Sunday, June 10, 2012

නිවරැදි විවේකයක්...!


ලෝකෙ වෙනස් තාලෙ අලුත් කියල හැමදෙනාම නවීන පන්නෙට හුරුවෙලා. කොටින්ම කිව්වොත් විවේක ගන්නෙත් නවීන පන්නෙට. අපි ටිකක් කල්පනා කරල බලමුකෝ අපි විවේක ගන්න කියල කරන දේවල් ටිකක්.

දවස පුරා වෙහෙසිලා රෑ කරුවල වැටෙද්දි ගෙදර ඇවිත් වතුර ටිකක් නාගත්තට පස්සෙ, දවසේ මහන්සිය ටිකක් අඩු කරගන්න කියල අපි මොකද ඊලඟට කරන්නෙ? වැඩි පිරිසක් කරන්නෙ රූපවාහිනිය ඉදිරියෙන් තැම්පත් වෙන එක. තවත් පිරිසක් පරිඝනකය ලඟට.

ඊට පස්සෙ ලඟටම හම්බවෙන තේ එක රෑ කෑම එක ඉවර කරලා නින්දට යන වෙලාව වෙනකල්ම එතන තමයි. නැගිටින්නෙ කොහොමද! හවස ප්‍රවෘත්ති ඉවර වුන ගමන් 7.30 ටෙලි වෘතාන්තය ඊට පස්සෙ වෙනස් නාලිකාවක වෙනස් ප්‍රවෘත්තියක් එහෙම නැත්නම් දිගටම ටෙලි පෝලිම! නිදිමත නැත්නම් තවත් බලන්න දේ ඕනෑ තරම්.

හිතල බලන්න මෙය එක්තරා විදිහක ඇබ්බැහි වීමක් නෙවෙයිද කියල? මේ ඇබ්බැහි වීම නිසා ඔබට අහිමි වෙන දේ බොහෝමයි! මොනවාද ඒ?
ලැයිස්තු ගත කලොත් ඒකෙ ප්‍රමුඛම තැන ගන්නෙ ඔබත් ඔබේ පවුලේ සාමාජිකයිනුත් අතර ඇති සම්බන්ධතාවය. කල්පනා කරල බලන්න රූපවාහිනියෙ බාධාවකින් තොරව එක පැය භාගයක් පවුලේ හතර පස් දෙනා එකතු වෙලා සතුටු සාමීචියේ යෙදුනු දවසක්. මතක් උනාද? ඔව් ගෙදර විදුලිය විසන්ධි වෙලා තිබ්බ දවසක් නේද! ඔබ එදා රූපවාහිනිය නැති කනස්සල්ලෙන් හිටියත් ගෙදර අය එක්ක නිදහසේ කථා බහ කරල සාමකාමී, කෘතීම බවෙන් තොර සතුටක් ලැබුවා නේද?

ඔබේ දරුවන් ඔබේම කර ගන්න!

තාත්ත කෙනෙක්ට දුව / පුතා එක්ක කොයිතරම් නම් දේවල් කථා කරන්න තියනවාද. ඔබ? උදාහරණක් ගත්තොත්, පාසැල් යන පුතා/දුව එක්ක ඔබ මොනවද දවසටම කථා කරන්නෙ? බොහෝ වෙලාවට අතිරේක පන්තිවල ගාස්තු ගෙවීමක් ගැන, පාසැලේ වාර විභාගයක ලකුණු, සමහර විට කරදරයක් ලෙඩක් ඇති වුන වෙලාවක. තාත්තෙකුට පුතෙක්/දුවෙක් එක්ක කථා කරන්න තියෙන්නෙ එපමණද?

මදකට රූපවාහිනිය ක්‍රියා විරහිත කරල පුතා/දුව අසලට යන්න, ලඟින් ඉඳගෙන පොඩි කයිවාරුවකට ආරම්ඹයක් ගන්න. දැන් ඔබට හිතෙයි මොනවද කථා කරන්නෙ කියල. පාසැල් වැඩ අතිරේක පන්ති ගැන නෙවෙයි. ඔහුගේ/ ඇයගේ විනෝදාංශයක් ගැන අහන්න, මිතුරන් ගැන එහෙමත් නැත්නම් ලඟදි පාසැලේ පැවැත්වුන ක්‍රීඩා උත්සවයක් ගැන අහන්න. පාසැල් වැඩකට උදව්වක් අවශ්‍යද අහන්න. ඔබට නුහුරු ගතියක් දැනුනත් පුතා හෝ දුව ඔබව සැනෙකින් කථාවට අල්ල ගනීවි. ගොඩක් වෙලාවට දරුවෙකුට තාත්තෙක් එක්ක කියන්න බොහෝ දේවල් තියනව ඔබ ඊට වෙලාවක් නොදීමයි සිදු වෙලා තියෙන්නෙ. දරුවෙකුට සමීප උනා කියල ඔබේ ගෞරවයට අඩුවක් වෙනව කියල හිතනවද? නෑ ඒ දුරස් බවෙන් වෙන්නෙ ඔබත් දරුවනුත් අතරෙ පවුරක් ගොඩනැගෙන එක විතරයි.

ඉතිං දවසට පැය භාගයක් දරුවන් වෙනුවෙන් වැය කරන්න. රාජකාරියක් විදිහට නෙවෙයි විනෝදාංශයක් විදිහට. අනිවාර්‍රයෙන්ම ටෙලිනාට්‍යක් නරඹනවට වැඩිය ඔබ සතුටු වේවි, දරුවන්ගේ ලෝකයෙන් ඔබ යමක් ඉගෙන ගනීවි, ඔහුගේ / ඇයගේ විශ්වාසය දිනා ගනීවි. සුහද මිතුරන් වේවි. සමහර විට මේ පුරුද්ද ඔබේ දරුවන් නොයෙක් විනාශකාරී දේ වලින් ඔව්න්ව මුදවා ගන්න ගැලවුම්කාරයෙක් වෙන්න පුලුවන්.
ඒ කොහොමද? සමීප කතබහකදී තොරතෝංචියක් නැතිව කියවන දුවගෙන් පුතාගෙන් මත්ද්‍රව්ය වලට නැඹුරු වීමට යන අදහස්, ඔව්න් නොදැනුවත්වම ඇතිවීමට යන එහෙමත් නැත්නම් සමජ විරෝධී සම්බන්ධතා ගැන ඉඟි ඔබට ලැබෙන්න පුලුවන්. ඉතිං ඔහුගේ \ ඇයගේ ජීවිතය එයින් විනාශ වීමට පෙර ඔව්න්ව මුදවා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා නේද?

සමහර විට ඔබේ දරුවා අධ්‍යාපනික කටයුතු වලින් පසුගාමී වූ අයෙක් වෙන්න පුලුවන්. ඔබේ සුහද කථා බහේදී ඔහුගේ / ඇයගේ දුර්වලතා හදුනා ගන්න ඔබට හැකි වේවි. ඉන්පසු ඔබට ඔව්න් නිවරැදි මගට යොමු කල හැකි වේවි.

ඔබ ඔහුට/ ඇයට දැන සමීප මිතුරෙක් වගේ. ඔව්න් වැඩුනු මිනිසුන් වූ දවසක වුවත් ඔව්න් කියාවි, මගේ තාත්ත මගේ ජීවිතේ හොඳම මිතුරා, මගේ සාර්ථකත්වයේ රහස, අදටත් එහෙමයි කියල! ආදර්ශමත් තාත්ත කෙනෙක් හැටියට ඔබට අභිමානයක් නොවේවිද එය? එපමණක් නොවෙයි යහ ගුණ වියැකිලා යන යුගයක යහ ගුණයෙන් පිරුණ දරුවන් ඔබ වටා ඉඳීවි, මහලු වියේදී ඔව්න් ඔබට යෝධ ශක්තියක් වේවි.
ඉතිං දැන් ඔබට පෙනෙනවාද නිවරැදි විවේක ගැනීමේ ක්‍රමයක් නිසා ඔබේ ජීවිතයට ලබා ගන්න පුලුවන් සතුට මෙපමණයි කියලා කියන්න බැහැ කියල. රූපවාහිනියට හෝ වෙනත් කෘත්‍රීම විවේක ගැනීමේ ක්‍රමයකට ඔබේ ජීවිතයේ සැබෑ සතුට උදුර ගන්න ඉඩ දෙන්න එපා!

තවත් නිවරැදි විවේක ගැනීමේ ක්‍රමයක් ගැන කතා කරන්න නැවතත් ලඟදීම හමුවෙමු!

9 comments:

  1. අනේ යාලු අකුරු ලොකු කරමුකෝ..

    ReplyDelete
    Replies
    1. කියවන්න බැරි තරම් පොඩිද? සාමාන්‍ය අකුරු පරිමානය තමයි තෝර ගත්තෙ. ඊලඟට තියෙන්නෙ මාතෘකා පරිමානය. තාමත් පොඩියටද පේන්නේ?

      Delete
    2. නැ..නැ එක මට විතරක් වෙන්න ඇති..මට ටිකක් පොඩි වගේ දැනුනේ :)

      Delete
  2. මගේ අම්මා තාත්තා එක්ක නම් මට යම්තාක් හොද සම්බන්දයක් තියෙනවා කියලා හිතෙනවා මේක බලද්දි..එ උනාට අවශ්‍ය කාලේ නම් එයාලට මං ලග ඉන්න බැරි උනා එත් එක එක්තරා කැපවිමක් කියලා මම හිතන් සතුටු උනා..එත් අද අපි තුන්දෙනා අතර හොද මිතුරු බැදිමක් තියෙනවා..

    ඔයාගේ ලිපි වලට නම් මම ගොඩක් ලයික්..හිතන්න දේවල් ගොඩයි..වැදගත්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිම්ශා!
      ඔව් මම පිලිගන්නවා උවමනාව තිබ්බත් දරුවන් ලඟින් ඉන්න බැරි වෙන අවස්ථා එන්න පුලුවන්. දෙමව්පියන් වගේම දරුවනුත් උත්සාහ ගන්න ඕනෙ දෙමව්පියන්ට සමීප වෙන්න. මොකද දරුවෙකුට දෙමව්පියන්ගෙන් තරම් රැකවරණයක් වෙන කාගෙන්වත් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන් නිසා.

      ඒ කියන්නෙ ඔයාද පවුලේ එකම දරුවා? එහෙම උනාට එකා යකා වෙන්න එහෙම හදන්න එපා! :D

      Delete
    2. ඔව් මම විතරයි..හෙහේ එකා යකා වෙන තත්ව එහෙම නැතුවමත් නෙමේ ...

      Delete
  3. හරියටම හරි. අද වෙන්නෙම නැත්තෙ ඔය දේ.
    ගෙඩර හැමෝම එකට ඉන්න දවස කියන්නෙ මගෙ සතු‍ටුම දවස. මම කැම්පස් ඉන්න කාලෙ මාම් ගෙදර නෑ. මම කැම්පස් අවුට් වුණා විතරයි නංගි කැම්පස් යන්න ගත්තා. දැන් එයා ගෙදර නෑ ගොඩක් වෙලාවට.මේ දවස් වල නම් නංගිත් ගෙදර, ඒ වෙලාවට පුදුම සතුටක් දැනෙනවා. අපි 4 දෙනා එකතු වෙලා දවසෙ වුණ දේවල්, එක එක විස්තර, දේශපාලනේ පවා කතා කරනවා.එතකොට දැනෙන ඒ හැඟීම වෙන කිසිම දේකින් ලබන්න බෑ. ටෙලි නාට්‍ය වලට ඒ සතුට හොරකම් කරන්න දීලා නෑ අපේ ගෙදර කවුරුත්. හැම තැනම එහෙම වෙනවා නම් ළමයි ගොඩක් සතුටින් ඉඳියි

    ReplyDelete
    Replies
    1. ගිමන්හලට ගොඩවැදුනාට ගොඩාක් ස්තූතියි සිඳූ! ගිමන්හලට ආදරයෙන් පිලිගන්නවා!

      අධ්‍යයාපනික වැඩ හරි රජකාරී වැඩ කටයුතු නිසා කර්යය බහුල වුනත් හැම හැකි වෙලාවකම පවුලේ අය එකට එකතු වෙලා කථා බහ කරනවා නම් ඒකයි නිවරැදිව විවේකය ගත කිරීම. ඒ අතින් ඔයා වාසනාවන්තයි! ඔයාලා ඒක තේරුම් අරන් තියනවා.
      ඒත අද කාලේ ගොඩක් අයට ඒකෙ වටිනාකම තේරෙන්නෙ නැහැ!

      Delete
  4. අම්මා තාත්තලාට හොඳ ඔවදනක්.

    ReplyDelete