවත් ඉතුරු එක ගන්න බලමුකො "


හවස නිවසට යාමට පෙර පියගේ සම්පූර්ණ බෙහෙත් ප්‍රමානයද නිවසට අවශ්‍ය සිල්ලර බඩු කිහිප වර්ගයක්ද මිලට ගෙන ඇවිද එන අතරතුර තම දෙනෙතට නොදැනීම කදුලක් නැගෙනු අමාලිට දැනින. එම කදුලට හේතුව දුක නොවන බව හොඳාකාරවම වැටහුනද,

එයට සැබෑ හේතුව තමා තුල සිරව සිටි අභිමානවත් යුවතිය සිරෙන් නිදහස්ව නැගී සිටීමේ ආත්මාභිමනය වෙනුවෙන් දෙනෙතට ආ සතුටු කදුලක් බව ඇය වටහා ගත්තේ එයින් වසර තුනකට පසු තමා ජයගත් ජීවිතය දෙස නැවත හැරී බලන විටකදීය.

8 comments:

  1. අතීතය පසුතැවීමේ කුටියක් නොව ජීවිතය උගන්වන පාඨශාලාවක් ...

    ජිවිතයට ලොකු පාඩමක් උගන්වනවා...ඉගෙන ගන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා...එත් හැමෝටම එකම හැකියාව නැ...කෙනෙක්ට තවත් එක හැකියාවකුත් තවත් අයට තවත් විදියේ හැකියා තියෙනවා..එක ඔපමට්ටම් කරලා ගන්නයි මොලයක් කියලා දේකුත් තියෙන්නේ...අනික ආදරය කියන්නේ ජිවිතයම නෙමේ ජිවිතේ එක කොටසක් විතරයි කියලා නිල්මිනි ට පහු වෙලා හරි තේරුන එකම කොච්චර හොද දෙයක්ද..

    කතාව රස වින්දා ..හරිම ලස්සනයි..මේ වගේ ජිවිතේට අවශ්‍ය දේවල් හැමදම ගිමන් හලෙන් බලපොරොත්තු වෙනවා..සුබ ගමන්..

    ReplyDelete
  2. ස්තූතියි නිම්ශා. ගොඩක් කියවන එක මිසක් ලියන එක නම් මට හුරු පුරුදු දෙයක් නෙවෙයි. ඒත් හිතේ තියෙන දෙයක් හිත එකතැන් කරගෙන ලියන එකත් එක්තරා විදිහක භාවනාවක් කියල හිතෙනව. ඉතිං මොනවා හරි වැරැද්දක් දැක්ක ගමන් පෙන්නලා දෙන්න. පොඩි වැරැද්දක් වුනත් කමක් නෑ. කවදහරි හොඳට ලියන්න පුළුවන් වුන දවසකට කාටද එතකොට ආඩම්බර! වැරදි පෙන්නලා තරවටු කරල හදා ගත්ත අයටනේ! :)
    කරදරයක් නැත් නම් e ලිපිනය දන්වලා e ලිපියක් එවන්න. බ්ලොග් ගැන විස්තර ටිකක් අහගන්න පුලුවන් වෙයිනෙ නේද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හදිසියෙන් ඇහැගැටුන ලිපියක් .මම මේකට හරි කැමතියි . ජීවිතේ එක දෙයක් පැරදුනාම ඒ මත්තෙම අඬනවද නැත්නම් වෙන ඔප්ෂන්ස් හොයනවද කියන එක ගැන හොඳ අදහසක් .ගොඩක් early 20 s වල කතා හරි කඳුලු කතා නේ ප්‍රෙමය පැරදුන . ඒත් මේක එහෙම නෑ .අනික යන්ග් ඇඩල්ට්ස් ල හැටියට අපි ජීවිතේ වගකීම් සහගත වෙන්න ඕනේ කියන එකත් නියමෙට තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ගිමන්හලට ගොඩ වැදුනු TG ව ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
      ස්තූතියි TG! ඔබේ අදහස් මට විශාල ශක්තියක්! මොකද එයින් මගේ වෑයම සාර්ථකයි කියල හැඟෙන නිසා. තාරුණ්‍යය කියන්නෙ බුද්ධියට වඩා හැඟිම් වලට ඉඩ දෙන අවධියක්. ඒ තාරුණ්‍යයට වඩාත් ආවේණික ආවේගශීලිත්වය නිසා! නමුත් නිවරැදි මග පෙන්වීම උදව් කරගෙන බුද්ධියට ප්‍රමුකත්වය දෙන්න හුරු පුරුදු වුනොත් ජීවිතේ වරද්ද ගන්නෙ නැතිව වාසනාවන්ත අනාගතයක් දකින්න පුලුවන්!

      විවේක වෙලාවට ආයෙමත් ගිමන්හල පැත්තේ ඇවිත් යන්න එන්න!

      Delete
  5. ලඟදි ඔයාගේ බ්ලොග් එක කියවන්න ගත්තේ. ලියන විදිය ලස්සනයි, කියවන කෙනාව ඇදගන්නා සුළු බවක් තියෙනවා. මන් කියවන බ්ලොග් කීපයට මේකත් එකතු කර ගන්නවා. දිගටම ලියන්න. සුබ පතනවා....!

    ReplyDelete